සිංහලයාට අනන්‍ය වූ කර්මාන්ත සහ කෘෂිකර්මය නංවාලීමට වෑයම් කළ යුතු බවට නිතර උපදෙස් දුන් දූරදර්ශී නුවණකින් හෙබි ධර්මපාලතුමා ඒ සඳහා ප්‍රායෝගිකව ක්‍රියාත්මක විය. ජපන්, ඕලන්ද, ඩෙන්මාර්ක්, එංගලන්ත, ඇමෙරිකා ආදී රටවල සංචාරය කරද්දී කර්මාන්ත නරඹා, අත්දැකීම් එකතු කළේය.

1904 ජුලි මාසයේ දී දඹදිව සාරානාත්හි කර්මාන්ත ශාලාවක් ඇරඹීමට ද ක්‍රියා කළ එතුමා ලංකාවට පැමිණ තම සහෝදරයා වූ ඩී. ඒ. හේවාවිතාරණ මහතාගේ ද සහයෝගය ඇතිව අගනා වැඩපිළිවෙළක් ඇරඹීය.

බී. දොළපිහිල්ල මහතාට පේෂකර්ම කර්මාන්තය ගැන හැදෑරීමට ද වේයන්ගොඩ විජයබාහු මහතාට පිඟන් කර්මාන්තය ගැන හැදෑරීමට ද බියන්ගොඩ බාලසූරිය මහතාට ගිනිපෙට්ටි කර්මාන්තය ගැන හැදෑරීමට ද ශිෂ්‍යත්ව ලබා දී ජපානයට පිටත්කොට හැරියේය. පුහුණු වී ආපසු පැමිණි ඔවුහු ආරම්භ කළ කර්මාන්ත මඟින් ජාතික ආර්ථිකයේ නව පිබිදීමක් ඇති විය. රට පුරා අත්යන්ත්‍ර පෙහෙකම්හල් නව ප්‍රවේශයකින් ඇරඹි අතර අලියා ගිනිපෙට්ටි කර්මාන්ත ආයතනය ද ආරම්භ විය. ධර්මපාලතුමා රටේ ධනය වර්ධනය කළ හැකි මාර්ග ද ඒ මඟින් ස්වාධීනව සමෘද්ධිමත් බව ඇතිකර ගත හැකි ආකාරය ද හොඳින් අධ්‍යයනය කොට ඒවා ප්‍රායෝගික ක්‍රියාවට ද නැගීය. ධර්මපාලතුමාගේ දර්ශනය ගුරු කොට ගනිත් නම් සිංහල ජාතියට යහපත් ඉදිරි ගමනක් යා හැකි බව ඒකාන්තය. ධර්මපාලතුමා ජාත්‍යානුරාගයෙන් පරිපූර්ණ ආධ්‍යාත්මිකව ලැබූ ශික්ෂණයෙන් ස්වයංජනක සංකල්ප ඔස්සේ මේ දේශය නංවාලීමට අවංකව ම ඇප කැප වූ දේශහිතෛෂී ප්‍රාඥයෙකි.

ස්වයංපෝෂිත ආර්ථික ක්‍රමයෙක් සහ ශිල්ප ඤාණයෙන් යුතු දේශීය අනන්‍යතාවක් උදෙසා ධර්මපාලතුමාගේ හරවත් මගපෙන්වීම්…

■ “ජාතියක් දියුණු කිරීමට ශිල්ප ශාස්ත්‍ර ගොවි කර්මාන්ත හස්ත කර්මාන්ත හා නා නා විද්‍යා එම ජාතියේ බාලක බාලිකාවන්ට ඉගැන්විය යුතුයි.”

■ “හැම පාඨශාලාවක ම ශිෂ්‍යයන්ට යම්කිසි හස්ත කර්මාන්තයක් ඉගැන්විය යුතුයි. මැහීම, ගෙතීම, රෙදි විවීම, බීරළු ගෙතීම, ගස් සිටුවීම, කෑම පිසීම, වත්ත පිරිසිදු කිරීම, ඈතින් වළක් කපා කුණු කසළ එහි දැමීම, මුස්නු (කොසු) බැඳීම, එළවළු කොරටු කිරීම, රටට ජාතියට ආගමට භාෂාවට ඇල්ම ඇති කිරීම, මේවා අපේ ගුරුවරුන් විසින් අවංක ආදරයෙන් ම කළ යුතුය.”

■ “වාණිජ කර්ම මනු නීතියේ ඉතාම ශ්‍රේෂ්ඨ කර්මයක් මෙන් නියම කොට තිබේ. වාණිජ කර්මය පටන්ගෙන ධන සම්පාදනය කිරීමට සිංහලයන් විසින් ඉගෙන ගත යුතුයි.”

■ “පුරාණ කාලයේ සිංහල පණ්ඩිතයෝ පොතපතින් නිතරම සිංහලයන්ට ධර්මාවවාද දී තිබෙත්. සුභාෂිතය, ලෝකෝපකාරාදි ප්‍රකරණවල ධර්මාවවාද තිබෙයි. මේ පොත්වල තිබෙන අවවාදවල හැටියට ශිල්ප ශාස්ත්‍ර, ගොවි කර්මාන්ත, වාණිජ කර්මාදිය ඉගෙන ගැනීමට සිංහලයින් විසින් උත්සාහ කටයුතුයි.”

■ “සමඟියෙන් සමාදානයෙන් එක්සත්ව ක්‍රියා කරන්ට සිංහලයන් විසින් ඉගෙනගත යුතුයි. සිංහලයන්ට අයිති ඉඩම් ප්‍රවේශම් කරගෙන රබර් තේ වැවීමට සමාගම් පිහිටුවාගෙන එකතු වී ක්‍රියා කිරීමට කාලය පැමිණ තිබේ.”

■ “මනුෂ්‍යයාගේ ජීවිකාව පවත්වාගන්ට ලෞකික ශිල්ප ශාස්ත්‍ර ඕනෑ කරන්නේය. සිංහල බාලක බාලිකාවුන්ට ඕනෑ කරන ධනය ශිල්ප කර්මාන්ත, විද්‍යා ධනය යි. ජපන් ශිල්පීන් ලංකාවට ගෙන්නාගෙන සිංහල ළමයින්ට ශිල්ප පුහුණු කළ යුතුයි.”

■ “බට පොතුවලින් තනන ද්‍රව්‍යය ප්‍රිය දර්ශනීය කරවීමට සිංහල ශිල්පීන් වීරිය කටයුතුයි.”

■ “ශිල්ප – කර්මාන්ත, විද්‍යා ඉගෙන ජපන්නු යුරෝපීයයන් පරාජය කළහ. ශිල්ප කර්මාන්ත ගැන කල්පනා නොකරන ජාතිය දුගී වන්නේය.”

■ “සිංහලයා තමන්ගේ රටට දාසකම් කරති. ධන උපයන වෙළඳාම් ආදී සියලු ප්‍රයෝජන දේ පරදේසීන් අතට ගොස් තිබේ. ශරීර පෝෂණයට ඕනෑකරන ප්‍රණීත ද්‍රව්‍ය සියල්ල ම සිංහලයන්ට විකිණීම කරන්නේ කවරෙක් විසින් දැයි ඇස් ඇර බලනු.”

■ “වස්ත්‍රය පවා පිටරටින් ගෙන්නාගෙන අඳින එකම ජාතිය සිංහල ජාතියයි. ධනවත් සිංහලයන්ට ප්‍රඥාව නැති බැවින් ස්වකීය ජාතිය, රට, ආගම, භාෂාව, ශිල්ප ශාස්ත්‍ර දියුණුවට ක්‍රියා නොකරති. පිටරට භාණ්ඩ මේ රටේ හදාගැනීමට පුළුවන්කම තිබිය දී අපේ ධනය පිටරටට යවන්නට කටයුතු කරන්නේ මන්ද? අපේ කර්මාන්තකරුවෝ වැඩ නැතුව අසරණව සිටිති.”

■ “පිටරටට යවන ධනය නවත්වා පිටරටින් අප රටට වස්තුව ගෙන්නා ගැනීමට සිංහලයන් විසින් මාර්ග සලස්වා ගත යුතුයි.”

■ “වෙළඳාම හා ශිල්ප කර්මාන්ත පරදේශිකයන් අතට පත්වී තිබේ. මත්පැන් විකිණීම, දාසකර්ම කොට ජීවිකාව කරගැනීම, මසුන් මැරීම, රා මැදීම ආදි නීච කර්මවල නොයෙදී සම්‍යක් ආජීවයෙන් ජීවිකාව කර ගැනීමට සිංහලයන් විසින් උත්සාහ කටයුතුයි. දෘෂ්ටි විපත්ති, ආජීව විපත්ති, සීල විපත්ති හේතු කොටගෙන අපායගාමී වන්නේය.”

■ “පුරාණ කාලයේ වාණිජ කර්මයෙහි යෙදී සිටි සිංහලයන් නා නා දේශවලට පැමිණ ධන එකතු කළ බව මහාවංසාදී ප්‍රකරණවලින් පෙනේ. සිංහල ස්වල්ප දෙනෙකු හැර වාණිජ කර්මයෙන් ධන ඉපයීමට වැඩිදෙනා උත්සාහ කරන්නේ නැත.”

■ “ශිල්ප ශාස්ත්‍රාදියක් ඉගෙන නොගෙන ධනය හම්බ කරන්නේ කෙසේද? ධන හීන පුද්ගලයා කිසි කලක ලොව බබළන්නේ නැත.”

■ “ජපන් ජාතිය පමණක් ආසියා ජාතීන්ගෙන් දියුණුවට යන්නේ නේද? යුරෝපීය ශිල්ප විද්‍යා ඉගෙන ගැනීමට ඔවුහු වීර්යය කරති.”

■ “ජපන් රටවාසීන්ගේ දියුණුවීම කවරක් නිසා වූයේ ද? නිස්සරණාධ්‍යාශයෙන්, ජාති ප්‍රේමයෙන්, ආත්ම ගෞරවය මුල් කරගෙන ජපන් ශ්‍රේෂ්ඨ උතුමෝ පරදේශීන්ට යටත් වීම දුකක් මෙන් සලකා ධනය ද ආත්මය ද පූජා කොට ගනු ලැබූ වීර්යය නිසා ජපන් රට උත්තම ස්ථානයට පැමිණියේය.”

■ “ලංකාවේ ස්ත්‍රී පුරුෂයන් ද බාල කාලයේ මෙසේ නා නා ශිල්ප ඉගෙන ගත්තේ නම් ජපන්නු මෙන් දියුණු විය හැකියි. රෙදි වෙළඳාම හස්ත කර්මාන්ත වෙළඳාම දියුණු කටයුතුයි.”

■ “ජපන් රටට සිංහල ගැහැනු පිරිමි ළමයි පණහක් එකවරට පමුණුවා ජපන් බාලක – බාලිකාවුන්ට උගන්වන ශිල්ප කර්මාන්ත ඉගැන්වීම කටයුතුයි.”

■ “හස්ත කර්මාන්තයක් නැතිව රටක් වර්ධනය නොවේ. උපදවන වස්තුව ස්වකීය රටේ නොනැවතී අන්‍ය රටවලට යා නම් ඒ රට දුප්පත් වේ. අඳින වස්ත්‍රාභරණවලට සහ අනුභව කරන ආහාරපානවලට තමන්ගේ වස්තුව පිටරටවාසීන්ට දේ නම් එය බලවත් අඥානකමකි. සිංහලයන්ගේ ස්වභාවය කුලියට බැලමෙහෙවරකම් කරන ගොපල්ලන්ගේ ගතිය මෙනි. තමන්ගේ කාලය ද ප්‍රඥාව ද ශක්තිය ද වියදම් කර ලබන ලද යම් මුදලක් ඇත්නම් එය පිටරටවාසීන්ට අයිතිකර දෙති.”

■ “මත්පැන් පානය කිරීම ආදිය දියුණු වීමෙන් සිංහල ජනතාව කාලකන්නිකමින් කල් යවති. පිටරට වීර්යවන්තයෝ මෙහි පැමිණ රටේ තිබෙන ධනය පිටරටට ගෙන යති.”

■ “අපේ රටේ වියන පැදුරු නොගෙන පිටරට පැදුරු පාවිච්චියට ගැනීම වැරදියි. අපේ රටේ හදන ලී බඩු නොගෙන පිටරට හදන ලී බඩු ගැනීම වැරදියි. අපේ කර්මාන්තකාරයෝ වැඩ නැතිව අසරණව සිටිති.”

■ “සමඟියෙන් ක්‍රියා කරමින් අපේ ළමයින්ට ශිල්ප ශාස්ත්‍ර කර්මාන්ත ඉගැන්වීමට බලවත් වීර්ය කටයුතුයි. සිංහල ජාතිය වෙනුවෙන් දිවි පුදන්ට මම සැරසී සිටිමි.”

■ “සිංහලයන්ගේ අභිවෘද්ධිය ප්‍රාර්ථනා කරමින් සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය සඳහා වර්ෂ 20ක් නා නා දේශවල ශිල්ප ශාස්ත්‍ර ශාලා පරීක්ෂා කළෙමි.”

■ “ජපන් චීන සියම් රටවල ඒ ඒ ජාතීන් දියුණු වේගෙන යන මේ කාලයේ ජාති හිතෛෂි සිංහල ගිහි පැවිදි ප්‍රාඥයන් ස්වල්ප දෙනෙක් නිස්සරණ අදහසින් අනුකම්පා සිත් උපදවා අසරණ සිංහල දරුවන්ගේ මතු අභිවෘද්ධිය සලකා තමන්ගේ කාලය, ධනය, ඥානය ඒ වෙනුවෙන් පූජා කළ යුතුයි.”

■ “තමන්ගේ වතුවල කපු වවාගෙන කපුවලින් නූල් තනාගෙන වස්ත්‍ර වියා ගත යුතුයි. හැම ගෙදරකම චර්කා (නූල් සදන යන්ත්‍ර) එකක් හෝ දෙකක් තබාගෙන කපුවලින් නූල් තනාගැනීමට සිංහල බෞද්ධ ළමයින් වහාම ක්‍රියා කළ යුතුයි.”

■ “හාල්, මුං, කඩල පරදේශීන්ගෙන් ගන්නේ මන්ද? තමන්ගේ කෙත් වතු වවාගෙන තමන්ට ආහාරයට ඕනෑ කරන හාල්, කහ, මිරිස් සියල්ලක් ම ලබා ගැනීමට වීර්යය වැඩිය යුතුයි.”

“නවීන විද්‍යාත්මක සහ තාක්ෂණ දැනුම ලබා ගනු වස් ධර්මපාලතුමා මෙන් දැඩි ලෙස සහාය පළ කළ කිසිවෙකු එදා මෙදාතුර පහළ වී නොමැතියි. ලංකාවේ අනන්‍යතාවය රඳා පවතින්නේ කාර්මික අධ්‍යාපනය මතය යන විශ්වාසය එතුමා තුළ කෙතරම් ප්‍රබල වීද යත්, අපේ තරුණයන්ට ජපානයට ගොස් එම දැනුම ලබා ගැනීම සඳහා ශිෂ්‍යත්ව ක්‍රමයක් සිය පියා ලවා ඇතිකිරීමට එතුමා කටයුතු කළේය.”

ආනන්ද ගුරුගේ මහතා