මිනිසත් බව ලබා සිටිය දී බොහෝ මසුරු ලෙස හැසිරෙන පුද්ගලයින් සමාජයේ සුලබව දක්නට හැකි ය. ගහක කොළක වැඩිපුර හැදෙන පලතුරක් දරුවෙකුට, මහල්ලෙකුට හෝ කඩාගන්නට නො දී ලෝබයෙන් හැසිරෙන්නෝ එයින් කුපිතව අධිකරණ වෙත යොමුව අසරණයින්ට දඬුවම් ලබා දුන් අයුරු ද මෑත යුගයේ අසන්නට දකින්නට හැකියාව ලැබිණ. එලෙස ලෝබකම් කළ පුද්ගලයෙක් ප්‍රේත උපතකට වැටී දුක් අනුභව කරන පුවතක් මෙම උච්ඡු ප්‍රේත වස්තුවෙන් විස්තර වෙයි.

මහා කාරුණික භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ වේළුවනාරාමයෙහි වැඩ වසන කලෙක මෙම කතා පුවත සිදු විය. එක්තරා පුරුෂයෙක් උක් ගස් මිටියක් කර මත තබාගෙන එක් උක් දණ්ඩක් අනුභව කරමින් මාර්ගයක ගමන් කරයි.

සිල්වත් වූ යහපත් ගුණධර්මයන්ගෙන් යුක්ත එක් උපාසකයෙක් තම බාල දරුවාත් සමඟ ඔහුගේ පිටුපසින් ගමන් කරමින් සිටියේ ය. ඉදිරිපසින් ගමන් කරන මිනිසා උක් දඬු අනුභව කරනු දුටු කුඩා දරුවා උක් දණ්ඩක් ඉල්ලා හඬන්නට විය. උපාසකතුමා එම පුද්ගලයාට කතා කළ නමුත් ඔහුගෙන් ඊට ප්‍රතිචාරයක් නො වී ය. දරුවාට උක් දඬු කැබැල්ලක් ද නො දුන්නේ ය.

උපාසකතුමා එම මිනිසාට තම දරුවා පෙන්වමින් “මේ දරුවා නොනවත්වා හඬයි. ඔහුට උක් දඬු කැබැල්ලක් දෙනු මැනවි.” යැයි පැවසී ය.

එය ඇසූ එම පුරුෂයා ඉවසීමකින් තොරව අවමන් සිතක් ද උපදවා නොසැලකිලිමත් ලෙස එක් උක් දණ්ඩක් පිටුපසට දැම්මේ ය.

කාලයකට පසු ඔහු මිය ගොස් බොහෝ කාලයක් පුරුදු කරන ලද ලෝබය හේතුවෙන් ප්‍රේත ලෝකයෙහි උපන්නේ ය. එම ප්‍රේත ලෝකයෙහි විපාක ඔහු මනුලොව පුරුදු කරන ලද කර්මයන්ට සමාන විය. ඔහුට ප්‍රේත ලොව මෝල් ගස් තරම් විශාල උක් ගස්වලින් සැදුම්ලත් මහා උක් වනයක් පහළ විය. එම ප්‍රේතයා උක් දඬු කෑමේ ආසාවෙන් ‘උක් දණ්ඩක් ගනිමි’යි සිතා උක් වනයට ගිය සැණින් උක් දඬු ඔහුට හිංසා පීඩා කෙරෙයි. එම ප්‍රේතයා එම පීඩාවන්ගෙන් සිහිවිකල්ව බිම පතිත වෙයි.

දිනක් භාග්‍යවතුන් වහන්සේගේ අග්‍ර ශ්‍රාවක මහා මුගලන් මහරහතන් වහන්සේ රජගහනුවර පිඬු පිණිස වඩිමින් සිටියේ ය. ඒ අතරමග දී රහතන් වහන්සේට ප්‍රේතයා දැකගත හැකි විය. තෙරුන් වහන්සේ දුටු ප්‍රේතයා උන්වහන්සේගෙන් තම දුකට හේතුව විමසන්නට විය.

“ස්වාමීනී, බොහෝ කුසල විපාකයක් වූ විශාල උක් වනයක් මා හට පහළ වී තිබේ. එහෙත් ඒවා අනුභව කිරීමට මා හට ඉඩක් නො ලැබෙයි. කවර කර්මයක විපාකයක් නිසා එසේ සිදුවන්නේදැයි මා හට පවසනු මැනවි. මම උක් ගස් අනුභව කිරීමට සිතා එහි ගමන් කළ විට මහත් පීඩාවට පත් වෙමි. කඩුපත් වැනි මුවහත් ආයුධවලින් කපා දමන්නාක් සේ මාගේ සිරුර උක් පත්‍රවලින් කැපී යයි. නැවත නැවත උක් දඬු කෑමට උත්සාහ කරමි, උපායන් යොදමි. එයින් වෙහෙසට පත්ව සිරුරේ ශක්තිය දුර්වල වී ගොස් බිම ඇද වැටෙමි. බොහෝ දුකින් යුතුව හඬන්නෙමි. අව්වෙන් රත්ව කර්කශව ගිය මේ බිම මත දියෙන් ගොඩ දැමූ මාළුවෙක් මෙන් පෙරළෙමි. හඬන්නා වූ මගේ නෙත්වලින් කඳුළු දහරා ගලා යයි. ස්වාමීනී, මේ කවර අකුසල් විපාකයක් ද යැයි පවසනු මැනවි. බඩගිනි ව, ක්ලාන්ත ව, පැන් පිපාසයෙන් වියළී ගිය උගුර තොල් තලු ඇතිව මම සැපයක් නම් නොලබමි.

ස්වාමීනී, කෙසේ නම් උක් දඬු අනුභව කිරීමට හැකියාවක් ලද හැකි ද යැයි ඔබ වහන්සේගෙන් මම විමසා සිටිමි.”

කරුණාවෙන් යුතු මහරහතන් වහන්සේ ප්‍රේතයාගේ පැනයට පිළිතුරු පවසන්නට විය.

“ප්‍රේතය, නුඹ පෙර මනුෂ්‍යයෙකු ව සිටිය දී අකුසල කර්මයක් කළේ ය. මම නුඹට එම කර්මය දැන් පවසන්නෙමි. එය අසා දැන ගනු මැනවි. නුඹ දිනක් මාර්ගයෙහි උක් දණ්ඩක් කමින් ගියේ ය. නුඹට පිටුපසින් එක් පුරුෂයෙක් පැමිණි අතර නුඹට ළඟා වෙන්නට කැමැත්තෙන් කතා කළේ ය. නුඹ ඔහුට කිසි කථාවක් නො කළේ ය. එම උපාසකයා කිසිවක් නොපවසන නුඹගෙන් ‘පින්වත, උක් දඬුවක් දෙන්න’ යැයි ඉල්ලා සිටියේ ය. එවිට නුඹ එක් උක් දණ්ඩක් පිටුපසින් ඔහු දෙසට විසි කළේ ය. එම අකුසලයේ විපාකය මෙය වේ. එම නිසා නුඹට පිටුපසින් උක් දඬු ගෙන අනුභව කළ හැකි ය. එසේ ගෙන කුසගිනි දුරු කරගෙන සතුටට පත් විය හැකි ය.”

රහතන් වහන්සේගේ වදන් ඇසූ ප්‍රේතයා ගසට පිටු පා උක් දඬු රැගෙන අනුභව කළේ ය. රිසි පරිදි කුසගිනි දුරුකර ගත් ප්‍රේතයා විශාල උක් මිටියක් රැගෙන විත් තෙරුණුවන්ට පූජා කළේ ය. රහතන් වහන්සේ ඔහුට අනුග්‍රහ කරනු පිණිස ප්‍රේතයා ලවා ම උක් දඬු මිටිය වේළුවනාරාමයට ගෙන්වාගෙන බුදුරජාණන් වහන්සේට පූජා කළ සේක. භාග්‍යවතුන් වහන්සේ භික්ෂු සංඝයා සමඟින් උක් දඬු වළඳා පුණ්‍යානුමෝදනා කළ සේක. එය දුටු ප්‍රේතයා පහන් සිත් ඇතිව වැඳ නමස්කාර කර පිටත් ව ගියේ ය. එතැන් පටන් ඔහු කැමති කැමති අයුරින් උක් රසය අනුභව කළේ ය. පසු කලෙක එම ප්‍රේත ලෝකයෙන් චුතව ගිය ඔහු තව්තිසා දෙව්ලොව උපත ලැබී ය.

ප්‍රේතයාගේ එම පුවත මිනිස් ලොව බොහෝ ප්‍රසිද්ධ වී ගියේ ය. මිනිස්සු භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ ඒ පිළිබඳව විමසන්නට වූහ. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ එම කරුණ විස්තර කොට ධර්ම දේශනා කළ සේක. මිනිසුන් එම ධර්ම ශ්‍රවණයෙන් මසුරු බව දුරු කොට ධර්මයෙහි අප්‍රමාදී වූහ.

සටහන – හර්ෂ නිලංක පෙරේරා

ඇසුර – ප්‍රේත වස්තු වර්ණනාව