ව්‍ය. ව. 1658 දී ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශවල පෘතුගීසි බලය අවසන් වූ අතර ලන්දේසි ජාතීන්ගේ බලය පිහිටියේය. 2 වන රාජසිංහ රජු එම ප්‍රදේශවල අයිතිය තමා හට ලබා දෙතැයි අපේක්ෂා කළ ද එසේ සිදු නොවුණි. එවිට අප සිංහලයෝ තම නියම සිංහ ගති පෙන්වමින් රජු සමඟ එක්ව ඔවුන් හා සටනට අවතීර්ණ වූහ. ලන්දේසීන් කොතරම් අවි ආයුධවලින් සන්නද්ධව සිටිය ද සිංහලයන්ගේ සූර වීර එඩිතර භාවය හමුවේ බොහෝ ප්‍රදේශ අතහැර දමා පසුබසින ලදී. සිංහලයන්ගේ අභිමානවත් බව මනා කොට වටහා ගත් ලන්දේසීහු රජු සමඟ සමාදානගත වූහ. ඒත් සමඟ නැවතත් රට වැසියාට සාමයේ දොරගුළු විවෘත විය.

මේ අතර වාරයේ 2 වන රාජසිංහ රජු මහත් අදූරදර්ශී ක්‍රියාවක් සිදු කළේය. රජු දකුණු ඉන්දියාවේ මලබාර් ප්‍රදේශයෙන් නායක්කාර වංශයට අයත් කුමාරිකාවක් ලක්දිවට ගෙන්වාගෙන අග බිසව බවට පත්කර ගන්නා ලද්දේ ය. එම ක්‍රියාව වූ කලී වසර දෙදහස් ගණනක් මුළුල්ලෙහි අවිච්ඡින්න ව පැවත ආ සිංහල රාජ වංශය මිහිපිටින් අතුරුදහන් වීම පිණිස හේතු වේ යැයි කියා රජු සිහිනෙකින්වත් නොසිතන්නට ඇත. නමුදු එය එලෙසින් ම සිදු වූයේය. 2 වන රාජසිංහ රජුගෙන් පසුව ඔහුගේ පුත් 2 වන විමලධර්මසූරිය රජු (ව්‍ය. ව. 1687- 1706) උඩරට රාජ්‍යයේ කිරුළ පලඳින ලදී. පිය රජුගේ කාලයේ දී ඇරඹුණු සාමය දිගට ම එලෙසින් ම පවත්වා ගැනීමට මෙම රජුට හැකි විය. 2 වන විමලධර්මසූරිය රජුගෙන් පසු ඔහුගේ පුත් කුණ්ඩසාලේ කුමාරයා නමින් ප්‍රකට ව සිටි ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ කුමරුට සිහසුන හිමි විය (ව්‍ය. ව. 1707- 1739). කලින් පැවති සාමයට මෙතුමාගේ කාලයේ දී යම් බාධා ඇති විය. රජු හා ලන්දේසීන් අතර යම් යම් ගැටුම් ඇති විය. එහෙත් ඒවා දුරදිග නොයවා ඉක්මනින් සමථයකට පත්කර ගැනීමට දෙපක්ෂය ම වගබලා ගත්හ.

මෙම රජු ද තම පියවරුන් අනුගමනය කළ ප්‍රතිපත්තිය ම අනුගමනය කරමින් නායක්කාර් වංශික කුමරියක් ම අගබිසෝ තනතුරෙහි පිහිටුවී ය. කාලය ටිකෙන් ටික ගෙවී ගියේ ය. රජු ද වයසට ගියේ ය. සිහසුනට උරුමකම් කීමට පුතෙක් රජුට නො වී ය. තමාගෙන් පසු සිංහල රාජ වංශය නිෂ්ඨාවට පත්වෙන බව සක්සුදක් සේ පැහැදිලිව වටහා ගත් රජුගේ සිත සෝක හුලින් පහරන ලද්දේ සිංහල රජවරුන්ට පරම්පරාවෙන් උරුම වූ මිණි කිරුළ වෙනත් වංශයක කෙනෙකුට උරුම වනු දැක්මට අකැමැත්තෙන් කිසිවකුට සොයා ගත නොහැකි පරිද්දෙන් සඟවා දමන ලදී. ව්‍ය. ව. 1739 දී රජු බලවත් ලෙස රෝගී භාවයට පත්ව අපුත්තක ව මිය ගියෙන් රජුගේ බිසවගේ සහෝදරයා වූ ශ්‍රී විජය රාජසිංහ රජු (ව්‍ය. ව. 1739-1447) සිංහාසනාරූඪ විය. ඒත් සමඟ නායක්කාර වංශය නම් අලුත් ම රාජ වංශයක් බිහි වූ අතර වසර 2282ක් මුළුල්ලේ අඛණ්ඩ ව පැවත ආ අභිමානවත් ආර්ය සිංහල රාජ පරම්පරාවේ අවසානය ද මෙයින් සනිටුහන් විය. ශෝකයෙන් වෙළී ගිය ජනයා කරකියා ගත හැකි කිසිවක් නොවූයෙන් නව රජුගේ පදවිප්‍රාප්තිය ඉවසා දරා ගත්හ. රජු බුදු දහම වැළඳ ගත්තත් සිංහල රජෙකු ම අපේක්ෂා කළ බොහෝ සිංහලයන්ගේ සිත්සතන් නැමැති භූමිය තුළ නැවතත් සිංහල රජෙක් පහළ කරවාගෙන ලංකා භූමි මණ්ඩලයෙන් අතුරුදහන් වූ සිංහල රාජ වංශය නැවත ප්‍රතිෂ්ඨාපනය කිරීමේ සිතිවිලි නැමැති බීජයන් තැන්පත් ව ක්‍රමක්‍රමයෙන් ලියලා වැඩෙන්නට විය. මෙම රජුගේ කාලයේදී ද සාමයේ නිදහස භුක්ති විඳීමේ වාසනාව රට වැසියාට උදා විය. මෙම රජුගෙන් පසුව ඔහුගේ බිසවගේ සහෝදරයා වූ කීර්ති ශ්‍රී රාජසිංහ කුමරුට (ව්‍ය. ව. 1747-1782) සිහසුන උරුම විය. මෙතුමා ද බුදු දහම වැළඳගෙන අතීත සැදැහැවත් රජ දරුවන් සිහිගන්වමින් බුදු සසුනේ දියුණුවට මහත් වූ අනුග්‍රහයක් සිදු කරන ලදී. එම නිසා ම බොහෝ කලකට පසු බුදු සසුනේ මහත් වූ උද්වේගයක් ඇති විය. බොහෝ වෙහෙර විහාර ප්‍රතිසංස්කරණය විය. අලුතෙන් ද ඉදිවිය. 1 වෙනි රාජසිංහ රජු විසින් ශිව භක්තිකයන්ට ලබා දී තිබූ ශ්‍රී පාදස්ථානයේ අයිතිය නැවතත් බෞද්ධයන්ට හිමි වුණි. රජුගේ අනුග්‍රහයෙන් සියම් දේශයෙන් උපාලි තෙරුන් ඇතුළු භික්ෂූන් වහන්සේලා මෙරටට වැඩම කරවීමෙන් අතුරුදන් ව තිබූ උපසම්පදාව නැවත ලබා ගැනීමේ භාග්‍යය භික්ෂූන් වහන්සේලාට හිමි විය.

එහෙත් නළළේ අළු ගෑම වැනි ඇතැම් හින්දු චාරිත්‍ර රජු විසින් අත් නොහැර සිටීමෙන් මුළුමනින් ම බෞද්ධ රජෙකු පහළ වනු දැකීමේ ආසාවෙන් සිටි ඇතැම් සිංහලයන්ගේ එම ආශාවන් විපුල භාවයට පත් නොවුණි. අවසන උඩරට ප්‍රධානීන් කිහිප දෙනෙකු ඇතුළු පිරිසක් රජු ව ජීවිතක්ෂයට පමුණුවා සියම් භික්ෂූන් සමඟ මෙරටට පැමිණ සිටි කුමාරයෙකු රජ කරවීමට උත්සහ කළ ද රජුගේ පූර්ව වාසනා ගුණ මහිමයකට කුමන්ත්‍රණය හෙළි වීමෙන් තවත් කාලයක් රජකමෙහි සිටිමින් ආයු ශ්‍රී වින්දනය කිරීමේ භාග්‍යය රජුට උදා විය. කුමන්ත්‍රණයට සම්බන්ධ වූ පිරිසගේ ආයු කාලය නිමා විය. ඒත් සමඟ ම ඒ හින්දු චාරිත්‍ර ද අත්හැර දමා නියම බෞද්ධයෙකු මෙන් රජු ක්‍රියා කරන්නට විය.

මේ අතර වාරයේ රටේ සාමයට කණ කොකා හඬන්නට පටන් ගත්තේ ය. රජු හා ලන්දේසීන් අතර යම් යම් විරසකයන් ඇති වන්නට විය. ව්‍ය. ව. 1765 දී එහි උච්ඡතම අවස්ථාව උදා විය. ෆන් එක් නම් ආණ්ඩුකාරවරයා රජුට විරුද්ධව සේනා ගෙන යුද්ධයට ආවේය. රජු පිරිවර සේනාවන් සමඟ හඟුරන්කෙත ප්‍රදේශයට පසුබැස ගියේය. මේ වග කන වැකුණු ලන්දේසීහු සිංහලයන්ගේ උපක්‍රමශීලී ඤාණවන්තභාවය ගැන නොදැන රජු ව අල්ලා ගනු වස් හඟුරන්කෙත බලා පිටත් වූහ. එහෙත් එම ප්‍රදේශයට ළඟා වූ ඔවුන්ට සිදු වූයේ සිංහලයන්ගේ දැඩි ප්‍රහාරයන්ගෙන් සංග්‍රහ ලැබ මහනුවර දෙසට ජීවිත රැකගැනීමට පසුබැසීමට ය. එසේ පසුබැස මහනුවරට පැමිණි ඔවුනට උඩරට සිටි සිංහල සේනාවගේ ද ප්‍රහාරයට ලක් වීමට සිදු විය. අතිශයින් ම අසරණ භාවයට පත් වූ ඔවුහු පරාජය පිළිගෙන නැවත කොළඹට පැමිණියහ. අහෝ.. නැවත ටික කලකට පසු අතිශයින් ම බලවත් සේනාවක් ගෙන ගල්ෆ් නැමැති ආණ්ඩුකාරවරයා උඩරට ආක්‍රමණයට පැමිණි අතර ඊට මුහුණ දීමට තරම් ශක්තියක් නොමැතිව අසරණ භාවයට පත් වූ රජු සිංහලයන්ට ඉතාමත් අවාසි සහගත ගිවිසුමකට එකඟත්වයකට පැමිණ එම ආක්‍රමණය වළකා ගත්තේය. ව්‍ය. ව. 1782 දී රජු අසෙකු පිටින් වැටී කාලක්‍රියා කළෙන් රාජාධිරාජසිංහ කුමරුට (ව්‍ය. ව. 1782-1798) උඩරට රාජ්‍යයේ උරුමත්වය හිමි විය.

මෙම රජුගේ කාලයේ දී උඩරට රාජ්‍යයට කිසිදු ආක්‍රමණයක් එල්ල නොවූයෙන් රට වැසියා සාමකාමී ව, ඉතා සතුටින්, නිදහස් සිතින් ජීවත් වීමට වාසනාව ලද්දෝය. ඒ අතරවාරයේ ව්‍ය. ව. 1796 දී ඉංග්‍රීසි ජාතිකයන් විසින් ලන්දේසීන් සතුව පැවති මුහුදු බඩ ප්‍රදේශවල බලය හස්තකප්‍රාප්ත කර ගන්නා ලද්දේ ය. වසර දෙකක් ගෙවුණි. රාජාධිරාජසිංහ රජු ද පෙර රජවරු මෙන් සිහසුනට උරුමකම් කිව හැකි පුතෙකු නොමැතිව ව්‍ය. ව.1798 දී අනිත්‍යභාවෝපගත විය. ඉන් පසු නරේන්ද්‍රසිංහ රජුගෙන් පසුව ඇරඹුණු සම්ප්‍රදාය අනුව මුත්තුසාමි නම් කුමරුට මිණි කිරුළෙහි උරුමය පැවරී තිබූ නමුත් රාජාධිරාජසිංහ රජුගේ ප්‍රධාන අධිකාරම් වූ පිළිමතලව්වේගේ දෘඪ උත්සාහය අභිමුඛයෙහි එය ශීර්ෂයෙහි ලා ගන්නට තරම් වාසනාවක් ඔහුට උදා නොවුණි. එම වාසනාව ලැබුණේ පෙර රජුගේ බිසවකගේ සහෝදරයෙකුගේ පුතෙකු වූ කන්නසාමි නම් කුමරුට ය. හෙතෙමේ ශ්‍රී වික්‍රම රාජසිංහ යන නාමයෙන් තමා ලංකා රාජ නාමාවලියේ අවසන් රජු ලෙස ඉතිහාසයට එකතුවෙන බව නොදැන මහා තේජස් ව සිංහාසනාරූඪ විය.

මේ අතරවාරයේ ඉංග්‍රීසීන්ගේ සිත් තුළ උඩරට රාජ්‍යය ද යටත් කරගෙන මුළු රටෙහි ම තම ආධිපත්‍යය පැතිරවීමේ අභිලාෂයන් මෝදු වන්නට විය. ව්‍ය. ව. 1803 දී එය මස්තකප්‍රාප්ත කරගනු පිණිස එවක ඉංග්‍රීසී ආණ්ඩුකාරවර වූ ෆෙඞ්රික් නෝර්ත්ගේ නියෝගයෙන් යුධ භටයන් 1900කිනුත්, හස්තීන් තිස්දෙනෙකුගෙනුත් සමන්විත සේනාවක් මැක්ඩෝවල්ගේ නායකත්වයෙන් උඩරට ආක්‍රමණය කිරීමට පැමිණියහ. ඔවුහු මහනුවරට ළං වත් ම රජු උඩරට ජනතාව සමඟ මහනුවර අතහැර ගියහ. එසේ ගිය ජනී ජනයා උපතින් සිංහල බෞද්ධ නොවූවත් (පසුව බුදු දහම වැළඳගන්නා ලදී) මේ අවස්ථාවේ දී ලංකාද්වීපයේ සිංහලයන්ගේත්, සම්මා සම්බුද්ධ ශාසනයේත් ආරක්ෂාව වෙනුවෙන් සිටින එක ම නායකයා වූ ශ්‍රී වික්‍රම රාජසිංහ රජුව දිවි පරදුවට තබා හෝ රැකගැනීමේ උදාර අදහස් පෙරදැරි ව බි්‍රතාන්‍ය සතුරු සේනාවන් පන්නා දැමීමට අවස්ථාවක් පැමිණෙන තුරු දින ගනිමින් බලා උන්හ. ඒත් සමඟ පහතරට සිට උඩරට නැවතී සිටින ඉංග්‍රීසි සෙබළුන්ට එවන ආහාරපාන ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ඔවුනට ලැබීමට තිබූ සියලු මංපෙත් අවුරා දැමීමට වග බලා ගත්හ. එවිට නගරය තුළ ඉංග්‍රීන් කොටු විය. බලාපොරොත්තුවෙන් සිටි අවස්ථාව උදා විය. සිංහලයන් දිගින් දිගට ම ඔවුන්ට ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කළහ. ඉංග්‍රීසීන්ගේ පෙර කර්මයක් ද විපාක දුන්නාක් සේ මේ අතරවාරයේ ම මහවැසි ඇදහැළීමට පටන් ගති. එයින් බොහෝ සෙබළුන්ට රෝග පීඩාවලට ද ගොදුරු වන්නට සිදු විය. මේ සියලු කරුණින් අතිශයින් ම අසරණ භාවයට පත්ව දිවි බේරාගත හැකි වූවෝ පරාජිත මානසිකත්වයෙන් කොළඹට පසුබැසීමට පටන් ගත්හ. එසේ පලා යන සෙබළුන්ට අතරමග රැක සිටි සිංහලයන්ගේ ප්‍රහාරවලට ද ලක් වීමට සිදු වූයෙන් ගමන අතිශයින් ම දුෂ්කර විය. ඉතා සුළු පිරිසක් පමණක් දිවි බේරා ගැනීමට වරම් ලැබ කොළඹට පැමිණියහ.

මෙම ආක්‍රමණයෙන් පසු ඉංග්‍රීසිහු සිංහලයන්ගේ අභිමානවත් බව, රාජපාක්ෂික භාවය ගැන මනාකොට වටහා ගත් අතර කිසි දිනක යුද්ධ කොට සිංහල ජාතියත්, උඩරට රාජ්‍යයත් යටත් කොට ගත නොහැකි බව අවබෝධ කර ගත්හ. එම නිසා ඔවුහු රටවැසියාගේ සිත් තුළ තිබූ රාජපාක්ෂික භාවය නැතිකර දැමීමට විවිධ උපායන් අනුගමනය කිරීමට පටන් ගත්හ. අහෝ.. ඔවුනගේ ඒ උපායන් සාර්ථක විය. රජු කෙරෙහි තිබූ විශ්වාසය සිහලුන්ගේ සිත් සතන් තුළින් තුරන් වී ගියේය. විදෙස් ජාතීන් නිසා ඔවුනට සිදු වූ කරදර කම්කටොළු අමතක විය. තම රජුට වඩා වෙනත් භාෂාවක් කතා බස් කරන, වෙනත් ආගමක් අදහන, වෙනත් රටක වෙනත් ජාතියක උපන්, සිංහලයන්ගේ කුල සිරිත් කිසිවක් නොහඳුනන ඉංග්‍රීසි ජාතීන් හොඳ යැයි සිතූහ. තම රජුට වඩා විශාල සේවයක් සිංහල ජාතියේත්, බුද්ධ ශාසනයේත් උන්නතිය පිණිස ඉංග්‍රීසීන් විසින් ඉටුකරතැයි යන මුග්ධ සිතිවිලි සිත් තුළ පැලපදියම් විය. අඳෝමැයි… බොහෝ කලක් මුළුල්ලේ විවිධ අවස්ථාවල රජෙක් එන තුරු බලාසිටි ආකාරය අමතක කොට දැමූ සිංහලයන් විසින් ම ඉතා නින්දිත අන්දමින් සිංහල නොවූවත් තමා වෙනුවෙන් සිටි එක ම රජු ව ඉංග්‍රීසින් හට අල්ලා දුන්හ. ඉන් පසු 1815 මාර්තු 2 වන දින මහනුවර මඟුල් මඩුවේ දී කිසිදු ජාතියකට යුද කොට ලබා ගත නොහැකි වූ මුළු රටෙහි ම ආධිපත්‍යය ගිවිසුමක් මඟින් ඉංග්‍රීසීන් හට ලබා දුන්හ. අහෝ.. ඒ ආකාරයෙන් ලංකා ධරණීතලයේ පහළ වූ රාජ පරම්පරාව නම් වූ බොහෝ දෙනෙකුට සෙවණ සැලසූ සුවිසල් වෘක්ෂය ඉංග්‍රීසීන්ගේ කූට උපක්‍රම නැමැති සැඩ සුළඟින් මුළුමනින් ම ඉදිරී ගියේය.

ටික කලක් ගත විය. සිංහලයන් හට තමා කර ගත් අඥාන ක්‍රියාවේ බරපතළකම ක්‍රමක්‍රමයෙන් තේරුම් යන්නට පටන් ගත්තේ ය. රජෙක් නැති අඩුව තදින් සිත් තුළට දැනෙන්ට විය. තමා තනි වූ සෙයක් හැඟී ගියේ ය. දිනක් එක් භික්ෂුවක් මහනුවර අතහැර දමා වෙනත් ප්‍රදේශයකට වඩිද්දී කූඹි රැලක් තම රජු ව පෙරමුණෙහි තබාගෙන යන ආකාරය උන්වහන්සේගේ නෙතට හසු විය. ඒත් සමඟ එතෙක් කල් හදවතෙහි තෙරපෙමින් තිබූ සිතුවිලි කවියකට පරිවර්තනය වී මේ ආකාරයෙන් මුවින් පිට විය.

“අනේ කූඹියනේ – තොපටත් රජෙක් ඉන්නේ
අපට නෑ ඉන්නේ – අපේ කරුමේ අපට වන්නේ
රජෙක් ලැබුණෝතින් – කැවුම් කිරිබත් කන්නම්
පෙරහැර කරන්නම් – සාදු නාදෙන් ගිගුම් දෙන්නම්”

රජෙක් නැති අඩුව හොඳින් සිත් තුළට කා වැදී තිබූ ජනතාව ද උඩරට ප්‍රධානීන් ද ටිකෙන් ටික එක්රැස් වීමට පටන් ගත්හ. ඒ අතරවාරයේ ඔවුනට තිබූ විශාලතම අඩුපාඩුව මඟ හරවමින් දොරේසාමි නම් පුද්ගලයෙකු තමා රාජාධිරාජසිංහ රජුගේ ඥාතියෙකු බවත්, එබැවින් තමාට සිහසුනට ඇති උරුමත්වයත් පෙන්වා දෙමින් පිරිසට එකතු විය. ඒත් සමඟ සිංහලයන්ගේ සිත් තුළ නව බලාපොරොත්තු නැමැති ප්‍රදීපයන් දැල්වෙන්නට විය. මහත් ජාතිකානුරාගයෙන් සිත් ඔද වැඩී ගියේ ය. අවසන ව්‍ය. ව. 1818 දී බි්‍රතාන්‍ය පාලනය අවසන් කොට නැවත සිංහල රාජ පරම්පරාවක් ඇති කරලීමේ උදාර අදහස් ඇතිව බි්‍රතාන්‍යයන්ට එරෙහිව කැරලි ගැසීම ආරම්භ කළෝය. සුළුවෙන් ඇරඹි කැරැල්ල ඉතා ටික කලෙකින් ලැව් ගින්නක් සේ රට වටා පැතිර ගොස් වහා බිහිසුණු සංග්‍රාමයක් බවට පත් විය. මඩුගල්ලේ, කිවුලේගෙදර මොහොට්ටාල, කැප්පෙටිපොළ නිළමේ වැනි අභීත සිංහ පෝතකයන් ඊට මහත් වූ සවියක් ලබා දුන්හ. හේනේ කුඹුරේ වැඩ කරමින් සිටි සාමාන්‍ය ජීවිත ගත කළ, එහෙත් නියම සිංහල රුධිරයෙන් සමන්විත වූ ජනී ජනයා ද අතට හසුවෙන දෙයක් රැගෙන තම ජාතියත්, ආගමත් රැකගැනීම පිණිස ජීවිත ආශාව අත්හැර සටනට එකතු විය. සංග්‍රාමය අතිශයින් ම දරුණු විය. මහත් වූ අවි බලයකින් සමන්විත වූ ඉංග්‍රීසීන් හට අප සිංහලයන් ව මැඩලීම අතිශයින් ම දුෂ්කර විය. අවසන ඉංග්‍රීසීන් හට උඩරට අතහැර යාමට තරම් තත්ත්වයකට මුහුණ දීමට සිදු විය.

එහෙත් මහත් වූ අභාග්‍යයකට අසිංහල ලේ මිශ්‍ර වූ, තම ආගමටත් – ජාතියටත් වඩා මිල මුදල් නම්බු නාම උසස් කොට සැලකූ, ඒ වෙනුවෙන් ඕනෑම නින්දිත ක්‍රියාවක් කළ හැකි වූ, තමා නියම සිංහල යැයි කියාගත් පිරිසක් මහා දේශප්‍රේමීන් ලෙස සිංහලයන් අතර සිටියහ. අහෝ.. ඔව්හු සිංහලයන්ගේ යුද උපක්‍රම පාවා දුන්හ. මෙයින් උපරිම ප්‍රයෝජන ලබාගත් ඉංග්‍රීසීහු එම මහා සංග්‍රාමය මුළුමනින් ම ව්‍යර්ථ කොට දැමූහ. 30,000කට අධික සිංහලයන්ට තම වටිනා ජීවිත අහිමි විය. අනෙක් බොහෝ සිංහලයන්ට තමාගේ නිවෙස්නයන්, හරකාබාන ඇතුළු බොහෝ සම්පත් අහිමි විය. උඩරට අත්හැර යාමට සිටි ඉංග්‍රීසිහු උඩරට රාජ්‍ය තුළ මුල් බැස ගත්හ.

මෙම මහා විනාශය නැවත සිංහල රජෙක් පහළ කරවා ගැනීමේ ආශාව සිංහලයන්ගේ සිත් තුළින් තුරන් කිරීමට සමත් වූයේ නැත. අළු යට සැගවුණු ගිනි පුපුරු මෙන් එය සිත් තුළ නිරායාසයෙන් ම දැල්වෙමින් පැවතුනි. වසර 30ක් ගත වුණි. ගොංගාලේගොඩ බණ්ඩා, වීර පුරන් අප්පු වැනි දෑ හිතකාමී නායකයන් සමඟ සිංහලයන් ඉංග්‍රීසීන්ගෙන් රට බේරාගෙන සිංහල රජෙක් සිහසුනෙහි වඩා හිඳුවීම පිණිස නැවත වතාවක් පෙළ ගැසුනහ. පෙර සටනේ දී මුහුණ දීමට සිදු වූ බිහිසුණු අත්දැකීම් අමතක කොට දමා දෙවන වරට ද ඉංග්‍රීසින්ට විරුද්ධව මහා සංග්‍රාමයක් දියත් කළහ.

එහෙත් කලින් ඇති වූ සටනින් හොඳින් හෙම්බත් වී සිටි ඉංග්‍රීසීහු සටන උඩු දුවන්නට මත්තෙන් සිංහල සේනාවන් අතර ම සිටි පාවා දෙන්නවුනගේ ද නොමඳ සහය ඇතිව ඉතා ඉක්මනින් සටන මර්ධනය කළහ. බොහෝ සිංහලයන්ට තම ජීවිතත්, දේපළත් අහිමි වී ගියේ ය. ඉන් පසු නැවත සංග්‍රාමයක් සිදු කිරීමට තරම් ශක්තියක් සිංහලයන් සතුව නොතිබුණි. කළ හැකි ව තිබුණේ රජෙක් එනතුරු බලා සිටීම පමණි. ව්‍ය. ව. 1948 දී ඉංග්‍රීසීහු මෙරට අත්හැර දමා ගියහ. එහෙත් රජෙක් නම් පහළ නො වී ය. පහළ වන සේයාවක් ද පෙනෙන්ට නැත. එසේ නම් පෙර සිටියවුන්ට මෙන් දිගට ම රජෙක් පහළවන තුරු අපටත් බලා ඉන්ට වේවි ද?

මහමේඝ

<< අපටත් බලා ඉන්ට වේවිද? ( 02 කොටස)