නිවන් දකිනා තුරා… සෙවණැල්ල සේ පසුපස එනා…
පින නම් වූ සැපය

දවසින් දවස ගෙවෙමින් යයි. මොහොතින් මොහොත වියැකෙමින් යයි. තුරඟ වෙසින් කාලය වේගයෙන් දිව යයි. ආයුෂයට නැවතුමක් නම් නැත්තේ ය. අපේ ජීවිත ද මේ රැල්ලට හසු වී ගසාගෙන යනු ලබන්නේ ය. ළදරු විය තරුණ විය කරා යයි. තාරුණ්‍යය මහලු විය කරා යයි. මහලු විය මරණය කරා යයි. ලොව පහළ වූ බුදුවරුන්ගේ පටන් සියලු සත්වයින්ගේ ඉරණම මෙය යි. මෙවන් ඉරණමක් ළඟ හඬා දොඩා පසුතැවෙන්නට සිදු නොවන ජීවිතයක් සාදා ගත්තවුන් සැබෑ ම පිනැතියන් ය. ඉපදෙමින් මැරෙමින් යන සසර ගමනක් උරුම වූ සත්වයාගේ සැප දුක තීරණය වන්නේ රැස් කළ පින සහ පවට අනුවයි. පව් කළ කෙනා ඉතා දුක සේ ජීවිතය ගැටගසා ගන්නා අතර පින් කළ කෙනා ඉතා සුවසේ සැපවත් ජීවිතයක් ගත කරන්නේ ය. සතර අපාය උරුම වූවන් එයින් මිදී සුගති ලොවට ඔසවා තබනු ලබන පින නම් මහා බලයක් ම වන්නේ ය. උපන් මොහොතේ පටන් සෙවණැල්ල සේ තමා හඹා එන පින ජීවිතයට සැපය උදා කරන්නේ ය.

ලෝකවිදූ ගුණ පැතිරුනු අප සර්වඥයන් වහන්සේ වදහළ ලෙසට පින යනු සැපය ම වන්නේය. මේ ජීවිතයේ කවුරුන් හෝ සැප විඳිනවා යනු ඒ පෙර කරන ලද පිනෙහි ඵලයක් ම ය. පෙර පින් කළ අය මේ ජීවිතයේ කුමන තරාතිරමක උපත ලබා සිටිය ද සැපය උදාකරමින් පින ඔහු පසුපස හඹා එන්නේ ය. ඒ සැපයට තව කෙනෙක් ඊර්ෂ්‍යා කළා කියා එය වළකාලන්නට බැරි වන්නා සේ ම තමා සතුකර ගන්නට ද නොහැක. කෙනෙකුට රූප සම්පත්තියක් ලැබීම සැපයකි. නීරෝගීකම ලැබීම සැපයකි. දීර්ඝායුෂ ලැබීම සැපයකි. ධනය ලැබීම සැපයකි. මේ සැප සම්පත් ලබන පිනක් ඔවුන් සසරේ කළ නිසයි අද එවන් සැපයක් විඳින්නේ. පිනක් නොකර හිස් ප්‍රාර්ථනාවලින් මෙවන් සැප ලැබිය නොහැක. එසේ ලැබිය හැකි නම් මෙලොව කාට නම් කුමන අඩුපාඩුවක් ද? එසේ නම් ධනවතුන් හැර දුප්පතුන් ලොව කොයින් ද?

ඉපදීමේ සිට මරණය දක්වා කාලය තුළ ලබන්නා වූ සියලු සැපයන් පෙර ජීවිතයක තමා විසින් ම රැස්කළ පුණ්‍ය සංස්කාරවල ඵලයන් ය. එසේ ම යම් සත්වයෙක් දුක් විඳින්නේ ද ඒ හැම සංස්කාර ප්‍රත්‍යයෙන් ම හටගත් දේවල් ය.

යමෙක් සතුන් මරණවා නම් ඔහු විසින් අහිමි කර ගන්නේ මතුවට ලැබීමට තිබූ දීර්ඝායුෂ නම් වූ සැපය යි. සොරකම් කරනවා නම් අහිමිකර ගන්නේ තම දේපළ වස්තුව ආරක්ෂා වීමේ සැපය යි. වැරදි කාම සේවනය කරනවා නම් අහිමිකර ගන්නේ විශ්වාසවන්ත ස්වාමි භාර්යාවන් සමඟ ගත කරන නිරවුල් පවුල් ජීවිතයක් ලැබීමේ සැපය යි. බොරු කියනවා අහිමි කරගන්නේ අභූත චෝදනාවලට ලක්නොවීමේ සැපයයි. මත්වතුර මත්ද්‍රව්‍ය භාවිත කරනවා නම් අහිමිකර ගන්නේ හොඳ සිහියත්, නුවණත්, ප්‍රඥාවත් ලැබීමේ සැපය යි. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විසින් ගිහි ශ්‍රාවක ශ්‍රාවිකාවන් හට නිති පන්සිල් ආරක්ෂා කිරීම පනවා ඇත්තේ මෙලොව ජීවිතය ආරක්ෂා කර දීමටත්, පරලොව නොවරදින සුගති සැප හිමිකර දීමටත් ය. පිරිහෙමින් යන මෙවන් කාලයක යමෙක් පන්සිල් ආරක්ෂා කරන්නේ නම් ඔහු ආරක්ෂා කර ගන්නේ මතු ලබන්නා වූ සැපයන් ම ය.

ලෝකයේ ධනවතුන් සුඛෝපභෝගී ජීවිත ගතකරද්දී ඒ ලෝකය තුළ ම අන්ත අසරණ දුප්පතුන් හාමතේ ම මිය යයි. බාහිරින් දකින මේ අසාධාරණ භේදය ගැන හැමදාමත් ලෝකයේ උද්ඝෝෂණ, විරෝධතා, මතවාදයන් පැවතුනේ ය. ධනය බෙදී යාමේ සමානුපාතී ක්‍රමවේදයන් ගැන කථා කළාට, ක්‍රියාත්මක කළාට මේ ලෝකයේ තවමත් දිළිඳුකමින් මිය යන්නන්ගේ අඩුවක් නැත. මෙහි ඇති පුදුමයක් ද නැත. පෙර ජීවිතවල තමා විසින් ම රැස්කළ පුණ්‍ය සංස්කාරවලට අනුව ම ඵලයන් උරුම වන්නේය. සියලු ලෝක අවබෝධ කළා වූ ලෝකවිදූ අප සර්වඥයන් වහන්සේ වදහළ ධර්මය ඒකාන්තයෙන් ම අකාලික වන්නේ ය. මෙකලට සසඳා බැලුව ද ඒ සන්දිට්ඨික වූ ධර්මය සත්‍යානුභාවයෙන් බබළන්නේ ය.

අන්ත අසරණ දිළිඳුන් ලොව කොතරම් සිටියත්, ඔවුන් වෙනුවෙන් හිත් උණු වන මිනිසුන් ලොව අනත්තවත් සිටියත් සැපයක් ලැබීමේ පිනක් නැත්නම් ඒ වෙනුවෙන් ගන්නා සියලු උත්සාහයන් ව්‍යර්ථ වී යන්නේ ය. ලැබීමේ පිනක් ඇත්නම් ඔවුන් ලොව කොහේ සිටියත් සැපය ඔවුන් කරා එන්නේය. බුද්ධ කාලයේ එවන් දිළින්දන් පසුපස ආ පින ඔවුන්ගේ ජීවිතයට සැපය උදා කළ අවස්ථාවන් අපට විමානවත්ථු, ප්‍රේතවත්ථුවල බොහෝ සේ හමු වෙයි. ඔවුන් පෙර කළ පිනට අනුව රජ සැප, දිව්‍ය සැප මතින් උතුම් නිවන් සැපය කරා යාමට තරම් පින ම උපකාර වූයේය.

හිඟමනේ ගිය දුගියන් දෙව් විමන්වල සුර සැප විඳින්නන් බවට සුගතිය වෙත ඔසවා තැබූයේ පින විසින් ම යි. පිදීමට හෝ යමක් නැති දුගියන් වී උපනත් කැඳ ටිකක්, පොරි ටිකක් වැනි පුංචි දෙයක් සැදැහැ සිතින් පුදා සිත් පුරා සතුටු වූයේ අත්හැරීමේ ගුණයෙන් ඔවුන් පොහොසත් වූ නිසා ය. කුසගින්නේ මිය යන්නට සිදු වුවත් අත්හැරීම ගැන පසුතැවුණේ නැත. ඒ අත්හැරීම නිවන දක්වා ම ඔවුන් ව සැපවත් කළේ ය. මිනිස් කය අත්හරිද්දී සුගතිය වෙතට ඔවුන් ව පිළිගනු ගැබූයේ රැස් කරන ලද පින විසින් ම ය.

දිනක් අප භාග්‍යවතුන් වහන්සේ භික්ෂු සංඝයා පිරිවරාගෙන ථූණ නම් වූ මිථ්‍යාදෘෂ්ටික බමුණු ගම්මානයට වැඩම කළහ. මිථ්‍යාදෘෂ්ටික මේ බමුණන් භාග්‍යවතුන් වහන්සේටත්, භික්ෂූන් වහන්සේලාටත් කිසිම ගෙදරකින් වතුර ටිකක්වත් නොදෙන ලෙස තහංචි පනවා තිබුණි. නමුත් දිය ගෙන යමින් සිටි ස්ත්‍රීන් පිරිසක් අතර සිටි තරුණ දියණියක සඟ පිරිස පිරිවරා වැඩ සිටින බුදු හිමියන් දැක සිත පැහැදී ‘මේ බමුණන් මට කුමක් කළත් කම් නැත’ යි ජීවිතාපේක්ෂාව අතහැර අන් ස්ත්‍රීන් වළකන්නට උත්සාහ කරද්දීත් පැන් කළයක් රැගෙන මුලින් ම බුදු රජුන්ට පැන් පුදා අනෙක් සංඝයාට ද පැන් පිදුවා ය. මෙයට කිපුණු ගමේ බමුණෝ ඇයට චෝදනා කරමින් බැණ වැදුණහ. ඇය සිත අපහදවා ගත්තේ නැත. ‘හයියෝ පැන් පුදන්නට ගිහින් මට වෙච්ච දෙයක්’ කියා පසුතැවුණේ ද නැත. ‘මම කළේ වැරැද්දක් නෙවෙයි. මම කළේ උතුම් දෙයක්’ ය යන පින් සිත ඇය ආරක්ෂා කර ගත්තා ය. බමුණන් ඇයට පහර දුන්නේය. ඒත් ඇගේ සිත වෙනස් වූයේ නැත. හුස්ම පොද ඇයට අහිමිව ගිය ද ඇගේ සිත වෙනස් වූයේ නැත. එකල බුද්ධ ශ්‍රාවිකාවන්ගේ පින් සිත්වල තිබුණු සවිය විස්මිත ය. කය පීඩාවට පත් කළ පහරවලින් ඇගේ පින් සිත පළුදු වුණේ නැත.

ගලා ගිය රුධිරයෙන් ඇගේ පින් සිත බොඳ ව ගියේ නැත. හුස්ම පොද සිඳී ගියත් සිතේ පිරී ගිය පින සිඳුනේ නැත. නිදාගෙන පිබිදියාක් මෙන් දෙව් සිරියෙන් බබළමින් නිල් දිය පිරි දෙව් විමනක් මැද ඇය තව්තිසාවේ පහළ වූවා ය. ඇය පිදුවේ පැන් ටිකකි. නමුත් ඇය පිදුවේ ලොව අග්‍ර ම උතුමන්ට ය. ඒකාන්තයෙන් ම ඇය අග්‍ර ඵලයක් ලැබුවා ය. අනුත්තර වූ පින්කෙතෙහි වැපිරූ දෙයින් මහත් ඵල මහානිශංස අස්වැන්නක් ඇය ලද්දා ය. ඒ මොහොතේ ම නිල්දිය පිරි පැන් පොකුණුවලින් බබළන්නා වූ දෙව් විමන ද සමඟ දිව්‍ය අප්සරාවන් පිරිවරාගෙන තමා කළ පිනෙහි ආනුභාවය අන් සියල්ලන්ට පෙනෙන සේ පැමිණ භාග්‍යවතුන් වහන්සේගේ පා කමල් බැතියෙන් වන්දනා කළා ය. බමුණු ගම්මානය ම සලිත වී ගියේ ය. ඔවුහු භාග්‍යවතුන් වහන්සේ ඉදිරියේ වැඳ වැටී සමාව අයැද සිටියාය. පින නම් මේ සා ආනුභාව සම්පන්න වන්නේ ය.

ඛෙත්තූපමා අරහන්තෝ
දායකා කස්සකූපමා
බීජූපමං දෙය්‍යධම්මං
එත්තෝ නිබ්බත්තතේ ඵලං

“රහතන් වහන්සේලා සරු කෙත වැනි ය. දායකයෝ ගොවියන් වැනි ය. පූජා කරන දෙය බීජ වැනි ය. මේ කරුණු තුන හේතු කරගෙන මහත් ඵල, මහානිශංස ඵල හටගන්නේ ය.”

“විචෙය්‍ය දානං සුගතප්පසත්ථං
යේ දක්ඛිණෙය්‍යා ඉධ ජීවලෝකේ
ඒතේසු දින්නානි මහප්ඵලානි
බීජානි වුත්තානි යථා සුඛෙත්තේ

දන් පැන් පිළිගැනීමට සුදුසු උතුමන් සොයා දන් පිදීම බුදුවරුන් ප්‍රශංසා කළ දෙයකි. එවන් උතුමන්ට දෙනු ලබන දානය සරු කෙතක වැපිරූ බීජ ලෙසින් මහත් ඵල ගෙන දෙන්නේ ය.”

පිනක් ගැන පවක් ගැන නොදැන ආ සසර ගමනක පින පව අප හඳුනාගත්තේ සද්ධර්මය ලොව පවතින මෙවන් කාලයක උපන් නිසා ය. මේ ගෙවෙමින් යනු ලබන්නේ පව් දුරු කොට, පින හුරු කොට ජීවිතය පිනෙන් පුරවාගත හැකි කාලයකි. සමාජය පිරිහෙමින් ගියත්, ලෝකය මිථ්‍යාවෙන් වැනසෙමින් ගියත් තවමත් උතුම් බුද්ධ ශාසනය ලොව පවතියි. විකෘති කරමින් වෙනස් කරන්නට හැදුවත් අකාලික ශ්‍රී සද්ධර්මය ලොව තවමත් පවතියි. නින්දා අපහාස ගැරහුම් ලැබුවත් අනුත්තර වූ පින්කෙත ලොව තවමත් වැඩ හිඳියි. එසේ නම් ධර්මයේ හැසිරෙනු කැමති කාටත්, පින්කර ගනු කැමති කාටත් ඊට මග හසර තවමත් විවර ව ඇත්තේ ය.

බලි තොවිල් හූනියම්වලින් ජීවිතයට සරණ සොයන හිස් මිනිසුන් අතර සැබෑ ම බෞද්ධයන් සේ තෙරුවන පිහිට කර ගනිමින්, ත්‍රිවිධ පුණ්‍යක්‍රියාවන් ජීවිතයට හුරු කර ගනිමින් පිනෙන් කුසලයෙන් පිරුණු ජීවිතයක් තුළින් සුගති රැකවරණය සලසා ගන්නට කැමැත්ත ඇතියන්ට ඊට අවස්ථාව ද ඕනෑ තරම් ඇත්තේ ය.

පින ගැන අවබෝධයක් ඇති බෞද්ධයෙකු වී මෙවන් පින්බිමක ම උපත ලැබීම පිනක් නොවන්නේ ද? එය මහා පිනක් ම ය. පින ගැන විශ්වාසය ඇත්තේ ද බෞද්ධ අප තුළ පමණි. දසවස්තුක මිථ්‍යාදෘෂ්ටියෙනුත් ඔබ්බට ගියා වූ මිථ්‍යා මතයන්ගෙන් සැපය වනසා ගන්නවුන්ගේ අවාසනාවට වාසනාව දිය නොහැක්කේ ය. පව්කාර දිවියක් ම උරුම කරන් ආවෝ එයින් ම වැනසී යාම පව් විපාක දීමේ ස්වභාවය යි. අති දීර්ඝ සසරක යන අප මේ ගෙවා දමමින් සිටින්නේ ඉතා සුළු මොහොතකි. නමුත් එය කෙනෙකුගේ සසර ගමන සුගතිය මතින් උතුම් නිවන කරා පමුණුවන ක්ෂණය විය හැක. සුළු මොහොතක කාම සැපයට වහ වැටී අහිමි කර ගන්නේ යළි උදා නොවන සුගතිය නම් වූ අමිල සැපය යි. කාලය වැය කරමින් සොය සොයා වෙහෙසෙන්නට අවැසි නැත. පත පතා සිහින මැවීමෙන් ද ඵල නැත. මේ දුකෙන් නිදහස් ව ලැබිය හැකි උතුම් සැප ලබනු කැමති නම් ගිහි පැවිදි කාටත් උපකාරී වන්නේ රැස් කරන පින ම ය. මේ පුංචි ධර්මද්වීපය එවන් සැදැහැතියන් වෙනුවෙන් ම අප ගෞතම මුනිඳුන් විසින් දායාද කළ මහා තෙදැති පුණ්‍ය භූමිය යි.

මහත් වූ ධනස්කන්ධයක් වියදම් කොට පින් කරන ලක්ෂපතියෝ, කෝටිපතියෝ මෙන් පින් කිරීමට නොව කැලේ ගහක පිපුන මලක් බුදුන් පාමුල බුදුගුණ සිහිකොට පූජා කළත්, තෙල් ටිකක් දමා පහනක් දල්වා බුදුරජුන් උදෙසා පූජා කළත්, සුවඳ කූරක් දල්වාගෙන බුදු ගුණ කිය කියා සෑයක්, බෝධියක් පැදකුණු කළත් පින් රැස් වෙනවා ය යන ධර්මතාවය විශ්වාස කරමින් පින් රැස් කරන්නට අප පුරුදු විය යුතු ය. නැති නම් අප හැමදාමත් ලොකුවට පින් කරන්න හිතනවා පමණි. නමුත් අවසානයේ කර ගත් පුංචි පිනක්වත් නැත. කෙනෙකුට තිබෙන්නේ බතයි – හොද්දකුයි නම්, තේ කහට ටිකක් නම්, මුකුත් ම නැති නම් පිරිසිදු පැන් බඳුනක් හෝ පැහැදුනු සිතින්, බුදු ගුණ සිතමින් බුදුරජුන් උදෙසා පූජා කිරීමෙන් පින් රැස් වන බව විශ්වාස කළ යුතු ය.

එසේ ම ධනවතුන් චතුමධුර, ප්‍රණීත ඛාද්‍ය භෝජන බුදුරජුන් උදෙසා පූජා කරනවා දකිනවිටත් ඊර්ෂ්‍යාවකින් තොරව සාදුකාර දී ඒ උත්තම පූජාවන් සතුටින් අනුමෝදන් වීමටත් අවංක නිහතමානී ශ්‍රද්ධාවක් අප තුළ තිබිය යුතු ය. නැති නම් බුදුන් උදෙසා මහා වියදම් දරමින් පූජාවන් පවත්වන්නේ කවුරුත් ය, මසුරු සිතින් ඒවාට ගරහමින් අනන්ත පව් රැස් කර ගන්නේ කොහේවත් ඉන්නා කෙනෙක් ය. දිවමන් බුදුන් වැඩහුන් ඒ අතීතයේ කිසිදු දෙයක් පූජා නොකර, දෙතිස් මහා පුරුෂ ලකුණින් යුත් ඒ දිවයුරු සේ බබළන පින් රුසිරාණන් වඩිනා’යුරු දැක සිත් පහදාගෙන ඒ පිනෙන් ම කල්ප ගණන් සුගති සැප වින්ද මහා පිනැතියන් සේ ම තිරිසන් සතුන් ගැන ද ඕනෑ තරම් සූත්‍රවලින්, ජාතකවලින් අපට දැනගන්නට ලැබේ. දැකීම් මාත්‍රයකින් රැස් වන පින එතරම් නම්… යමක්, පූජා කිරීමෙන් රැස් වන පින කොයිතරම් ආනුභාව සම්පන්න වනවා ඇත්ද? එසේ නම් දුප්පත්කම්, පොහොසත්කම් පින් රැස් කිරීමට බල නොපාන බව මනාව පැහැදිලි ය. පින බලවත් වන්නේත්, දුර්වල වන්නේත් තම සිතේ පැහැදීම අනුව ය.

පින් කිරීමට වගේ ම, පින් සිත රැක ගැනීමටත් බොහෝ දක්ෂ විය යුතු ය. එසේ දක්ෂ වුවහොත් පින්කම් නාමයෙන් අනන්තවත් පව් රැස් කර ගන්නන් අතර අහිංසක ව, ශ්‍රද්ධාවෙන් ඔබ කරන පින අන් සියල්ල අභිබවා දිනෙක සුගතියේ ඉහළට ම ඔබව රැගෙන යනු ඇත. දුක සේ රැස් කළ පින්වලින් පිරුණු ජීවිතය සසරින් එතෙර කරවන තුරු ම සැප සලසාලමින් සෙවනැල්ල සේ ඔබ ළඟින් ම හිඳිනු ඇත.

අප භාග්‍යවතුන් වහන්සේ පින යනු සැපයයි වදාළේ පින ගැන පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කළේ උන්වහන්සේ ම නිසා ය. බුදුන් වහන්සේ වදාළ එකී ධර්මය ගැන කිසිදු දැනුමක් නැති, ධර්මය ජීවිතයේ අහලකවත් නැති මේ කාලේ රඟ දෙන සමහර උපාසක චරිත පින හඳුනන්නේ නැත. දහස් ගණන්, ලක්ෂ ගණන් වියදම් කරනා නමුත් පුංචි පිනක්වත් රැස් කර නොගෙන බොරු සෝබන වැඩවලින් බුදුරජුන් පුදන්නට දැඟලීම ඔවුන්ගේ පින් කෙරිල්ල යි. සමාජයත්, රටත්, ලෝකයත් රැවටිය හැක. නමුත් කිසිදාක තම සිත රැවටිය නොහැක. පින්කම් නාමයෙන් සිත යට තැන්පත් වුණේ රැවටීම, බොරුව, වංචාව නම් ඒ දේවල් කවදා හරි ඔවුන්ට ම ය. රැවටෙන අයෙක් නම් නැත. බොරු රඟපෑමෙන් යා හැකි සුගතියක් ද නැත. පිටින් ඉඳන් සාදුකාර දී අනුමෝදන් වූවෝ මහත්ඵල පින් රැස් කර ගනිද්දී, බුදු පුදට ගරහමින් සිත් දූෂිත කර ගන්නවුන් පව් රැස් කර ගැනීම වැළැක්විය නොහැක.

මෙවන් හිස් රූකඩ චරිත හා බැලූ කල අප ගෞතම බුදු හිමියන්ගේ අග්‍ර ගිහි උපාසක වූ අනේපිඬු සිටුතුමන් පින් රැස් කිරීම පිණිස දිවිය ම කැප කළ මහා පිනැතියෙක් ම ය. ධන සම්පත්තියෙන් පමණක් නොව ප්‍රඥා සම්පත්තියෙන් ද ඔහු සැබෑ ම ධනවතෙකි. අප ගෞතම බුදු හිමියන් කෙරෙහි ඔහුගේ තිබූ පැහැදීම කොයිතරම් නම් ඉහළ ද කියා කීර්ති ඝෝෂා පැතිර ගියේ ජේතවන භූමිය රන් කහවණුවලින් අතුරා මිල දී ගැනීමේ මහා පුණ්‍යක්‍රියාවෙන් ය. ඒ භූමියෙහි සොඳුරු මනරම් විහාරයක් කොට බුද්ධප්‍රමුඛ මහා සංඝ රත්නයට පූජා කිරීමෙන් තෙරුවන කෙරෙහි එතුමන්ගේ තිබූ නොසෙල්වෙන ශ්‍රද්ධාවත්, සසරෙහි පිරූ පින් බල මහිමයත් තුළින් ගෞතම ශ්‍රාවක, ශ්‍රාවිකා සිත් පිනට ම නැඹුරු කරවමින් මුළු බුද්ධ ශාසනය ම පුණ්‍ය ප්‍රවාහයක් කළේය.

බාහිර ව කරනා සියලු ආයෝජනයන්හි ප්‍රතිලාභ මේ ජීවිතයේ මරණයෙන් අහිමිව යන්නේ ය. ලොව වෙසෙනා සියලු ධනවතුන්ට මේ න්‍යාය මෙසේ ම ය. මේ ජීවිතයෙන් මතුවටත් ප්‍රතිලාභ ලැබිය හැකි එකම ආයෝජන ක්‍රමය නම් පින් කිරීමයි. දුකෙන් එතෙර වන මේ පුණ්‍ය ක්ෂේත්‍රය ලොවට හෙළි කලේ දෙව් මිනිසුන්ගේ පිනට ම පහළ වන බුදුවරුන් ය. ඒ බුද්ධ වචනය හිස්මුදුනින් ම පිළිගනිමින්, ජීවිතවලට හුරු කර ගනිමින් එකල ජීවත් වූ අනේපිඬු සිටුතුමන්, කොසොල් මහ රජතුමන්, විශාඛා මහෝපාසිකාවන්, බන්ධුල මල්ලිකාවන් ආදී බොහෝ ධනවතුන් බුද්ධ ප්‍රමුඛ මහ සඟරුවන වෙනුවෙනුත්, අන් සියලු සත වෙනුවෙනුත් තමා සතු ධනය සතුටින් ම අත්හළේය. එලෙස සිදු කළේ බුදු හිමියන් පෙන්වා වදහළ පුණ්‍ය ප්‍රතිපදාවේ පිහිටා ය. එම පුණ්‍ය ආයෝජනයන්ගෙන් අද ඔවුන් ලබන්නා වූ ප්‍රතිලාභය කාට නම් සිතිය හැකි ද? එසේ නම් අන් අයගේ සැපය වෙනුවෙන් යමක් අත්හැරීම යනු මතු සැප සලසන, තමා වෙනුවෙන් ම කරනා පුණ්‍යවන්ත ආයෝජනයක් ම වන්නේ ය.

මතු උපත කොයි අත සිදුවේදැයි අප දන්නේ නම් නොකා නොබී, නිදා නොගෙන, ගිනි ගත් හිසේ ගින්න නිවා ගැනීමටත් පෙර පින් කිරීමට – ධර්මයේ හැසිරීමට අප උත්සාහවත් වනු ඇත. ඉපදීම, ලෙඩ වීම, ජරාවට පත් වීම, මරණය යනු දුකක් ලෙස දකින්නට සිත් සංවේදී නොවන තාක් ම මිනිසුන් සිටින්නේ ධර්මයට බොහෝ ඈතින් ය. එනිසා ම බුදු හිමියන් වදාළ දාන, සීල, භාවනාවෙන් ඔපවත් වූ සොඳුරු නිවන් මගෙන් ද ඔවුන් වෙසෙන්නේ බැහැර ව ය. යන මඟක් ගැන අවබෝධයක් නැතිව ජීවිතය ඉබාගාතයේ අරන් යන වැල්පොටක් පමණක් අල්ලන් සිටිනා අසරුවන් නම් ඔවුන් ම ය. නිවැරදි මාවත් බොහෝ ය, මඟ පෙන්වන්නන් ද එමට ය, නමුත් ඔවුන් හති වැටෙනා තුරු ම, හැට පනිනා තුරු ම හිතුමනාපෙට ඉබාගාතයේ ම කරක් ගසන්නේය. ඉඳගන්න, හිටගන්නවත් වාරුවක් නැති දාක, මහා වේගෙන් දුවන්න හිතාගෙන ගොඩ වෙති ඔවුහු නිවන් මඟට. හණි හණිකට ඔක්කෝම කර ගන්නට පෙර නොතිබුණු හදිස්සිය තිබුණාට එදාට, ප්‍රමාදය ම පසුතැවීමට හේතුව වන්නේ ය. භාග්‍යවතුන් වහනසේ වදහළ ලෙස, දිය සිඳීගිය විල් ළඟට වී සුසුම් හෙළනා කොකුන්, කෙකිණියන් නම් ඔවුන් ම ය.

උදේ පාන්දර ඉඳන් ම, ගමක් ගානේ, පන්සලක් ගානේ මෙන් ම ටීවී රේඩියෝ ආදී මාධ්‍යයන් ඔස්සේ ද ධර්මය රැව් පිළිරැව් දුන්න ද ඒවායින් ඵල ලැබ ගන්නෝ සුළුතරයකි. බහුතරය සංගීතයෙන් ම සියලු සැප ලබන්නෝ ය. ධර්මයක් ඇසෙන විට ඔවුන්ගේ සවන් අගුළු වැටෙන්නේ ය. නිරයෙන් මිදෙන, සුගතියට මඟ කියන ලොව්තුරු ධර්මය ඇසෙන විට මර නින්දේ සිටින, අඳුරෙන් අඳුර කරා ම යන්නෝ ඔවුන් ම ය. මර නින්දේ දකිනා සිහිනයක් නොවෙයි ජීවිතය… බොහෝ අයට නොසිතුණාට මේ ගෙවෙමින් යන්නේ අති දුර්ලභ ක්ෂණ සම්පත්තිය යි. ආරක්ෂා වීමේ මඟත්, විනාශයට මඟත් විවරව ඇති ලෝකයක නිවැරදි මඟ පෙන්වන්නන්ගෙන් අසා හෝ මඟ තෝරා ගැනීම ඔබ සතු ය. ඉබාගාතයේ යන්නවුන් අතර නිසි මාවතේ ජීවිතය හසුරුවන දක්ෂ අසරුවන් වන්නේ ධර්මය දායාද කර ගත්තවුන් පමණි.

“මා භික්ඛවේ පුඤ්ඤානං භායිත්ථ. සුඛස්සේතං භික්ඛවේ අධිවචනං යදිදං පුඤ්ඤානි.”
“මහණෙනි, පිනට බය නොවව්! මහණෙනි, පින යනු සැපයට කියන නමෙකි!

මහණෙනි, මම වනාහී බොහෝ කලක් කරන ලද පින්වල ඉෂ්ට වූ, කාන්ත වූ, මනාප වූ විපාක බොහෝ කල් විඳින ලද බව හොඳින් දනිමි. සත් වර්ෂයක් මෛත්‍රී චිත්තය දියුණු කළෙමි. සත් වර්ෂයක් මෛත්‍රී චිත්තය දියුණු කොට නැසෙන වැඩෙන සත් කල්පයක් මේ මිනිස් ලොවට නැවත නොපැමිණියෙමි. ලෝකය නැසෙන කල්හී මම ආභස්සර ලොවට පැමිණියෙමි. ලෝකය හැදෙන කල්හී ශූන්‍ය වූ බ්‍රහ්ම විමානයක උපන්නෙමි. මහණෙනි, එහි ද මම බ්‍රහ්මයා වෙමි. මහා බ්‍රහ්මයා වෙමි. සියල්ල මැඩලමි. අනුන් විසින් නොමැඩිය හැක්කෙමි. සියල්ල දක්නාසුලු වූයෙමි.

වසඟයෙහි පැවැත්වූයෙමි. මහණෙනි, මම වනාහී තිස් හය වතාවක් ශක්‍ර දේවේන්ද්‍ර තනතුර ලැබුවෙමි. ධාර්මික වූ, ධර්මරාජ වූ චක්‍රවර්තී රජු වූයෙමි. සිව් මහා සමුදුර හිම් කොට ඇති පෘථිවියෙහි දිනන ලද්දෙමි. ජනපදයන්හි ස්ථිරභාවයට පත් වූයෙමි. සප්ත රත්නයෙන් යුක්ත වූයෙමි. මහණෙනි, ඒ මට මේ සප්ත රත්නයෝ තිබුණාහු ය. එනම් චක්‍රරත්නය, හස්තිරත්නය, අශ්වරත්නය, මාණික්‍යරත්නය, ස්ත්‍රීරත්නය, ගෘහපතිරත්නය සහ සත්වැනි පුත්‍රරත්නය යි. මහණෙනි, මට ශූර වීර වූ පරසෙන් මඩින්නා වූ දහසකට වැඩි පුත්‍රයෝ සිටියාහු ය. එබඳු වූ මම සයුර හිම් කොට පොළොව දඬු මුගුරුවලින් තොර ව, අවි ආයුධවලින් තොර ව, ධර්මයෙන් දිනා වාසය කළෙමි.”

(මා පුඤ්ඤභායී සූත්‍රය – අං. නි. 4)

මෙවන් ආනුභාව සම්පන්න ජීවිත උරුම කර දෙන පින නම් සැපයක් ම වන්නේය. අප ශාස්තෘන් වහන්සේ මේ උතුම් නිවන් මඟ දෙව් මිනිසුන්ට පෙන්වා වදාළා සේ ම, ඒ නිවන් මගෙහි ආරක්ෂා සහිත ව ගමන් කරන්නට තමා තුළ ගොඩනගාගත යුතු පින් බලය සහ කුසල් බලය රැස් කර ගන්නා අයුරු ද මනා කොට පෙන්වා වදාළහ. විනාශයට යන සිත අහුරාලමින්, දියුණුවට යන සිතට මඟ හෙළි කර දෙමින් අපේ ජීවිතවලට භාග්‍යවතුන් වහන්සේ මොනතරම් නම් රැකවරණයක් සලසා ඇද්ද?

මනුලොව මහා පින් කරද්දී දෙව්ලොව සුර සැප විමන් මැවෙනා පින නම් අප ගෞතම මුනිඳුන් පෙන්වා වදාළ ලෙස ඒකාන්තයෙන් ම සැපයක් ම ය. අප ගෞතම මුනි රජුන්ගේ ශ්‍රාවකයෙක් වූ නන්දිය නම් උපාසක දෙව්ලොවට පවා දැනෙන සේ පින් කළ මහා පිනැතියෙකි. බුද්ධ ප්‍රමුඛ මහා සංඝයා කෙරෙහි පැහැදුණු සිතින් සෙනසුන් ශාලා හතරක් තනා අත පැන් වඩා එය බුදු රජුන්ට පූජා කළ මොහොතේ ම ඔහු නමට තව්තිසාවේ මනරම් දිව්‍ය විමානයක් පහළ විය. එනමුදු තමා සමඟ විවාහ දිවියක් ගත කළ, රේවතී නම් බිරිඳ මේ පින්කම් අනුමෝදන් වූයේ නැත. ඇය මේවාට අකුල් හෙළමින්, වළකාලන්නට ම උත්සාහ කළාය. නොදැන වුවත් ඇය විසින් වළකාලූයේ ඇගේ ම සුගති සැපය යි. ඇයට විපාක ලැබුණේ මරණින් මතු නොව, යක්ෂයින් දෙදෙනෙක් පැමිණ පණ පිටින් ම ඇය ව නිරයට ඇදගෙන ගියහ. එසේ නම් මේ ජීවිතයේ කාට බැඳිලා සිටිය ද තමා යන තැනට යන්නේ බැඳීම් ලිහාගෙන තනි තනිව ම ය. සැමියා, බිරිඳ, මව, පියා, ඥාතියා හිතවතා යන බැඳීම් බලපවතින්නේ මෙලොවට පමණි. සියල්ල මෙහි දමා පින්, පව පමණක් අරන් යන්නට සිදු වන්නේය.

“අත්තා හි අත්තනෝ නාථෝ
කෝ හි නාථෝ පරෝ සියා”
“තමාට පිහිට තමා ම ය. බාහිර කවුරු නම් තමාට පිහිට වන්න ද?”

දානය නම් වූ අත්හැරීමෙන් රැස් වන පිනට වඩා සීලය ආරක්ෂා කිරීමෙන් රැස් වන පින මහත් ඵල වෙයි. සිල් ආරක්ෂා කිරීමෙන් රැස් වන පිනට වඩා භාවනා කිරීමෙන් රැස් වන පින මහත් ඵල මහානිශංස වෙයි. මේ උතුම් ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවන් තුළින් ජීවිතයට පින් රැස් කර ගනිමින්, යළි යළිත් දුක ම උරුම වන්නා වූ කාම සැපයන් අරමුණු කර නොගෙන උතුම් නිවන ම අරමුණු කර ගත යුතු ය.

සියල්ල පිරිසිඳ අවබෝධ කළා වූ අප ශාස්තෘන් වහන්සේ මේ කාම ලෝකයේ සැපයන් කිසි ලෙසකින්වත් වර්ණනා නොකළහ. මනුලොව, දෙව්ලොව තබා බඹලොව උපත ද නීච යැයි පෙන්වා වදාළ භාග්‍යවතුන් වහන්සේ උතුම් නිවන් සැපය ම වර්ණනා කරනු ලැබුයේ අන් සියලු සැපයන් නිවන් සැපයට යටත් නිසා ය. එසේ නම් අප රැස් කරනා සියලු පුණ්‍ය ධර්මයන්හි ඒකායන අරමුණ විය යුත්තේ, යළි යළිත් මේ මහ පොළොවට පස් එකතු කරන්නා වූ ඉපදීම, ලෙඩ වීම, මරණය නම් වූ දුකෙන් සදහට ම අපව නිදහස් කරන්නා වූ උතුම් නිවන් සැපය ම යි…!

– මහමෙව්නාව අසපුවාසී පින්වත් ස්වාමීන් වහන්සේ නමක් විසිනි