සැබැවින්ම එය බාහිර පෙනුමෙන් හඳුනාගැනීම දුෂ්කර දෙයක්. එයට හේතුව කලණ මිතුරු වෙස්ගත් පවිටු මිතුරන් සෑම තැනක ම සිටිනවා. කලණ මිතුරු වේශයෙන් කට පුරා සිනාසී ධර්මය කියාගෙන, ආදර බස් කතාකොට තමාව විපතේ හෙලන පවිටු අය ඕන තරම් ඉන්නවා. සමහරවිට ගුණවත්කම් පුරුදු කරන සැබෑම සත්පුරුෂයන්ගේ බස රළුවිය හැකියි. ආදර බස් නොකියනු ඇත. නමුත් අභ්‍යන්තරය තුළ සත්පුරුෂ ගුණ පිහිටා ඇත. එම නිසා කලණ මිතුරන්, පාප මිතුරන් වෙන්කොට හඳුනා ගැනීම ඉතාම ඉවසීමෙන් කල්පනාකාරීව කළ යුතුය.

කතා මාත්‍රයකින්, ධර්මය කියූ පමණකින් මොහු කලණ මිතුරෙකි’යි කියා නිශ්චයකට පැමිණීම මහත් ම මෝඩකමක්. බුදුරජාණන් වහන්සේගේ කාලයේත් දේවදත්ත වැනි සෘද්ධිබල පවා ලැබූ අසත්පුරුෂයන් සිටියා. සමහර පවිටු මිතුරන් පැමිණෙන්නේ බොහෝම කරුණාවන්ත වේසයෙන්. ඔවුන් හදිසියක දී මුදල් වියදම් ලබාදෙනවා. ලෙඩට දුකට පිහිට වෙනවා. නමුත් යටි අරමුණ වෙනත් එකක්. පසුකලක අවස්ථාව ලද සැණින් තමාහට කෙලෙහිගුණ ගැන කියා “ඔබ අසරණ වූ මොහොතේ පිහිටට සිටියේ මා ය. ඒ නිසා මා කියන දේ කරන්න” යැයි එම පවිටු පුද්ගලන් කරන නරක ක්‍රියාවලට අහිංසක යහපත් පුද්ගලයන්ව ද සම්බන්ධ කරගන්නවා.

සමහර පවිටු පුද්ගලයන් මුලින් සැබෑ සත්පුරුෂයන්ගේ ගුණ කියනවා. දහම් පොත්පත් ලබාදෙනවා. සිල් ගුණදම් දියුණු කිරීමට උපකාරත් කරනවා. කාලයක් යද්දී ඔවුන් ලාභ සත්කාර නිසා හෝ වෙනත් මිත්‍යාදෘෂ්ඨියක් නිසා හෝ දහම් මඟින් බැහැර වෙනවා. ඔහු නොමඟ ගොස් සැබෑ ධර්මයට ආස කරන අන් අයවත් ධර්මයෙන් බැහැර කරනවා. ඔවුන් එය කරන්නේත් “ඔබට පළමුව ධර්මය කියා දුන්නේ මා ය. ඒ නිසා මා කියන දේ කරන්න” ආදී වශයෙන් කූට උපක්‍රම භාවිතා කිරීමෙන්. පසුව ඔවුන් සත්පුරුෂයන්ටත් ගරහනවා. තමාට ලොකු අවබෝධයක්, ඤාණයක් තියෙන පරිද්දෙන් තර්කානුකූලව කතා කරනවා. මෙවැනි පවිටු මිතුරන් හඳුනා ගැනීම එකවරම කළ නොහැකියි. එම නිසා ධර්මය කියූ පමණින් ද සත්පුරුෂයෙක් නොවේ.

ප්‍රධාන වශයෙන්ම කලණ මිතුරෙකුගේ, සත්පුරුෂයෙකුගේ තියෙන ගුණයක් තමයි කෙළෙහිගුණ දන්නා බවත් කළගුණ සිහි කිරීමත්. මෙය අංගුත්තර නිකාය පළමු පොත් වහන්සේගේ භූමි සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කොට තිබෙනවා.

යමෙකුගේ ඇසුරක් නිසා තමා තුළ ඇති ශ්‍රද්ධාව, සීලය, දහම් දැනුම, ත්‍යාගය, ප්‍රඥාව ආදී ගුණධර්මයන් පිරිහී යනවා නම් ඔහු පවිටු මිතුරෙක් ලෙස හඳුනාගත යුතුයි. එසේම පිරිසිදු ධර්ම විනය ඉස්මතු කොට කතා කරන සත්පුරුෂයන්ට ගරහන අයත් එසේ ගැරහීමට පොළඹ වන අයත් පවිටු පුද්ගලයන්. ඔවුන් කර්ම-කර්මඵල විශ්වාස කරන්නේ නෑ.

සමහර පුද්ගලයන්ට පාප මිතුරන් වන්නේ ඉන්ටර්නෙට්, යූටියුබ්, ෆේස්බුක් වැනි දියුණු තාක්ෂණයයි. ඒ තුළිනුත් බොහෝ පිරිසක් නොමඟ යනවා. පාප මිතුරා පුද්ගලයෙක් ම නොවිය හැකියි. වර්තමානයේ බහුලව ම පාප මිතුරු ඇසුර ලැබෙන්නේ නවීන තාක්ෂණය ඔස්සේ ය. යහපත් ලෙස සීලය දියුණු කළ බොහෝ අය කොම්පියුටර්, ටැබ්, ස්මාර්ට්ෆෝන් වැනි තාක්ෂණික මෙවලම්වලට ඇබ්බැහි වීම නිසාත් ඒවා ඉන්ද්‍රිය සංවරයෙන් යුතුව ප්‍රවේශමෙන් භාවිතා නොකළ නිසාත් පාප මිත්‍ර සේවනයට හසු වී ගුණධර්මයන්ගෙන් පිරිහී ගිය වාර අනන්තයි.

එම නිසා තමාගේ ගුණධර්මයන්ට හානි පැමිණෙන යම් ඇසුරක් ඇත්නම් අප භාග්‍යවතුන් වහන්සේ සබ්බාසව සූත්‍රයේදී වදාළේ එබඳු පවිටු මිතුරන් මඟහැරීමෙන් ඔවුන් නිසා හටගන්නා ආශ්‍රව ප්‍රහාණය කළ යුතු බවයි.