මිනිසෙකුගේ කායික ක‍්‍රියාවන්ට ද වචනයට ද සීමා මායිම් පැනවීමට හැකි වුව ද මිනිසෙකුගේ සිතුවිලිවලට සීමා මායිම් පැනවීමට නො හැකි ය. ඒ සිත් සැලෙන සුලූ ය; මොහොතින් මොහොත වෙනස් වන සුලූ ය. එවන් වූ සිත ද මනාකොට හික්මවන්නට හැකි අග‍්‍ර වූ ධර්මය සේවනය කරන්නට අපි භාග්‍යවන්ත වීමු. උතුම් ශ්‍රී සද්ධර්මය ජීවමානව වැඩ වෙසෙන වර්තමානයක සේ ම ඒ උත්කෘෂ්ට දහම මත පදනම් ව ගොඩනැගුන ඉතිහාසයක ද උරුමකරුවන් වීම සාඩම්බරයට කරුණක් නො වේ ද? අපට ඇත්තේ නිර්මල ගෞතම බුද්ධ රාජ්‍යය මත ගොඩනැගුන ඉතිහාසයකි…!

ශ්‍රී ලාංකිකයන්ගේ ජාතික නිදහස් දිනය දී අප මේ කථා කරන්නේ ඒ ඉතිහාසය තුළ නිවහල් භාවයෙන් සමලංකෘත වූ, සංක‍්‍රමණිකයන්ට ද ආක‍්‍රමණිකයන්ට ද කිසිසේත් අභියෝග කොට පැරදවිය නො හැකි වූ සිංහලයේ නිදහස් චින්තන ධාරාව පිළිබඳ ව ය.

ඉසුරින් පිරි රත්නද්වීපයට….

ශ්‍රී බුද්ධ වර්ෂ 339 වන විට හෙළදිව රජ කළේ අනුරාධපුරය අග නගරය කරගත් අසේල නම් ශ්‍රේෂ්ඨ පාලකයා ය. වසර විසි දෙකක් පුරා සේන හා ගුත්තික යන නාවිකයන්ගේ ග‍්‍රහණයෙන් බැට කෑ රට මුදාගත් වීර නරනිඳු ඔහු ය. සේන, ගුත්තික දෙදෙනා ව්‍යාකූල කළ රාජ්‍ය තන්ත‍්‍රය යළි නිරාකූල කොට පෙර පැවති දැහැමි රාජ්‍ය පාලනය ස්ථාපිත කරවන්නට තරම් වත් ප‍්‍රමාණවත් කාලයක් ගෙවෙන්නට පෙර අසේල රජුට සැහැසි ආක‍්‍රමණිකයෙකුට ගොදුරු වන්නට සිදු විය. ඒ, ඔහුගේ රාජ්‍ය පාලනය වසර දහයක කාලයක් සපුරමින් තිබූ බුද්ධ වර්ෂ 339 වැන්නේ දී ය.

ඒ කාලය වනවිට හෙළදිව අනුරාධපුරය වූ කලී ග‍්‍රීකයන් ද රෝමානුකයන් ද අරාබි ජාතිකයන් ද ආදි නොයෙක් වෙළෙන්දන්ගෙන් නිතර පිරී ගත් කේන්ද්‍රීය වාණිජ නගරයකි. දිවා රැය නො නිදන මේ වෙළඳ නගරය ගැනත්, රත්නද්වීපය ගැනත් පිටරැටියෝ නිතර නිතර කථා කළහ. නොයෙක් ඉසුරින් පිරී ගත් මේ දිවයින වනාහි ගනුදෙනු කිරීමට අපහසු, නො හික්මුණු ගෝත‍්‍රික ජනාවාසයක් යැයි, රත්නද්වීපය ගැන වෙළෙඳුන් නිතර පැවසූහ. එහෙත් කල් ගත වනවිට මෙය හුදු වෙළෙඳ උපක‍්‍රමයක් පමණක් බවත්, රත්නද්වීපය ඉසුරුබර දිවයිනක් සේ ම ධාර්මික මිනිසුන්ගේ වාසභූමියක් බවත් ලොව පතළ විය. එළාර නම් කාලිංගවාසී සැහැසි ඉන්දියානුවා මෙය අසා රත්නද්වීපය තමන්ට නතු කරගන්නට සටන් වැදුණේ ය. දේශය ධාර්මික වූ පමණින් ම එය යටත් කරගැනීම පහසු බව ඔහුගේ අදහස විය. යුද්ධයකින් දිනා සිටිය ද යුද්ධයකට සූදානම් කරගත් ශරීර රහිත වූ අසේල රජු ප‍්‍රබල සටනක් නො දීම එළාර හමුවේ මරණයට පත්විය. චෝළ සෙනෙවියෙකුගේ මාරක අසිපත් පහරකින් සිදුරු කෙරුණු පපුවෙන් රුධිරය වෑස්සෙද්දී අසේල රජු මේ උත්තම භූමිභාගයේ පැතිර ගිය ආශ්චර්යවත් බල මහිමය ආක‍්‍රමණික එළාර හමුවේ වචනයට නැගුවේ ය.

‘‘ඔබට වැරදුණා! යුද්ධයකට නුසූදානම් සාමකාමී මිනිසුන්ගේ රාජ්‍යයක් ඉක්මනින් ම අත්පත්කොට ගැනීමේ සතුට ඔබ ඉහින් කනින් භුක්ති විඳින බව පෙනෙනවා. ඒත් මතක තබා ගන්න. මෙය ඔබට වැරදීමක්….

ඇත්ත, මෙය සාංක‍්‍රමණිකයන් සනාථ කරන භූමියක් තමා, ඒත් කියන්න කණගාටුයි. මෙය ආක‍්‍රමණිකයන් අනාථ කරවන භූමියක්….”

මරණය පෙනි පෙනී සතුරු යුද නායකයා අභිමුව මෙවන් එඩිතර සිංහනාදයක් නගන්නට තරම් ඒ ශ්‍රේෂ්ඨ පාලකයා අභීත වූයේ, අද අපේ සටහනට තේමා වූ නිවහල් චින්තන සම්ප‍්‍රදායක අභිමානනීය උරුමය නිසාවෙනි.

කායික බලයෙන් යටපත් කළ හැකි වුව ද මානසික බලයෙන් මේ රට අභිබවා යා නො හැකි බව අවසාන වචනයෙනුත් සපථ කොට අසේල රජු මිය ගියේ ය. රජරට රාජධානියේ අනුරපුර අගනගරය සතුරන්ගෙන් මුදා ගන්නට තරම් යුද ශක්තියක් එකල මාගම රාජධානිය කරගත් කාවන්තිස්ස රජුට නො වී ය. කැලණිය ද ඒ වනවිට අරාජිකව තිබූ නිසාවෙන් වැඩි වෙහෙසක් නො දරා ම එළාර ලොව පතළ මේ වාණිජ නගරයේ ආධිපත්‍යය දැරුවේ ය. එළාරට එරෙහි ව අනුරපුර වැස්සෝ අවි ගත්තේ නැත. ඇතැමුන් මාගමට පලා ගිය ද බහුතරය එසේ පලා ගියේ ද නැත. කෝලාහලයන් නිමා වූ පසු ඔවුහු සුපුරුදු දිනචර්යාවේ ම පසුවූහ. එළාර රජ කෙනෙකු වශයෙන් මුහුණ පෑ ලොකුම අර්බුදය එළැඹියේ ඉන් පසුව ය.

හෙළදිව අතරමං වූ එළාරගේ දෙවිවරු

මේ නුවර වැසියන් නිතර පී‍්‍රති සහගත සිනහ මුහුණින් යුතු වූහ. කරුණාවෙන් තෙත්ව ගිය දෑස් ඇත්තන් වූ ඔවුන්ගේ ජීවිත තුළ එළාර මෙහි ගෙන ආ දෙවිවරුනට ඉඩක් වෙන් වූයේ නැත. එළාරගේ දෙවිවරුන්ට පමණක් නො වේ; අන් කිසිදු දේශාටකයෙකු හෝ වෙළෙන්දෙකු හෝ ගෙන ආ කිසිදු දෙවියෙකුට හෝ බඹෙකුට හෝ ශාස්තෘවරයෙකුට හෝ හෙළදිව වැසියන්ගේ ජීවිත ආක‍්‍රමණය කරන්නට හැකි වූයේ නැත. ආක‍්‍රමණිකයන් ද සංක‍්‍රමණිකයන් ද ඇදහූ ඒ සියලූ දෙවියන්ට ඉහළින් රැඳුනු, දේවාතිදේව වූ, බ‍්‍රහ්මාතිබ‍්‍රහ්ම වූ අපූර්ව මනුෂ්‍ය රත්නයක් කෙරෙහි ඔවුහු නො සෙල්වෙන චිත්ත ප‍්‍රසාදයක් ඇති කරගෙන සිටියහ…!

එසේ ම, දේවත්වය හෝ බ‍්‍රහ්මත්වය අවසන් ඉලක්කය කරගත් චින්තනයක් ඔවුන් වැළඳ ගත්තේ ද නැත. ඒ සියල්ල ඉක්මවා ගිය නිර්වාණ සම්පත්තිය ම සිංහලයෝ අපේක්ෂා කළහ. එයම ඉලක්ක කොට ගත් අපූර්ව සංස්කෘතියක්, සම්ප‍්‍රදායක්, ජීවන ක‍්‍රමයක් ඔවුහු ගොඩනගා ගත්හ. එනිසා එළාර ඇතුළු පිරිස ලක්දිව මුල් බැස පදිංචි වූව ද ඔවුන් ඇදහූ දෙවිවරු හෙළදිව අතරමං වූහ…!

ඔවුහු මනසින් සිරගත නො වූහ!

එපමණක් නො වේ; මේ ඉසුරුබර අපූරු දිවයිනේ විසූ ධාර්මික මිනිසුන් තමන් හා වාසයට ආ කිසිවෙකුට තමන්ගේ දේශයේ සිටින්නේ නම් තම චින්තනය කරපින්නා ගත යුතු යැයි නියෝග කළේ හෝ බල කළේ හෝ ඉල්ලා සිටියේ හෝ නැත…! මේ නිසා ම සිංහලයෝ නිවහල් වූ ද අවිහිංසක වූ ද අපූරු චින්තන ධාරාවක උරුමක්කරුවන් වූහ. ඔවුහු අපූරු මානසික සුවයක් අත්විඳින්නන් වූහ. කායික ව පැරදවිය හැකි වුව ද සිංහලයන් මානසික ව පැරදවිය නො හැකි බව එළාර වැනි ආක‍්‍රමණිකයන්ට තේරුම් ගියේ බොහෝ කල් ගතවුණු පසුව ය. එයට හේතුව හෙළදිව වැසියන්ගේ ඇට, මස්, ලේ, නහර දක්වා ම පැතිර ගිය නිවහල් චින්තනයේ අග‍්‍ර ඵලය වූ සම්බුදු දහමේ ආශ්චර්යවත් ගුණ ශෝභාව බව ඔවුන් තේරුම් ගත්තේ, ඒ දහම වෙනුවෙන් දිවි පුදන්නට වුව පසුබට නො වූවන් ආක‍්‍රමණිකයන්ගේ ආධිපත්‍යයට අභියෝග කළ පසුව ය.

ඒ සියලූ ආක‍්‍රමණිකයන්ට සටන් කරන්නට සිදු වූයේ හුදෙක් අවි ආයුධ සහිත වූ මිනිසුන් සමග පමණක් නො වේ; නිවහල් චින්තනයක් තුළ ගොඩනැගුණු සංස්කෘතිය ද සම්ප‍්‍රදාය ද ජීවන ක‍්‍රමය ද ඔවුන් විසින් පරාජය කොට යටත් කරගත යුතුව තිබුණි. රට යටත් කොට ගත්ත ද මේ නිවහල් ජීවන සම්මුතීන් සහමුලින් ම යටත් කරගන්නට කිසිදිනක ඔවුන්ට හැකි වූයේ නැත…! එළාරටවත්, කාලිංග මාඝටවත්, පෘතුගී‍්‍රසි – ලන්දේසි හෝ ඉංග‍්‍රීසි පාලකයන්ටවත් මේ චින්තන සම්ප‍්‍රදාය ජයගත හැකි වූයේ නැත.

ලෞකික ලෝකය තුළ ලෝකෝත්තර විමුක්තිය ඉලක්ක කරගත් සිත, කය, වචනය ඇත්තා වූ මිනිසුන්, ලෞකික ජීවනාභිලාෂයන් මුල් කොට ගත් ස්වකීය මානසික මට්ටමට සමරූපී කරන්නට ඔවුන් නො ගත් වෙහෙසක් නැත. එය සිදු නො කෙරෙන තාක් මේ දේශය සහමුලින් යටත් නො කෙරෙනා බව ඒ සියලූ ආක‍්‍රමණිකයෝ දැන සිටියහ. ඔවුහු සිය අරමුණ සඵල කර ගන්නට විවිධ උපක‍්‍රමයන් භාවිත කළහ.

යටත්විජිත මනසිකාරයක් තනන්නට…

ලේ වගුරුවාලූ යුද්ධයකින් පසු අනුරපුර අණසක පැතිරවූ ආක‍්‍රමණික එළාර පසු වූයේ සැකයකිනි. නිතර සිනහ මුව ඇති, ආගන්තුකයන් කෙරෙහි සැක බිය නොමැති, කිසිවෙකුට බාධා නො කරන මේ සිංහලයන් කවර හෝ මොහොතක ඔවුන්ගේ දහම ම පිළිපදින, ඔවුන් හා ආධ්‍යාත්මික සබැඳියාවක සිටින ඇතැම් ඉන්දීය පාලකයන් හා එක්ව ඔහුට එරෙහිව නැගී සිටිනු ඇති බව ඔහු විශ්වාස කළේ ය. එවැන්නක් වළක්වාලිය හැකි ආරක්ෂිත ක‍්‍රම දෙකක් එළාරට තිබුණි. එකක් නම් මේ වැසියන් මානසිකව වහලූන් කරගැනීම හෙවත් තමන්ගේ චින්තනය අනුව යන්නට ඔවුන් හුරු කිරීම ය. අනෙක නම් තමන් ඔවුන්ගේ චින්තනය අනුව යන්නෙක් බව ඔප්පු කිරීම ය.

පළමු වැන්න කිසිසේත් කළ හැක්කක් නො වුණේ එළාර දේවත්වයෙන් ඇදහූවන් මේ බිමේ සාමාන්‍ය පුරවැසියන් හට අසාමාන්‍ය හෝ අද්විතීය පිරිසක් නො වුණ නිසා ය. එනිසා අකැමැත්තෙන් හෝ එළාරට තෝරා ගන්නට සිදු වූයේ දෙවන ක‍්‍රමය යි. එළාර යනු තිරිසන් සතෙකුට වුව ද සිදුවන අසාධාරණයන්ට එරෙහි ව කවරෙකුට වුව ද දඬුවම් පමුණුවන ධාර්මික රජෙකු යැයි තහවුරු කරන්නට අස්රියට යටකොට වහුපැටියෙකු මරා දැමීයැයි ස්වකීය පුතුට ඔහු විසින් මරණ දඬුවම නියම කළ පුවතක් ඉතිහාසගත වූයේ ඒ නිසා ය. යුක්තියේ ඝණ්ටාව රජ මැදුරේ වාහල්කඩ එල්වා යුක්තිය පසිඳලූ රජෙක් වශයෙන් එළාර ගැන හැර වෙනත් කිසි රජකෙනෙක් ගැන වාර්තා වන්නේ නැත. එවැනි ප‍්‍රයෝගයන් යොදාවත් එළාර හට හෙළදිව වැසියන්ගේ මානසික බලයට බලපෑම් එල්ල කරන්නට හැකි වූයේ නැත. එළාර පරදවා ගාමණි අභය රජු හෙළදිව එක්සේත් කරලූයේ ඒ මහා ආධ්‍යාත්මික බලවේගය නිසාවෙන් ම ය.

දහම පළමු කොට – දිවිය දෙවැනි කොට…

පරාක‍්‍රම සමුද්‍රය, යෝධ ඇළ වැනි මහා වාරි කර්මාන්තයන් ද ස්වර්ණමාලි මහා සෑය වැනි ගෘහ වාස්තු නිර්මාණයන් ද සීගිරිය වැනි විස්මිත බල කොටු ද නිර්මාණය කළ අපේ මුතුන් මිත්තන් තුළ කිසිවකින් යටපත් කළ නො හැකි වූ ස්වාධීනත්වයක් පැවතීමේ එකම රහස වූයේ සම්බුද්ධ ශාසනයක උරුමය නම් වූ අග‍්‍රතම දෙය ඔවුන්ට ලැබී තිබීමත්, අන් කිසිවකට එය ඉක්මවා යන්නට තබා එයට සමීප වන්නටවත් නො හැකි වීමත් ය.

එළාර මෙන් උපායශීලීව සිංහලයන් නතු කරගන්නට අනිත් ආක‍්‍රමණිකයන් උත්සාහ දැරුවේ නැත. කාලිංග මාඝ සිතුවේ සියලූ වෙහෙර විහාර බිඳ දමා විනාශ කොට, හින්දු ධර්මය වැළඳ නො ගන්නා බොදුනුවන් ඝාතනය කිරීමෙන් මේ නිවහල් චින්තන ධාරාව වෙනස් කළ හැකි බව ය. යෝධයන් විසිදහසක් පිරිවරාගෙන සියලූ වෙහෙර විහාර සුණු විසුණු කරමින්, බොදුනුවන්ගේ අත් පා කපා දමමින් මහා බෞද්ධ සංහාරයක් කිරීමෙන් වුව ද ඔහුටත් එකී නිවහල් මානසිකත්වය සහමුලින් ම කනපිට හැරවිය හැකි වූයේ නැත.

චණ්ඩ මාරුතයේ නො සෙල්වෙන චින්තනය නිවහල්….

ඊටත් පසුව පැමිණි ආක‍්‍රමණිකයන් ඊටත් වඩා දරුණු ජන සංහාරයකට යොමු වූයේ ද මෙකී නිවහල් චින්තනය වනසා දමා කායිකව ද මානසිකව ද යටත්විජිතයක් බවට හෙළදිව පත් කිරීමේ අටියෙනි. මවගේ උකුලේ හුන් කිරි දරුවන් උදුරාගෙන, අහසට විසි කොට බයිනෙත්තුවෙන් ඇන මරා දැමීමෙන් වත්, තුවක්කු පහරින් වත්, පවුල් පිටින් වෙඩි තබා නසා දැමීමෙන් වත් ඔවුන්ට ද එය කළ නො හැකි විය. ආගම වෙනස් කිරීමට අකැමැති වූ කාන්තාවන්ගේ ගෙලේ වැලි කළයක් ගැට ගසා බෝගම්බර වැවේ බිසෝ කොටුවේ ගිල්වා මරා දැමුව ද නිදහස්, නිවහල් චින්තන ධාරාව වෙනස් කිරීමට කිසිවෙකුට නො හැකි විය.

පංචශීලය සුරකිමින්, යහගුණ දම් වගා කරමින් සිංහලයන් පැමිණි ඒ දීර්ඝ ගමන තුළ නොයෙක් බලපෑම් සහ ආක‍්‍රමණ නිසාවෙන් යම් යම් පසුබෑම් ද නිහඬතාවයන් ද වාර්තා වූ නමුත් මේ දක්වා ම ඒ මහා ආධ්‍යාත්මික බලවේගය නො සිඳි ප‍්‍රවාහයක් ව ගලා එයි. රාජ රාජ මහාමාත්‍යවරුන් වූව ද ගොවිතැන් බත් කොට බත සරි කරගන්නා ගොවියෙක් පමණක් වූව ද ඒ සියල්ලන් ම මානසික ව අත්විඳින්නට උත්සාහ කළේ එකම සැපයකි. සෝවාන්, සකදාගාමී, අනාගාමී, අරහත් යන සතර මඟ සතර ඵලයන් ම ඔවුන්ගේ මානසික ඉලක්කයන් විය. ඒ හැර ඔවුන් රජවරු, සිටුවරු වන්නට පැතුවේ නැත. දෙව්, බඹ, මිනිස් අත්භව පැතුවේ ද නැත. මේ අපූරු සමාජ ක‍්‍රමය හිටි හැටියේ පැන නැගුණක් නො වේ. ස්වාධීන වූ සිතිවිලි සමුදායකට ලක්වැසියන් හැඩ ගැසීමේ ලා විප්ලවීය ආරම්භයක් තිබේ.

අඹතලයේ චින්තන විප්ලවය

ඒ මහා චින්තන විප්ලවය සිදු වූයේ ශ්‍රී බුද්ධ වර්ෂ 237 වැන්නේ පොසොන් පුන් පොහෝ දිනයේ ය. ධර්මාශෝක රජ පුත් මහා මහේන්ද්‍ර මහ රහතන් වහන්සේ සද්ධර්ම දායාදයෙන් හෙළදිව අභිෂේක කරවමින් අඹතල පව්ව මුදුනට සෘද්ධි බලයෙන් වැඩම කරවා දෙවන පියතිස් රජුගෙන් පැන විමසුවේ යම් මොහොතක ද ඒ මොහොත මේ නිවහල් භාවයේ සමාරම්භක මොහොත විය. ප‍්‍රඥවන්තයන්ට උරුම වූ දහමක් සරණ යන්නට ද ඒ දහම දරා ගන්නට ද ප‍්‍රඥවන්ත වූ හෙළදිව වැසියන් ශිෂ්ටාචාරය මත චින්තනය ගොඩ නගනු වෙනුවට, චින්තනය මත ශිෂ්ටාචාරය ගොඩ නැගීම ඇරඹුවේ එතැන් පටන් ය.

එයින් ඇරඹි ශිෂ්ටාචාරය සැබැවින්ම අපූරු එකකි. එහි සකලවිධ ක්ෂේත‍්‍රයන් පුරා පැතිර තිබුණේ අවිහිංසාවත්, ධාර්මික ජීවිත ගත කිරීමේ වුවමනාවත් ය. තණ්හාවෙන් පොදි බැඳ ගැනීම් එහි තිබුණේ නැත. ආශාවන් පසුපස ලූහුබැඳීම් එහි තිබුණේ නැත. ආගම, භාෂාව, වර්ණය, කුලය, ගෝත‍්‍රය යනාදි වශයෙන් බෙදා වෙන් කරගැනීම් එහි තිබුණේ නැත. ඒ  නිසා ම ආශාවන් ඉටු කරගන්නට උපකාර කිරීමෙන් වත්, කුලවාදී – ජාතිවාදී හැඟීම් අවුස්සාලීමෙන් වත් මෙරට වැසියන්ගේ මානසික ස්ථාවර භාවය බිඳ හෙළිය නො හැකි විය.

අවිහිංසාවේ දහමක සාඩම්බර උරුමකරුවෝ..

කුරා කුහුඹුවෙකුට වත් හිංසා කිරීම අනුමත නො කළ, පරම අවිහිංසාවාදී වූ ඔවුන්ගේ ධර්මය ඒ ජීවන ක‍්‍රමය පුරාවට මුසුව තිබුණි. පසෙහි වෙසෙනා ඇසට නො පෙනන තරමේ ක්ෂුද්‍ර ප‍්‍රාණියෙකුට වුව සිදුවිය හැකි හානිය වළක්වන්නට, උණු පැන් බිඳක් සිසිල් නො කොට බිමට නො හැළුවෝ ඔවුහු ය… විෂකුරු සතුන්ගේ විෂ නසන්නට මිස ජීවිතයක් හානි කරන්නට විෂ යොදා නො ගත්තෝ ඔවුහු ය… කුල දේවතාවන් නො වළඳවා ආහාර ගැනීම නො කරන්නට තරම් ගෞරව සම්පන්න වූවෝ ඔවුහු ය… ඒ සා නිර්මල, අහිංසක, අව්‍යාජ දිවි පෙවතකට සමීප විය හැකි දහමක් කිසිදු ආක‍්‍රමණිකයෙකු සතු වූයේ නැත.

ඒ ස්වාධීනත්වය පුරා අණසක පැතිරවූයේ ඔවුන් අසා, දැන, දරාගෙන හුන් සොඳුරු ශ්‍රී සද්ධර්මය යි. ඔවුන් සරණ ගිය උත්තම ශාස්තෘවරයාණන් වහන්සේ කිසිදිනක, කිසිවෙකුට බලපෑම් කිරීමෙන් ස්වකීය දර්ශනය පිළිනොගැන්වූහ. දහස් සංඛ්‍යාත ශ‍්‍රාවකයන් පිරිවරාගෙන පැවිද්ද අපේක්ෂාවෙන් උන්වහන්සේ වෙත ආ උරුවෙල් කාශ්‍යප වැනි ධර්ම ගවේෂකයන්ට උන්වහන්සේ වදාළේ ‘‘බොහෝ පිරිස් සහිත වූ ඔබ ඒ පිරිස ද සමඟ පළමු ව කතිකා කොට බුද්ධ ශාසනයේ පැවිදි වීම ගැන සලකා බලන්න” කියා ය. ජන සමූහයා විසින් උසස් කොට පිළිගන්නා ලද උපාලි ගෘහපති වැනි ප‍්‍රභූවරුන්ට ද උන්වහන්සේ වදාළේ ”සමාජයේ පිළිගත් අයෙකු වන ඔබ යළි යළිත් සිතා බලා, බුද්ධ ශාසනයේ ශ‍්‍රාවකත්වය දරා ගන්න” කියා ය. තර්ජන, ගර්ජන නැත; බලහත්කාරකම් නැත; උදම් ඇනීම් නැත… ආගන්තුකව පැමිණෙන කිසිවෙකුට හෙළදිව තුළ දී බුදුදහම වැළඳගන්න යැයි කියා බල නො කෙරුණේ ඒ ශාස්තෘත්වයේ පරමාදර්ශය නිසා ය.

දියෙන් කිරි වෙන්කරනා ස්වර්ණ හංසරාජයන් සේ…

එසේ ම ධර්මය – අධර්මය නිවැරදිව තෝරා බේරා ගැනීමේ මූලික ක‍්‍රමවේදය ශාස්තෘන් වහන්සේගේ ධර්මය තුළින් ඔවුහු මනාකොට දැන සිටියහ. තව කෙනෙක් කියූ පමණින් හෝ පරම්පරාවෙන් ආ පමණින් හෝ ඔවුහු කිසිදු මතවාදයක් පිළිගත්තේ නැත; එසේ ම පොත් පත්වල තිබූ පමණින් වත්, තර්කයට හෝ න්‍යායට ගැළපී ගිය පමණින් වත්, ‘මෙය ද නිවැරදියි’ කියා කරුණු සලකා බැලූ පමණින් වත්, සොයා බැලීමකින් තොරව මතවාදයකට බැස ගැනීමෙන් වත්, ‘එය ද නිවැරදියි – මෙය ද නිවැරදියි’ කියා ගැනීමෙන් වත්, ගුරුවරුන් – ශ‍්‍රමණයන් පැවසූ පමණින් වත් ඔවුහු මතවාදයක් පිළිගත්තේ නැත. එකම ශාස්තෘන් වහන්සේ සරණ යෑම නිසාවෙන් පූර්වයේ ඔවුන්ට ඤතී වූ කාලාම වැසියන් විසින්, අනුගමනය කළ යුතු ධර්මය තෝරා ගැනීම පිණිස භාවිත කළ, ශාස්තෘන් වහන්සේ අනුදැන වදාළ ධර්ම මාර්ගය ම ඔවුහු ද පිළිපැද්දහ. යම් ධර්මයක් රාග, ද්වේෂ, මෝහ දුරු කිරීම පිණිස වන්නේ නම්, විරාග, අදෝෂ, අමෝහ වැඞී වර්ධනය වීම පිණිස උපකාරී වන්නේ නම් ඒ ධර්මය කුසල් වර්ධනයටත්, අකුසල් ප‍්‍රහාණයටත් යොමු වූ දහමක් බව ඔවුන් දැන සිටියේ එහි ප‍්‍රතිඵලයක් ලෙස ය. ඒ නිසාවෙන් ම අවි අමෝරා ගත්, සතුන් යානා බවට පත්කරගත් ශාස්තෘවරුන් සහිත වූ, ධර්මයේ නාමයෙන් ලේ හැළීම වුව අනුමත කරලූ කිසිදු දහමකට හෙළදිව වැසියන්ගේ ජීවිත ආක‍්‍රමණය කළ නො හැකි විය. ලංකාද්වීපය කිසි කලෙක කායිකව ද මානසිකව ද සහමුලින් ම යටපත් කොට අත්පත්කරගත් දේශයක් බවට පත් කරගන්නට කිසිදු ආක‍්‍රමණිකයෙකුට නො හැකි වූයේ මේ නිසා ය.

නිදහස් මාවතේ සද්පාවාඩයයි ඔබ….

මේ නිවහල් චින්තන සම්ප‍්‍රදාය වර්තමානය වනවිට යම් යම් අර්බුදයන්ට ද වහල් මානසික භාවයන්ට ද ගොදුරු වී ඇති බව නො රහසකි. ඒ පසුබෑමට ද හේතුවක් තිබේ. කවර නිර්නායකයන්ගෙන් සලකා බැලූව ද මෙහි ලා හේතු වූ එකම කාරණය නම් මහා ශිෂ්ටාචාරයක, මහා සංස්කෘතියක, මහා ජීවන ක‍්‍රමවේදයක ගෞරවාර්හ හර පද්ධතිය නිවැරදිව ග‍්‍රහණය නො කිරීමෙන් ඇති වූ අපගමනයන් ය. ධර්මය ජීවිතවලින් බැහැර වූයේ යම් තරමකින් ද ඒ තරමින් ම හෙළදීපවාසීන් මානසික නිවහල් භාවයෙන් බැහැර වූහ…!

ධර්මය නිවැරදිව දරා සිටීම නිසා ස්වාධීන වූ අපේ මුතුන් මිත්තෝ එකල පිළිනොගත් නොයෙක් දෙවියන්, නොයෙක් මතවාදයන්, නොයෙක් දෘෂ්ටීන්, නොයෙක් ශාස්තෘවරුන් හෙළ බොදුනුවන්ගේ ජීවිත ආක‍්‍රමණය කළේ නො සැලෙන ප‍්‍රසාදයකින් ධර්මය පිළිගන්නට අප අසමත් වූ කාලයන්හි දී ය. සිහල ජාතියට පණ දුන් මේ ක්ෂීර උල්පත විනාශ කරන්නට එදා මෙදා තුර සියලූ ආක‍්‍රමණිකයන් නො මඳ වෙහෙසක් දැරුවේ ඒ නිසාවෙනි.

එහෙත්, මුල රැකෙන තාක් ඒ මත ගොඩනැගුන ජීවන සම්ප‍්‍රදාය විනාශ කළ නො හැකි ය. සාමාන්‍ය මනුෂ්‍ය චිත්ත ස්වභාවයන් ඉක්මවාලන ලෝකෝත්තර වැඩපිළිවෙළකට අනුගත වීමේ මහා භාග්‍යය ලද ජාතියක උත්කෘෂ්ට ශක්තිය ද එය ම ය. සැබෑ නිදහස නම් මේ මානසික නිවහල් භාවය තුළ අතුපතර නගා ප‍්‍රඥව අවදි කරවන උත්තම විමුක්ති අංකුරයේ උරුමය යි. සද්ධර්මයේ සේවනය ලද සද්ජනයාගේ සද්භාවයන් තුළ ලොව පුබුදුවාලන අඬහැරය වී, නිදහස් – නිවහල් හැඟුමින් සුපෝෂිත රටක් හදනා මඟ තුළ සද්පාවාඩය වන්නට ඉදින් අප පසුබට විය යුතු ද? නැත…! කිසිසේත් නැත…! මතු පරපුර වෙනුවෙන්, සම්බුදු දහම ජීවිතය තුළ දරාගෙන අප ඒ නිවහල් භාවයේ සද්පාවාඩය විය යුතු ම ය.

විශේෂ පුණ්‍යානුමෝදනාව – වැළලී යමින් තිබූ, නිවහල් චින්තන ප‍්‍රවාහයක ඓතිහාසික කථාපුවතක් ‘මහරජ ගැමුණු’ නමින් විශිෂ්ට ඓතිහාසික නවකථාවක් බවට පත්කළ ජයන්ත චන්ද්‍රසිරි ශූරීන්ට.

සටහන
උදුලා පද්මාවතී