අනුවණ දුරැර සැප – වාසය කර මේ ලොවෙහි මොනවට
ලෝකෝපකාරය – බලව් සැප ලැබගන්ට සගමොක්…

සුචරිත මාර්ගයේ උසස් බවත්, දුෂ්චරිත මාර්ගයේ පහත් බවත් ප්‍රකාශ කිරිමේ පුරුද්ද සාහිත්‍යකරුවන් තුළින් ඉස්මතු වී ඇත. සමාජය ශිෂ්ට කිරීමට ලේඛකයා නිරතුරුව ම මහන්සියක් ගෙන ඇති බව ඒ ඒ සාහිත්‍යයන්ට නෙත් යොමා බලන විට හොඳින් දැකිය හැකි ය. ලෝවැඩ සඟරාව, සුභාෂිතය, ලෝකෝපකාරය එබඳු ගණයේ ග්‍රන්ථයන් ය.

සංස්කෘත සාහිත්‍යයේ ද උපදේශ කාව්‍ය බොහොමයක් ඇත. පංචතන්ත්‍රය වැනි කථා පොත් මීට නිදසුන් ය. පාලි සාහිත්‍යයේ ධර්මයෙන් කැලතුණු ඔවදන් ජනතාවට බෙදා දුන්නේ ධම්මපදය, ජාතක කථා වැනි කෘතීන්ගෙනි. දෙමළ සාහිත්‍යය ද උපදේශ කාව්‍යයන්ගෙන් පිරිපුන් වූයේ තිරුක්කුරල් නාඩක්යාර් වැනි බොහෝ පොත් මේ සඳහා ලියවුණි.

සමාජය නිතර නොමඟට ගමන් කිරීම සිරිතකි. සමාජය නොමඟට යවන මාධ්‍ය බොහෝ ගණනක් අප අතර ඇත. ඒ සඳහා සමහර චිත්‍රපටි, නාට්‍ය, අසභ්‍ය පොත්පත් පමණක් නොව, නොතිත් කාමාශාවන්ගෙන් පෙළෙන ඇතැමුන්ගේ ක්‍රියාකලාප ද ලොකු හේතුවක් වී ඇත. නීතියෙන් තහනම් කළ යුතු තරමට පොහොසත් අසභ්‍ය වටපිටාවක් වර්තමාන සමාජයේ ඇත. ආර්ථික පදනමක් සොයන ඇතැම් කුහකයන් තමන්ගේ අභිමතාර්ථ මුදුන් පමුණුවා ගන්නේ නොයෙක් සමාජ රෝග, මත්ද්‍රව්‍ය ඇබ්බැහිකම් ආදිය තරුණ තරුණියන්ට බෝ කරමිනි. නූතන සමාජයේ දියුණුව යයි පවසමින් අද වන විට අන්තර්ජාලය, ජංගම දුරකථන, වෙබ් අඩවි, ආදියෙන් වර්තමාන තරුණ තරුණියෝ විනාශය කරා යමින් සිටිති.

සමාජ මට්ටම කවදත් වෙනස් වන්නකි. අයුක්තිය, අධර්මය යම්කිසි සමාජයක රජ කරන විට, මේ විපත දකින මධ්‍යස්ත උගත් ජනයා අනුකම්පාවෙන් කකියන හදවතින් සමාජය සුමගට හැරවීම උදෙසා තමන්ගේ ශක්තිය පාවිච්චි කිරීමට පෑන භාවිත කරති. අපේ සාහිත්‍යයට විටින් විට උපදේශ පොත් එක්වන්නේ මේ නිසා ය.

‘ලෝකූඋපකාරය’ ලොවට කරන උපකාරය යන අරුත ගෙන දෙයි. ලොවට වැඩ වැඩීමට උපකාර වන කියමන්වලින් ලෝකෝපකාරය පොහොසත් ය.

‘නොයෙක් කටයුතුකම් – දන්නා ලෙසට ලොව නැණැති වී
නොයෙක් උපමායෙන් – සැදූ නිරතුරු බලා ගැනුමට
අනුවණ දුරැර සැප – වාසය කර මේ ලොවෙහි මොනවට
ලෝකෝපකාරය – බලව් සැප ලැබගන්ට සඟමොක්’

කතුවරයා කියන අයුරින් ලෝකෝපකාරයෙන් දෙන අවවාද ඒ වූ විදියට ම පිළිගෙන කටයුතු කරන්නාට මෙලොව දියුණුව පමණක් නොව සගමොක් සැප ලබා ගැනීමට ද අපහසු නො වේ. පොත ලියන්නට හේතුව සමාජයේ පවතින දුර්ගුණ නැති කොට, සුගුණ මිනිස් සන්තානවල වගා කිරීම බව කතුවරයාගේ අදහස්වලින් ඔප්පු වේ.

‘ගුණමකු දනන් හා – සමඟ විසුවත් නැණැති සුදනෝ
මනා ගුණ නොහරිත් – කොසඹ තුරැ තුළ බැඳි මීය මෙන්’

අරුත :- බුද්ධිමත් යහපත් අය ගුණමකුවන් හා එක්ව වාසය කළත් ඔවුන්ගේ යහපත් ගුණ අත් නොහරිත්. කොසඹ වෘක්ෂය තුළ බැඳි මීය එහි පැණි රස අතනොහරින්නාක් මෙනි.
සමහරු ලෝවැඩ සඟරාව ලියූ මහනෙත් පාමුල මෛත්‍රිය හිමියන් ලෝකෝපකාරයේත් කතුවරයා බව පවසති.

‘කිත් දිගු බිත් සුසැදු තුති හැම සඳ
මෙත් මහනෙත් පාමුල මහයති සඳ
සත් වග සෙත් කළ සුගනිඳු පද වැඳ
සිත් ලෙස අත් කළ මොක් සැප මන නඳ’

මෙයින් එක එල්ලේ ම කියවෙන්නේ ග්‍රන්ථ කතුවරයා මෛත්‍රිය හිමියන් බව ය. එසේ නම් මේ ග්‍රන්ථයේ කාල සීමාව කෝට්ටේ යුගය තෙක් දිව යයි. අනික් මතය වන්නේ ලෝකෝපකාරයේ කතුවරයා රණස්ගලු තෙර ස්වාමීන් වහන්සේ බවයි. රණස්ගල්ලේ හිමි මහ වියත් පරපුරක කෙනෙකි. තොටගමු වෙහෙරෙහි ශ්‍රී රාහුල හිමිපාණන් වහන්සේගේ ශිෂ්‍යයෙකු වශයෙන් සිටි හිමිනමකි.

‘සිරිසර ගුණැති මහ ගුණ තෙදිනි පරසිදුව සිටී
සිරිපිරි තොටගමුවෙ වෙහෙර බොහොසෙ කල්හැර වැඩ සිටි
කෙළවර කළෙ මෙපොත පුර සත්‍ය සකවස පිරි සිටී
පරපුර වණිජ කුල රණස්ගලු තෙර සාමින්’

මෙම කවියෙන් දැක්වෙන්නේ ව්‍ය. ව. 1799 දී රණස්ගල්ලේ හිමි මෙම පොත රචනා කළ බවයි. මේ මත දෙක නිසා කතුවරයා ගැන අවිනිශ්චිත වශයෙන් සැලකීම යෝග්‍ය ය.

මේ වකවානුව වන විට ගීයට තිබූ සැලකිල්ල හීන වී ගොස් තිබුණි. එහෙත් කතුවරයා ගී මාධ්‍යයෙන් සිය ග්‍රන්ථය රචනා කළේ ය. කතුවරයා මේ උපදෙස් අතුරෙන් බොහෝ උපදෙස් පාලි, සංස්කෘත, දෙමළ යන මූල ග්‍රන්ථයන්ගෙන් ගෙන තම ග්‍රන්ථය සකස් කොට ඇත. ඇතැම් තැනක ජාතක කථාව ම කියා ඇත.

‘දහම් සිතුරුවනට – වඩිනා වතෙක් තුන් ලොව ම නැත්
දහම් සොඬ නරනිඳු – ඉන්වද රකුසා කටට පැන්නේ’

අර්ථය :- ධර්මය සිතූ පැතූ දේ දෙන මාණික්‍යයකි. එබඳු වටිනා දෙයක් තුන් ලොව ම නැත්තේ ය. දහම්සොඬ රජතුමා රකුසාගේ කටට පැන්නේ ඒ නිසා ය.

මෙයින් දහම්සොඬ ජාතකය සිහියට නංවයි.
‘රණහස රිවි සමඟ – දිවත් ජයගති බුදුකුරු විසින්
තිරිසන් ව උපනත් – බෝසතුන් සිතු දෙයක් සිදු වේ’

අර්ථය :- බෝසත් රණහංසයා සූර්යයා සමඟ දිවීමෙන් ජය ගන්නේ ය. බෝසත්වරයෙක් තිරිසන් ව උපන්නත් ඔහු සිතු දෙය ඉටු වීම සිරිතකි.

මෙයින් ජවන හංස ජාතකය ගැන කියවෙයි.

ලෝකෝපකාරයෙහි කතුවරයාගේ ම නිර්මාණයන් සේ ගත හැකි තැන් ද නැත්තේ නො වේ. භාෂාව මටසිලුටු ය. මව්බසෙහි වදන් ම ඇතැම් තැන්වල දක්නට ඇත.

‘මුනිඳුට සරි කෙනෙක් – තුන් ලොව ම නැත් මුනිතුමෙකු මුත්
අපමණ තරු රැසින් – සඳට සරි තරුවක් නොමැති මෙන්’

අර්ථය :- බුදුවරයෙකුට බුදුවරයෙකු හැර සමාන බවක් ඇති කෙනෙක් තුන් ලොවෙහි ම නැත්තාහ. බොහෝ තරු අතර සඳට සමාන තරුවක් නැත්තාක් මෙනි.

‘ඉසුරෙන් පිරිහුණත් – සුදන තම ගුණය අඩු නොකරත්
බිඳුනත් රන් බඳුන – ඇති බර අගය අඩු නොවන මෙනි’

අර්ථය :- යහපත් අය ධනයෙන් පිරිහී ගියත් ගුණයෙන් නොපිරිහෙත්. රන් බඳුන බිඳී ගියත් එහි ඇති බර අගය අඩු නොවන්නාක් මෙනි.

ලෝකෝපකාරයට නොයෙක් අරුත් වියකන් තිබේ. මේ ග්‍රන්ථය දහම් පාසල්හි අවසාන ශ්‍රේණියට හා පාසල්හි අටවෙහි ශ්‍රේණියට නියමිත ව ඇත. එසේ කිරීම පමණක් ප්‍රමාණවත් නො වේ.

නොයෙක් උපමාවෙන් පිරි, උපදේශයන්ගෙන් පිරි මෙම ග්‍රන්ථය ලොකු කුඩා සෑම කෙනෙකුට ම අර්ථ වශයෙන් තේරුම් ගෙන දැනුම ලබා ගැනීමට ඉතා සුදුසු ය. දිනෙන් දින ගුණධර්මයන්ගෙන් පිරිහී යන නූතන සමාජයකට මෙවැනි ග්‍රන්ථ හඳුන්වා දීමට උගත් විද්වතුන් පෙරමුණ ගත යුතු කාලය එළඹී ඇත.

සටහන – ජේ. එම්. මානෙල් පොඩිමැණිකේ