මිනිසුන්ට වගේ ම තිරිසන් සතුන්ටත් අප මේ ජීවත්වන පොළෝතලය තමයි වාසභූමිය වී තිබෙන්නේ. ගොඩබිමේ ද මුහුදේ ද ජීවත්වන, පෙනෙන – නොපෙනෙන සතුන්ගේ ගණන මෙපමණකැයි කොතැනකවත් සඳහනක් නැහැ. මේ වන විට ලෝක ජනගහනය කෝටි 750ක් පමණ වන බව කියන්නට සංඛ්‍යා දත්ත තිබෙනවා වුණත්, අපා දෙපා සිව්පා බුහුපා සතුන් කොපමණ මේ මිනිස් වාසය තුළ ම සිටිනවා ද යන්න කෙසේවත් ගණනකින් දක්වන්නට බැහැ.

නිවසක සාමාජිකයන් ගණන දහයක් යැයි සිතමු. පර්චස් කිහිපයක ප්‍රමාණයකින් යුතු ඒ මිනිස් සාමාජිකයන් දස දෙනාගේ ඉඩම් ප්‍රදේශය තුළ සතුන් කොපමණ ජීවත් වනවා ඇති ද? එය කෝටි ප්‍රකෝටි සංඛ්‍යාවක් වන්නට පුළුවනි. උපදිනා සත්වයනට ඒ සා සුවිසල් උප්පත්ති ස්ථාන සංඛ්‍යාවක් තිබිය දී අප මිනිස් ලොව උපන්නේ ඇයි? පින නිසා…

එපමණක් නොවෙයි… නිරයේ ද අසුර අපායේ ද ප්‍රේත ලෝකයේ ද ගණනකින් කිව නොහැකි තරම් ප්‍රාණීන් ඉපිද සිටින බව අප සම්බුදුරජාණන් වහන්සේගේ අවබෝධය කෙරෙහි විශ්වාසයෙන් යුතුව පිළිගෙන තිබෙනවා. ඒ ඕනෑම තැනක් අපට ද ඉපදීම පිණිස විවෘත ව තිබිය දීත් අප මේ මිනිස් ලොව ම උපන්නේ ඇයි? පින නිසා…

මේ ස්ථානය අප විසින් හෝ අපගේ මව්පියන් විසින් හෝ තෝරා ගත්තේ නැහැ. කොහේ කොතැන හිඳ කොහොම මරණයට පත් වූවා දැයි නොදත් අප මරණින් මතු මව්කුස පිළිසිඳගෙන තිබෙනවා. මව්කුසක් තිබෙන්නේ මිනිස් ලොව මව්වරුන්ට පමණ ද? නැහැ. ඉදින් ගණනින් බොහෝ වූ මව්කුසවල් සෙසු ලෝකවල ද තිබිය දී අප මිනිස් මව්කුසක් කරා ම පැමිණියේ ඇයි? පින නිසා…

අප සරණ ගිය ශාස්තෘන් වහන්සේගේ අසිරිමත් වූ තථාගත බලයක් තිබෙනවා මේ ලෝක සත්වයන්ගේ චුතිය ද උපත ද දකින්නට. ‘චුතූපපාත ඤාණය’ යනුවෙන් විස්තර කෙරෙන්නේ දස බලයන් වහන්සේගේ ඒ තථාගත බලය යි.
“පින්වත් මහණෙනි, කර්මය ම සත්වයාගේ උප්පත්ති ස්ථානය වේ.”

ඉතින් අප කාගේත් උප්පත්ති ස්ථානය තීරණය වූයේ කර්මානුරූප ව ම යි. ‘කවුරුන් ද අප මෙතැන ඉපැද්දවූයේ?’ යන පැනයට හරි ම පිළිතුර ‘පෙර ජීවිතවල රැස් කළ කර්මයන්ගේ විපාකය’ බව යි. සා පිපාසා, බිය සැක, දුක් කරදර පමණ කළ නොහැකි වූ සෙසු හීන ලෝකවල උපතක නොපිහිටා මිනිස් ලොව සුගතියේ අප ලද උපත, එසේ අප උපතක් කරා ගෙන ආ කර්ම ඵලය වැඩි වශයෙන් පින හා බැඳුනක් බව තහවුරු කරනවා. ඔව්…! සතර අපා උපතින් මිදී මිනිස් ලොව උපදින්නට අපට පින් තිබිලා…

ඉතින්… පින් සහිත වූ අප මිනිස් ලොව උපන්නා… මේ මිනිස් ලෝකයේ ද විවිධත්වයන් බොහෝ ම යි. ඇතැම් රටවල් මිල මුදල් වත් පොහොසත්කම් ඇති, නවීන තාක්ෂණික දියුණුව සහිත, සුඛෝපභෝගී ජීවිතයකට පහසුවෙන් උරුමකම් කිව හැකි ස්වභාවයෙන් යුක්තයි. විනෝදයෙන්, සැහැල්ලුවෙන් කල් ගෙවන එවන් රටවල වැසියන් සතුටින් සිටින බවක් ද බැලු බැල්මට පෙනෙනවා. ඒ වගේ ම නීතිගරුක සමාජ රටාවක් තුළට අනුගත ව ඔවුන් සමාජයීය පැවැත්ම ක්‍රමානුකූල කොට ඇති බවක් ද පෙනෙනවා. හැබැයි අප ඉපදුණේ එවන් රටක නම් නොවෙයි. ඒ ඇයි? පින් මදි නිසා ද? ඇතැම් විට කෙනෙකුට එහෙම හිතෙන්නත් පුළුවනි. නමුත් එයට පිළිතුරු දෙන්නට කලබල නො වී අපි තවදුරටත් මේ ලෝකයේ ස්වභාවයන් විමසන්නට කැමැතියි.

ලෝකයේ ඇතැම් රටවල් තිබෙනවා අන්ත දුගී බවින් අපමණ දුක් පීඩා විඳින… කුසට අහරක්, ගතට වස්ත්‍රයක්, හිසට සෙවණක් සොයා සෙස්සන් වෙත අත පා යදින, මාරාන්තික රෝග පීඩාදියෙන් අතොරක් නැතිව බැට කන ජනයාගෙන් පිරී ගත් රටවල් ද ලෝකයේ තිබෙනවා. අප උපන්නේ එවන් රටකත් නොවෙයි.

ආගමේ නාමයෙන් අවි ඔසවන ජාතීන් ලෝකයේ සිටිනවා. මව පියා වුණත් මරා දමා අගමේ බැබළීම සොයන, පතන නීච ජාතීන් ලෝකයේ සිටිනවා. ආගමක් දහමක් නොඅදහන නිරාගමිකයන්… තමන් විසින් ලොව බලධාරීන් කියා අදහන්නට වෙන් කොට ගත් දෙවියන් ලෙයින් මසින් පුදන්නට දඬු මුගුරු අතැති ව, ලේ වැකුණු අත් ඇති ව, දයානුකම්පා විරහිත ව පෙරට එන්නවුන්… ලැජ්ජා බය ළමා වියේ දී ම නසා ගන්නවුන්… සදාචාර සම්පන්න, සාධු සම්මත චර්යාවන් ගරු කොට තැකීමක් නොකරන්නවුන්… නීතිය මිස මිනිසත්කම වැදගත් කොට නොසලකන්නවුන්… දන්පැන් නොදෙන්නවුන්… සිල් ගුණ නොරකින්නවුන්… දුරාචාරයේ, දුෂ්චරිතයේ ඇලී ගැලී වසන්නවුන්… මෙවැනි වූ, යහපත කැමැත්තවුන් ජීවිතය ගෙවන්නට නොරිසි කොතරම් නම් භූමීන් ලෝකයේ තිබෙනවා ද…? අප උපන්නේ එවන් පසුබිමක් කුල උරුමය කොටගෙනත් නොවෙයි.

ඇත්තෙන් ම අප ව හුදෙක් මිනිස් ලොවේ ඉපැද්දවීමට සීමා නො වී, මහානර්ඝ උරුමයක අපේ ජීවිත තබන්නටත් අප මිනිස් ලොව කරා ගෙන ආ පින සමත් වෙලා… පිනෙන් ලද උරුමය විසිනුයි හයහතර නොදන්නා කිරිකැටි වියේ දී ම ලොව පහළ වූ පරම ශ්‍රේෂ්ඨ ශාස්තෘන් වහන්සේගේ පිළිරුව අබියස දෑත් එක්කර, මොළකැටි බොළඳ හඬින් තතන තතනා ‘සාදු’ කියන්නට – ඒ සාදු ස්වරය සමඟින් කිරිකැටි අත් නළලේ තබා වන්දනා කරන්නට අප ව වාසනාවන්ත කළේ.

අප උපන් මේ බිම ලොව පුණ්‍යවන්ත ම භූමිභාගයක්. බුද්ධෝත්පාද යුගයක මෙබිමේ උපන්නවුන් ‘බුද්ධං සරණං ගච්ඡාමි’ කියා ලොව අසහාය ශාස්තෘන් වහන්සේ සරණ යන, උන්වහන්සේ වදහළ ධර්මය ද ඒ දහම් මඟ වැඩි සඟරුවන ද සරණ යන ගිහි පැවිදි බුද්ධ ශ්‍රාවකයන්ගේ දසුනෙන් හිස් වන්නේ නැහැ. සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී නාමයෙන් පිදුම් ලබනා බෝ රජාණන් වහන්සේනමක්, සෑ රජාණන් වහන්සේනමක්, ප්‍රතිමා වහන්සේනමක් ඇස නොගැටී කිලෝමීටර් ගණනාවක් යා හැකි මඟක් මේ බිමේ නැහැ. එනිසා ම, සරණ යන්නවුනට දුටු පමණින් වුව ‘මේ මාගේ ශාස්තෘන් වහන්සේ උදෙසා වූවකි’ කියා සැදැහැ සිත් උපදවාගෙන පින් රැස් කර ගන්නට කවර දෙසකට හිස හරවා ගියත් බැරිකමක් නැහැ… කොටින් ම… හිස හැරුණු අතේ කොහේ ගියත් මේ භූමියේ දී සම්බුදුරජාණන් වහන්සේගේ පාරිශූද්ධ ජීවිතය හා බැඳී දෙව් මිනිස් ලෝකයාට සැපය, සුවය සලසන උත්තම ධාතූන් වහන්සේනමක් නෙතට අරමුණු වනවා. ඒ, ජාති ආගම් වශයෙන් වෙනස් ව වූවත් මේ බිමේ උපන් කා හටත් උරුම වූවක්.

ඒ අතරිනුත් අපට ඒ සම්බුදුරජාණන් වහන්සේ සරණ යන්නට ලැබුණා. ශ්‍රී සද්ධර්මය ද ආර්ය මහා ශ්‍රාවක සංඝරත්නය ද සරණ යන්නට ලැබුණා. බුදු මුවින් ගලා ආ, සියලු දුක් නිවා අම නිවන් සලසන උත්තම සුභාෂිතයන් පැහැදිලි ව අසන්නට ලැබුණා. ‍දොහොත් මුදුනේ තබා ගෞරවයෙන් පිළිගන්නට ලැබුණා. මලින් මල බුදු ගුණ මුමුණ මුමුණා, අරුත් දැනගෙන පින් දහම් රැස් කරන්නට ලැබුණා. එක්තරා පර්යායකින් කිවහොත්, ‘පින් කරන්නට අපට පින් තිබුණා….’ ඒ පින පොඩි පිනක් නම් නොවෙයි. අග්‍ර වූ විපාක මතු උපදවාලන්නට සියලු අවස්ථාවන් විවර කළ අතිශය වටිනා පුණ්‍ය විපාකයක්.

“මහණෙනි, යම්තාක් පා රහිත වූ හෝ, දෙපා ඇති හෝ, සිව්පා ඇති හෝ, බොහෝ පා ඇති හෝ, රූපවත් වූ හෝ, අරූපවත් වූ හෝ, සංඥාවත් වූ හෝ, සංඥා රහිත වූ හෝ, නේවසංඥානාසංඥායතන වූ හෝ සත්වයෝ සිටිත් ද තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඒ සකල සත්ව වර්ගයා අතර අග්‍ර යැයි කියනු ලැබේ. මහණෙනි, යමෙක් බුදුරජුන් කෙරෙහි සිත පහදවා ගත්තාහු ද ඔවුන් පැහැදුනේ අග්‍ර වූ ස්ථානයෙහි ය. අග්‍ර ස්ථානයෙහි පැහැදුනවුන්ගේ විපාකය ද අග්‍ර වන්නේ ය.

මහණෙනි, හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගත්තා වූත්, හට නොගත්තා වූත් යම්තාක් දේ ඇද්ද ඒ සියල්ලට ම වඩා අග්‍ර වන්නේ නිර්වාණය යි. යම් මේ කෙලෙස් මද මඩින, කෙලෙස් පිපාසය සන්සිඳුවන, තෘෂ්ණාව මුලින් ම නසන, සසර ගමන නැති කරන, තණ්හාව ක්ෂය වන, විරාගී වූ, තෘෂ්ණා නිරෝධයෙන් ලැබෙන යම් නිවනක් ඇද්ද එය යි. මහණෙනි, යමෙක් ඒ විරාගී වූ ධර්මය කෙරෙහි පැහැදුනාහු වෙත් ද ඔවුනගේ ඒ පැහැදීම අග්‍ර වූ දෙයක් කෙරෙහි ය. අග්‍ර ස්ථානයෙහි පැහැදුනවුන්ගේ විපාකය ද අග්‍ර වන්නේ ය.

මහණෙනි, යම්තාක් පිරිස් හෝ සමූහයන් සිටිත් ද ඔවුන් සියල්ලන්ට ම වඩා අග්‍ර වන්නේ තථාගත ශ්‍රාවක සංඝයා ය. යම් මේ පුරුෂ යුගල සතරකින් යුක්ත වූ, පුරුෂ පුද්ගල අටකින් යුක්ත වූ ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා ආහුණෙය්‍ය, පාහුණෙය්‍ය, දක්ඛිණෙය්‍ය, අංජලිකරණීය, අනුත්තරං පුඤ්ඤඛෙත්තං ලෝකස්ස යන ගුණයෙන් යුතු වෙයි ද ඒ සංඝයා ය. මහණෙනි, යමෙක් ආර්ය සංඝයා කෙරෙහි සිත පහදවා ගත්තාහු ද ඔවුහු අග්‍ර වූ පිරිස කෙරෙහි පැහැදුණාහු ය. අග්‍ර ස්ථානයෙහි පැහැදුනවුන්ගේ විපාකය ද අග්‍ර වන්නේ ය.”

(අග්ගප්පසාද සූත්‍රය – අං. නි. 02)

මේ උතුම් සම්බුද්ධ භාෂිතය පෙන්වා දෙන්නේ අග්‍ර වූ දේ කෙරෙහි සිත පහදවා ගැනීමෙන් ද අග්‍ර වූ දේ විෂයෙහි පුදපූජා පැවැත්වීමෙන් ද අග්‍ර වූ කුසල විපාකයන් ලබන්නට අප ලද මේ මිනිස් ජීවිතය වාසනාවන්ත වී තිබෙන බව යි…
මනුස්ස ලෝකයේ උපත ලබද්දි අපේ යම් පිනක් ගෙවී ගියා. ඒ උපතත් සමඟ අප අති දුර්ලභ තිසරණ උරුමය ලබද්දී අපේ සසර පින වඩාත් බලවත් ව ගෙවී ගිය බව අප මතක තබා ගත යුතු යි…

වියදමට යම් මුදලක් අතේ තිබෙනකොට, ඒ මුදලින් ප්‍රණීත ආහාරපාන, උසස් තත්ත්වයේ ඇඳුම් පැලඳුම් – වාසස්ථාන පරිභෝග කරනවා කියන්නේ මුදල ඉක්මනින් ම වියදම් වෙනවා කියන එක යි. ඒ ආකාරයෙන් සැප සේ ජීවත් වෙන්න කැමති කෙනා වියදම් කරනවා සේ ම උපයන්නත් බුද්ධිමත් විය යුතු යි, දක්ෂ විය යුතු යි. එහෙම නොවුණොත් අතේ තිබුණ මුදලින් සැප ලබලා අවසානයේ බොහොම දුක්ඛිත ඉරණමකට යි මුහුණ පාන්න සිද්ධ වෙන්නේ. එහෙම උදවිය ගැන කියැවෙන්නේ ‘සඳලුතලෙන් බිමට වැටුණ අය’ කියල යි.

අප සාංසාරික ව ගෙන ආ පුණ්‍යස්කන්ධයත් ඒ වගේ ම විය පැහැදම් වන දෙයක්. ලෝකයේ සියලු සත්වයන් අතර අග්‍ර වූ සම්බුදුරජාණන් වහන්සේ ව සරණ යන්න ලැබිලා, ලෝකයේ සියල්ල අතර අග්‍ර වූ තථාගත ශ්‍රී සද්ධර්මය සරණ යන්න ලැබිලා, ලෝකයේ සියලු පිරිස් අතර අග්‍ර වූ තථාගත ශ්‍රාවකයන් සරණ යන්න ලැබිලා අපේ පින් විපාක දී තිබෙනවා. එපමණකින් ම අපේ සාංසාරික පින බොහෝ සෙයින් ගෙවී ගිහින් යන්න නැවත නැවත සිහි කරමින් අප හොඳින් තේරුම් ගත යුතු යි. ‘අපේ පින ගෙවී ගියා’ යන්නෙන් නොනැවතී, පිනෙන් බලවත් ව වැඩී යා හැකි බුද්ධ ශාසනය නම් වූ පුණ්‍ය ක්ෂේත්‍රය තුළ සක්‍රීය ව අග්‍ර වූ පින් උපදවන්නට අපත් බුද්ධිමත් වෙන්න ඕන, දක්ෂ වෙන්න ඕන. එහෙම නොවුණොත්, මේ පුණ්‍ය විපාක ගෙවී අවසන් වෙද්දී අප වැටෙන්නේත් බොහොම දුක්ඛිත ඉරණමකට යි… ඒ නිස යි සත්පුරුෂ උතුමන් අපට නිතර “පින නහ ගන්න එපා” කියා සිහිපත් කොට දෙන්නේ.

ඉතින්, මහත් වූ පුණ්‍ය සම්භාරයක් වියපැහැදම් කොට සම්බුද්ධ ශාසනයක ලද මේ මිනිස් ජීවිතය තුළ පින නහ ගන්න කෙනෙක් නම් වෙන්න එපා. “ඉන්න ටිකේ කාලා බීලා සතුටින් හිටියා ම මදෑ. අමුතුවෙන් පින් කරන්න දෙයක් නෑ.” කිය කියා පිනට ගරහන්න එපා. වියදම් කරන්න දෙයක් අලුතින් නූපදවා ගත්තොත් ව්‍යාපාරයක් වුණත් බංකොළොත් වෙනවා. තිසරණය සරණ කොටගෙනයි සිටින්නේ කිය කියා දේවාල, කේන්දර, නිමිති, නැකැත් ආදියෙන් පිහිට පිළිසරණ සොයන්නට එපා. තිසරණය කිලිටි වුණා ම පින බලවත් ව වැඩී යන්නේ නැහැ. ඒ දේවලින් සිද්ධ වෙන්නේ තිසරණය කිලිටි වීම යි. ඒවා පසුපස යාම නතර නොකළොත් මේ ජීවිතයේ අප උපයාගෙන සිටි පින් බොහෝ සෙයින් ගෙවී යද්දී අලුතින් උපදවාලූ පින් අස්වැන්නක් අපට නැති වෙනවා. ඉන් පසු ව අප පත් වන ඉරණම අමුතුවෙන් ඔබට කිව යුතු නැහැ. පින් මඳ වූවන්ට උරුම දුගති භූමි අපට වැසී ගිහින් නැති බව නිතර සිහිපත් කර ගනිමින්, තිසරණ ලබන්නට වූ පින නසා නොගෙන තිසරණයෙන් ම පිහිට පිළිසරණ සොයන්නට අප බුද්ධිමත් විය යුතු යි. දක්ෂ විය යුතු යි.

මේ බුද්ධ පරිභෝග භූමියේ සෑම දෙස ම සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී නාමයට වෙන් වූ පූජනීය වෙහෙර විහාර අපට දකිත හැකි යි. අප ඒ උතුම් පුදබිම් විෂයෙහි මනා කොට පිළිපන් පිරිස් වුවහොත් අපට බොහෝ පින් රැස් කර ගත හැකියි. එය සිදු කර ගන්නත් නුවණ තිබිය යුතු යි. ශාස්තෘන් වහන්සේ උතුම් සම්බුද්ධත්වය ලබන මොහොතේ සෙවණ සලසාලූ බෝධි වෘක්ෂයේ කපුටන්, නයින් ඇඳි රූප එල්වමින් අපල නසන්නට කියා යාදිනි තබනු වෙනුවට බෝරජුන්ගේ ගුණ සිතමින්, බෝරජුන් සෙවණේ බුදු බවට පැමිණි මුනිඳු ගුණයන් පුද දෙමින් බෝධි වන්දනාවක් මැනැවින් සිදු කරන ආකාරය පවා සත්පුරුෂයන් වහන්සේලා විසින් පෙන්වා දෙනු ලැබූයේ පිදුම් කළ යුතු උතුමන් විෂයෙහි නිගරු කරමින් පින නසා ගන්නවුන් කෙරෙහි අනුකම්පාවෙනු යි. ඒ සත්පුරුෂ අවවාදානුශාසනාවන්ගේ හික්මීමට නිහතමානී වුවහොත් අපට බුද්ධ ශාසනයේ උරුමය ඇතිව මිනිස් ලොව උපතක් ලද මේ පින්බර ජීවිතය පිනෙන් ම පිරී ගත්තක් බවට පත් කර ගත හැකි යි.

සම්බුදුරජාණන් වහන්සේගේ පැවිදි ශ්‍රාවකත්වය ලබාගෙන කෙලෙස් යුද්ධය පිණිස ගිහි ගෙයින් නික්ම යන්නේ ඒ හේතුවෙන් ම දෙවිවරුන් විසින් පවා සාදුකාර දී පුදනු ලබන පිරිසක්. අරහත් මුනිවරුන්ගේ උරුමය වූ කසාවත දරාගෙන කෙලෙස් මඩින්නට වීරිය කරන ඒ පැවිදි ශ්‍රාවකයන් දැක එහි ලා විශේෂත්වයක් නොදක්නා, නොදන්නා අය ලෝකයේ බොහෝ සිටිනවා. ‘මේ සම්බුදුරජුන්ගේ ශ්‍රාවකයාණන් වහන්සේනමකි’ යන ගෞරවයෙන් ලොවෙහි අනුත්තර වූ ඒ පින්කෙත පුද දී පින් ඵල නෙළන්නට බොහෝ මිනිසුන්ට වාසනාවක් නෑ. පින ගැන ද පින් උපදවනා සරණ ගැන ද නොදන්නාකම නිසා ඔවුන් මැණික පය වැදුන ද අහුලා නොගන්නා අන්ධයන් සේ අපමණ පින් ඵල උපදවන පින්කෙත හමුවේ පින නසා ගන්නා හිස් මිනිසුන් බවට පත් වෙනවා. එහෙත්, සසර වාසනාවට මේ හෙළදිවේ අප ලද මිනිස් ජීවිතය “සාදු සාදු” කියා උතුම් තිසරණය නිතින් පුද දී නොනැවතී ගලා එන පුණ්‍යස්කන්ධයක හිමිකරුවන් වන්නට අපට ඉඩ ලබා දී තිබෙනවා. ඉදින්, ඒ පින නසා ගන්නට එපා. සඟරුවන කෙරෙහි ගෞරව සම්ප්‍රයුක්ත ව පිළිපදින්න. සසරේ නැවත කලණමිතුරු සඟරුවන වෙතින් යහපත සලසන සද්ධර්මය අසන්නට එය උපකාරක යි…

අවබෝධයෙන් යුතු ව පින් කරන හැටි ඉතා ම සරල තැන පටන් තේරුම් කර දුන් සත්පුරුෂයන් වැඩ සිටින මෙවන් යුගයක ඉපිදත්, පින් වැඩී යන පින්කම් නිරන්තරයෙන් මුණගැසීත්, ලොවෙහි අනුත්තර පින්කෙත වූ ශ්‍රාවක සංඝරත්නය සුලබ ව හමුවීත් අප පින් ඵල නූපදවා, අප ව මෙලොව ඉපැද්දවූ පින වියපැහැදම් කොට හිස් අතින් මියපරලොව ගියොත් එය මොනතරම් අලාභයක් ද…? එවන් දුක්ඛිත ඉරණමක් නම් කිසිවෙකුටවත් හිමි නොවේවා! අමා මහ නිවන අරමුණු කොට ගත් පුණ්‍ය ශක්තීන්ගෙන් වැඩී යන්නට සියල්ලෝ දිවා රෑ තුන්fදාර හසුරුවත්වා!
තෙරුවන් සරණයි!

සටහන – උදුලා පද්මාවතී