වස් කාලය යනු ශ්‍රාවක සඟරුවන බොහෝසෙයින් ශාසනික ප්‍රතිපත්තීන්හි නියැලී වෙසෙන සමයයි. එය අනුගමනය කරමින් අතීතයේදී ශ්‍රද්ධාවන්ත උපාසක උපාසිකාවන් වස් කාලයේදී ශාසනික පිළිවෙත් පිරීමට, පින් රැස්කරගැනීමට බොහෝ සෙයින් උනන්දු වී තිබෙනවා. සමහර රජවරු පවා වස් තුන්මාසය ම අෂ්ඨාංග උපෝසථ සීලය ආරක්ෂා කොට තිබෙනවා. එම නිසා අඩුගණනේ වස් තුන්මාසයේ දී සතර පෝයට ම සිල් සමාදන් වෙන්න උනන්දු වන්න. එමෙන් ම දින තුනකට පමණ වරක් හෝ උතුම් බුද්ධ දේශනාවක් ශ්‍රවණය කරන්න. සතියකට වතාවක් විහාරස්ථානයකට, ආරණ්‍ය සේනාසනයකට ගොස් සෑ රජාණන් වහන්සේට, බෝ රජාණන් වහන්සේට වත් පිළිවෙත් කර වන්දනාමාන කරන්න. දිනපතා ම පවුලේ සියලු දෙනාම එකතු වී තෙරුවන් වන්දනා කරන්න. පිරිත් කියන්න. ඒ වගේම දෛනික කටයුතු අතරේ වෙලාවක් වෙන්කරගෙන උතුම් බුද්ධානුස්සති, මෛත්‍රී වැනි භාවනාවක් ප්‍රගුණ කරගන්න. වස් සමාදන් වී වැඩසිටින සඟරුවනට දන් පැන් පුදන්න. බෙහෙත් ඖෂධ පූජා කරන්න. හැකියාව ඇති පරිදි සේනාසන පහසුකම් සපයන්න. මෙසේ ආමිස, ප්‍රතිපත්ති පූජාවන්හි නියැලීම තුළින් පින්බර වස්සාන සමයක් ගතකරන්නට අවස්ථාව සැලසේවි.