කලණ සුමිතුරන් ඇසුරේ බණ පිරිවහ ගන්නේ…
නාගසේනයන් වහන්සේ ධම්මරක්ඛිත මහා තෙරුන් වහන්සේ වෙත එළඹ වන්දනාමාන කොට තමන් වහන්සේ වැඩි කාරණය සැල කළ සේක. ඉන්පසු තුන්මාසයක් ඇතුළත ධම්මරක්ඛිත තෙරුන් වහන්සේ සමීපයෙහි විනය පිටකයත්, සූත්‍ර පිටකයත් එක් වරක් ඇසූ පමණින් සම්පූර්ණයෙන් මතකයේ දරාගත් සේක. ඉක්බිති යළි තුන්මසක් අර්ථ වශයෙන් නුවණින් මෙනෙහි කළ සේක. එවිට ධම්මරක්ඛිත මහතෙරුන් වහන්සේ නාගසේනයන් වහන්සේට මෙසේ අනුශාසනා කළ සේක. “නාගසේනයිනි, යම් සේ ගවපාලකයා ගවයන් රක්ෂා කෙරේ ද පස්ගෝරස අන් අය අනුභව කරත් ද එපරිද්දෙන්ම ඔබ ත්‍රිපිටක බුද්ධ වචනය හොඳින් ඉගෙන මනාකොට දරන්නාහු මුත් ශ්‍රමණ ගුණ පරිපූර්ණ කරගෙන ධර්මයේ අර්ථයට සමීප වී නැත්තාහ. ඊට උත්සාහ වනු.” කියා ය. “ස්වාමීනී, ඔබ වහන්සේ මා හට අර්ථ රසය උගන්වන්නට වෙහෙස නොවනු මැනවි.” කියා පැවසූ නාගසේනයන් වහන්සේ එදින රාත්‍රියේ දී ම උගත් ධර්මයේ අර්ථරසය ආස්වාදනය කරමින් සිව්පිළිසිඹියා පත් මහරහතන් වහන්සේනමක් බවට පත් වූ සේක. නාගසේනයන් වහන්සේ පරිපූර්ණ වශයෙන් චතුරාර්ය සත්‍යය අවබෝධ කළ මොහොතේ භූමාටු දෙව්ලොව පටන් අකනිඨා බඹලොව තෙක් දෙවිවරු සාධුකාර පැවැත්වූහ. මහපොළොව කම්පිත විය. මහා බ්‍රහ්මයෝ සතුටින් පැනනැගී අත්පොළසන් දුන්හ. දිවසඳුන් සුණු හා පරසතු මදාරා පුෂ්පයෝ මුළු ලොව සුවඳ කරමින් අහසින් මල්වරුසා සේ ඇද හැළිණි.
ලොවට උතුම් පින්කෙත වූ සඟගණ වැඩමන්නේ….
එසමයෙහි වනාහී දහස් සංඛ්‍යාත බොහෝ රහතන් වහන්සේලා හිමාලය පර්වතයෙහි රක්ඛිත නම් තලයට රැස්වී “අපි සියලු දෙනා වහන්සේ ම නාගසේනයෙන් දකිනු කැමැත්තෙමු. එහෙයින් නාගසේන ස්ථවිරයන් වඩින සේක්වා.” යි කියා නාගසේනයන් සමීපයට දූතනමක් පිටත්කර හැරියාහු ය. දූතයාගේ වචනය ඇසූ නාගසේනයන් වහන්සේ අසෝකාරාමයෙන් අතුරුදහන් වී හිමාලය පර්වතයෙහි රක්ඛිත තලයෙහි රහතුන් ඉදිරියෙහි පහළ වූ සේක. ඒ උත්තම රහතන් වහන්සේලා නාගසේනයන් වහන්සේට මෙසේ පැවසූ සේක. “නාගසේනයෙනි, මේ මිළිඳු රජතුමා වනාහී දෘෂ්ටිවාද ප්‍රතිවාදයෙන් ප්‍රශ්න විචාරා භික්ෂු සංඝයා වෙහෙසන්නේ ය. නාසේනයනි, යහපති ඔබ වහන්සේ ගොස් මිළිඳු රජු දමනය කරව.” කියා ය. එවිට නාගසේනයන් වහන්සේ “ස්වාමීනී, උතුම් සංඝයා වහන්ස, සැමදෙනා වහන්සේ ම පහසුවෙන් වැඩ සිටිය මැනව. සකල දඹදිව ම රජවරු පැමිණ මාගෙන් ප්‍රශ්න විචාරතත් ඒ සියලු ප්‍රශ්න විසඳා මනාකොට කරුණු පහදා දෙන්නෙමි. ස්වාමීනී, ඔබ වහන්සේලා හැම දෙනම අකම්පිතව සාගලනුවරට වැඩ වදාළ මැනවි.” කියා පිළිවදන් දුන් සේක. ඉන්පසු මහාථේර භික්ෂූන් වහන්සේ වැඩමකොට සාගලනුවර කසාවතින් බබුළුවා නිකෙලෙස් රහතුන්ගේ පාදස්පර්ශයෙන් පූජනීයත්වයට පත් කළ සේක. එසමයෙහි වනාහී ආයුපාල නම් මහතෙරුන් වහන්සේ සංඛෙය්‍ය නම් පිරිවෙණ වසන සේක.
සරු පිළිවෙත නිසා ලොවේ සසුනයි බබළන්නේ….
ඉක්බිති මිළිඳු රජතුමා ඇමතිවරුන්ට මෙසේ පැවසීය. “භවත්නි, සඳරැසින් යුක්ත වූ මේ රාත්‍රිය ඒකාන්තයෙන් ම සිත්කළු ය. අද රාත්‍රියේ සාකච්ජා කරනු පිණිස, ප්‍රශ්න අසනු පිණිස ශ්‍රමණයෙකු කරා හෝ බ්‍රාහ්මණයෙකු කරා හෝ එළඹෙමු ද? කවරෙක් මා හා සමඟ කථා කරන්නට, සැක දුරු කරන්නට සමර්ථ වේ ද?” කියා ය. එසේ ඇසූ කල්හි පන්සියයක් යෝනක ඇමතිවරු මිළිඳු රජතුමාට මෙසේ සැල කළහ. “මහරජතුමනි, තුන්පිටකය දන්නා බහුශ්‍රැත වූ ධර්මධර වූ ආයුපාල නම් තෙරුන් වහන්සේනමක් වැඩ සිටී. උන්වහන්සේ මේ කාලයෙහි සංඛෙය්‍ය නම් පිරිවෙණ වසන සේක. දේවයන් වහන්ස, නුඹවහන්සේ ආයුපාල ස්ථවිරයන් වහන්සේ වෙත ගොස් ප්‍රශ්න අසා වදාළ මැනව.” යි කීවාහු ය. “එසේ වී නම් සගයනි, ඒ පින්වතුන් වහන්සේට අප එන බව සැල කරව.” කියා මිළිඳු රජු පැවසී ය. එවිට තේමිස්සක නම් ඇමතිතුමා සංඛෙය්‍ය පිරිවෙණට ගොස් ආයුපාල තෙරුන් වහන්සේ වෙත එළඹ,
“ස්වාමීන් වහන්ස, අප මිළිඳු රජතුමා ආයුපාලයන් වහන්සේ දකින්නට කැමති සේකැ.” යි දන්වා සිටින්නට දූතයෙකු පිටත් කර හැරියේ ය. ආයුපාල ස්ථවිරයන් වහන්සේ දූතයාගේ වචනය අසා “එසේ වී නම් මිළිඳු රජතුමා පැමිණේවා!” යි වදාළ සේක. එවිට මිළිඳු රජතුමා පන්සියයක් ඇමතිවරු පිරිවරා උතුම් යානයක නැගී සංඛෙය්‍ය නම් පිරිවෙණට පැමිණ තෙරුන් වහන්සේ සමීපයට එළඹියේ ය. එසේ එළඹ ආයුපාල ස්ථවිරයන් වහන්සේ සමඟ සතුටු සාමීචියෙහි යෙදී පිළිසඳර කතාබස් කොට එකත්පස්ව වාඩි විය. එකත්පස්ව සිටි මිළිඳු රජතුමා ආයුපාල ස්ථවිරයන්ගෙන් මෙසේ විමසා සිටියේ ය. “ස්වාමීනී ආයුපාලයන් වහන්ස, ඔබවහන්සේලාගේ පැවිදි බව කුමක් පිණිස ද? මේ පැවිදි බවෙහි උතුම් පරමාර්ථය කුමක් ද?” කියා ය. “නිරිඳාණෙනි, අපගේ පැවිදි බව ධර්මයේ හැසිර නිවන් අවබෝධය පිණිස ය.” යැයි තෙරුන් වහන්සේ පිළිතුරු දුනි. එවිට රජු “ස්වාමීන් වහන්ස, ධර්මයේ හැසිරෙන යහපතෙහි හැසිරෙන ගිහි අයත් සිටී ද?” කියා යළි විමසී ය. “මහරජ, අප භාග්‍යවත් තිලෝගුරු බුදුරජාණන් වහන්සේ විසින් බරණැස ඉසිපතන මිගදායේ දම්සක් පැවතුම් සූත්‍රය වදාරණ කල්හි අටලොස් කෝටියක් බ්‍රහ්මයින්ට ධර්මාවබෝධය ලැබුණි. ගණනින් අතික්‍රාන්ත වූ දෙවිවරුන් ද එහි දී ධර්මාවබෝධ කළහ. ඒ සියල්ලෝම ගිහි ශ්‍රාවකයන් මිස පැවිද්දන් නොවේ. තවද මහරජාණෙනි, අප භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විසින් මහා සමය, මහා මංගල – සමචිත්ත පරියාය – රාහුලෝවාද – පරාභව ආදී සූත්‍ර දේශනා දේශනා කරන කල්හි ද ගණනපථය අතික්‍රාන්ත වූ දෙවිවරුන්ට ධර්මාභිසමය වූයේ ය. ඒ සියල්ලන් ද ගෘහස්ථගත ම ය. පැවිද්දන් නොවෙති.” යි ආයුපාල තෙරුන් වදහළ සේක.
සම්බුදු බණ අම නිවන කරා යන… බැහැරට කොට වාදයකට බැසගෙන…
“එසේ වී නම්, ආයුපාල ස්ථවිරයන් වහන්ස, ඔබ වහන්සේලාගේ පැවිදි බව නිරර්ථක ය. කිසි ප්‍රයෝජනයක් නැත. පෙර කළා වූ අකුසල කර්මයන්ගේ විපාකයෙන් ශ්‍රමණශාක්‍ය පුත්‍රයෝ හිසරවුළු මුඩු කොටගෙන, විචිත්‍ර වස්ත්‍ර හැර ඒකවර්ණ පිළි ගෙන අගමුල සිඳ බිඳ කපා ගොතා පඬු පොවා වර්ණ විනාශ කොට හැඳ පොරවාගෙන, නොයෙක් ඤාතිමිත්‍ර අඹුදරු ඉඩකඩම් කුඹුරු ධනධාන්‍යාදී භෝග සම්පත් අත්හැර පැවිදි වෙති. දහතුනක් වූ ධුතාංගයෝ ද සමාදන් වෙති. වහන්ස, ආයුපාල ස්ථවිරයෙනි, ඒකාසනිකංගය (එක් ආසනයක එක් වේලක් පමණක් වැළඳීම) පුරන යම් ඒ භික්ෂු කෙනෙකුන් ඇද්ද, ඒ භික්ෂුන් වහන්සේලා නිසැකවම පූර්වජාතියෙහි අනුන්ගේ වස්තු සොරාගෙන අකුසල කර්මයේ විපාකයෙන් මේ ජාතියෙහි ඒකාසනික වන්නාහ. අකුසල කර්මයේ විපාකයෙන් විටින් විට වළඳන්නට නොලැබේ. එක් වේලක් පමණක් වළඳති. එපමණක් මිස ඔවුන්ගේ ධුතගුණ සීලයක් නම් නැත. උතුම් තපසක් නම් නැත. බ්රහ්මචර්යාවකුදු නැත.
තවද ආයුපාලයන් වහන්ස යම් ඒ භික්ෂු කෙනෙක් වනාහී ‘අබ්භෝකාසිකංගය’ (කුටියක් හෝ රුක් සෙවණක් නොමැතිව එළිමහනේ වාසය කිරීම) පුරන්නහු ද ඒ භික්ෂූන් ඒකාන්තයෙන් ම පූර්ව ජාතියෙහි ගම්පැහැර ගෙවල් ගිනි තබා සත්වයන්ට වෙහෙස දුන් හොරු ය. ඔවුහු අනුන්ගේ ගෙවල් නසා දමා ඒ අකුසල කර්මයේ විපාකයෙන් මේ ජීවිතයේ දී අබ්භෝකාංසිකංගය පුරන්නාහු වෙති. තමන් කළ අකුසල කර්මයෙන් සේනාසනයන් පරිභෝග කරන්නට නොලබන්නාහු වෙති. එපමණක් මිස ඔවුන්ට සීලයක් නම් නැත. තපසක් නම් නැත. බ්රහ්මචර්යවාසයක් නම් නැත.
තවද ස්වාමීනී ආයුපාලයන් වහන්ස, නිදි වර්ජිත කරන නේසජ්ජික නම් යම් ඒ භික්ෂු කෙනෙක් ඇද්ද, ඒ හික්ෂූහු ඒකාන්තයෙන් ම පූර්ව ජාතියෙහි මං පහරන හොරු ය. ඔවුන් මග යන එන්නන් අල්වාගෙන බඩු භාණ්ඩ කොල්ල කමින් ඔවුන්ට රෑ දවල් නිදි වැද්ද නොදී ගස්බැඳ හිඳුවා ඒ අකුසල කර්ම විපාකයෙන් මේ ජීවිතයේ දී නිදි නොලැබ නේසජ්ජික වන්නාහු වෙති. සයනයක පිට තබා සැතපෙන්නට නොලැබෙති. එය මිසක් ඔවුන්ගේ සීලයක් නම් නැත. තපසක් නම් නැත. ශ්‍රේෂ්ඨ චර්යාවක් නම් නැත.”
මෙසේ මිළිඳු රජතුමා කී කල්හි ආයුපාල ස්ථවිරයන් වහන්සේ සිතන සේක්, ‘මේ රජු බණ අසන්නට අවුත් අහන බණ තබා අනික් මගක යයි. එනිසා මේ රජු හට බණ කීමෙන් වන ප්‍රයෝජනයක් නැතැ.’ යි කිසිවක් නොවදාරා නිශ්ශබ්ද ව වැඩ සිටි සේක. එවිට පන්සියයක් වූ ඇමතිවරු තෙරුන් වහන්සේ නිශ්ශබ්ද ව සිටිනු දැක මිළිඳු රජතුමාට මෙසේ පැවසීය. “දේවයන් වහන්ස, තෙරුන් වහන්සේ පණ්ඩිත සේක. එතෙකුදු වුවත් අවිසාරද බැවින් කිසිවක් වදාරන්නේ නැත.” කියා ය. එවිට මිළිඳු රජතුමා අත්පොළසන් දී ඔල්වර හඬ නගා පිරිවරා සිටි ඇමතිවරුන්ට මෙසේ පැවසීය. “එම්බා ඇමතිවරුනි, මේ සකල දඹදිව ම පණ්ඩිතයෙක් නැත. එබැවින් ඒකාන්තයෙන් ම දඹදිව්තලය හිස්ව ගියේ ය. එම්බා සගයෙනි, මේ සකල දඹදිව පණ්ඩිත ගෝචර වූ අර්ථ රසයක් අසන්නට නැති බැවින් ඒකාන්තයෙන් ම හිස් ය. යම්කිසි ශ්‍රාවකයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ මා සමඟ සාකච්ඡා කරන්නට සැක දුරු කරවන්නට හැකි වේ ද එබඳු කෙනෙක් නැත.” ඇමතිවරු පිළිවදන් නොදී සිටියහ. ඒ සියලුම ඇමතිවරු පිරිස දෙස නැවත නැවත බලන්නා වූ මිළිඳු රජු හට අභීත ව, කිසි සැකයක් නැතිව සිටි ඇමතිවරු දැක ‘යම් කරුණකින් මේ ඇමතිවරු කිසි සැකයක් නැතිව සිටින්නෝ ද ඒ කාරණයෙන් මා සමඟ සාකච්ඡා කරන්නට සමත් අන්‍ය වූ නිසි පණ්ඩිත වූ ව්‍යක්ත ප්‍රතිබල වූ භික්ෂූන් වහන්සේනමක් නිසැක ව ම ඇතැ’ යි සිතමින් රජතුමා මහත් වූ අභිමානයෙන් පෙරළා රාජභවනයට ම ගියේ ය.
සාදු! සාදු! මම ගෞතම ශ්‍රාවක නමදින්නේ…
එසමයෙහි වනාහී සංඝනායක වූ ගණනායක වූ ගණාචාර්ය වූ ලෝක ප්‍රසිද්ධ වූ කීර්ති ඇත්තා වූ බොහෝ ජනයා විසින් යහපත් යැයි සම්මත කරන ලද්දා වූ පණ්ඩිතත්වයට පැමිණියා වූ ව්‍යක්ත වූ ප්‍රඥාවන්ත වූ දක්ෂ වූ අවබෝධ කරන ලද භාවිත ප්‍රඥාව ඇත්තා වූ ලෞකික ලෝකෝත්තර ගුණ මහිමයෙහි හික්මුණා වූ විශාරද වූ බහුශ්‍රැත වූ ත්‍රිපිටකධාරී වූ සියලු අර්ථයන්ගේ කෙළවරට පැමිණියා වූ මතකයේ දරා ගත් ධර්මය ඇත්තා වූ සිව්පිළිසිඹියාවට පත් වූ නවාංග ශාස්තෘශාසන පර්යාප්තිධර වූ සර්වඥ වචනයෙහි පරතෙරට පත් වූ ධර්මාර්ථදේශනා ප්‍රතිවේධයෙහි දක්ෂ වූ ක්ෂය නොවන විසිතුරු වූ වැටහෙන ප්‍රඥාව ඇති විචිත්‍ර ධර්මකථික වූ සිත්ගන්නා දේශනා ශෛලියෙන් යුතු අන්යදෘෂ්ටිකවාදියකු විසින් ළං විය නොහැකි මැඩපැවැත්විය නොහැකි වාදාරෝපණය කළ නොහැක්කා වූ කිසිවකු විසින් අධිගත ගුණයෙන් වළක්වාලිය නොහැක්කා වූ මහා සාගරය මෙන් කැළඹිය නොහැක්කා වූ මහාමේරු රාජයා මෙන් නිශ්චල වූ තදංගාදීන් පහකරන ලද දිනූ ක්ලේශ යුද්ධ ඇත්තා වූ මෝහාන්ධකාරය දුරු කරන ප්රඥාලෝකය ලොවට ලබා දෙන මහාකථීශ්වර වූ අන්යගණ ජ්‍යේෂ්ඨ සමූහයන්ගේ වාදමතනය කරන අන්‍යතීර්ථකයන්ගේ අහංකාරය මර්ධනය කරන්නා වූ සිව්වණක් ශ්‍රාවක පිරිස විසින් ද රාජරාජ මහාමාත්‍යයන් විසින් ද සත්කාර කරන ලද්දා වූ ගෞරව කරන ලද්දා වූ සිත පහදවා ගන්නා ලද්දා වූ… පුදන ලද්දා වූ සත්කාර කරන ලද්දා වූ… ලාභයෙන් හා යසසින් අග්‍රප්‍රාප්ත වූ ශ්‍රමණ ගණ විසින් පිරිවරන ලද්දා වූ නාගසේන මහරහතන් වහන්සේ ඤාණාභිවෘද්ධි ඇත්තා වූ අසා දැරීමෙන් යුක්ත වූ නුවණැතියන්ට දෙලොව යහපත දක්වමින් නවාංග සර්වඥ ශාසනය නමැති උත්තම රත්නය ගෙනහැර දක්වමින් උතුම් වූ නිර්වාණ ධර්මය වදාරමින් සද්ධර්ම නමැති ප්‍රදීපය දල්වමින්, සද්ධර්ම නමැති යාග ස්තම්භය ඔසවමින්, සද්ධර්ම නමැති මහා දානය දෙමින් සද්ධර්ම ධ්වජය උසස් කොට නගමින්, සද්ධර්ම ජයපතාකය නගා… සද්ධර්ම නමැති ජයසංඛය තීව්ර හඬින් පිඹිමින්… සද්ධර්ම නමැති ජයබෙරය ගසමින්… අභීත සිංහනාද ඥානගර්ජිතය ගර්ජනා කරමින්… මධුරස්වර ගර්ජනා නමැති ශ්‍රේෂ්ඨ වූ මේඝගර්ජනාවෙන් යුක්ත වූ උතුම් වූ ප්‍රඥා නමැති විජ්ජුලතාවෙන් වළඳනා ලද්දා වූ කරුණා නමැති සිසිල් ජලයෙන් භරිත වූ මහත් වූ සද්ධර්මාමෘත වර්ෂාවෙන් සියලු ලෝකයා මනා කොට සන්තර්පණය කරමින් ග්රාමනිගම රාජධානියෙහි සැරිසරා වඩින සේක් අනුපිළිවෙළින් වැඩම කොට මදුරට සාගල නම් නුවරට වැඩි සේක.
Recent Comments