පින්වත් යොවුන් දූ දරුවනේ,
ජීවිතයකට කිසි කලෙකත් සමීප කරගන්න නුසුදුසු දෙයක් තමයි බොරු – මුසා. එය භයානකයි! නමුත් මේ ලෝකයේ බොහෝ දෙනෙක් බොරුවේ මුසාවේ භයානකකම දන්නේ නෑ. තේරුම් අරගෙන නෑ. අද මේ ලිපිය වෙන් වෙන්නේ බොරු – මුසා අපේ ජීවිතේට මොන තරම් හානියක් ද කියන දේ විස්තර කරන්නයි.
වෙනදා වගේම බොහොමත් සෙනෙහසින් සිහි කරනවා මේ ලිපිය අවසානය තෙක්ම කියවන්න. අප බොහෝ දෙනෙක් දරුණුයි කියලා නොහිතන, සැහැල්ලුවෙන් අරගත් බොරු – මුසා ගැන බුදුකෙනෙක් කෙසේ නම් පෙන්වා දුන් සේක් ද කියලා ඔයාලට මේ ලිපියෙන් තේරුම් ගන්න ලැබේවි!
අම්බලට්ඨිකාවේ දී…
ඒ කාලේ භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ රජගහනුවර වේළුවනාරාමයේ. ඒ වෙද්දී සිඟිති රාහුල ස්වාමීන් වහන්සේ වැඩ සිටියේ වේළුවනාරාමයට සමීපයේ ම වූ අම්බලට්ඨිකාවේ. මහා කාරුණික බුදුරජාණන් වහන්සේ ඒ වෙනකොට සත් හැවිරිදි වියේ පසුවුණු රාහුලයන් වහන්සේ ගැන මෙහෙම හිතුවා. ‘මේ කුඩා වයසේ දරුවෝ කුඩා අවදියේ පහසුවෙන්ම බොරු කීමට පුරුදු වෙනවා. සුරතල් බොරු විදිහට දුටු දේ නොදුටුවා කියනවා. නොදුටු දේ දැක්කා කියනවා. මේ විදිහේ පුරුද්දක් කුඩා වියේදී පැවිද්දෙක්ට ඇති වුණොත් එය ඔහුට අනතුරක්.’
මේ කරුණ ගැන සිතූ භාග්‍යවතුන් වහන්සේ රාහුල ස්වාමීන් වහන්සේ ගැන කරුණාවෙන් අම්බලට්ඨිකාවට වැඩමවා වදාළා. රාහුල ස්වාමීන් වහන්සේ දුරින්ම වඩිනා භාග්‍යවතුන් වහන්සේ දැක්කා. දැකලා ආසනයක් පැනෙව්වා. පා දෝවනය කිරීමට දිය බඳුනක් තිබ්බා. භාග්‍යවතුන් වහන්සේ ඒ පනවන ලද ආසනයේ වැඩසිටියා. වැඩ හිඳ සිරිපා යුගල දෝවනය කළා. රාහුල ස්වාමීන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට ආදරයෙන් වන්දනා කරලා එකත්පස්ව වාඩි වුණා.
දිය බඳුනෙන් කියා දුන් පාඩම
දරුවනේ, උපමාවෙන් දහම් අරුත් පහදා දෙන්න අතිශයින්ම දක්ෂ වූ බුදුරජාණන් වහන්සේ එදා රාහුල ස්වාමීන් වහන්සේට දහම් දෙසුවේ පා දෝවනය කිරීම පිණිස තිබූ දිය බඳුන මුල් කරගෙන. ඒ දිය බඳුනෙන් කියාදුන් පාඩම අපි හැම දෙනාගේ ජීවිතවලටත් ගොඩාක් වටින පාඩමක්.
ඉතින් භාග්‍යවතුන් වහන්සේ පා දෝවනය කිරීමෙන් පසු දිය බඳුනේ මඳක් ඉතිරි වූ දිය ස්වල්පය පෙන්වමින් රාහුල ස්වාමීන් වහන්සේට මෙසේ වදාළා. “පින්වත් රාහුල, ඔබට මේ දිය බඳුනේ වතුර ස්වල්පයක් ඉතිරි වී තිබෙන බව පේනවා නේද?”
“එසේය ස්වාමීනී.”
“(ඒවං පරිත්තං ඛෝ රාහුල තේසං සාමඤ්ඤං යේසං නත්ථි සම්පජානමුසාවාදේ ලජ්ජා) පින්වත් රාහුල, ඔන්න ඔය වගේමයි යම් කෙනෙක්ට දැන දැන බොරු කියන්නට ලැජ්ජා නැද්ද, ඔහුගේ ශ්‍රමණ ධර්මයත් ඉතාමත් ස්වල්පයි.”
ඉන්පසු භාග්‍යවතුන් වහන්සේ ඒ ස්වල්ප වූ ජලයත් දිය බඳුනින් බැහැර කළා. යළි රාහුල ස්වාමීන් වහන්සේට මෙසේ වදාළා. “පින්වත් රාහුල, ඔබ දැක්කා නේද මේ බඳුනේ ඉතිරි වෙලා තිබුණු වතුර ස්වල්පයත් ඉවතට වීසි කළා?”
“එසේය ස්වාමීනී.”
“(ඒවං ඡඩ්ඩිතං ඛෝ රාහුල තේසං සාමඤ්ඤං යේසං නත්ථි සම්පජානමුසාවාදේ ලජ්ජා) පින්වත් රාහුල, ඔන්න ඔය වගේමයි යම් කෙනෙක්ට දැන දැන බොරු කියන්නට ලැජ්ජා නැද්ද, ඔහුගේ ශ්‍රමණ ධර්මයත් බැහැරට වීසි කරල යි තියෙන්නෙ.”
ඉන්පසු භාග්‍යවතුන් වහන්සේ ඒ දිය බඳුන මුනින් අතට හැරෙව්වා. යළිත් රාහුල ස්වාමීන් වහන්සේට මෙසේ පැවසුවා. “පින්වත් රාහුල, ඔබට මේ මුනින් අතට හරවපු දිය බඳුන පෙනෙනවා නේද?”
“එසේය ස්වාමීනී.”
“(ඒවං නික්කුජ්ජිතං ඛෝ රාහුල තේසං සාමඤ්ඤං, යේසං නත්ථි සම්පජානමුසාවාදේ ලජ්ජා) පින්වත් රාහුල, ඔන්න ඔය වගේමයි යම් කෙනෙක්ට දැන දැන බොරු කියන්නට ලැජ්ජා නැද්ද, ඔහුගේ ශ්‍රමණ ධර්මයත් මුනින් අතට නවල යි තියෙන්නෙ.”
ඉන්පසු භාග්‍යවතුන් වහන්සේ ඒ දිය බඳුන යළි උඩු අතට හැරෙව්වා. යළිත් රාහුල ස්වාමීන් වහන්සේට මෙසේ වදාළා. “පින්වත් රාහුල, ඔබට මේ හිස් දිය බඳුන පෙනෙනවා නේද?”
“එසේය ස්වාමීනී.”
“(ඒවං රිත්තං තුච්ඡං ඛෝ රාහුල තේසං සාමඤ්ඤං යේසං නත්ථි සම්පජානමුසාවාදේ ලජ්ජා) පින්වත් රාහුල, ඔන්න ඔය වගේමයි යම් කෙනෙක්ට දැන දැන බොරු කියන්නට ලැජ්ජා නැද්ද, ඔහුගේ ශ්‍රමණ ධර්මයත් හිස් වූ කිසිවක් නැති දෙයක්.”
තමන්ට ආදරේ ඇතෙක්…
“පින්වත් රාහුල, ඔන්න රජ කෙනෙකුට විශාලෙට වැඩුණු දළ ඇති, විශාල සිරුරක් ඇති, බලසම්පන්න උපතක් ඇති මහා හස්තිරාජයෙක් ඉන්නවා. ඉතින් ඒ ඇත් රජා යුද්දෙට යනවා. ඒ යුද බිමේ දී ඉදිරි පාවලිනුත් වැඩ කරනවා. පසු පාවලිනුත් වැඩ කරනවා. ඉදිරි කයෙනුත් වැඩ කරනවා. පසු කයෙනුත් වැඩ කරනවා. ඔළුවෙනුත් වැඩ කරනවා. කන්වලිනුත් වැඩ කරනවා. දළ දෙකෙනුත් වැඩ කරනවා. නඟුටෙනුත් වැඩ කරනවා. ඒ වුණාට මේ ඇතා තමන්ගේ සොඬවැල ආරක්ෂා කරගන්නවා.
ඕක දකින ඇත්ගොව්වාට මෙහෙම හිතෙනවා. ‘විශාල දළ ඇති, වැඩුණු සිරුරක් ඇති, ශ්‍රේෂ්ඨ උපතක් ඇති මේ රාජකීය හස්තිරාජයා යුද බිමේ දී ඉදිරි පාවලිනුත් වැඩ කරනවා තමයි. පසු පාවලිනුත් වැඩ කරනවා තමයි. ඉදිරි කයෙනුත් වැඩ කරනවා තමයි. පසු කයෙනුත් වැඩ කරනවා තමයි. ඔළුවෙනුත් වැඩ කරනවා නම් තමයි. කන්වලිනුත් වැඩකරනවා. දළ දෙකෙනුත් වැඩ කරනවා. නඟුටෙනුත් වැඩ කරනවා නම් තමයි. ඒ වුණාට මේ ඇත්රජා තමන්ගේ සොඬවැල ආරක්ෂා කරගෙන ඉන්නේ. ඒ කියන්නේ මේ ඇත්රජා තමන්ට ආදරේ ඇතෙක්. මූ තමාගේ ජීවිතය රජු වෙනුවෙන් පරිත්‍යාග කරල නෑ’ කියල.
නමුත් පින්වත් රාහුල යම් වෙලාවක ඒ විශාල දළ ඇති, විශාල සිරුරක් ඇති, බලසම්පන්න උපතක් ඇති මහා හස්තිරාජයා යුද බිමේ දී කිසිම ආරක්ෂා කරගැනීමක් නැතිව සොඬවැලෙනුත් වැඩ කරන්න පටන් ගත්තා. එතකොට අර ඇත්ගොව්වාට මෙහෙම හිතුණා. ‘විශාල දළ ඇති, වැඩුණු සිරුරක් ඇති, ශ්‍රේෂ්ඨ උපතක් ඇති මේ රාජකීය හස්තිරාජයා දැන් නම් යුද බිමේ දී තමන්ගේ සොඬවැලෙනුත් වැඩකරනවා. මූ හොඬවැල ආරක්ෂා කරගන්නේ නෑ කියන්නේ තමන්ගේ ජීවිතේට තියෙන ආදරය අත්හැරලා. දැන් මේකාට කරන්ට බැරි විනාශයක් නෑ. දැන් මේ ඇත්රජා තමන්ගේ ජීවිතය රජු වෙනුවෙන් පරිත්‍යාග කරලයි තියෙන්නේ’ කියල.
ඔන්න ඔය වගේමයි පින්වත් රාහුල, (යස්ස කස්සචි සම්පජානමුසාවාදේ නත්ථි ලජ්ජා) යම් කිසි කෙනෙකුට දැන දැන බොරු කියන්නට ලැජ්ජාවක් නැද්ද, (නාහං තස්ස කිඤ්චි පාපං අකරණීයන්ති වදාමි) ඔහුට නො කළ හැකි පාපයක් නැහැ කියල යි මං කියන්නෙ.
(තස්මාතිහ රාහුල හස්සාපි න මුසා භණිස්සාමී’ති ඒවං හි තේ රාහුල සික්ඛිතබ්බං) එනිසා පින්වත් රාහුල, විහිළුවකටවත් බොරු කියන්නෙ නම් නෑ කියල ඔය විදිහටයි පින්වත් රාහුල, ඔබ පුහුණු විය යුත්තේ.”
විපාක විහිළුවක් සෙල්ලමක් නෙවෙයි…
බුදුරජුන් මේ තරම් අනුකම්පාවෙන් යම් වරදක් ගැන පහදා දෙන්නේ එහි ඇති භයානක බව බුදු ඇසින් දුටු නිසාමයි. නමුත් මේ සාමාන්‍ය දැනුමකින් විතරක් කල්පනා කරන මිනිස්සු හොඳ ම බොරුව තේරීමේ තරඟ පවා පවත්වනවා.
තවත් කෙනෙක්ට නින්දාවක් අපහාසයක් කරන්න හිතුණොත් ලේසියෙන්ම ඕන බොරුවක් ගොතනවා. ඒක ප්‍රසිද්ධ කරනවා. නමුත් විපාකය ගැන දැනගෙන හෝ නොදැන ඔවුන් කරගන්නේ භයානක විපාක ගේන ක්‍රියාවක්. විහිළුවෙන් බොරු කීවත්, සෙල්ලමට මුසා පැවසුවත් එහි විපාක නම් විහිළුවක් නෙවෙයි. සෙල්ලමක් නෙවෙයි.
ඒ ගැන සියල්ල දන්නා වූ සියල්ල දක්නා වූ බුදුරජාණන් වහන්සේ අපාය සංවත්තනික නම් සූත්‍ර දේශනාවේ දී මෙසේ වදාළා.
“(මුසාවාදෝ භික්ඛවේ, ආසේවිතෝ භාවිතෝ බහුලීකතෝ) මහණෙනි, බොරු කීම සේවනය කිරීමෙන්, නැවත නැවත කිරීමෙන්, බහුල ව කිරීමෙන්, (නිරයසංවත්තනිකෝ) නිරයෙහි උපතට හේතු වෙයි. (තිරච්ඡානයෝනිසංවත්තනිකෝ) තිරිසන් අපායෙහි උපතට හේතු වෙයි. (පෙත්තිවිසයසංවත්තනිකෝ) ප්‍රේත ලෝකයෙහි උපතට හේතු වෙයි. (යෝ සබ්බලහුසෝ මුසාවාදස්ස විපාකෝ මනුස්සභූතස්ස අභූතබ්‍යාක්ඛානසංවත්තනිකෝ හෝති) බොරු කීමෙන් ලැබෙන හැමට සැහැල්ලු විපාකයක් ඇද්ද, ඒ අනුව මිනිස් ලොව උපන් විට කරුණු රහිතව නින්දා අපහාස විඳීමට හේතු වෙයි.”
සත්‍යවාදී වෙන්න
ඒ නිසා අපි හිතට ගමු බොරුවෙන් මුසාවෙන් වැළකී සත්‍යවාදී වෙන්න. ඒ සත්‍යවාදී බව ඉක්මවා යන්නේ නැතිව අපි සංවර වෙමු. සත්‍යවාදී බව ඉක්මවා යාම කියන එකම එක කාරණේම අපි විසින් අපවම වනසා ගැනීමක්.
බලන්න සම්පජාන මුසාවාද නම් සූත්‍රයේ සඳහන් වන මේ උතුම් බුදුවදන්.
“(ඒකධම්මං අතීතස්ස භික්ඛවේ පුරිසපුග්ගලස්ස නාහං තස්ස කිඤ්චි පාපකම්මං අකරණීයන්ති වදාමි) පින්වත් මහණෙනි, සත්‍යවාදී වීම නම් වූ එකම එක දෙය ඉක්මවා යන පුද්ගලයෙකුට කරන්න බැරි පාප කර්මයක් නැති බවයි මම කියන්නේ. (කතමං ඒකධම්මං:) ඒ එකම එක දෙය මොකක්ද? (යථයිදං භික්ඛවේ, සම්පජානමුසාවාදෝ) පින්වත් මහණෙනි, ඒක තමයි මේ දැන දැන බොරු කියන එක.”
“ඒකධම්මං අතීතස්ස මුසාවාදිස්ස ජන්තුනෝ,
විතිණ්ණපරලෝකස්ස නත්ථි පාපං අකාරියං”
“සත්‍යය කතා කිරීම නමැති එකම එක දේ ඉක්මවා යන, බොරු කියන, පරලොව සැපයක් නොලබන ඒ පුද්ගලයාට කරන්න බැරි පාපයක් නෑ.”
එය උතුම් සීලයක්…
ඔබ බොරු – මුසා පැවසීමේ සැහැල්ලුම විපාකය පවා මොනතරම් කටුක ද කියලා දැනගත්තා. ඒ නිසා අපි සත්‍යවාදී වෙමු. බොරුව මුසාව අත්හරිමු. අපේ ජීවිතේ අපි රැකගමු. එය අපව සුන්දර කරන උතුම් සීලයක්.
“(මුසාවාදං පහාය මුසාවාදා පටිවිරතෝ හෝති) බොරු කීම අත්හැරලා, බොරු කීමෙන් වැළකී ඉන්නවා. (සච්චවාදී) සත්‍යය කතා කරනවා. (සච්චසන්ධෝ) ඇත්තෙන් ඇත්ත ගළපනවා. (ථේතෝ) ස්ථිරව පිහිටලා කතාකරනවා. (පච්චයිකෝ) පිළිගත හැකි දේ කතා කරනවා. (අවිසංවාදකෝ ලෝකස්ස) ලෝකයාව රවටන්නේ නෑ. (ඉදම්පිස්ස හෝති සීලස්මිං) මෙය සීලයට අයත් දෙයකි.”
තෙරුවන් සරණයි!
මහමෙව්නාව භාවනා අසපුවාසී ස්වාමීන් වහන්සේ නමක් විසිනි.
Recent Comments