මිනිස් ලෝකයේ අපට උපත ලබා දෙන ආදරණීය අම්මා හැරුණු කොට උපතත් සමඟ අපි හැමෝට ම තවත් අම්මා කෙනෙක් ලැබෙනවා. ඒ අම්මා තමයි අප උපන් රට. ‘මාතෘභූමිය’ නමින් අපේ ජීවිතවල පිදුම් ලබන අප ජනිත වූ භූමියට අප කෙරෙහි ඇති උරුමය දිවි ඇති තෙක් ම පවතින්නක්; අම්මාට අප කෙරෙහි ඇති උරුමය වගේ ම යි…

ඔබත්, මමත් උපන්න මේ රට ලෝකයේ අන් රටවලින් බොහෝ වෙනස් වූවක්. සමකාසන්නයේ පිහිටි රටක් නිසාවෙන් වසර පුරා ම හොඳින් හිරු එළිය ලැබෙන; එහෙත් සුවිශේෂී කාලගුණ විචලනයක් ද සහිත භූමි භාගයක් බවට යි මේ රට පත්ව තිබෙන්නේ. හාත්පස මුහුදින් වට වූ මේ කුඩා දූපත ‘ඉන්දියන් සාගරයේ මුතු ඇටය’ යන නමිනුයි විරුදාවලි ලැබූයේ. වර්ග කිලෝමීටර් 65,610 ක් වැනි කුඩා ඉඩක් තුළ මෙපමණ භූ විෂමතාවයන්, කාලගුණික විෂමතාවයන් ඇති ද කියා සිතාගන්නට නො හැකි තරම් විස්මයජනක හැඩගැසීමකුයි මෙහි තිබෙන්නේ.

ලෝක සිතියමේ අප ඉතා කුඩා දූපතක් පමණයි. නමුත්, වෙරළබඩ ජෛව විවිධත්වය අතින් අප සිටින්නේ බොහෝ ඉදිරියෙන්. ලෝකයේ නොගැඹුරු මුහුදේ පිහිටි කොරල්පර සම්බන්ධයෙන් චිරප්‍රකට නාමයක් මේ පුංචි රටට හිමියි. ඕස්ටේ්‍රලියාවේ මහා බාධක කොරල්පරය ගවේෂණයේ නියැළීමට යමින් සිටියදී පැය කිහිපයකට මෙරටට ගොඩ බට ආතර් සී. ක්ලාක් මහතා මෙරටේ පුරවැසිභාවය ලබාගන්නට බලවත් කැමැත්තක් උපදවාගත්තේ වෙරළබඩ සුන්දරත්වයත්, ශ්‍රී ලාංකිකයන්ගේ අතිශය හිතමිතුරු භාවයත් දැකීමෙන්. ඔහු මේ රට ස්වකීය ස්ථීර පදිංචිය වෙනුවෙන් තෝරාගනු ලැබූයේත් ලෝකයේ බොහෝ රටවල සංචාරය කළ ද නොදුටු සිත්ගන්නා සුලු බවක් සෑම අතින් ම මේ රටට හිමිව තිබුණ නිසයි. දුරාතීතයේ පටන් ම අප රට අන්‍ය ජාතිකයන්ගේ සිත් වශී කරලූවක් බවට පත් කරලන්නට සොබා සිරියෙන් අනූන වීමත්, ජනයාගේ සුහදශීලීත්වයත් බොහෝසෙයින් ඉවහල් වුණා.

රටේ වෙරළේ තැනිතලා භූමියෙන් පටන් ගෙන අභ්‍යන්තරයට ගමන් කරද්දී කෙටි දුරක් තුළ සුවිශේෂී කඳුකර භූමියක් නිර්මාණය වී තිබීම හරහා මේ රටට ලැබී තිබෙන්නේ විශාල වටිනාකමක්. වසරේ දිගු කාලයක් සහ නිරන්තරයෙන් මධ්‍යම කඳුකරයට හොඳින් වැසි ලැබෙනවා. ඒ වැසි ජලය රට පුරා ව්‍යාප්ත වන පරිදි විහිද පැතිරී ගිය ගංගාවන් සහ ඒ ආශ්‍රිත කුඩා ඔයවල්, ඇළ දොළ මගින් අරීය ජලපරිවහන පද්ධතියක් ද නිර්මාණය කොට තිබෙනවා. ඒ නිසාවෙන්, සමස්තයක් ලෙසින් රට පුරා ම වසරේ සෑම කාලයක ම පාහේ වගා කටයුතු සිදු කිරීමට හැකියාව තිබෙනවා. කෘෂිකාර්මික ව මේ රට අතීත යුගවල ස්වයංපෝෂිත ව ගොඩනගන්නට මේ විශේෂ පිහිටීමත් හේතුපාදක වන්නට ඇති. අදටත්, සැලසුම් සහගත ව ප්‍රයෝජනයට ගැනෙනවා නම් ස්වයංපෝෂිත ආර්ථිකයක් කරා රට මෙහෙයවන්නට එය ම මහඟු පිටිවහලක්.
ලෝකයේ අඛණ්ඩ දීර්ඝතම ලිඛිත ඉතිහාසයක් හිමි රට විදිහටත් අප සිටින්නේ ඉදිරියෙන්. ඒ දීර්ඝ ඉතිහාස පුවතට සාක්ෂි සපයන ඓතිහාසික මූලාශ්‍ර බොහෝමයක් ද නිරුපද්‍රිත ව පවත්නා රටක් වීම නිසාවෙනුත් පෞරාණික වශයෙන් අප පිළිගැනෙන්නේ ඉපැරණි සංස්කෘතියක් සහ විශිෂ්ට ශිෂ්ටාචාරයක් සහිත රටක් වශයෙනුයි. ඒ ඓතිහාසික මූලාශ්‍රයන් තහවුරු කර සිටින්නේ ලොව අන් තැනක සමකාලීන ව නො වූ විරූ ආකාරයේ වාරි තාක්ෂණයක් සහ ගෘහ නිර්මාණ ශිල්පයක් අප සතුව පැවති බවයි.

ඒ බව ලොව හමුවට ගෙන ගිය මාදුරු ඔය ජලාශයේ සොරොව්ව පිළිබඳ සොයා ගැනීම දෙස් විදෙස් විද්වතුන් විසින් බොහෝ සෙයින් ප්‍රශංසා කරනු ලැබූවක්. 1981 වර්ෂයේ දී මාදුරු ඔය ජලාශය ආශ්‍රිත ව බැම්මක් නිර්මාණය කරවා ඒ හරහා සොරොව්වක් බැඳ ජලය ලබා ගැනීම පිණිස අදාළ භූමිය සකස් කළේ ශිල්පීය වශයෙන් ඉහළ ම දැනුම භාවිත කරමින්. එසේ නව සොරොව්ව නිර්මාණයට තෝරා ගත් ස්ථානයේ ම පැරණි සොරොව්ව මතු වූවා. ඉන් පසුවයි පැරණි සොරොව්ව ඒ ආකාරයෙන් ම සුරක්ෂිත කරවා ඊට යාර කිහිපයක් ඔබ්බෙන් නව සොරොව්ව ඉදි කරන ලද්දේ. පුරාවිද්‍යා ගවේෂක සෙනරත් පරණවිතාන ශූරීන් සඳහන් කරනු ලබන්නේ මාදුරුඔය ආශ්‍රිත ව මෙම ජලාශය ඉදි කරනු ලැබූයේ ව්‍ය. ව. පූ. 44 – 22 කාලයේ ලක්දිව රාජ්‍යය කරවූ කූටකණ්ණතිස්ස රජු විසින් බවයි. කාබන් – 14 පරීක්ෂණයෙන් තහවුරු කොට තිබෙන්නේ එකී කාල නිර්ණය නිවැරදි බවයි.

අප මෙයින් තේරුම් ගත යුත්තේ නූතන තාක්ෂණය සේ ම පැරණි තාක්ෂණය දියුණුයි කියා නො වෙයි; අතීතයේ වූ – සොබා දහමට ද බොහෝ හිතවත් ශිල්පීය ඤාණය සමඟ නූතන දැනුම මේ කටයුත්තේ දී කෙසේ හෝ සමපාත වූ බවයි. පැරණියන් වැව් බැමි සොරොව් ආදිය පිහිටවිය යුතු ආකාරයත්, ස්ථානයනුත් තීරණය කළේ අදාළ ප්‍රදේශවල ජල පරිවහන ක්‍රමය, සතා සිවුපාවුන්ගේ හැසිරීම ආදිය සලකා බලා මිස අද මෙන් වියුක්ත නියමයන් ආශ්‍රයෙන් නෙමෙයි. ඒ නිසා නූතන තාක්ෂණයට වඩා හෙළයන්ගේ ඒ දැනුම තිබුණේ බොහෝ ඉහළින්; සහ ඉදිරියෙන්…

වැව් බැඳි රාජ්‍යය ලෙස සුප්‍රකට රජරට භූමි ප්‍රමාණය අනුව ජල පරිභෝජනය වෙනුවෙන් අවශ්‍ය ජල පරිමාවන් සලකා නිමවන්නට හැකි වැව් සංඛ්‍යාව පිළිබඳ මිනින්දෝරුවන් කළ ගණනයකින් ලැබී තිබුණ අගය 457ක්. වැව් බැඳි රාජ්‍යය ආශ්‍රිත ව හෙළ රජ දරුවන් ඉදි කළ වැව් ප්‍රමාණය පිළිබඳ කළ සංගණනයක ප්‍රතිඵලය වැව් 457ක් බව. සියවස් 11කට ආසන්න කාලයක් පැවති, ආසියාතික රටක වැඩිම කලක් පරිපාලන අගනුවර බවට පත්ව තිබූ අනුරාධපුර රාජධානියේ රාජ පරම්පරාවන් ගණනාවක් පුරා විශිෂ්ට දැනුම් ප්‍රවාහයක් නොසිඳී ගලා ආ බව නෙමෙයි ද ඒ තහවුරු කෙරෙන්නේ….

අනෙක් අතට ලෝකයේ අටවන පුදුමය ලෙස ප්‍රකට වූ සීගිරිය අප සතු වූ අද්විතීය තාක්ෂණික භාවිතය තහවුරු කරලනවා. ප්‍රධාන වශයෙන් ලී, ගඩොල් හා කළුගල් භාවිතයෙන් නිර්මිත සීගිරි බලකොටුවේ ගඩොලින් කළ කැටපත් පවුර, සිංහ සෝපානය හා ප්‍රධාන මාලිගයේ නිමැවුම ලොව ම මවිත කරවන අංගයන්. සීගිරි ගල මතුපිටට ජලය ගෙන ගිය ආකාරයත්, එහි ඉහළ පිහිටි පොකුණුවල ජල මල් ක්‍රියාත්මක කළ ආකාරයත් අදටත් අබිරහසක්. සමාන අංශු අතර ඇතිවන ආකර්ෂණ බල හෙවත් සංසක්ති බල සරල න්‍යායක් ලෙස භාවිත කරමින් එය සිදු කර ඇති බවයි විශ්වාස කෙරෙන්නේ.

විස්මයජනක වර්ණ භාවිතයක් සහිත චිත්‍ර කලාවක් වගේ ම රසවින්දනාත්මක කලාකාමීත්වයක් ඒ අතීතයේත් අප සතුව තිබූ බව පෙන්වන ජීවමාන සාධක තමයි සීගිරි චිත්‍ර සහ සීගිරි කුරුටු ගී. ඒ අතීත උරුමය තුළ පිළිඹිබු වන අප සතු වූ උසස් ජීවන සම්ප්‍රදායට සමකාලීන ව සම වූයේ ශිෂ්ටාචාර අතලොස්සක් පමණයි.

මේ පුංචි දූපත තුළ එයට ම ආවේණික ශාක සහ සතුන්ගේ ප්‍රතිශතය ඉහළ අගයක් ගනු ලබනවා. තෙත්, වියළි සහ අතරමැදි කලාප ලෙස ප්‍රධාන වශයෙන් දේශගුණික කලාප තුනකට වෙන් කෙරුනත් හම්බන්තොට හා මන්නාරම ආශ්‍රිත ශුෂ්ක කලාප ස්වභාවයක් දකින්නත් පුළුවන්. රටේ සමස්තය මෙසේ වද්දී සුවිශේෂී ජෛව විවිධත්වයක් සහ ශාක විවිධත්වයක් සහිත වූ සිංහරාජ වනාන්තරය ලෝකයේ පවත්නා නිවර්තන තෙත් සදාහරිත වැසි වනාන්තර අතලොස්ස අතරට එක් වනවා. ලෝකයේ ම ආකර්ෂණය දිනූ භූමි භාගයක් බවට එය පත්ව තිබෙනවා.
ඒ වගේ ම ආගම් ජාති භේදයකින් තොරව, දෙස් විදෙස් භේදයකින් තොරව, සුවිශේෂී සංස්කෘතියකට අනුවර්තනය වෙමින් බොහෝ දෙනෙකු සිදු කරන ගිරි ශිඛර තරණයක් ලෙස ලෝකයේ දකින්නට ලැබෙන්නේ සමනොළ ගිරි කරුණාව යි. එයත් අප ලැබූ විශිෂ්ට උරුමයක්.

‘ලොව පරම දුර්ලභව පහළ වූ සම්බුදුරජාණන් වහන්සේනමකගේ භාෂිතයන් පිරිසිදු ව රකින උත්තම භූමි භාගය වීම’ යන ශ්‍රේෂ්ඨ උරුමය ප්‍රධාන කොට ගත් බොහෝ සුවිශේෂතා අප දිනූ මේ මව්බිම සතු බව සිහි කරන්නටයි අප මේ තෝරා ගත් කරුණු කිහිපයක් පමණක් සටහන් තැබුවේ. ඇත්තටම මේ රට අපට අභිමානය ඇති කරලන රටක්…!

අදටත් ලෝකයේ අප ප්‍රසිද්ධ සිනාසෙන, ආගන්තුක සත්කාරයට බොහෝ සෙයින් ලැදි ජාතියක් ලෙසින්. අදීන, නිවහල් චින්තන සම්ප්‍රදායක් ලැබීම තුළ අපමණ අගයන් ලද ජාතියක් ලෙස අපට අභිමානය උරුම කරලූ මේ මාතෘභූමියේ ගෞරවය රක්නා සුජාත දරුවන් වීම අප සතුටින් කළ යුත්තක්. ආදරයෙන් කළ යුත්තක්. අප දිනූ බිමට ‘යහපත් පුතුන් ලද, යහපත් දියණියන් ලද මවකි’ යන ගෞරවය දිනා දෙන්නට හැකි අපට ම යි… අප නිතින් කළ යුත්තේ ද එය ම යි…

අම්මාට ආදරය ඇති දරුවන් එහෙම නේ ද…!

සටහන – උදුලා පද්මාවතී