අප මේ සිටින්නේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ බුදුසසුන ජීවමානව පවතින පින්වන්ත කාල පරිච්ඡේදයකයි. බුදුරජාණන් වහන්සේලාගේ පහළ වීම ලෝකයේ හැමදාම සිදුවන දෙයක් නොවේ. බුදුරජාණන් වහන්සේනමකගේ පහළ වීම ලෝකයේ ගෙවී යන බොහෝ කල්ප ගණනකට සිදුවන ආශ්චර්ය වූත්, අතිශයින් ම දුර්ලභ වූත් සිදුවීමක්. මේ ‘කල්පය’ කියා හඳුන්වන්නේ ඉතා දිගු කාල පරිච්ඡේදයක්. දිනක් භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණි භික්ෂුවක් කල්පය කොපමණ දීර්ඝ දැයි ඇසුවා. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළා.

“භික්ෂුව කල්පය ඉතා දිගු ය. කල්පයට මෙපමණ වර්ෂ ගණනක්, මෙපමණ වර්ෂ දහස් ගණනක්, මෙපමණ වර්ෂ ලක්ෂ ගණනක් ඇත්තේ ය කියා ගණන් කොට කියන්නට නොහැකි ය.”

“එසේ නම් භාග්‍යවතුන් වහන්ස උපමාවක් කියන්නට හැකි ද?”

“හැකි ය භික්ෂුව. යොදුනක් උස, යොදුනක් පළල නුවරක් වටා යොදුනක් උසට පවුරක් බැඳ ඇත්තේ ය. එය මුළුමනින්ම වැසී යන සේ උඩට ගොඩ ගසා අබ පුරවා තිබේ. පුරුෂයෙක් වසර සියයකට වරක් එයින් එක් අබ ඇටය බැගින් බැහැර කරයි. භික්ෂුව මේ ක්‍රමයෙන් බැහැර කරද්දී එහි ඇති අබ වහා අවසන් වන්නේ ය. එහෙත් කල්පය තවම අවසන් නොවූයේ ය.

මෙසේ භික්ෂුව කල්පය යනු මහා දීර්ඝ කාලයකි. බොහෝ ඉක්මගිය අතීතයට ඇත්තේ මෙවන් එක් කල්පයක් නොවේ. කල්ප සියයක් ද නොවේ. කල්ප දහසක් හෝ ලක්ෂයක් ද නොවේ. ගෙවුණ අතීතයෙහි බොහෝ අසංඛෙය්‍ය ගණන් කල්පයන් ඇතිව නැතිව ගියේ ය.”

මෙවන් අති දීර්ඝ කාලයකට පසුව මේ ලෝකයට බුදුරජාණන් වහන්සේනමක් පහළ වෙලා ආර්ය සත්‍යය හතර අවබෝධ කරගන්නවා. ඒ තමයි දුක නම් වූ ආර්ය සත්‍යය, දුක හටගැනීම නම් වූ ආර්ය සත්‍යය, දුක නැති වීම නම් වූ ආර්ය සත්‍යය, දුක නැති වීමේ මඟ නම් වූ ආර්ය සත්‍යය. උන්වහන්සේලා මේ ආර්ය සත්‍යයන් අවබෝධ කරගෙන ලෝක සත්වයාට මහා කරුණාවෙන් යුතුව දේශනා කරනවා. ඒ ධර්මය මුලත් සුන්දර මැදත් සුන්දර අගත් සුන්දර වූ, අර්ථ සහිත වූ, පැහැදිලි වචනවලින් දේශනා කරන මුළුමනින් පිරිසිදු වූ නිවන් මඟයි. අන්න එවිට මේ ලෝකයේ රාගයෙන් පීඩා විඳින අය, මාන්නයෙන් පීඩා විඳින අය, නොසන්සිඳුණු සිත් ඇති අය, අවිද්‍යාව නැමැති ගණ අන්ධකාරයේ සිටින අය ශ්‍රද්ධාව උපදවා ගනිමින් ඒ උතුම් ධර්මය ඇසීමට බොහෝ සෙයින් ආශා කරනවා. කන් යොමුකරගෙන සිටිනවා. එහි අර්ථ තම ජීවිතයට ගළපා ගනිමින් සිත කිලිටි කරන රාගය නැමැති අකුසලය දුරුකර ගන්නවා. මාන්නය නැමැති අකුසලය දුරුකර ගන්නවා. සිත සමාධිමත් කර ගන්නවා. විද්‍යාව පහළ කර ගන්නවා. ඉතින් මේ වගේ සුන්දර ධර්මයක් අපේ කන්වලට ශ්‍රවණය කරන්නට ලැබීම අපට ලැබුණ ලොකු භාග්‍යයක් හැටියට සිහිකළ යුතුයි.

දවසක් බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළා. “පින්වත් අනුරුද්ධ, තථාගතයන් වහන්සේනමක් විසින් මිහිරි ශ්‍රී සද්ධර්මය දේශනා කරන්නේ ජනතාව විස්මයට පත් කරන්නට නොවේ. ජනතාව සුරතල් කිරීමට නොවේ. ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ලබා ගන්නට නොවේ. ජනතාව මා ගැන මෙසේ හඳුනාගනිත්වා කියා නොවේ. ශ්‍රාවකයන්ගේ මෙලොව හා පරලොව යහපත පිණිස ය. නිවන් මඟේ හැසිරෙන්නට උනන්දු කරවීම පිණිස ය.”

මේ වනවිට බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පා වසර 2569ක් ඉක්ම ගොසින්. එහෙත් මේ මිහිරි ශ්‍රී සද්ධර්මය තවම මේ මිහිතලය මත පවතිනවා. කාලයෙන් කාලයට මේ ධර්මය රකින්න මේ ලෝකයට පින් ඇති අය පහළ වෙනවා. ඒ අය පහළ වෙලා තමයි “මෙයයි ධර්මය, මෙයයි විනය” කියලා කියා දෙන්නේ.

දවසක් භාග්‍යවතුන් වහන්සේ උපාලි ස්වාමීන් වහන්සේට මෙසේ වදාළා.

“පින්වත් උපාලි, යම් කෙනෙක් ධර්මය කියලා දෙන විට ඒ ධර්මය සසරේ කලකිරීම පිණිස නොවන්නේ නම්, ඇල්ම දුරු නොවන්නේ නම් ඔබ ඒකාන්තයෙන් ම තීරණය කරන්න ඕන ‘මෙය නම් ධර්මය නොවේ. මෙය නම් විනය නොවේ. ශාස්තෘ ශාසනය නොවේ.’ කියලා. එහෙත් යම් ධර්මයක් අසන විට ඒ ධර්මය තුළින් සසර කලකිරීම ඇති වෙනවා නම්, ඇල්ම දුරු වෙනවා නම්, කායික මානසික දුක් පීඩා දුරු වෙනවා නම් ‘මෙයයි ධර්මය, මෙයයි විනය, මෙයයි ශාස්තෘ ශාසනය’ කියා තීරණයකට එන්න.”

ඒ වාගේ ම මහා පරිනිබ්බාන සූත්‍රයේ දී සම්බුදුරජාණන් වහන්සේ මහෝපදේශ සතරක් වදාළා. අනාගතයේ යම් කෙනෙක් හෝ පිරිසක්, සංඝ සභාවක් විසින් කියනවා නම් ‘මෙයයි ධර්මය, මෙයයි විනය’ කියා එවිට ඔබලා එකපාරටම පිළිගන්නේත් නැතුව, ප්‍රතික්ෂේප කරන්නේත් නැතුව ඒ කියන කාරණය සූත්‍රයේ බහා, විනයේ ගළපා බලා ධර්ම විනය හා නොගැලපේ නම්, හදාගත් මතයක් කියා ප්‍රතික්ෂේප කරන්න. යම් විටෙක එම කාරණය සූත්‍රයේ තියෙනවා නම්, විනයේ තියෙනවා නම්, ‘මෙයයි ධර්මය, මෙයයි විනය, මෙයයි ශාස්තෘ ශාසනය’ කියා ස්ථීරව ම නිගමනයකට පැමිණෙන්න.”

මේ වනවිට මේ ධරණීතලයේ අප සරණ ගිය ගෞතම බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය සූත්‍ර දේශනා වශයෙන් දීඝ නිකාය, මජ්ඣිම නිකය, සංයුත්ත නිකාය, අංගුත්තර නිකාය, ඛුද්දක නිකාය වශයෙන් පොත් වහන්සේලා ද විනය පිටකයේ මහාවග්ගපාළි, චුල්ලවග්ගපාළි, පරිවාරපාළි, පාචිත්තියපාළි, පාරාජිකපාළි වශයෙන් පොත් වහන්සේලා ද තුළ වැඩසිටිනවා.

ඉතින් මේ ධර්මය ඉගෙන ගැනීමේ දී මුලින් ම කෙනෙක් මේ ධර්මය විනය ඉතා හොඳින් ශ්‍රවණය කළ යුතුයි. ඒ තුළින් ඔහු ශ්‍රද්ධාව, දහම් දැනුම, සීලය ඉතා හොඳින් රැකගැනීමට උත්සාහ කරයි. ඒ වාගේම දහම් දැනුම වැඩී ඔහුගේ ජීවිතයේ අත්හැරීම පුරුදු කරන්න පුළුවන් වෙනවා. එසේම මේ දුක හටගන්නා ආකාරය, නැතිවන ආකාරය හෙවත් ජීවිතයේ ඇත්ත ස්වභාවය දැකීමේ නුවණ උදාකර ගන්න පුළුවන්.

දහම් දැනුම තුළින් කෙනෙකු පරිපූර්ණ මිනිසෙකු බවට පත් කරනවා. ඒ සඳහා ඒ ධර්මය හොඳින් අසා මතකයෙහි තබාගෙන, ඒ ධර්මය වචනයෙන් පුරුදු පුහුණු කරමින් එහි අර්ථ නුවණින් විමසමින් තම ජීවිතයට ගළපාගත යුතුයි.

බුදුරජාණන් වහන්සේ මේ ධර්මය ඇසීමේ ආනිසංශ පහක් දේශනා කොට වදාළා. ඒ තමයි, “නොඇසූ දෙය අසන්නේ ය. ඇසූ දේ වඩාත් පැහැදිලි වන්නේ ය. සැක දුරු වන්නේ ය. දෘෂ්ටිය ඍජු වන්නේ ය. සිත පහදින්නේ ය.” යන මේ පහ. ඉතින් මේ ආනිසංශ පහ අද පවා අපිට ධර්මය ඇසීම තුළින් ලබාගන්න පුළුවන් වෙනවා. ඒ සඳහා අපට අවශ්‍ය වන්නේ මුලින් ම ධර්මය ඇසීමට ආශාවක් ඇති කරගැනීමයි. ඊටපස්සේ කන් යොමු කරගෙන, ධර්මය අවබෝධ කිරීමට සිත පිහිටුවාගෙන එහි අර්ථ හොඳින් තේරුම් ගනිමින්, අනර්ථය අත්හරිමින් ජීවිතයට ගළපා ගනිමින් ඇසිය යුතුයි.

බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කරලා අවසන් වනවිට එතැන ධර්මය අසන විශාල පිරිසක් සෝවාන් ආදී පිළිවෙළින් මාර්ග ඵලයන්ට පත් වෙනවා. අද කාලයේ මෙවැනි තත්ත්වයක් උදා නොවන්නට ධර්මාවබෝධ කරන අදහසින් තම ජීවිතයට ගළපා නොගැනීමත් හේතුවක්. මන්ද ඒ ධර්මය ස්වාක්ඛාතයි, සන්දිට්ඨිකයි, අකාලිකයි, ඒහිපස්සිකයි, ඕපනයිකයි, පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූහි ගුණයෙන් යුක්තයි.

බුදුරජාණන් වහන්සේ වැඩසිටින කාලයේ රහතන් වහන්සේලා විශාල වශයෙන් ධර්මය සාකච්ඡා කරමින් ශ්‍රාවකයන්ට ධර්ම අර්ථ මතු කර දී තිබෙනවා. වේදල්ල සූත්‍රයන් තුළ ඒ සාකච්ඡාවන් අඩංගුයි. ඒ වගේම තවත් සමහර ස්වාමීන් වහන්සේලා සතියේ දින හතක් භාවනා කරමින් ඉඳලා හත් වන දවසේ රාත්‍රී පහන් වන පුරාවට ධර්මය සාකච්ඡා කරලා තියෙනවා. ඒ වගේම ඛේමක සූත්‍රයේ පැහැදිලි වෙනවා ධර්ම සාකච්ඡාව අවසන් වන විට ඒ ස්වාමීන් වහන්සේලා මග ඵල ලැබූ ආකාරය. සාරිපුත්ත මහරහතන් වහන්සේ අරහත්වයට පත් වුණේ භාග්‍යවතුන් වහන්සේ දීඝනඛ බ්‍රාහ්මණයාට ධර්මය දේශනා කරමින් සිටින අතරේ ඒ ධර්මය ශ්‍රවණය කරලා.

මේ ආකාරයට අපට ඉතා පැහැදිලිව පේනවා මේ ධර්මය ශ්‍රවණය කිරීම තුළින් විශාල යහපතක් ජීවිතයට උදා කරගන්න පුළුවන් බව. එම නිසා මේ ධර්මය ශ්‍රවණය කළ යුත්තේ සකස් කොට. ඒ වාගේම සකස් කොට, පිළිවෙළකට ධර්මය සාකච්ඡා කළ යුතුයි. ධර්ම සාකච්ඡාව අවසානයේ දී වාද විවාද ඇති නොවී ජීවිතයේ සංසිඳීමක් ඇතිවන ආකාරයට සකස් කොට පිළිවෙළකට ධර්මය දරා ගත යුතුයි. සකස් කොට අර්ථ නුවණින් විමසිය යුතුයි. සකස් කොට දහම් අරුත් තම ජීවිතයට ගළපා ගත යුතුයි.

බුදුරජාණන් වහන්සේ දේශනා කළා “මේ ශාසනය තුළ යම් කෙනෙක් නවාංග ශාස්තෘ ශාසනය ඉතා හොඳින් ඉගෙන ගන්නේ නම් එවිට මේ ශාසනය අතුරුදහන් නොවන්නේ ය” කියා. බුද්ධ ශාසනය ආරක්ෂා කරන්න කැමති අය මිහිරි ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කොට ඉගෙනගත යුතුයි. ඊටපස්සේ මේ ධර්මය අන් අයට කියාදිය යුතුයි. එමෙන්ම මේ ධර්මය සාකච්ඡා කළ යුතුයි. එමෙන්ම නුවණින් විමස විමසා තම ජීවිතයට ගළපාගත යුතුයි.

මෙන්න මේ කාරණා ටික යම් කෙනෙකුට මේ යුගයේ කරන්නට හැකියාව ලැබුණොත් එයා දෙව්මිනිස් ලෝකයාට ම මහත් යහපතක් කරන කෙනෙක් බවට පත් වෙනවා. මන්ද දෙවියන්ටත් මිනිසුන්ටත් සංසාර දුකින් නිදහස් වීමට ඇති එක ම මාර්ගය ධර්මය නිසා. ඒ නිසා අපි සියලු දෙනාම අධිෂ්ඨානයක් කරගනිමු,

“මමත් මේ ධර්මය පිරිසිදුව ඉගෙනගෙන එහි ඇති අර්ථ ජීවිතයට ගළපා ගනිමින්, මමත් සංසාර දුකින් නිදහස් වන අතරේ ලෝකය සසර දුකින් නිදහස් කරවන මේ බුද්ධ ශාසනය චිරාත් කාලයක් පවතින්නට දායක වෙනවා!” කියලා.

මහමෙව්නාව භාවනා අසපුවාසී ස්වාමීන් වහන්සේ නමක් විසිනි.