මෙය බුද්ධ කාලයේ සිදු වූ දෙයක්. සැවැත්නුවර දෙව්රම් වෙහෙරේ දම්සභා මණ්ඩපය ධර්ම ශ්‍රවණයට කැමති පිනැත්තන්ගෙන් පිරුණු තැනක්. සෑම දිනකම සවස් කාලයේ තථාගතයන් වහන්සේ හෝ තථාගත ශ්‍රාවකයන් වහන්සේනමක් දහම් කතාවෙන් පිරිසට අනුග්‍රහ කරනවා.

ඔය අතරේ පන්සීයක් පමණ බමුණු පිරිසක් බුද්ධ ශාසනයේ පැවිදි වුණා. ඔවුනුත් පැවිදිව මුල් කාලයේ ධර්ම ශ්‍රවණයට එකතු වුණා. ඒත් කාලයක් යනකොට ඔවුන්ට හිතුණා, ‘හැමදාම බණ අහලා ඇති වැඩේ මොකක්ද? කොයි විදිහට කීවත් අවසානයේ එකක්මනේ කියන්නේ.’ කියලා. “එක දහමක් ඇහුවත් මදෑ, නිතර අහලා තේරුමක් නෑ.” කියලා මොවුන් කථා වුණා. ධර්ම ශ්‍රවණය මඟ හැරියා. භාග්‍යවතුන් වහන්සේ මෙය දැනගෙන ඒ භික්ෂූන් කැඳෙව්වා. ඒ ගැන විමසා මෙසේ වදාළා.

“පින්වත් මහණෙනි, කන් යොමා නිතර ධර්මය ඇසීමේ ආනිශංස හතරක් තියෙනවා.”

මෙහිදී භාග්‍යවතුන් වහන්සේ ධර්ම ශ්‍රවණය පරිපූර්ණව සිදු වන හැටි විස්තර කරනවා. “සෝතානුධතානං භික්ඛවේ ධම්මානං වචසා පරිචිතානං මනසානුපෙක්ඛිතානං දිට්ඨියා සුප්පටිවිද්ධානං චත්තාරෝ ආනිසංසා පාටිකංඛා.” ධර්ම ශ්‍රවණය අංග පහකින් පරිපූර්ණ වෙනවා.

1. සුතා – හොඳින් ශ්‍රවණය කිරීම.
2. ධතා – ඒ ඇසූ දේ දරා ගැනීම.
3. වචසා පරිචිතා – වචනයෙන් පුරුදු කිරීම
4. මනසානුපෙක්ඛිතා – නුවණින් වීමසීම
5. දිට්ඨියා සුප්පටිවිද්ධා – ප්‍රඥාවෙන් අවබෝධ කිරීම

මෙසේ අසන ලද ධර්මයෙන් ආනිශංස හතරක් සැලසෙනවා. අපට ධර්ම දේශනාවලින් අසන්නට ලැබෙන්නේ නවාංග ශාස්තෘ ශාසනයට අයිති ධර්මය. නවාංග ශාස්තෘ ශාසනය කියන්නේ සුත්ත, ගෙය්ය, වෙය්‍යාකරණ, ගාථා, උදාන, ඉතිවුත්තක, ජාතක අබ්භූතධම්ම, වේදල්ල කියන කොටස් නවයට යි.

මේ ධර්මය ශ්‍රවණය කිරීම පුරුදු කරපු කෙනෙක් යම් විදිහකින් සිහි මුළා වෙලා මැරුණොත් දෙව්ලොවක උපදිනවා. මෙහිදී ‘සිහි මුළා වෙලා මැරුණොත්’ කියන එක විශේෂයෙන් සඳහන් කරන්නේ සිහියෙන් මැරෙන කෙනාගේ පරලොව කොහොමටත් යහපත් බව කිව මනා නොවන නිසා. මෙතැන කියවෙන දේ මේ විදිහට තේරුම් ගන්න. අසිහියෙන් ඔහේ ලෙඩ ඇඳේ හෝ මැරෙන කෙනෙක් ඉන්නවා. හැබැයි මෙයා නිතර බණ අහන කෙනෙක්. ඒ දහම දරාගෙන විමසමින් නුවණින් වටහා ගැනීම පුරුදු කරපු කෙනෙක්. ඔහු මරණින් මතු දෙවියන් අතර ඉපිද බොහෝ සැප විඳිනවා. මිනිස්ලොව දී ඇසූ ධර්මය ඔහුට සිහියට නැගෙනවා. ඒ කෙනා දෙවියන් අතරේ දී ධර්මය පුරුදු කරලා උතුම් අවබෝධයකට පත් වෙනවා. දෙව්ලොව දී දහම මතක් වෙන්න කාලයක් යන්න පුළුවන්. ඒත් ඇසූ ධර්මය ඔහු ව විශේෂත්වයකට පත් කළා. ඒ නිසා යම් කලෙක තමන්ට ම ධර්මය මතක් වෙන්න ගන්නවා. මේ පළමු ආනිශංසය යි.

තව කෙනෙක් ඉන්නවා, එයාට ස්වබුද්ධියට ධර්මය සිහි වෙන්නේ නෑ. එනමුත් උතුම්, ආනුභාව සම්පන්න භික්ෂූන් වහන්සේනමක් දෙවියන්ට ධර්මය දේශනා කරනවා. එතකොට ඔහුට මතක් වෙනවා මේ ධර්මය නේද මා මිනිස්ලොව ඉද්දි නිතර ඇසුවේ, පුරුදු කළේ කියලා. එතකොට හොඳට සිහිය පිහිටනවා. ධර්මය අවබෝධ වෙනවා.

භාග්‍යවතුන් වහන්සේ මේ දෙවැනි පුද්ගලයා ගැන උපමාවක් දේශනා කොට වදාළා. ඔන්න බෙරහඬ හඳුනන කෙනෙක් ඉන්නවා. එයාට යම් දවසක බෙර හඬක් ඇහෙනවා. එයාට සැකයක් නැතිවම නිශ්චයකට එන්න පුළුවන් ‘මෙන්න බෙර හඬ.’ කියලා. අන්න ඒ වගේ මිනිස්ලොවේ තථාගත ශ්‍රී සද්ධර්මයට නිතර සවන් දුන්, ඒ දහම මතක තබාගෙන නුවණින් තේරුම් ගන්න උත්සාහ කරන කෙනා සිහි මුළා වී මැරුණත් දෙව්ලොව උපදිනවා. එහි දී ආනුභාව සම්පන්න භික්ෂුවක් දහම් දෙසුවොත් ‘මමත් මේ දහම මිනිස්ලොවේ දී ඇසුවා.’ කියා මතකයට එනවා. සිහි උපන් වහාම අවබෝධයට පත් වෙනවා. මේ දෙවැනි ආනිශංසයයි.

තුන්වෙනි පුද්ගලයා දෙව්ලොව උපන්නා ම තමාට ම සිහිය උපදින්නේ නෑ. භික්ෂුවක් දහම් දෙසන අවස්ථාවක් උදාවෙන්නෙත් නෑ. නමුත් ධර්මකථික දිව්‍යපුත්‍රයෙක් පිරිසට දහම් දේශනා කරනවා. එතකොට ඉක්මනට ඔහුට මතක් වෙනවා, ‘මේ ධර්මය මම මිනිස්ලොවේ දී ඇහුවා නේද.’ කියලා. ඔහුට මතකය, සිහිය හිමීට – ප්‍රමාදව උපදින්න පුළුවන්. ඒත් සිහි උපන් වහාම විශේෂ අවබෝධයකට පත් වෙනවා. ඒක හරියට සක්හඬ හඳුනන කෙනෙකුට සක් හඬක් ඇසුණාම හඳුනගන්න පුළුවන් වගේ. බලන්න මිනිස්ලොව දහම අසා තිබීමේ වාසිය. හැබැයි එය බුද්ධ වචනය විය යුතුයි. මක් නිසා ද දෙවියෝත් මනුෂ්‍යයෝත් බුද්ධ වචනයෙනුයි සදහම් දෙසන්නේ. මිනිස්ලොව බුදු බණ යම් සේ ද දෙවියන් අතරත් ඒ බණ බණ ම යි. දෙවියන් අතර යම් දහමක් ද මිනිසුන් අතරත් ඒ බණ ම යි. මක් නිසා ද දෙවියන්ගේ ද මිනිසුන්ගේ ද එක ම ශාස්තෘන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ම වන බැවින්. මේ තුන්වෙනි ආනිශංසයයි. මෙන්න නිතර ධර්මය හැදෑරීමේ ආනිශංස.

හතරවෙනි ආනිශංසය මොකක්ද? මේ විදිහට ධර්මය මනාව ඉගෙන ගන්න, ධර්මය ශ්‍රවණය කරන කෙනා සිහි මුළා වී මැරුණත් දෙව්ලොව උපදිනවා. දැන් එයාට බණ අහපු ඒවා මතක නෑ. ආනුභාව සම්පන්න භික්ෂූන් දෙව්ලොව කරන දහම් කථාවක් නෑ. දිව්‍යපුත්‍රයෙක් දහම් දෙසනවා අහන්න ලැබෙන්නෙත් නෑ. මෙයා පංචකාමයෙන් යුක්තව සිටිනවා. එතකොට එකට බණ අහලා, පින් කරලා දිව්‍යලෝකයේ උපන් – පෙර ජීවිත දකින දිව්‍යපුත්‍රයෙක් මෙයාට මුණගැහෙනවා. ඔහු සිහි කරනවා, “දිව්‍යපුත්‍රය, සිහි කරන්න අපි මේ මේ විදිහට ධර්මය ඇසුවා. පින් කළා. ඔබට මතක ද?” කියලා. ඔන්න දැන් මතක් වෙනවා. එසේ සිහි උපන් සැණින් ධර්මය අවබෝධ කරනවා. ඒක මේ වගේ දෙයක්. වැලිකෙළියේ පටන් හිටපු යාළුවෙක් වෙන්ව බොහෝ කාලයකට පසුව මුණගැහෙනවා. ඊටපස්සේ අතීත සිද්ධි සිහි කරනවා, “යාළුවේ මතක ද ඔයාට ඒ කාලේ මෙහෙම මෙහෙම වුණා.” කියලා. අරයා කියනවා, “හැබෑ නේන්නම් මතකයි මතකයි.” කියලා. හැබැයි එතෙක් හාන්කවිසියක් මතක් වුණේ නැහැ. අන්න ඒ වගේ එයාට පින් කරලා දෙව්ලොව ගිය කෙනෙක් අතීතය මතක් කරනවා. එයින් සිහි උපන් වහාම විශේෂ අවබෝධයක් කරා යනවා. දැන් බලන්න කල්‍යාණමිත්‍ර පිරිසක් සමඟ සිටීමේ වාසිය. ඒකයි, “අසේවනා ච බාලානං පණ්ඩිතානං ච සේවනා” කියන්නේ. අපේ ඥාතීන් පහත් ලෝකවල ඉපදුණාම කරදර මිසක් මොන සහයෝගයක් ද? තියෙන දහම් පිළිසරණත් නැතිව යනවා. ඒ නිසා නිතර ධර්මය ඉගෙන ගන්න එක හිස් දෙයක් කියලා හිතන්න එපා. එයින් මෙලොවත්, පරලොවත් පුදුම ආනිශංස සැලසෙනවා.

අංගුත්තර නිකායේ සූත්‍ර දේශනා කිහිපයකම විශේෂ කාරණයක් තියෙනවා. ඔන්න පින් කරන දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් ධර්මය හදාරනවා, අනෙක් කෙනා නැහැ. දෙන්නම දෙව්ලොව යනවා. ඒ ආයුෂ ඉවර වුණාම ධර්මය නොඇසූ කෙනා ඉන් චුත වෙලා නැවත මේ ලොවට එනවා. නවාංග ශාස්තෘ ශාසනය හැදෑරූ කෙනා එහි දී ම විශේෂ අවබෝධයකට පත් වෙනවා. ඒකට මේ සෝතානුධත සූත්‍රය කදිම නිදසුනක්.

භාග්‍යවතුන් වහන්සේ පුද්ගලයන් හට පෞද්ගලිකව බැඳීමේ ආදීනව පෙන්වා දෙද්දී වදාළා, “පින්වත් මහණෙනි, තමන් හිතවත් කෙනාට සංඝයා අවවාද කළොත්, බැහැර කළොත් අනෙක් කෙනා ‘මගේ හිතවතාට සංඝයා මෙහෙම කළා’ කියලා සංඝයා සමඟ ගැටෙනවා. එතකොට සංඝයා දහම් කථාව කරන තැනට එන්නෙ නෑ. සංඝයා භජනය කරන්නේ නෑ. “අක්‍ද්fක්‍ද් භික්ඛු න භජති, අක්‍ද්fක්‍ද් භික්ඛු න භජන්තෝ සද්ධම්මං න සුණාති, සද්ධම්මං අසුණන්තෝ සද්ධම්මා පරිහායති.” (පුග්ගල ප්‍රසාද සූත්‍රය – අං. නි. 03)

සංඝයා සමඟ දහම් කථාව නොකරනකොට, දහම් අහන්න නොලැබෙනකොට එයා සද්ධර්මයෙන් පිරිහෙනවා. බලන්න බුද්ධ වචනය…!

ඒ නිසා ධර්මය අසන්න නොලැබුණොත් ඔබ තව තවත් පිරිහෙනවා. ඒ නිසා, ‘බණ ඇහුවා ඇති. ඔච්චර අහලා වැඩක් නෑ.’ කියන පුද්ගලික මතවල පැටලෙන්න එපා. භාග්‍යවතුන් වහන්සේ මහා කරුණාවෙන් වදාළ දහම් අවබෝධයෙන් කවදා හරි ඔබ සුවපත් වෙනවා ම යි…! එසේ ම වේවා!!!

පූජ්‍ය වැලිමඩ සද්ධාසීල ස්වාමීන් වහන්සේ