මෑත යුගයේ භාග්‍යවතුන් වහන්සේගේ උතුම් බුදු මුවින් දේශනා කොට වදාළ පිරිසිදු ශ්‍රී සද්ධර්මය මිථ්‍යාදෘෂ්ටික පිරිස් විකෘති කරමින් සිටිති. පාලි දේශනාවල පද අරුත් විකෘති කරති. වැරදි ලෙස ශ්‍රී සද්ධර්මය විග්‍රහ කරති. බුදුරජාණන් වහන්සේ උපන්නේ ලංකාවේ බව පවසමින් විශාල පිරිසක් නොමඟක ගමන් කරවති. වචන විකෘති ලෙස අර්ථ විග්‍රහයට ලක් කරමින් තිසරණයෙන් මිනිසුන් දුරස් කරමින් මිථ්‍යාදෘෂ්ටියේ ම සමාදන් කරවති. සිල්වත් ගුණවත් භික්ෂූන් වහන්සේලාට, මහරහතන් වහන්සේලාට, චෛත්‍ය වන්දනාවන්ට අපහාස උපහාස කරමින් බොහෝ අකුසල් රැස්කර ගනිති. පෙර කල ද එලෙස මිථ්‍යාදෘෂ්ටි කරපින්නාගෙන, දනට පිනට ගරහමින් බොහෝ මිනිසුන් කුසලයෙන් වළකා මිථ්‍යාදෘෂ්ටියෙහි සමාදන් කරවූ නන්දක නම් සෙනෙවියෙකු රුදුරු නිරයට ගමන් කරන ආකාරයත්, තම දියණියගේ සිල්වත් ගුණවත් බව හේතුවෙන් ඔහු තාවකාලික දිව්‍ය සැපයක් ලබන අයුරුත් මෙම නන්දක ප්‍රේත වස්තුවෙන් විග්‍රහ වෙයි.

අපගේ ශාස්තෘ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑමෙන් අවුරුදු දෙසීයක් ගත වූ පසු සුරට්ඨ නම් දේශයෙහි පිංගල නම් රජෙක් විය. එම රජුට නන්දක නම් සෙනෙවියෙක් වූ අතර ඔහු මිථ්‍යාදෘෂ්ටික වූ විකෘති දැක්මක් ඇත්තෙක් විය. ‘දෙන ලද දෙයෙහි විපාකයක් නම් නොමැත’ යන මිථ්‍යා සංකල්පය තදින් ග්‍රහණය කර ගත්තෙක් වී ය. එම සෙනෙවියාට දුවක ව සිටි උත්තරා නම් උපාසිකාව සුදුසු පරිදි විවාහ කර දෙන ලදී.
නන්දක නම් එම සෙනෙවියා මිය ගොස් වින්ධ්‍යා නම් වනයෙහි විශාල නුග රුකක විමාන ප්‍රේතයෙක් ව උපත ලැබී ය. සෙනෙවියා මිය ගිය පසුව ඔහුගේ දියණිය උත්තරා උපාසිකාව රහතන් වහන්සේනමකට පිරිසිදු ජලය පුරවන ලද පැන් කළයක් හා පිටි වර්ගයකින් සාදන ලද රසයෙන් සහ සුවඳින් යුතු විශේෂ කැවුම් වර්ගයක් පූජා කර “මේ පින මාගේ පියාණන්ට අනුමෝදන් වේවා!” යනුවෙන් දානමය පින අනුමෝදන් කළා ය. එම පින හේතු කොටගෙන විමාන ප්‍රේතයා හට දිව්‍ය පැන් සහ බොහෝ දිව්‍ය කැවුම් ද පහළ විය.

එය දැක ඔහු මෙසේ සිතුවේය. ‘දෙන ලද දෙයෙහි විපාක නැතැයි කියමින් මහජනයා මිථ්‍යාදෘෂ්ටිගත කරන ලද බැවින් මා විසින් නියත වශයෙන් ම පව් රැස්කර ගන්නා ලදී. දැන් පිංගල රජතුමා ධර්මාශෝක රජුට අවවාද දී නැවත ආපසු එමින් සිටින්නේ ය.’

එම පිංගල නම් රජතුමා මධ්‍යාහ්න කාලයේ ආපසු එමින් සිටින අතර විමාන ප්‍රේතයා තමාගේ විමානයට දිවෙන මාර්ගයක් රජතුමා ඉදිරියෙන් මැවී ය. ඉදිරියට ගමන් කරන රජු හට ඉදිරිපසින් මවා ඇති සිත්කලු මාර්ගය පමණක් දිස් වෙයි. ඔහුගේ පිටුපසින් මෙතෙක් පසු කරගෙන ආ මාර්ගය අතුරුදහන් වෙයි. සියලු දෙනාට පිටුපසින් ගමන් කරන පුද්ගලයෙක් මෙය දැක බියට පත් වී කෑ ගසමින් ගොස් ඒ බව රජුහට සැල කර සිටියේ ය.

“දේවයන් වහන්ස, අපි බියජනක භයානක මාර්ගයකට පැමිණ සිටින්නෙමු. ඉදිරියෙන් මාර්ගය පෙනෙයි. පිටුපස ආ මගක් නො පෙනෙයි. ප්‍රේතයන්ගේ ශරීර ගඳ හමා එයි. ප්‍රේතයන් සමීපයට ම අප පැමිණ සිටී. නිරයවල වධ බන්ධනයට ලක් කරන සත්වයන්ගේ බඳු දරුණු හඬ ද ඇසෙයි.”

එය අසා රජතුමා ද බියපත්ව ඇතු පිට නැගී අවට බලන විට ඈතින් නිල් පැහැ වලාකුළක් බඳු ප්‍රේතයා වසන නුග රුක දක්නට ලැබුණි.

චතුරංගනී සේනාවත් සමඟින් නුග රුක අසලට රජු පැමිණියේය. පැන් සහ මිහිරි කැවුම්වලින් පිරුණු බඳුන් එහි සෑම තැනක ම විය. එවිට දිව්‍ය වර්ණ ඇති ප්‍රේතයා මහරජු හමුවට පැමිණියේ ය.

“මහරජ, ඔබවහන්සේගේ පැමිණීම යහපතක් ම යි. නරක ගමනක් නොවෙයි. රජතුමනි, මේ පැන් පානය කරන්න. සතුරන් දමනය කරනසුලු වූ රජතුමනි, මේ කැවිලි වර්ග වළඳනු මැනවි.”

“පින්වත, ඔබ දේවතාවෙක් ද? ගාන්ධර්වයෙක් ද? අප ඔබව හඳුනාගන්නේ කෙසේ ද?” කැවිලි අනුභවයෙන් පසු රජු විමසා සිටියේ ය.

“මහරජ, මම දෙවියෙක් නොවෙමි. ගාන්ධර්වයෙක් ද නොවෙමි. නුවරක් පාසා දන් දුන් නිසා පුරින්දද යැයි නම් ලද ශක්‍ර දෙව් නොවෙමි. මම සුරට්ඨ දේශයෙහි සිට මිය ගොස් මෙහි ඉපදී සිටින ප්‍රේතයෙක් වෙමි.”

“ඔබ පෙර කල සුරට්ඨ දේශයේ ඉපදී සිටියා නම් කවර ආකාරයක සීලයක් සමාදන් ව සිටියේ ද? කුමන ආකාරයක හැසිරීමක් ඇතිව සිටියේ ද? කවර ආකාරයක බ්‍රහ්මචර්යාවක් හේතුවෙන් මෙවැනි ආනුභාවයක් ඇති වී ද?”

“දේවයන් වහන්ස, මම සුරට්ඨ දේශයෙහි පවිටු පුරුෂයෙක් වීමි. මිථ්‍යාදෘෂ්ටිකයෙක් ද සිල් නැත්තෙක් ද තද මසුරෙක් ද මහණ බමුණන් හට නින්දා කරන්නෙක් ද වීමි. මම දන් දෙන අයටත්, ඊට උපකාර කරන අයටත් බාධා කොට ඒවා වැළැක්වූයෙමි.

■ දන් දෙන දායකයා හට ඒ දානයේ මතු විපාකයක් නොමැත.

■ සීලයෙහි විපාක නොමැත.

■ ආචාර, සමාචාර, වත් ආදිය පුරුදු පුහුණු කරවන කිසිම ගුරුවරයෙක් නොමැත.

■ සත්වයන්ගේ ස්වභාවය නම් හික්මුණු සහ නොහික්මුණු බවයි. එම නිසා නොහික්මුණු සත්වයා කවරෙක් නම් හික්මවන්න ද?

■ මේ සත්වයන් සියල්ලෝ ම උස් පහත් භේදයකින් තොරව සමාන වෙයි.

■ සත්වයන් අතර ජ්‍යේෂ්ඨයෙක් නොමැත. එම නිසා ජ්‍යේෂ්ඨයන් හට කළ යුතු වූ වැඳීම, ගරු කිරීම ආදියෙන් රැස් වන කුසලයකුත් නොමැත.

■ තමාගේ ශක්තියෙන්, වීර්යයෙන් මිනිසුන් අතර පින් රැස්කර අරහත්වය දක්වා පවතින ශ්‍රේෂ්ඨ තත්ත්වයන්ට පත් වීමක් තිබේ ද, එබඳු වීර්ය බලයක් ද නොමැති ය.

■ පුරුෂ වීර්යයක්, පුරුෂ පරාක්‍රමයක් නොමැත.

■ දානයේ කිසිම ඵලයක් නම් නැත. යමක් පුළුස්සා අළු කර දමන්නේ යම් සේ ද, දන් දීම ඒ අයුරින් ම නිෂ්ඵල වූ දෙයකි.

■ වෛර කිරීමෙන්, සතුන් මැරීමෙන් පාප කර්ම සිදුකර ගත් පුද්ගලයා දාන සීල ආදී කුසල් කිරීමෙන් කිසි කලෙක පිරිසිදු නො වෙයි.

■ සත්වයන් දුකක් විඳින්නේ ද එය කර්මයක් කළ බැවින් ලබනවා නො වෙයි.

■ මව්පිය සහෝදරයන් කෙරෙහි උපස්ථාන කිරීමෙන් හෝ අයහපත් ලෙස හැසිරීමෙන් ලැබෙන විපාකයක් නම් නොමැත.

■ මෙලොව හැර පරලොවක් නම් නොමැත.

■ දුර සිට අවුත් කරන ලද සත්කාරයක විපාකයක් නොමැත.

■ මහණ බමුණන්ට දන් දීම අනුගාමික නිධානයක් යැයි පැවසුව ද එබඳු දෙයක් නොමැත. ඒ ඔවුන් වචනයෙන් පැවසූ යමක් පමණි.

■ යමෙක් තවත් අයෙකු මරයි ද හිස කපයි ද පරමාර්ථ වශයෙන් කිසිවෙක් කිසිවෙකු නොමරයි. පඨවි ආදී සප්ත ධාතු අතරින් කඩු ආදිය ඇතුල් වෙයි. මරන්නාක් මෙන් මෙය හඳුන්වයි.

■ ජීවය නිත්‍ය ස්වභාවයකි. විනාශ කළ නොහැකි ය.

■ සියල්ලෝ ම මහා කල්ප අසූහාරලක්ෂයක් මුළුල්ලේ ඉපදී සංසාරය ගෙවා දුක් කෙළවර කරයි.

මහරජ, පෙර කාලයේ මම ඉහත කියන ලද නාස්තික මිථ්‍යාදෘෂ්ටි ඇති අයෙක් වූයෙමි. එම දෘෂ්ටිය හේතුවෙන් මුළාවෙන් මුළාවට ම පත් වූයෙමි. මෝහයෙන් වැසුණු කුසල් බීජ ඇති අයෙක් වූයෙමි. රජතුමනි, මෙයින් හය මාසයක් ගත වීමෙන් පසු මාගේ මරණය සිදු වන්නේ ය. මම මිය යාමෙන් පසුව ඒකාන්ත වශයෙන් ම දරුණු නිරයෙහි වැටෙන්නෙමි.

එම නරකයෙහි සිව් කොණක් ඇත්තේ ය, දොරටු සතරක් ඇත්තේ ය, කොටස් වශයෙන් පමණ කොට බෙදන ලද්දේ ය. නව යොදුන් ඝණකම ඇති යකඩ පවුරකින් වට කර ඇත්තේ ය. එම නරකයේ පොළොව නිරන්තරයෙන් ම ගිනිගෙන දිලිසෙයි. හාත්පස යොදුන් සියයක් දුර සෑම විට ම ගිනිදැල් පැතිර පවතී. මහරජ, එම නරකයෙහි ඉපදී අවුරුදු ලක්ෂයක් ගෙවී ගිය කල ‘නිදුකාණනි, මෙහි දුක් විඳින්නා වූ තොපට අවුරුදු ලක්ෂයක් ගෙවී ගියේ ය.’ යනුවෙන් එම නරකයෙහි ශබ්දයක් වශයෙන් ඇසෙයි. මහරජ, නිරයෙහි වැටී දුක් විඳිමින් පැසෙන සත්වයන්ගේ ආයු කාලය අවුරුදු කෝටි සියයක් වෙයි. මෙය මිනිස් ලොව, දෙව් ලොව ගණන් වශයෙන් නොව නිරයට ම අයත් වූ අවුරුදු වශයෙනි.
මිථ්‍යාදෘෂ්ටිකයෝ ද දුස්සීලයෝ ද ආර්ය උපවාද කර ගත් අය ද මෙහි අවුරුදු ලක්ෂ ගණනින් පැසෙති. මම ද එම නිරයෙහි දීර්ඝ කාලයක් මුළුල්ලෙහි දුක් වේදනා විඳින්නෙමි. එම නිසා මම බලවත් ලෙස ශෝක කරමි.

රජුනි, මෙය අසන්න. මාගේ උත්තරා නම් දියණිය කුසල් වඩන්නියකි. ඇය නිති පන්සිල් සහ උපෝසථ සීලය ද සමාදන් වෙයි. මනා හික්මීමක් ඇති ඇය දන් දෙන්නී ය. මසුරු ස්වභාවය දුරු කරයි. බොහෝ දේවල් දන් දෙන්නියකි. කිසිවිටකත් සිල්පදයන් නොකඩන්නී ය. යටට හෙළන ලද ඇස් ඇති, මනා සිහියෙන් යුක්ත වූ සංවර සිල්වත් අරහත් භික්ෂුවක් ඇයගේ ගමට පිඬු පිණිස වැඩියේ ය. ඇය රසවත් කැවිලි සහ පැන් පූජා කොට ‘මේ දක්ෂිණාව මිය ගිය මගේ පියාට ලැබේවා!’ කියා පින් දුන්නී ය.

එම පින් බලය හේතුවෙන් මා හට මේ දිව්‍යමය සැප සම්පත් පහළ විය. සර්වඥයන් වහන්සේ දෙවියන් සහිත සියලු ලෝකයා හට අග්‍ර ය. රජුනි, බුදුන් සරණ යන්න. ආර්ය අෂ්ටාංගික මාර්ගය ද නිවන ද වූ ඒ ධර්මය සරණ යන්න. ඵලයට පැමිණි සහ මාර්ගයෙහි ගමන් කරන උතුම් ආර්ය මහා සංඝරත්නය සරණ යන්න. මේ උතුම් තෙරුවන් සරණ යන්න. පන්සිල් සුරකින්න.”

“පින්වත් යක්ෂය, මහා සුළඟක් හමන විට හරයක් නොමැති බොල් ගසාගෙන යන්නාක් මෙන් මගේ ළාමක දෘෂ්ටි නැමැති බොල් ඔබගේ ධර්මය නමැති සුළඟේ හරිමි. බුදුරජුන්ගේ සස්නෙහි සිත අලවමින් මිථ්‍යාදෘෂ්ටි නමැති විෂ වමාරා දමමි.” යනුවෙන් තෙරුවන් සරණ ගිය රජු ප්‍රේතයා අමතා සතුටින් පවසන්නට විය.

නැගෙනහිරට මුහුණ යොමු කර රථයට ගොඩ වූ රජතුමා යක්ෂානුභාවයෙන් එදින ම රාජ භවනට ඇතුළු විය. රජතුමා මෙම පුවත භික්ෂූන් වහන්සේලාට කීවේ ය. භික්ෂූන් වහන්සේලා එය ස්ථවිරයන් වහන්සේලාට සැල කර සිටියහ. එම මහ තෙරුන් වහන්සේලා මෙය තෙවන සංගායනාවට නැගූ සේක.

සටහන – හර්ෂ නිලංක පෙරේරා

ඇසුර – ප්‍රේත වස්තු වර්ණනාව