මේ ලෝකයේ මිහිපිට දෙපා ඇති බොහෝ මිනිසුන්ට ද ඒ වාගේ ම අහස් කුසෙහි, පොළෝ අවට විමන්හි සිටින දෙවියන්ට ද ඒ සියල්ලට ම ඉහළින් සිටින බ්‍රහ්මයන්ට ද නො ලැබිය හැකි උතුම් සැපයක් මිහිපිට ඇත්තේ ය. ඒ සැපය වූ කලී ඉතා විශාල, විඳිනට මිල මුදල් වියදම් කළා කියා හෝ රන්, රිදී, මුතු, මැණික් වියදම් කළා කියා හෝ නො ලද හැකි උතුම් සැපයකි.

ඒ උත්තරීතර සැපය කුමක් ද යත්,

උතුම් සම්බුදු සසුනේ පැවිදි ව ලබන්නා වූ සැපය යි. මේ පැවිදි සැපය ගැන අපගේ භාග්‍යවතුන් වහන්සේ මෙසේ දේශනා කොට ඇත්තේ ය.

“ද්වේමානි භික්ඛවේ සුඛානි. කතමානි ද්වේ? ගිහී සුඛඤ්ච, පබ්බජ්ජා සුඛඤ්ච. ඉමානි ඛෝ භික්ඛවේ ද්වේ සුඛානි. ඒතදග්ගං භික්ඛවේ ඉමේසං ද්වින්නං සුඛානං යදිදං පබ්බජ්ජා සුඛං”

“පින්වත් මහණෙනි, මේ සැපයන් දෙකක් තියෙනවා. ගිහි සැපයත්, පැවිදි සැපයත් ය. පින්වත් මහණෙනි, මේ තමයි සැපයන් දෙක. පින්වත් මහණෙනි, මේ සැප දෙක අතුරින් යම් පැවිදි සැපයක් ඇද්ද, එය තමයි අග්‍ර වන්නේ.”

(අං. නි. 01 – සුඛ වර්ගය)

ඒ මක් නිසා ද යත්, ගිහි ගෙයි වසන අයෙකුට මිල මුදල්, ගේ දොර ඉඩ කඩම්, යාන වාහන, දරු මුණුබුරන්, ඉහල රස්සාවන් ආදි ඉහළ පංච කාමයන් පිරිවරා සිටීමට සිදු වී තිබේ. ඒ නිසා ම ඔවුන්ට දරුණු දුක් වේදනා විඳින්නට සිදුවන වාර අනන්ත ය. හරියට ආහාර නො ලැබුව ද එයත් ඉතා දුකකි. තමාට ආශා ඇඳුම් පැලඳුම්, යාන වාහන නොලැබීම ද මහත් දුකකි. පවුලේ අනිත් උදවියගේ ලෙඩ දුක් ඕනෑ එපාකම් ගැන සොයා බැලීමට නිතර ම සිදුවේ. එය ද ගිහි ගෙදර වසන්නෙකුට මහත් කරදරයකි. දුකකි.

එහෙත් ඒ සියල්ල පසෙකලා ඔවුන්ගේ කාම පරිලාහය සන්සිඳුවා ගැනිමට මහා පොරයක යෙදෙති. කෙසේ හෝ ආහාරපාන සොයා ගනිති. ගෙවල් දොරවල් සාදා ගනිති. යාන වාහන ගනිති. බොහෝ විට දුගී දුප්පතුන් පවා ණය තුරුස් වී, ඒ තමන්ගේ පංච කාමාශාව සන්සිඳුවා ගනිති. ඒ මඟින් ඔවුනට මහත් වූ දුක්ඛස්කන්ධයක් විඳීමට සිදුවන බව භාග්‍යවතුන් වහන්සේ ඉණ සූත්‍රයේ දී දේශනා කොට වදාළ සේක.

“මෙසේ පින්වත් මහණෙනි, ලෝකයේ කම් සැප අනුභව කරන කෙනෙකුට දිළිඳු බවත් දුකකි. ලෝකයේ කම් සැප අනුභව කරන කෙනෙකුට ණය ගැනීමත් දුකකි. ලෝකයේ කම් සැප අනුභව කරන කෙනෙකුට පොළිය වැඩීමත් දුකකි. ලෝකයේ කම් සැප අනුභව කරන කෙනෙකුට චෝදනා ලැබීමත් දුකකි. ලෝකයේ කම් සැප අනුභව කරන කෙනෙකුට ණයකරුවන් හඹා ඒමත් දුකකි. ලෝකයේ කම් සැප අනුභව කරන කෙනෙකුට සිරගත වීමත් දුකකි.”

(ඉණ සූත්‍රය, අං. නි. 04)

එහෙත් මේ කිසි දුකක් ඔවුනට දුකක් ලෙස නො හැඟේ. ධර්මය නොදත් අඥාන ජනයා විසින් මේ කාම සැපය ඉතා උසස් ලෙස සැලකුව ද එය කිසිම හරයක් නැති දෙයකි. එය වූ කලී පුහු සැපයකි.

එහෙත් ඒ සමාජයේ ම උපත ලබා ඒ තුළ ම හැදී වැඩී කාම ආශා දුරු කොට අනගාරික බුදු සසුනේ පැවිදි වී සසුන් බඹසර වසන්නා වූ ඒ උතුමන් ලබන සැපය වනාහි හිස් නො වූ එකකි. ඉතා හරවත් සැපයකි.

නිතර පංච කාමයන් නිසා ලේ වැකුණු අතින්, දඬු මුගුරු අවි ආයුධ ගත් අතින් සිටින මිනිසුන් ඇති සමාජයේ, කාමයන් නිසා ඕනෑ ම අයෙකු මරණයට පත් කිරීමට වෛරී සිත් ඇති මිනිසුන් සිටින සමාජයේ, ඒ පැවිදි උතුමන් අපමණ මෛත්‍රියක් සියලු සතුන් කෙරෙහි පතුරුවා වැඩ සිටිති.

කාමය පිපාසයක් ව පවතින මිනිසුන් ඒ කාම පිපාසාව නිවා ගන්න අන් අයගේ දේ සොරකම් කරන්නවුන්, තම ඤාතීන් පෝෂණය කරන්නට සොරකමේ යෙදෙන මිනිසුන් සිටින සමාජයේ, පැවිදි උතුමන් ලද දෙයින් සතුටු ව සොරකම අතහැර ඉතා උසස් ජීවිතයක් ගත කරයි.

ළාමක කාම ආශාව නිවා ගන්නට නොයෙකුත් අපරාධ කරන සමාජයේ, බොරු කියන, මත්ද්‍රව්‍ය භාවිතයට පෙළඹුණ, අනාචාරයේ හැසිරෙන, මිල මුදල් සෙවීමට නිතර වෙහෙසෙන මිනිසුන් සිටින සමාජයේ පැවිදි උතුමන් ඒ සියල්ල හැර දමා විරාජමාන ව නිරාමිස වූ සැපයක් සිතිනුත්, ගතිනුත් විඳිමින් වැඩ වසන සේක.

මේ පැවිද්දේ අගය දත්, සැපය දත්, එකල රාජ රාජ මහාමාත්‍යයන්, සිටුවරුන් පවා පැවිදි වූ බව දේශනාවන්හි සඳහන් වේ. ‘යස කුල පුත්‍රයා, මහා කප්පින රජු, පුක්කුසාති රජතුමා, රට්ඨපාල කුමරු’ ඒ අය අතර කීප දෙනෙකි. ඇත්තෙන්ම මේ පැවිද්දේ සැපය බාහිරින් මැනිය නො හැකි ය. උන්වහන්සේලා සිතින් පොහොසත් ය. ඒ උතුම් පෝසත්භාවයට හා උතුම් පැවිදි සැපයට මේ කථාව හොඳ උදාහරණයකි.

අතීතයේ බරණැස අරින්දම නම් රජ කෙනෙකුන් විය. ඒ රජුගේ උයනේ එක් පසේබුදුරජාණන් වහන්සේනමක් වැඩ සිටියහ. “මවක් නැති පියෙක් නැති ඉතා ගොරහැඩි වස්ත්‍රයක් පොරවා සිටින මේ පැවිද්දා දුප්පතෙකැයි” අරින්දම රජතුමා කී ය. එවිට පසේබුදුරජාණෝ ඉතා මනහර ලෙස පැවිදි සැපය ගැන රජුට වර්ණනා කළ සේක.

01. “න රාජ, කපණෝ හෝති ධම්මං කායේන ඵස්සයං
යෝ ධම්මං නිරං කත්වා අධම්මා අනුවත්තති
ස රාජ, කපණෝ හෝති – පාපෝ පාපපරායණෝ.”

“මහරජ ආර්ය මාර්ගයේ ලෝකෝත්තර ධර්මය ලබා ගත් තැනැත්තා දුප්පතෙක් නො වේ. යමෙක් ධර්මය බැහැර කොට අධර්මය අනුව සිටී ද පව්කාරයෙකු වන, පව්කාරයන්ට ම උපකාර වන ඒ තැනැත්තා ම දුප්පතා ය.”

02. “සදාපි භද්‍රමධනස්ස අනාගාරස්ස භික්ඛුනෝ
න තේසං කොට්ඨේ ඕපෙන්ති න කුම්භිං න කලෝපියං
පරනිට්ඨිත මේසානා තේන යාපෙන්ති සුබ්බතා.”

“මහරජාණෙනි, නිවහනක් නැති, පැවිද්දෝ ධන ධාන්‍ය කොටුවල, භාජනවල රැස් කොට තබා නොගනිති. ගෙපිළිවෙළින් පිණ්ඩපාතේ වඩිමින් ලද ආහාරයෙන් කුස පුරවා ගනී. ඒ නිසා ඒ පැවිද්දන්ට හැමදා ම හොඳ ය. හැමදාම සැප ය.”

03. “දුතියම්පි භද්‍රමධනස්ස අනාගාරස්ස භික්ඛුනෝ
අනවජ්ජජිණ්ඩෝ භොත්තබ්බෝ න ච කෝචු පරෝධති.”

“පැවිද්දා විසින් අධාර්මිකව ප්‍රත්‍ය සොයා නො ගනී. දැහැමින් ලද දෙයින් යැපෙත්. එසේ නිවැරදිව ජීවත් වන පැවිද්දා හට කෙලෙස් පීඩා නො කරයි. එබැවින් ඒ උතුමන්ට දෙවනුව ද ඉතා සැප ය.”

04. “තතියම්පි භද්‍රමධනස්ස අනාගාරස්ස භික්ඛුනෝ
නිබ්බුතෝ පිණ්ඩෝ භොත්තබ්බෝ න ච කෝචු පරෝධති.”

“පැවිද්දා විසින් දැහැමින් ලද ආහාර කෙලෙස් නූපදවන විදිහට පරිහරණය කරයි. කෙලෙස් ඉපදීමට හේතු ඉපදීමට හේතු නොවන ආහාරයක් වළඳන්නා වූ, ගෙයක් නැත්තා වූ, ධනය නැත්තා වූ පැවිද්දාට තුන්වනුව ද හොඳ ය. සැප ය.”

05. “චතුත්ථම්පි භද්‍රමධනස්ස අනාගාරස්ස භික්ඛුනෝ
මුත්තස්ස රට්ඨේ චරතෝ සංගෝ යස්ස න විජ්ජති.”

“මේ මගේ නෑදෑයා ය, මේ මාගේ දායකයා ය කියා ගිහියන් කෙරෙහි ඇලීමක් නැති, රටේ හැසිරෙන පැවිද්දාට කිසි බන්ධනයක් නැත්තේ ය. එයින් ධනය නැත්තා වූ, ගෙයක් නැත්තා වූ, පැවිද්දාට හතරවනුව ද හොඳ ය. සැප ය.”

06. “පඤ්චමම්පි භද්‍රමධනස්ස අනාගාරස්ස භික්ඛුනෝ
නගරම්හි දය්හමානම්හි නාස්ස කිඤ්චි අහාරථ.”

“නගරයක් ගිනි ගත්ත ද ගෙයක් නැති, ධනය නැති පැවිද්දාගේ කිසිවක් නො දැවෙයි. එහෙයින් පස්වනුව ද ගෙයක් නැති, ධනය නැති පැවිද්දාට හොඳ ය. සැපය.”

07. “ඡට්ඨම්පි භද්‍රමධනස්ස අනාගාරස්ස භික්ඛුනෝ
රට්ඨේ විලුම්පමානම්හි නාස්ස කිඤ්චි අහාරථ.”

“හොර හතුරන් පැමිණ රට ම කොල්ල කා ගියත් ධනයක් නැති, ගෙයක් නැති පැවිද්දාගේ කිසිවක් නොගෙන යන්නේ ය. එහෙයින් හයවනුව ද හොඳ ය. සැප ය.”

08. “සත්තමම්පි භද්‍රමධනස්ස අනාගාරස්ස භික්ඛුනෝ
චෝරේහි රක්ඛිතං මග්ගං යේ චඤ්ඤේ පරිපත්ථිකා
පත්තචීවරමාදාය සොත්ථිං ගච්ඡති සුබ්බතෝ.”

“කොල්ලකෑමට සොරුන් රැක සිටින්නා වූ ද, බදු අයකරන්නන් රැක සිටින්නා වූ ද, සොරුන්ට ද වුවමනා නැත්තා වූ ද, බදු අය කළ යුතු දෙයක් නො වන්නා වූ ද, පා සිවුරු ගෙන ධනය නැති, ගෙයක් නැති පැවිද්දා සැපසේ යන්නේ ය. එසේ යන්නට ලැබීමෙන් පැවිද්දාට සත්වනුව ද සැප ය.”

09. “අට්ඨමම්පි භද්‍රමධනස්ස අනාගාරස්ස භික්ඛුනෝ
යං යං දිසං පක්කමති අනපෙක්ඛෝව ගච්ඡති.”

“පරිස්සමට කිසිවක් නො තබන ලද, කිසි වස්තුවක් නැති පැවිද්දා යම් තැනකට යන්නේ ද පා සිවුරු ගෙන උන් තැන අපේක්ෂාවක් නොමැතිව නිදහස් ව යන්නේ ය. එය අටවනුව ද පැවිද්දාට උතුම් සැපයකි.”

(ගාථා ඇසුර – රේරුකානේ චන්දවිමල මහ නා හිමි රචිත ශාසනාවතරණය ග්‍රන්ථයෙනි.)

මේ ගාථාවලින් පැවසූ අන්දමට ඉතාමත් සරල ජීවිතයක් ගත කරන්නෝ මෙලොව සිටී නම් ඒ පැවිදි උතුමන් ය. ඉතා සැපවත් වූ, කිසි දෙයකට බැඳීමක් නැති වූවන් ද ඒ උතුමන් ය.

දෙව් ලොවවත්, බඹ ලොවවත් නොමැති උතුම් පැවිද්ද ඇත්තේ මේ මනු ලොවේ පමණි. ඒ පැවිද්ද කෙතරම් පිවිතුරු ද? නිර්මල ද? ඒ උතුම් කෘත්‍යය වනාහි මේ ලෝකයේ සෑම අයෙකුට ම ලද නො හැකි උතුම් වාසනාවන්ත දෙයකි. තමන්ගේ දෙමව්පියන්, නෑ හිතමිතුරන්, ගෙවල් දොරවල් අතහැර ඉතා දුෂ්කර ව ලද දෙයින් සතුටු ව දිවි ගෙවන පැවිදි උතුමන්ට අපගේ නමස්කාරය වේවා!!!

සටහන – සංජීව ධර්මදාස