මව්පියන් පුතෙකුට වඩා දියණියක්, රැකගත යුතු වස්තුවක් ලෙසයි දකින්නේ. ඇය සමාජයෙන් යම් නින්දාවක් ලැබුවොත් ඒ දියණිය කළ වරදට ඇයගේ අම්මා ඍජුව ම මුළු සමාජයේ ම අවමානයට, අපවාදයට ලක් වෙනවා. ඒ නිසා ම දියණියක් තමන්ගේ මෙන් ම තම මව්පියන්ගේත් ගෞරවය ආරක්ෂා කිරීමට බැඳී සිටිනවා. තරුණ දියණියක් ඇයගේ ජිවිතය පිළිබඳව කටයුතු කළ යුත්තේ කෙසේ ද? යන්න අප මහමෙව්නාව අනගාරිකා භාවනා අසපුවාසී පින්වත් මෑණියන් වහන්සේනමක් සමඟ මෙසේ සාකච්ඡා කළා.

අද සමාජයේ බොහෝ තරුණ දරුවන්ගේ ජීවන රටාව දෙස බැලුවොත් විටෙක ඒ ජීවිත ප්‍රචණ්ඩකාරී යි. තව විටෙක හැඟුම්බරයි. තවත් විටෙක සියුමැලියි. තව විටෙක සෙනෙහවන්තයි. මේ තරුණ දරුවන්ගේ ජීවිත ඒ මාපියන්ට, නෑයන්ට, අසල්වාසීන්ට, සමාජයට මෙන් ම රටටත්, ලෝකයටත් එක සේ වටිනවා.

ඔබ දන්නවා ජනප්‍රවාදයේ කතාවක් තිබෙනවා, එක් දරුවෙක් හිතුවක්කාරකමට කියනවා “අම්මේ, මට කැලයට යන්න ඕන” කියලා. අම්මා කියනවා “පුතේ, කැලයේ යන්න එපා. ඔයාට සුදුසු තැනක් නො වේ කැලය” කියලා. දෙවැනි තුන්වැනි වතාවේ දී අම්මා කියනවා “පුතේ, උඹ ව කැලේ ඉන්න කොටියා කයි. කැලේ යන්න එපා” කියලා. නමුත් ඒ හිතුවක්කාර පුතා කැලයේ යනවා. එවිට අම්මා කියනවා, “උඹ එහෙනම් කැලේ පලයන්. කැලේ ඉන්න කොටියා උඔ ව කාපිය.” කියලා. කැලේ දී ඔහු නොසිතූ ලෙස කොටියෙක් මුණගැසෙනවා. එතකොට මේ දරුවා ඇස් දෙක වසාගෙන හිතනවා, ‘අම්මා කටින් කී දේ සිදු නොවේවා! සිතින් සිතූ දෙය පමණක් සිදු වේවා!’ කියලා. ඒ අම්මා කටින් කුමක් කීව ද සිතින් සිතුවේ ‘මගේ දරුවාට අවඩැක් නොවේවා!’ කියලයි.

එලෙස මව්පියන් තුළ තිබෙන බ්‍රහ්ම විහරණ ගුණයන් අද දරුවන් අඳුනා ගන්නට අකැමැති ඇයි? ඒ ගුණ අඳුනා ගන්නට දක්ෂ නැත්තේ ඇයි? පින්වත් දරුවනේ, අප සරණ ගිය බුදුරජාණන් වහන්සේ වදාළේ මව්පියන් පූර්වාචාරීන් (මුල් ම ගුරුවරු දෙන්නා) ලෙසයි. ඇයි? අපට පුංචි කාලයේ සිට හැමදේ ම කියා දෙන්නේ අම්මයි තාත්තයි. අනලා බත් කට කන්න දන්නේ නැති අපට, කිරි ටිකක් බොන්න දන්නේ නැති අපට, ඇවිදින්න බැරි අපට නිතර ම ළඟින් ඉඳන් ගුරුහරුකම් දුන්නේ ඒ දෙන්නයි. පුංචි ඔබ ආපසු හැරී තමන්ගේ ජීවිතය දෙස බැලුවොත් ඔබට තේරෙයි අම්මා, තාත්තා ඔබට කෙතරම් රැකවරණයක් දෙනවා ද කියලා. ඇඬූ පමණින් කිරි පෙව්වා. අප ව නිදි කෙරෙව්වා. නැගිටින අවදියේ දී අපගේ අත අත්නොහැර අල්ලාගෙන සිටියා. ටිකෙන් ටික අපට නැගිටින්නට පුළුවන් වුණා ම ඒ හැමදේම අමතක කරනවා නම්, ඒ දරුවාට කොපමණ දුරක් යා හැකි වේ ද? පුංචි සන්දියේ අපගේ නින්ද වෙනුවෙන් ඔවුන්ගේ නින්ද දන් දුන්නා. කුසගින්නේ සිට අපගේ කුස පිරෙව්වා. ඒ සියල්ල ඇය එක් දිනක්, දින දෙකක්, මාසයක්, අවුරුද්දක් නො වේ කළේ. අප කෙතරම් ලොකු වුණත් ඇය ඔබ දෙස බලන්නේ රැකගත යුතු නිල් මැණිකක් ලෙසයි.

අද අප සමාජයේ සමහර දියණිවරු මව්පියන් තමන්ට කළ සියලු ම උපකාර අමතක කරලා කිසිම දිනක දැන නැති, අඳුන්නේ නැති පිරිමි ළමයෙක් නිසා අම්මාට බොරු කියනවා. අම්මා ව රුස්සන්නේ නැතිව යනවා. රැකගත යුතු සිල්පද හිතුමනාපයට කඩා දමනවා. එහෙම කරලා කවදා හෝ වැරදුන පසුව ඒ දියණියගේ ළඟින් සිටින්නේ ඒ අම්මයි තාත්තයි පමණයි. ඒ නිසා දියණියක් තේරුම් ගන්න ඕන ‘මම අම්මා තාත්තාගේ රැකවරණයේ ඉන්නේ’ කියලා. මව්පියන් දරුවන්ට මෛත්‍රිය යි (දරුවට හිතවත්), කරුණාව යි (දරුවාගේ දුකට අකමැතියි), මුදිතාව යි (දරුවාගේ සැපයට කැමැතියි), උපේක්ෂාව යි (මධ්‍යස්ථ යි). ඒ නිසා මව්පියන් දැනුම් තේරුම් තිබෙන අයයි. ඔවුන් වයසට ගියේ අත්දැකීම් සමඟ යි. ඒ අත්දැකීම් කවදාවත් මිල කරන්න බැහැ. අම්මා දියණියට යමක් “කරන්න එපා” කියනවා නම් ඒක නො කළ යුතුයි. මොකද එපා කියූ දේ කළොත් ඇයට කවදා හෝ හඬා වැටෙන්නට සිදුවෙනවා ම යි. අම්මා සැරවැර වෙනවා නම් දියණිය දැනගත යුතුයි මේ සියලු දේ ඇය කරන්නේ මට ආදරය නිසයි කියලා. ඔබ ව හදලා වඩලා, පෝෂණය කරලා මේ ලෝකය පෙන්වා දෙන්නේ ඔබේ මව්පියන්. එනිසා ඔබේ පාලනය ඔබ අතට ගන්න එපා. පිටින් තමන්ගේ ජීවිතයට ආ පිරිමි ළමයෙකුට දෙන්නත් එපා. ඔබේ පාලනය තිබෙන්නේ ඔබේ මව්පියන්ට යි. අමතර පන්තියේ දී, දුම්රියේ දී, බස් රථයේ දී ඔබට මුණගැසුණ තරුණයාට ඔබ ව හසුරුවන්න දෙන්න එපා. ඔහු නිසා අම්මාට තාත්තාට බොරු කියන්න එපා. වංචා කරන්න එපා. එසේ කළොත් එහි විපාකය ඔබට තනිව ම ගෙවන්නට සිදුවෙනවා.

සමහර දියණියන් අකීකරු, පාපී යෙහෙළියන් ඇසුරු කරනවා. අම්මා කියනවා “ඔයා ඒ යහළුවා ව ඇසුරු කරන්න එපා” කියලා. ඒත් දියණිය හිතනවා ‘මම ඒ අය ගැන දැනගෙනයි ඇසුරු කරන්නේ’ කියලා. නමුත් අම්මා කියන දේ හරි. බුදුරජාණන් වහන්සේ වදාළා දිගින් දිගට දිගින් දිගට කෙනෙක් ඇසුරු කරන විට හොඳ හෝ නරක ගතිගුණ අනෙක් කෙනාට සම්ප්‍රේෂණය වෙනවා කියලා. එහෙම නැත්නම් පාපී කෙනාගේ ඇසුර නිසා හොඳ කෙනා ගැනත් අපවාද පැතිරි යනවා. තම යෙහෙළියට ආදරවන්තයෙක් සිටිනවා නම් ආදරවන්තයෙක් නැති දියණිය සිතනවා ‘මටත් ආදරවන්තයෙක් සිටියා නම් හොඳයි’ කියලා. ඊ ළඟට අනවශ්‍ය කරදරයක පැටලෙනවා. ඊට පස්සේ මව්පියන් රවටනවා. “අමතර පන්ති යනවා” කියලා ආදරවන්තයා කතා කරන හැම තැන ම යනවා. අනෙක් දිනවල පන්ති ඇරිලා ගෙදර ආ දියණිය ඊට පස්සේ පන්ති නොයා චිත්‍රපටි බලන්න යනවා. විවේකී ස්ථානවලට යනවා. උද්‍යානවලට යනවා. ඇය සිතන්නේ ඔහු ළඟ තමයි තමන්ට අවශ්‍ය ආදරය, රැකවරණය තිබෙන්නේ කියලා. ඇයට වැරැද්ද නිවැරැද්ද එතැන් සිට තෝරා බේරා ගන්න නොහැකි වෙනවා.

ඒ වගේ ම දියණියක් දැන ගන්න ඕන තමන්ට ගැළපෙන විලාසිතා පමණක් කරන්න. ඔබගේ ඇඳුම කෙතරම් ඔබට ගැළපෙනවා ද කියා කණ්ණාඩියක් ඉදිරියට ගොස් බලන්න. ශරීරයේ වසාගත යුතු තැන් ඇඳුමෙන් හොඳින් ආවරණය වෙලා තිබෙනවා ද කියා බලන්න. ලැජ්ජාව සහ භය දියණියකට ආභරණයක්. විලාසිතා කරන්නට පෙර ඇඳුමක් ඇඳීමේ අවශ්‍යතාවය තේරුම් ගන්න. විලාසිතා නැති නම් අසංවර ඇඳුම නිසා අද සමාජයේ දියණියන් නැති කරදරවලට හසුවෙලා පීඩා විඳිනවා. එනිසා ම ළමා අපචාර, ස්ත්‍රී දූෂණ වැඩිවෙලා තිබෙනවා. ළමා ගර්භිණී මව්වරු වැඩිවෙලා. ඇඳුම කියන්නේ දියණියගේ ලස්සන වැඩි කරන දෙයක් කියලා අද බොහෝ දියණියෝ දන්නේ නැහැ. ඔබ තරුණ අවදියේ ඉන්නේ. එනිසා ම විලාසිතා කරන්න ආසයි. නමුත් තමන්ගේ සීමාව තෝරාගත යුතුයි.

ඇඳුම තිබෙන්නේ අපේ ශරීරයට උණුසුමෙන් සීතලෙන්, මැසි මදුරුවන්ගෙන්, අව්වෙන්, සුළඟින්, සර්පයන්ගෙන් ඇතිවන උවදුරුවලින් ආරක්ෂා වීමට යි. ඒ වගේ ම ශරීරයේ ලැජ්ජා ඇති තැන් වසා ගැනීමට යි. ඒ දේ නො දැන, නො තකා සමහර දියණිවරු අන් අයගේ රාගය, ඇතිකරන අරමුණක් වෙනවා. රාගය කියන්නේ මිනිස් සිතේ තිබෙන දුර්වලකමක්. සරාගී මනුස්සයා නිතර ම ඇවිස්සුන ස්වභාවයෙන් යුක්තයි. පුංචි දෙයක් ඇති ඔහුට ඇවිස්සී යන්න. එනිසා ඔබ සිතන්න ‘මම අන් අයගේ රාගය අවුස්සන අරමුණක් වෙන්නේ නැහැ’ කියලා. කවුරුත් කැමැති සංවර ගෑනු දරුවෙකුටයි. සංවර අම්මා ඉන්න දරුවා ඒ අම්මාට කැමැතියි. තමන්ගේ බිරිඳ සංවර නම් වැදගත් සැමියා කැමැතියි. තමන්ගේ පෙම්වතිය සංවර නම් වැදගත් පෙම්වතා කැමැතියි. එනිසා සංවරය මනින මිම්ම යි ඇඳුම කියන්නේ. ඒ නිසා දියණියක් නොගැළපෙන අනවශ්‍ය විලාසිතා කරන්න ගිහින් සමාජයේ විහිළුවක් වෙන්න එපා. ලෝකයා හිනස්සන්න එපා.

එනිසා ම ඔබ සමාජය දෙස විවර වූ දෑසින් බලන්න උත්සාහ කරන්න ඕන. තමන්ගේ විලාසිතා මෙන් ම තමන්ට පෙම්වතෙක් සිටිනවා නම් ඔහු පිළිබඳවත් විමසිල්ලෙන් ඉන්න ඕන. තමන්ගේ පෙම්වතා නිතර ම තමන්ට තනිවෙන්න කතා කරනවා නම්, විවේකී ස්ථානවලට යන්න කතා කරනවා නම් ඔහු පිළිබඳ ව සැලකිලිමත් වීම ඔබගේ වගකීම යි. ඔබේ පෙම්වතා අසභ්‍ය දේ නරඹනවා නම්, එවැනි දේ නරඹන්නට ඔබට කතා කරනවා නම්, බල කරනවා නම්, ඔහු සැබෑ ආදරවන්තයෙක් නො වෙයි. ඔහුගේ වචනය අහක දමන්න බැහැ කියා සිතා ඔබ ඔහුට අවනත වුණොත් අඳුරු ලොවක් උරුම වෙන්නේ ඔබට යි. ඔබ තවමත් අම්මා තාත්තා යටතේ ඉන්න කෙනෙක්. ඔවුන්ගේ ආදරය තිබෙද්දී නිතරම පෙම්වතා තනි වෙන්න කතා කරනවා නම්, ඔහු අවංක ව ම ඔබට ආදරය කරන කෙනෙක් නො වෙයි. දියණිය නිතර ම සිතට එන කාම සිතිවිලිවලට වසඟ නො වී බුද්ධියට කතා කරලා තීරණ ගත යුතු වෙනවා.

ආදරය සහ කාමය දෙකක් බව අවබෝධ කර ගැනීම ඔබගේ අනාගතයට යහපතක් වෙනවා. කාමයට වසඟ වූවොත් ඔබේ ජීවිතය අඳුරු වේවි. එදාට ඔබ තනි වෙනවා. තනියම අඬන්නට වෙනවා. ආපසු හැරි බලද්දී පසුතැවීම, දුක, වේදනාව පමණක් ඔබ ළඟ නතර වේවි. එනිසා තරුණ දුවෙක් වේවා පුතෙක් වේවා හොඳට මතක තබා ගන්න ඕන තමන් පුංචි පවක් වේවා ලොකු පවක් වේවා සිදු කළොත් මුළු ලෝකයා ම ඒක නො දැන සිටින නමුත් තමන්ගේ සිතට එය වසන් කළ නො හැකි බව. සිත විටින් විට, කලින් කල ඒ පිළිබඳ ව සිහිපත් කරවනවා. එවේලෙහි ‘මම අපරාදේ එහෙම කළේ. මට ඒ දේ නො කර ඉන්න තිබුණා’ යැයි සිතමින් නිතර ම පසුතැවීමට සිදු වූවොත් ඔබේ මුළු ජීවිතය ම අඳුරු වේවි. මව්පියන්ගේ සිතට මහා දුකක්, බරක් ගෙන දේවි. අම්මා තාත්තාට වංචා කරමින්, පෙම්වතාගේ අයුතු යෝජනාවලට යම් දුවක් කැමැත්ත පළ කළොත් ඇය වංචා කර ගන්නේ තමන්ට ම යි. විඳවිල්ල ඉතුරු කර ගන්නේ තමන්ට ම යි. කඳුළු සල සලා පසුතැවුනත් විසඳුමක් සොයන්න අපහසු වෙනවා. තමන්ගේ ජීවිතයට පිටස්තර ව ආ පුද්ගලයෙකු අනවශ්‍ය ලෙස විශ්වාස කිරීම ඔබට පාඩුවක් වෙනවා.

ඒ නිසා විශේෂයෙන් ම දියණියක් තමන්ගේ පෙම්වතා පිළිබඳ ව හොඳ අවධානයෙන් සිටින්න ඕන. ඔබ මඳක් නැවතී ඔහු දෙස බලන්න. හොඳින් අධ්‍යාපනය කළ ඔබට දැන් පාඩම් කරන්න කම්මැලි නම්, නිතර ම ඔහු දකින්න ඕන කියා සිතෙනවා නම්, අමතර පංති, පාසල් පාඩු කරගෙන ඔහු හා නොමනා ගමන් යනවා නම්, අම්මා තාත්තාට බොරු කියනවා නම්, වැඩිහිටියන්ට වංචා කරනවා නම්, නිතර ම ඔහු හා තනිවෙන්න හිතෙනවා නම් මගේ නොතිබුණු දුර්වල ස්වභාවයක් මොහු නිසා මතු වෙලා තිබෙනවානේ කියා වටහා ගැනීමට ඔබ දක්ෂ වෙන්න ඕන. සෑම තීරණයක් ම ගැනීමට පෙර දෙවරක් සිතන්න. නැවත නැවත සිතන්න. ‘මම මේ කරන දේ නිසා මගේ මව්පියන් දුක් වෙයි ද? මට බාල, වැඩිමහල් සහෝදරියන් සහෝදරයන් පසුතැවේ ද?’ කියා සිතන්න. පාපී ආශ්‍රය අඳුනා ගන්න. ඔබට එකවර ඔහු ව මැන ගන්නට අපහසු වේවි. නමුත් නතර වී තමන් දෙස තමන්ට බලන්න පුළුවන් නම් එතැන සිට හෝ ඔබගේ ජීවිත ජය ගන්නට ඔබට අවස්ථාව උදා වේවි.

එනිසා දෙවියන්ගේ ආශීර්වාදය, ඇල්ම බැල්ම ඔබට ලැබෙන්නේ ඔබ ඔබට අවංක නම් පමණයි. මව්පියන්ට කීකරු දියණියක් නම් පමණයි. ගුරුවර වැඩිහිටියන්ට ගරුකරන, වංචා නැති, පවට භය, සිල් පද පණ මෙන් රැක ගත් දියණියක් නම් පමණයි. එනිසා, ඔබ ගන්නා තීරණය ගැන නැවත නැවත සිතන්න. තවත් වරක් සිතා සිතට වහල් නො වී බුද්ධියට කතා කොට යම් තීරණයක් ගන්නවා නම් ඔබට පසුතැවීම, දුක, විඳවිල්ල උරුම නොවන බව නම් ඒකාන්තයි.

සාකච්ඡා කළේ – නයනා නිල්මිණි