ජනසම්මතවාදී පාලනයක පැවැත්ම, ගිහි පැවිදි සියලුම ජන කොට්ඨාසයන්හි ඒකාග්‍රතාවට හා අභිවෘද්ධියට හේතුවන බව සනිදර්ශනව පෙන්වා දී වදාළ ලොව එක ම ශාස්තෘවරයාණෝ බුදුරජාණන් වහන්සේ ය. උන්වහන්සේ අනුදැන වදාළ ජන සංඝ එකමුතුව ජාතියක අභිවෘද්ධිය සඳහා ඉවහල් වූ අයුරු ව්‍යවහාර වර්ෂ පූර්ව 6 වැනි සියවසේ සිට 3 වැනි සියවස දක්වා දඹදිව පැවති සමාජ ක්‍රමයත් ව්‍ය. ව. පූ. 3 වැනි සියවසේ සිට ව්‍යවහාර වර්ෂ 5 වැනි සියවස දක්වා ලක්දිව පැවති පැරණි සමාජ ක්‍රමයත් පිළිබඳ ව විමසන විට පෙනී යයි.

බුද්ධකාලීන යුගයේ පරිද්දෙන් ම මහරහතන් වහන්සේලා බිහිවීමට තුඩු දුන් පරිසරයක් අතීත යුගයේ, දඹදිවින් බැහැර රටක නිර්මාණය වූයේ සිරිලක්දිව ය. අවුරුදු හත්සියයකට ආසන්න කාලයක් ලක්දිව අනුරාධපුර රාජ්‍ය සමය අරහත් ධජයෙන් බැබළෙමින් පැවතිනි. ‘අගත අනගත චතුදිස සගස’ යන සන්නාමය ලෙන් කටාරම් යටින් සටහන් කොට ලෙන් පූජා කළ ලොව එක ම රට සිංහලද්වීපය යි. ආ නොආ සිව්දිගින් වැඩි මහ සඟන වෙත පිදූ ලෙන්, ආරාම භික්ෂූන් වහන්සේ එකල පරිභෝජනයට ගත්තේ වන අරණ සහිත නිහඬ පරිසරයක් තුළ බවුන් වැඩීම වීතරාගීන්ට යෝග්‍ය වූ හෙයිනි.

රමණීයානි අරඤ්ඤානි – යත්ථ න රමතී ජනෝ
වීතරාගා රමිස්සන්ති – න තේ කාමගවේසිනෝ

බුද්ධකාලීන යුගයේ රහතන් වහන්සේලාගේ මුවින් නැගුණ මෙම උදානයට බඳුන් වූ පරිසරයක් එකල අනුරාධපුර යුගයේ පැවති වන අරණ තුළ තිබෙන්නට ඇත. පසුකාලය වන විට නගර, ජනපද ව්‍යාප්තව විහාරාරාම ඉදිවන විට ගිනිහල් ගෙවල්, ජන්තාඝර, ආවරණ සහිත සක්මන් මළු ආදි පහසුකම් සලසා දීමට රාජ්‍ය පාලකයන් මෙන් ම සැදැහැති ජනයා ද පෙළඹී සිටි බැව් දැනට හමුවී ඇති පැරණි ගොඩනැගිලි නටඹුන්වලින් පෙනී යයි. පැමිණි හා නොපැමිණි මහ සඟන වෙත පොදුවේ පූජා කළ ලෙන් ආරාම ආදිය තමන්ට හිතවත් සංඝයා වහන්සේ වෙත පෞද්ගලිකව පූජා කොට පවරා දීමට පසුකාලීන යුගයේ විසූ රජවරු හා ප්‍රභූවරු කටයුතු කළහ. මෙනයින් භික්ෂූන් වහන්සේලා භව බෝග සම්පත් කෙරෙහි නැඹුරුවීම හේතුකොටගෙන ශාසන භාරධාරී නායක යතිවරුන් ඒකරාශී වී යම් යම් සම්මුතීන්ට එළඹ, පැනනැගුණ ගැටලු නිරාකරණය කර ගැනීමට කටයුතු කර ඇත. පසුව රජවරුන්ට පවා මැදිහත් වීමට සිදුව ඇත්තේ ශාසනික පරිහානිය වළක්වා ගන්නා අදහසිනි.

භාරතයේ නොයෙක් වේශයෙන් පැනනැගුණ මහායානික දෘෂ්ටිවාද ලක්දිව බුදුසසුනට වැද්දගැනීම හේතු කොටගෙන මේ තත්ත්වය උග්‍ර අතට හැරිණ. ඒ අනුව ධර්ම විනිශ්චයන් මගින් දුස්සීල භික්ෂූන් පළවා හැර සසුන් කෙත සුපිරිසිදු කිරීම සඳහා රජවරුන්ගේ මැදිහත් වීම වැඩි වී ඇති අයුරු මහාවංශය ඇතුළු මූලාශ්‍රයන්ගෙන් පෙනී යයි. රජවරුන් හා නායක තෙරවරුන් මූලිකත්වය ගෙන සාකච්ඡා කොට ශාසනයේ අභිවෘද්ධියට කටයුතු කළ අවස්ථා පිළිබඳව පුරාවිද්‍යාත්මක සාක්ෂි තුළින් ද තහවුරු වෙයි. පැරණි ටැමි ලිපි, පුවරු ලිපි ආදියෙහි මේ සම්මුතීන් ගැන සටහන් වී ඇත්තේ ‘සිරිත්, ව්‍යවස්ථා, කතිකා වත්සිරිත්’ ආදී වශයෙනි. මෙබඳු සම්මුතියක් ගැන කියැවෙන ඪ වෙනි කාශ්‍යප රජුගේ පුවරු ලිපියේ දැක්වෙන්නේ ‘සිරිත්’ යනුවෙනි. වෙස්සගිරි ලිපිවල ‘ව්‍යවස්ථා, කතිකා’ යන යෙදුම් ඇත. කතිකාවත් යන යෙදුම භාවිතයට ගෙන ඇත්තේ පොළොන්නරු යුගයේ මහා පරාක්‍රමබාහු රජතුමාගේ කාලයේ සිට ය.

විහාරස්ථානයන්හි අයිතිය හා පාලනය සංඝයා වහන්සේ අතට පත්වූ පසුකාලීන වකවානුවල දී ‘විහාර කතිකාවත්’ නමින් නීති පද්ධතියක් හඳුන්වාදීමට රාජ්‍ය පාලනය මැදිහත් වී ඇත. රජු විසින් ඒවා සම්මත කොට පොදු මහජනතාව වෙත දැනගැනීමට සලස්වන ලද්දේ කතිකාවත් මගිනි. මහා සංඝයා වහන්සේ උදෙසා පනවන ලද නීති ද විහාර සේවකයන් හා රජයේ නිලධාරීන් උදෙසා පැනවූ නියමයන් ද මෙම කතිකාවත්වලට ඇතුළත් විය. අනුරාධපුර යුගයේ අගභාගය වන විට, උපභෝග පරිභෝග භාණ්ඩ හා වත්කම් පරිහරණය පිළිබඳව භික්ෂු සංඝයා කොතරම් ආශක්තව සිටියා ද යන්න මෙම නීතිරීතිවලින් අනාවරණය වේ. රජවරුන් ඉදිරිපත්ව මතු කාලයට ද බලපවත්වන පරිදි එම නීතිරීති සෙල් ටැම්වල හා පුවරුවල කොටා ප්‍රදර්ශනය කොට තිබීමෙන් භික්ෂු සංඝයා සතු බලය ද හෑල්ලු වී ගිය අයුරු පෙනී යයි. විහාර කතිකාවත් ලෙස ගැනෙන මෙම ලිපි අතුරෙන් පස් වන කාශ්‍යප රජුගේ අනුරාධපුර වෙස්සගිරි පුවරු ලිපි, II වන සේන හා හතරවන මිහිඳු රජුගේ අභයගිරි පුවරු ලිපි හා මිහින්තලා පුවරු ලිපි දෙක ද වැදගත් තැනක් ගනී. මහා පරාක්‍රමබාහු රජතුමාගෙන් ඇරඹි ශාසන කතිකාවත් ලෙස නිශ්ශංකමල්ල කතිකාවත, කීර්ති ශ්‍රී රාජසිංහ කතිකාවත හා ශ්‍රී රාජාධිරාජසිංහ කතිකාවත දැක්විය හැකි ය.

රජුගේ මෙහෙයවීම මත වයෝවෘද්ධ භික්ෂූන් වහන්සේලාගේ මූලිකත්වයෙන් සම්මත කර ගන්නා ලද නීතිරීති ඇතුළත් මෙම කතිකාවත් භික්ෂු සංඝයාගේ විනයගරුක භාවය හා සිල්වත් භාවය සුරක්ෂිත කිරීමට හේතු විය. මෙකී කතිකාවත් පරීක්ෂාකර බැලීමේදී පෙනී යන්නේ තත්කාලීන බුදුසමයේ ස්වරූපය, භික්ෂු විනය හා ඇවතුම් පැවතුම් කලින් කලට වෙනස් වී ගිය ආකාරය යි.

උතුම් ශ්‍රී සම්බුද්ධ ශාසනයේ ශ්‍රී ලාංකේය ක්ෂේම භූමිය වශයෙන් පැවති අනුරාධපුර රාජධානියේ බිඳවැටීමෙන් පසුව පළමුවන විජයබාහු රජුගෙන් ඇරඹී මහා පරාක්‍රමබාහු රජුගෙන් ප්‍රබලත්වයට පත්වූ පොළොන්නරු රාජධානිය ආරක්ෂා කර ගැනීමට පසුකාලීන යුගයේ පහළ වූ දුර්වල පාලකයන්ට නො හැකි විය. පොළොන්නරු රාජධානියේ බිඳවැටීමත් සමඟ ම ලක්දිවට කඩා වැදුණු කාලිංග මාඝ ආක්‍රමණිකයාගේ සැහැසි ක්‍රියා නිසා ශ්‍රී ලංකාවේ පැරණි නිදහස් ජනසම්මතවාදී පාලන ක්‍රමය සහමුලින් ම වැනසී ගියේ ය. ඒ සමඟ ම සම්බුදු සසුනේ පැවැත්මට පමණක් නොව සිංහල සභ්‍යත්වයේ පැවැත්මට ද එල්ල වූයේ බරපතළ අභියෝගයකි. අනුරාධපුර පොළොන්නරු රාජධානි නටඹුන්ව වල් බිහි වී ගියේ ය. සිංහල රාජධානි සීඝ්‍රයෙන් නිරිත දිගට සංක්‍රමණය වීම නිසා රාජ්‍ය පාලනයේ ඒකාග්‍රතාව බිඳ වැටිණ. දහසය වැනි සියවස ඇරඹීමත් සමඟ ම මෘග වෙස්ගත් ප්‍රතිකාලුන් ලක්දිවට කඩා වැදී මහා බෞද්ධ සංහාරයකට මුල පිරුණි. මේ ආක්‍රමණ මැඩපැවැත්වීමට ප්‍රබල පාලකයන් බිහි නොවීම නිසා මිථ්‍යා දෘෂ්ටික බලවේග සීඝ්‍රයෙන් හිස ඔසවන්නට විය. ශිව භක්තිය වැළඳගත් සීතාවක I වැනි රාජසිංහ රජු බෞද්ධ සිද්ධස්ථාන ගිනි තබා සංඝයා වහන්සේ කුරිරු ලෙස ඝාතනය කොට මහා ශාසන විලෝපයක් සිදු කළේ ය. මෙසේ ඇරඹුණ ශ්‍රී ලංකා සම්බුද්ධ ශාසනයේ පරිහානිය සියවස් ගණනාවක් ඇවෑමෙන් දහඅට වැනි සියවසේ මැද භාගය වන විට උත්සන්න වී ගියේ ය. උපසම්පදා භික්ෂුත්වය සම්පූර්ණයෙන් ම අතුරුදහන් විය. රක්ඛංග දේශයේ මහායාන අදහස් කාවැදුණු උපසම්පදා කර්මය දෙවරක් ම මෙහි ගෙන්වුව ද එය ද රැකගැනීමට නො හැකි වීමෙන් පරිහානියේ තරම වටහාගත හැකි ය. මීට බලපෑ ප්‍රධාන හේතූන් වූයේ රාජාරක්ෂාව නොමැතිවීම, විදේශාධිපත්‍යය, කිතුණු ද්‍රවිඩ ශිව හා හින්දු ආගම්වල බලපෑම ආදිය යි.

දහසය වැනි සියවසින් පසුව මෙරට පාලනය භාරගත් රජවරුන්ට බුද්ධාගම රැකගැනීමට තබා තමන්ගේ රාජ්‍ය රැකගැනීමටවත් නො හැකි විය. පසුකාලීන වන විට රජකමට සිංහල බෞද්ධ රජ පරපුරක කෙනෙකු සොයා ගැනීමට පවා නො හැකි තැනට රට පත්ව තිබීමෙන් පරිහානියේ තරම වටහා ගැනීම පහසු වෙයි. දකුණු ඉන්දියාවෙන් පැමිණි නායක්කාර වංශික මලබාර් ප්‍රධානීන් රජකම ලබාගැනීම උදෙසා පමණක් බුදුසමය වැළඳගත් නමුදු බුද්ධාගම ගැන අවබෝධයක් ඔවුන්ට නො තිබුණි. සිරිලක් දේශයේ කෙමෙන් වියැකී යන බුදු දහම නඟාසිටුවීමට තරම් ධර්ම ඥානයක් හෝ රාජ්‍ය බලයක් හෝ මුල් නායක්කාර් රජවරුන්ට නො තිබුණි.

සීතාවක රාජසිංහ රජුගේ කාලයේ ලක්දිවට පැමිණි ශිව, ආන්ඩු පූජකයන් හා යක් දෙස්සන් දේව හා යක්ෂ ඇදහිලි ක්‍රම හඳුන්වා දී ඒවා ගම් දනව්වල පතුරුවමින් බුදු සසුනට මහත් නිගාවක් වන පරිද්දෙන් කටයුතු කර ඇත. කල් යාමෙන් එම ඇදහිලි බෞද්ධ පිළිවෙත් ලෙස සලකන්නට ගැමි ජනතාව පුරුදුව සිටියහ. දකුණු ඉන්දියාවෙන් ලක්දිවට සංක්‍රමණය වූ අයියනායක, පත්තිනි ආදි දේව ඇදහිලි ද කළුකුමාර, කඩවර වැනි යක්ෂ ඇදහිලි ද වේගයෙන් පැතිර ගියේ ය.

මහනුවර යුගය වන විට බුදු දහම පැවතියේ නාමමාත්‍රික වශයෙන් පමණි. භික්ෂු නාමය මැකී ගොස් ආරාමවාසී යතිවරුන් ‘ගණින්නැහේ’, ‘ගණින්නාන්සේ’ යනුවෙන් හැඳින්විණි. මහා ථේර, ගණ දෙටු, ථේර යන නම්වලින් යුතුව සිටි යති ප්‍රධානීහු ද පසුව ශාසනික කටයුතුවලින් බැහැර වූහ. ගණින්නාන්සේලා කහ පැහැති වස්ත්‍රයක් යට ඇඳුම ලෙස හැඳ ඊට උඩින් රෙද්දක් දවටාගෙන උරයක් වටා කහ නූලක් එල්ලාගෙන පන්සල්වල රැඳී සිට වෙන ම නිවසක අඹු දරුවන් පෝෂණය කළහ. පසුව ඔවුහු සමාජයේ අවඥාවට ලක්වූ පිරිසක් ව සිටි බව සමකාලීන ජනප්‍රවාද හා විකට ජනකවි විමසන විට පෙනී යයි.

මේ අන්දමින් ලක්දිව බුදු සසුන අන්ත පරිහානියකට බඳුන්ව පැවති සමයේ, එනම් 1695 ජූනි 19 වැනි දින තුම්පනේ වැලිවිට දී කුලතුංග නමින් උපත ලද දරුවා 16 වැනි වියේ දී සූරියගොඩ සාමණේරයන් සමීපයෙහි සරණංකර නමින් පැවිදි දිවියට ඇතුළත් විය. මෙම භාග්‍යවන්ත සිදුවීම වූ කලී ලක්දිව යහපත්ව පැවති සම්බුද්ධ ශාසනයේ පුනර්ජීවනයට පෙරනිමිත්තක් විය. දුසිල්වත් ගණින්නැහැලාගේ දිවි පෙවෙත දැක කලකිරුණු සරණංකර සාමණේරනම සැබෑ බුදුදහම දැක ගමින් ගමට ගොස් පොත්පත් සපයාගෙන පාලි භාෂාව ස්වෝත්සාහයෙහ් හදාරමින් දහම් දැනුම ප්‍රගුණ කර ගත්තේ ය. ත්‍රිපිටක පොත්, ධම්මපදය, ජාතක පොත් වහන්සේ ආදී ධර්ම ග්‍රන්ථ රාශියක් පරසතුරු උවදුරුවලට හසු නොවන පරිදි බිත්තිවලට තබා මැටි ගසා සඟවා තැබුණු තැන්වලින් සොයාගෙන සම්බුදු දහම යළි මතුකර ගැනීමට උන්වහන්සේ ගත් උත්සාහය ‘ශ්‍රී සංඝරාජ සාධු චර්යාව’ ග්‍රන්ථයේ දැක්වේ.

නිරාහාරව සිටිමින් රාජ්‍ය උදහසට ලක්ව සිරගෙවල්වල ලගිමින් අපමණ දුක්ගැහැට විඳිම්න් ‘සිල්වත් සමාගම’ නමින් සංවිධානයක් පිහිටුවාගෙන බුදු දහමට දිවි පුදා කටයුතු කරන සරණංකර හිමියන්ගේ ක්‍රියා පිළිවෙත ගැන පැහැදුන පිරිස් සිල්වත් සමාගමට එක් වූහ. අවසන් සිංහල රාජ්‍ය පාලකයා වූ ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජුගෙන් උන්වහන්සේට කිසිදු අනුග්‍රහයක් නොලැබීම වූ කලී එකල සිංහල බෞද්ධ ජනකාය පත්ව සිටි අභාග්‍යසම්පන්න තත්ත්වය අනාවරණය කරන්නකි. උපසම්පදා භික්ෂූත්වය නැවත ලක්දිවට ගෙනැවිත් සසුන් කෙත අස්වැද්දීමට උන්වහන්සේට හැකි වූයේ තමාගේ කීකරු ශිෂ්‍යයෙකු වූ නායක්කාර වංශික ශ්‍රී විජය රාජසිංහ රාජ්‍ය පදවියට පත් වීමෙන් පසුව ය. අනතුරුව කීර්ති ශ්‍රී රාජසිංහ රජු සිහසුනට පත් වීමත් සමඟ ම ලංකා බුද්ධ ශාසනයේ යම් බැබළවීමක් ඇතිකිරීමට හැකි විය.

සියම් දේශයෙන් උපාලි හිමියන් ප්‍රධාන කොට භික්ෂූන් වහන්සේලා දහඅටනමක් හා සාමණේර හිමිවරු හත්නමක් වැඩමවා 1753 ඇසළ පුර පසළොස්වක පොහොය දින, ලක්දිව නැවත බුදු සසුන පිහිටුවීමේ පළමු උපසම්පදා කර්මය මහනුවර මල්වත්තේ විසුංගාම සීමාවේ දී සිදුකරන ලද්දේ ය. උපසම්පදාවෙන් පිදුම්ලත් ශ්‍රී සරණංකර හිමියෝ සංඝරාජ පදවියට පත් වූහ.

වැලිවිට සිරි සරණංකර සංඝරාජ හිමිපාණන් විසින් මෙසේ දැඩි පරිශ්‍රමයකින් යුතුව නැවත මතුකර ගන්නා ලද්දේ සියවස් දෙකකට අධික කාලයක් තිස්සේ යටපත් වී පැවති අපගේ ශ්‍රේෂ්ඨ උරුමය වූ ශ්‍රී සම්බුද්ධ ශාසනය යි. එසේ නොවන්නට බි්‍රතාන්‍ය අධිරාජවාදී පාලනය විසින් සිංහල ජාතිය වනසා දමන්නට ඉඩ තිබිණ. ශාසන භාරධාරී භික්ෂූන් වහන්සේලා වැඩ නොසිටිය සමයේ වුව ද සිංහල ගැමි ජනකායගේ ආධ්‍යාත්මය තුළ තිසරණය කෙරෙහි පැවති ප්‍රසාදය නොනැසී පැවති බව ඔවුන් නොනමින් ලියූ කියූ ධර්ම කාව්‍ය සාහිත්‍යයෙන් ප්‍රකට වෙයි. ‘බුදු ගුණ තරඟ මාලය’ වැනි මාල කවි ද ‘පුරාණ තුන් සරණය, යශෝදරාවත, ධාතු වන්දනා කාව්‍ය, පුරාණ හිමගත වර්ණනාව’ වැනි දහම් කාව්‍ය සංග්‍රහ ද ජාතක කතා කවි පොත් ද එකී අඳුරු කාලය තුළ ලියත් ම ඔවුන්ගේ කල්පනාව පිබිදුණේ බුදු දහම පිළිබඳ ස්වකීය සන්තානගතව පැවති පාරම්පරික විඤ්ඤාණය හේතු කොටගෙන ය. සම්බුද්ධ ශාසනය බැබළී පවත්නා තාක් කල් සිංහල ජාතිය ද නිරුපද්‍රිත ව පවතිනු ඇත.

සටහන – දයාපාල ජයනෙත්ති