01. පින්වත් ස්වාමීන් වහන්ස, නිවාඩුවක් ලැබෙන විටදී නිවසේ සිටම සිල් සමාදන් වීමේදී උච්චාසයන මහාසයන පරිභෝජනයෙන් වැළකීම කළයුත්තේ කෙසේද? එසේ කිරීමෙන් ලැබෙන ආනිසංස මොනවාද? එවැනි සිල් පදයක් යෙදීමේ අරමුණ මොකක්ද?

භාග්‍යවතුන් වහන්සේ විසින් දීඝ නිකායේ සීලස්කන්ධ වර්ගයේ සූත්‍ර දේශනාවලදී ශ්‍රාවකයාගේ සීලස්කන්ධය යනු කුමක්දැයි විස්තර කරන අවස්ථාවලදී උච්චායසන, මහාසයන ලෙස දිග හාන්සි පුටු, කවිච්චි, ලොකු පලස් යෙදූ ආසන, සුඛෝපභෝගී යහන් ආදියත් එමෙන්ම තවත් එකල උච්චාසයන, මහාසයන ලෙස සැලකූ පුළුන් යෙදූ මෙට්ට, නොයෙකුත් ඇතිරිලි හා කලාළ ආදිය ද පෙන්වා දී ඇත. නමුත් මෙකල අප භාවිතා කරන සුඛෝපභෝගී යැයි සම්මත ඇඳ පුටු ආදියත් මෙයට අයත් වේ.

මේ ආකාරයේ ඉතා උසස් ආසන හා සුඛෝපභෝගී යැයි සම්මත මහා ආසන පරිහරණයෙන් වැළකීමෙන් ශ්‍රාවකයා මේ උතුම් සීලය ආරක්ෂා කරයි. සාමාන්‍යයෙන් ගෙදර දොර තිබෙන සරල ඇඳ පුටු ආදිය පාවිච්චියෙන් මෙම ශික්ෂා පදය නොබිඳේ. ගිහි ජීවිතය ගත කරන කෙනෙකු මෙම සිල් පදය ආරක්ෂා කරනුයේ උතුම් රහතන් වහන්සේලා අනුගමනය කිරීමක් වශයෙනි. මෙම ශික්ෂා පදය ආරක්ෂා කිරීම තුලින් ශ්‍රාවකයා වඩ වඩාත් නෙක්ඛම්මය දෙසට තම ජීවිතය පුරුදු කරයි. එය සුගතියේ උපත පිණිසත්, ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මාර්ගාංගයන් දියුණු වීම පිණිසත් බෙහෙවින් උපකාරී වේ.

02. පින්වත් ස්වාමීන් වහන්ස, නිවැරදිව පන්සිල් රැකීමෙන් සෝවාන් ඵලයට පත් විය හැකිද?

බුදුරජාණන් වහන්සේ විසින් සෝවාන් ඵලයට පත්වූ ශ්‍රාවකයකු තුළ පිහිටන අංග සතරක් පෙන්වා දී තිබේ. එනම් ආර්ය ශ්‍රාවක තෙමේ,

i. බුද්ධේ අවෙච්චප්පසාදේන සමන්නාගතෝ හෝති.
බුදු රජුන් කෙරෙහි නිසැක බවට පැමිණ නොසෙල්වෙන පැහැදීමෙන් යුක්ත වෙයි.
ii. ධම්මේ අවෙච්චප්පසාදේන සමන්නාගතෝ හෝති.
ධර්මය කෙරෙහි නිසැක බවට පැමිණ නොසෙල්වෙන පැහැදීමෙන් යුක්ත වෙයි.
iii. සංඝේ අවෙච්චප්පසාදේන සමන්නාගතෝ හෝති.
ශ්‍රාවක සංඝයා කෙරෙහි නිසැක බවට පැමිණ නොසෙල්වෙන පැහැදීමෙන් යුක්ත වෙයි
iv. අරියකන්තේහි සීලේහි සමන්නාගතෝ හෝති.
ආර්යකාන්ත සීලයෙන් යුක්ත වූයේ වෙයි.

මේ අනුව නොකඩ කොට පන්සිල් රැකීම යනු ගිහි ශ්‍රාවකයාගේ සෝතාපත්ති අංගවලින් එකක් පමණි. එම නිසා මුලින් සඳහන් කළ සෝතාපත්ති අංග තුනෙන් තොරව පන්සිල් රැකීමෙන් පමණක් සෝවාන් ඵලයට පත්විය නොහැක. සෝවාන් ඵලයට පත්වූ ශ්‍රාවකයකු වීමට නම් ඉහත දක්වන ලද සෝතාපත්ති අංග සතර ම තම ජීවිතය තුළ පුරුදු කරගත යුතුය.

03. පින්වත් ස්වාමීන් වහන්ස, ධාතු මනසිකාරය තුළ වැඩෙන සංඥාව කුමක්ද? ධාතු මනසිකාරය නිවන කරා ම ධ්‍යාන සතර ම සම්පූර්ණ කරගෙන වැඩීමේ හැකියාවක් ඇත්ද?
මෙමගින් වැඩෙනුයේ ධාතු මනසිකාර සංඥාව ම ය. ධාතු මනසිකාරය තුළින් ධ්‍යාන සතර ම දියුණු කරගැනීමේ හැකියාව ඇත. ඒ තුළින් ම සමථ විදර්ශනා දියුණු කොට අරහත්වය කරා ධර්ම මාර්ගය දියුණු කළ හැකි ආකාරය මහා හත්ථිපදෝපම සූත්‍රය (ම. නි. 1) ආදී සූත්‍ර දේශනාවල සඳහන්ව ඇත. එම දේශනය පරිශීලනය කිරීමෙන් තව දුරටත් මෙම කාරණය පැහැදිලි කරගත හැක.

04. පින්වත් ස්වාමීන් වහන්ස, සතර ඉර්ධිපාද යනු මොනවාද? ඒවා වැඩීමේ ප්‍රයෝජන මොනවාද?

බුදුරජාණන් වහන්සේ සංයුක්ත නිකායේ ඉර්ධිපාද සංයුක්තයේ දී ඉර්ධිපාද සතරක් පෙන්වා දී ඇත. එනම්,

i. බලවත් ඡන්දය තුළින් උපදවාගත් සමාධියෙන් හා පධන් වීරීයෙන් යුතු ඉර්ධිපාදය (ඡන්ද ඉර්ධිපාදය)
ii. බලවත් වීර්යය තුළින් උපදවාගත් සමාධියෙන් හා පධන් වීරීයෙන් යුතු ඉර්ධිපාදය (විරිය ඉර්ධිපාදය)
iii. බලවත් අධිෂ්ඨානය තුළින් උපදවාගත් සමාධියෙන් හා පධන් වීරීයෙන් යුතු ඉර්ධිපාදය (චිත්ත ඉර්ධිපාදය)
iv. බලවත්ව නුවණින් විමසීම තුළින් උපදවාගත් සමාධියෙන් හා පධන් වීරීයෙන් යුතු ඉර්ධිපාදය (වීමංසා ඉර්ධිපාදය)

මේ සතර ඉර්ධිපාදයන් දියුණු කළ විට මෙතෙරින් එතෙරට යාම පිණිස (සසර දුකින් නිදහස් වීම පිණිස) පවතින්නේ යැයි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. එමෙන්ම සියලු ආකාරයේ ඉර්ධිබල ලැබීම පිණිසත් උපකාරී වන්නේ මෙම ඉර්ධිපාද ධර්මයන් ය.

මේ පිළිබඳව වැඩිදුර දහම් කරුණු අධ්‍යයනය කිරීම පිණිස සංයුක්ත නිකායේ 5 වන කොටසේ ඉර්ධිපාද සංයුක්තයත්, ‘සුදු මුදු බුදු ගුණ සිහිකර ගන්නේ’ යන ග්‍රන්ථයත් පරිශීලනය කරන්න.

05. පින්වත් ස්වාමීන් වහන්ස, කාමයෙහි වරදවා හැසිරීම යනු කුමක්ද? ස්වයං වින්දනයත් කාමය වරදවා හැසිරීමට අයත් ද?

භාග්‍යවතුන් වහන්සේ වේරඤ්ජක සූත්‍රයේදී (ම.නි. 01) කාමයෙහි වරදවා හැසිරීමේ ශික්ෂා පදය විස්තර කරනුයේ මේ අයුරිනි. එනම්, මව් විසින් රකින (මාතුරක්ඛිතා), පියා විසින් රකින (පිතුරක්ඛිතා), මව් පියන් විසින් රකින. සහෝදරයා විසින් රකින (භාතුරක්ඛිතා), සහෝදරිය විසින් රකින (භගිනිරක්ඛිතා), නෑදෑයන් විසින් රකින (ඤාතිරක්ඛිතා), තම ගෝත්‍රය විසින් රකින (ගොත්තරක්ඛිතා), ධර්මය විසින් රකින (ධම්මරක්ඛිතා) ස්වාමියෙක් සිටින (සස්සාමිකා), එමෙන්ම විවාහ ගිවිස ගත්, අඩු තරමින් මල් මාලාවක් දමා හෝ විවාහයක් පිණිස යම් ස්ත්‍රියක් වෙන් කොට තිබේ නම් එබඳු ස්ත්‍රීන් සමඟ යමෙක් කාම සේවනය කරයි නම් මෙම ශික්ෂා පදයේ බිඳීමට පැමිණේ.

ස්වයං වින්දනයේ යෙදීමෙන් ගිහි ශ්‍රාවකයාගේ වැරදි කාම සේවනයෙන් වැළකීමේ ශික්ෂා පදය සම්පූර්ණයෙන් නොබිඳුණත් එය කිළිටි වීමකට පැමිණේ. බ්‍රහ්මචාරී සීලයක් රකින කෙනෙකුට නම් ස්වයං වින්දනයේ යෙදීම තුළින් එම බ්‍රහ්මචාරී සීලය බලවත් ලෙස කිළිටි වේ. ස්වයං වින්දනයේ යෙදීම නම් වූ ක්‍රියාව දුගතියේ ඉපදීම පිණිස හේතු විය හැකි අකුසලයක් වන අතරම බොහෝ විට නීච අමනුෂ්‍යයන්ගේ ග්‍රහණයට ද ලක් වීමේ ඉඩ ප්‍රස්ථා විවෘත වන අවස්ථාවකි. එම නිසා තම යහපත කැමති නුවණැත්තන් අකුසල් රැස්වන මෙම ක්‍රියාවෙන් වැළකී සිටීමට උත්සාහ කළ යුතුය.

07. පින්වත් ස්වාමීන් වහන්ස, මම තව කෙනෙකුට ධර්මය කියාදීමට උත්සාහ කරද්දී ඒ අය එය එතරම් සීමා නොකර ඉන්නවා. මෙවැනි අවස්ථාවක මට සහ ඔවුන්ට රැස්වෙන පින, පව ගැන පහදා දෙන්න.

ධර්මය දේශනා කිරීමේදී භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට තිබෙන්නේ සුදුසු කල් බලා දේශනා කිරීමටත් එමෙන්ම සුදුසු කාලයේදී ඒ ඒ පුද්ගලයන්ගේ ස්වභාවය තේරුම් ගෙන එය කිරීමත් ය. යමෙකුට ධර්මය දේශනා කිරීමේදී එය අසන පුද්ගලයා ධර්මය ඇසීමට කැමැත්තක්, රුචිකත්වයක් නොදක්වන්නේ නම් එවැනි පුද්ගලයන්ට ධර්මය දේශනා කිරීම දුක් කථාවක් බව බුදුරජාණන් වහන්සේ දුක්කථා සූත්‍රයේදී දේශනා කොට තිබේ. එහිදි බුදුරජාණන් වහන්සේ එය පහත අයුරින් පැහැදිලි කළ සේක.

i. ශ්‍රද්ධා රහිතයා හට ශ්‍රද්ධාව පිළිබඳ කථාව කිපෙන කථාවකි.
ii. දුස්සීලයා හට සීලය පිළිබඳ කථාව කිපෙන කථාවකි.
iii. අල්පශ්‍රැතයා හට බහුශ්‍රැතභාවය පිළිබඳ කථාව කිපෙන කථාවකි.
iv. මසුරු කෙනා හට දීම පිළිබඳ කථාව කිපෙන කථාවකි.
v. දුෂ්ප්‍රාඥයා හට ප්‍රඥාව පිළිබඳ කථාව කිපෙන කථාවකි.

මේ නිසා අපි ධර්මය කියා දීමේදි ඒ ධර්මය කෙරෙහි ඔවුන්ට ගෞරවයක් නොමැති නම් එබඳු පුද්ගලයන්ට ධර්මය පැවසීමට උත්සාහ කිරීම තුළින් මනා අර්ථයක් සැපයෙන්නේ නැත. ඇතැම් විටෙක ඒ අසන පුද්ගලයා එම ධර්මයට අපහාස කළහොත්, ගැරහුවහොත්, ළාමක දෙයක් ලෙස සැලකුවහොත් ඔහුට බොහෝ පව් රැස්වේ.

08. පින්වත් ස්වාමීන් වහන්ස, මම පරුෂ වචන, අනිත් අයගේ හිත රිදෙන වචන කියන්නේ නෑ. නමුත් මට හැමතිස්සේ ම පවුලේ අයගෙන් පවා පරුෂ වචන ම යි ඇහෙන්නේ. මම පුලුවන් හැමවෙලාවෙ ම මෙත් සිතින් කටයුතු කරනවා. ඒත් මට ඇඬෙනවා ‘මම සිතුවිල්ලකින්වත් අනිත් අයට වරදක් කරන්නේ නෑ. ඒත් මට මෙහෙම වෙන්නේ මොකද?’ කියලා. පින්වත් ස්වාමීන් වහන්ස, මේ අර්බුදයේදී හිත ආරක්ෂා කරගන්නා ආකාරය මා හට කියා දෙන සේක්වා.

බුදුරජාණන් වහන්සේ ඇතැම් දේශනාවලදී පෙන්වා දී ඇති ආකාරයට සසරේ අප ආ ගමනේ පෙර යම් යම් ජීවිතවලදී පරුෂ වචන කීම තුළින් රැස් කරගත් අකුසල කර්මයන්ගේ විපාක ලෙස මේ ජීවිතයේදී පරුෂ වචනත් නින්දා අපහාසත් ලැබේ. නමුත් එවැනි අවස්ථාවලදී පවා දැඩි ඉවසීමකින් හා මෛත්‍රියකින් කටයුතු කිරීමෙන් හා සංසාරයේ ඇති දුක්ඛිත ස්වභාවය මෙය යැයි තේරුම් ගෙන දුක්ඛාර්ය සත්‍ය මෙනෙහි කිරීමෙන් ශ්‍රාවකයා හට තම සිතෙහි අකුසල් හටගන්නට අවස්ථාවක් ලබා නොදී තවදුරටත් ධර්මයේ ම හැසිරීම සඳහා අප්‍රමාදී වීමට එය කරුණක් කරගත හැකිය.

11. පින්වත් ස්වාමීන් වහන්ස, ශ්‍රී සද්ධර්මය ඇසීමට නොලැබෙන දිව්‍යලෝක තිබේද? තිබේ නම් ඒ කුමන දිව්‍ය ලෝක ද?

බුදුරජාණන් වහන්සේ අපහට දේශනා කොට වදාළේ බොහෝ දිව්‍ය ලෝකවලදී ධර්මය ඇසීමටත් ධර්මය දියුණු කිරීමටත් අවස්ථාව තිබෙන බවයි. නමුත් අසංඥසත්ත ආදී දීර්ඝ ආයුෂ තිබෙන දිව්‍ය ලෝකවල යම්කිසි පුද්ගලයෙක් ඉපදී සිටී නම් එය ක්ෂණ සම්පත්තිය අහිමි වී ගිය අවස්ථාවලින් එකක් ලෙස භාග්‍යවතුන් වහන්සේ අක්ඛණ සූත්‍රයේදී පෙන්වා වදාළ සේක.

12. පින්වත් ස්වාමීන් වහන්ස, තමන් විසින් ආදරය කරනු ලබන පෙම්වතා හෝ පෙම්වතිය හෝ පමණක් පැතීමෙන් සෑම ආත්ම භවයක දී ම ඔහු හෝ ඇය පතනු ලබන පුද්ගලයාට ම හමු වෙනවා ද?

එය හුදෙක් පැතීමෙන් පමණක් ඉටුවන දෙයක් නො වේ. සමජීවී සුත්‍රයේ දී භාග්‍යවතුන් වහන්සේ නකුලපිතූ ගෘහපතිතුමාටත් නකුලමාතාවටත් වදාළේ දෙදෙනා ම ශ්‍රද්ධා, සීල, සුත, චාග, ප්‍රඥා යන සේඛ බල ධර්මයන් සමානව දියුණුකර ගත යුතු බවයි. එවිට මේ ජීවිතයේ දී ස්වාමියා බිරිඳ දෙදෙනාට ම මතු ජීවිතයේදීත් සුගති උපතක් තුළ එක්විය හැකි බව භාග්‍යවතුන් වහන්සේ එහිදී දේශනා කොට වදාළා. මේ සඳහා උපකාරී වන දහම් කරුණු සවිස්තරව දැනගැනීම පිණිස අංගුත්තර නිකාය 2 වන පොත් වහන්සේ තුළ ඇතුළත් සමජීවි සූත්‍රය කියවන්න.