මෝඩයා ඉගෙනගත් ශිල්පය ඔහුගේ විනාශය පිණිස ම හේතු වේ.

තමන් උගත් ශිල්පය වුව ද සිහි නුවණින් භාවිතයට ගත යුතුය. වැරදි ලෙස ශිල්පය භාවිතයට ගැනීමෙන් මහත් විනාශයක් ළඟා කරගත් පුද්ගලයෙකු ගැන මෙවර සට්ඨිකූටසහස්ස ප්‍රේත වස්තුව තුලින් විග්‍රහ වෙයි.

භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ වේළුවනාරාමයෙහි වැඩ වාසය කළ කාලයක එක්තරා ප්‍රේතයෙකු අරමුණු කරගෙන මෙම කථාව වදාළ සේක. බරණැස් නුවර ජීවත් වූ පුරුෂයෙක් ගල්කැට විදීමේ ශිල්පයෙහි අති දක්ෂයෙක් විය. නගරයේ දොරටුව අසල පිහිටා ඇති නුගරුක මුල වාඩිවී සිටින ඔහු තම දක්ෂතා අන්‍යයන්ට ප්‍රදර්ශනය කරයි. නුග පත්‍ර මතට ගල්කැට විදීමෙන් අලි ඇතුන්, මිනිසුන්, පුන් කලස්, ලොකු කුඩා ගෙවල් ද නුග කොළ මත නිර්මාණය කර පෙන්වීමට ඔහු සමත්කම් දැක්වී ය. නුවර වාසය කරන ළමෝ තමන්ට ක්‍රීඩා කිරීම පිණිස එම නිර්මාණයන් මිලට ගනිති.

එක් දිනක් බරණැස් රජු නුවරින් පිටත්ව යන අතර එම නුග රුක මුලට පැමිණියේ ය. නුගපත්වල නිර්මාණය කර ඇති අලි ඇතුන්ගේ සහ නොයෙකුත් හැඩයන්ට වෙන් කරන ලද රූප දුටු රජු ඒවා කවුරුන් විසින් නිර්මාණය කරන ලද්දේදැයි විමසා සිටියේ ය.

එහි රැඳී සිටි මිනිස්සු “දේවයන් වහන්ස, මොහු විසින් මෙම රූප නිර්මාණය කරන ලද්දේ” යැයි එම පුරුෂයා පෙන්වූහ.

රජතුමා එම පුරුෂයා තමන් අසලට කැඳවා “මා විසින් යම් පුද්ගලයෙකු ඔබ හට පෙන්වූ විට, කථා කරමින් සිටින ඔහුගේ මුව ඔහුට නොදැනෙන්නට එළු බෙටිවලින් පුරවන්නට හැකි ද?”

“දේවයන් වහන්ස, එය මා හට කළ හැකියි.” පුරුෂයා රජු හට පිළිතුරු දුන්නේ ය.

අනවශ්‍ය ලෙස නිතර කතා කිරීම නිසා රජු හට මහත් කරදරයක් වූ පුරෝහිතයෙක් රාජ මන්දිරයේ සිටියේ ය. මන්දිරයට පැමිණි රජතුමා මිනිසුන්ගෙන් බාධා නොමැති නිදහස් ස්ථානයක සිටිමින් පුරසාරම් බස් දොඩවන පුරෝහිතයා සමගින් කතා බහට යොමු විය. පෙර සැළසුම් කර තිබූ පරිද්දෙන් රහස් ස්ථානයක සැඟව සිටි ගල් විදින්නා කිසිවෙකු හට නොපෙනෙන ලෙස, සිදුරක් තුලින්, කථා බස් කරන පුරෝහිතයාගේ මුව තුලට එළුබෙටි විද්දේ ය. එම පුරෝහිතයා ද මුව තුලට වන් එළු වසුරු රජු ඉදිරියේ වමාරන්නට නොහැකි ලැජ්ජාවෙන් සියල්ල ගිල දැමීය. එම එළු වසුරු ප්‍රමාණය නැලියක් තරම් විය.

“පුරෝහිතය, බෙහෙවින් කථා කිරීමේ විපාකය නුඹ දැන් ලබන ලදී. එහෙයින් දැන් පිටව යනු. කුකුමාරන් ගෙඩි හා පුවඟු කොළ ආදියෙන් සකස් කරන ලද පානය බී එළුබෙටි වමාරා දමනු. එවිට නුඹ සුවපත් වන්නේ ය.” එළ වසුරුවලින් කුස පිරී ගිය පුරෝහිතයා ඇමතූ රජු පැවසී ය.

ගල් විදින්නාගේ ක්‍රියාවෙන් සතුටට පත්වූ රජතුමා එම පුරුෂයා හට ගම්වරයක් ලබා දුන්නේ ය.

වස්තුව ලැබීමෙන් සතුටට පත් වූ ගල් විදින පුරුෂයා තම පිරිවර ජනතාවට ද සැප සම්පත් ලබා දෙමින්, මහණ බමුණන් හට සුදුසු පරිදි දන් දෙමින් වාසය කරන්නට වීය. ඔහු තමන් ළඟට පැමිණ ශිල්ප ඉගෙන ගන්නා පුද්ගලයින් හට ද බත් වැටුප් දෙයි. සංග්‍රහ කරයි.

දිනක් ඔහු සොයා පැමිණි එක්තරා පුරුෂයෙක් “ගුරුතුමනි, මා හට ශිල්ප දායාදය ලබාදෙන්න. මට බත් වැටුප්වල අවශ්‍යතාවයක් නොමැත.” යනුවෙන් පැවසී ය.

ඔහු එම පුද්ගලයාට තම ශිල්පය ඉගැන්වී ය. ශිල්ප ඉගෙනගත් එම පුරුෂයා තමා ඉගෙනගත් ශිල්පය පරීක්ෂා කිරීමට කැමැත්තෙන් පසුවිය. දිනක් ගංගා තීරයක වැඩ හුන් සුනෙත්ත නම් පසේබුදුන් වහන්සේ නමක් දුටු එම පාපකාරී පුද්ගලයා උන්වහන්සේගේ හිසට ගල් කැටයක් විද්දේ ය. ගල් කැබැල්ල වැදීමෙන් හිස දරුණු ලෙස තුවාල වූ පසේබුදුන් වහන්සේ පිරිනිවන් පෑ සේක. එය දුටු මිනිස්සු කැට මුගුරු ගෙන එම පුරුෂයා මරා දැමූහ.

එම දරුණු අකුසලයෙහි විපාක වශයෙන් අවීචි මහා නරකයෙහි උපත ලැබූ ඔහු අවුරුදු දහස් ගණනක් නිරයෙහි පැසී ඉතිරි විපාකයන් ගෙවීම පිණිස රජගහනුවරට නුදුරු ස්ථානයක ප්‍රේතයෙක්ව උපත ලැබීය. ඔහුගේ පෙර අකුසල් විපාකය සිහිපත් කරවනු පිණිස පෙරවරුවෙහි, මධ්‍යාහ්නයෙහි සහ සවස් කාලයෙහි අකුසල කර්ම වේගයෙන් ඔසවන ලද කුළුගෙඩි සැට දහසක් හිස මුදුන මතට පතිත වෙත්. එවිට ඔහු සුන්බුන් බවට පත්වූ හිස ඇතිව බලවත් දුක් වේදනාවෙන් බිම වැටෙයි. යකුළු පහර නැවතුන සැණින් ඔහුගේ හිස සාමාන්‍ය තත්වයට පත්වෙයි.

දිනක් ගිජුකුළු පව්වෙන් පහතට වඩිමින් සිටි මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ එම ප්‍රේතයා දැක කරුණු විමසා සිටි සේක.

“ප්‍රේතය, නුඹ කුමක් හේතුවෙන් සිහිය විකල් වූ අයෙකු මෙන් කෑ ගසමින් ඔබමොබ දිව යන්නේ ද? නුඹ නිසැකයෙන් ම පාපකර්ම ඇත්තෙක්ය.”

“ස්වාමීනී, මම ප්‍රේතයෙක් වෙමි. මිනිස් ලොවදී පව්කම් කර දැන් මෙම ප්‍රේත අපායට පැමිණ දුක් විඳින්නෙමි. මාගේ හිස මුදුනට නොඅඩුව යකඩ කුළු පහරවල් හැට දහසක් වැටෙත්. ඒ යකුළු මාගේ හිස පොඩි කර දමත්. යකුළු හැට දහසක් වැටීමට පුළුවන් තරම් විශාලව මගේ හිස පිහිටියේ ය. මෙතරම් විශාල හිස අශ්ව ලෝමයක අග කොටස බහාලන ප්‍රමාණයේ ඉඩක් හෝ ඉතිරි නොවන ලෙස යකුළු පහරින් විනාශ වෙයි.”

“ප්‍රේතය, නුඹ විසින් කවර අකුසල කර්මයක් කරන ලද්දේ ද?”

“ස්වාමීනී, ආර්ය මාර්ගයෙහි ගමන් කළ, වඩනා ලද ශ්‍රද්ධා ආදී ඉන්ද්‍රිය ඇති, කිසිදු බියක් නොමැති, රුක්මුලක ධ්‍යාන වඩමින් සිටි සුනේත්‍ර නම් පසේබුදුන් වහන්සේ නමක් මම මිනිස් ලොවදී දුටුවෙමි. එකල මම සාලිත්තක නමින් හඳුන්වන අතකුරු විදුමෙන් හෙවත් ගලක් විදීමෙන් පසේබුදුන්ගේ හිස පොඩි කළෙමි. එම අකුසල විපාකය වශයෙන් මෙබඳු දුකකට පැමිණියෙමි.”

“නින්දිත පුරුෂය, නුඹ විසින් ඒ පසේබුදුන් කෙරෙහි කරන ලද අකුසල කර්මයට සුදුසුව ම මේ විපාකය නුඹට ලැබී ඇත. එම නිසා මෙම විපාකය කිසිම දෙවියෙකු විසින් හෝ මාරයෙකු විසින් හෝ බ්‍රහ්මයෙකු විසින් හෝ එපමණක් නොව සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් විසින් හෝ වළක්වාලිය නොහැකි ම ය.”

මෙසේ වදාළ මහරහතන් වහන්සේ පිඬු පිණිස හැසිර සවස් කාලයෙහි බුදුරජාණන් වහන්සේ වෙත එළඹ එම පුවත උන්වහන්සේ වෙත සැල කර සිටි සේක. භාග්‍යවතුන් වහන්සේ පසේබුදුරජාණන් වහන්සේලාගේ ගුණානුභාවය සහ එම පුවත අර්ථය ලෙස ගෙන ධර්මය දේශනා කළ සේක. එය ශ්‍රවණය කළ බොහෝ පිරිස් ශ්‍රද්ධාවට පැමිණ අකුසල් දුරු කොට කුසල ක්‍රියාවන්හි ඇලුණහ.

සටහන – හර්ෂ නිලංක පෙරේරා

ඇසුර – ප්‍රේත වස්තු වර්ණනාව ග්‍රන්ථය