ලස්සන මල් වත්තක, ලස්සන ගං ඉවුරක, ලස්සනට ඈත පේන කඳු මුදුනක ජීවත් වෙන්න ලැබුණොත් ඔබ කැමති ද? ඔබ පමණක් නොවේ; සියලු දෙනාම වගේ කැමතියි ලස්සන තැනක ජීවත් වෙන්න. ඒ වගේ ලස්සන තැන් ගැන විස්තර අහනකොටත් හිතට දැනෙන්නෙ සතුටක්. නමුත් ඔබ දන්නවා ද? මෙම ලිපිය කියවන මොහොතේදීත් ඔබ අපවිත්‍ර, දුගඳින් යුතු, බය සහිත, දරුණු අමනුෂ්‍යයන් ඉන්න, බොහෝ දෙනා වැළපෙන අමුසොහොනක් ළඟ අසල කියවනවා වෙන්න පුළුවන්. සමහර විට අමු සොහොන ඇතුළේ ඉඳගෙන කියවනවා වෙන්නත් පුළුවන්. හිත කලබල කරගන්න එපා.

මේ ලිපිය දිගේ පහළට එන්න, එත​කොට ඔබට තේරේවි මේ කතාවේ තේරුම.

සියලු ලෝක අවබෝධ කළ සුගත තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ මේ සමාජයේ ඇතැම් අයගේ ස්වභාවය මේ වගේ කියලා.

“ඉධ භික්ඛවේ ඒකච්චෝ පුග්ගලෝ අසුචිනා කායකම්මේන සමන්නාගතෝ හෝති, අසුචිනා වචීකම්මේන සමන්නාගතෝ හෝති, අසුචිනා මනෝකම්මේන සමන්නාගතෝ, හෝති, ඉදමස්ස අසුචිතාය වදාමි. සෙය්‍යථාපි සා භික්ඛවේ, සීවථිකා අසුචි, තථූපමාහං භික්ඛවේ ඉමං පුග්ගලං වදාමි.”

“මහණෙනි, මෙහිලා ඇතැම් පුද්ගලයෙක් අපවිත්‍ර කාය කර්මයෙන් යුක්ත වූයේ වෙයි. (සතුන් මරමින්, සොරකම් කරමින්, වැරදි කාම සේවනය කරමින් සිටියි.) අපවිත්‍ර වචී කර්මයෙන් යුක්ත වූයේ වෙයි. (බොරු කීම, කේළාම් කීම, පරුෂ වචන කීම, හිස් වචන කීම ආදියෙන් යුතු වෙයි.) අපවිත්‍ර මනෝ කර්මයෙන් යුක්ත වූයේ වෙයි. (අනුන්ගේ දෙයට ආශා කිරීම, ක්‍රෝධ කිරීම, මිථ්‍යා දෘෂ්ටියෙන් යුතු වෙයි.) මෙය ඔහුගේ අපවිත්‍ර බව යැයි කියමි. මහණෙනි, යම් සේ ඒ අමු සොහොන අපවිත්‍ර වූයේ වෙයි ද, මහණෙනි, මම මේ පුද්ගලයා ද එබඳු අපවිත්‍ර බවට උපමා කොට කියමි.

මේ සමාජයේ ජීවත් වන බොහෝ දෙනා ඇවිදින අමුසොහොන් වගේ. ඔවුන් සමාජයට පෙන්නන්නේ පිරිසිදු ජීවිත ගත කරන උදවිය වගෙයි. සමාජය ඉදිරියේ අවිහිංසාව, සාමය ගැන කතා කරන නමුත්, වංචාව, දූෂණය, අසාධාරණය ගැන ලෝකයට ඇහෙන්න යටිගිරියෙන් කියන නමුත්, අන් අයගේ වැරදි හුවා දක්වා ඇඟිල්ල දික් කර අන් අයට චෝදනා කරන නමුත් ඔවුනුත් සිටින්නේ කාය, වචී, මනෝ දුෂ්චරිතයේ ම යි.

බොරුව, කේළම, පරුෂ වචන, හිස් වචන දියුණුවේ දොරටු බවට පත් වෙලා. තමන්ගේ නම්බුව රැකගන්න, තමන්ගේ තත්ත්වය රැකගන්න, අනුන් රවටන්න, තමන්ගේ අතින් සිදු වෙච්ච වැරදි වහගන්න, මිනිස්සු වචී දුෂ්චරිතයේ යෙදෙනවා. මේ වගේ කයෙන් වචනයෙන් අකුසල් කරන, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව, මිථ්‍යාදෘෂ්ටිය පතුරවන අය ද මිනිසුන් අතර පැසසුම් ලබනවා. සමාජය ඒ ඇතැම් උදවිය ගැන මහා ඉහළින් කතා කරනවා. ඇතැම් මාධ්‍යවලට ඒ දුස්සීල මිනිසුන්ගේ පාපී විස්තර රසවත් කටගැස්මක්. ඒ මාධ්‍ය පැය ගණන් කාලය වෙන්කරගෙන මුළු සමාජයට ම ඒ විස්තර බෙදනවා.

නමුත් භාග්‍යවතුන් වහන්සේ වදාළේ ආර්ය විනයේ මේ සියලු දෙනා අපවිත්‍ර අමුසොහොන් බවයි.

අමුසොහොන් දුගඳ

කයින් වචනයෙන් මනසින් දුෂ්චරිතයේ යෙදෙන කෙනා බාහිර ලෝකයට පේන්න කොච්චර ලස්සන ඇඳුම් ආයිත්තම් ඇඳ පැලඳ සිටියත්, පළාතම සුවඳ කරන සුවඳ විළවුන් ගෑවත්, භාෂා හතර පහක් චතුර ලෙස කතා කළත්, උපාධි පිට උපාධි ගත්තත්, සමාජයේ වැදගත් යැයි සම්මත නිලතල දැරුවත් ගුණවතුන්ට ඔහුගේ සැබෑ ස්වභාවය හඳුනාගන්න අපහසු නැහැ. ගුණවතුන් අතර ඔහු ගැන ළාමක අපකීර්තියක් පැතිරිලා යනවා.

“සෙය්‍යථාපි සා භික්ඛවේ සීවථිකා දුග්ගන්ධා, තථූපමාහං භික්ඛවේ ඉමං පුග්ගලං වදාමි.”

“මහණෙනි, යම් සේ ඒ අමුසොහොන දුගඳ වූයේ වෙයි ද, මහණෙනි, මම මේ පුද්ගලයා ද එබඳු දුගඳ බවට උපමා කොට කියමි.”

අමුසොහොනේ බිය

කයින් වචනයෙන් මනසින් දුෂ්චරිතයේ යෙදෙන කෙනා ඇසුරු කිරීමෙන් නිතර දුක් කරදර විඳින්න සිදුවෙනවා. තමන්ගේ යම් හොඳ ගුණයක් තියෙනවා ද එය නැති වීමට එම ඇසුර බලපානවා. හරියට කුණු වෙච්ච මස් ටිකක් පිරිසිදු කොළයක එතුවා වගේ, ඒ කොළයත් කුණු ගඳ ගහනවා. ඒ නිසා, සිල් ගුණදම් වඩන සිල්වතුන් ගුණවතුන් මෙවැනි පුද්ගලයන්ගෙන් ඇතිවිය හැකි බිය දැකලා ඔවුන්ව ඇසුරෙන් ඈත් කරනවා.

“සෙය්‍යථාපි සා භික්ඛවේ සීවථිකා සප්පටිභයා, තථූපමාහං භික්ඛවේ ඉමං පුග්ගලං වදාමි.”

“මහණෙනි, යම් සේ ඒ අමු සොහොනෙහි බිය සහිත බව ඇත්තේ වෙයි ද, මහණෙනි, මම මේ පුද්ගලයා ද එබඳු බිය සහිත බවට උපමා කොට කියමි.”

අමනුෂ්‍යයන්ගේ නවාතැන

අපවිත්‍ර කාය කර්මයෙත්, අපවිත්‍ර වචී කර්මයෙත්, අපවිත්‍ර මනෝ කර්මයෙත් යෙදෙන කෙනා පවට ලැජ්ජා භය නැති, මෙලොව පරලොව විශ්වාස කරන්නේ නැති, පින පව හඳුනන්නේ නැති, කුසල් අකුසල් ගණන් ගන්නේ නැති තමන් වගේම පිරිහුන පව්කාරයන් සමඟ ආශ්‍රයට ප්‍රිය කරයි. ඔවුන් සමඟ අන් අයට වින කරන්න සැලසුම් කරයි. අන් අයගේ සතුට සොම්නස නැති කරන්නට මාන බලයි. තමන් නිසා දුකට පත් වී ඉන්නා අය දිහා බලා ළාමක සතුටක් විඳියි.

“සෙය්‍යථාපි සා භික්ඛවේ සීවථිකා වාළානං අමනුස්සානං ආවාසෝ, තථූපමාහං භික්ඛවේ ඉමං පුග්ගලං වදාමි.”

“මහණෙනි, යම් සේ ඒ අමුසොහොන දරුණු අමනුෂ්‍යයන්ට ආවාසය වූයේ වෙයි ද, මහණෙනි, මම මේ පුද්ගලයා ද එබඳු දරුණු ආවාසය ඇති බවට උපමා කොට කියමි.”

බොහෝ දෙනා වැළපෙන තැන

ත්‍රිවිධ දුෂ්චරිතයේ යෙදෙන සැමියෙක් සිල් ගුණදම් පුරන බිරිඳකට ලැබුණොත් ඇයට ජීවිත කාලයම හඬා වැළපෙන්නට සිදු වෙනවා. මෙවැනි දුස්සීල, නපුරු ගති ඇති බිරිඳක් සිල් ගුණදම් පුරන සැමියෙකුට ලැබුණොත් ඔහුගේ ජීවිත කාලය ම විඳව විඳවා ඉන්න වෙනවා. මෙවැනි පියෙක් ගෙදර හිටියොත් ඒ ගෙදර සියලු දෙනාගේ සතුට සොම්නස අහිමිව දුකෙන් ශෝකයෙන් කඳුළු පිරුණු නෙතින් ඉන්න වෙනවා. පාපී දුස්සීල මවක් ගෙදර හිටියොත් ඒ ගෙදර අමු සොහොනක් ම තමයි.

යම් කෙනෙක් දුස්සීල ව ඉන්නවා නම් සිල්වතුන් ගුණවතුන් ඔහු ගැන දැන ගත්තාම “අහෝ! අපට වූයේ දුකක්. අපට මෙබඳු පුද්ගලයන් සමඟත් වාසය කරන්න උනානේ.” කියා දොම්නසට පත් වෙනවා.

“සෙය්‍යථාපි සා භික්ඛවේ සීවථිකා බහුනෝ ජනස්ස ආරෝදනා, තථූපමාහං භික්ඛවේ ඉමං පුග්ගලං වදාමි.”

“මහණෙනි, යම් සේ ඒ අමුසොහොන බොහෝ දෙනාට වැළපීමට ස්ථානය වූයේ වෙයි ද, මහණෙනි, මම මේ පුද්ගලයා ද එබඳු වැළපෙන ස්ථානය බවට උපමා කොට කියමි.”

දැන් ඔබ මොහොතක් සිතන්න. අපවිත්‍ර වූ, දුගඳින් යුතු වූ, භය සහිත, දරුණු අමනුෂ්‍යයන් වාසය කරන, බොහෝ දෙනා හඬා වැළපෙන අමුසොහොන් ලක්ෂණ ඔබ තුළ තියෙනවා ද කියලා. ඔබ තුළ මෙවැනි පාපී ලක්ෂණ තියෙනවා නම් සිදුවිය යුත්තේ දුක් වීම – පසුතැවීම නොව, ‘මා තුළ මෙවැනි පාපී ලක්ෂණ තියෙනවා’ කියලා හඳුනාගැනීම. හඳුනාගෙන එම අකුසල් නැති කරන්න වීර්යය, උත්සාහය ගැනීම.

කාසිපනං වෙනුවෙන් සල්ලාලයන්ට තම කය කෙළිබඩුවක් කරලූ පාපී ජීවිත ගත කළ ස්ත්‍රීන් බුදු සසුනෙහි පිහිට පිළිසරණ ලබාගෙන සීල, සමාධි, ප්‍රඥා සම්පූර්ණ කර විමුක්තිය නැමැති වස්ත්‍රය පොරවා නිවන් මගේ සැනසුනා.

බණ අහන්නට එන සිල්වතුන්ගේ පසුම්බි හොරකම් කරපු ගැටකපන්නන්, මිනිසුන් දහස් ගණන් මරපු මිනීමරුවන්, බේබද්දන්, මංකොල්ලකාරයන් තමන් ගත කරපු පව්කාර ජීවිතයනට සමු දී තුනුරුවන් සරණ ගොස් දහමට දිවි පුදා ආර්ය භූමියේ උපන්නා.

එනිසා, ඔබේ හිතෙත් සීලය නමැති වෙරළ මැනැවින් හදාගන්න. එතකොට හිත ඇතුළේ මහා රළ ගෙඩි මෙන් අකුසල් නැගී ආවත් ඒ රළගෙඩිවලට වෙරළ ඉක්මවා යන්නට බෑ. මේ විදිහට ධර්මයට පුළුවන් පාපී පුද්ගලයන් සිල්වතුන් කරවන්න. දුෂ්ට සිත් තියන අය කරුණාවන්තයින් කරවන්න. නිරයගාමී අය සුගතියේ උපද්දවන්න. එනිසා බුද්ධ රත්නය, ධර්ම රත්නය, ආර්ය මහා සංඝරත්නය හදවතින් සරණ යන්න. සමාදන් වන සීලය දිවි දෙවැනි කොට ආරක්ෂා කරන්න. එතකොට ඔබටත් මේ බුද්ධ ශාසනයේ ප්‍රතිඵල ලබන්නට පුළුවනි.

සටහන – රුමේෂ් රූපසිංහ