“එයා වැදගත් මහත්මයෙක්.”

“පේන හැටියට නම් වැදගත් කෙනෙක් වගේ.”

“එහෙම කියන්න එපා! එයා වැදගත් කෙනෙක්.”

මෙවැනි වදන් අපි කවුරුත් නිරන්තරයෙන් අසා ඇත්තෙමු. එහෙත් ඒ අදාළ පුද්ගලයා වැදගත් අයෙක් වශයෙන් හඳුන්වන්නේ කුමන නිර්ණායකයන් මත පිහිටා දැයි කියා සොයා බැලුවහොත් බොහෝ විට ඒ සඳහා පාදක කරගෙන ඇත්තේ උපන්න කුලය, උගත්කම, ධන බලය, ඇඳුම පැලඳුම, ප්‍රසිද්ධිය හෝ දරන තනතුරු ආදියයි.

එහෙත් වර්තමානයේ ටයි කෝට් ඇඳ සමාජයේ ඉහළ තනතුරු දරමින් කැඩුණු සිංහලෙන් කතා කරන පුද්ගලයන් ද හරියාකාර විෂය දැනුමවත් නොමැතිව බොරු බේගල් ඇදබාන ආචාර්ය මහාචාර්යවරුන් ද ධනයට ප්‍රසිද්ධියට ඕනෑම නොහොබිනා දෙයක් කරන්නට නොපසුබට වන පුද්ගලයන් ද සිවුරු දරාගෙන අහස පොළව නුහුලන අධර්මය පවසන ව්‍යාජ පැවිද්දන් ද දකින විට, ඔවුන් පවසන නොවැදගත් දේ අසන විට යට කී නිර්ණායකයන් ඔස්සේ කෙනෙකුගේ වැදගත්කම තීරණය කිරීම යුක්ති සහගත නොවන බව සක්සුදක් සේ පැහැදිලි ය.

එසේ නම් කෙනෙකුගේ වැදගත්කම තීරණය කරන්නේ කෙසේ ද? කුමන කරුණු පදනම් කරගෙන ද?

මේ ප්‍රශ්නයට වඩාත් සාර්ථක පිළිතුරක් සොයා ගැනීමට නම්, සමාජ විද්‍යාත්මක කෝණයකින් නොව ධර්මානුකූල විවරණයන් ඔස්සේ මේ දෙස බැලිය යුතු ම ය.

අපගේ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ වදාළේ මනුස්ස ජීවිතයක් ලබා ගැනීම ඉතා දුෂ්කර බවයි (කිච්ඡෝ මනුස්ස පටිලාභෝ). කෙනෙකුගේ සසර ගමන දෙස බලන කල මෙසේ ඉතා දුෂ්කර ව ලද මනුෂ්‍ය ජීවිතය ඉතා වැදගත් සන්ධිස්ථානයකි. මන්ද යත්; මේ ලද මිනිස් ජීවිතය තුළ කෙනෙකුට වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම ‘වැදගත් පුද්ගලයෙක්’ වීමේ දුර්ලභ භාග්‍යය උදාවන හෙයිනි. පස් යට සැඟව ගිය මැණිකක් ගොඩට ගෙන ඔප දමන්නා සේ ඒ භාග්‍යය මතු වී එන්නේ උතුම් සම්බුදු සසුනක් මුණගැසීමෙන් ය.

සැබැවින්ම මේ ගෞතම බුදු සසුන අතිශයින් ම වැදගත් ජීවිත ගත කළ සැබෑම වැදගත් ගිහි පැවිදි උතුමන්ගෙන් පිරී ඉතිරී ගිය සත්පුරුෂයන්ගේ තෝතැන්නකි. සමාජය විසින් නොවැදගත් යැයි සම්මත වූ ජීවිත ගෙවූ බොහෝ දෙනෙක් ජීවිතයට සැබෑම වැදගත්කමක් එක් කර ගත්තේ ගෞතම මුනිරජාණන් වහන්සේගේ මහා කරුණාවෙනි. ඒ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගුරු උපදේශ රහිතව මනාකොට අවබෝධ කොට ගත් උතුම් ශ්‍රී සද්ධර්මයේ උපකාරයෙන් ම ය යමෙක් තම ජීවිතය වැදගත් දිවියක් බවට පත්කර ගත්තේ.

ඒ සදහම් වැඩපිළිවෙළ තුළින් ම ය ගුණධර්මයන්ගෙන් වැඩුණු සුන්දර ජීවිත ඇති වැදගත් මනුෂ්‍යයන් ලොවට බිහි වූයේ. එසේ නම් කෙනෙකුගේ වැදගත්කම තීරණය වන්නේ ඒ කෙනාගේ ජීවිතය තුළ පවතින උතුම් ගුණධර්මයන් මත බව අප කාටත් ඉතා පැහැදිලි ය.

එබැවින් දුර්ලභව ලද මනුෂ්‍ය ජීවිතයට සැබෑම වැදගත්කමක් ලබා දුන්, ලෝකයෙහි සැබෑම වැදගත් මනුෂ්‍යයන් බිහි කිරීමට ම පහළ වී වදාළ ඒ අසහාය මනුෂ්‍ය රත්නය වන අපගේ ශාස්තෘන් වහන්සේ වූ ගෞතම අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගත කළ වැදගත් ජීවිතය ගැන මැනවින් දැන සිටීම අතිශයින් ම වැදගත් ය. දිව්‍ය වූ ද මානුෂික වූ ද සියලු බන්ධන ඉක්මවා ගිය, කිසිදා කෙලෙසුන්ට ඇතුලු විය නොහැකි පරිදි ඉඳුරන් වසා ගත්, අටලෝ දහම ඉක්මවා ගිය අද්විතීය පුරුෂෝත්තමයාණන් වහන්සේ වූ අපගේ ගෞතම සම්බුදුරජාණන් වහන්සේගේ අතිශය පාරිශුද්ධ නික්ලේෂී ජීවිතය ‘වැදගත් ජීවිතය’ යන දෙපදයෙන් හැඳින්වීමට යන්නේ නම් එය අනුවණකමක් ම ය. මන්ද යත්; ඒ උතුම් පරම පාරිශුද්ධ ජීවිතය ගැන හඳුන්වා දීමට තරම් ඒ වදන් නොසෑහෙන හෙයිනි. ඒ අපරිමිත සම්බුදු ගුණ කඳ කෙසේ නම් වචනයට නගන්න ද? නොහැක්කේ ම ය.

වරෙක මිහින්තලේ කළුදිය පොකුණ අසල රැයක් පහන් වනතුරු කාළකාරාම සූත්‍රයෙන් උතුම් බුදුගුණ කඳ වැනූ කළුබුද්ධරක්ඛිත මහරහතන් වහන්සේ වදාළේ තථාගතයන් වහන්සේගේ සම්බුදු ගුණ කඳ ගඟක් නම් රැය පහන් වනතුරු තමන් වහන්සේ පැවසූ සම්බුදු ගුණ ඒ ගඟේ මහා ජල කඳට ඇල්ලූ ඉඳිකටුවක සිදුර තුළින් ගලා ගිය ජල පරිමාණයට සමාන බවයි.

මෙලෙසින් අනන්ත අපරිමාණ ගුණ සමුදායකින් ශෝභමානව වැඩ සිටියා වූ සම්බුදුරජාණන් වහන්සේගේ අසමසම ගුණ සමුදාය පිළිබඳව තිලෝගුරු බුදු පියාණන් වහන්සේගේ ඖරස පුත්‍ර වූ ඒ උතුම් රහතන් වහන්සේ කරුණු දක්වන්නේ මෙසේ නම්, ඒ උතුම් සම්බුදු ගුණයන් වැනීමෙහිලා අපි කිසිසේත් ම සමර්ථයෝ නොවන්නෙමු. අප මහා ශාන්තිනායකයාණන් වහන්සේගේ සම්බුදු දිවිය ගැන තබා බෝසත් දිවිය ගැනවත් කරුණු දැක්වීම අසීරු කටයුත්තක් ම ය. එතරම් ම ඒ බෝසත් දිවිය ද ගුණ දහමින් සුශෝභිත ය. පිවිතුරු ය. වැදගත් ය. එවන් විස්මිත ගුණ සුවඳින් පිරී ගිය බෝසත් ජීවිතය ම වැදගත් මනුෂ්‍යයෙකුගේ ජීවන රටාව මනාව පිළිබිඹු කරන කැඩපතක් වැන්න. උතුම් සම්බුද්ධත්වය පිණිස ම ජීවිතය කැප කරමින් පාරමී ධර්මයන් සම්පූර්ණ කිරීම උදෙසා වෙහෙසුන ඒ අප මහා බෝසතාණන් වහන්සේගේ බෝසත් ජීවිතය පුරා ම දැක ගත හැක්කේ අසාමාන්‍ය වැදගත් බවකි. උන්වහන්සේගේ කායික ක්‍රියාවන් වැදගත් ය. කතා බහ වැදගත් ය. ගන්නා තීරණ වැදගත් ය. කොටින්ම ඒ බෝසත් දිවිය ම වැදගත් බවෙහි ප්‍රතිමූර්තියක් වැන්න.

වරෙක අප මහා බෝසතාණන් වහන්සේ බරණැස් රජතුමාගේ පුරෝහිත වශයෙන් පත්ව නිරතුරුව පන්සිල් ආරක්ෂා කරගෙන වාසය කළ සේක. මෙය දැනගත් රජු පුරෝහිත බමුණුතුමාට විශේෂයෙන් සලකන්නට විය. එවිට පුරෝහිත බ්‍රාහ්මණතුමා ‘රජතුමා මට මෙතරම් සලකන්නේ මං සිල්වත් නිසා ද? නැති නම් මගේ උගත්කමට ද?’ යැයි කියා පරීක්ෂා කිරීමට සිතා, රාජ උපස්ථානයට ගොස් පැමිණෙද්දී රන් භාජනයෙන් අන් අයට පෙනෙන්න ම රන් කාසියක් හොරෙන් ගන්නාක් මෙන් රැගෙන ආවේය. රන්කරුවා මෙය දැක්කත් නොදැක්කා සේ සිටියේය. දෙවන දවසේත් මෙලෙස ම කළේය. එදිනත් රන්කරුවා නොදැක්කා සේ සිටියේය. තුන්වැනි දවසේ රන් කාසිය ගන්නා විට ම “මෙන්න හොරෙක්” කියා අල්ලාගෙන රජු කරා ගෙන ගියේය. තම පුරෝහිත බ්‍රාහ්මණයාගේ සොරකම ගැන ඇසූ රජු කියා සිටියේ, තමා පුරෝහිතතුමාට ගරු කළේ සිල්වත්කම නිසා බවත්, දැන් පෙනී යන ආකාරයට පුරෝහිතතුමාගේ කිසිදු සිල්වත් බවක් තමන් නොදකිනා බවත් ය. එවිට බෝසත් බ්‍රාහ්මණතුමා පැවසුයේ ලෝකයේ පිළිගැනීම තිබෙන්නේ සිල්වත්කමට ද උගත්කමට ද යැයි පරීක්ෂා කිරීමට තමන් මෙසේ කළ බවත්, දැන් මේ සිදුවූ දෙයට අනුව, තමන් බ්‍රාහ්මණ කුලයේ උපන්නත් මහා උගතෙක් වූවත් සිල්වත් නැත්නම් කිසි වැදගත්කමක් නැති බව ඔප්පු වූ බවත් ය. මෙයින් පෙනෙන්නේ ඒ සීලවන්ත ගුණවත් දිවිය ම කෙනෙක් වැදගත් අයෙකු කරන බවයි.

එපමණක් ද නොව තවත් වරෙක අප මහා බෝසතාණන් වහන්සේ තිරිසන් සත්වයෙකු ව ඌරු යෝනියේ ඉපිද “අකුසල් දුරුකොට සිල්වත් වන්න.” යැයි බුද්ධ විලාසයෙන් ඉඳ කියන්නා වූ අවවාද බරණැස් රජුට අසන්නට ලැබිණි. ඉන් පසු බෝධිසත්වයාණන් වහන්සේ අධිකරණ විනිශ්චයෙහිලා පත් කොට ඒ අවවාද අනුව හික්මී බොහෝ පින් කොට සුගතිගාමී විය. අප මහා බෝසතාණන් වහන්සේ ඌරු රාජයෙකු ව හිඳ වදාළ ධර්මය අවුරුදු හැට දහසක් කල් පැවතියේ ය. මෙසේ තිරිසන් ජීවිතයේ හිඳ පවා ගුණධර්මයන්ගෙන් දියුණු ව රාජෝවාද ලබා දුන් විස්මිත පුවතක් ජාතක පොත් වහන්සේගේ තුණ්ඩිල ජාතකයෙහි එයි. මේ ඒ උතුම් බෝසත් දිවියෙන් බිඳක් පමණි. මුළු බෝසත් දිවිය දෙස ම බලද්දී මෙවන් ගුණධර්මයන්ගෙන් පිරී ගිය බෝසතාණන් වහන්සේගේ ජීවිතයෙහි වැදගත් භාවය ඔබට ද පසක් වනු ඇත. එබැවින් ඒ උතුම් ගුණයන්ගෙන් සමලංකෘත බෝසත් දිවිය ගැනත්, අසිරිමත් බුද්ධි ප්‍රභා ඇති පාරිශුද්ධ සීලයකින් ද සමාධියකින් ද ප්‍රඥාවකින් ද සමන්විත වූ වචනයට නොනැගිය හැකි වූ ගුණ කදම්බයක් දරා වැඩ සිටි බුදුරජාණන් වහන්සේගේ සුන්දර දිවිය ගැනත් මනාකොට දැනගෙන සිත පහදවා ගැනීම වැදගත් බව කැමති වැදගත් මනුෂ්‍යන්ට වැදගත් ම දෙයකි.

තුන්ලොවට ම යහපත සෙත සැලසූ ශාන්තිනායක බුදුරජාණන් වහන්සේ මුළු හදවතින් ම සරණ යන්නෝ වැදගත්හු ම ය. ඒ බුදුරජාණන් වහන්සේගේ සර්වඥ ධාතූන් වහන්සේලාට ද නොගරහා අපමණ ගුණ කියමින් පසඟ පිහිටුවා වන්දනාමාන කරන්නෝ වැදගත්හු ම ය. මන්ද යත්; මහා පරිනිබ්බාන සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ විසින් ම තථාගතයන් වහන්සේගේ ධාතු සෑයක් කළ යුතු බව දේශනා කළ හෙයිනි. භාග්‍යවතුන් වහන්සේ එහිලා මෙසේ වදාළ සේක.

“යථා ඛෝ ආනන්ද රඤ්ඤෝ චක්කවත්තිස්ස සරීරේ පටිපජ්ජන්ති, ඒවං තථාගතස්ස සරීරේ පටිපජ්ජිතබ්බං. චාතුම්මහාපථේ තථාගතස්ස ථූපෝ කාතබ්බෝ. තත්ථ යේ මාලං වා ගන්ධං වා චුණ්ණකං වා ආරෝපෙස්සන්ති වා අභිවාදෙස්සන්ති වා, චිත්තං වා පසාදෙස්සන්ති, තේසන්තං භවිස්සති දීඝරත්තං හිතාය සුඛායාති.”

“ආනන්දයෙනි, සක්විති රජුගේ සිරුර කෙරෙහි යම් සේ පිළිපදිත් ද තථාගතයන්ගේ සිරුර කෙරෙහි ද එසේ ම පිළිපැද්ද යුත්තේ ය. සිව්මංසලෙහි තථාගතයන්ගේ ස්ථූපයක් කළ යුත්තේ ය. යම් කෙනෙක් එහි මල් හෝ සුවඳ හෝ සුණු හෝ තැන්පත් කරන්නාහු ද සකසා වන්දනා කරන්නාහු ද සිත හෝ පහදවා ගන්නාහු ද එය ඔවුන් හට බොහෝ කල් හිත සුව පිණිස වන්නේ ය.”

(මහා පරිනිබ්බාන සූත්‍රය – දී. නි. 2)

එපමණක් ද නොව වැදගත් සත්පුරුෂයෝ උතුම් බුදු වදන් අනුව යමින් උන්වහන්සේ උපන් ස්ථානය ද සම්බුද්ධත්වයට පත් වූ ස්ථානය ද ප්‍රථම දම් දෙසුම පැවැත්වූ ස්ථානය ද පිරිනිවනට වැඩි ස්ථානය ද පහන් සංවේගයෙන් යුතුව වන්දනා කරති. “අපට වැදගත් වන්නේ බුදුන් වදාළ ධර්මය පමණි. ඉපදුණ තැන නො වේ.” යැයි උඩඟු බස් නොපවසති. තම වැදගත්කම රැක ගනිති. ඒ මෙකරුණ ද බුදුරජාණන් වහන්සේ පිරිනිවන් මංචකයේ දී වදාළ බව දන්නෝ වැදගත්හු ම වන නිසාවෙනි. භාග්‍යවතුන් වහන්සේ එහිලා මෙසේ වදාළ සේක.

“චත්තාරිමානි ආනන්ද සද්ධස්ස කුලපුත්තස්ස දස්සනීයානි සංවේජනීයානි ඨානානි. කතමානි චත්තාරි.”

“ආනන්දයෙනි, සැදැහැවත් කුලපුත්‍රයෙකු විසින් දැක්ක යුතු, සංවේගයට පත් විය යුතු මේ සතර ස්ථානයක් ඇත්තේ ය. ඒ කවර සතර ස්ථානයක් ද යත්;”

“ඉධ තථාගතෝ ජාතෝති ආනන්ද සද්ධස්ස කුලපුත්තස්ස දස්සනීයං සංවේජනීයං ඨානං.”

“මෙහි තථාගතයන් උපන් සේක’යි ආනන්දයෙනි, සැදැහැවත් කුලපුත්‍රයෙකු විසින් දැක්ක යුතු, සංවේගයට පත් විය යුතු ස්ථානයක් ඇත්තේ ය.”

“ඉධ තථාගතෝ අනුත්තරං සම්මා සම්බෝධිං අභිසම්බුද්ධෝති ආනන්ද සද්ධස්ස කුලපුත්තස්ස දස්සනීයං සංවේජනීයං ඨානං.”

“මෙහි තථාගතයන් වහන්සේ අනුත්තර වූ සම්මා සම්බෝධිය විශිෂ්ට ඥානයෙන් අවබෝධ කළ සේක’යි ආනන්දයෙනි සැදැහැවත් කුලපුත්‍රයෙකු විසින් දැක්ක යුතු, සංවේගයට පත් විය යුතු ස්ථානයක් ඇත්තේ ය.”

“ඉධ තථාගතේන අනුත්තරං ධම්මචක්කං පවත්තිතන්ති ආනන්ද සද්ධස්ස කුලපුත්තස්ස දස්සනීයං සංවේජනීයං ඨානං.”

“මෙහි තථාගතයන් වහන්සේ විසින් අනුත්තර වූ ධර්ම චක්‍රය ප්‍රවර්තනය කරන ලද්දේ යයි ආනන්දයෙනි, සැදැහැවත් කුලපුත්‍රයෙකු විසින් දැක්ක යුතු, සංවේගයට පත් විය යුතු ස්ථානයක් ඇත්තේ ය.”

“ඉධ තථාගතෝ අනුපාදිසේසාය නිබ්බානධාතුයා පරිනිබ්බුතෝති ආනන්දස්ස සද්ධස්ස කුලපුත්තස්ස දස්සනීයං සංවේජනීයං ඨානං.”

“මෙහි තථාගතයන් වහන්සේ අනුපාදිශේෂ නිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පෑ සේක’යි ආනන්දයෙනි සැදැහැවත් කුලපුත්‍රයෙකු විසින් දැක්ක යුතු, සංවේගයට පත් විය යුතු ස්ථානයක් ඇත්තේ ය.”

(මහා පරිනිබ්බාණ සූත්‍රය – දී. නි. 2)

මෙසේ සැදැහැ සිතින් චෛත්‍ය වන්දනා චාරිකාවෙහි යෙදෙන භික්ෂූහු, භික්ෂුණීහු, උපාසකවරු, උපාසිකාවෝ එම වන්දනා චාරිකාව අතරමග පහන් සිතින් කළුරිය කළහොත් ඒ සියල්ලෝ ම කය බිඳී මරණින් මතු සුගති සංඛ්‍යාත දිව්‍ය ලෝකයෙහි උපදින බව බුදුරජාණන් වහන්සේ වදාළ සේක.

එම නිසා මේ ඉතා දුෂ්කර ව ලද දුර්ලභ මිනිසත් දිවිය වැදගත් ලෙස ගත කිරීමට කැමැත්තෝ බුදුරජාණන් වහන්සේ දිවි හිමියෙන් සරණ යත්වා! ශ්‍රී සද්ධර්මය දිවි හිමියෙන් සරණ යත්වා! ශ්‍රාවක සංඝරත්නය දිවි හිමියෙන් සරණ යත්වා! නොවැදගත් අන් කිසිවක් සරණ නොයත්වා! වැදගත් වචනයෙන් බුදුගුණ වැනුමෙහි යෙදෙත්වා! පිරිසිදු නිර්මල බුද්ධ වචනය ම පවසත්වා! කල්‍යාණමිත්‍ර ආර්ය ශ්‍රාවක මහා සඟරුවන කෙළෙහි ගුණ සිහි කරමින් පුදත්වා! සීලය මැනවින් රකිත්වා! තමා තුළ සත්‍ය ලෙස ම නොමැති උතුම් මිනිස් ගුණදම් නොපවසා සාමාන්‍ය මිනිස් ගුණදම් වඩත්වා! සැබෑම වැදගතෙකු බිහි කරන සොඳුරු බුදු වදන් මැනවින් උගෙන, උතුම් ගුණ දහම් ජීවිතය තුළ උපදවාගෙන තෙරුවන් සරණ ගිය වැදගත් අයෙක් ලෙස මේ ජීවිතය අවසන් කරත්වා! වැදගත් ම දේ එයයි…!!!

මහමෙව්නාව අසපුවාසී පින්වත් ස්වාමීන් වහන්සේ නමක් විසිනි