සසර මෙතෙක් ආ විලසින් තවත් සසරේ යන්නට සැකසුණු හිතක් නිසාදෝ මේ හිත සංවර කර ගැනීම දුෂ්කර ය. පරණ පුරුද්දට ම කැරකි කැරකී වැටෙන එක හිතේ ස්වභාවය යි. යමෙක් මේ හිත දමනය කළොත් බොහෝ සැප ලැබෙයි. ‘චිත්තං දන්තං සුඛාවහං’ – ‘දමනය වූ සිත සැප ගෙනදෙයි.’

මේ පෘථිවියේ අප්‍රමාණ සැපයකට පත්ව සිටි සුදස්සන සක්විති රජතුමා තමාට මෙතරම් සැපයක් ලැබුණේ මන්දැයි සිහිකරද්දී වැටහුණේ ‘දානයත්, දමනයත්, සංයමයත් නිසාවෙනි’ යන්නයි. ඒ සිතුවිල්ලත් සමඟ ම සුදස්සන රජු බ්‍රහ්මචාරී බව සමාදන් විය. වසර 84000ක් කාම සිතුවිල්ලක්වත් උපද්දවන්නේ නැතුව සිත දමනය කළේ ය. දැන් විස්තර කරන්නේ කෙනෙක් මහානුභාව සම්පන්න කරවන, සංයමය පුරුදු කරවන බ්‍රහ්මචාරී සීලය ආරක්ෂා කර ගැනීමට උපකාර දහම් කරුණු පිළිබඳව යි.

මේ උතුම් සීලය පිළිබඳ ව ලිපි ගණනාවක් මහාමේඝයේ පළ විය. පින් ඇති අය පුරුදු කරන්නට මහන්සි ගනිත්. නමුත් එවිටයි මෙහි ඇති අමාරුව වැටහෙන්නේ. බඹසර පුරුදු කරන්නට උත්සාහ කරන කෙනාට තමාගේ හිත මෙතෙක් නොමග ගිය හැටි වැටහෙයි. මොනා කළත් කීවත්, තමාගේ වීරිය කොතරම් දුර්වලදැයි වැටහෙයි. නමුත් පිනැත්තා අමාරුවෙන් නමුත්, වැටි වැටී නමුත් උතුම් දේ පුරුදු කරයි. කිසිදු කාමුක ක්‍රියාවක නොයෙදීම බඹසර සීලය යි. ඔහු ග්‍රාම්‍ය වූ ලිංගික කටයුතුවලින් වැළකී උතුම් ජීවිතයක් පුරුදු කරයි. ඊට උපකාර දහම් කරුණු ඔබ බොහොමයක් කියවා ඇති. මේ ලිපියෙන් තවත් බඹසරට උපකාර දහම් පරියායක් ඔබට ඉගෙන ගන්නට පුළුවන.

අපගේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මහානාම ශාක්‍යාට මෙසේ වදාළ සේක. “යස්මිං මහානාම සමයේ අරියසාවකෝ තථාගතං අනුස්සරති, නේවස්ස තස්මිං සමයේ රාග පරියුට්ඨිතං චිත්තං හෝති…” “මහානාම, යම් වෙලාවක ආර්ය ශ්‍රාවකයා තථාගතයන් වහන්සේ ව සිහි කරමින් සිටිද්දී ඒ වේලාවේ ඔහුගේ සිත රාගයෙන් යට කර නො ගනී.” ඒ බුද්ධ වචනය යි. බඹසර කිලිටි වන්නේ රාගය සිත යට කර ගැනීම නිසාවෙනි. බඹසර පුරුදු කළ නො හැක්කේ ද රාගය අධික බැවිනි. නමුත් යමෙක් නිරන්තරයෙන් බුදු ගුණ සිහි කරමින් සිටිත් නම් ඔහු රාගය සන්සිඳුවයි. බ්‍රහ්මචාරී සීලය පුරුදු කිරීමට එය මනා පිටුවහල යි. කාමුක තැනැත්තා රාගය වැඩි කර ගැනීමට එක එක විදියට කාම අරමුණු සිතයි. ඔහුගේ රාගය වැඬේ. බුද්ධානුස්සතිය පුරුදු කරනු කැමැත්තා නොයෙක් ආකාරයෙන් බුදු ගුණ සිතයි. නිර්මාණශීලි හැකියාව තුළින් බුද්ධානුස්සතියට උපකාර සැලසේ. නොයෙක් පැතිවලින් බුදු ගුණ සිතිය යුතුයි.

බඹසරට උපකාර පිණිස බුදු ගුණ මනසිකාරය ගැන අපි කතා කරන නිසා අපගේ භාග්‍යවතුන් වහන්සේගේ බ්‍රහ්මචාරී ගුණය ම සිහි කළ මනා ය. අහෝ මෙතරම් පරම පාරිශුද්ධ බ්‍රහ්මචාරී උත්තමයෙක් තුන්ලොව තවත් නම් නැත්තාහු ය.

අද දක්වා ම භාග්‍යවතුන් වහන්සේ සරණ ගිය යමෙක් බඹසර සුරකින්නේ ද ඒ සියලු දෙනා භාග්‍යවතුන් වහන්සේ නිසා බඹසර පුරුදු කළහ. කෝටි ප්‍රකෝටි අසංඛෙය්‍ය ගණන් සත්වයන් එක් පුද්ගලයෙකු විසින් බ්‍රහ්මචාරී ගුණයේ සමාදන් කරවන ලද්දේ ය; ඒ අපගේ භාග්‍යවතුන් වහන්සේ ය. ඇත්තෙන්ම ඒ නිසා ම උන්වහන්සේ ගැන සිතන මොහොතක් පාසා රාග සිත යට යයි. ඒ එහි ආනුභාවය යි. භාග්‍යවතුන් වහන්සේගේ බ්‍රහ්මචාරී සීලය ගැන කියවෙන අපූරු සූත්‍ර දේශනාවක් අංගුත්තර නිකායේ සත්තක නිපාතයේ ‘මේථුන සූත්‍රය’ නමින් වේ. එය සැකෙවින් මෙසේ ය. කියවා බුදුවරු ගැන සිත පහදවා ගනිත්වා…!

භාග්‍යවතුන් වහන්සේ ඒ දවස්වල සැවැත්නුවර වැඩ සිටියේ. ජානුස්සෝනි බමුණා භාග්‍යවතුන් වහන්සේ බැහැදැකලා අහනවා “භවත් ගෞතමයන් වහන්සේත් ‘මම බ්‍රහ්මචාරී කෙනෙක්මි’ කියලා ප්‍රතිඥා දෙනව ද?” කියලා. එවිට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.

“බ්‍රාහ්මණය, යම් පුද්ගලයෙකු අරභයා නිවැරදි අයුරින් මෙසේ කියයි නම්, එනම් නොකැඩුණු, සිදුරු නොවූ, කැලැල් නොවූ, පැල්ලම් නොවූ, පරිපූර්ණ වූ, පරිශුද්ධ වූ බඹසරෙහි හැසිරෙන්නේ ය කියා එකරුණ බ්‍රාහ්මණය, නිවැරදි අයුරින් පවසන්නේ නම් මා අරභයා ම කියන්නේ ය. බ්‍රාහ්මණය, මම වනාහී නොකැඩුණු, සිදුරු නොවූ, කැලැල් නොවූ, පැල්ලම් නොවූ, පරිපූර්ණ වූ, පරිශුද්ධ වූ බඹසරෙහි හැසිරෙන්නෙක්මි.”

“භවත් ගෞතමයන් වහන්ස, නොකැඩුණු, සිදුරු නැති, පුල්ලි නැති, කැළැල් නැති බඹසර කියන්නේ කුමක් ද?”

අපගේ භාග්‍යවතුන් වහන්සේ මෙහි දී සම්මා සම්බුදුවරයෙකුගේ උත්තම බ්‍රහ්මචාරී බව දේශනා කළ සේක. මේ කරුණු සිහි කළ යුතු ය. සිත පහදවා ගත යුතු ය.

01) බ්‍රාහ්මණය, මෙහිලා ඇතැම් ශ්‍රමණයෙක් වේවා, බ්‍රාහ්මණයෙක් වේවා, මනාකොට බ්‍රහ්මචාරී වෙමි යි ප්‍රතිඥා දෙන්නේ ය. හේ ස්ත්‍රියක සමඟ දෙදෙනා එක්වීමකට නොපැමිණෙයි. එනමුත් ස්ත්‍රියක් විසින් කරනු ලබන ඇඟ ඉලීම්, පිරිමැදීම්, නැහැවීම්, සම්බාහනය කිරීම් ඉවසයි. හේ එයින් ආශ්වාදය ලබයි. එයට කැමති වෙයි. එයින් සතුටට පත්වන්නේ ද වෙයි. බ්‍රාහ්මණය, මෙය ත් බ්‍රහ්මචාරී තැනැත්තාගේ කැඩී ගිය, සිදුරු ඇති, පැල්ලම් ඇති, කැලැල් ඇති බඹසර යි. බ්‍රාහ්මණය, මෙතෙමේ මෛථුන ධර්මය හා එක්වූයේ අපිරිසිදු බඹසරෙහි හැසිරෙන්නේ ඉපදීමෙන්, ජරා මරණයෙන්, ශෝකයෙන්, වැළපීමෙන්, දුකින්, දොම්නසින්, සුසුම් හෙළීමෙන් නොමිදෙන්නේ ය. සසර දුකින් නොමිදෙන්නේ යැයි කියමි.” (අපගේ භාග්‍යවතුන් වහන්සේ අභිනිෂ්ක්‍රමණය කළදා පටන් පිරිනිවන් පානා දවස දක්වා ස්ත්‍රියකගේ පහසක් ඉවසලා නෑ. සතුටු වෙලා නෑ. ස්ත්‍රී පහසට කැමති වෙලා නෑ. අහෝ ආශ්චර්යයි…! ඒ උත්තම බඹසරට නමස්කාර වේවා!!!)

02) “තව ද බ්‍රාහ්මණය, ඇතැම් ශ්‍රමණයෙක් වේවා, බ්‍රාහ්මණයෙක් වේවා, මනාකොට බ්‍රහ්මචාරී වෙමි යි ප්‍රතිඥා දෙන්නේ ය. හේ ස්ත්‍රියක සමඟ දෙදෙනා එක්වීමකට නොපැමිණෙයි. ස්ත්‍රියක් විසින් කරනු ලබන ඇඟ ඉලීම්, පිරිමැදීම්, නැහැවීම්, සම්බාහනය කිරීම් නොඉවසයි. එනමුදු ස්ත්‍රියක් සමඟ කවටකම් කරමින් සිනහසෙයි. ක්‍රීඩා කරයි. මහ හඬින් සිනහසෙයි. හේ එයින් ආශ්වාදය ලබයි. එයට කැමති වෙයි. එයින් සතුටට පත්වන්නේ ද වෙයි. බ්‍රාහ්මණය, මෙය ත් බ්‍රහ්මචාරී තැනැත්තාගේ කැඩී ගිය, සිදුරු ඇති, පැල්ලම් ඇති, කැලැල් ඇති බඹසර යි. බ්‍රාහ්මණය, මෙතෙමේ මෛථුන ධර්මය හා එක්වූයේ …(පෙ)… සසර දුකින් නොමිදෙන්නේ යැයි කියමි.”
(අපගේ භාග්‍යවතුන් වහන්සේ අබිනික්මන් කළදා පටන් ස්ත්‍රීන් සමඟ සිනාසිසී කතා කර කර සතුටු වූ දවසක් නැත. අපගේ භාග්‍යවතුන් වහන්සේගේ පරම පාරිශුද්ධ බඹසරට නමස්කාර වේවා!!!)

03) “ඔහු ස්ත්‍රියක් සමඟ කවටකම් කරමින් නොම සිනහසෙයි. ක්‍රීඩා නොකරයි. මහ හඬින් නොම සිනහසෙයි. එනමුදු සිය ඇසින් ස්ත්‍රියකගේ ඇස දෙස නැවත නැවත බලයි. හොඳින් බලයි. හේ එයින් ආශ්වාදය ලබයි. එයට කැමති වෙයි. එයින් සතුටට පත්වන්නේ ද වෙයි. බ්‍රාහ්මණය, මෙය ත් බ්‍රහ්මචාරී තැනැත්තාගේ කැඩී ගිය, සිදුරු ඇති, පැල්ලම් ඇති, කැලැල් ඇති බඹසර යි……”

(අපගේ භාග්‍යවතුන් වහන්සේ අබිනික්මන් කළදා පටන් පිරිනිවන් පානා දවස දක්වා ස්ත්‍රියකගේ ඇස දෙස ඇසින් ඇස බලා නැහැ. ආශ්චර්යයි. ඒ උතුම් බඹසරට නමස්කාර වේවා!!!)

04 ) “ඔහු සිය ඇසින් ස්ත්‍රියකගේ ඇස දෙස නැවත නැවත නොබලයි. හොඳින් නොබලයි. එනමුදු බිත්තියෙන් පිටත වේවා, ප්‍රාකාරයෙන් පිටත වේවා සිනහසෙන්නා වූ හෝ කතා බස් කරන්නා වූ හෝ ගයන්නා වූ හෝ හඬන්නා වූ හෝ ස්ත්‍රියකගේ හඬ අසයි. හේ එයින් ආශ්වාදය ලබයි. එයට කැමති වෙයි. එයින් සතුටට පත්වන්නේ ද වෙයි. බ්‍රාහ්මණය, මෙය ත් බ්‍රහ්මචාරී තැනැත්තාගේ කැඩී ගිය, සිදුරු ඇති, පැල්ලම් ඇති, කැලැල් ඇති බඹසර යි……”

(අපගේ භාග්‍යවතුන් වහන්සේ අබිනික්මන් කළදා පටන් කාන්තාවන්ගේ සිනා හඬ, කතා කරන හඬ, ගායන හඬ, අඬන හඬ අසමින් ආස්වාදයක් විඳලා නැහැ. ඒ උතුම් ශාස්තෘන් වහන්සේගේ බ්‍රහ්මචාරී බවට නමස්කාර වේවා!!!)

05) “ඔහු බිත්තියෙන් පිටත වේවා, ප්‍රාකාරයෙන් පිටත වේවා සිනහසෙන්නා වූ හෝ කතා බස් කරන්නා වූ හෝ ගයන්නා වූ හෝ හඬන්නා වූ හෝ ස්ත්‍රියකගේ හඬ නොඅසයි. එනමුදු ඔහු බ්‍රහ්මචාරී වීමට කලින් යම් ස්ත්‍රියක් සමඟ කතා කළ, දෙඩූ, ක්‍රීඩා කළ යමක් ඇද්ද, එය සිහි කරයි. හේ එයින් ආශ්වාදය ලබයි. එයට කැමති වෙයි. එයින් සතුටට පත්වන්නේ ද වෙයි. බ්‍රාහ්මණය, මෙය ත් බ්‍රහ්මචාරී තැනැත්තාගේ කැඩී ගිය, සිදුරු ඇති, පැල්ලම් ඇති, කැලැල් ඇති බඹසර යි…..”

(අපගේ භාග්‍යවතුන් වහන්සේ අබිනික්මන් කළදා පටන් පිරිනිවන් පානා තෙක් තමන් කලින් ස්ත්‍රීන් හා කෙළිදෙළෙන් සිටි දේවල් ආස්වාදයෙන් සිහි කරලා නැහැ. ආශ්චර්යයි. පුදුම සහගතයි. ඒ උතුම් බඹසරට නමස්කාර වේවා!!!)

06) “ඔහු බ්‍රහ්මචාරී වීමට කලින් යම් ස්ත්‍රියක් සමඟ කතා කළ, දෙඩූ, ක්‍රීඩා කළ යමක් ඇද්ද, එය සිහි නොකරයි. එනමුදු ඔහු පංච කාමගුණයන් පිරිවරාගෙන එයින් යුක්ත ව, එයින් සතුටු වෙමින් සිටින ගෘහපතියෙකු හෝ ගෘහපති පුත්‍රයෙකු හෝ දකියි. හේ එයින් ආශ්වාදය ලබයි. එයට කැමති වෙයි. එයින් සතුටට පත්වන්නේ ද වෙයි. බ්‍රාහ්මණය, මෙය ත් බ්‍රහ්මචාරී තැනැත්තාගේ කැඩී ගිය, සිදුරු ඇති, පැල්ලම් ඇති, කැලැල් ඇති බඹසර යි…..”

(අපගේ භාග්‍යවතුන් වහන්සේ අබිනික්මන් කළදා පටන් පිරිනිවන් පාන දවස දක්වා ම ගිහි අයගේ පංචකාම සම්පත්ති බල බලා සතුටු වී නොමැත. ඉන් ආස්වාදයක් නොලැබූ සේක. විරාගී සිතින් ම දිවි ගෙවූ සේක. ඒ උතුම් බඹසරට නමස්කාර වේවා!!!)

07) “ඔහු පංච කාමගුණයන් පිරිවරාගෙන එයින් යුක්ත ව, එයින් සතුටු වෙමින් සිටින ගෘහපතියෙකු හෝ ගෘහපති පුත්‍රයෙකු හෝ නොදකියි. එනමුදු ඔහු කුමන හෝ දෙව්ලොවක ඉපදීමේ අපේක්ෂාවෙන් බඹසර වසයි. ‘මම මේ සීලයෙන් හෝ ව්‍රතයෙන් හෝ තපසින් හෝ බඹසරින් හෝ දෙවියෙක් හේ වන්නෙමි. අන්‍ය වූ දෙවියෙක් හෝ වන්නේමි’ යි. හේ එයින් ආශ්වාදය ලබයි. එයට කැමති වෙයි. එයින් සතුටට පත්වන්නේ ද වෙයි. එයින් සෑහීමකට පත් වෙයි. බ්‍රාහ්මණය, මෙය ත් බ්‍රහ්මචාරී තැනැත්තාගේ කැඩී ගිය, සිදුරු ඇති, පැල්ලම් ඇති, කැලැල් ඇති බඹසර යි……..”

(අපගේ භාග්‍යවතුන් වහන්සේ අබිනික්මන් කළේ යම් උතුම් නිර්වාණයක් පිණිස ද ඒ සඳහා ම බඹසර විසූහ. අන් අරමුණක් නො වී ම, විමුක්තිය උදෙසා ම වූ අපගේ භාග්‍යවතුන් වහන්සේගේ උතුම් බඹසරට නමස්කාර වේවා!!!)

අනතුරුව භාග්‍යවතුන් වහන්සේ මෙසේ දේශනා කළ සේක.

“බ්‍රාහ්මණය, මම යම්තාක් මේ සප්තවිධ මෛථූන සංයෝගයන්ගෙන් කවර හෝ දෙයක් කවර හෝ මෛථුන සංයෝගයක් තමා තුළ ප්‍රහීණ නොවී ඇති බව දුටුවෙම් ද, බ්‍රාහ්මණය, ඒ තාක් කල් මම දෙවියන් සහිත, බඹුන් සහිත, මරුන් සහිත, ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත දෙව් මිනිස් ප්‍රජාව සහිත ලෝකයෙහි අනුත්තර වූ සම්මා සම්බෝධිය අවබෝධ කළ බවට ප්‍රතිඥා නොදුන්නෙමි.

“බ්‍රාහ්මණය, මම යම් කලෙක මේ සප්තවිධ මෛථූන සංයෝගයන්ගෙන් කවර හෝ දෙයක් කවර හෝ මෛථුන සංයෝගයක් තමා තුළ ප්‍රහීණ නොවී ඇති බව නුදුටුවෙම් ද, බ්‍රාහ්මණය, එකල්හී මම දෙවියන් සහිත, බඹුන් සහිත, මරුන් සහිත, ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත දෙව් මිනිස් ප්‍රජාව සහිත ලෝකයෙහි අනුත්තර වූ සම්මා සම්බෝධිය අවබෝධ කළ බවට ප්‍රතිඥා දුන්නෙමි.”

අප සරණ ගිය භාග්‍යවතුන් වහන්සේගේ පරම පාරිශුද්ධ බඹසර කොතරම් උතුම් ද! මාගන්දියා නම් සුරූපිනිය විවාහය පිණිස ළඟටම ගෙනැවිත් හුදෙකලා වූ තමා හට බාර දෙද්දී ඒ දෙමාපියන්ට භාග්‍යවතුන් වහන්සේ පැවසුවේ මේ අශූචි පුරවපු, නව දොරින් අශූචි වැගිරෙන ශරීරය පාදයෙන්වත් ස්පර්ශ කිරීමට අකමැති බවයි. භාග්‍යවතුන් වහන්සේට පහදිත්වා! අශූචි පිරුණු, නව දොරින් අශූචි වැගිරෙන ශරීර ප්‍රාර්ථනා කරන, සොයා යන, වැළඳ ගන්නා, සිප ගන්නා ජනයා අතර යමෙක් එබඳු ශරීරයක් පාදයෙන්වත් ස්පර්ශ කිරීමට අකැමතිව සිටීම මොනතරම් උතුම් විරාගී බවක් ද!

අපගේ භාග්‍යවතුන් වහන්සේට ‘සුප්පතිට්ඨීත පාද’ නම් මහා පුරුෂ ලක්ෂණයක් වෙයි. එනම්, සම ලෙස පොළොවේ පිහිටන පාද ඇති බවයි. පෙර බොහෝ කුසල් දහම්වලට මුල් වී බොහෝ පින් රැස්කර ගත් බැවින් ඒ ලක්ෂණය පිහිටියේ ය. එහි විපාකය ලෙස දෙවියන් මරුන් බඹුන් සහිත ලෝකයේ කිසිවෙකුට උන්වහන්සේගේ සිතට රාගයෙන් බලපෑම් ඇති කළ නොහැකිය.

අද කාලයේ පුංචි රූපයකින්, පුවත්පතක ලිපියකින්, නගරයේ වෙළඳ දැන්වීමකින් ඇතැමුන් තුළ රාගය ඇවිස්සේ. ජංගම දුරකතනය ගුරුවරයා ය, එය දරන්නා සිසුවා ය. දුරකතනය ස්වාමියා ය. එය දරන්නා දාසයා ය. මුලින් කතා කළ සප්ත මෛථූන සංයෝග බොහෝමයක් ස්මර්ට් ෆෝන් හරහා සිදු වේ. ඇත්තෙන්ම බඹසරට ස්ත්‍රියට නොදෙවෙනි අනතුරක් නවීන ජංගම දුරකතනයෙන් සිදු වන බව ඔබට අමුතුවෙන් කිව යුතු නො වේ. නවීන ජංගම දුරකතන සොඳුරු බඹසර වියළවා දමත්.

දෙවියන් බඹුන් මරුන් සහිත ලෝකයේ කිසිවෙකුට අපගේ ශාස්තෘන් වහන්සේ තුළ රාග සිතක් ඉපැද්දවිය නොහැක්කේ ම ය. පරම විරාගී බැවිනි. එය ආශ්චර්ය ය. අද්භූත ය. පුදුම සහගත ය. එවැනි උත්තමයන්ගේ ගුණ සිතීම සිත සන්සිඳුවයි. බඹසරට කැමැත්ත උපදවයි.

තණ්හා, රති, රගා නම් මාර දූවරු නොයෙක් නොයෙක් ස්ත්‍රී රූපගෙන, සම්බුද්ධත්වයට පත්ව පස්වැනි සතියේ අජපාල නුග රුක මුල වැඩ උන් භාග්‍යවතුන් වහන්සේගේ සිත කළඹා රාගය ඉපදවීමට පැමිණියෝ ය. බුදු සිත මොහොතකුදු සලිත නො වී ය. සාමාන්‍ය මනුස්සයෙක් ඒ රූප දුටුවා නම් උණු ලේ වමනය කරන්නේ ය. රාගයෙන් අළු වන්නේ ය. භාග්‍යවතුන් වහන්සේ ඒ සියල්ල අබියස පරම විරාගී වූ සේක. ඒ ගුණ සිතීම අපගේ සිත විරාගී කර ගැනීමට පිටුවහලක් වනු ඇත.

මේ ලොව උතුම් බ්‍රහ්මචාරීන් බිහි වූයේ භාග්‍යවතුන් වහන්සේ නිසා ය. හුදෙක් තපසක් නිසා නොව විමුක්තියක් උදෙසා බඹසර රැකීමට සසුන් මඟ විවර විය. එකල රාගයෙන් ගිනි ගත් සිත් ඇති අය භාග්‍යවතුන් වහන්සේ දුටු පමණින් නිවී සැනසී ගියේ ය. උන්වහන්සේ ශ්‍රාවකයන්ට සිල්පද පනවා වදාළේ හුදෙක් පැවිදි දිවියට උපකාර වීම පිණිස ය. බඹසර කැඩුන විට දී නැගී සිටින අයුරු පෙන්වා දුන් සේක. වරදට සමාව දෙන මහා මුනිවරයා වූ සේක. ලෝකයා නොරැවටූ සේක. අකුසලයෙන් මුදවාගත් සේක. කාමයේ ආදීනව පෙන්වා දුන් සේක. නෙක්ඛම්මයේ ආනිශංස පෙන්වා දුන් සේක. රාග, ද්වේෂ, මෝහ ප්‍රහාණය කිරීමට ධර්මය දේශනා කළ සේක.

අපගේ භාග්‍යවතුන් වහන්සේ සුමේධ තාපස ව දීපංකර පාද මූලයේ විවරණ ගත් දා පටන් අසංඛෙය්‍ය කල්ප හතරකුත් තවත් කල්ප ලක්ෂයක් පුරාවට අභව්‍ය උපතක් නොලැබූ සේක. අභව්‍ය උපත් කිහිපයක් වේ. එනම් කවදාවත් බෝධිසත්වයෝ නපුංසකයෙකු ව උපත නොලැබීම ය. කවදාවත් උභතෝබ්‍යඤ්නකයෙකු ව (ස්ත්‍රී පුරුෂ නිමිති දෙක ම ඇති) උපත නොලැබීම ය. අසම්මත/විකෘති කාමාශා ඇත්තෙකු නොවීම ය. (එනම් පුරුෂ-පුරුෂ, ස්ත්‍රී-ස්ත්‍රී කාම ඇසුර සතුන් හා කාම ඇසුර නොයෙක් විකෘති කාමාශා බෝධිසත්වයන්ට සසරේ ම නො වී ය.) මෙය ම ගුණ හිත හිතා පහදින්නට වටිනා කරුණු ය. බලන්න, උතුම් පුද්ගලයන්ට උතුම් උපතක් වේ. හීන වූ විට හීන සිතිවිලි සමඟ උපදී. නමුත් සසරට ගරහා තේරුමක් නැත. බඹසර ආදී උතුම් ගුණ පුරන්නට මේ කාලය යි. භාග්‍යවතුන් වහන්සේගේ තවත් විරාගී කතා අපමණ ය. බුදු ගුණ සිතන්න සිතන්න සිතේ ඇවිස්සීම නැති වේ. එනිසා බඹසරට අපමණ ආශීර්වාදයක් බුද්ධානුස්සතියෙන් සැලසේ.

මේ බුද්ධ ශාසනයේ පළමුවෙන් ම භික්ෂුවකගේ බඹසරට හානි වූයේ සම්බුද්ධත්වයෙන් වසර 20ක් ගිය තැනයි. එතෙක් ලක්ෂ සංඛ්‍යාත භික්ෂූන් අතරින් එක භික්ෂුවක්වත් බඹසර පළුදු කර ගත්තේ නැත. බලන්න කෙතරම් විස්මිත යුගයක් ද කියා. බඹසර කැඩුණු සුදින්න භික්ෂුවට භාග්‍යවතුන් වහන්සේ මෙසේ අවවාද කළ සේක.

“හිස් පුරුෂය. නුසුදුසු වූ, නොගැළපෙන, අයෝග්‍ය වූ, ශ්‍රමණයන්ට අයත් නැති අකැප දෙයක් නේ ද කළේ? කෙසේ නම් හිස් පුරුෂය, මෙසේ මැනැවින් දෙසූ ධර්ම විනයෙහි පැවිදිව දිවි ඇතිතාක් පිරිපුන් බඹසර රකින්නට බැරි වී ද? හිස් පුරුෂය, මා විසින් නොයෙක් ආකාරයෙන් සරාගය පිණිස නොව, විරාගය පිණිස දහම් දෙසූවේ නො වේ ද? කාමයන් හා එක්වීම පිණිස නොව, විසංයෝගය පිණිස ම දහම් දෙසුවේ නො වේ ද? කාමයට බැඳීම පිණිස නොව, උපාදාන රහිත වීම පිණිස ම දහම් දෙසුවේ නො වේ ද? හිස් පුරුෂය, නුඹ මා විසින් රාගය දුරුකරන්න යැයි දහම් දෙසද්දී, රාගය පිණිස සිතුවා නේ ද? හිස් පුරුෂය, මා විසින් නොයෙක් ලෙසින් රාග විරාගය පිණිස, මද නැති වීම පිණිස, කාම පිපාසය දුරු කිරීම පිණිස, ආලය සහමුලින් නැති වීම පිණිස, නැවත කරකැවි කැවී සසරට වැටීමෙන් නිදහස් වීම පිණිස, තෘෂ්ණාව ක්ෂය වීම පිණිස, විරාගය, නිරෝධය, නිර්වාණය පිණිස ධර්මය දේශනා කරන ලද්දේ නො වේ ද? හිස් පුරුෂය, මා විසින් නොයෙක් අයුරින් කාමයන්ගේ ප්‍රහාණය කියන ලද්දේ නො වේ ද? කාම සංඥාවන්ගේ පිරිසිඳ අවබෝධ කිරීම ගැන කියන ලද්දේ නො වේ ද? කාම පිපාසාවන්ගේ දුරලීම ගැන කියන ලද්දේ නො වේ ද? කාම විතර්කයන්ගේ නැසීම ගැන කියන ලද්දේ නො වේ ද? කාම පරිදාහයන්ගේ සන්සිඳීම කියන ලද්දේ නො වේ ද?”

(පාරාජිකා පාළි – ප්‍රථම පාරාජිකා නිදානය)

මේ අයුරින් ද තවත් අනේක ආකාරයෙන් ද භාග්‍යවතුන් වහන්සේ සුදින්න භික්ෂුවට ගැරහූ සේක. මහා කරුණාවෙන් යුතු භාග්‍යවතුන් වහන්සේ මෙසේ අවවාද කරන්නේ, ගරහන්නේ කාමය එතරම් දීන නිසාවෙනි. අපිත් මේ අවවාද සිහිකොට කාම විතර්කවලට බැට දිය යුතු ය. අවවාද කර ගත යුතු ය. එවිට පිරිපුන් බඹසරක් රැකීමේ වාසනාව උදාවනු ඇත. භාග්‍යවතුන් වහන්සේගේ පරම විරාගී බ්‍රහ්මචාරී ජීවිතයේ අනුහසින් ඔබට ද බඹසර සීලය පුරුදු කිරීමේ වාසනාව උදා වේවා!!!

– මහමෙව්නාව භාවනා අසපුවාසී ස්වාමීන් වහන්සේනමක් විසින් සම්පාදිතයි.