පින්වත් යොවුන් දූ දරුවනේ,

කවදාවත් ඔයාල තමන්ගේ හිතින් දුර්වලයෝ බවට පත් වෙන්න එපා! ඔයාල තමන් ගැන හිතන්නේ ‘මට නම් සාර්ථක වෙන්න බෑ’ කියලා නම්, ඇත්තෙන්ම ඔයාට බෑ ම තමයි. නමුත් ඔයාලගේ හිතේ තිබෙනවා නම් ‘මට කොච්චර දුෂ්කරතා ආවත් සාර්ථක වෙන්න පුළුවන්’ කියලා අදහසක්, ඒක ඔයාලගේ ජීවිතේ සාර්ථක කරගන්න ගොඩාක් උපකාර වෙනවා. ඒ නිසාම යි මේ කෙටි ලිපිය ‘ඔව්! ඔයාට පුළුවන්’ කියලා මාතෘකා කළේ.

ඉතිං ඔයාල පොඩි වෙලාවක් ගත කරලා මේ ලිපිගත දිගේ ඉදිරියටම යන්න. ඔයාලටත් තේරේවි ‘ඔව්! ඇත්තෙන්ම මට පුළුවන්’ කියලා.

ඔයා වාසනාවන්ත කෙනෙක් ඒක ඔයා හොඳින් තේරුම් ගන්න ඕනි. මොකද මනුස්ස ජීවිතේ කියන්නේ දුර්ලභ දෙයක්. ‘කිච්ඡෝ මනුස්සපටිලාභෝ’ යනුවෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මනුස්ස අත් භවයක් ලැබීම ඉතා දුර්ලභ දෙයක් කියලයි. ඉතිං අපි හැමෝම මේ මොහොතේ ලබාගෙන තිබෙන්නේ ඒ දුර්ලභ ජීවිතේ.

ඉතින් තේරුම් ගන්න මනුස්සයෙක් වීමෙන්ම ඔයා වාසනාවන්ත කෙනෙක් බව. නමුත් ගතවෙන හැම නිමේෂයකම, තප්පරයකම මේ වාසනාවන්ත ජීවිතේ අහිමි වෙමින් යනවා. ඒක හෙමින් වෙන එකක් නෙවෙයි. ඉතාම වේගෙන් නොනැවතීම කාලය ගෙවී යනවා. ඒ නිසා ඔයා වාසනාවන්ත කෙනෙක් බව තේරුම් ගන්න පොඩ්ඩක්වත් පමා වෙන්න එපා!

තරුණකම

මනුස්ස ජීවිතේ ඇතුළේ තරුණකම කියන්නේ දීර්ඝ කාලයක් ද…? කෙටි කාලයක් ද? හොඳින් හිතුවොත් තේරෙනවා නේද තරුණකම කෙටි කාලයයි තියෙන්නේ කියලා. හැබැයි කෙටි කාලයක් වුණත් තරුණ කාලේ ශරීර ශක්තිය වැඩියි, ලෙඩ අඩුයි, ශරීරේ පිළිවෙළකට තියෙන ලස්සන කාලයක්. ඒ ලස්සන තරුණකමට, යහපත්කම එක් කරගත්තොත් මුළු ජීවිතේම ලස්සන සුන්දර එකක් කරගන්න පුළුවන්.

නමුත්, තරුණකමට මෝඩකම කලවම් වුණොත් නම් තරුණ කාලේත් වරදීවි! මුළු ජීවිතේමත් වරදීවි! ඒ නිසා තරුණකම මෝඩකමින් බේරගන්නම ඕනි.

වරදින තැන් හයක්

මෙහෙම තේරුම් ගන්න. ඔන්න අපි නොදන්නා පාරකින් ගමනක් යන්න සූදානම් වෙනවා. එතකොට අපි යන පාර ගැන දන්න කෙනෙක් ගමනේ අතරමගදී වෙන්න පුළුවන් අනතුරු ගැන අපිට කල් ඇතුව පෙන්වා දෙනවා. එහෙම කරන කෙනා අපේ යහපත කැමති කෙනෙක් නේද?

ඉතිං ඒ වගේම තමයි. මේ ජීවිතේ කියන්නේ අපි පෙර නොගිය මාවතක් වගේ. ජීවන මාවතේ පියනගද්දී වරදින තැන් කල් ඇතුවම පෙන්වා දෙන්නේ යහපත් මිත්‍රයෙක්මයි. කල්‍යාණ මිත්‍රයෙක්මයි.

අපි ගොඩක් වාසනාවන්තයි. සම්මා සම්බුදුරජාණන් වහන්සේනමක්ම අපේ කල්‍යාණ මිත්‍රයාණන් වහන්සේ ලෙස අපිට මුණගැසුණානේ. ඒ තමයි අපේ ලොකුම වාසනාව. අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ජීවිතේ වරදින තැන් හයක් ගැන පෙන්වාදුන්නා. මෙතැන් සිට ඔයාට දැනගන්න ලැබෙන්නේ අන්න ඒ වරදින තැන් හය ගැනයි.

වරදින පළමු තැන

ලෙඩවුණ කයකින්, ලෙඩවුණ සිතකින් පුළුවන්ද ජීවිතයක් සාර්ථක කරගන්න? ඇත්තෙන්ම බෑ නේද? ඉතින් කයත් සිතත් ලෙඩ කර ගැනීම තමයි වරදින පළමුවෙනි තැන.

උපතින්ම ලෙඩ බහුල ශරීරයක් ලැබුණත්, සිත ලෙඩ කරගන්නේ නැතිව ඉන්න පුළුවන් නම් එයාට වරදින්නේ නෑ. නමුත් ගොඩාක් අය කය හොඳට තියෙද්දීම සිත ලෙඩ කරගන්නවා. සිත ලෙඩ වෙන්නේ කොහොමද?

පවිටු පුද්ගලයන්ගේ ආශ්‍රයෙන්. ඔයා සජීව මිත්‍රයෙක් විදිහට හෝ මාධ්‍ය ආදියෙන් හෝ මිත්‍රයෙක් විදිහට තෝරාගත්තේ පවිටෙක් නම් ඔයාගේ සිත රෝගාතුර වෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ ඉතින් ඇඟත් ලෙඩ වෙනවා ම යි. නොයෙක් මත්පැන් මත්ද්‍රව්‍ය ආදියට ඇබ්බැහි වුණ, සල්ලාලකම් ආදියට පෙළඹුන, දුරාචාර අනාචාර සාධාරණීකරණය කර කර ඒවායේ යෙදෙන, තරුණ කාලේම ජීවිතේ අසුන්දර කරගත්ත චරිතයක් තමයි අවසානේ නිර්මාණය වෙන්නේ.

ඔව්! ඔයාට පුළුවන් ඒ බව මේ සමාජය දිහා හොඳ නුවණින් බලලා තවත් නිරවුල් කරගන්න. එසේ නිරවුල් කරගෙන සිත රෝගාතුර නොවීම පිණිස කටයුතු කරන්න.
ඒ උදෙසා කළ යුත්තේ සත්පුරුෂ කලණමිතුරු උතුමන් ඇසුරු කිරීමයි. යහපත් ඇසුරක් මුණගැහුණාම සිතේ ඇති කරගැනීම පිණිස නීරෝගී සිතුවිලි, නීරෝගී ආකල්ප ලැබෙනවා. වැරදි අදහස් ආකල්ප බැහැර වෙලා යනවා. එතකොට පුළුවන් සිත කය දෙකම නීරෝගීව තියා ගන්න. ඔය විදිහට තමයි යහපත රැකගන්න තියෙන්නේ.

න භජේ පාපකේ මිත්තේ – න භජේ පුරිසාධමේ
භජේථ මිත්තේ කල්‍යාණේ – භජේථ පුරිසුත්තමේ

පාප මිත්‍රයන්ව ඇසුරු කරන්ට එපා! පහත් අදහස් ඇති අධම පුද්ගලයන්වත් ඇසුරු කරන්ට එපා! කල්‍යාණමිත්‍රයන්ව ඇසුරු කරන්න. සීල, සමාධි, ප්‍රඥා ආදී ගුණ දහම් පිරුණු උතුම් පුද්ගලයන්ව ඇසුරු කරන්න.

(ධම්මපදය – පණ්ඩිත වර්ගය)

වරදින දෙවැනි තැන

දුස්සීලකම තමයි වරදින දෙවැනි තැන. ප්‍රාණඝාත කිරීම, අන් සතු දේ සොරකම් කිරීම, වැරදි කාම සේවන ආදියට පෙළඹීම, මත්ද්‍රව්‍ය භාවිතයට යොමු වීම ආදී කායික දුස්සීලකම් නිසා ලස්සන තරුණ ජීවිත අවාසනාවන්ත විදිහට විනාශ වෙනවා. බොරුවට, කේළාම් කීමට, පරුෂ වචන කථා කිරීමට, තේරුමක් නැති හිස් වල්පල් කථා කිරීමට යොමු වෙලා වචනයෙන් දුස්සීල වුණත් ජීවිතේ වරදිනවා.

ඒ නිසා ජීවිතේ රැකගන්න නම් හොඳින් සිල්වත් වෙන්න.

වරදින තුන්වැනි තැන

ජීවිතයක් සාර්ථක වෙන්න ගොඩාක් බලපානවා අත්දැකීම්. තරුණ වයස වෙද්දී අපිට තියෙන්නේ පොඩි අත්දැකීම් ප්‍රමාණයක්. ඒ ප්‍රමාණයෙන් විතරක් ජීවිතයක් හරියට හදාගන්න අමාරුයි. ඒකට අපිට වුවමනයි වැඩිහිටි උතුමන්ගේ අත්දැකීම් සහිත ඔවදන්, අවවාද.

නමුත් අවවාද පිට අවවාද ලැබුණත් වැඩක් නෑ ඒ අවවාද ජීවිතේට අරගන්නේ නැතිනම්. අවවාද ජීවිතේට ගළපාගන්න බැරි වෙන්නේ අකීකරුකම නිසා.

අන්න ඒ අකීකරුකම තමයි වරදින තුන්වැනි තැන. ගොඩක් වෙලාවට තරුණ කාලේ හිතෙනවා ‘මම දන්නවා, මට තේරෙනවා, මම පොඩි එකෙක්යැ, මේ වැඩිහිටියෝ පරණ කාලේ ඒවා කියන්නේ, ඕවා මේ අපේ කාලෙට හරි යන්නේ නෑ’ වගේ හිතුවිලි. ඔය වගේ අදහස් ඔයාටත් ඇවිල්ලා ඇති. ඒ අදහස් අපට යහපත පිණිස ඇතිවෙන අදහස් නෙවෙයි.

ඒ නිසා තමන්මයි ඔක්කොම දන්නේ කියන අදහස තරුණ කාලෙම ජීවිතෙන් බැහැර කරගන්න. වැඩිහිටියන්ගේ ගුරුවරුන්ගේ උතුමන්ගේ වචනවලට ගෞරව පෙරටුව සවන්දෙන්න. ඒ අදහස් හොඳ කල්පනාවෙන් විමසා බලන්න පුරුදුවෙන්න.

වරදින සතරවැනි තැන

ජීවිතය කියන්නේම ඉගෙන ගනිමින් ගත කරන්න තිබෙන දෙයක්. අපි මේ වෙද්දීම කොයිතරම් දේවල් ඉගෙනගෙන තිබෙනවා ද? මේ ජීවිතේ අපිට ලොකු අවස්ථාවක් ලැබිලා තියෙනවා බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඉගෙන ගන්න. ඒක අපි ලැබූ පුදුමාකාර වාසනාවක්.

ඉතින් තරුණ කාලෙම ඒ පුදුමාකාර වාසනාවේ කොටස්කාරයෙක් වෙන්න උත්සහ කරන්න. ඔයාට පුළුවන් ටිකෙන් ටික හරි බුදුරජාණන් වහන්සේගේ උතුම් ශ්‍රී සද්ධර්මය අසමින්, කියවමින් ඉගෙන ගන්න. ජීවිතයක් වරදින තැනක් තමයි ධර්මය ඉගෙන නොගැනීම. දහම් දැනුමක් නැතිකම. ධර්මය ඉගෙන ගත්තොත් ජීවිතේ වරදින තැන් සියල්ලම නැති කරගන්න පුළුවන්.

වරදින පස්වැනි තැන

කොයිතරම් ධර්මය ඉගෙන ගත්තත් වැඩක් නෑ, ධර්මයේ හැසිරෙන්නේ නැතිනම්. ධර්මයේ හැසිරෙන්න පටන් ගන්න හොඳම කාලේ තමයි තරුණ කාලය. තරුණ වයසේම ආසාවෙන් ධර්මය අහලා කියවලා, මතක තියාගෙන, ඒ ධර්මය ටික ටික හෝ පුරුදු කරන්න පටන් ගත්තොත් ජීවිතේ සාර්ථක වෙනවාමයි.

ධර්මයේ හැසිරීමට උනන්දු වෙන්නේ නැතිනම් වරදිනවා ම යි. ඒ නිසා බලවත් ආසාවකින් ධර්මය පුරුදු කරන්න.

වරදින හයවෙනි තැන

කම්මැලිකම කියන්නේ කොහොමටත් අසාර්ථකත්වයේ සලකුණ. කම්මැලියෙකුට ජීවිතේ දියුණු කරගැනීම සම්බන්ධයෙන් තියෙන සිහින, සිහිනයක්ම විතරයි. කවදාවත් ඒ සිහින සාර්ථක කරගන්න ලැබෙන්නේ නෑ. තරුණ කාලෙම කම්මැලිකම ඇති වුණොත් නම් සම්පූර්ණයෙන්ම වරදිනවා.

මේ ඉගෙන ගත්තු වරදින තැන් හයෙන්ම තමාව බේරගන්නේ කම්මැලි නැති කෙනෙක්මයි. කොටින්ම කම්මැලියෙකුට මේ පණිවිඩය පවා මගහැරෙනවා. මොකද කම්මැලියෙක් මේ ලිපිය කියවන්නත් කම්මැලි වෙන නිසා.

ඔව්! ඒ කියන්නේ ඔයා කම්මැලියෙක් නෙවෙයි. මොකද මේ දක්වාම කම්මැලි නැතිව ඔයා මේ ලිපිය කියෙව්වා.

ඔව්! ඔයාට පුළුවන්

දැන් ඉතින් ආරම්භ කරන්න. වරදින තැන් හයෙන් ම ආරක්ෂා වෙන්න. තරුණ කාලෙම ජීවිතේට එක් කරගන්න නීරෝගීකම, සිල්වත්කම, කීකරුකම, නිරවුල් දහම් දැනුම, වීරියවන්තකම කියන ලස්සන දේවල්. සත්පුරුෂ ඇසුරේ දහමේ හැසිරෙමින් ජීවිතේ ලස්සන හැමදාම තියාගන්න.

ආරෝග්‍යමිච්ඡේ පරමඤ්ච ලාභං
සීලඤ්ච වුද්ධානුමතං සුතඤ්ච,
ධම්මානුවත්තී ච අලීනතා ච
අත්ථස්සද්වාරා පමුඛා ඡළේතේ’ති.

නීරෝගීකම උතුම්ම ලාභය බව දැන
එයට කැමති විය යුත්තේ
සිල්වත් බව ඇති කරගෙන
ගුණයෙන් වැඩි උතුමන්ගේ වදන්ද දත යුත්තේ
සෙත සලසන බොහෝ දේ ගැන
කරුණු අසාගෙන දහමෙහි හැසිරිය යුත්තේ
වීරිය ඇති බව යන මේ දියුණුව වෙත දොරටු සයකි ඇත්තේ

(අත්ථස්සද්වාර ජාතකය)

ඔයාට මේ යහපත වෙත ඇති දොරටු සයම විවර කරගන්න පුළුවන් බව විශ්වාස කරන්න. ඔව්! ඔයාට ඒක කරන්න පුළුවන්.

තෙරුවන් සරණයි!

මහමෙව්නාව අසපුවාසී ස්වාමීන් වහන්සේ නමක් විසිනි.