වැහිබර ගතිය නිසා හැමතැන ම හැකරැල්ලො. අහකවත් බලන් ගියොත් නම් හැකරැල්ලෙක් පෑගෙනවා ම යි. පොඩි මල්ලි කෝටුවක් අරන් හැකරැල්ලන්ට තට්ටු කරනවා. ඒ උන් ඇකිලෙන හැටි බලන්නයි. එතකොට අම්මා කෑ ගහනවා. “පොඞ්ඩෝ…! ඔය සත්තු බය කරන්න එපා පුතේ. උන් ටික කොළේකට එකතු කරලා එළියට දාන්න. නැත්නම් පෑගිලා යයි.” පොඩි මල්ලී මොනවා වුණත් හරි කීකරුයි. මල්ලී ලොකු අලිපේර කොළ දෙකක් ඇහිඳන් ඇවිත් පිළ උඩට බඩගාන හැකරැල්ලන් ඉවත් කළා.

“අම්මේ, මුං ඔක්කොම මොකද කැරකිලා ඉන්නෙ, කොම්බුව වගේ?”

මල්ලී ඇහුවේ ඥානවන්ත ප්‍රශ්නයක්. අපේ ලොකු හාමුදුරුවන්ට පින් සිදුවෙන්න බමුණු ඇදහිලි අතහැරලා බුදු බණ පද හිතේ දරාගත්තු අපේ අම්මා පුටු සැටියේ වාඩි වුණා. පොඩි මල්ලි අම්මගෙ ඔඩොක්කුවට පැන්නම මාත් බිමින් වාඩි වුණා.

“පුතේ, ඔය වගේ හැකිළෙන්නේ හැකරැල්ලා විතරක් නෙමේ. ගෝනුස්සො, පත්තෑයො, සර්පයො, පූසො, මුගටියෝ… ඔක්කොම ඉන්නෙ ඇකිළිලා. කොම්බුව වගේ. උන් මිනිස්සුන්ට හරී බයයි. අනිත් සත්තුන්ටත් බයයි. පුංචි කම්පනයක් දැනිච්ච ගමන් ඇකිළිලා හැංගෙනවා පුතේ. ඔය හැමෝම ඉස්සර අපි වගේ මිනිස්සු…”

“මිනිස්සු කොහොමද අම්මෙ ඔච්චර පුංචි සත්තු වෙන්නෙ.” මල්ලීට තවත් ප්‍රශ්නයක්.

“පුතේ මිනිස්සු, සත්තු, පෙරේතයෝ, නිරිසත්තු… දෙවිවරු පවා.. හැමෝම උපදින්නේ කර්මයට අනුව. ඒ කියන්නේ අපි මීට කලින් හිතපු, කරපු, කියපු, දේවල්වලට අනුව තමා දැං ඉපදිලා ඉන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා මයෙ පුතේ, හිතාමතා කරන – කියන – හිතන කිසි ම දෙයක් විපාක විඳලා මිසක් ඉවර වෙන්නෙ නෑ කියලා. එක්කො ඒක මේ ජීවිතේ ම විපාක දෙනවා. එහෙම නැත්නම් ඊ ළඟ ජීවිතේ ප්‍රතිඵල ලැබෙයි. සමහර කර්ම නිවන් දකිනකල් පස්සෙන් ඇවිත් සැරින් සැරේ විපාක දෙනවා. ඉතිං අපි මේ දැං හිතන දේට පවා විපාක හැදෙනවා. විපාකයන් හැදෙනවා කියන්නේ පුතේ, හොඳ දෙයක් – පිනක් කළොත් සැප විඳින්න පුළුවන්. පවු කළොත් දුක් විඳින්න වෙනවා. අපි හැමෝම තනි තනියෙන් අපි කරපුවා විඳවන්න ඕන. ඔයාලා වැරැද්දක් කළොත් ඒකේ විපාකවලින් ඔයාල ව බේරන්න මටවත් බෑ පුතේ. ඒකයි මං පොඞ්ඩාට කීවෙ සතෙක් ව බය කරන්නවත් එපා කියලා.

අපි රැස් කරපු කර්මයට අනුව තමයි පුතේ, අපි උපදින්නේ කොයි ලෝකෙ ද… මනුස්සයෙක් නම්… දුප්පත් පවුලක ද… පොහොසත් පවුලක ද… පිටිසර පළාතක ද… ටවුමක ද… දක්ෂ කෙනෙක් විදිහට ද… ලස්සනට ද… කැතට ද… ඔය ඔක්කොම තීරණය වෙන්නෙ. පවු කරපු කෙනෙක් තිරිසන් ලෝකෙ උපන්නොත් එයා බල්ලෙක් වෙනව ද බකමූණෙක් වෙනව ද නයෙක් වෙනව ද හූනෙක් වෙනව ද හැකරැල්ලෙක් වෙනව ද… කියලා තීරණය වෙන්නෙ. බලන්න පුතේ මේ සත්තු ජාති කීයක් ඉන්නව ද? එක එක පාට, එක එක විදිහෙ සත්තු. බුදුරජාණන් වහන්සේ වදාළනේ මේ සත්ව ලෝකෙ විචිත්‍ර බවට හේතුව, හිතේ ම විචිත්‍ර බව කියලා. ඊට පස්සේ ඉතින් හිත මුල්කරගෙන රැස් කරපු කර්මයට අනුව උපන්න ජීවිතේ ඒ රැස්කළ පින් පව් ගෙවෙන කල් සැප දුක් විඳින්න ඕනි.”

“මොනවා කරල ද අම්මෙ ඒ වගේ සත්තු වෙලා උපදින්නේ?”

“බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා පුතේ… සමහරු සත්තු මරනවා. හරි නපුරුයි. කාටවත් කිසි අනුකම්පාවක් නෑ. රිද්දනවා, ගහනවා, වධ හිංසා කරනවා. මේ පව්වලට කියනවා වක්‍ර කර්මය, ඇද කර්මය කියල. බුද්ධ ශාසනයේ ඍජු කර්ම, කෙළින් කර්ම, පිරිසිදු කර්ම කියන්නේ පින්වලට. සුචරිතයට. එයා ඇද කර්මයක් කරන නිසා එයාට ඇද වෙච්ච ඇඟක් ලැබෙනවා. රවුම් වෙලා යන කර්ම නිසා කැරකිලා යන ජීවිතයක් ලබනවා. එක්කො එයා නිරයෙ උපදිනවා. ගොඩාක් ම පව් කළේ නැත්නම් සත්තු අතරේ උපදිනවා. අනුන්ට දුක් දීලා, වධ දීලා, වධ විඳින ජීවිතයක් ලබනවා. ඊට පස්සේ පුංචි සද්දෙටත් බය වෙවී, මිනිස්සු දැක්කම ඇකිළි ඇකිළී, හැංගි හැංගී බයේ ඉන්නවා.
බලන්න පුතේ, මේ සත්තු කොච්චර විඳවනවද? කාටුන්වල තියෙනවා වගේ ෂර්ට් ඇඳපු, හොටෙල්වල කන, සින්දු කියන සත්තු ඇත්ත ලෝකෙ නෑනෙ. උන් වැස්සට තෙමෙනවා. අඬු කැඩෙනවා. අව්වට කර වෙනවා. කන්න දෙයක් නෑ… ලොකු සතෙක් කොයි වෙලාවෙ උන් ව කයි ද දන්නෙ නෑ. ලෙඩක් වුණොත් බේත් නෑ. සත්තු ලස්සනට පෙනෙන්න හිටියට පුදුම දුකක් විඳින්නේ.”

“සත්තු මරපු අය විතර ද අම්මෙ සත්තු වෙලා උපදින්නෙ?”

“නෑ, පුතේ… හොරකම් කරන අය ඉන්නවා. වෙළඳාම් කරද්දි වංචා කරන අය ඉන්නවා. වැරදි ජීවිත ගත කරන අයත් ඉන්නවා. සමහරු බොරු කියලා අනිත් අය ව රවට්ටනවා. කේළාම් කියලා යාළුවන් ව බිඳවනවා. දරුණු පරුෂ වචන කියල අනිත් අයගේ හිත් තලා දමනවා. ඒ විතරක් නෙමේ පුතේ, හිතින් කරන පවු තියෙනවා. කාගෙ හරි දෙයක් දැකල ආස හිතුණ ම වංචා කරලා ගන්න හිතනවා. තරහෙන් පුපුර පුපුර ඉන්නවා. පළිගන්නවා. සමහරු මෙලොවක් පරලොවක් විශ්වාස කරන්නෙ නෑ. කොටින් ම බුදුරජාණන් වහන්සේවවත් විශ්වාස කරන්නෙ නෑ. ඔය හැම පවක් ම වක්‍ර කර්ම. මේ සසරේ යන අය ව මේ කර්මවලින් නිරයට ඇද දමනවා. කැරකිලා හැංගෙන සත්තු අතර උපදින්නත් හේතු වෙනවා.

ඊට පස්සේ පුතේ, එක පාරක් සත්තු වෙලා උපන්නම ආයෙ ඒකෙ ම උපදිනවා. සමහරු බල්ලො වෙලා ආත්මභාව 500 – 1000 උපදිනවා. හැකරැල්ලො, ගොළුබෙල්ලො, කුරුල්ලො වෙලා ආයෙ ඒකෙ ම උපදිනවා. කර්මය ගෙවෙනකල් උපදිනවා. මේ හැකරැල්ලො වගේ චප්ප වෙලා මැරෙනවා. තෙමිල මැරෙනවා. මිනිස්සුත් සත්තුන්ට වධ දීල මරනවා… කොච්චර දුක් විඳිනව ද උන්.”

“සංසාරේ…” පොඩි මල්ලී සුසුම් හෙළයි.

“ඒ නිසා පුතේ, බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළා, එළිපිටවත් රහසේවත් පව් නම් කරන්න එපා කියලා. මොකද එයා කොච්චර හොරෙන් පව් කළත්… විපාකෙන් හැංගෙන්න බෑනෙ.
ඒ නිසා අපි හැම සතෙක් ගැන ම තමන් ව උපමා කරලා හිතන්න ඕන. මොකද ඒ හැම සතෙක් ම වෙලා අපි ඉඳලා තියෙනවා. එයාලට දැනෙන දුක අපි තේරුම් අරගන්න ඕන. අපි යම් දේකට බය නම්, අකමැති නම් හැම සත්වයෙක් ම ඒ දේවල්වලට බයයි. අකමැතියි.

අපි කැමති නෑ අපට ගහනවාට, බණිනවාට, වධ හිංසා කරනවාට, මරනවාට.. ඉතිං අපිත් කාටවත් හිංසා නො කර ඉන්න ඕන. අපි කැමති නෑ අපි ආස කරන දේවල් කවුරුවත් හොරෙන් ගන්නවාට. අපි කැමති නෑ කවුරුවත් අපි ව බොරු කරල රවට්ටනවාට. අපි කැමති නෑනෙ කවුරුවත් අපේ යාළුවන් ව බිඳවනවට. අපි කැමති නෑනෙ නපුරු දරුණු වචනයෙන් අපිට බණිනවට. අපි කැමති නෑනෙ කවුරුවත් අපේ දේවල් ලෝබකමින් උදුර ගන්නවාට. ඉතිං ඒ වගේ ම යි හැම සත්වයෙක් ම කියල තේරුම් අරන් ඒ දුක අනිත් අයට නො දී ඉන්න ඕන. අපි කැමති නෑනෙ කවුරුවත් අපිත් එක්ක තරහවෙලා රවටනවට. කතා නො කර ඉන්නවට. ගහ බැණගන්න එනවට. ඒ නිසා අපිත් තරහ ආව ම ඉක්මනට තරහ පාලනය කර ගන්න ඕන. ඉවසන්න මහන්සි ගන්න ඕන. තමන්ගෙ තරහෙන් අනිත් අයට දුකක් නො දී ඉන්න ඕන.

ඊ ළඟට දන් දෙන එකෙන්, සිල් රැකීමෙන්, සේවා කටයුතු කිරීමෙන්, හොඳ නරක කර්ම විපාක ලැබෙන්නෙ නෑ කියලා හිතන අය පව් කරනවා. ඒ මිසදිටුව නිසා උපදින පීඩාවට අපි කැමති නෑ. අම්මා තාත්තා විශ්වාස නො කරන අය නිසා දුක් විඳින දෙමව්පියො කොයි තරම් ද? ඕපපාතික සත්වයන් ඒ කියන්නේ නිරය, දෙව්ලොව, ප්‍රේත ලෝක විශ්වාස නො කරන අය පව් කරන්න බය නෑ. බුදුරජාණන් වහන්සේ ව විශ්වාස නො කරන කෙනාත් පවට බය නෑ. ඉතිං එබඳු මිසදිටු අය නිසා උපදින දුකට අකමැතිව, අපි සම්මා දිට්ඨියට එන්න මහන්සි ගන්න ඕන.

ඉතිං පුතේ, කවුරු හරි පවු අතෑරලා මේ විදිහෙ සානුකම්පිත කරුණා සහගත මොළොක් හිතක් ඇති කර ගන්නවා නම්, ජීවිතයට වඩා ආදරෙන් තිසරණයත්, සීලයත් රකිනවා නම්, එයාලට ඒ හැම පව් අභිබවා දෙව්ලොව යන්න පුළුවන්. මාර්ග ඵල ලබන්නත් පුළුවන්.” කියලා අම්මා කවියකුත් කිව්වා.

සිත කය වචනයෙන් පව් කොට හොර රහසේ
පරලොව ගිය විටදි විඳවනු ඇත දුක සේ
හැකිළී සැඟවෙන ලොව ඉපදී මෙලෙසේ
වක් වූ දිවිය ලැබදෙයි කළ කම් නිසි සේ

හනිකට දිවිය වරදින් මුදවා ගන්න
ඍජු කොට මේ දිවිය දහමේ හැසිරෙන්න
දෙව්ලොව උරුම කරගෙන සැප ලැබගන්න
තුන් සරණින් අපා භය වනසාලන්න

(සංසප්පනී පරියාය සූත්‍රය ඇසුරෙනි)
මහමෙව්නාව අනගාරිකා අසපුවාසී මෑණියන් වහන්සේනමක් විසිනි