සෑම වසරක ම ජූලි 30 වනදා වෙන් කෙරෙන්නේ අන්තර්ජාතික මිත‍්‍රත්ව දිනය ලෙස ය. මිත‍්‍රත්වය වෙනුවෙන් අත්පටි, කරපටි බැඳෙන, මිත‍්‍රත්වය තහවුරු කරන්නට මිත‍්‍රත්ව ප‍්‍රකාශන එළිදැක්වෙන එකී දිනය සංකේතාත්මක ව නම් ලෝකයට අපූර්ව දිනයකි.

මිතුරන්ගෙන් හිස් වූවන් ලොව දුර්ලභ ය. මිතුරන් නිසා අති මහත් යහපත ලබන්නන් ඊටත් වඩා දුර්ලභ ය. වුවමනා අවස්ථාවන්හි දී කවර හෝ මිතුරෙකු අපේ සහායට මුණගැසෙන නිසා ඇතැම් විට මේ කාරණය හා ඔබ එක එල්ලේ එකඟ නො වනු ඇත. එහෙත්, ජීවිත කාලය පුරා අපට මුණගැසුන සියලූ මිතුරන් අද අප හා සිටී ද? නැත. අපට මිතුරන් මුණගැසුනේ ම කලින් කලට, එ් එ් අවස්ථාවන්වල දී ය. එක් අවස්ථාවක දී මහත් අස්වැසිල්ලක් වූ මිත‍්‍රත්වය ම පසුව මහා විනාශයක් ඇති කරවන අයුරු අපට සමාජයේ ඕනෑ තරම් දැකිය හැකි ය. පාප මිතුරන් නිසා නොයෙක් ඛේදවාචකයන්ට මුහුණ පෑ පිරිස් ද ඕනෑ තරම් සිටී.

මේ ජීවිතය පුරා ඔබ ව සතුටින්, සැනසීමෙන්, සන්සිඳීමෙන් තබන්නට උපකාරක වූ මිතුරන් ඔබට සිටී ද? ළඟින් සිටිය ද දුරින් සිටිය ද සෙවණැල්ලක් මෙන් ඔබ ව අත්නොහැරි, මහා පවුරක් මෙන් ඔබට රැකවල් සැලසූ මිතුරන් ඔබට සිටී ද? නොයෙක් හේතු මත ‘‘සිටී” කියා කියන්නට පෙර අත්නොහැරි සෙවණැල්ලක් ව, මහා පවුරක් ව මිතුරන් අප රකින්නේ කෙසේ ද යන්න දැනගත යුතු ය.

මේ ජීවිතයේ දී ද මතු ජීවිතයේ දී ද දුක් විපාක ඇති කරවන යම්තාක් අකුසල ධර්ම වේ ද එ්වා නූපදවන්නට ද ප‍්‍රහාණය කරන්නට ද එසේ ම මෙලොව පරලොව යහපත සලසන යම්තාක් කුසල ධර්ම වේ ද එ්වා උපදවා ගන්නට ද විපුල බවට පත් කර ගන්නට ද මඟ පෙන්වන මිතුරා අපට සෑම කල්හි උපකාරක වන මිතුරා කියා පැවසිය යුතු නො වේ ද? සියලූ දුකින් නිදහස් වන සුගත මඟ ලොවට විවර කළ තථාගත ශ්‍රී සද්ධර්මයේ එ් මිතුරා ‘කලණමිතුරා’ කියා හඳුන්වයි.

අප මේ තාක් දුර සසර ගමනක පැමිණියේ ම කලණමිතුරා තුළ වූ එ් සැබෑ මිත‍්‍රත්වය හඳුනාගන්නට අප අපොහොසත් වීම නිසා ය. කලණමිතුරු ඇසුරේ නිතින් සුරැුකෙන්නට තරම් අප තුළ ගුණධර්ම දියුණු නො වූ නිසා ය. කලණමිතුරු සම්පත ලොව පහළ වන්නේ බුද්ධ ශාසනයක පමණි. ලොව පහළ වන පරම කල්‍යාණමිත‍්‍රයාණන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ම වන නිසා, කලණමිතුරන්ගේ මුණගැසීම සම්බුදුවරයෙකුගේ පහළ වීම තරම් ම දුර්ලභ ය. කල්‍යාණමිත‍්‍රයා හඳුනාගැනීම ද එසේ ම දුර්ලභ දෙයකි. එ් නිසා මේ ජීවිතය තුළ කලණමිතුරු ඇසුර සුරක්ෂිත කර ගන්නට අවංක කැපවීමක් අප තුළ උපදවා ගත යුතු ය. ඔවුන් කෙරෙහි ප‍්‍රිය භාවය අප තුළ තිබිය යුතු ය.

‘‘ඕවදෙය්‍ය’නුසාසෙය්‍ය
– අසබ්භා ච නිවාරයේ
සතං හි සෝ පියෝ හෝති
– අසතං හෝති අප්පියෝ”
‘‘කල්‍යාණමිත‍්‍රයා වරදින් මිදෙන්න අවවාද කරනවා. යහපතේ හැසිරෙන්න අනුශාසනා කරනවා. පව්වලින් වළක්වා ගන්නවා. එබඳු කල්‍යාණමිත‍්‍රයන් ව නුවණැති සත්පුරුෂයන්ට නම් ප‍්‍රිය යි. නමුත් අසත්පුරුෂයන්ට නම් ඔවුන් අප‍්‍රිය යි.”
(ධම්මපදය – පණ්ඩිත වර්ගය)

ධර්මයෙන් ධර්මය ම ගළපා අපට අමා ඔසු දන් දෙමින් දෙලොව සැපය පිණිස ද නිවන් සැපය පිණිස ද ධර්ම යාගයේ යෙදෙන අයුරු මනා කොට පෙන්වා දෙන සිව් දිගෙහි වැඩ වෙසෙන කලණමිතුරු සඟරුවනට අපගේ නමස්කාරය වේවා! අපට උන්වහන්සේලා නිතින් ප‍්‍රිය වෙත්වා!

– මහාමේඝ –