අපගේ ශාස්තෘ වූ භාග්‍යවතුන් වහන්සේ වදාළේ සම්මා දිට්ඨිය සියලු කුසල ධර්මයන්ට මුල් වන බවයි (සම්මා දිට්ඨි පුරේ ජවං). සම්මා දිට්ඨිය යනු කුමක්දැයි කියා විග්‍රහ කරන අවස්ථාවල දී භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ චතුරාර්ය සත්‍ය පිළිබඳ අවබෝධ ඤාණය සම්මා දිට්ඨිය බවයි (දුක්ඛේ ඤාණං, දුක්ඛ සමුදයේ ඤාණං, දුක්ඛ නිරෝධේ ඤාණං, දුක්ඛ නිරෝධ ගාමිනියා පටිපදාය ඤාණං). එමෙන්ම මජ්ඣිම නිකායට අයත් මහා චත්තාරීසක නම් සූත්‍ර දේශනාවේ දී ශාස්තෘන් වහන්සේ සම්මා දිට්ඨිය දෙයාකාරයකට විස්තර කොට වදාළා. එනම් ලෞකික සම්මා දිට්ඨිය සහ ලෝකෝත්තර සම්මා දිට්ඨිය ලෙසයි.

දිවි මග සැපවත් කරනා ආකල්ප සම්පත්තිය

එහි දී ලෞකික සම්මා දිට්ඨිය කෙලෙස් සහිතයි (සාසවා), නමුත් පින උපද්දවා දෙනවා (පුඤ්ඤභාගියා), අනාගතයේ සැප විපාක උදාකර ගැනීමට උපකාරකයි (උපධිවේපක්කා) කියා භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දුන්නා. ලෞකික සම්මා දිට්ඨිය අංග දහයකින් යුතු නිසා ‘දසවස්තුක සම්මා දිට්ඨිය’ කියාත්, කර්ම කර්මඵල විශ්වාසයෙන් යුතු නිසා ‘කම්මස්සකතා සම්මා දිට්ඨිය’ කියාත් හඳුන්වනවා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ එම අංග දහය මේවායි.

  1. අත්ථි දින්නං – දන් දීමෙන් යහපත් විපාක ලැබෙන බව පිළිගන්නවා.
  2. අත්ථි යිට්ඨං – ඇප උපස්ථාන කිරීමේ, සේවා කටයුතුවල යහපත් ආනිශංස ඇති බව පිළිගන්නවා.
  3. අත්ථි හුතං – වන්දනාමාන කිරීමේ, පුද සත්කාරවල යහපත් විපාක ලැබෙන බව පිළිගන්නවා.
  4. අත්ථි මාතා – මව කියා විශේෂ ගුණයෙන් යුක්ත කෙනෙක් ඇති බවත්, මවට සැලකීමේ යහපත් විපාක ඇති බවත් පිළිගන්නවා.
  5. අත්ථි පිතා – පියා කියා විශේෂ ගුණ දරන කෙනෙක් ඇති බවත්, පියාට සැලකීමේ යහපත් විපාක ඇති බවත් පිළිගන්නවා.
  6. අත්ථි අයං ලෝකෝ – කර්මානුරූප ව මෙලොව උපතක් කරා ආ බව පිළිගන්නවා.
  7. අත්ථි පරෝ ලෝකෝ – කර්මානුරූප ව පරලොව උපතක් කරා යන බවත් පිළිගන්නවා.
  8. අත්ථි සුකටදුක්කටානං කම්මානං ඵලං විපාකෝ – යහපත් අයහපත් කර්මවල, යහපත් අයහපත් ප්‍රතිවිපාක ඇති බව පිළිගන්නවා.
  9. අත්ථි සත්තා ඕපපාතිකා – කර්මානුරූපී ව ඕපපාතික ව උපදින සත්වයන් (දිව්‍ය, බ්‍රහ්ම, ප්‍රේත, අසුර, නිරිසතුන් ආදී) සිටින බව පිළිගන්නවා.
  10. අත්ථි ලෝකේ සමණබ්‍රාහ්මණා සම්මග්ගතා සම්මාපටිපන්නා යේ ඉමඤ්ච ලෝකං පරඤ්ච ලෝකං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවේදේති – යහපත් මගෙහි ගමන් කළ, යහපත් මඟට පිළිපන්, මෙලොව පරලොව තමන්ගේ ම අවබෝධයෙන් සාක්ෂාත් කොට පවසන ශ්‍රමණ බ්‍රාහ්මණයන් ලෝකයෙහි ඇති බව (බුදු පසේබුදු මහරහත් මගඵලලාභී ආදී උතුමන්) පිළිගන්නවා.

රැස් කරනා පින එයි පසුපස්සේ
සැප සලසන්නට හැම තිස්සේ…

මෙම පිළිගැනීම් නොමැති කෙනා මිථ්‍යා දෘෂ්ටියෙන් යුක්ත බව භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දුන්නා.

එමෙන්ම සම්මා දිට්ඨිය තිබෙන කෙනා මිථ්‍යා දෘෂ්ටිය, මිථ්‍යා දෘෂ්ටිය වශයෙනුත්, සම්මා දිට්ඨිය සම්මා දිට්ඨිය වශයෙනුත් වෙන්කොට හඳුන්ගන්නා බවත් භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා. එහෙම කෙනා තමයි දන් දෙන්නේ. සිල් රකින්න උනන්දු වෙන්නේ. මෛත්‍රී කරුණාවෙන් යුක්ත වෙන්නේ. ඒ කෙනා සම්මා දිට්ඨියෙන් යුක්ත නිසා මානුෂික ගුණධර්මයන්ගෙන් යුක්තව ජීවිතය යහපත් ආකාරයට ගොඩනගා ගන්නවා. එවිට රැස්වෙන පින ජීවිතයට සැප සලසා දෙනවා. මතු ජීවිතය සුගතිගාමී වෙනවා. එමෙන් ම ධර්මාවබෝධයට උවමනා කරන මූලික පදනම ජීවිතය තුළ ගොඩනැගෙනවා.

දෙවැනි සම්මා දිට්ඨිය වන ලෝකෝත්තර සම්මා දිට්ඨිය. ඒ ගැන විග්‍රහ කර ඇත්තේ ආර්ය වූ (අරියා), ආශ්‍රව රහිත වූ (අනාසවා), ලෝකෝත්තර වූ (ලෝකුත්තරා), මාර්ග අංගයක් විදිහට දියුණුවන (මග්ගංගා) සම්මා දිට්ඨිය යනුවෙනුයි. එය භාග්‍යවතුන් වහන්සේ විස්තර වශයෙන් වදාළේ මෙහෙමයි. (යා අරියචිත්තස්ස අනාසවචිත්තස්ස, අරියමග්ගසමංගිනෝ අරියමග්ගං භාවයතෝ පඤ්ඤා පඤ්ඤින්ද්‍රියං පඤ්ඤාබලං ධම්මවිචයසම්බොජ්ඣංගෝ සම්මාදිට්ඨි මග්ගංගං) “ආර්ය වූ සිත් ඇති, අනාශ්‍රව සිත් ඇති, ආර්ය මාර්ගයෙන් යුක්ත වූ, ආර්ය මාර්ගය ප්‍රගුණ කරන කෙනෙකුගේ යම් ප්‍රඥාවක් ඇද්ද, ප්‍රඥා ඉන්ද්‍රියයක් ඇද්ද, ප්‍රඥා බලයක් ඇද්ද, ධම්මවිචය සම්බොජ්ඣංගයක් ඇද්ද, සම්මා දිට්ඨි මාර්ගාංගයක් ඇද්ද, මහණෙනි, මෙයට කියන්නේ ආර්ය වූ, ආශ්‍රව රහිත වූ, ලෝකෝත්තර මාර්ග අංගයක් වූ සම්මා දිට්ඨිය කියලයි.”

ඒ ශ්‍රාවකයා චතුරාර්ය සත්‍යය අවබෝධ කරගන්න ම යි චින්තනය මෙහෙයවන්නේ. ප්‍රඥා ඉන්ද්‍රිය කියා කියන්නේ, අවබෝධය තමන්ගේ ජීවිතයේ ම අංගයක් බවට පත් වුණා ම යි. එය වඩාත් බලවත් බවට පත් වුණා ම ප්‍රඥා බලය කියා හඳුන්වනවා. ආර්ය සත්‍යාවබෝධය පිණිස, ධර්මයට අනුව වීමංසන බුද්ධිය මෙහෙයවනවිටයි මේ ලෝකෝත්තර සම්මා දිට්ඨිය හෙවත් චතුරාර්ය සත්‍යය පිළිබඳ ව අවබෝධ ඤාණය ඇතිවන්නේ.

මාර්ග අංග තුනක් අත්වැල් බැඳගනියි.

භාග්‍යවතුන් වහන්සේ වදාළා මේ ලෝකෝත්තර සම්මා දිට්ඨිය තුළින් තමයි මිථ්‍යා දෘෂ්ටිය සම්පූර්ණයෙන් ම ප්‍රහාණය කරන්නේ කියා. ලෝකෝත්තර සම්මා දිට්ඨියේ පිහිටා මිථ්‍යා දෘෂ්ටිය ප්‍රහාණය කරන්නට නම් වීර්යය අවශ්‍යයි. එම වීර්ය සම්මා වායාම මාර්ග අංගය යි. එමෙන්ම මිථ්‍යා දෘෂ්ටිය ප්‍රහාණය කර සම්මා දිට්ඨියට පැමිණීම පිණිස පවත්වන සිහිය සම්මා සතිය යි. එසේ මේ මාර්ගයේ දී සම්මා දිට්ඨිය, සම්මා වායාම, සම්මා සති යන අංග තුන අත්වැල් බැඳගෙන පවතින බව භාග්‍යවතුන් වහන්සේ පෙන්වා වදාළා.

ලොව්තුරු නිවනට මග සදන සම්මා දිට්ඨිය…

සංයුත්ත නිකායේ කච්චානගොත්ත නම් සූත්‍ර දේශනාවේ දී ලෝකෝත්තර සම්මා දිට්ඨිය ඇතිවෙන ආකාරය භාග්‍යවතුන් වහන්සේ ඉතාමත් රමණීය අයුරින් පෙන්වා දී තිබෙනවා.
මෙහි දී කච්චානගොත්ත නම් ස්වාමීන් වහන්සේ, භාග්‍යවතුන් වහන්සේගෙන් මෙසේ විමසා සිටියා.

“ස්වාමීනී, සම්මා දිට්ඨිය, සම්මා දිට්ඨිය කියා කියනවා. ස්වාමීනී, සම්මා දිට්ඨිය ඇති වන්නේ කොපමණකින් ද?”

භාග්‍යවතුන් වහන්සේ මෙසේ පිළිතුරු දී වදාළා.

“පින්වත් කච්චාන, මේ ලෝක සත්වයා බොහෝ සෙයින් ම (මරණින් මතු ස්ථිර වූ පැවැත්මක්) තිබෙන බවක් ද (මරණින් මතු සත්වයා නැති වී උච්ඡේදයට පත් වී) නැති වී යන බවක් ද කියන මත දෙක ඇසුරු කරගෙනයි ඉන්නේ (ද්වයං නිස්සිතෝ ඛෝ අයං කච්චාන ලෝකෝ යේභුය්‍යේන අත්ථිතඤ්චේව නත්ථිතඤ්ච). එනමුත් කච්චාන, (ජීවිතය නම් වූ මේ) ලෝකයේ හටගැනීම ඒ ආකාරයෙන් ම දියුණු කරපු ප්‍රඥාවකින් දකිද්දී ලෝකය පිළිබඳ ව යම් නැති වී යාමක් ගැන මතවාදයක් තිබේ නම් ඒ මතය නැති වී යනවා (ලෝකසමුදයඤ්ච ඛෝ කච්චාන යථාභූතං සම්මප්පඤ්ඤාය පස්සතෝ යා ලෝකේ නත්ථිතා සා න නෝති).”

මෙම සූත්‍රයේ දී භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙන්නේ යම් කෙනෙක් පටිච්චසමුප්පාදයේ හටගැනීම දියුණු කරන ලද ප්‍රඥාවෙන් අවබෝධ කළොත් ‘මරණින් මතු මේ කිසිවක් නැත’ යන උච්ඡේද දෘෂ්ටිය ඔහු තුළින් ප්‍රහාණය වන බවයි. භාග්‍යවතුන් වහන්සේ තවදුරටත් මෙසේ දේශනා කොට වදාළා.

“එමෙන්ම පින්වත් කච්චාන, (ජීවිතය නම් වූ මේ) ලෝකයේ නිරුද්ධ වීම ඒ ආකාරයෙන් ම දියුණු කරපු ප්‍රඥාවකින් දකිද්දී ලෝකය තිබෙන බවක් පිළිබඳ ව යම් මතයක් තිබේ නම් ඒ මතය නැතිවෙලා යනවා” (ලෝකනිරෝධං ඛෝ කච්චාන, යථාභූතං සම්මප්පඤ්ඤාය පස්සතෝ යා ලෝකේ අත්ථිතා සා න හෝති). එනම් පටිච්චසමුප්පාදයේ නිරෝධය දියුණු කරන ලද ප්‍රඥාවෙන් අවබෝධ වීම තුළ, මරණින් මතු සදාකාලික පැවැත්මක් ඇත යන ශාස්වත දෘෂ්ටියත් ප්‍රහාණය වී යයි.

ඒ පිළිබඳ ව භාග්‍යවතුන් වහන්සේ මේ ආකාරයෙන් තව දුරටත් පැහැදිලි කොට වදාළා.

“පින්වත් කච්චාන, මේ ලෝක සත්වයා බොහෝ සෙයින් ම ලෝකය තුළ බැසගෙන, එයට ම බැඳී, එහි ම ගැලී, එයින් ම බැඳී ගිහිල්ලයි සිටින්නේ. ඉතින් ඒ ආකාරයෙන් ලෝකය තුළ බැසගෙන, එයට බැඳී, සිතින් අදිටන් කරගෙන එහි ම ගැලී, ඒ තුළ ම සිටින්නේ නැත්නම්, බැඳී යන්නේ නැත්නම්, ‘මගේ ආත්මය’ කියා අදිටන් කර ගන්නේ නැත්නම් උපදින විට උපදින්නේ දුකක් ම බවත්, නිරුද්ධ වන විට නිරුද්ධ වන්නේත් දුක බවත් යන මේ කරුණ සැක කරන්නේ නැත්නම්, විචිකිච්ඡා කරන්නේ නැත්නම්, ඒ ගැන මනා ව බාහිර උපකාරයකින් තොර වූ අවබෝධයක් තියෙනවා. පින්වත් කච්චාන, මෙපමණකින් ම සම්මා දිට්ඨිය ඇතිවෙනවා.”

නිවනට ක්‍රම දහසයක්…

මජ්ඣිම නිකායේ සම්මා දිටිඨි සූත්‍රයේ දී ප්‍රඥාවෙන් අග්‍රේෂ්වර වූ ධර්ම සේනාධිපති සාරිපුත්ත මහරහතන් වහන්සේ සම්මා දිටිඨිය ඇතිවන ක්‍රම දහසයක් පෙන්වා වදාළා. එහි ප්‍රථම කාරණය සාරිපුත්තයන් වහන්සේ දේශනා කළේ මේ ආකාරයට යි.

“ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, යම් දවසක ආර්ය ශ්‍රාවකයා, අකුසල් ගැන දන්නවා නම්, අකුසල් මුල් ගැනත් දන්නවා නම් (අකුසලං ච පජානාති, අකුසලමූලං ච පජානාති), කුසල් ගැන දන්නවා නම්, කුසල්වල මුල් ගැනත් දන්නවා නම් (කුසලං ච පජානාති, කුසලමූලං ච පජානාති) එපමණකින් ම ප්‍රිය ආයුෂ්මතුනි, ආර්ය ශ්‍රාවකයා සම්මා දිට්ඨියෙන් යුක්ත වෙනවා. ඔහුගේ ආකල්පය ඍජු වෙනවා. මේ සද්ධර්මය කෙරෙහි නොසෙල්වන ප්‍රසාදයකින් යුක්ත වෙනවා. මේ සද්ධර්මය වෙත ම පැමිණුන කෙනෙක් වෙනවා.” මෙම දේශනාව විස්තර වශයෙන් දැනගැනීම පිණිස මජ්ඣිම නිකාය 1 පොත් වහන්සේගේ සම්මා දිට්ඨි සූත්‍රය කියවන්න.

චතුරාර්ය සත්‍යය පිළිබඳ අවබෝධ ඤාණය ඇතිකර ගත් කෙනා ආර්ය අෂ්ටාංගික මාර්ගයට පැමිණෙනවා. එලෙස මාර්ගයට පැමිණි කෙනා සෝතාපන්නයි. එහෙම නම් සෝවාන් වුණා කියන්නේ චතුරාර්ය සත්‍යය පිළිබඳ අවබෝධ ඤාණය ඇති වීම යි. වෙනත් ආකාරයකට කිව්වොත් ලෝකෝත්තර සම්මා දිට්ඨිය ඇතිකර ගත් කෙනා සෝතාපන්න ආර්ය ශ්‍රාවකයෙක් වෙනවා. සම්මා දිට්ඨිය ඇතිවීම පිණිස කරුණු දෙකක් උපකාරී වන බව ධර්මයේ සඳහන් වෙනවා. ඒ සද්ධර්ම ශ්‍රවණය සහ යෝනිසෝ මනසිකාරය යි.

සද්ධර්ම ශ්‍රවණය

සම්මා දිට්ඨියෙහි පිහිටන්නට නම්, මුලින් ම ධර්මය ශ්‍රවණය කළ යුතු වෙනවා. ඒ ශ්‍රවණය කළ යුත්තේ බුදුරජාණන් වහන්සේ වදාළ ශ්‍රී සද්ධර්මය යි. තර්ක, විතර්ක, පුද්ගලික මතවාද, ධර්මය මෙන් පෙනෙන අධර්මය ශ්‍රවණය කළාට සම්මා දිට්ඨිය ඇතිනොවන බව අප සිහි තබාගත යුතු ම යි. අප ශ්‍රවණය කළ යුත්තේ, කියවිය යුත්තේ චතුරාර්ය සත්‍යය අවබෝධය ඇතිවෙන ශ්‍රී සද්ධර්මය ම යි.
යෝනිසෝ මනසිකාරය

පැහැදිලි ලෙස, පිරිසිදු ලෙස දේශනා කොට වදාළ ඒ ශ්‍රී සද්ධර්මය අසා කියවා සිතෙහි පිහිටුවාගෙන එය තේරුම් ගැනීම පිණිස නුවණ මෙහෙයවීම යෝනිසෝ මනසිකාරය යි. එසේ ධර්මයට අනුව නුවණින් විමසීම සම්මා දිට්ඨිය ඇතිකර ගන්නට අතිශයින් ම උපකාරී වෙනවා.

යම් කෙනෙකුට නුවණින් විමසීමේ හැකියාව තිබුණත් ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරන්නට නොලැබුණොත් සම්මා දිට්ඨිය ඇතිවන්නේ නැහැ. ඒ වගේ ම සද්ධර්මය ශ්‍රවණය කළත් ඒ අනුව නුවණ මෙහෙයවන්න බැරි නම් ඒත් සම්මා දිට්ඨිය ඇති වන්නේ නැහැ. එසේ නම්, සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාරය යන කරුණු දෙක ම තිබෙනවා නම් පමණක් සම්මා දිට්ඨිය ඇතිකර ගැනීමට පුළුවන් බව පැහැදිලියි.

– මහමෙව්නාව භාවනා අසපුවාසී ස්වාමීන් වහන්සේනමක් විසින් සම්පාදිතයි.