01. පින්වත් ස්වාමීන් වහන්ස, අසුභ භාවනාව නිතර වැඩීම සුදුසු ද? අසුභ භාවනාව වඩන නිවැරදි ක්‍රමය හා අසුභ භාවනාවේ ආනිශංස අනුකම්පාවෙන් පහදන්න.

අසුභ භාවනාව නිරන්තරයෙන් පුරුදු කිරීම මහත් වූ අනුසස් ගෙන දෙන්නකි. අසුභ භාවනාව නිවැරදිව වඩන ආකාරය බුදුරජාණන් වහන්සේ මහා සතිපට්ඨාන සූත්‍රයේදී කායානුපස්සනාව යටතේ විස්තර කොට තිබේ. එහි දී භාග්‍යවතුන් වහන්සේ අපගේ මේ ශරීරය කුණුප කොටස් 32කට බෙදා වෙන්කොට දක්වා තිබේ. කෙස්, ලොම්, නියපොතු, දත්, සම, මස්, නහරවැල්, ඇට, ඇටමිඳුළු, වකුගඩු, හදවත, අක්මාව, පිත්තාශය, බඩදිව, පෙනහලු, මහා බඩවැල, කුඩා බඩවැල, ආමාශය, අසූචි, මොළය, පිත, සෙම, සැරව, ලේ, දහඩිය, තෙල්මන්ද, කඳුළු, වුරුණු තෙල්, කෙළ, සොටු, සඳ මිදුළු, මූත්‍රා ආදි ලෙස වෙන් වෙන් වශයෙන් අසුභ වශයෙන් මෙනෙහි කිරීමයි. මෙහි දී ඒ ඒ කුණුප කොටස් වර්ණ, සටහන්, ගන්ධ, පිහිටි අවකාශය වශයෙන් හඳුනාගෙන තිබීම අසුභ සංඥාවට බොහෝ උපකාරී වේ. මේ පිළිබඳ ව වැඩිදුර කරුණු අධ්‍යයනය කිරීම පිණිස ‘සිතට සුවදෙන භාවනා’ නම් වූ ග්‍රන්ථයත්, සතිපට්ඨාන සූත්‍රය තුළ අඩංගු බුද්ධ භාෂිතය සවිස්තරව විස්තර කරමින් රචනා කොට තිබෙන ‘ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේ’ නම් වූ ග්‍රන්ථයත් පරිශීලනය කරන්න.

02. පින්වත් ස්වාමීන් වහන්ස, මරණසතිය වඩන ආකාරය පහදා දෙන්න.

භාග්‍යවතුන් වහන්සේ දුතිය මරණසති සූත්‍රයේදී (අං. නි. – 5) මරණසතිය වඩන ආකාරය මෙසේ අප හට පෙන්වා වදාළ සේක. “මහණෙනි, මෙහිලා භික්ෂුව මෙසේ නුවණින් සලකයි. මාගේ මරණයට බොහෝ කාරණාවෝ තිබෙත්. සර්පයෙක් හෝ මට දෂ්ට කරන්නේ ය. ගෝනුස්සෙක් හෝ මට දෂ්ට කරන්නේ ය. පත්තෑයෙක් හෝ මට දෂ්ට කරන්නේ ය. එයින් මාගේ මරණය සිදුවිය හැක්කේ ය. එයින් මට අනතුරක් විය හැක්කේ ය. පය පැකිලී හෝ මම වැටෙන්නේ නම් අනුභව කළ බත් නො දිරවන්නේ නම් මාගේ පිත හෝ කිපෙයි නම්, මාගේ සෙම හෝ කිපෙයි නම්, ආයුධයක් සේ නපුරු ලෙස මාගේ වාතය කිපෙයි නම් මිනිස්සු හෝ මාව මැරීමට උපක්‍රම කරත් නම් අමනුෂ්‍යයෝ හෝ මාව මැරීමට උපක්‍රම කරත් නම්, ඒ හේතුවෙන් මා මරණයට පත්විය නො හැක්කේ ය. එයින් මට අනතුරක් විය හැක්කේ ය.” වශයෙනි.

ඉන් පසු මෙසේ මරණසතිය වඩන කෙනා දිවා රාත්‍රී දෙකේ ම තමාට අනතුර පිණිස පවතින අකුසල ධර්මයන් තමා තුළ පවතී ද කියා නුවණින් විමසා බලමින් එම අකුසල ධර්මයන් ප්‍රහාණය කිරීම පිණිස අධිමාත්‍ර වූ කැමැත්තක් ද වීර්යයක් ද උත්සාහයක් ද බලවත් උත්සාහයක් ද අත් නොහරින උත්සාහයක් ද සිහියක් ද නුවණින් කටයුතු කිරීමක් ද කළ යුත්තේ ය. මේ පිළිබඳ ව තවදුරටත් කරුණු අධ්‍යයනය කිරීම පිණිස ‘සිතට සුවදෙන භාවනා’ නම් වූ ග්‍රන්ථයත්, අං. නි. – 5 පොත් වහන්සේ තුළ අඩංගු පඨම හා දුතිය මරණසති සූත්‍රත් අධ්‍යයනය කරන්න.

03. පින්වත් ස්වාමීන් වහන්ස, මා හට බොහෝ විට වටින දේ ලැබී යළි ඒවා අහිමි වේ. එසේ වන්නේ ඇයිදැයි පහදා දෙමින් එයින් ඇති වන සිත්තැවුල් මඟ හරවා ගැනීමටත්, එවන් දෙයක් යළි නොවීමට කළ යුතු කුසල් මාර්ගයත් පෙන්වා දෙනු මැනවි.

භාග්‍යවතුන් වහන්සේ අප හට දේශනා කොට වදාළේ තමාගේ යැයි සිතා අල්ලාගන්නා සියලු දේ ම කලක දී තමාට අහිමි වී යන ස්වභාවයෙන් යුතු බවයි. බුදුරජාණන් වහන්සේ එක අවස්ථාවක දී වදාළේ තමාට තමාවත් අහිමි වී යන මොහොතක් එන බවයි (අත්තාහි අත්තනෝ නත්ථි). එහෙම එකේ දරුමල්ලෝ කොහෙන් ද? සල්ලි බාගෙ කොහෙන් ද කියා ය (කුතෝ පුත්තා කුතෝ ධනං). මේ ස්වභාවය මනාකොට අවබෝධ කරගත් අපගේ ශාස්තෘන් වහන්සේ අප හට දේශනා කොට වදාළේ පහත කරුණ නිරන්තරයෙන් තමන්ගේ එදිනෙදා ජීවිතයේදී සිහිකරමින් වාසය කරන ලෙසට ය. එනම් ‘මට අයත් ප්‍රියමනාප සියලු දෙයින් වෙන් වෙන්නට සිදුවෙනවා’ යැයි කියා ය.

ඇතැම් අවස්ථාවල දී සසරේ කරන ලද අකුසල කර්ම නිසාත් තමා සතු වස්තුව අහිමි වී යන බව බුද්ධ දේශනාවේ සඳහන් වේ. බොහෝ විට එසේ සිදුවන්නේ පෙර ජීවිතවලදී අන්සතු දේ සොරකම් කිරීමේ විපාකයක් ලෙසට ය. මේ ජීවිතයේදී සොරකම් කිරීම ආදියෙන් වැළකී සීලවන්ත ජීවිතයක් ගත කිරීමට අදිටන් කර ගත යුතුය. කෙසේ වෙතත් මුලින් සඳහන් වූ දහම් කරුණු නුවණින් මෙනෙහි කරමින් අටලෝ දහමට මුහුණදීම පිණිස සිත ශක්තිමත් කර ගැනීමත්, සසරේ සැබෑ ස්වභාවය තේරුම් ගැනීමත් තුළින් සිත්තැවුල් ඇතිවීම මඟ හරවා ගත හැකි ය. එමෙන් ම නිරන්තරයෙන් තම ජීවිතය තුළ සත්පුරුෂයෙකු ලෙස දන්පැන් පිදීම පුරුදු කරන්නේ නම් තමා සතු වස්තුව ප්‍රයෝජන නො ගෙන අහිමි වී නො යයි.

04. පින්වත් ස්වාමීන් වහන්ස, නියමාකාරයෙන් වචනයෙන් සංවරව සිල්වත් වෙන්නේ කෙසේ ද? කොපමණකින් ආසනයක් මහා ආසනයක් වන්නේ ද? කරුණාවෙන් පහදා දෙනු මැනවි.

භාග්‍යවතුන් වහන්සේ විසින් අප හට වචනයෙන් සිදුකළ යුතු සංවරය හැටියට පහත කරුණු 04 දේශනා කළ සේක.

1. දැන දැන බොරු කීමෙන් වැළකීම
2. කේළාම් කීමෙන් වැළකීම
3. පරුෂ වචන කීමෙන් වැළකීම
4. හිස් වචන කීමෙන් වැළකීම

බුදුරජාණන් වහන්සේ ඉහත දැක්වූ වචී සුචරිතයට ශ්‍රාවකයා පැමිණිය යුතු ආකාරය වේරඤ්ජක සූත්‍රයේ දී (ම. නි. – 1) පහත පරිදි පෙන්වා දී ඇත.

“කෙනෙක් බොරු කීම අත්හරිනවා. බොරු කීමෙන් වළකිනවා. සභාවක් මැද හෝ පිරිස මැද හෝ ඥාතීන් මැද හෝ සේනා මැද හෝ රජය ඉදිරියේ හෝ විනිසුරුවන් සාක්ෂි විමසන කොට ‘ඒයි පුරුෂය, මේ ගැන ඔබ දන්නවා නම් දැන් කියන්න ඕන.’ කියලා ඔහු දන්නේ නැති දේ දන්නේ නෑ කියනවා. දන්න දේ දන්නවා කියනවා. නො දකින දේ දකින්නේ නෑ කියනවා. දකින දේ දකිනවා කියනවා. ඔය විදිහට තමන් නිසාවත්, අනුන් නිසාවත්, යම් කිසි අල්ලසක් නිසාවත් දැන දැන බොරුවක් කියන්නේ නෑ.

ඔහු කේළාම් කියන්නේ නෑ. මෙතනින් අහගෙන ගිහින් මෙතන බිඳවන්න එතන කියන්නේ නෑ. එතනින් අහගෙන ඇවිත් එතන බිඳවන්න මෙතන කියන්නේ නෑ. ඔය විදිහට බිඳුණු අය සමඟ කරනවා. සමඟියට අනුබල දෙනවා. සමගියෙන් සතුටු වෙනවා. සමඟියට කැමති වෙනවා. සමඟිය ම ඇතිවන දේ කියනවා.

ඔහු පරුෂ වචන අත්හරිනවා. පරුෂ වචනයෙන් වළකිනවා. කනට මිහිරි වූ සෙනෙහස වඩන හෘදයාංගම වූ වැදගත් වචන, බොහෝ ජනයා කැමති, බොහෝ ජනයාට ප්‍රියමනාප වචන කතාකරනවා.

ඔහු හිස් වචනය දුරු කරනවා. හිස් වචනයෙන් වළකිනවා. සුදුසු කාලයට කතාකරනවා. සිදු වූ දේ ම කියනවා. අර්ථවත් දේවල් ම කියනවා. ධර්මය ම කියනවා. විනය ම කියනවා. මතකයේ තබාගත යුතු වටිනා දේ කියනවා. ඔය විදියට පමණ දැනගෙන අර්ථවත් වූ යහපත් වචන කතා කරනවා.

05. පින්වත් ස්වාමීන් වහන්ස, වෙනත් කාන්තාවක් හෝ පුරුෂයෙක් සරීරයේ ස්පර්ශ වූවොත් වැරදි කාම සේවනයෙන් වැළකීමේ සිල් පදය කැඩෙනවාද?

මෙම ශික්ෂා පදය වෙනත් කාන්තාවක හෝ පුරුෂයෙකු ශරීරයේ ස්පර්ශ වීමෙන් නො කැඬේ. නමුත් ඒ ස්පර්ශය මුල්කරගෙන රාගාදී අකුසල් උපදවා ගැනීම අප හට අයහපත පිණිස පවතී. තමා විවාහ වී සිටින පුරුෂයා හෝ ස්ත්‍රිය ඉක්මවා වෙනත් ස්ත්‍රියක හෝ පුරුෂයෙකු සමග කායිකව එක්වීමෙන් මෙම සිල්පදය බිඳේ.

06. පින්වත් ස්වාමින් වහන්ස, මා හට බුද්ධ වන්දනා කරන විට දී, ධර්ම ශ්‍රවණය කරන විට දී කාම විතර්ක පැන නගිනවා. මෙය මා හට මහත් වදයක් වී ඇත. මෙයින් මා සිත මුදවා ගන්න අයුරු පහදා දෙන සේක්වා!

භාග්‍යවතුන් වහන්සේ විසින් කාම විතර්ක, ව්‍යාපාද විතර්ක ආදි අකුසල විතර්කයන් ප්‍රහාණය කිරීම පිණිස සැලකිය යතු ආකාරය ද්වේධා විතක්ක සූත්‍රයේ දී පෙන්වා දී ඇත. එහි දී බුදුරජාණන් වහන්සේ වදාළේ තමා තුළ කාම විතර්ක හටගත් විට එය තමාට පීඩා පිණිස පවතින බවත්, අනුන් හට පීඩා පිණිස පවතින බවත්, තමාටත් අනුන්ටත් යන දෙපිරිසට ම පීඩා පිණිස පවතින බවත් ඒ තුළින් ම චිත්ත සමාධිය නැති වී යන බවත්, ප්‍රඥාව විනාශ වී යන බවත් නුවණින් සලකන ලෙස ය. එලෙස නුවණින් සලකන විට ක්‍රමයෙන් කාම විතර්ක ප්‍රහාණය වී යයි. එමෙන් ම කාමයන්ගේ ආදීනව නොයෙක් අයුරින් මෙනෙහි කිරීමත්, නෙක්ඛම්මයේ ආනිශංස නුවණින් කල්පනා කිරීමත් මගින් බොහෝ සෙයින් සිත ආරක්ෂා කර ගත හැකි ය. නිරන්තරයෙන් අසුභ භාවනාව පුරුදු කිරීම ද මහෝපකාරී වේ.

07. පින්වත් ස්වාමීන් වහන්ස, ශ්‍රද්ධානුසාරී ධම්මානුසාරී හා සෝතාපන්න ආර්ය ශ්‍රාවකයන් ද දිව්‍ය ලෝකවල නිතැතින් ම ඉපදෙනවා ද? නැති නම් ඔවුන් ද දේවානුස්සති භාවනාවන් වැඩිය යුතු ද? කරුණාවෙන් පහදා දෙන්න.

ශ්‍රද්ධානුසාරී හා ධම්මානුසාරී ශ්‍රාවකයා සෝතාපන්න නො වී කලුරිය නොකරන බව සංයුත්ත නිකායේ ඔක්කන්ති සංයුත්තයෙහි අඩංගු සූත්‍ර දේශනාවල සඳහන් වේ. සෝතාපන්න ආර්ය ශ්‍රාවකයෙක් සසර සැරිසරනුයේ උපරිම වශයෙන් ආත්ම භාව 07කි. එය දිව්‍ය ලෝකවල හෝ මනුෂ්‍ය ලෝකයේ විය හැකි ය. කෙසේ වෙතත් දේවතානුස්සති භාවනාව ප්‍රගුණ කොට දිව්‍ය ලෝකයක සිත පිහිටුවීමෙන් ඒ ඒ දිව්‍ය ලෝකවල ඉපදීමට ඇති හැකියාව බුද්ධ දේශනාවල සඳහන් වේ. එම නිසා දේවානුස්සති භාවනාව පුරුදු කර තිබීම ශ්‍රාවකයෙකුට ඉතා ප්‍රයෝජනවත් වන කරුණකි. ශ්‍රද්ධානුසාරී, ධම්මානුසාරී ශ්‍රාවකයන් ද මෙම දේවතානුස්සති භාවනාව පුරුදු කිරීම වැදගත් වන අතර එය තුළින් චිත්ත සමාධිය ද දියුණුකර ගත හැකි ය.

08. පින්වත් ස්වාමීන් වහන්ස, ආර්ය පුද්ගලයන් හඳුනාගන්නේ කෙසේ ද?

ආර්ය පුද්ගලයන් යනු මාර්ගඵලලාභී සත්පුරුෂ උතුමන් ය. භාග්‍යවතුන් වහන්සේ චූල පුණ්ණමා සූත්‍රයේ දී අසත්පුරුෂ පුද්ගලයාට සත්පුරුෂයා හා අසත්පුරුෂයා වෙන්කොට හඳුනාගත නො හැකි බවත් සත්පුරුෂ පුද්ගලයාට ම සත්පුරුෂයාවත්, අසත්පුරුෂයාවත් වෙන්කොට හඳුනාගත හැකි බව පෙන්වා වදාළ සේක. මේ නිසා අප උත්සාහ දැරිය යුත්තේ මුලින් ම තම තමන් සත්පුරුෂ ගුණ දහමෙන් යුතුව සත්පුරුෂයෙකු බවට පත් වීමට යි. බුදුරජාණන් වහන්සේ සත්පුරුෂ පුද්ගලයා ලෙස පෙන්වා දී තිබෙන්නේ ‘කළගුණ දන්නා කෙනාත්, කළගුණ සිහිකිරීමට දක්ෂ කෙනාත්’ ය.

යම්කිසි ශ්‍රාවකයෙක් ශ්‍රද්ධානුසාරී හෝ ධම්මානුසාරී තත්ත්වයට පත් වීමේ දී අසත්පුරුෂ භූමිය ඉක්මවා ගොස් ඉහත දක්වන ලද සත්පුරුෂ ගුණ දහම් තුළ මැනවින් පිහිටයි.

ආර්ය උතුමන්ට අයත් වන ඛීණාස්‍රව මහරහතන් වහන්සේලා හා අනාගාමී ආදි උතුමන් චේතෝපරිය ඤාණයක් ලබා නැති සාමාන්‍ය ශ්‍රාවකයෙකුට එක්වර ම හඳුනාගැනීමේ හැකියාවක් නැත. මෙහි දී අප තේරුම් ගත යුතු තවත් වැදගත් කරුණක් වනුයේ සැබෑ මග ඵලලාභී උතුමන් තමන් උපදවා ගත් මාර්ග ඵලයන් ප්‍රකට නො කොට නිහතමානී ව අල්පේච්ඡතාවය නම් වූ උතුම් ගුණය තුළ ම තම ජීවිතය ගත කරන බව ය.