අපි උපන්දා සිට නොයෙක් දුක් දොම්නස් විඳින්නෙමු. එසේ දුක් විඳින අතරතුර ‘අනේ මැරිලවත් යනවා නම් හොඳයි’ කියා අපට නො සිතුණා ම නො වේ. ඉපදීම නිසා ම දුක් විඳිමින් දුකින් නිදහස් වන්න යැයි කියා ආයෙම පැතුවේ උපතක් ම බව අපට සිතුණේ ද නැත. එසේ නොසිතීමට කාරණය වූයේ නිබඳ ව අපි විඳින දුකට හේතුව දෙමාපියන් දරුවන් නිසා ද දරුවන් දෙමාපියන් නිසා ද ස්වාමියා භාර්යාව නිසා ද භාර්යාව ස්වාමියා නිසා ද ආදි වශයෙන් වෙනත් අයෙකු මත පැටවීම යන කාරණය යි.

නමුත් මේ සියලු දුකට හේතුව ඉපදීම මිස අන් දෙයක් නො වේ. ඒ අවබෝධය අන් කවරෙකුගේවත් නොව ලොව පහළ වූ විස්මිත ප්‍රඥා ඇති සම්මා සම්බුදුරජාණන් වහන්සේලාගේ ය.

ඔබත්, මමත් සරණ ගිය අප ශාස්තෘන් වහන්සේ හතළිස් පස් වසරක් පුරාවට දහම් දෙසුවේ අපට අවබෝධයක් නොවන නමුත් අප සියලු දෙනාම පිහිටා සිටින, අප ජීවිත පිරී පවතින දුක අවබෝධ කරවා දුකින් නිදහස් කරවීම උදෙසා ය.

“පින්වත් මහණෙනි, ඔබට දුක මේ යැයි කියන්නට, දුකට හේතුව මේ යැයි කියන්නට, දුකින් නිදහස් වීම මේ යැයි කියන්නට, දුකින් නිදහස් වෙන මාර්ගය මේ යැයි කියන්නට මවිසින් භාවිත කළ අකුරු ප්‍රමාණය, වචන ප්‍රමාණය, විස්තර ප්‍රමාණය අප්‍රමාණ ය.” යැයි උන්වහන්සේ දේශනා කළ සේක. එසේ කරන ලද සුවාසූ දහසක් දේශනා අතර ශ්‍රාවකයෙකු දුක දකිමින් දුකින් නිදහස් වීමට වීරිය උපදවා ගත යුතු අවස්ථා අටක් ගැන මෙසේ සඳහන් ය.

“ජාති ජරා ව්‍යාධි චුතී අපායා
අතීත අප්පත්තක වට්ට දුක්ඛං
ඉදානි ආහාර ගවෙට්ඨි දුක්ඛං
සංවේග වත්ථුනී ඉමානි අට්ඨ”

“ඉපදීමේ දුක, ජරාවට පත් වීමේ දුක, ලෙඩ රෝගවලට ගොදුරු වීමේ දුක, මරණයට පත් වීමේ දුක, අපා දුක, අතීත සසරේ දුක, අනාගත සසරේ දුක, ආහාර සොයාගැනීමේ දුක ආදි මේ දුක ගැන සංවේග උපදවා ගත යුතු තැන් අට ය.”

මේ උතුම් ගාථා රත්නය මුල් කොටගෙන මේ දුක් පිරි අවස්ථා අට ගැන ඔබ හමුවට ගෙනෙන උතුම් සම්බුදු මුව මඬලින් ගලා ගිය දහම් පද පෙළහරක පළමුවන දිගහැරුම ය මේ, එනම් ‘ඉපදීම දුකකි’.

“ඉදං ඛෝ පන භික්ඛවේ දුක්ඛං අරිය සච්චං. ජාති’පි දුක්ඛා….”

“පින්වත් මහණෙනි, මේ වනාහි දුක නම් වූ ආර්ය සත්‍යය යි. ඉපදීම ද දුකකි…..”

අප ශාස්තෘන් වහන්සේ අසංඛෙය්‍ය හතරකුත් කල්ප ලක්ෂයකුත් පුරාවට සොයා ගොස් ලත් අවබෝධයෙන් සදේවක ලෝකයාට දේශනා කළ දහම වූයේ ඉපදීම දුකක් වශයෙනි. එය දෙවියන් බඹුන් මරුන් සහිත, ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත ලෝකයාට ආපසු හැරවිය නො හැකි පැනවීමකි. දේශනාවකි. වෙනස් කළ නො හැකි දෙයකි. එය කාලයකට, දේශයකට පුද්ගලයෙකුට හෝ පුද්ගල කණ්ඩායමකට හෝ පමණක් සාධාරණ වූවක් නො වේ. සියලු කාලයට ය, සියලු දේශයට ය, සියල්ලන්ට ම ය. එය අන්‍ය ස්වභාවයකට පත් නොවන්නකි. එහෙයිනි, එය ආර්ය සත්‍යයක් වන්නේ.

ඉපදීම දුකක් බව සම්මා සම්බුදුවරයෙකු ම මිස අන් කවරෙක් දේශනා කරන්න ද? පනවන්න ද? මන්ද දුක පරිපූර්ණ ව මුලින් ම අවබෝධ කරන්නේ සම්මා සම්බුදුවරයෙකු ම වන නිසාවෙනි.
ඉපදීම යනු කුමක් ද?

“ඒ ඒ සත්වයන්ගේ, ඒ ඒ සත්ව ලෝකවල යම් උපතක්, හටගැනීමක්, මව්කුසක බැසගැනීමක්, විශේෂිත ඉපදීමක්, ස්කන්ධයන්ගේ පහළවීමක්, ඇස් කන් ආදි ආයතනයන්ගේ ලැබීමක් වේ ද එය යි.”
(විභංග සූත්‍රය – සං. නි. 2)

කාම, රූප, අරූපාදී කිනම් භවයක වේවා ඉපදීම යනු මෙය යි. රූප වේදනා සඤ්ඤා සංඛාර විඤ්ඤාණ යන උපාදානස්කන්ධයන්ගේ පහළ වීම යි. ඇස කන නාසය දිව කය මනස නම් වූ ආයතනයන්ගේ ලැබීම යි.

මේ උපත සුදුසු භවය තුළ බිත්තරයක් තුළින්, මව්කුසක් තුළින්, තෙත් පරිසරයක් තුළින් හෝ ඕපපාතික ව සිදු වේ. මේ කවර භවයක (කිනම් ලෝකයක් තුළ) කුමනාකාරයෙන් ඉපදීමක් වේ ද ඒ වනාහී දුකෙහි ඉපදීම මිස අන් දෙයක් නො වේ.

“මහණෙනි, යම් තැනක ඇසෙහි කනෙහි නාසයෙහි දිවෙහි කයෙහි මනසෙහි ඉපදීමක් වේ ද ඒ වනාහි දුකෙහි ඉපදීම ය.”
(උප්පාද සූත්‍රය – සළායතන සංයුත්තය)

“මහණෙනි, යම් තැනක රූපයෙහි වේදනාවෙහි සඤ්ඤාවෙහි සංස්කාරයෙහි විඤ්ඤාණයෙහි යම් ඉපදීමක් වේ ද ඒ වනාහි දුකෙහි ඉපදීම යි.”
(උප්පාද සූත්‍රය – ඛන්ධ සංයුත්තය)

අවිද්‍යා අන්ධකාර දැළ බුදුරජුන් දැල්වූ ප්‍රඥාලෝකයෙන් නසා දැමූ භික්ෂුණියකි වජිරා භික්ෂුණිය. දිනක් පවිටු මාර තෙම ඇගෙන් මෙසේ ඇසුවේ ය.

“මේ සත්වයා ව හැදුවේ කවුරුන් විසින් ද? මේ සත්වයා ව හදපු කෙනා ඉන්නෙ කොහෙද? මේ සත්වයා ඉපදුණේ කුමකින් ද? මේ සත්වයා ව නිරුද්ධ වන්නේ කොහේ ද?”

වජිරා භික්ෂුණියගේ පිළිතුර මේ ජීවිතයේ ඉපදීම පැවතීම හා නැති වීම, යථාර්ථය කවරේදැයි සක්සුදක් සේ පැහැදිලි කෙරෙන කැඩපතකි. අවබෝධ ලත් සිතක නැගුණු අභීත සිංහ නාදයකි.

“ඒයි මාරය, මොකක්ද සත්වයෙක් කියල කියන්නෙ? ඒක ඔබේ මාර දෘෂ්ටියක් නොවැ. මේකෙ තියෙන්නෙ හුදු සංස්කාර ගුලියක්. මේකෙ සත්වයෙක් හොයාගන්න නැහැ.

යම් සේ රථයකට අවශ්‍ය අංගෝපාංග එක්වූ කල්හි රථය යන ව්‍යවහාරය වේ ද ඒ ආකාරයෙන් ම උපාදානස්කන්ධ ඇති කල්හි සත්වයා යන සම්මුතිය ඇති වේ.

හටගන්න තියෙන්නෙ දුක විතරයි. පවතින්නේ දුක යි. දුක මිසක් හටගන්න වෙන දේකුත් නැහැ. දුක මිසක් නැතිවෙන්න වෙන දේකුත් නැහැ.”
(වජිරා සූත්‍රය – සංයුත්ත නිකාය 1)

මේ ඉපදී ඇත්තේ රූප වේදනා ආදි සංස්කාර සමූහයකි. ඒ කෙරේ ඇති ඡන්දරාගය නිසා ඊට ම උපාදාන වීමෙන් සත්වයා යන සම්මුතිය වේ. නමුත් සැබෑව නම් ඉපදෙන්නේ ද පවතින්නේ ද නැතිවෙන්නේ ද දුක ම මිස අන් දෙයක් නො වේ.

මේ අවබෝධය පළමුව සම්මා සම්බුදුරජාණන් වහන්සේනමක් විසින් අවබෝධ කරන සේක. අවබෝධයෙන් ලත් සදහම් දෙසූ කල්හි ශ්‍රාවකයෝ ඒ අනුව නුවණ මෙහෙයවා අවබෝධය ලබන්නාහු ය. බුදු සසුනෙන් පිට ඉපදීම දුකක් වශයෙන් ඒ අයුරින් ම නො දන්නේ ම ය. නො දකින්නේ ම ය. එහෙයින් ඇතැමෙක් බඹලොව ඉපදීම ද ඇතැමෙක් දෙවියන් අතර ඉපදීම ද නිත්‍ය සුඛය ලෙස දකී. ඇතැමෙකු විභවය තුළින් දුකින් නිදහස් වීම දකී. භාග්‍යවතුන් වහන්සේ ඒ පිළිබඳ ව මෙසේ දේශනා කළ සේක.

“යම් කිසි ශ්‍රමණයෙක් වේවා බ්‍රාහ්මණයෙක් වේවා භවයකින් වෙනත් භවයකට ගොස් දුකින් මිදීමක් ගැන කියයි ද ඒ සියල්ලෝ භවයෙන් නොමිදුණා යැයි කියමි. යම් කිසි ශ්‍රමණයෙක් වේවා බ්‍රාහ්මණයෙක් වේවා තණ්හාව තුළින් දුකින් නිදහස් වීමක් ගැන කියයි ද ඒ සියල්ලෝ ද භවයෙන් නොනික්මී ගියා යැයි (නොමිදුණා යැයි) කියමි. කෙලෙස් සහිත කර්ම නිසාවෙන් මේ දුකේ හටගැනීම වේ යැයි කියමි.”

මේ සියලු තැන්හි ඉපදීම සතුටින් පිළිගනී. දුක ම සතුටින් පිළිගනී. දුක සතුටින් පිළිගනිත් නම් කෙසේ නම් දුකින් නිදහස් වන්න ද?

“මහණෙනි, යමෙක් ඇස කන නාසය ආදි ආයතන සතුටින් පිළිගනී ද ඔහු සතුටින් පිළිගන්නේ දුක යි. යමෙක් දුක සතුටින් පිළිගනී ද ඔහු දුකින් නිදහස් නොවන්නේ යැයි කියමි.”
(අභිනන්ද සූත්‍රය – සළායතන සංයුත්තය)

දුක ගැන ඒ අයුරින් ම නොදන්නෝ කෙසේ නම් දුක පරිපූර්ණව අවබෝධ කොට දුකින් නිදහස් වන්න ද? සෝතාපන්න ශ්‍රාවකයා ද සකදාගාමී ශ්‍රාවකයා ද අනාගාමී ශ්‍රාවකයා ද අරහත් ශ්‍රාවකයා ද සිටින්නේ බුදු සසුනේ ම බව භාග්‍යවතුන් වහන්සේ සුභද්‍රට දේශනා කළේ එනිසා ය.

දිනෙක කොට්ඨිත මහරහතුන් සැරියුත් මහරහතුන්ගෙන් මේ ජරා මරණ දුක තමා විසින් කළ දෙයක් ද අනුන් විසින් කළ දෙයක් ද තමාත් අනුනුත් එකතුව කළ දෙයක් ද ඉබේ හටගත් දෙයක්දැයි ඇසූ විට සැරියුත් මහරහතුන් දුන්නේ මෙවැනි පිළිතුරකි.

“ප්‍රිය ආයුෂ්මත් කොට්ඨිතයෙනි, දුක තමා විසින් කරපු දෙයක් ද නො වේ. අනුන් විසින් කරපු දෙයක් ද නො වේ. තමාත්, අනුනුත් එකතුව කරපු දෙයක් ද නො වේ. ඉබේ හටගත් දෙයක් ද නො වේ. ඇත්තෙන්ම ජරා මරණ දුක හටගන්නේ ඉපදීම හේතු කොටගෙන යි.”
(නළකලාප සූත්‍රය – සංයුත්ත නිකාය 2)

නමුත් අපි ඉපදෙන්නට ම ආශා කරන්නෙමු. ඒ මෝහය (අවිද්‍යාව) හා තෘෂ්ණාව නිසාවෙනි. මෝහයේ ස්වභාවය නම් ධර්මයන්ගේ ලක්ෂණ වසා දැමීම යි. ඒ හේතුව නිසා සත්වයෝ ඒ ධර්මයන් කෙරේ තණ්හාවෙන් ඇලෙති. තණ්හාවේ ස්වභාවය එසේ ඇලීම ය. ඇලෙන්නේ ආදීනවය නොදන්නා නිසාවෙනි.

හතරමං හන්දියක දමා තිබූ යව කරල් මිටියක් පුරුෂයින් හයදෙනෙකු විසින් පොලුවලින් ගසා ඇති පදමට තැලූ කළ හත්වෙනි පුරුෂයෙකු ද පොල්ලක් රැගෙන විත් එම යව කරල් මිටිය තව තවත් තලා දමයි ද පෘථග්ජනයා ද කැමති අකැමති රූප නිසාවෙන් ඇස තුළින් පීඩා විඳිමින්, කැමති අකැමති ශබ්ද නිසා කන තුළින් පීඩා විඳිමින්, කැමති අකැමති ගන්ධයන් නිසා නාසය තුළින් පීඩා විඳිමින්, කැමති අකැමති රසයන් නිසා දිව තුළින් පීඩා විඳිමින්, කැමති අකැමති පහසවල් නිසා කය තුළින් පීඩා විඳිමින්, කැමති අකැමති අරමුණු නිසා මනසින් ද පීඩා විඳිමින් ම ආයෙමත් උපතක් ම ප්‍රාර්ථනා කරයි. ආයෙ ආයෙම පීඩාවට පත්වෙයි.

“මහණෙනි, ඉදින් ඒ අශ්‍රැතවත් පෘථග්ජනයා කල්පනා කරන්නේ ආයෙ ආයෙමත් උපතක් කරා යන්නට නම් මහණෙනි, මෙසේ ඒ පුද්ගලයා බලවත් විදිහට තැලිල යනවා. මහණෙනි, ඒක හරියට අර යව මිටිය හත්වෙනි පොල්ලෙනුත් තැලෙනවා වගේ.”
(යවකලාපී සූත්‍රය – සංයුත්ත නිකාය)

කෙනෙකු ආයෙ ආයෙ ම ඉපදීමක් ම ප්‍රාර්ථනා කරයි ද ආයෙ ආයෙම ලබන්නේ ඇස කන නාසය දිව කය මනස නම් ආයතන හය ම ය. ආරම්භක කෙළවරක් නොදකින ගෙවුණු සසරේ ලැබුවේ ද චතුරාර්ය සත්‍යය ධර්මය පරිපූර්ණව අවබෝධ කොට ඉපදීමෙන් (දුකින්) නිදහස් වන තුරු ලබන්නේ ද ඒ ආයතනයන් ම ය. මේ සත්වයා හටගන්නේ කුමක් හටගැනීමෙන් දැයි භාග්‍යවතුන් වහන්සේගෙන් ඇසූ පැනයකට ලැබුණ පිළිතුර වූයේ මෙවැන්නකි.

“ලෝක සත්වයා ව හටගන්නේ ආයතන හය හටගැනීමෙනුයි. ඔය ආයතන හය තුළ ම තමයි ඔහු ඇලිල ඉන්නෙ. ඔය ආයතන හයට ම බැඳිල ඔය ආයතන හය නිසා ම යි ලෝක සත්වයා දුක් විඳින්නෙ.”

එසේ නම් ගෙවුණු සසර පුරා ම ආයෙ ආයෙ ම ඉපදෙමින් අප ලැබුවේ දුක ම මිස අන් දෙයක් නො වේ. ඉපදීමෙන් නිදහස් නොවුණහොත් විඳින්නට ඇත්තේ ද දුක ම පමණකි. එය සෑම කල්හි ම කළ හැකි දෙයක් නො වේ. බුදු සසුනක දී පමණක් ම කළ හැකි දෙයකි.

එහෙයින් අපට මේ ලැබී ඇත්තේ දුර්ලභ වාසනාවකි. දුර්ලභ බුදු සසුනත්, මිනිස් දිවියත්, සද්ධර්ම ශ්‍රවණයත් අපට ලැබී තිබේ. දුකින් නිදහස් වෙන එකම මාර්ගය වන ආර්ය අෂ්ටාංගික මාර්ගය මුණගැසී තිබේ. හෙටට කල් දාන්න තරම් කාලයක් නැත. අද කළ යුත්ත අද ම කළ යුතු ය. හෙට මැරේදැයි කිසිවෙකුත් නො දනී. එහෙයින්, ඉපදීමෙන් නිදහස් වීමට අප්‍රමාදී විය යුතු ය. හේතුව, ඉපදීම දුකක් වීම ය.

මහමෙව්නාව අසපුවාසී ස්වාමීන් වහන්සේ නමක් විසිනි.