ගමේ අවුරුදු උත්සවයේ අවසන් අංගය වූ විකට ඇඳුම් තරඟයට අවස්ථාව උදා විය. වෘත්තාකාර ඉඩකඩක් පිටිය මැද තබා නරඹන්නන්ගෙන් පිටියේ හාත්පස පිරුණි. සාස්තරකාරයන්, පිස්සන්, වෙරිකාරයන් ලෙස පෙනී සිටි තරඟකරුවන් රාශියකට පසුව සුදු රෙදි හැඳ සිල් රෙදි පොරවාගත් අට දෙනකුගෙන් යුතු කණ්ඩායමක් වටයක් ඇවිද ගොස් නිවේදකයාට සමීපව නතර වූහ. සටකපට බවක් පළ කළ තලතුනා පුද්ගලයෙකු ලෙස පෙනී සිටි ළමා තරඟකරුවා නිවේදක මහතා අසලට සමීප විය.

“ලොකු උන්නැහේ මේ කොහෙද යන්නේ සුදෙන්ම ඇඳගෙන…?” යැයි නිවේදකයා ඔහුගෙන් ඇසීය.

“අපි මේ ගමේ පන්සලේ උපාසක නඩේ. වන්දනාවේ යනවා ආයුබෝවං…”

“ඔහ්… මට දැනුයි තේරුණේ. උපාසක මහත්තයාගේ නම…?”

“මහින්දපාල. මහත්තයත් යනව නම් තව එක සීට් එකක් තියෙනවා. සල්ලි නම් ඉතින් පහු වෙලා හරි ගන්න පුළුවන්.” මහින්දපාල කීවේ ව්‍යාජ ළෙන්ගතු බවක් පාමිනි.

“අපිට කොහෙද උපාසක මහත්තයා ඕවට වෙලාවක්… කොහොම වුණත් මෙතන ඔය කැමති කෙනෙක් ඉන්නවා නම් එයාට හරි එන්න උපාසක මහත්තයගේ විස්තරේ පොඩ්ඩක් කියමු ද?”යි කී නිවේදකයා මයික්‍රෆෝනය මහින්දපාල අතට දුන්නේ ය. කරෙහි දමා සිටි ලේන්සුව ගෙන මුහුණ පිසදා පිරිස දෙස හොඳින් බැලූ හෙතෙම සින්දුවෙන් මෙසේ කීවේ ය.

“වන්දනාවෙ අරන් යන්න මන් නඩ නඩ හදනවා
වඳින්න වේලාව නොදී පෙන්නලා ගම ගේනවා
බුද්ධභූමි වන්දවන්න ඉන්දියාවේ යනවා
ෂොපින් යන්න දවස් දෙකක් වෙන් කරලා දෙනවා
දොලු කන්දෙ මුන්නේෂ්වර් හැව්ලොක් පාර්ක් යනවා
බැරිම වුණොත් රජගල හරි ගිහින් ගාණ කපනවා”

මහින්දපාල උපාසක නඩේ කෙළවරට ගියේ ය.

වළ පයයි ගොඩ පයයි තියාගෙන ඉන්න තරමේ ස්වභාවයක් පෙන්වන මහලු උපාසිකාවක් ව නිරූපණය කරන ළමා තරඟකාරිය නිවේදකයා ළඟට ආවේ හැරමිටියක උපකාරයෙනි. ඇගේ කරේ කළු පැහැති හම්පඩ මල්ලක් තිබුණු අතර දූවිලි බැඳුණ පරණ ෆයිල් කවර කිහිපයක් ඒ තුළ තිබුණි. පරණ බැංකු පොතක් ඇගේ හැට්ටය අස්සෙන් මතුව පෙනේ.

“අනේ සාදු… සාදු… උපාසිකාව බැරි බැරි ගාතේ හරි පිනක් කරගන්න යන එක නම් හරිම හොඳයි… උපාසකම්මගේ නම?”

නිවේදකයා ඇගෙන් ඇසී ය.

“නඩුව මහා උසාවියට දැම්මනේ මහත්තයා.” යි මැහැල්ල පිළිතුරු දුන්නා ය. නරඹන්නෝ මහ හයියෙන් සිනාසෙන්නට වූහ…

“නඩුවට යන ගමන් ද? වන්දනාවේ යන ගමන් ද? මොකක්ද උපාසකම්මගෙ නම?” එවර නිවේදකයා මැහැල්ලට වඩාත් සමීපව හයියෙන් තාලයකට ඇසී ය.

“නම අගිදහාමි. වන්දනාවේ ගිහින් එන ගමන් ලොකු දූලගේ ගෙදර නැවතිලා ඉඩම් නඩුවටත් ගිහින් ම එනවා… දැන් බස් ගාස්තු ඉහළ ගිහිල්ලනේ…” අගිදහාමි පිළිතුරු දුන්නා ය. ඈ වේගෙන් හති අරින්නට වූවා ය.

“වැඩිය කතා කරන එක අමාරු නිසා එහෙනම් මේ පිරිසට තමන් ගැන කියන්නකො?” යි කී නිවේදකයා මයික්‍රෆෝනය ඈ අතට දුන්නේ ය.

“වැටවල් ටික ඇවිද්දලා ලොකු ඉඩමක් හදනවා
බැරිම උනොත් මැරෙනකම් ම නඩුවක් මං කියනවා
රිදී රත්තරන් බඩු ටික පොදි ගහගෙන ඉන්නවා
මැරුණු දාක අරගනිල්ලා දරුවන්ටත් කියනවා
සතේ සතේ එකතු කරල බැංකු පොතේ දානවා
පොත පපුවට තුරුලු කරන් ලාස්ට් හුස්ම හෙළනවා”

ඇගෙන් පසුව ඉදිරියට පැමිණියේ පලතුරු වට්ටියක කේන්දර දෙකක් තබා ගත් තලතුනා උපාසිකාවකි.

“බිසෝ මැණිකේ උපාසිකාව. අවුරුදු හැට තුනයි.” කිසිවක් නොඅසා ම ඈ කීවා ය.

“සිල් ඇත්ති මොකක්ද මේ පූජා වට්ටියක් උස්සගෙන… වන්දනාවේ යනවා නෙවෙයි ද…? ආ… මේ කේන්දර දෙකකුත් තියෙනවා…” නිවේදකයා ඇසී ය…

“දන්නැද්ද මහත්තයා ඉතින් පින් කරලා විතරක් මදිනෙ… ඔය අපලවලටත් මොනවා හරි කරන්නෙපැයි… ලොකු කෙලීට කසාදයක් හරියන්නෙ නෑ… පොඩි එකාට රස්සාවක් නෑ… ආර්ථිකේ වැටිලා කිය කිය ඉඳලා හරියන්නෑ… මං මේ බලන්නේ දෙයියන්ටවත් කියලා පිටරටකට තල්ලු කරල දාන්න. කෙල්ලගෙ කුජ හතේ මහත්තයා… කොල්ලගේ සෙනසුරු නීච වෙලා…” පරණ ටකරමක් තැලෙන්නා සේ බිසෝ මැණිකේ කියවාගෙන ගියා ය. නිවේදක ඇගේ අතට මයික්‍රොෆෝනය දී මඳක් පසුපසට විය. ඇගේ කටහඬ ඒ තරමට අමිහිරි ය…

“සිල් රෙද්දට මුවා වෙලා සම්මාදන් කරනවා
සියයට විස්සක් මං ඒකෙන් යටි මඩි ගහනවා
කේන්දරේ බලා ඇවිත් දේවාලෙට දුවනවා
දෙවියන් ළඟ වැඳ වැටිලා පිහිට වෙන්න කියනවා
කවුරුන් හෝ රැව්වොත් ඇති වෛරය බැඳ ගන්නවා
කෙළින් බැරිවුණොත් මොකවත් කොඩිවිනයක් කරනවා”

නරඹන්නන් වෙතින් බිසෝ මැණිකේට ලැබුණේ ඉහළ ප්‍රතිචාරයකි… විසිල් හඬ පිටිය පුරා පැතිරෙද්දී මුහුණ රතු කරගත් කාන්තාවන් කිහිප දෙනෙක් පිරිස අතරින් ඈතට යන ආකාරය විමසිල්ලෙන් බලන්නෙකුට නම් පෙනේ…

ඊළඟට ද ඉදිරියට ආවේ තලතුනා උපාසිකාවකි. ඈ අත ලීටර් දෙකේ හිස් අයිස් කප් එකක් හා කුඩා ප්ලාස්ටික් කප් එකක් තිබුණි.

“උපාසකම්මගෙ නම?”

“ලිලී උපාසිකාව.”

“ලිලී උපාසකම්මා මොනවද මේ අතේ තියෙන්නේ…?” නිවේදක ඇසී ය…

“මේක බුද්ධ පූජාව තියන්න.” කුඩා කප් එක පෙන්වා ඈ කීවා ය…

“මේක මේ… මේක මේ…” අයිස් කප් එක ගැන කියන්න ඈ අදිමදි කළා ය. නිවේදකයාට ඈ ව වැටහුණි. ඔහු ඈ අතටත් මයික්‍රෆෝනය දුන්නේ ය.

“ඒ ගැන කියන්න ඕන නෑ. උපාසකම්මා කැමති දෙයක් මේ පිරිසට කියන්නකෝ…”

“සද්දාවට ලුණු නොබලම මං දානේ උයනවා
පුංචිම කප් එකට බෙදලා බුදුන්ට පූජා කරනවා
කඨිනේ දානෙට ගෙනිහින් පොල්සම්බල බෙදනවා
එතන ඉතිරි මස් හොදි ටික අරන් ගෙදර එනවා
ගහක වැලක ගෙඩි ඉදුනම හනික විකුණ ගන්නවා
කුණු වෙන්නට ළං වූවොත් ගමේ බෙදා දෙනවා”

විසිල් හඬ වෙනුවට එවර නැගුනේ තරමක හූ හඬකි… විශ්‍රාමික යසවතී උපාසිකාව කකුලේ මාපට ඇඟිල්ලෙන් පොළොව හාරන්නට වූයේ සැඟවෙන්නට තැනක් සොයන්නාක් මෙනි.

ඊළඟට ඉදිරියට පැමිණියේ මවාගත් වැදගත් බවක් ඇති මිටි මහත තලතුනා උපාසක කෙනෙකි. ඔහු උපැස් යුවළට උඩිනුත් යටිනුත් පිරිස දෙස හොඳින් බලා දෙතුන් වරක් උගුර පෑදුවේ තමා කෙරෙහි පිරිසේ අවධානය යොමු කර ගැනීමට මෙනි. කිසියම් බැජ් එකක් ඔහු පැලඳ සිටි අතර නිවේදකයා පළමුව ඒ ගැන ම විමසුවේ ද විය.

“මං ලිවේරා උපාසක… දායක සභාවේ සභාපතිතුමා…”

“අනේ ආයුබෝවං උපාසක සභාපතිතුමා. දැන් කොතරම් කල් ද සභාපති වෙලා?”

“තාත්තා මැරිලා අවුරුදු විස්සයි. එදා ඉඳන්…”

“අවුරුදු විස්සක්… දැන් සෑහෙන්න පින් කරලා ඇති නේද…?”

“නැතුව… නැතුව… ඔය පන්සල ම හැදුවේ මං… ඉතුරු වැඩ ටික වේගවත් ව කරගන්න හිතලමයි මේ පාර මැම්බර් ඡන්දෙත් ඉල්ලන්න හිතුවේ… මේ වන්දනාවේ යන්න ආවෙත් ඒකට බාර වෙන්න මිසක මට වෙලාවක් තිබිලා නෙමෙයි පුතා…” යි කී ලිවේරා උපාසක නිවේදක අතින් මයික්‍රෆෝනය උදුරා ගත්තේ ය.

“සහෝදරවරුනි, සහෝදරියනි… මගේ මේ කතාව අහගන්න.” යි ඔහු වේගවත් ව කතා කරන්න විය…

“නිලේ තියෙනතුරු කොහොමත් මං නම් සිල්ගන්නවා
අලුත් එකෙක් පත් වුණොතින් ඌට අංචි අදිනවා
පුංචි උන්ව වැඩට දාලා පැත්ත ගහලා ඉන්නවා
පින් අනුමෝදන් කොළේට උඩින්ම නම දානවා
වැඩිම වුණොත් දෙතුන් විටක් ලොකු සාදුට කියනවා
කොහොම වුණත් හැම වැඩක්ම මගෙ ලයිකෙට කරනවා”

“තක්කඩි ලිවේරාට ජය වේවා… තක්කඩි ලිවේරාට ජය වේවා…” එවර නරඹන්නෝ කෑ ගසන්නට වූහ. හූ හඬ මෙන්ම විසිල් හඬ ද මිනිත්තු කිහිපයක් පුරා පැවතුණි.

ඊළඟට පැමිණියේ රූමත් උපාසිකාවකි. ‘දායක සභාවේ ලේකම්’ යන බැජ් එක ඈ හැමදෙනාටම පෙන්වමින් එක තැන වටයක් කැරකුණා ය. මාල වළලු ගොඩාක් ඈ පැලඳ සිටියා ය.

“චහ්… මේ ලේකම් උපාසිකාව… කලින් ආවෙ සභාපති උපාසක.” නිවේදක ඇසුවේ ය.

“ඔව්. ඒ මගේ හස්බන්ඩ්…” ලේකම් උපාසිකාව පැවසුවේ මහත් ගර්වයෙනි.

“ඒකත් හොඳයි තමයි. කටයුතු කරද්දී පහසුයිනේ… මේ ලේකම් උපාසිකාවගේ නම?”

“සුලෝචනා.”

“වන්දනාවේ යන්න මේ තරම් ආභරණ මොකටද…?” නිවේදක තවත් ප්‍රශ්නයක් ඇසී ය.

“මං හිතුවෙ අනිත් එකීලත් දාගෙන එයි කියලා… මං මොකටද සෙකන්ඩ් වෙන්නේ කියලා දාගෙන ආවා…”

“හොඳයි හොඳයි සභාපති උපාසකතුමා වගේම නෝනා උපාසිකාවත් ගොඩාක් පින් කරලා ඇතිනේ… කියමු බලන්න ඉතින් ඒ ගැන මේ වටවෙලා ඉන්න පිරිසට.” නිවේදක මයික්‍රෆෝනය ඈ අතට දෙමින් කීවේ ය.

“තුසිතයෙ නිම්මානරතියේ හිත පිහිටන් ඉන්නවා
ගෙදර මනුස්සයට කලින් බත් බෙදාන බුදිනවා
මෙතනින් අහගන්නා දේ ගිහින් අතන කියනවා
දෙපැත්ත ගිනිගන්නා හැටි බලා තුටින් නිදනවා
ඉරිසියාව ගුණමකුකම තරඟෙට වැඩ කරනවා
බැණ්නොත් බණිනවා ගැහුවොත් ගහලා මං දිනනවා”

ලේකම් උපාසිකාවට නරඹන්නන් වෙතින් ලැබුණේ උණුසුම් ප්‍රතිචාරයකි. ඇය උපාසක නඩයට එකතු වූ පසු එක අතක ස්මාර්ට් ජංගම දුරකථනයක් ද අනෙක් අතේ ලැප්ටොප් එකක් ද ගෙලෙහි කැමරාවක් ද එල්ලාගත් තරුණ පෙනුමැති උපාසක කෙනෙකු ඉදිරියට පැමිණ නිවේදකට සමීපව සිට ගත්තේ ය.

“අනේ සාධු. තරුණ වයසේදීම සිල් ගන්න, පින් කරන්න හිතිලා… මේ උපාසකගේ නම මොකක්ද…?”

“හසරැල් උපාසක.”

“හසරැල් උපාසකගේ වයස?”

“විසි හයයි.” තරුණයා පිළිතුරු දෙමින් සෙල්ෆි කිහිපයක් ගත්තේ ය.

“රස්සාවක් කරන ගමන් මේ පින්කම් කරන්නේ… හසරැල් උපාසකගෙ රස්සාව මොකක්ද…?”

නිවේදක ඇසුවේ හැබෑම ළෙන්ගතු බවිනි…

“රස්සාව මේක තමයි.” තරුණ උපාසක පිළිතුරු දුන්නේ ය. නිවේදකට තබා කිසිවෙකුටවත් එය නොතේරුණි…

“මං ඇහුවේ රස්සාව මොකක්ද කියලා…?”

නිවේදක ආයෙම ඇසී ය…

“මේ පින්කම්වලට සම්බන්ධ වෙන එක තමයි මගේ රස්සාව…” එවර ද කිසිවෙකුට කිසිවක් නොතේරුණි. නිවේදක තරුණ උපාසකයාට මයික්‍රෆෝනය දෙමින් “අපිට මේක පැහැදිලි කරලා කියන්නකෝ.” යි පැවසීය. දුරකථනය සාක්කුවේ දමා ගත් තරුණ උපාසක කිව්වේ මෙවැන්නකි.

“පින්කම් ඔක්කොටම ගිහින් පොටෝ ටිකක් ගන්නවා
පෝස්ට් එකක් දෙකක් හදල රටට ශෙයාර් කරනවා
බල්ලො මළත් මොකද සල්ලි, තග දාගෙන ඉන්නවා
මාසෙට කොහොමත් මම නම් සම්තිං එක හොයනවා
ගෙදරට රැස්පට් දාගෙන ඔක්කොම ජය ගන්නවා
මෙයා ළඟදි දෙකට නැමිලා කොන්ද කඩා ගන්නවා”

තරුණයා අවසානයට ඔහු පිටුපසින් සිටි තරුණ උපාසිකාව පෙන්වමින් කීය. ඈ සිටියේ කහ පාට සැටින් රෙදි අලවා සීකුවින්ස්වලින් විසිතුරු කරගත් කුඩා සෙරෙප්පු දෙකක් කුඩා ටේ්‍ර එකක තබාගෙන ඉතා ගෞරවයෙන් දෑත් මත රඳවාගෙන ය. ඈ මොනවාදෝ මුමුණමින් සිටින බවකි සමීපව බලන කල පෙණුනේ…

“තරුණ උපාසිකාවක්. කලින් ගිය කෙනා කවුද…?”

“ඒක පස්සෙදි කියන්නම්… මං පවිත්‍රා.” ඈ ඇදපැද කීවා ය. නිවේදක ද තරමක් කැළඹී නොගියා ම නොවේ.

“උපාසිකාව කොහෙද මේ පුංචි ලස්සන සෙරෙප්පු දෙකකුත් අරගෙන… වන්දනාවේ නම් වෙන්න බෑ.”

නිවේදක කීවේ සිනාසෙමිනි.

“වන්දනාවේ තමයි මෙයා… මේක මගේ අතින්මයි හැදුවේ බුදු සාදුට පූජා කරන්න.” තරුණ උපාසිකාව කීවේ නැළවෙමිනි. නිවේදක ද නැළවෙමින් තවත් ප්‍රශ්නයක් ඇසී ය.

“බුදු හාමුදුරුවෝ සෙරෙප්පු දැම්ම කියල නම් මම අහලා නැහැ. අනික මේක හරි පුංචියිනේ…”

“ඔයාට තේරෙන්නැද්ද මේක ඉතින් පොඩි සංකේතයක් විතරයි. අපිට පින් රැස්වෙනවනේ…”

තරුණ උපාසිකාව නිවේදකට තවත් සමීප වෙමින් පැවසුවා ය.

“අනේ ඇති. කියන දෙයක් කියලා පින්වතිය ඉක්මනට යන එක හොඳයි… අර කට්ටියත් බලන් ඉන්නවා.” යි කියූ නිවේදක මයික්‍රෆෝනය ඈ අතට දුන්නේ ය.

“පුංචි පුංචි සෙරෙප්පුවල මල් අලවා ගන්නවා
ජයසිරිමා බෝ පාමුල තබා සාදු කියනවා
අත්වැල් පටලා දෙන්නා රුවන්වැලිය වඳිනවා
සංසාරේ හැමදාමත් එකට ඉන්න පතනවා
පුංචි වුණත් අපේ ලොවක් හදාගන්න හිතනවා
මෙයාට බැරි වුණොත් ඒක අරයට ට්‍රයි කරනවා”

පළමුව, කලින් පැමිණි හසරැල් උපාසකවත්, දෙවනුව, මේ දැන් පිරිස අතරට පැමිණි භයානක පෙනුමැති මිනිසෙකුවත් පෙන්වමින් තරුණ උපාසිකාව කීවා ය.

කෘතිම මිනිස් හිස් කබලක් පැලඳගත් කළු මහත ඔහු තුළින් පෙණුනේ යකෙකුගේ ස්වභාවයකි. නිවේදක බයාදු ගතියක් පෙන්වමින් ඔහු ළඟට පැමිණ ප්‍රශ්න කරන්නට සැරසෙත් ම බියකරු මිනිසා මයික්‍රෆෝනය උදුරා ගත්තේ ය.

“මෙහාට දීපන් ඕක. උඹල තමයි ලෝකෙම ගිනි අවුළුවන්නේ බොරු කිය කියා.”

මෙතෙක් කුතුහලයෙන් නිහඬ ව සිටි පිරිස අතරින් විසිල් හඬක් නැගුණි…

“පින්වත්නි මම යම රජ්ජුරුවෝ.”

ඔහු කීවේ නරඹන්නන්ට ය. උපාසක නඩේ ලෙස බලා අවඥා සහගත සිනාවක් පහළ කළ යමරජු පැවසුවේ මෙවැන්නකි.

“හැංගිලා මොනවා කෙරුවත් මට ඔක්කොම පේනවා
පව් කරනා කොයි කවුරුත් මගේ ළඟට වැටෙනවා
දේවදූතයන් ගැන මං ඒ අයගෙන් ප්‍රශ්න කරනවා
කරපු වැරදි මතක් කරල මහ නිරේට දානවා
මට වරමක් ලැබුණොත් විගසින් මනු පියසට වඩිනවා
තෙරුවන් සරණේ පිහිටා සිල් පද පහ රකිනවා
කේන්දරේ බල්ලට දා කර්මය සිහිකරනවා
සතර අපායෙ නොයන්න පින් රැස්කර ගන්නවා
උදේට හවසට දෙකටම බුදුන්ට මල් පුදනවා
පිරිත් ටිකක් කියලා මං නොබියව දිවි ගෙවනවා
දෙන්න මහ ගොඩක් නැතිමුත් තියෙන දෙයින් බෙදනවා
දෙන්නට කලියෙන්, දෙද්දිත්, දීලත් හිත පහදා ගන්නවා
සිල්වත් ගුණවත් වැඩිහිටි කාටත් හිස නමනවා
උඹලට කලියෙන් බලපං මං නිවනත් දකිනවා”

විනිශ්චය නරඹන්නන්ට භාර විය. අවුරුදු උළෙල නිමා විය.

චන්දන. එස්. කුමාර