පින්වත් යොවුන් දූ දරුවනේ,

ලිපියේ මාතෘකාව දැක්ක ගමන් ඔයාටත් හිතෙන්න ඇති ‘මේ ප්‍රශ්නෙ මටත් තියෙනවා’ කියලා. ඔව්! මේක ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක්. ‘මගේ සිත පාලනය කරගන්නේ කොහොමද?’ කියන මේ ප්‍රශ්නෙ පවා කිසිම පාලනයක් නැතිව අපේ සිත්වලට එනවා.

සිතට අකමැති සිතුවිලි ම එන නිසයි ඇතැමුන්ට සිත පාලනය කරගන්න උවමනා. ඇතැම් අය සිත පාලනය කරන හැටි හොයන්නෙ හිතට එන මහා සවුත්තු සිතුවිලිවලින් බේරෙන්නයි. පාඩම් වැඩ කරද්දි හිත තමන්ට ඕන විදිහට තියාගන්න අමාරුයි, ඒ නිසයි ඇතැම් දූලා පුතාලා හිත පාලනය කරගන්න ආස.

වැරදි බව දැන දැනත් වැරැද්දටම හිත යන නිසයි ඇතැම්මු සිත පාලනය කරන්න අදහස් කරන්නේ. පරණ දේවල් ම යළි යළි හිතෙනවා. අමතක කරන්න හිතන දේ ම යළි මතක් වෙනවා. ඒ නිසා තමයි ඇතැම් අයට සිත පාලනය කරගන්න ඕනි.

ඔය වගේ නොයෙක් හේතු නිසා ‘මගේ සිත පාලනය කරගන්නේ කොහොමද?’ කියන ප්‍රශ්නෙ ඔයාලටත් ඇති.

ඉතිං සතුටු වෙන්න. අද මේ ලිපිය ඔයාලගේ ප්‍රශ්නෙ විසඳෙන ලිපිය. වෙනදා වගේම ආරම්භයේ දී ම බොහෝම සෙනෙහසින් සිහි කරනවා. මේ ලිපිය අවසන් වන තෙක් සිත පාලනය කරගෙන කියවන්න. ‘සිත පාලනය කරන හැටි’ ඔයාලට හිතට දැනෙන විදිහට ඉගෙන ගන්න පුළුවන් වේවි!

උත්තරේ හෙව්වේ හරිම තැනින්…!

ඔව්! අපි වාසනාවන්ත වුණා ‘සිත පාලනය කරන්නේ කොහොමද?’ කියන ප්‍රශ්නෙට උත්තරේ හරිම තැනින් හොයන්න. මොකක්ද හරිම තැන… සිත මුළුමනින්ම පාලනය කරගෙන ධර්මය දේශනා කළ බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව තුළයි අපි මේ ප්‍රශ්නෙට උත්තරේ හෙව්වේ. ඒ නිසාම අපි හරිම උත්තරේ ලබාගන්න වාසනාවන්තයි!

‘විතක්කසණ්ඨාන’ කියන සූත්‍ර දේශනාවේ දී බුදුරජාණන් වහන්සේ හිත පාලනය කරගැනීම උදෙසා ඉතාම ප්‍රායෝගික ක්‍රම පහක් දේශනා කළා. ඇත්තෙන්ම මේ ලිපියෙන් ඒ ක්‍රම පහ ඔයාලට ඉතාම සරලව පැහැදිලි කරගන්න ලැබෙනවා.

1. අඤ්ඤ නිමිත්ත ක්‍රමය…

ඒ කිව්වේ වෙනත් සිතුවිල්ලකට මාරු වීමේ ක්‍රමය. හරියට කිලිටි වුණ අත් දෙක ඒ අත් දෙකෙන් ම පිරිසිදු කරගන්නවා වගේ… අපි පාලනයකින් තොරව සිතට වද දෙන සිතුවිල්ලකින් බේරෙන්න තව සිතුවිල්ලක් ම භාවිත කරනවා.

අපි හිතමු, අපට වද දෙන්නේ ඉතාම පහත් සිතුවිල්ලක්. අපි ඒකට අකමැතියි. නමුත් යළි යළිත් ඒ හිතුවිල්ලම යි අපේ හිතට නැගෙන්නේ. අන්න එතකොට අපි මේ උපක්‍රමය යොදාගත්තොත්, වද දෙන නරක සිතුවිල්ල වෙනුවට අපි සුන්දර පින් සිතුවිල්ලක් – කුසල් සිතුවිල්ලක් මේ සිතට නංවාගන්නවා. එතකොට අර නරක සිතුවිල්ලට තිබුණු තැන නැති වෙනවා.

හොඳ දක්ෂ වඩුවෙක් ලීයක හිර වුණ ඇණයක් ගැලවීම පිණිස කරන්නේ ඒ හිර වුණ ඇණය උඩ වෙනත් ඇණයක් තියලා ගහන එකයි. ඇණයකින් ඇණයක් ගලවනවා වගේ සිතුවිල්ලකින් ම සිතුවිල්ලක් බැහැර කරන්න පුළුවන්.

මේ වැරැද්ද නම් කරන්න එපා…!

ඇත්තෙන්ම වැරදි එකක් නෙවේ, බහුතරයක් වැරදි තුනක් කරනවා. කලබලය, තැවීම සහ බිය වීම තමයි ඒ වැරදි තුන. සිතට වද දෙන සිතුවිලි හේතුවෙන් කලබල වුණත් විසඳුමක් ලැබෙන්නේ නෑ, තැවි තැවී හිටියත් විසඳුමක් නෙවෙයි, සිතුවිල්ල ගැන බියට පත් වීමත් විසඳුමක් නෙවෙයි. ඒ නිසා ඔබ නම් ඔය වැරදි තුනෙන් එකක්වත් කරගන්න එපා. ඔබ කළ යුත්තේ මේ පළමු උපක්‍රමය කරන්න උත්සාහ කිරීමයි.

2. ආදීනව ක්‍රමය…

වද දෙන සිතුවිලි, කැත සිතුවිලි, පව් සිතුවිලි යළි යළි සිතේ නැගෙද්දී ඒ සිතුවිලි තුළම හිටියොත් ඇතිවෙන අවුල් ගැන නුවණින් කල්පනා කිරීම තමයි ‘ආදීනව ක්‍රමයේ දී’ කරන්නේ. ‘මේ නරක සිතුවිලි නිසා මගේ සිතේ වෙහෙසක් ඇති වෙන්නේ. මට කිසිම සහනයක් නෑ. මොන අර්ථයක් ඇතිව ද මම මේවා හිතන්නේ. චිකේ… මම නම් මේ වගේ සිතුවිලි හිතමින් ඉන්නේ නෑ’ කියලා නැවත නැවත අපි අපේම සිතට සිහිපත් කරන්න ඕනි. පාපී කැත සිතුවිලි පිළිකුල් කරන්න ඕනි.

ඔන්න ලස්සනට පිරිසිදුවට ඉන්න කැමති දුවක් හෝ පුතෙක් නාලා සුවඳ ගාලා ඉන්නවා. ඒ වෙලාවේ එයාගේ ඇඟට මැරුණු සර්පයෙක්ගේ කුණු වුණ මළකුණක් වැටෙනවා. එයා මුළු හිතින්මත්, මුළු සිරුරින්මත් ‘චිකේ…’ කියලා අර මළකුණ බැහැර කරනවා. අන්න ඒ වගේමයි…

සිත ඒ දුව හෝ පුතා නම්, සර්ප කුණ තමයි වද දෙන පාපී සිතුවිල්ල. අපි කළ යුත්තේ ‘චිකේ…’ කියලා බැහැර කිරීමයි. මං හිතන මේ පහත් සිතුවිලි දෙවිවරු දැක්කොත් ඒ දෙවිවරු මා ගැන අපහදියි, මට ආශීර්වාද කරන එකක් නෑ. ඒ වගේමයි මේ පහත් සිතුවිලි හිතමින් ඉද්දී මං මැරුණොත්, මං අපායේ දුගතියේ උපදියි’ ඔය විදිහට මෙලොව පරලොව වශයෙන් පවා අපි ආදීනව කල්පනා කළොත් හිතට වද දෙන පහත් ළාමක සිතුවිලි අපිට පාලනය කරගන්න ඒක හොඳ උපක්‍රමයක්.

3. අසති ක්‍රමය…

මේක නම් විශ්මිත ක්‍රමයක්. බුදුරජාණන් වහන්සේ දේශනා කළා තමන් අකමැති රූප ඉදිරියේ ඇස් පියා ගන්නවා වගේ, එහෙම නැත්නම් අහක බලාගන්නවා වගේ සිතට වදදෙන සිතුවිල්ලක් යළි යළි එද්දී (අසති) ඒ සිතුවිල්ල නොසිතා ඉන්න. (අමනසිකාර) ඒ සිතුවිල්ල මෙනෙහි නොකර ඉන්න.

මේ තුන්වෙනි ක්‍රමයෙන් විශ්මිත වේගෙන් හිත සුවපහසුවට ගන්න පුළුවන්. නමුත් මේක කළ හැක්කේ හොඳ සවිමත් සිතක් තියෙන කෙනෙකුට. ඉතිං ඔබත් සිත පාලනය කරගැනීමට මේ තුන්වැනි උපක්‍රමය යොදා ගන්න උත්සාහ කරන්න.

4. විතක්කමූලභේද ක්‍රමය…

සිතුවිල්ලේ මුල හොයාගෙන යෑම තමයි මේ උපක්‍රමය. මේ ගැන තේරුම් කරන්න බුදුරජාණන් වහන්සේ වදාළ උපමාවත් ඉතාම පැහැදිලියි.

ඔන්න එක මනුස්සයෙක් දුවමින් ඉන්නවා. ඔහු කල්පනා කරනවා ‘ඇයි මං මෙහෙම දුවන්නේ. මට පුළුවන් දුවන්නේ නැතිව සාමාන්‍ය විදිහට ඇවිද යන්න’. එහෙම හිතලා ඔහු දිවීම නවත්තලා ඇවිදගෙන යන්න පටන් ගත්තා. එහෙම යද්දී හිතුණා ‘මම ඇවිදින්නේ අපරාදේ. මං නවතිනවා.’ ඔහු නැවතුණා. නැවතිලා ඉද්දී හිතුණා ‘කකුල් රිදෙනකං හිටගෙන ඉන්නේ අපරාදේ. මම ඉඳගන්නවා.’ ඔහු ඉඳගෙන හිතුවා ‘මම හාන්සි වෙනවා. ඒක ගොඩක් පහසුයි.’

ඔය වගේ තමන්ගේ ප්‍රශ්නෙ මුල හොයනවාට කියනවා ‘විතක්කමූලභේද ක්‍රමය’ කියලා.

5. අභිනිග්ගන්හණ ක්‍රමය…

අපි හිතමු බොහොම අබල දුබල දුර්වල මනුස්සයෙක් ඉන්නවා. ඒ මනුස්සයා ළඟට බොහොම හැඩිදැඩි ශක්තිමත් මනුස්සයෙක් එනවා. මේ දෙන්නා අතරේ රණ්ඩුවක් ඇති වෙලා, අර බලවත් මනුස්සයා දුර්වල මනුස්සයා ව අල්ලාගෙන හොඳටම තලලා පෙළලා වෙහෙසට පත් කරනවා වගේ.

තමන්ට වද දෙන පාපී ළාමක සිතුවිල්ල දුර්වල මනුස්සයෙක්ව වගේ දැකලා බලවත් වීරියකින් පින් සිතුවිල්ලකින් ළාමක සිතුවිල්ල මඩින්න කියලයි බුදුරජාණන් වහන්සේ වදාළේ.
මේ උපක්‍රමය කිරීමට හොඳ ශක්තිමත් සිතක් තියෙන්න ඕනි. ‘මම මේ පාපී ළාමක සිතුවිල්ල දුරු කරනවා ම යි’ කියන අදහසින් දිව තල්ලට තද කරගෙන කුසල් සිතුවිල්ලකින් අකුසල් සිතුවිලි මඩින්න.

ඉතින් පටන් ගන්න…

අත්තා’හි අත්තනෝ නාථෝ – කෝ’හි නාථෝ පරෝසියා
අත්තනා’ව සුදන්තේන – නාථං ලභති දුල්ලභං

‘තමන්ව රැකගත යුත්තේ තමා විසිනුයි. බාහිර කෙනෙක් කොහොමද ඔබට රැකවරණයක් වෙන්නේ. තමාව ධර්මය තුළ දමනය කරගත්තොත් ඔබට ඉතා දුර්ලභ රැකවරණයක් ලැබෙනු ඇති.’

(ධම්මපදය – අත්ත වර්ගය)

අති සාර්ථක උපක්‍රම පහකින් සිත පාලනය කරන හැටි ඉතාම සරලව මේ ලිපියෙන් ඔබට දැනගන්න ලැබුණා. ඉතින් පටන් ගන්න. එහේ මෙහේ දුවන සිත ‘ඔබ ඔබේ සිතෙන් ම පාලනය කරගන්න.’

අපගේ බුදුසමිඳාණන් වදාළේ (චිත්තං ගුත්තං සුඛාවහං) හිත ආරක්ෂා කළොත් සැප ලැබෙනු ඇති. (චිත්තං දන්තං සුඛාවහං) සිත දමනය කිරීමෙන් ද සැප ලැබෙන්නේ ය.

ඉතිං ඔබටත් මේ උපක්‍රම පහත් උපයෝගී කරගෙන සිත පාලනය කිරීමෙන් හැබෑම සැපයක් උපදවාගෙන සැනසිලිදායක සැපවත් ජීවිතයක් ගත කිරීමට වාසනාව ලැබේවා!

මහමෙව්නාව භාවනා අසපුවාසී ස්වාමීන් වහන්සේනමක් විසිනි