දැයට අහිමි වන ඉපැරණි වෛද්‍ය ක්‍රම

දේශීය පාරම්පරික වෛද්‍ය ක්‍රමය යනු ඉපැරණි සිංහලයන්ගේ සෞඛ්‍ය සංරක්ෂණයට උපකාරී වූ ප්‍රධාන චිකිත්සා ක්‍රමය යි. බටහිර වෛද්‍ය ක්‍රමය ලෝකයේ බිහිවීමටත් ප්‍රථම පළමු වරට අංග සම්පූර්ණ ආරෝග්‍ය ශාලා බිහි කොට ශල්‍යකර්ම පවා සිදු කරමින් ලෝක වෛද්‍ය ඉතිහාසයේ අති විශිෂ්ට නාමයක් සනිටුහන් කිරීමට අප මුතුන් මිත්තන්ට එදා හැකි විය. දේශීය වෛද්‍ය ක්‍රමයේ යටගියාව නිරීක්ෂණය කළහොත් ඔබ මවිත වන තොරතුරු කොතෙකුත් සොයා ගත හැකි ය. පරපුරෙන් පරපුරට ගුරු ගෝල සම්බන්ධතාවයෙන් යුතුව පවත්වා ගෙනෙන ලද එකී වෛද්‍ය ශිල්පයේ විස්මිත ශිල්ප ක්‍රම බොහෝමයක් අද වන විට වියැකී ගොස් බොහෝ කල් ය. ඉතිරිය අනාදිමත් කාලයක සිට සිංහල ජාතියෙන් ගිලිහෙමින් පවතී.

දේශීය පාරම්පරික වෛද්‍ය ක්‍රමයට අදාළ වෛද්‍ය ක්‍රම බොහෝමයක් ම පවතී. එකී වෛද්‍ය ක්‍රම අතුරින් අද වන විට බොහෝ දුරට වියැකී ගොස් ඇති චිකිත්සා ක්‍රමයකි දේශීය පාරම්පරික සර්ප විෂ වෙදකම.

ශ්‍රී ලංකාවේ සර්පයෝ

සර්ප විෂ වෛද්‍ය ක්‍රමය ගැන සඳහන් කරන විට ශ්‍රී ලංකාවේ සර්ප වර්ගීකරණය පිළිබඳ ව දැන සිටීම ඉතා වැදගත් වේ. ඒ අනුව සර්ප ගණන අතරින් සර්ප විශේෂ 96ක් ලංකාවේ වාසය කරති. ඉන් 45ක් ලංකාවට ආවේණික වේ. ශ්‍රී ලංකාවේ උග්‍ර විෂ සහිත සර්පයන් විශේෂ 20කි. ඉන් 13ක් කරදියවාසී මුහුදු සර්පයන් වේ. ඔවුන් ගොඩබිම වෙසෙන සර්පයන්ට සාපේක්ෂ ව උග්‍ර විෂ සහිත ය.

ශ්‍රී ලංකාවේ උග්‍ර විෂ සහිත සර්පයෝ

1. නාගයා
2. තිත් පොළඟා
3. වැලි පොළඟා
4. තෙල් කරවලා
5. මුදු කරවලා
6. පොළොං තෙලිස්සා
7. බඩ කහ මුහුදු නයා (වාලක්කඩියා)

මඳ විෂ සහිත සර්පයෝ

1. පලා පොළඟා
2. සියලු ම මාපිල් වර්ග (ලේ මාපිල්, නාග මාපිල්, රෑන මාපිල්, ගැරඬි මාපිල්, පඳුරු මාපිල්, කහ මාපිල්, නිදි මාපිල්)
3. පොල් මල් කරවලා (මල්සරා)
4. මූකලන් තෙලිස්සා
5. කට කළුවා
6. අහුරු කුක්කා
7. ලේ මැඩිල්ලා
8. දෙපත් නයා

නිර්විෂ සහිත සර්පයෝ

1. ඇහැටුල්ලා
2. වලකා අතුබයා
3. දුමුටු කන උල්ලා
4. පිඹුරා
5. දිය නයා
6. දිය පොලඟා
7. තුරු හාල්දණ්ඩා
8. අරණී දත් කැටියා

දේශීය වෛද්‍ය ක්‍රමයේ විෂ වර්ගීකරණය

ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ ශල්‍ය වෛද්‍ය ක්‍රමයේ නිර්මාතෘ වූ සුශ්‍රැත නැමැති ඍෂිවරයා විසින් ශල්‍ය වෛද්‍ය ක්‍රමය පිළිබඳ ව මින් වසර 5000කටත් වඩා අතීතයේ දී රචනා කරන ලද ශ්‍රේෂ්ඨ වෛද්‍ය ග්‍රන්ථයක් වූ සුශ්‍රැත සංහිතාවේ මෙසේ පෙන්වා දී තිබේ.

“අගධ තන්ත්‍රං නාම සර්ප කීට ලූතා වෘශ්චික මූසිකාදි දෂ්ඨ විෂ ව්‍යංජනාර්ථඃ විවිධ විෂ සංයෝග විෂෝප හථෝප සාමණාර්ථංච”
මීට අනුව සුශ්‍රැත ඍෂිවරයා විසින් ප්‍රධාන වශයෙන් විෂ වර්ගීකරණයේ දී ප්‍රභේද කිහිපයක් පෙන්වා දී තිබේ.

1. ජංගම විෂ
ජංගම විෂ යනු සියලු ම සර්ප, කීට, දිවි මකුළු, බලු, බළල්, වඳුරු, හිවල්, හිකනැල්, පත්තෑ, ගෝනුසු, බඹර, දෙඹර, මී මැසි, මදුරු, මත්‍ය ආදී කොට ඇති ඕනෑම සතෙකුගේ දළ, දත්, විත, බූව, තුඩ, මල, මූත්‍ර, ශුක්‍ර ආදිය තුළින් විෂ ශරීරගත වීම යි. දෂ්ට කිරීම්, සපා කෑම්, විදීම්, සීරීම්, ස්පර්ශ වීම්, ආඝ්‍රාණය කිරීම් ආදියෙන් මෙකී ජංගම විෂ සත්ව ශරීරගත වෙයි.

2. ස්ථාවර විෂ
කෘමිනාශක, වල්නාශක විස වර්ග, පාසානම් වර්ග, විෂ සහිත ගෙඩි වර්ග, නියඟලා, වච්චනාවි වැනි විෂ ඇට වර්ග, ඖෂධ සඳහා ගන්නා විෂ සහිත බෙහෙත් වර්ග මේ ස්ථාවර විෂ ගණයට අයත් වේ. (උදා – රසදිය, ගෙන්දගම්, පල්මාණික්කම්, සියලු ම පාසානම් වර්ග)

3. කෘත්‍රිම විෂ
මෙහි කෘත්‍රිම යන වචනයට අනුව ස්වභාවික නොවන යන අර්ථය ප්‍රකාශ වේ. ඒ අනුව කෘත්‍රිම ව නිෂ්පාදනය කරනු ලබන විෂ ද්‍රව්‍ය මේ යටතට ගැනේ. විශේෂයෙන් අනුන් නැසීම මෙන් ම තමන්ගේ දිවි නසා ගැනීමට ද මේවා භාවිත කරයි.

4. ඝර විෂ
මේ ඝර විෂ නිපදවනු ලබන්නේ ප්‍රාණීන්ගේ මළ, මූත්‍රා, කෙළ, නිය, දත්, ලෝම, ආර්ථව, ශුක්‍ර ආදිය උපයෝගී කොටගෙනයි. ඉනා බෙහෙත් ලෙස මෙය හඳුන්වන අතර වශීකරණ කටයුතු සඳහා මේ විෂ යොදා ගනී.

5. සංයෝජක විෂ
කෘත්‍රිම විෂ හා ඝර විෂ එක්ව ගොඩනැගුණු විෂ අවස්ථාව මෙලෙස හඳුන්වා දී තිබේ.

6. දූෂී විෂ
මෙය කිනම් හෝ විෂ වර්ගයක් සත්වයාගේ ශරීරගත වීම හේතු කොටගෙන පසුකාලීන ව ඇති වන උග්‍ර ආබාධ සහිත විෂ තත්ත්වයකි. කුමන හෝ විෂක් ශරීරගත වීමෙන් පසුව කරනු ලබන ප්‍රතිකාර සමඟ අනුමත කරන පථ්‍ය, අපථ්‍ය, විහරණ නිසි අයුරින් පරිහරණය නොකීරීම නිසා ශරීරයේ ත්‍රිදෝස (වා, පිත්, සෙම්) සප්ත ධාතු (රස, රක්ත, මාංශ, මේද, අස්ථි, මජ්ජා, ශුක්‍ර) කුපිත කරමින් විෂ ක්‍රියාවක් ඇති කරනු ලබයි ද එය දූෂි විෂ ලෙස හඳුන්වා දී තිබේ. විශේෂයෙන් සර්ප විෂ දෂ්ටයක දී නිසි ප්‍රතිකාර නොකිරීම හේතු කොටගෙන පසුකාලීන ව දරුණු අතුරු ආබාධ පැන නගී. ඒ අතර නා නා විධ කුෂ්ඨ රෝග, ඇස් පෙනීමේ දුර්වලතා, කල් පවතින හිසරදය, යටි බඩ ගිනියම් වීම, වකුගඩු දුර්වල වීම, යටි පතුල් හා නිය යට දැවිල්ල, විෂ ගඩු මතු වීම, ලිංග, යෝනි, ගුද ආදී රහස් ප්‍රදේශවල විෂ වණ හට ගැනීම, සිහි මුළාව වැනි භයානක රෝගී තත්ත්වයන් මේ නිසා හට ගනී. දේශීය සර්ප විෂ වෛද්‍ය ක්‍රමයේ දී සර්ප දෂ්ට රෝගියාට ප්‍රතිකාර කොට නැවතත් ශරීරයේ ශේෂ ව විෂක් ඉතිරි වී ඇත්නම් ඒ සඳහා විෂ විරේකය දීම නැමැති ප්‍රතිකාරය සිදු කරනු ලබන්නේ දූෂී විසෙන් වන ආබාධ වළක්වා ගැනීම සඳහා ය.

සත් වැදෑරුම් විෂ වේග ලක්ෂණ
සර්පයන් විසින් දෂ්ඨ කරනු ලබන ස්ථානයේ විෂ අසුරුසන් සියයක් (විනාඩි 2 1/2 ක) පමණ කාලයක් තිබී ජලයෙහි ලූ තෙල් බිඳක් සේ සකල ශරීරය ම ආක්‍රමණය කරමින් සප්ත ධාතූන් කරා පැමිණ රෝගියා පීඩාවට පත් කරයි.

01 වැනි අවස්ථාව
ලේ ධාතුව දූෂණය කරයි. ඒ අවස්ථාවේ දී ඇඟ සැම තැන ම කුහුඹුවන් ඇවිදින්නා සේ දැනේ. දෂ්ට ස්ථානය අතිරේක ඌෂ්ණයකින් යුක්තයි.

02 වැනි අවස්ථාව
මාංශ ධාතුව දූෂණය කරයි. එවිට දෂ්ට ස්ථානයේ ගැට හට ගනී. ඉදිමීම ද ප්‍රධාන ලක්ෂණයකි.

03 වැනි අවස්ථාව
මේද තෙල දූෂණය කරයි. උණුසුම් බව, අලස බව හා නිදිමත ඇතිවේ. දෂ්ට ස්ථානයෙන් දිය වැගිරේ.

04 වැනි අවස්ථාව
ශරීරය හැකිලෙයි. වේදනා දෙයි. මළ මූත්‍ර යාම අධික වෙයි. රස ධාතුව දූෂණය කරයි.

05 වැනි අවස්ථාව
විෂ අස්ථිවලට පැමිණේ. එවිට ඇඟ දැවිලි හට ගනී. හෘද වේදනා හට ගනී. කන් අගුල් වැටේ. හික්කාව හට ගනී.

06 වැනි අවස්ථාව
ආශ්වාස ප්‍රශ්වාස නැවතීමෙන් විෂ මූර්ජාව හට ගනී. හෘද වේදනා, හික්කා, සිහි මුළාව හට ගනී. ඇටමිදුළු දූෂණය කරයි.

07 වැනි අවස්ථාව
ශුක්‍රධාතුගත වන විෂ හේතු කොටගෙන සත්වයාගේ ප්‍රාණ වායුව නිරුද්ධ කරයි. එනම් මරණය කරා පමුණුවයි. රක්ත ධාතුව නොහොත් ලේ සම්බන්ධ හෘද වස්තුව, පෙනහලු, අක්මාව, පිලාව, පිත්තාශය, ආමාශය ආදී ඉන්ද්‍රියයන් දුර්වල වීමෙන් හිස කොටසේ ඇති මධ්‍යස්ථ ස්නායු පද්ධතියට විෂ වැදීමෙන් එකී ස්නායුවල ක්‍රියාකාරීත්වය ඇණ හිටීමෙන් හා සර්ප විෂ නිසා රක්ත ඝණ වීමෙන් සියුම් නහර පිපිරීමෙන් ජීවිත හානිය සිදු වන්නේ ය.

විශේෂයෙන් ම නාග දෂ්ඨවල දී ශරීරයේ වාතය ප්‍රධාන වශයෙන් කෝප කරයි. එනම් ස්නායු මණ්ඩලයට විෂ බලපායි. පොළොන් දෂ්ටයේ දී පිත කෝප කරන අතර අභ්‍යන්තරයේ රුධිර සෛල පුපුරා ලේ ගැලීම සිදු වෙයි. රාජීල සර්ප දෂ්ටයේ දී (මාපිල්, කරවැල්) සෙම කෝප කරන අතර ඒ හේතුවෙන් ශ්වාස නාලිකා ආදිය අවරෝධය සිදුවෙයි. වසන්තිල වර්ගයේ (මිශ්‍ර වර්ගයේ සර්පයන්) දෂ්ඨයෙන් ත්‍රි දෝෂය ම කෝප වන අතර මෙකී දෝෂ කෝප තත්ත්වය මනාව හඳුනාගෙන ඕනෑම සර්ප විෂක් දේශීය ප්‍රතිකාරයෙන් සුව කිරීමට දක්ෂ දේශීය වෛද්‍යවරයාට හැකියාව ඇත.

සර්ප විෂ නසන හෙළ වෙද ගුරුමිටු
සර්ප දෂ්ඨයක දී දේශීය වෛද්‍ය ක්‍රමයට අනුව පළමුවෙන් ම කළ යුතු විශේෂ ප්‍රථමාධාර හා ප්‍රතිකාර විධි පවතී. ඌව වෙල්ලස්සේ ඉපැරණි වෙද පරපුරක් සතුව පැවති වටිනා ප්‍රතිකාර විධි කීපයක් දේශීය වෛද්‍ය ක්‍රම සුරැකීමේ අභිලාෂයෙන් ඔබ අතට පත් කරමි.

ප්‍රථමාධාර
01. සර්ප දෂ්ඨ රෝගියා බියට පත් නො කරන්න.
02. රෝගියා පොළවට ස්පර්ශ වන සේ තබන්න.
03. රෝගියාට හොඳින් වාතාශ්‍රය ලබා දෙන්න.
04. රෝගියාට ඇවිදීමට නො දී ඔසවාගෙන යන්න.
05. දෂ්ඨ ස්ථානය පිරිසිදුව තබා ගත යුතු අතර අනවශ්‍ය ලෙස ලේ මිරිකා හැරීම, පැලීම, පිළිස්සීම් ආදිය නො කළ යුතු ය. සිසිල් ජලයෙන් එම ස්ථානය සේදීම නො කළ යුතු ය.

හස්තසාර ප්‍රතිකාර විධි
01. අවුරුදු 12න් පහළ නිරෝගී පිරිමි ළමයෙකුගේ මූත්‍රා පතක් පමණක් ගෙන රෝගියාට බීමට දෙන්න.
02. කරපිංචා කොළ, පොතු, මුල්, කුප්පමේනිය, හීං උඳුපියලිය, සස්සද සම ව ගෙන කොටා මිරිකා දෙහි ඇඹුල් මිශ්‍ර කර ගිතෙල් තේ හැන්දක් දමා බීමට දෙන්න. සියලු සර්ප විෂට අත්දුටු ප්‍රතිකාරයකි.
03. දෂ්ඨ ස්ථානය දෙහි බෑවකින් හොඳින් පිරිසිදු කර සස්සද මුල්, ඒකාවේරිය මුල්, දිවිකදුරු දලු, විෂ නීල කොළ වැනි කවර හෝ විෂ උරන ඔසුවක් ගෙන අමු කහ හා දෙහි ඇඹුල් මිශ්‍ර කර පිරිසිදු ව අඹරා දෂ්ඨ ස්ථානයේ ගල්වා ඉක්මනින් දක්ෂ වෛද්‍යවරයෙකුගේ සේවය ලබා ගන්න.

ඔසු පැටළු – වෙද ගැටලු

තුටේ වඩන ඖෂධ අහපන්නේ – කටේ වටේ ඇති දේ දැනගන්නේ
පිටේ පොතුත් සහමුලයෙන් ගන්නේ – රටේ නොකිය සීනැටි සාලින්නේ

මෙසේ මෙ’කැඳ ගෙන කඳට දෙවන්නේ – තොසේ වඩන ගිතෙලුත් සමගින්නේ
විසේ සපුන් විස වැදි නරයින්නේ – කෙසේ තිබුණ විසවත් දුරු වෙන්නේ

මෙකී රහස් නාම යොදා ගුරු මුෂ්ටි වශයෙන් පවතින වටිනා ප්‍රතිකාර විධි බොහෝමයක් ඇත. ඉහත වෙද ගැටයට අනුව දත්කැටියා නැමැති ඖෂධ පැළෑටිය සහමුලින් ගෙන ලුණු හා කිරි නො දමා හීනැටි හාලින් කැඳ පිස ගිතෙල් මිශ්‍ර කර විසාතුරයාට බීමට දීම සියලු සර්ප විෂ නසනා අත්දුටු ප්‍රතිකාරයක් බව සඳහන් කළ හැකි ය.

විශේෂයෙන් ම භාග්‍යවත් වූ මහා ඍෂි තථාගත සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛ බුද්ධ දේශනාවක් වූ උතුම් වූ කඳ පිරිත ප්‍රතිපත්තිගරුක ව භාවිතයට ගැනීමෙන් සියලු සර්ප විෂ සේ ම සර්පයන්ගෙන් වන හානි ද දුරුකර ගත හැකි බව අත්දුටු සත්‍යයකි.

දැයට අහිමිවන මෙවැනි ඉපැරණි දේශීය වෛද්‍ය ක්‍රම, ගුරු මුෂ්ඨි රැකීමේ ආත්මාර්ථය පසෙක තබා සිංහල ජාතියට ආවේණික වූ විස්මිත ඤාණ සම්භාරය අනාගත පරපුර උදෙසා සුරැකීමට ඇප කැප විය යුතු හොඳ ම කාලය යි මේ.

සටහන – පුලස්ති අධිකාරි