පින්වත් දරුවනි,

මං මුලින් ම පින් අනුමෝදන් කරන්න හිතුවා. අපේ හීනයක් තිබුණා ස්වර්ණමාලී මහා චෛත්‍යය වටා සුදු යකඩ කණු සිටුවා ධජ පතාක පලන්දලා, ඒ භාග්‍යවතුන් වහන්සේ පාරමිතා පුරන සමයෙහි බෝධිසත්වයන් ව වැඩ ඉන්න කාලයේ දී එක්තරා පසේබුදුරජාණන් වහන්සේනමකගේ ධාතු ස්තූපයකට උන්වහන්සේගේ උතුරු සළුව රිටක සිටුවා පූජා කරලා යම් ධජ පූජාවක් කළා ද, ඒ පිනේ විපාක විදිහට උන්වහන්සේ රතන සූත්‍රය දේශනා කිරීමට විශාලා මහනුවර වැඩම කළ මොහොතේ දී මහපොළවේ සිට අකනිටා බඹ ලොව දක්වා ධජ එසවුණා. ඒ භාග්‍යවතුන් වහන්සේගේ ඒ ආමිස පූජාවට උපහාර වශයෙන් ධජ කණු එකසිය දහයක් මහ සෑය වටා අපි පිහිටවූවා. අපි ඒ ධජ පිහිටුවනකොට කොඩි කණු පිහිටෙව්වේ මහපොළවේ. ඒ මහපොළව අපි සැලකුවේ සත්පුරුෂ භූමිය ලෙසයි. මේ ලෝකයේ සත්පුරුෂ භූමිය කියලා භූමියක් තියෙනවා. ඒ භූමියේ තමයි ඒ ස්ථම්භ පිහිටෙව්වේ. ඒ සත්පුරුෂ භූමිය තමයි කළගුණ දන්නා බවක් ඇද්ද, කළගුණ සිහි කිරීමක් ඇද්ද, කෙනෙකුට යම් උපකාරයක් ලැබුණා ද ඒ උපකාර නිතර මතක් වෙනවා ද, ඒක දන්නව ද, තමන්ට සියල්ලට පෙර ඒ කළගුණ මතක් කළ හැකි නම් එය සත්පුරුෂ භූමිය යි.

සියලු ගුණධර්ම වැඩෙන්නේ ඒ සත්පුරුෂ භූමිය තුළ යි. අපි ඒ කොඩි කණු හිටෙව්වේ ඒ සත්පුරුෂ භූමියේ. ඒ කොඩිය නංවන කණුවක් තියෙනවා. ඒවට කියනවා ඒසිකා ස්ථම්භ කියලා. ඒ ස්ථම්භය තමයි ශ්‍රද්ධාව. භාග්‍යවතුන් වහන්සේගේ අවබෝධය කෙරෙහි ඇති පැහැදීම නම් වූ ස්ථම්භ එකසිය දහයක් පිහිටවූවා.

ඒ ශ්‍රද්ධාව ඇති වුණාට පසුව ඒ කෙනාට ලැබෙන දෙයක් තියෙනවා. භාග්‍යවතුන් වහන්සේ හැමදාම වර්ණනා කළේ ප්‍රඥාවයි. ඒ භාග්‍යවතුන් වහන්සේගේ ප්‍රඥාවට උපහාර පිණිස අපි ප්‍රඥාව නම් වූ ධජ පැලැන්දුවා. ඒ ධජ අදත් මහ සෑය වටේ ලෙළදෙනවා. ඊට අමතරව සිව් කොණේ ස්තම්භ හතරක් තියෙනවා. ඒ ස්තම්භ හතරේ අපි විශාල ධජ හතරක් පිහිටෙව්වා. අපට ඒ ධජ පූජා කරද්දී ලොකු ගුණ සමූහයක් වැඩුණා. අපිට ඉවසන්න සිද්ධ වුණා. අපි කණු හදද්දී “ඔහොම හදන්න එපා. අපි හදලා දෙන එක දාන්න.” කීවා. අපි ඉවසුවා. අපි අඩි තිහක් දාන්න හදද්දී කිව්වා “තිහක් දාන්න එපා. විසිපහක් කරන්න.” කියලා. අපි පහක් අඩු කළා. අපි කණුවලට බෝල දාන්න හැදුවා. “බෝල දාන්න එපා” කීවා. “ආ දැන් කොඩි දාන්න.” කීවා. දැම්මා. අපි ඉවසුවා. කියන දේ ඇහුවා. කීකරු වුණා. අවස්ථාව එනකම් බලාගෙන හිටියා ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ උදෙසා ධජ පූජා කරන්න.

මම අද කල්පනා කළා බුදුරජාණන් වහන්සේ කව්ද කියලා ටිකක් කියලා දෙන්න. අපිට බැරි වුණේ ඒ දේ තේරුම් ගන්නයි. බුදු වෙනවා කියලා මොකක්ද මේ කර ගන්න දේ කියලා. නැත්නම් මොකක් හරි අද්භූත නීතිරීති ටිකක් පනවනව ද? අපිට දඬුවම් පනවනව ද? අපිට වදයක් දෙන්න ආපු කෙනෙක් ද? කියලා තේරුම් ගන්ට ඕන. එහෙම තේරුම් ගන්ට බැරි වුණොත් අපිට අනිත් ශාස්තෘන් වහන්සේලා කියාගන්න අයගේත්, අපි සරණ ගිය ශාස්තෘන් වහන්සේගේත් වෙනස හොයාගන්ට බෑ. මොකද මේ ලෝකයේ තියෙන සත්‍යයක් තියෙනවා. ඒක බුදු කෙනෙක් පහළ වුණත්, බුදු කෙනෙක් පහළ නො වුණත් මේ ලෝකයේ සිද්ධ වෙන රටාවක් තියනවා.

මේක අපිට පේන්නේ නෑ. අපිට පේන්නේ මොනව ද? ඉපදෙනවා පේනවා. ඉස්කෝලෙ යනවා. ලොකුමහත් වෙනවා. නාකි වෙනවා. මැරෙනවා. ඔච්චරයි නේ. ඊට පස්සේ අපිට ඊ ළඟ උපත හැදෙනවා පේන්නේ නෑනේ. වෙන මුකුත් පේන්නේ නෑ. නමුත් බුදුරජාණන් වහන්සේලා ඔන්න ඕක දකිනවා. අපිට ඒක පේන්නෙ නැත්තේ මේ ලෝකය සම්පූර්ණයෙන් ම වැහිල තියෙනවා අන්ධකාරයකින්. ඒක උන්වහන්සේ උපමාවකින් කියලා දුන්නේ බිත්තර ගෙඩියක් අස්සේ ඉන්නවා වගේ කියලා. බිත්තරයක් අස්සේ නම් හැමදාම ජීවත් වෙන්නේ එයා එයින් පිට ලෝක ගැන මුකුත් ම දන්නෙ නෑ. මහ බෝසතාණන් වහන්සේත් ඉපදුණේ බිත්තරයක් අස්සේ ම යි, පිට නෙමේ. ඒ අස්සේ ම ඉඳගෙන බොහෝ කාලයක් කරපු පින් හේතු කොටගෙන හැමට ම කලින් අර බිත්තර කට්ට පලා ගත්තා. තමන් විසින් ම තුඩෙන් ඇනලා බිත්තර කට්ට හිල් කර ගත්තා. අපිට ඒ බිත්තර කට්ට හිල්කර ගන්න බැරි වුණේ අපේ හොට හයිය නෑ. අපේ හොට මොට්ටයි. අපි කොට කොට ඉන්න ඇති. ඒත් කැඩුනෙ නෑ. මහ බෝසතාණන් වහන්සේට පුළුවන්කම ලැබුණා ඉස්සෙල්ලාම ඒ බිත්තර කටුව කුඩුකර ගන්න. කුඩුකර ගත්ත ගමන් දැක්කා ආලෝකයක් තියෙන ලෝකයක්.

ඉස්සෙල්ලාම ඒ කටයුත්ත කළේ උන්වහන්සේ නිසා උන්වහන්සේට කියනවා සියලු දෙනාට ජ්‍යෙෂ්ඨයා කියලා. උන්වහන්සේ සියලු දෙනා අතර ශ්‍රේෂ්ඨත්වයට පත් වුණේ පළමුවෙන් ම බිත්තර කටුව කුඩු කළ නිසා. ඒ බිත්තර කටුවට තමයි අවිද්‍යාව කියන්නේ. මේ ලෝකය වසාගත්ත අන්ධකාරය මුලින් ම දුරු කළ කෙනා. ඒ නිසා ඒ කෙනා ජ්‍යෙෂ්ඨ වෙනවා. ශ්‍රේෂ්ඨ වෙනවා.

එහෙම කඩාගෙන, අනිත් අයට කටුව කඩාගන්න හොට මුවහත් කර ගන්න හැටි කියලා දුන්නා, “මෙහෙමයි තුඩ ශක්තිමත් කර ගන්නේ. මෙහෙමයි නියපොතු ශක්තිමත් කර ගන්නේ.” කියලා. භාග්‍යවතුන් වහන්සේගේ ජ්‍යෙෂ්ඨත්වය පිළිගන්න කෙනා, ශ්‍රේෂ්ඨත්වය පිළිගන්න කෙනා, අන්ධකාරයෙන් නිදහස් වුණ කෙනා කියලා පිළිගන්න කෙනා අර අවවාද පිළිපදිනවා. ඒ අවවාදය අනුගමනය කරනවා. කුමක් පිණිස ද? තමන්ට නිදහස් වීම පිණිස.

අපිට බැරි.., මේ ළඟ දී කෙනෙක් ප්‍රශ්නයක් ඇහුවා. දුක හිතුණා ඒ කෙනා ගැන. ගොඩාක් දුක හිතුණා. භාග්‍යවතුන් වහන්සේ දැක්කා මේ ලෝකයේ පුද්ගලයෝ දෙන්නෙක් ඉන්නවා. මේ ලෝකයෙ කොච්චර මනුස්සයෝ හිටියත් ඒ ගොල්ලෝ ගොඩවල් දෙකයි. එක ගොඩක් අසත්පුරුෂ බාලයා. අනිත් කෙනා සත්පුරුෂ පණ්ඩිතයා. බාලයාට ගුණයකට පහදින්න බෑ. එයාට ගුණයක් දකින්න බෑ. එයාට තේරෙන්නෙ නෑ තමන් පීඩාවක් විඳින බව, අනිත් අය පීඩාවක් විඳින බව එයාට තේරෙන්නෙ නෑ. අසවල් කෙනාගේ මේ ගුණය තියෙනවා කියන එක තේරෙන්නේ නෑ. මේක ගුණයක් වශයෙන් හඳුනන්නේ නෑ. මේවයි දුරුකර ගන්න ඕන, මේවයි ඇතිකර ගන්න ඕන කියන එක තෝරා බේරා ගන්න දක්ෂ නෑ. ඒ හින්දා එයා අතහරින්න ඕන දේවල් ළඟ තියා ගන්නවා. ගරහන්න ඕන දේවලට ප්‍රශංසා කරනවා. ප්‍රශංසා කරන්න ඕන දේවලට ගරහනවා. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ වදාළා එයා අමු සොහොනෙ තියෙන මළකුණක් වගේ කියලා. “පින්වත්නි මෙන්න මේ පුද්ගලයා තරම් කෙනෙකුගේ දියුණුවට බාධාවක් වෙන කෙනෙක් බුදු ඇසින් මම තවත් දකින්නෙ නෑ.” කියලා. ඒ කෙනා කිසි දවසක සම්මා සම්බුදුරජාණන් වහන්සේට ප්‍රශංසා කරන්නෙ නෑ. ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ධර්මයට ප්‍රශංසා කරන්න නෑ. ඒ රහතන් වහන්සේලාට ප්‍රශංසා කරන්නෙ නෑ. හැබැයි එයාට පුහු වීරත්වයක් එනවා. බුදු කෙනෙකුට ගැරහුවා ම එයාට එනවා වීරත්වයක්. නිවන් මගට ගරහපුවා ම එයාට එනවා වීරත්වයක්. ධර්මය විවේචනය කරද්දී ලොකු වීරත්වයක් එනවා. රහතන් වහන්සේලා විවේචනය කරද්දී වීරත්වයක් එනවා. යමෙක් දන් දෙනව ද එයාව විවේචනය කරහම එයාට ලොකු වීරත්වයක් එනවා. ඒක අර බාලයාගේ ලක්ෂණය. මේ කෙනා ව ඇසුරු කරන්න එපා ය කීවා.

ඒකට භාග්‍යවතුන් වහන්සේ උපමාවක් වදාළා මෙහෙම. කුස තණ, කුස තණ ගහේ කොළෙත් සුවඳයි. හොඳ වටිනා බෙහෙත් ඖෂධයක්. ඒ ශාක පත්‍රයේ භාග්‍යවතුන් වහන්සේගේ සිරිපතුල් පිහිටලා තියෙනවා. ඒ කුස තණ අතුරලා ඒ මත තමයි භාග්‍යවතුන් වහන්සේ චතුරංග සමන්නාගත වීර්යයෙන් සම්බුද්ධත්වය පිණිස බෝධි මූලයේ වාඩි වුණේ. ඒ නිසයි කුස තණවලට වටිනාකමක් තියෙන්නේ. ඒ භාග්‍යවතුන් වහන්සේ වජිරාසනයට, ආසනයට අතුරපු එක. ඒ කුස තණ ගොඩ උඩ බළල් කුණක් හරි, සර්ප කුණක් හරි තියලා තියෙනවා. තිබ්බහම අර කුණ අයින් කළත් මොකද වෙන්නේ, අර බළල් කුණේ තියෙනෙ ගඳ ගහනවා. ඒ වගේ තමයි අසත්පුරුෂ පුද්ගලයෙක් සමඟ යමෙක් ඇසුරු කරනව ද භජනය කරනව ද කලක් යද්දී අසත්පුරුෂයාගේ මේ යම් දුර්ගන්ධයක් තියෙනවා ද ඒ කියන්නේ, අසත්පුරුෂ ක්‍රියාවක් තියෙනවා ද මෙයා තුළත් තියෙනවා. අසත්පුරුෂයාට කළගුණ නැද්ද මෙයාටත් නෑ. අසත්පුරුෂයා ධර්මයට ගරහනවා ද මෙයත් ගරහනවා. අසත්පුරුෂයා සිල්වතුන්ට නින්දා කරනවා ද මෙයත් නින්දා කරනවා.

මට දුක හිතුණු කාරණය මේකයි. මම ඔය කාරණය කෙනෙකුට කියනකොට “අපිට බැරි ද අසත්පුරුෂයෙක් ළඟ ඉන්නකොට එයාගෙ නරක ගන්නේ නැතුව ඉන්න.” කියලා ඒ කෙනා මගෙන් ඇහුවා. මං කල්පනා කළේ අසත්පුරුෂයෙකුගේ තියෙන දුෂ්ප්‍රාඥ ගතිය ඒ දරුවටත් තියෙනවා. ඒක මේ වගේ, කුස තණ ගොඬේ බළල් කුණ තියලා කුණු ගඳ ගහන්නෙ නැතුව ඉන්න බැරි ද කියලා අහනවා වගේ. එයාට නැත්තේ ශ්‍රද්ධාව. ශ්‍රද්ධාව මනින තැන ඔතන, මොකද ඒ උපමාව මගේ එකක් නෙමෙයි, සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ. මොකද ඊ ළඟට ඒ කුස තණ ගොඩට බළල් කුණේ ගඳ ආවහම, ඊ ළඟට ඉහඳ මැස්සෝ එන්නේ. සමනල්ලු එන්නේ නෑ. මල් පැණි බොන චූටි පැණි කුරුල්ලෝ එන්නේ නෑ. මී මැස්සෝ එන්නේ නෑ. එන්නේ ඉහඳ මැස්සෝ. යම් තාක් පාපී මළ පෙරේතයෝ ඇද්ද කුම්භාණ්ඩයෝ ඇද්ද ඔක්කොම උන් ටික ළං වෙනවා. දෙවිවරු පැත්ත පළාතක් බලන්නෙ නෑ. සත්පුරුෂ ඇසුර එහෙම පිටින් ම නෑ. එතකොට ඇයි අපි බුදුරජාණන් වහන්සේගේ අවවාදයට ගැටෙන්නේ? එයාට අසත්පුරුෂයා සේවනය කිරීම තුළ යම් වින්දනයක් තියෙනවා. එක්කෝ එයාගෙ හිස් කථාවලින් වින්දනයක් තියෙනවා. එයාට ඒ වින්දනයත් ඕන. ඒකයි ඒ චුට්ටක් බැරි ද කියලා අහන්නේ.

තවත් කොටසක් මීළඟ කලාපයේ…
සටහන – පින්නපොල ගුරුපියාණන්