වෙසක් පොහෝ දින දිනූ සේක ලොව බුද්ධ දිවාකරයාණෝ…

අපගේ ශාස්තෘ වූ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වය පිණිස සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පුරාවට උතුම් සමතිස් පාරමී ධර්මයන් පූරණය කළ සේක. ඒ මහා පුණ්‍ය මහිමය නිසාවෙන් දෙතිස් මහා පුරිස් ලකුණින් සමලංකෘත පින් සිරුරක් දරා වැඩසිටි සේක. එමෙන්ම ගුරු උපදේශ රහිතව චතුරාර්ය සත්‍යය පරිපූර්ණ ලෙස අවබෝධ කොටගෙන අපමණ ඤාණ බලයෙන් ද ගුණ බලයෙන් ද එමෙන්ම ඍද්ධිබල ඤාණයන්ගෙන් ද සමන්විතව වැඩසිටි සේක. ඒ අතර තථාගත ශ්‍රී ශරීරයෙන් එකවර ගිනිජාලා සහ ජලදහරා විහිදුවන යමක මහා ප්‍රාතිහාර්ය ඤාණය සුවිශේෂී වූවකි. ශ්‍රාවකයන් හා සාධාරණ නොවූ භාග්‍යවතුන් වහන්සේට පමණක් ආවේණික එම යමක මහා ප්‍රාතිහාර්ය පෑ ප්‍රධාන අවස්ථා තුනක් ධර්මයේ සඳහන් වේ.

1. සම්බුද්ධත්වය ලබා සතියක් ගතවූ තැන දෙව්බඹුන්ගේ සැක දුරු කරනු පිණිස ජය ශ්‍රී මහා බෝධි මූලයේ ඉහළ අහසේදී.

2. සම්බුද්ධත්වයෙන් දෙවන වර්ෂයේදී ඤාතීන්ගේ මානය දුරු කිරීම පිණිස ශාක්‍ය දේශයේ කිඹුල්වත් පුර අහස්කුසේදී.

3. තීර්ථකයන් දමනය කිරීම පිණිස සැවැත් නුවර ගණ්ඩම්බ රුක සමීපයේ ආකාශයේදී.

මේ අසිරිමත් යමාමහ පෙළහර පිළිබඳව ඛුද්දක නිකායේ පටිසම්භිදා මග්ග පොත් වහන්සේගේ සඳහන් වන්නේ මෙලෙසිනි.

(කතමං තථාගතස්ස යමක පාටිහීරේ ඤාණං?) තථාගතයන් වහන්සේගේ යමක ප්‍රාතිහාර්යය ඤාණය කවරේ ද යත්? (ඉධ තථාගතෝ යමකපාටිහීරං කරෝති අසාධාරණං සාවකේහි) මෙහිලා තථාගතයන් වහන්සේ ශ්‍රාවකයන් හා සාධාරණ නොවූ යමක ප්‍රාතිහාර්යය කරන සේක.

තථාගතයන් වහන්සේගේ ශ්‍රී සම්බුද්ධ ශරීරයෙහි උඩුකයින් ගිනිජාලා පතුරවන සේක. යටිකයින් ජලදහරා පතුරවන සේක. එමෙන් ම යටිකයින් ගිනිජාලා පතුරුවන සේක. උඩුකයින් ජලදහරා පතුරුවන සේක. ඉදිරිපස කයින් ගිනිජාලා පතුරුවන සේක. පසුපස කයින් ජලදහරා පතුරුවන සේක. යළි ඉදිරිපස කයින් ජලදහරා පතුරුවන සේක. පසුපස කයින් ගිනිජාලා පතුරවන සේක. දකුණු ඇසින් ගිනිජාලා පතුරවන සේක. වම් ඇසින් ජලදහරා පතුරවන සේක. යළි දකුණු ඇසින් ජලදහරා පතුරවන සේක. වම් ඇසින් ගිනිජාලා පතුරවන සේක. දකුණු කන්සිළෙන් ගිනිජාලා පතුරවන සේක. වම් කන්සිළෙන් ජලදහරා පතුරවන සේක. යළි වම් කන්සිළෙන් ගිනිජාලා පතුරවන සේක. දකුණු කන්සිළෙන් ජලදහරා පතුරවන සේක. දකුණු නැහැසිළෙන් ගිනිජාලා පතුරවන සේක. වම් නැහැසිළෙන් ජලදහරා පතුරවන සේක. යළි වම් නැහැසිළෙන් ගිනිජාලා පතුරවන සේක. දකුණු නැහැසිළෙන් ජලදහරා පතුරවන සේක. දකුණු උරහිසින් ගිනිජාලා පතුරවන සේක. වම් උරහිසින් ජලදහරා පතුරවන සේක. යළි වම් උරහිසින් ගිනිජාලා පතුරවන සේක. දකුණු උරහිසින් ජලදහරා පතුරවන සේක. දක්ෂිණ ශ්‍රී හස්තයෙන් (දකුණු අතින්) ගිනිජාලා පතුරවන සේක. වාම ශ්‍රී හස්තයෙන් ජලදහරා පතුරවන සේක. යළි වම් අතින් ගිනිජාලා පතුරවන සේක. දකුණු අතින් ජලදහරා පතුරවන සේක. තථාගත ශ්‍රී ශරීරයේ දකුණු පසින් ගිනිජාලා පතුරවන සේක. වම් පසින් ජලදහරා පතුරවන සේක. යළි වම් පසින් ගිනිජාලා පතුරවන සේක. දකුණු පසින් ජලදහරා පතුරවන සේක. දකුණු පාදයෙන් ගිනිජාලා පතුරවන සේක. වම් පාදයෙන් ජලදහරා පතුරවන සේක. යළි වම් පාදයෙන් ගිනිජාලා පතුරවන සේක. දකුණු පාදයෙන් ජලදහරා පතුරවන සේක. ඇඟිලිවලින් ගිනිජාලා පතුරවන සේක. ඇඟිලි අතරින් ජලදහරා පතුරවන සේක. යළි ඇඟිලි අතරින් ගිනිජාලා පතුරවන සේක. ඇඟිලිවලින් ජලදහරා පතුරවන සේක. ලෝමවලින් ගිනිජාලා පතුරවන සේක. ලෝමකූපවලින් ජලදහරා පතුරවන සේක. යළි ලෝමකූපවලින් ගිනිජාලා පතුරවන සේක. ලෝමවලින් ජල දහරා පතුරවන සේක. එමෙන් ම නිල්, කහ, රතු, සුදු, තැඹිලි, ප්‍රභාෂ්වර (නීල, පීත, ලෝහිත, ඕදාත, මාඤ්ජිෂ්ඨ, ප්‍රභාෂ්වර) යන ෂඞ්වර්ණ රෂ්මිමාලා විහිදුවන සේක.

අසිරිමත් ය ඒ භාග්‍යවතාණෝ….

(සෘද්ධියෙන් තවත් බුදුරුවක් මවා) භාග්‍යවතුන් වහන්සේ සක්මන් කරන සේක. නිර්මිත බුදුරුව සිටගෙන සිටියි, වාඩි වී වැඩ සිටියි, නො එසේ නම් සැතපෙයි. භාග්‍යවතුන් වහන්සේ වාඩි වී සිටින සේක. නිර්මිත බුදුරුව සක්මන් කරයි, සිටගෙන සිටියි, නො එසේ නම් සැතපෙයි. භාග්‍යවතුන් වහන්සේ සැතපී සිටින සේක. නිර්මිත බුදුරුව සක්මන් කරයි, සිටගෙන සිටියි, නො එසේ නම් වාඩි වී සිටියි. නිර්මිත බුදුරුව සක්මන් කරයි. භාග්‍යවතුන් වහන්සේ වාඩි වී වැඩ සිටින සේක, සිටගෙන සිටින සේක, නො එසේ නම් සැතපී සිටින සේක. නිර්මිත බුදුරුව සිටගෙන සිටියි. භාග්‍යවතුන් වහන්සේ සක්මන් කරන සේක, වාඩි වී සිටින සේක, නො එසේ නම් සැතපී සිටින සේක. නිර්මිත බුදුරුව වාඩි වී සිටියි. භාග්‍යවතුන් වහන්සේ සක්මන් කරන සේක, සැතපී සිටින සේක, නො එසේ නම් සිටගෙන සිටින සේක. නිර්මිත බුදුරුව සැතපී සිටියි. භාග්‍යවතුන් වහන්සේ සක්මන් කරන සේක. සිටගෙන සිටින සේක. වාඩි වී හෝ සිටින සේක.

මේ තථාගතයන් වහන්සේගේ යමක ප්‍රාතිහාර්යය ඤාණය යි. (ඉදං තථාගතස්ස යමකපාටිහීරේ ඤාණං)
(පටිසම්භිදාමග්ග – ඛුද්දක නිකාය)

වඳිමු සුගත ශාක්‍යසීහ සසර දිනූ බුදුපියා…

යමක මහා ප්‍රාතිහාර්ය පාන්නා වූ තථාගතයන් වහන්සේගේ ප්‍රාතිහාර්ය බලයෙන් ම කෙස්, අක්ෂි ආදී නිල් ස්ථානයන්ගෙන් නීල රශ්මීහු නික්මෙත්. අහස්තලය අඳුන් විසුරුවන ලද්දක් මෙන් ද, නිල් පැහැති උම්මාපුප්ඵ හා නිලුපුල් පෙතිවලින් වැසුණාක් මෙන් ද සෙලවී වැටෙන මැණික් තල් නටුවක් මෙන් ද විසුරුවන ලද මොණර ඇස්පිලෙන් තැනූ වස්ත්‍රයක් මෙන් ද දිස්වේ. චර්මයෙන් ද අක්ෂීන්ගෙන් ද කහ පැහැති ස්ථානයන්ගෙන් කහ රශ්මීහු නික්මෙත්. දිසා ප්‍රදේශ රන්රස විසුරුවන්නාක් මෙන් ද රන් වස්ත්‍ර දිගහරින ලද්දාක් මෙන් ද කොකුම් චූර්ණ කිණිහිරි මලින් ගැවසී ගත්තාක් මෙන් ද බබළති. මස් ලේ හා අක්ෂීන්හි රත්පැහැ ස්ථානයන්ගෙන් ලෝහිත (රත්) රශ්මීහු නික්මෙත්. හාත්පස රත්සිරියල් චූර්ණයෙන් වර්ණ ගැන්වූ ආකාරයෙන් ද මනාව ඉදුණු දියකළ ලාකඩ රස ඉසින්නාක් මෙන් ද රත් කම්බිලියකින් වටකළාක් මෙන් ද දෑසමන් එරබදු වද යන මල්වලින් ගැවසී ගත්තාක් මෙන් ද බබළති. අස්ථීන්ගෙන් ද දන්තයන්ගෙන් ද නේත්‍රයන්හී ශ්වේත (සුදු) ස්ථානයන්ගෙන් ද ශ්වේත රශ්මීහු නික්මෙති. දිසා ප්‍රදේශ රිදී පර්වත මුදුන්වලින් ඉසිනු ලබන ක්ෂීරධාරා ගැවසී ගත්තාක් මෙන් ද දිගහරින ලද රිදී වියනක් මෙන් ද පතිතවන රිදී තල්නැටි මෙන් ද කොද සුදුමානෙල් නික සමන් දෑසමන් ආදී පුෂ්පයන්ගෙන් ගැවසී ගත්තාක් මෙන් ද බබළති. අත්ල, පතුල ආදී මඳ රතු ස්ථානයන්ගෙන් මදටිය පැහැති රශ්මීහු නික්මෙත්. හාත්පස පබළු දැලකින් වටකළාක් මෙන් ද රතු කටුකරඬු විසිරවූවා මෙන්ද බබළති. සියුම් රෝම නිය ආදී ප්‍රභාස්වර ස්ථානයන්ගෙන් ප්‍රභාස්වර රශ්මීහු නික්මෙති. දිසා ප්‍රදේශ තරු රාශියකින් විසුරුණාක් මෙන් ද විදුලි පටලයකින් පිරුණාක් මෙන් ද බබළති.
(පටිසම්භිදාමග්ග අට්ඨ කථා – යමක ප්‍රාතිහාර්යඤාණ නිර්දේශය)

අහසේ පෙළහර පෑ මුනිඳාණෙනි වන්දේ…

මේ අසිරිමත් පෙළහර මුල්ම වතාවට ගයාවේ ජය ශ්‍රී මහා බෝධිය සමීපයේ ඉහළ ආකාශයේ පෑ මොහොතේ සම්බුද්ධත්වය ලැබීදෝ – නොලැබීදෝ යැයි දෙව් බඹුන් තුළ වූ සැක සංකා මුළුමනින්ම පහව ගොස් අපමණ ශ්‍රද්ධාවටත් ප්‍රීතිප්‍රමෝදයටත් පත්වූහ. දෙවන වර කිඹුල්වත්පුර ඉහළ අහසේදී යමාමහපෙළහර පෑ මොහොතේදී ශාක්‍යයන් මන් සිඳගෙන සිය අසහාය ශාක්‍යමුනීන්ද්‍රයන් වහන්සේට වන්දනා මානන කොට තෙරුවන් සරණ ගියහ. තෙවනවර ගණ්ඩම්බ රුක්ඛ මූලයේදී මෙම විස්මිත පෙළහර පා සදහම් දෙසූ මොහොතේ අසූ කෙළක් ප්‍රාණීහු ධර්මාවබෝධයෙන් නිවී සැනසුනහ.

භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පා වදාළ පසුව ද සම්බුද්ධ අධිෂ්ඨානය පරිදි ස්වර්ණමාලී සෑ මළුවේ ද ථූපාරාමයට ඉහළ ආකාශයේ ද මේ අසිරිමත් විස්මිත පෙළහර සිදුවූ අසිරිය මහාවංශයේ සඳහන් වන්නේ මෙලෙසිනි.

“ස්වර්ණමාලී සෑ මළුවේදී ධාතූන් වහන්සේලා වැඩසිටි ඒ ධාතු කරඬුව ගාමිණී අභය රජතුමාගේ හිසෙන් අහසට පැන නැංගේය. තල් ගස් හතක් උසට අහසේ වැඩසිටියේය. ඉබේටම කරඬුව විවෘත වී ධාතූන් වහන්සේලා අහසට වැඩ මහා පුරුෂ ලක්ෂණ, අසූවක් අනුව්‍යංජනයෙන් බබලන බුදුරජාණන් වහන්සේගේ හැඩය ගත් සේක.

ගණ්ඩබ්බ රුක්මුල යමා මහ පෙළහර පෑ සෙයින් ම අනුරපුර අහස් තලයෙහි යමා මහ පෙළහර දක්වා වදාළ සේක. ඒ සොඳුරු පෙළහර දැකීමෙන් බුද්ධානුස්සතිය වඩා සමාහිත සිතින් එතන සිටි දෙවි මිනිස්සු දොළොස් කෝටියක් අරහත් ඵලයට පත්වූහ. අනිත් මාර්ගඵලයන්ට පත්වූ දෙව්මිනිස් පිරිස ගණන් කිරීම් ඉක්මවා ගියේය. ඉන්පසු ඒ ධාතූන් වහන්සේලා බුද්ධ ස්වරූපය අත්හැර නැවත කරඬුවෙහි වැඩසිටියහ.

(මහාවංශය – 31 පරිච්ඡේදය)

ථූපාරාම සෑ මළුවේදී ද දකුණු අකුධාතූන් වහන්සේ තල්ගස් සතක් පමණ උසට අහසට පැන නැගී යමක මහා ප්‍රාතිහාර්ය දක්වද්දී එයින් නික්මී ගය ගිනිජාලාවෙනුත්, ජලධාරාවෙනුත් මුළු ලංකාදීපය ම ආලෝකමත් විය, තෙමී ගියේය. මෙලෙස අපමණ බුද්ධානුභාවයෙන් යුතු අපගේ ශාස්තෘන් වහන්සේට හදපිරි නමස්කාරය වේවා!

 

– මහමෙව්නාව අසපුවාසී පින්වත් ස්වාමීන් වහන්සේ නමක් විසිනි

අසිරිමත් සම්බුදු නුවණ 01 ලිපිය සඳහා පිවිසීමට >> https://mahamegha.lk/2018/06/04/asirimath-sambudu-nuwana/