ලෝකයේ ජීවත් වන මිනිස්සු හැම කෙනෙකුට ම වගේ හීන තියෙනවා. ඒ හීන එක්ක ජීවත් වන මිනිස්සු තමයි අපිත්. හොඳට ඉගෙන ගන්න, හොඳ රස්සාවක් කරන්න, හොඳ ආදායමක් උපය ගන්න, හොඳ පවුල් ජීවිතයක් ගෙවන්න, හොඳට ඇඳලා පැලඳලා කාලා බීලා සතුටින් ජීවත් වෙන්න, යාන වාහන ඉඩකඩම් ඇතිව ජීවත් වෙන්න… හීන නම් කොච්චරක් ද…? උත්සාහය, උපායශීලී බව, උනන්දුව තියෙන අය මේ හීන සැබෑ කර ගන්නවා. එහෙම නේ ද?

ඒ හීන ගොඩක් මැද්දේ ජීවත් වන අපිට ‘වස්තුව’ කියද්දි මතක් වෙන්නේ අපි හම්බ කර ගත්තු දේවල්නේ. හැබැයි… ඇත්තට ම ‘වස්තුව’ කියන්නේ මොකට ද?

කාශ්‍යප කුමාරයා ධාතුසේන රජතුමන් ව සිරකාරයෙක් කරලා එක අවස්ථාවක දී වස්තුව ඉල්ලූ බවට ඉතිහාසයේ සඳහන්. කෙත්වතු අස්වද්දන, කෙත්වතු සරුසාර කරවන, මහා දියකඳින් පිරුණු, තමන් විසින් කරවන ලද ‘කලා වැව’ පෙන්වලා ධාතුසේන රජතුමා ඒ තමන් සතු වටිනා ම වස්තුව කියලා පෙන්නුවා.

මිනිසුන්ගේ ලොකු ම වස්තුව

තමන්ට වැඩියෙන්ම වටින, වඩාත් ම ප්‍රියමනාප, තමන් උපයා සපයාගත් යම් දෙයක් හෝ දේවල් තමයි අපට අපේ ජීවිත තුළ ‘වස්තුව’ බවට පත් වන්නේ. හැබැයි මනුෂ්‍ය වර්ගයා සතු සැබෑ ම වස්තුව වන්නේ ඒ අජීව දේවල් නම් නොවෙයි. තුන්ලොව ම විනිවිද දුටු අසිරිමත් අනාවරණ ප්‍රඥා ඇති සම්බුදුරජාණන් වහන්සේ ඒ සැබෑ ම වස්තුව ගැන ලොවට හෙළිදරව් කළේ මේ ආකාරයෙනුයි.

‘පුත්තා වත්ථු මනුස්සානං’

“මිනිසුන්ට උතුම් ම වස්තුව වන්නේ දරුවන් ය…!”

නිසැක ව ම මිනිසාගේ සැබෑ ම වස්තුව වන්නේ දරුවන්. එහෙම නම්… නිවසක වැඩි දරුවන් ප්‍රමාණයක් ඉන්නවා කියන්නේ ඒ නිවසේ ලොකු වස්තු සම්භාරයක් තියෙනවා කියන එක ම යි.

මීට අවුරුදු 60 කට කලින් උපත ලබපු අපේ අම්මලා තාත්තලා බොහෝ දෙනෙකුගේ පවුල්වල දරුවෝ පහ හයකට වැඩියි. අපේ අත්තම්මලා, සීයලා අද වගේ රැකී රක්ෂා කටයුතු කරමින් හම්බ කරපු අයත් නෙවෙයි. හැබැයි දරු සම්පතින් නිවස පිරී ඉතිරී ගොසින් තිබුණා. ඔවුන් සතුට, සමඟිය, ප්‍රීතිය වගේ ම හොඳ සහෝදර බැඳීමෙනුත් පොහොසත් වුණා.

වස්තුව නැති අපි…

නමුත් ඊ ළඟ පරම්පරාවට එද්දී පවුලක දරුවන් සංඛ්‍යාව දෙන්නෙක් හෝ තුන්දෙනෙක් වුණු බවක් අපට පේනවා. ඊටත් පස්සේ අපේ පරම්පරාවට එද්දී දරුවෝ එක්කෙනයි, උපරිම දෙන්නයි. එහෙමත් නැත්නම් දරුවෝ හදන්නේ නෑ. එහෙම නේ ද?

ඇයි එහෙම වුණේ?

දරුවෝ කිහිප දෙනෙක් හදාගන්න යාම ආර්ථික වශයෙන් බරපතළ අර්බුද ඇති කරවනවා කියන මතය සමාජයේ තිබෙනවා. ‘අම්මා, තාත්තා දෙන්න ම රැකී රක්ෂා කරද්දී කවුද දරුවෝ බලා ගන්නේ? ඒකට වෙනම කුලියට කවුරුහරි හොයා ගන්න වෙනවා. ඉතින් දරුවො ගණනාවක් හදන්නේ කොහොම ද? ඊට පස්සෙ එයාල ව ස්කෝලේ යවද්දී, උගන්වද්දී, ටියුෂන් යවද්දී කොච්චරක් නම් කියලා දේවල් බලන්න ද? එක්කෙනෙකුගේ දේවල් කරගන්නෙත් අමාරුවෙන්. එහෙම එකේ පස් හය දෙනෙක් කොහොම හදන්න ද?’ ඔන්න ඔය වගේ මති මතාන්තරත් අප අතර තියෙනවා.

ඔය මත අපි අතර තිබුණ නිසා ම දැන් අවුරුදු 20ක් – 30ක් පුරා අපේ ගෙවල්වල දරුවො එක්කෙනා, දෙන්නා තමයි දකින්න ලැබෙන්නේ. ඉතින්… ඒ විදිහට දරුවෝ එක්කෙනෙක් දෙන්නෙක් විතරක් හැදුවා කියලා අපි ආර්ථික ව අප්‍රමාණ ව දියුණු වෙලා ද? අපට හිතා ගන්න බැරි තරම් ධන සම්පත් පහළ වෙලා ද? කිසි ම ප්‍රශ්නයක් සිද්ධ නො වී අපි සතුටින්, සමඟියෙන් ජීවත් වෙනවා ද? කැපවීමෙන් හරිහම්බකරලා, ජීවිතයෙන් අන්තිමට බලාපොරොත්තු වූ සැප සතුට කෝ….?

එක දරුවෙක් පහසු ද?

හිතන්න… ඔබට ඉන්න එකම එක දරුවා දරුණු අසනීපයකට ලක් වෙනවා කියලා. අද කාලේ වැස්සත් නැතත් ඩෙංගු මාරාන්තික ව පැතිරිලා ගිහින් අවුරුදු පතා කී දෙනෙක් නම් පොඩි දරුවෝ මැරෙනවා ද? ඒ වගේ ම… මගතොටේදි මොන තරම් අනතුරු සිද්ධ වෙනවා ද? ඒ අනතුරට ඔබට ඉන්න එකම දරුවා ගොදුරු වුණොත් කෝ ඔබට දරුවෙක්…? ඔබ වගේ ම ආදරයෙන්, ඇහැක් වගේ පරිස්සමෙන් දරුවෝ බලාගත්තු අම්මලාට, තාත්තලාට ඇස් පනාපිට ම තමන්ගේ දරුවා අහිමි වුණු අවස්ථා අපි දවස ගානේ රූපවාහිනියේ, පුවත්පතේ දකින්නේ නැති ද? ඒ අනතුර අපේ දරුවන්ටත් තිබෙනවා ම යි නේ ද?

ඒ දරුවා තනියෙන්…

හිතන්න… එක දරුවෙක් විතරක් හිටියාම පාසලේ දී, පාර තොටේ දී, නිවසේ දී ඒ දරුවා කොච්චර අසරණ වෙනවා ද කියලා.
ඔබ දෙපළ ම රැකීරක්ෂාවල කාර්යබහුල වෙලා සිටිද්දි ඒ දරුවා ගැන සොයාබලන්න ඤාතියෙකුගේ හෝ මෙහෙකරුවෙකුගේ සහය පතන්න වෙනවා. ඒත් දරුවට ආදරය, සෙනෙහස, රැකවරණ ඔවුන් ඔබ වගේ ම ලබාදෙයි ද කියලා කියන්නේ කොහොමද?

ඒ දරුවා බස් එකේ හෝ කෝච්චියේ හෝ වෑන්රියේ හෝ පාසලට යැව්වත්, පයින් පාසලට යැව්වත් දරුවාගේ ආරක්ෂාව ගැන ඔබට තිබෙන්නේ සුළුපටු බරක් ද? පරිස්සමට ආව ද, ගියා ද කියන එක දැන ගන්නකල් ඔබට සැහැල්ලුවක් නෑ නේ ද? ඉතින් කෝ එක දරුවෙක් හදලා අපි බලාපොරොත්තු වුණ පහසුව???

වයසට ගොස් අසරණ වූ දා…

හදිසියේ ඔබ අසනීප වුණා. දරුවාත්, ඔබේ සහකරු හෝ සහකාරියත් මොන තරම් අපහසුවකට පත් වෙනව ද? ඔබ ළඟ දිගින් දිගට ම කවුරුන් හෝ නැවතිලා උපස්ථාන කරන්න ඕන තත්ත්වයක් උදා වනවා. කුලී ගෙවලා ආවතේවකරුවන් තබා ගන්න ඔබට සිද්ධ වෙන්නේ නැද්ද? ඔබේ දරුවන් වගේ ඒ අය ඔබව බලා ගනීවි කියලා ඔබ හිතනව ද? ඔබ දෙපළ ම අසනීප වුණා හරි කරදරයකට ලක් වුණා හරි කියලා හිතන්න. පණ වගේ ඉන්න ඔබේ දරුවා එදාට අසරණ වෙන්නේ නැද්ද? තමන්ගේ කියලා අයියා කෙනෙක්, අක්කා කෙනෙක් හිටිය නම් කොච්චර හොඳ ද කියලා ඒ දරුවට හිතෙන්නේ නැති වේවි ද? මොන විදිහේ රක්ෂාවරණ තිබුණත්, මොන විදිහට දේපළ ඉඩකඩම් තිබුණත් එදාට ඔබේ දරුවා තනි වෙනවා නේ ද? අපි හරිහම්බ කරන දේවලට පුළුවනි ද ඒ දරුවා පත්වන අපහසුතාවය දුරු කරවන්න??? බැහැ. එහෙනම්, අප ඉපැයූ ඒ වස්තුව, අප ආදරයෙන් රැකබලා ගන්න දරුවාට අවශ්‍ය තැන දී පිහිටක්, පිළිසරණක් සකසා දෙන්න සමත් වෙලා නෑ නේ ද? එහෙනම් අපට පිළිගන්න ම වෙනවා ‘අප වස්තුව කියා උපයන වස්තුව අපට සැබෑ ම වස්තුව නො වන බව…’ එහෙම නේ ද?

දරුවන්ගේ බලමුළුවක්…!

හිතන්න… ඔබට දරුවෝ පස් හය දෙනෙක් හදා වඩා ගන්න හැකි වුණා කියලා. ඒ සියල්ලෝ ම ටිකින් ටික වයසින් වැඩී යනවා. බොහොම ටික කාලයක් තුළ වැඩිමහලු දරුවා යටතේ අනිත් දරුවන් ජීවිතය පුරුදු පුහුණු වනවා ඔබට දකින්ට පුළුවනි. ඔබ ළාබාල ම අතදරුවා ව කිරි පොවා පෝෂණය කරද්දී ඔබේ වැඩිමහලු දරුවා ඔහුට හෝ ඇයට සමීප වයස් සීමාවක සිටින දරුවන්ට කවන්නට, පොවන්නට පවා දක්ෂ වෙනවා. නංගිලා, මල්ලිලා ඇඳුම් තෙමා ගත්තා ද? මළපහ පිට කළා ද? අනතුරුදායක දෙයක් දෙසට යොමු වෙනවා ද? නිදි ද? අවදියෙන් ද? කියන හැමදේම ඔබ තරම් ම උනන්දුවෙන් ඔබේ ලොකු පුතා හෝ ලොකු දුව හොයලා බලනවා.

ඒ වගේ ම… පාසල් යද්දි එද්දි බාල නංගිට මල්ලිට රැකවරණය ආරක්ෂාව වැඩිමහලු අයියාගෙන්, අක්කාගෙන් ලැබෙනවා. පාරේ හරි පැත්තෙන් යනවා ද? බස් එකේ ආරක්ෂිත ව ගමන් කරනවා ද? රණ්ඩුසරුවල්වලට පැටලෙනවා ද? කවුරුන්ගේ හෝ අඩම්තේට්ටම්වලට ලක් වෙනවා ද? අසනීපයක් ලෙඩක් දුකක් ද? යනාදී හැම දෙයක් ම ඒ වැඩිමහලු දරුවන් විසින් සොයා බලනවා. හදිසියේ යම් දෙයක් සිදු වුණත් ඔබත් දන්නවා ඒ වැඩිමහලු දරුවා සමීපයේ සිටින බව. එය ම ඔබට සැනසීමක් නොවන්නේද?

පාසලේ වැඩ කටයුතුවල දී දැන් ඔබ ඒ සියල්ල ම තවදුරටත් සොයා බැලිය යුතු නැහැ. නංගිගේ, මල්ලිගේ කටයුතු හොයලා බලලා ඒවාට උපකාර කරන්න අයියලා, අක්කලාට පුළුවනි. ඔබේ බර මොනතරම් සැහැල්ලු ද?ඒ වගේ ම ඒ වැඩිහිටි දරුවන්ට ජීවිතයේ පරිණත බවකුත්, අත්දැකීම් සම්භාරයකුත් ළමා කාලයේ දී ම එකතු වෙනවා.

කථා කරන්න කෙනෙක් නැතිව, සෙල්ලම් කරන්න කෙනෙක් නැතිව ඔබේ දරුවන් තනි වෙන්නේ නැහැ… තනිකමක හැඟීමක් ඒ අයට එන්නේ නැහැ. තමන්ට උදව්වට, උපකාරයට, ආරක්ෂාවට අම්මා තාත්තා වගේ ම තවත් සහෝදර බලමුළුවක් ඉන්න බව ඒ අය දන්නවා. ඇත්තට ම ඔබේ නිවසේ දරුවෝ වැඩි ගණනක් සිටීම තුළ නිර්මාණය වන්නේ පුදුමාකාර ආරක්ෂාවක්, එකිනෙකාට සහයක්, උපකාරයක් වගේ ම මානසික ශක්තියක්.

ඔබට ඕන තැන ඔබේ දරුවෙක්…

දැන් හදිස්සියේ ඔබට කරදරයක් සිද්ධ වුණත් ඔබේ දරුවෝ එතැන දී වුවමනා දේවල් කර ගන්න පුළුවන් පිරිසක් වෙලා අවසන්. ඔබට ඉංජිනේරුවෙක් ඕන නම් ඒකට දරුවෙක් ඉන්නවා. ඔබට වෛද්‍යවරයෙක් ඕන නම් ඒ පැත්තට යොමු කරන්න දරුවෙක් ඉන්නවා. ඔබට කලාව, නීතිය, ව්‍යාපාරික කටයුතු ආදියට යොමු කරන්නත් දරුවො ඉන්නවා. දැන් ඔබට කච්චේරියේ වැඩක් කර ගන්න යද්දි, පොලිසියට ගිහින් වැඩක් කර ගන්න යද්දි, රෝහලට ගිහින් වැඩක් කර ගන්න යද්දි, පාරතොටේ යම් කරදරයකට මුහුණ පාද්දි ඒ ඒ තැන්වලට යොමු වෙච්ච ඔබේ දරුවෙක් හෝ ඔවුන්ගේ යාළු මිත්‍රයෙක් හෝ ඉන්නවා නේ ද?

ඒ තුළින් ලැබෙන පිහිට පිළිසරණය මෙපමණැයි කියා වචනයෙන් කියා නිම කළ නො හැකියි. ඔබට කලින් කල ඇප උපකාර කරමින්, ඔබේ කටයුතුත්, ඔවුන්ගේ කටයුතුත් කරගෙන යා හැකි පහසු වටපිටාවක් නිර්මාණය වෙනවා නේ ද? ඔබට යම් මොහොතක පින් සිතක් ඉපදුණොත් මේ මහා භද්‍ර කල්පයේ සතරවනුව ලොව පහළ වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ පිහිටුවා වදහළ සම්බුද්ධ ශාසනයට නෑකම් කියමින් දරුවෙක් පූජා කර ගන්න, ඒකටත් දරුවෙක් ඉන්නවා. එහෙම වුණොත් දුක් කරදර අඩු, නිවී සැනසුන ජීවිතයක් ගෙවන්න ඒ දරුවගෙනුත් ඇපඋපකාර ලැබෙනවා.

ඉන්න එක ම එක දරුවා ව පිටරට යවලා උඩින් හිනහවෙලා, ආඩම්බරෙන් ඒ ගැන රට්ටුන්ට කියලා තනිවම හුදෙකලාවේ හඬා වැළපෙන අම්මලා, තාත්තලා මේ රටේ කොච්චර නම් ඉන්නව ද? ඔබට ඒ ඉරණම අත්විය යුතු නැහැ…

අම්මා, තාත්තා හැරුණු කොට අදහස් උදහස් බෙදා ගන්නට කෙනෙක් නැතිකමින්, පහසු ගොදුරු හොය හොයා සමාජජාල වෙබ් අඩවිවල සැරිසරන අපරාධකරුවන්ගේ – අපචාරකරුවන්ගේ ගොදුරු බවට පත්වෙලා ජීවිතය ම මහා ඛේදවාචකයක් බවට පත්කර ගන්නා දරුවෝ මේ රටේ ඉන්නවා. ඔබේ දරුවාට ඒ ඉරණම අත්විය යුතු ද?

ඒ වෙනුවෙන්… ඔබ වෙනුවෙන්… ඔබේ ම ආදරණීය දරුවන් වෙනුවෙන්… ජාතියට ආගමට දිවි පුදා යහපතෙහි හැසිරෙන ජන සම්පතක පහළ වීමට උරුම වාසනා ඇති හෙළ ධරණීතලය වෙනුවෙන්… රට ජාතිය ආගම වෙනුවෙන්… බිහි කරලන්න ඒ සුජාත දරු පරපුර…! ඔබ අද කරන ඒ සුළුපටු නොවන කැප කිරීම හෙට ඔබටත්, ඔබේ දරුවන්ටත් ඒ වගේම අපටත් සුරක්ෂිත බවක් ඇති කරලීම පිණිස හේතුඋපකාරක වේවි.

වැඩුණු පවුල ඉස්තරම්…!

යම් දවසක ඔබ මරණයට පත් වද්දී… ඔබ රැස් කළ පින විසින් ඔබ ව මිනිස් ලෝකෙක උපතකට ම ගෙන ආවා කියා හිතමු… එතකොට මේ රටේ ඉපදෙන්න… සිංහල අම්මෙකුගේ කුසේ, බෞද්ධ අම්මෙකුගේ කුසේ ඉපදෙන්න ලැබුණොත් ඒක වාසනාවක් නෙමෙයි ද? ඔබ කැමති ද මිථ්‍යාදෘෂ්ටික ආගම් අදහන ජනකායක වැසියෙක් වෙන්න? නැහැ නේ ද? ධර්මයේ රැකවරණ ලබන මේ පින තව එක ජීවිතයකට හෝ අපට උරුම වනවා නම් ඒ වෙනුවෙන් සිංහල බෞද්ධ අම්මලාගේ කුස විවර ව තිබෙන එක සිද්ධ විය යුතු ම යි… ඒ නිසා, අද ඔබ ඔබේ කුස වසා දමන්නට එපා. දරු සම්පත් නැති අම්මලා කොච්චර දුක් වෙනව ද? මනුලොවට වඩින පින්වන්ත දූලා පුතාලට, ඔබ අම්මා වෙන්න… තාත්තා වෙන්න… මේ ලබපු දුර්ලභ මිනිස් ජීවිතය ගත කරන ඔබ, වස්තු සම්භාරයක උරුමක්කාරයෙක් වෙන්න.

තිසරණ සරණ ගිය ඔබේ දරුවන්ව රැක බලා ගන්න තෙරුවන් සරණ ගිය බලවේග නිසැකයෙන් ම උදව් උපකාර කරාවි. තිසරණ සරණයේ පිහිටා හැදෙන වැඩෙන ඔබේ වැඩිමහලු දරුවන් බාල දරුවන් ව යහපතේ සමාදන් කරවන කල්‍යාණමිත්‍රයන් බවට පත්වේවි. මව්පියන් නැතත්, මව්පියන් සේ මෝරපු චරිත බවට පත් වූ ඔවුන් පවුලේ බර කරට ගනීවි.

ඒ දරුවන් නිසැකව ම ඔබ ව ආදරයෙන් බලා ගන්නවා. ඒ දරුවන් නිසැකව ම මේ රටත්, ජාතියත්, ශාසනයත් රැක ගන්නවා. වස්තුව නැති දිළින්දෝ වෙලා හීන, දීන ජීවිතයක අවසානය නොදැක…. ඒ වෙනුවට වස්තුව හිමි මිනිසුන් වෙලා රටත්, ජාතියත්, ආගමත් බබුළුවන පිරිසක් වේවි.

එවැනි දරු පරපුරක් බිහි කරන්න අපට බැරි නැහැ නේද? ප්‍රමාද වෙවී ඉන්න තවත් කල් නැහැ. අම්මේ, තාත්තේ මේ එයට කාලය යි….!!!
වැඩුණු පවුල හැමදාමත් ඉස්තරම්…!!!

ඒ වැඩුණු පවුලක වස්තුව උරුම කර ගන්නට ඔබට තුනුරුවනේ ආශීර්වාදය හිමි වේවා!

රට, ජාතිය, ආගම බබුළුවන්නට ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා!

ඔබේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා! රැකී රක්ෂා කටයුතු දිනෙන් දින දියුණු වේවා! කරදර බාධා මග හැරී මේ කරනා උත්තම කැප කිරීමෙන් රැස්වන පිනෙන් සියලු යහපත උදා වේවා…!

තෙරුවන් සරණයි!

සටහන – විහඟ පරාක්‍රම