තමාත් සසරින් එතෙර ව ලෝ සතුන් ව ද සසරින් එතෙර කරවීමේ උතුම් අරමුණ පෙරදැරි ව අසංඛෙය්‍ය කල්ප ලක්ෂ හතරක් මේ ඝෝර සසරෙහි දස පාරමිතා පුරා පැමිණි අප මහා බෝසතාණන් වහන්සේ ජය ශ්‍රී්‍ර මහ බෝධී මූලයේ දී උතුම් සම්මා සම්බෝධියට පත්වූ සේක. එතැන් පටන් මල්ල රජ දරුවන්ගේ උපවර්තන සල් වනයේ දී පිරිනිවන් පා වදාරණ තෙක් පුරා පන්සාලිස් වසක් සම්බුදු මුවින් දේශිත සුභාෂිත වදන් අතර ප්‍රමාදය තරමට ගැරහුමට ලක්වූ සහ අප්‍රමාදය තරමට ප්‍රශංසාවට ලක්වූ වෙනත් වචනයන් නොවන තරම් ය. මන්ද, සියල්ල අවබෝධ කළ බුදුරජාණන් වහන්සේ ප්‍රමාදය සත්වයා ව නැවත නැවත සසරට ඇද දමන බවත්, අප්‍රමාදය සත්වයා ව සසර දුකින් නිදහස් කරවන බවත් සිය විශිෂ්ට ඥානයෙන් අවබෝධ කළ බැවිනි.

ප්‍රමාදය යනු කුමක් ද? සරල ව කීවොත් කයෙන්, වචනයෙන්, මනසින් දුෂ්චරිතයේ යෙදීම නොහොත් අකුසලයේ යෙදීම ය. කෙනෙක් මේ ඇස, කන, නාසය, දිව, කය, මනස නම් වූ ලෝකය තුළ පවත්නා දුක පිළිබඳවත්, ඒ දුක ඇති වීමට හේතුව පිළිබඳවත්, ඒ දුකින් නිදහස්වීම පිළිබඳවත්, ඒ දුකින් නිදහස්වීමට ඇති මාර්ගය පිළිබඳවත් නොදන්නා බව නොහොත් අවිද්‍යාව නිසා ද එසේ ම නො ලැබූ කාම සම්පත් උපයා ගැනීමටත්, උපයා ගත් කාම සම්පත් ආරක්ෂා කර ගැනීමටත්, උපයා ගත් කාම සම්පත් භුක්ති විඳීමටත් ඇති ආශාව, කැමැත්ත හෙවත් තණ්හාවත් යන කාරණා දෙක නිසා මෙසේ ප්‍රමාදයට නැති නම් ත්‍රිවිධ දුෂ්චරිතයට යොමුවන බව බුදුරජාණන් වහන්සේගේ අවබෝධය විය.

ලෝකයේ කාම ගුණයෙන් සපිරි, එනම් යහපත්, ලස්සන, ප්‍රිය ස්වභාවයෙන් යුතු, සතුට ඇති කරවන, කෙලෙස් ඇතිකරවන රූප ශබ්ද ගන්ධ රස පහසවල් තිබේ. මේවා දකින සත්වයා පළමු ව මේවා පිළිබඳ ව කාම සංඥාවන් ඇතිකර ගනී. සංඥාව ඇතිවූ විට ඒ පිළිබඳ ව සංකල්ප ඇතිකර ගනී. ඉන් පසු ව එකී රූප ශබ්ද ආදිය ගැන ම කල්පනා කරයි. එවිට සිදුවන්නේ ඒවා ගැන ඡන්දරාගය නැති නම් කැමැත්තෙන් ඇලීයාම හටගැනීම යි. කැමැත්තෙන් ඇලීයාම සිදු වූ විට ඒවා ගැන කාම පිපාසය නැති නම් කාම දැවිල්ල ඇතිවේ. කාම පිපාසය ඇති කල්හී ඒවා සොයන්නට පටන් ගනී. “කාම පරියේසනං භික්ඛවේ පරියේසමානෝ අස්සුතවා පුථුජ්ජනෝ තීහි ඨානේහි මිච්ඡා පටිපජ්ජති කායේන වාචාය මනසා.” “කාම සෙවිල්ල සොයමින් සිටින අශ්‍රැතවත් පෘථග්ජනයා කරුණු තුනකින් වරදේ බැඳෙනවා. ඒ තමයි කයෙන් වචනයෙන් සහ මනසින්.” මෙසේ සත්වයා නො ලැබූ කාමයන් උපයාගැනීමට ගොස් ප්‍රමාදයට පත් වේ, අකුසලයේ යෙදේ.

සොයන විට ලැබේ. එසේ ලැබුණ විට එය විනිශ්චය කොට ඊට වටිනාකමක් දෙනු ලැබේ. එසේ දුන් වටිනාකමට අනුව එයට ඇලුම් කිරීමත්, එනිසා එහි ම සිත බැස ගැනීමත් වේ. සිත බැසගත් පසු එය තමා සතුකර ගැනීමට සිතීමත්, එනිසා ම මසුරුකමත් ඇතිවේ. මසුරුකම නිසා රැකගැනීමේ අරගලයට මුහුණදීමට සිදුවෙද්දී අවිආයුධ ආදිය පවා රැගෙන නැවත නැවත කයින් වචනයෙන් මනසින් අකුසලයේ යෙදීම සිදු වේ. මෙසේ උපයාගත් කාමයන් භුක්ති විඳින්නට යාම නිසාත්, රැකගැනීමට යාම නිසාත් කෙනෙකු ප්‍රමාදයට පත් වේ.

අප්පමාදෝ අමතපදං – පමාදෝ මච්චුනෝ පදං
අප්පමත්තා න මීයන්ති – යේ පමත්තා යථා මතා.

“අප්‍රමාදී ව සීල සමාධි ප්‍රඥා වඩන තැනැත්තා ඒ අමා නිවන කරා යනවා. කාම සැපයට වසඟ වෙලා ප්‍රමාදවෙන තැනැත්තාට ලැබෙන්නෙ ආයෙ ආයෙමත් මරණය විතරයි. අප්‍රමාදී ව ධර්මයේ හැසිරෙන උදවිය අමරණීය වෙනවා. ප්‍රමාද වෙච්ච උදවිය ජීවත් වුණත් මළකඳන් වගේ තමයි.”
(ධම්මපදය – අප්පමාද වර්ගය)

ප්‍රමාදයට ගැරහුම් කළ බුදුරජාණන් වහන්සේ නූපන්නා වූ අකුසල් ඉපදීමටත්, උපන්නා වූ කුසල් පිරිහී යාමටත්, එසේ ම යමෙකුට අනර්ථය සඳහාත්, සද්ධර්මයේ අතුරුදහන් වීමටත් මේ ප්‍රමාදය තරම් හේතුවෙන අන් එක ම ධර්මයක්වත් බුදු ඇසින් නො දකින බව දේශනා කළ සේක.

“අජ්ඣත්තිකං භික්ඛවේ අංගන්ති කරිත්වා න අඤ්ඤං ඒකංගම්පි සමනුපස්සාමි. යං ඒවං මහතෝ අනත්ථාය සංවත්තති. යථයිදං භික්ඛවේ පමාදෝ.”
(ඒකක නිපාතය – අං.නි. 1)

අභ්‍යන්තර අංගයක් වශයෙන් ගත් කල මේ ප්‍රමාදය තරම් තමාගේ අයහපතට හේතුවෙන එක ම අංගයක්වත් බුදු ඇසින් නො දකින බවට කළ දේශනාව තුළ පැහැදිලි වන්නේ තමා තුළ උපදින ප්‍රමාදය සසරගත සත්වයාට කොතෙක් නම් අනර්ථයට හේතු වේ ද යන්නයි.

සුත්ත නිපාතයේ පාරායන වර්ගයේ අජිත සූත්‍රයේ දී අජිත තවුසා මෙසේ අසයි.

“කේනස්සු නිවුතෝ ලෝකෝ
කේනස්සු නප්පකාසතී.”
“ලෝක සත්වයා වැසී සිටින්නේ කුමකින් ද? කුමක් නිසාවෙන් ලෝක සත්වයාට එය නො තේරෙයි ද?”

බුදුරජාණන් වහන්සේගේ පිළිතුර වන්නේ

“අවිජ්ජාය නිවුතෝ ලෝකෝ
වේවිච්ඡා පමාදා නප්පකාසතී.”
“ලෝක සත්වයා ව වැසී තියෙන්නේ චතුරාර්ය සත්‍යය නොදැනීම නම් වූ අවිද්‍යාවෙනි. මසුරුකමත්, ප්‍රමාදයත් නිසා එය ඔහුට නො තේරෙයි.” යන්න යි.

මේ සියල්ලෙන් ම පැහැදිලි වන්නේ කෙනෙකුට සසර දුක හදාදෙන්නේ ප්‍රමාදය බවත්, එය අවිද්‍යාවත් තණ්හාවත් නිසා හටගන්නා බවත් ය. ඒ අවබෝධය අප සරණ ගිය බුදුරජාණන් වහන්සේගේ ය.

ඒ භාග්‍යවත් වූ බුදුරජාණන් වහන්සේ නූපන්නා වූ නිවන් මග උපදවා දෙන සේක. හට නො ගත්තා වූ නිවන් මග හට ගන්වන සේක. නො පවසන ලද්දා වූ නිවන් මග පවසන සේක. නිවන් මග ඉතා හොඳින් දන්නා සේක. නිවන් මග මැනවින් ප්‍රකට කරන සේක. නිවන් මග පිළිබඳ ව අතිශයින් ම දක්ෂ වන සේක. එසේ වූ බුදුරජාණන් වහන්සේ සත්වයා ව සසර දුකින් එතෙර කරවන නිවන් මග, ආර්ය අෂ්ටාංගික මාර්ගය, ‘අප්‍රමාදය’ යන තනි වචනය තුළට ගොනුකොට දේශනා කිරීම තුළ අප්‍රමාදය යන්න කවර නම් අරුතක්, වටිනාකමක් ඇති දෙයක්දැයි වටහාගත හැක.

“නාහං භික්ඛවේ අඤ්ඤං ඒක ධම්මම්පි සමනුපස්සාමි. යේන අනුප්පන්නෝ වා අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ උප්පජ්ජති. උප්පන්නෝ වා අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ භාවනා පාරිපූරිං ගච්ඡති. යථයිදං භික්ඛවේ අප්පමාද සම්පදා.”
“පින්වත් මහණෙනි, යම් දෙයක් හේතුකර ගෙන නූපන්නා වූ ආර්ය අෂ්ටාංගික මාර්ගය උපදිනවා ද, උපන්නා වූ ආර්ය අෂ්ටාංගික මාර්ගය දියුණුවීමෙන් පරිපූර්ණත්වයට පත්වෙනවා ද මේ අප්‍රමාද සම්පත්තිය තරම් වෙන එකදු ධර්මයක්වත් මම දකින්නේ නැහැ.” යි දේශනා කළේ එහෙයිනි.
(ඒකක නිපාතය – අං.නි. 1)

අප්‍රමාදය යනු කයින් වචනයෙන් මනසින් සුචරිතයේ යෙදීම ය. නැතහොත් සියලු කුසල් දහමේ යෙදීම ය. සියලු කුසල් දහම් දැකිය හැක්කේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළ ය. එසේ නම් යමෙක් අප්‍රමාදී වන්නේ නම්, කුසල් දහම් දියුණු කරන්නේ නම් ඔහු ගමන් කරන්නේ නිවන් මගෙහි ය. ඔහු ඒ අමා නිවන දකී.

අප්පමාදරතෝ භික්ඛු – පමාදේ භයදස්සි වා
සංයෝජනං අණුං ථූලං – ඩහං අග්ගීව ගච්ඡති.
“යම් භික්ෂුවක් අප්‍රමාදයේ ඇලී සිටිනවා නම්, ප්‍රමාදවීමේ ඇති භයානක අනතුර දකිනවා නම්, හැම දෙයක් ම දවාගෙන යන ගින්නක් වගේ ලොකු කුඩා හැම බන්ධනයක් ම නසාගෙන ඒ අමා නිවන කරා ම යනවා.”
(ධම්මපදය – අප්පමාද වර්ගය)

එසේ ම නූපන්නා වු කුසල් දහම් ඉපදීමටත්, උපන්නා වූ අකුසල් දහම් පිරිහී යාමටත්, තමාගේ යහපතටත්, මේ සද්ධර්මයේ පැවැත්මටත් අප්‍රමාදය තරමට හේතුවෙන අන් එක ම ධර්මයක්වත් නො දකින බව දේශනා කළ බුදුරජාණන් වහන්සේ අභ්‍යන්තර අංගයක් වශයෙන් තම යහපතට හේතුවෙන වෙනත් අංගයක් අප්‍රමාදය තරමට නො දකින බව ද දේශනා කළ සේක.

කාලය වේගයෙන් ගෙවී යන්නේ උපන් සත්වයාගේ ආයුෂ ගෙවා දමමිනි. දුර්ලභ මිනිස් දිවියත්, දුර්ලභ සම්බුදු සසුනත් අපට ලැබී තිබේ. අප තවදුරටත් අන්ධ බාලයන් සේ ප්‍රමාදයේ ගැලී සිටිය යුතු නො වේ. වහා වහා අප්‍රමාදී ව කුසල් දහම්හී යෙදිය යුතුව ඇත.

පමාදමනුයුඤ්ජන්ති – බාලා දුම්මේධිනෝ ජනා
අප්පමාදං ච මේධාවී – ධනං සෙට්ඨං’ව රක්ඛති.

“මේ ප්‍රඥාවක් නැති අන්ධබාල ජනතාව කාම සැපයට අහු වෙලා ප්‍රමාදයේ ම ගැලී ඉන්නවා. නමුත් බුද්ධිමත් පුද්ගලයා මේ අප්‍රමාදී බව රැකගන්නෙ තමා සතු මහනීය ධනයක් රකිනවා වගේ.”
(ධම්මපදය – අප්පමාද වර්ගය)

කම් සැපයට හසුව රැවටී, ප්‍රමාදයේ ගැලී සසරට ම වැටෙන ලෝකයේ ඉපිද සිටියදී මුණගැසුනු සම්බුද්ධ ශාසනය තුළ පරම යහපත සලසා ගනිමින් අපිදු අප්‍රමාදී ව ධර්මයේ හැසිරෙමු.

මහමෙව්නාව භාවනා අසපුවාසී පින්වත් ස්වාමීන් වහන්සේ නමක් විසිනි.