සමහර විට ජීවිතේ ගොඩක් කල් එකට හිටපු අය, විශ්වාසෙන් ළඟ රැඳිලා උදව් කරපු අය, නොහිතූ විදිහට, අදහා ගන්නවත් බැරි විදිහට වෙනස් වෙලා යද්දී අපි කම්පා වෙනවා. පුදුමයටත්, දුකටත් පත් වෙනවා.

හැබැයි… අපි හැමෝම ළඟ තියෙන, වෙන් නොවී තියෙන එක දෙයක් නිසයි අපත් – ලෝකයාත් ඒ විදිහට වෙනස් වෙලා යන්නේ… ඒ එක විදිහට තියෙන්නෙ නැති, සැලෙන, චපල දේ තමයි සිත…!

ඵන්දනං චපලං චිත්තං – දුරක්ඛං දුන්නිවාරයං

හිත කියන්නේ අරමුණක් පාසා සැලෙන දෙයක්. චපල දෙයක්. රැක ගන්නට අමාරු, වරදින් වළකා ගන්ටත් අමාරු දෙයක්.

වතුරෙන් ගොඩ දාපු මාළුවෙක් වගේ, පරිඵන්දති’දං චිත්තං අරමුණෙන් අරමුණට මේ හිත දඟල දඟල තියෙන්නේ.

දුන්නිග්ගහස්ස ලහුනෝ – යත්ථකාමනිපාතිනෝ

මේ ‘සිත’ කියන්නේ නිග්‍රහ කරලා දමනය කරන්නට අමාරු දෙයක්. එක මොහොතින් වෙනස් වෙනවා. ආස කරන දේටමයි ඇදිලා යන්නේ. සුදුද්දසං – හිතේ සත්‍ය ස්වභාවය දකින එක හරි ම අමාරුයි. සුනිපුනං – ඒ වගේ ම මේ හිත ගොඩක් සියුම්.

දූරංගමං – හිතට දුර ගමන් තියෙනවා. ඒකචරං – තනියම ඇවිදිනවා.

අසරීරං – හිතට ඇඟක් නෑ. ගුහාසයං – මේ සිත වාසය කරන්නෙ ශරීරය නමැති ගුහාවේ.

(ධම්මපදය, චිත්ත වර්ගය)

හිතේ යථා ස්වභාවය තමයි මේ චපලකම, එක අදහසක නැති – එක එක වෙලාවට එක එක විදිහට හිතෙන ගතිය. මේ හිත ආශ්වාදය හොයාගෙන හරි ලේසියෙන් අකුසල් ගොඩේ ගිලෙනවා. කුසලයක හිත තියාගෙන හොඳ දෙයක් පුරුදු කරන්න හිත කම්මැලියි. අධිෂ්ඨානයේ පිහිටන්නෙ නැතුව හිත පුරුද්දට ම යි වැටෙන්නේ. හිත හිතුවක්කාරයි.

ඇත්තටම තමන්ගේ හිතේ සැබෑ ස්වභාවය තමාටවත් හොයා ගන්න බැරිවෙන විදියට මේ හිත උඩට ශාන්තව පෙනී ඉඳලා, කෙලෙස් යට හංගගෙන තමන් ළඟම රඟපානවා.

වෙලාවකට හරිම ලස්සන, වැදගත්, උත්තම සිතිවිලි මේ සිතේ උපදිද්දී… තවත් වෙලාවකට අතිශය පිළිකුල්, අප්‍රිය වූ, දුෂ්ට වූ, හීන පාපී සිතුවිලි වේගයෙන් මේ සිත උමතු කරනවා.

ඒ මක් නිසා ද…!

දීඝරත්තමිදං චිත්තං සංකිලිට්ඨං රාගේන දෝසේන මෝහේන

බොහෝ කාලයක් මුළුල්ලේ මේ හිත රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් කිලිටි වෙලයි තියෙන්නෙ.

චිත්තසංකිලේසා භික්ඛවේ, සත්තා සංකිලිස්සන්ති. චිත්තවෝදානා සත්තා විසුජ්ඣන්ති.

සත්වයින් කිලිටි වන්නේ සිත කිලිටි වීම නිසයි. සිත ම පිරිසිදු වීමෙනුයි සත්වයන් පිරිසිදු වන්නේ.

(ගද්දූලබද්ධ සූත්‍රය, සං. නි. 3)

ඇත්තෙන්ම… මොනවයින් ද මේ සිත කිලිටි වුණේ? ඔය අකුසල් මුල් තුනෙන් හටගන්නා ලෝභකම, මසුරුකම, ක්‍රෝධය, වෛරය, ගුණමකුකම, බද්ධ වෛරය, එකට එක කිරීම, ඉරිසියාව, කපටිකම, මායාව, කුහකකම, සාධාරණ කරුණුවලට විරුද්ධ වීම, මාන්නය, වරද පිළි නොගැනීම, සමාව නොදීම, මුරණ්ඩුකම, පාපී ඇසුර, ප්‍රමාදය, අශ්‍රද්ධාව, පවට ලැජ්ජා භය නැතිකම, කුසීතකම, ධර්ම ඥානය නැතිකම, අහංකාරකම, තරඟයට වැඩ කිරීම. මේ සියල්ල සිත කිලිටි කරන දේවල්.

(වත්ථූපම සූත්‍රය, අනංගණ සූත්‍රය, සල්ලේඛ සූත්‍රය)

බොහෝ කාලයක් කෙළවරක් නැති සසරේ මේ කෙලෙස්වලින් ම තෙත් වෙමින් තිබූ මේ සිත මේ පාපී ගතිවලින් මුදවන්නට බැරි ද? මේ කෙලෙස් සිතට බද්ධ වෙලා ද තියෙන්නේ?

මේවා සිතට බද්ධ වුණා නම් – සිත පිරිසිදු කළ බුදු, පසේබුදු, මහරහත් උතුමන් බිහි වන්නේ කොහොමද?

සිය සිතට නායක වූ, සිත තම වසඟයට ගත් ශ්‍රේෂ්ඨ විමුක්තිදායකයන් වහන්සේ අපට සිතේ මූලික ස්වභාවය හෙළි කළා.

පභස්සරමිදං භික්ඛවේ චිත්තං, තඤ්ච ඛෝ ආගන්තුකේහි, උපක්කිලේසේහි උපක්කිලිට්ඨ’න්ති.

මේ සිත ප්‍රභාෂ්වරයි. නමුත් සිත ආගන්තුක (බාහිරින් එන) උපක්ලේශවලින් කිලිටි වෙලයි තියෙන්නෙ.

මේ බව නොදන්නා අශ්‍රැතවත් පෘතග්ජනයාට චිත්ත භාවනාවක් නෑ කියලයි මං කියන්නේ.

(හැබැයි මේ බව දන්නා) ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා චිත්ත භාවනාවෙන් යුතු යැයි කියමි.

(අං. නි. 1, පභස්සර වර්ගය 1, 2)

සිතේ ස්වභාවික ලක්ෂණය, ප්‍රකෘති ස්වභාවය තමයි මේ ප්‍රභාෂ්වර බව. කිලිටි කිසිවක් නැති, බබළන, පිරිසිදු දීප්තිමත් බව.

අර වගේ කෙලෙස් මිශ්‍ර වෙවී මේ සිත කිලිටි වුණ නිසා කලින් කලට ඒ දෝෂ ඉස්මතු වෙලා ක්‍රියාවන් කිලිටි වෙනවා.

හැබැයි ඒ කෙලෙස් බාහිර දෙයක් නිසා…, බුද්ධිමත් කෙනා හිතුවක්කාර සිත රකිනවා. සිත අකුසලයෙන් වළකනවා කුසලයේ පිහිටුවනවා. හිත ගැන කල්පනාවෙන් ඉඳලා කිලිටි ඉවත් කර කර කුසල් වඩනවා. ඒ ශ්‍රාවකයාට චිත්ත භාවනාව තියෙනවා.

අපිරිසිදු වෙච්ච සිත හරියට අමු රන් වගේ. පස් අතර වැදිලා තියෙන රත්තරන් බබළන්නෙ නෑ, කිලිටි නිසා…

ඒ නිසා පිරිසිදු වටිනා රන් හොයන කෙනා ඒ අමු රන් උපක්‍රමයෙන් පිරිසිදු කරන්න ඕන.

අකුසල් වීරියෙන් දුරු කිරීමෙන්, කුසල් සමාදන් ව දියුණු කිරීමෙන්, සමථ විදර්ශනා වැඩීමෙන් ශ්‍රාවකයාත් කරන්නේ හිත පිරිසිදු කරන එකයි.

අමු රන් දෙණක විසුරුවලා පිරිසිදු වෙනතුරු හොඳට සෝදනවා වගේ, ඉස්සර වෙලාම කයෙන් වචනයෙන් වෙන අකුසල්, සීල සංවරයෙන් පාලනය කරන්න ඕන. තරහ, අනුන්ගේ දෙයට ආශා කිරීම, මිථ්‍යාදෘෂ්ටිය කියන මනෝ දුෂ්චරිතයත් දුරු කරන්නට ඕනේ.

අමු රන්වල ගොරෝසු පස්, වැලි සේදුනාට… සියුම් ගල් කැට, ඝන වැලි, තියෙනවා. ඒවත් හෝදනවා වගේ කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක ඉවත් කරන්න ඕනි.

සියුම් ගල් කැට, ඝන වැලි ඉවත් වුණාට අමු රන්වල ඉතා සියුම් වැලි, කළුපාට කුඩු ආදී සියුම් අපිරිසිදු දේ ඉතිරි වෙනවා. මේ සියුම් අපිරිසිදු දේ ඉවත් නරන්න අමු රන් නැවත සෝදනවා වගේ සියුම් සහගත උපක්ලේශ, ඒ කියන්නේ තමන්ගේ පවුල්වල ප්‍රශ්න ගැන සිත සිතා සිටින එක, රටේ ලෝකේ දේවල් ගැන සිත සිතා සිටින එක, අනුන්ට ධර්ම කරුණු කියාදීම ගැන සිතේ උපදින විතර්ක ආදී සියුම් ස්වභාවයේ විතර්ක ඇද්ද, හොඳ සිතක් සකසමින් ඉන්න නුවණැති කෙනා ඒ උපක්ලේශ අත්හරිනවා. දුරු කරනවා.

ඊළඟට අමු රන් කබලක දාලා ගිනි පිඹිනවා. මළකඩ ගියාට කහට තියෙනවා. ඒ රන් නම්‍යශීලී නෑ. මෘදු නෑ. බබළන්නේ නෑ. ඉක්මනින් කැඩෙනවා. වැඩේට අවශ්‍ය විදිහට භාවිතා කරන්න බෑ. ඒ කියන්නෙ පවුල්වල ප්‍රශ්න, රටේ ලෝකේ ප්‍රශ්න සිත සිතා සිටීම, අනුන්ට බණ කීම ආදී බාහිර කටයුතු ගැන සිත සිතා සිටීම ආදී සියුම් උපක්ලේශ අත්හැරියට ධර්ම මාර්ගයට අදාළ ස්වරූපයෙන් මතුවෙන ධර්ම විතර්ක ඉතිරි වෙනවා. ඒ නිසා ඒ හිතේ ඇතිවන සමාධිය ශාන්ත නෑ. ප්‍රණීත නෑ. ඒ සිත උත්සාහයෙන් කෙලෙසුන්ට ගරහලා වළක්වාගෙන විතරයි තියෙන්නේ…

නමුත් තවදුරටත් හොඳ සිතක් සකසමින් සමථ විදර්ශනා වඩන කෙනා යම් කලෙක තමන්ගේ සිත පිරිසිදු කරනවා. අර රන්වලට තව ගිනි පිඹ හැරලා හොඳට සුද්ද කළාම කහටත් ඉවත් වෙනවා. එතකොට රන් පිරිසිදුයි. මෘදුයි. නම්‍යශීලීයි. ක්‍රියාවට යෝග්‍යයි. ප්‍රභාෂ්වරයි. දීප්තිමත්. කැඩෙන්නෙ නෑ. ඕන විදිහට, මාල, වළලු, තැලි, කරාඹු ආදී ආභරණ හදන්න පුළුවන්.

ඒ වගේ හිත ඉතා හොඳින් තමා තුළ පිහිටන කලක් එනවා. හොඳට තැන්පත් වෙලා සමාධිමත් වෙනවා. ඒ සමාධිය ශාන්තයි. ප්‍රණීතයි.

(සුවණ්ණකාරක සූත්‍රය, අං. නි. 1)

ඒ සමාධිය මේ වගේ..

සැපත් දුකත් ප්‍රහාණය කරලා කලින්ම (මානසික) සොම්නසත්, දොම්නසත් ඉක්මවලා, දුක් සැප රහිත පාරිශුද්ධ උපේක්ෂා සහගත සිහිය ඇති හතරවන ධ්‍යානය උපදවාගෙන වාසය කරනවා. ඔහු කය පුරාම ප්‍රභාෂ්වර සිත පතුරුවාගෙන ඉන්නවා.

මේ විදිහට, එකඟ වූ සිත, පිරිසිදු වුණාම, ප්‍රභාෂ්වර වුණාම, කෙලෙස් බාධා නැති වුණාම, උපක්ලේශ බැහැර වුණාම, මෘදු වෙලා, කර්මණ්‍ය වෙලා, ස්ථිරව පිහිටියාම, අකම්පිතව පිහිටියාම, ඤාණ දර්ශනයට හිත යොමු කරන්න පුළුවන්. ඒ වගේම මනෝමය කාය මවන්න, ඍද්ධිවිධ ඤාණය, දිව්‍ය කන, අනුන්ගේ සිත් දැකීම, පෙර ජීවිත දැකීම, චුතිය, උපත දකින දිවැස වගේ අති මානුෂීය හැකියා මේ සිතේ උපදවන්ට පුළුවන්.

ඒ විතරක් නෙමේ, සියලු කෙලෙස් නසලා ජීවිතාවබෝධය ලබාගෙන ආසවක්ඛය ඤාණය ලද රහතන් වහන්සේනමක් වෙන්නත් පුළුවනි. ඒ අරහත් සිත ආයේ කවදාවත් කිලිටි වෙන්නෙ නෑ. සෙලවෙන්නෙ නෑ. සැලෙන්නෙ නෑ. චපල නෑ.

අපගේ භාග්‍යවතුන් වහන්සේ ගුරු උපදේශ නැතිවම මේ වික්‍රමය කළා! අනන්ත සසරේ කිලිටි වූ සිත ප්‍රභාෂ්වර කළා. ප්‍රභාෂ්වර සිත ස්ථිර බවට පත් කරලා ලෝකයටත් සිත ජයගන්නා මාවත විවර කළා.

ඒ නිසා, සිතේ කිලිටි හේතුවෙන් ඇතුළත් පිටත් ගැට ගැහෙන, අර්බුදවල පැටලෙන, සසරේ තවම දුක් විඳින ඔබටත් මටත්… ප්‍රභාෂ්වර සිතැති, චිත්ත වශීබලප්‍රාප්ත භාග්‍යවතුන් වහන්සේගේ සරණින් සිත පිරිසිදු කරගන්ට වාසනාව ලැබේවා!

මහමෙව්නාව අනගාරිකා අසපුවාසී මෑණියන් වහන්සේනමක් විසිනි.