අපගේ ශාස්තෘ වූ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් යුතුව, විස්මිත ප්‍රඥාවෙන් යුතුව පන්සාලිස් වසක් පුරාවට අමා නිවන් මග දේශනා කොට වදාළ සේක. භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පා වදාළේ තමන් වහන්සේ දේශනා කොට වදාළ ශ්‍රී සද්ධර්මයත්, පනවා වදාළ උතුම් විනය ප්‍රඥප්තිත් සිව්වනක් ශ්‍රාවක පිරිස උදෙසා ශාස්තෘත්වයේ තබා ය. ඒ බව මහා පරිනිබ්බාන සූත්‍ර දේශනාවේ දී ඉතා පැහැදිලිව මෙසේ සඳහන් ව ඇත.

“ආනන්දය, මා විසින් දෙසන ලද යම් ධර්මයක් වේ ද පනවන ලද යම් විනයක් වේ ද ඒ ධර්ම විනය මාගේ ඇවෑමෙන් ඔබට ශාස්තෘ වන්නේ ය.” (යෝ ඛෝ ආනන්ද මයා ධම්මෝ ච විනයෝ ච දේසිතෝ පඤ්ඤත්තෝ සෝ වෝ මමච්චයේන සත්ථා.)

එමෙන් ම තම ධර්ම විනය ශාස්තෘත්වයේ තබාලීම තවදුරටත් තහවුරු කරමින් පිරිනිවන් පෑමට සුළු කලකට පෙරාතුව භාග්‍යවතුන් වහන්සේ ඉතා වැදගත් අනුශාසනාවක් මෙලෙසින් සිදු කොට වදාළ සේක.

“මහණෙනි, මේ සතරක් වූ මහාපදේශයන් දේශනා කරන්නෙමි. එය අසන්න. මැනවින් මෙනෙහි කරන්න. පවසන්නෙමි.

01). මහණෙනි, මෙහිලා භික්ෂුවක් මෙසේ කියයි. ‘ආයුෂ්මතුනි, මේ කරුණ මා විසින් භාග්‍යවතුන් වහන්සේ හමුවේ අසන ලද්දේ ය. හමුවෙහි පිළිගන්නා ලද්දේ ය. ධර්මය යනු මෙයයි, විනය යනු මෙයයි, ශාස්තෘ ශාසනය යනු මෙයයි’ කියා ය. මහණෙනි ඒ භික්ෂුවගේ කියමන සතුටින් නොපිළිගෙන, ප්‍රතික්ෂේප නොකොට ඒ පද ප්‍රකාශයන් මැනවින් ඉගෙන සූත්‍රයෙහි බහා බැලිය යුත්තේ ය (සුත්තේ ඕතාරේතබ්බානි). විනයෙහි ලා සැසඳිය යුත්තේ ය (විනයේ සන්දස්සේතබ්බානි). ඉදින් ඒ භික්ෂුව ධර්ම-විනය ලෙස පවසන දෙය සූත්‍රයෙහි බහා බලද්දි, විනයෙහි ලා සසඳද්දී සූත්‍රයේ නොබැස ගනී නම්, විනයෙහි නොසැසඳෙයි නම්, ඒ පිළිබඳ නිෂ්ඨාවකට පැමිණිය යුත්තේ ය. ‘ඒකාන්තයෙන් මෙය භාග්‍යවතුන් වහන්සේගේ වචනයක් නො වේ. මේ භික්ෂුව විසින් වැරදි ලෙස ගන්නා ලද දෙයකි’ කියා ය. මහණෙනි, මෙසේ මෙය බැහැර කර දමන්න.

ඉදින් ඒ භික්ෂුව ධර්මය විනය ලෙස පවසන දෙය සූත්‍රයෙහි බහා බලද්දි, විනයෙහිලා සසඳද්දී සූත්‍රයෙහි බැස ගනී නම්, විනයෙහි සැසඳෙයි නම්, එහිලා නිෂ්ඨාවට පැමිණිය යුත්තේ ය. ‘ඒකාන්තයෙන් ම මෙය ඒ භාග්‍යවතුන් වහන්සේගේ වචනයකි. මේ භික්ෂුව විසින් මැනවින් ගන්නා ලද්දකි’ යි. මහණෙනි, මෙම පළමු මහාපදේශය මතකයෙහි රඳවා ගන්න.

02) මහණෙනි, මෙහිලා භික්ෂුවක් මෙසේ කියයි. ‘අසවල් ආවාසයෙහි ස්ථවිරයන් වහන්සේලා සහිත, ප්‍රමුඛයන් වහන්සේලා සහිත සංඝයා වහන්සේ වැඩවෙසෙති. මේ කරුණ මා විසින් ඒ සංඝයා හමුවෙහි අසන ලද්දේ ය. හමුවෙහි පිළිගන්නා ලද්දේ ය. ධර්මය යනු මෙයයි, විනය යනු මෙයයි, ශාස්තෘ ශාසනය යනු මෙයයි’ කියා ය. මහණෙනි, ඒ භික්ෂුවගේ කතාව සතුටින් නොපිළිගත යුත්තේ ය. එය ප්‍රතික්ෂේප නොකළ යුත්තේ ය. සතුටින් නොපිළිගෙන, ප්‍රතික්ෂේප නොකොට, ඒ පද ප්‍රකාශයන් මැනවින් ඉගෙන සූත්‍රයෙහි බහා බැලිය යුත්තේ ය. විනයෙහි සැසඳිය යුත්තේ ය…. (පෙර පරිදි ම ය)

03). මහණෙනි, මෙහිලා භික්ෂුවක් මෙසේ කියයි. ‘අසවල් ආවාසයෙහි බහුශ්‍රැත වූ උගත් සූත්‍රාන්තයන් ඇති ධර්මධර විනයධර මාතෘකාධර බොහෝ ස්ථවිර භික්ෂූහු වැඩවෙසෙති. මෙකරුණ මා විසින් ඒ තෙරුන් වහන්සේලා හමුවෙහි අසන ලද්දේ ය. හමුවෙහි පිළිගන්නා ලද්දේ ය. ධර්මය යනු මෙයයි, විනය යනු මෙයයි, ශාස්තෘ ශාසනය යනු මෙයයි’ කියා ය. මහණෙනි, ඒ භික්ෂුවගේ කතාව සතුටින් නොපිළිගත යුත්තේ ය. එය ප්‍රතික්ෂේප නොකළ යුත්තේ ය. සතුටින් නොපිළිගෙන, ප්‍රතික්ෂේප නොකොට, ඒ පද ප්‍රකාශයන් මැනවින් ඉගෙන සූත්‍රයෙහි බහා බැලිය යුත්තේ ය. විනයෙහි සැසඳිය යුත්තේ ය…. (පෙර පරිදි ම ය)

04). මහණෙනි, මෙහිලා භික්ෂුවක් මෙසේ කියයි. ‘අසවල් ආවාසයෙහි බහුශ්‍රැත වූ උගත් සූත්‍රාන්තයන් ඇති ධර්මධර විනයධර මාතෘකාධර එක් ස්ථවිරයන් වහන්සේනමක් වැඩවෙසෙති. මෙකරුණ මා විසින් ඒ තෙරුන් හමුවෙහි අසන ලද්දේ ය. පිළිගන්නා ලද්දේ ය. ධර්මය යනු මෙයයි, විනය යනු මෙයයි, ශාස්තෘ ශාසනය යනු මෙයයි’ කියා ය. මහණෙනි, ඒ භික්ෂුවගේ කතාව සතුටින් නොපිළිගත යුත්තේ ය. එය ප්‍රතික්ෂේප නොකළ යුත්තේ ය. සතුටින් නොපිළිගෙන, ප්‍රතික්ෂේප නොකොට, ඒ පද ප්‍රකාශයන් මැනවින් ඉගෙන සූත්‍රයෙහි බහා බැලිය යුත්තේ ය. විනයෙහි සැසඳිය යුත්තේ ය. ඉදින් ඒ භික්ෂුව ධර්ම-විනය ලෙස පවසන දෙය සූත්‍රයෙහි බහා බලද්දි, විනයෙහි ලා සසඳද්දී සූත්‍රයේ නොබැස ගනී නම්, විනයෙහි නොසැසඳෙයි නම්, ඒ පිළිබඳ නිෂ්ඨාවකට පැමිණිය යුත්තේ ය. ‘ඒකාන්තයෙන් මෙය භාග්‍යවතුන් වහන්සේගේ වචනයක් නො වේ. මේ භික්ෂුව විසින් වැරදි ලෙස ගන්නා ලද දෙයකි’ කියා ය. මහණෙනි, මෙසේ මෙය බැහැර කර දමන්න.

ඉදින් ඒ භික්ෂුව ධර්මය විනය ලෙස පවසන දෙය සූත්‍රයෙහි බහා බලද්දි, විනයෙහිලා සසඳද්දී සූත්‍රයෙහි බැස ගනී නම්, විනයෙහි සැසඳෙයි නම්, එහිලා නිෂ්ඨාවට පැමිණිය යුත්තේ ය. ‘ඒකාන්තයෙන් ම මෙය ඒ භාග්‍යවතුන් වහන්සේගේ වචනයකි. මේ භික්ෂුව විසින් මැනවින් ගන්නා ලද්දකි’ යි. මහණෙනි, මෙම සිව්වන මහාපදේශය මතකයෙහි රඳවා ගන්න.

මේ අනුව මහා කාරුණික භාග්‍යවතුන් වහන්සේ ඉතා ම පැහැදිලිව පෙන්වා දී ඇත්තේ ධර්ම විනය ලෙස අසන්නට ලැබෙන මතවාදයන් එක්වර ම පිළිනොගෙන, ප්‍රතික්ෂේප ද නොකොට සම්බුද්ධ දේශනා හා විනය ප්‍රඥප්තීන් සමඟ ගළපා බලා සසඳා බලන ලෙස ය. ඒ නමුත් පසුගිය වකවානුව පුරාවට දේශනා වශයෙන් ද පොත්පත් වශයෙන් ද අධර්මය අවිනය බහුල ලෙස සමාජගත විය. කිසිදු විමසා බැලීමකින් තොරව ම ඒවා අන්ධානුකරණයෙන් පිළිගන්නා බෞද්ධ නාමධාරීන් බැහැර කරන ලද්දේ ශාස්තෘන් වහන්සේ වදාළ ඉහත සතර මහාපදේශයන් ය. කිසිදු විමසා බැලීමකින්, ධර්ම විනයට සසඳා බැලීමකින් තොරව පිළිගත් අධර්ම අවිනය කරුණු කිහිපයක් පහත දැක්වේ.

* බුදුරජාණන් වහන්සේ පහළ වූයේ ලංකාවේ යැයි පවසමින් අමූලික අසත්‍යයක් ප්‍රචාරය කිරීම.

* රහතන් වහන්සේලාට විකාල භෝජනය කැපයි කියමින් ශාස්තෘ ගෞරවයෙන් තොරව, ශික්ෂා ගෞරවයෙන් තොරව අවිනයක් ඉස්මතු කිරීම.

* නිර්මාංශ ප්‍රතිපදාව සීලයක් වශයෙන් ද නිවන් මගට අත්‍යවශ්‍ය අංගයක් වශයෙන් ද හුවා දක්වමින් ධර්ම විනය බැහැර කරලීම.

* අනිත්‍ය දුක්ඛ අනාත්ම යන ත්‍රිලක්ෂණයට ද පටිච්චසමුප්පාද ධර්මයට ද සූත්‍ර දේශනාවල සඳහන් නොවන සාවද්‍ය වූ විකෘති අර්ථකථන ලබාදීම.

* සතරවරම් දෙවිවරුන්, සෙන්පති දෙවිවරුන් ලංකාවේ රජ කළ මිනිස් රජවරුන් යැයි අමූලික බොරු පැවසීම.

මේ, ඉන් කිහිපයකි. ශ්‍රද්ධාවන්ත, බුද්ධිමත් ගිහි-පැවිදි ශ්‍රාවකයන් ශාස්තෘන් වහන්සේගේ සතර මහාපදේශ අනුව කටයුතු කරමින් එම අසත්‍ය මතවාද බැහැර කළ අතර තම ශ්‍රද්ධාව ද සීලය ද කුසල් සිත ද සුගතිය ද නිවන් මග ද රැකගත්හ. පෘථග්ජනයන් බොහෝ දෙනකු එම වැරදි මතවාදවල ග්‍රහණය වී අධර්මය අවිනය වැළඳගෙන බලවත් අකුසල රැස් කරගත් අතර ආර්යෝපවාද සිදුකරමින් සුගතිය ද නිවන් මග ද අහිමි කර ගත්තෝ ය.

කෙලෙස ද එලෙසින් සිදු වූයේ…

බුදුරජාණන් වහන්සේ ජීවමාන යුගයේ දී ද ලාභ සත්කාරවලට යට වූ සිතින් දේවදත්ත, අරිට්ඨ ආදී පාපී භික්ෂූන් පිරිසිදු ධර්ම විනය බැහැර කොට අධර්මයත්, අවිනයත් ඉස්මතු කරමින් ශාසනික අර්බුද ඉපැද්දවූහ. වජ්ජිපුත්තක නම් භික්ෂු පිරිසක් භාග්‍යවතුන් වහන්සේ මහා කරුණාවෙන් පනවා වදාළ උතුම් විනය ශික්ෂාපද බැහැර කොට දස අකැප වස්තුවක් කැප යැයි සම්මත කිරීම හේතුවෙන්, රහතන් වහන්සේලා දෙවැනි ධර්ම සංගායනාව සිදු කළ සේක.

සුනක්ඛත්ත වැනි පාපී භික්ෂූන් සම්බුදු ගුණ පවා ප්‍රතික්ෂේප කොට පිරිස් මැද ප්‍රකාශයන් කොට නිරයගාමී බරපතළ අකුසල් රැස්කර ගත්හ. තවත් අවස්ථාවක දී සාති නම් භික්ෂුව විඤ්ඤාණය පිළිබඳ තමන්ට වැටහෙන අයුරින් විග්‍රහ කිරීමට ගොස් අධර්මය පවසමින් භාග්‍යවතුන් වහන්සේගෙන් අවවාද ලැබී ය. එම නිසා වර්තමානයේ දී ද අධර්මය අවිනය පවසමින් බොහෝ අකුසල් රැස්කර ගන්නේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාවලට ගිජු වූ, පහත් ආසා ඇති පාපී පුද්ගලයන් ය. නොඑසේ නම් දෙව් බඹුන්ගේ නම්වලින් පෙනී සිටින පහත් අමනුෂ්‍ය බලවේගයන්ගේ පණිවිඩවලට මුළා වීමෙන් ය. එසේත් නැති නම් සම්බුදු වදන්වලට පිටුපා තම තමන්ට වැටහෙන අයුරින් ධර්මය විනය විවරණයට යෑම නිසා ය. ඒ සෑම දෙනාම තමන්ටත්, අන් අයටත්, ශාසනයටත් මහත් විපතක් සිදු කරන හෙයින් ධර්මවාදීන් හා අධර්මවාදීන් වෙන්කොට හඳුනා ගැනීම ඉතා ම වැදගත් ය.

භාග්‍යවතුන් වහන්සේ මහා කරුණාවෙන් යුතුව එය ද ශ්‍රාවකයන් උදෙසා මෙසේ වදාරා ඇත.

“සාරිපුත්තයෙනි, අධර්මවාදී පුද්ගලයා හඳුනා ගැනීමට කරුණු දහඅටක් තිබෙයි, එම කරුණු 18 මෙසේ යි.

කිසියම් භික්ෂුවක්,

1. අධර්මය ධර්මය යැයි කියා දක්වයි නම් ඔහු අධර්මවාදියෙකි.

2. එසේ ම, ධර්මය අධර්මය යයි කියා දැක්වීම.

3. අවිනය විනය යි කියා දැක්වීම.

4. විනය අවිනය යි කියා දැක්වීම.

5. තථාගතයන් වහන්සේ විසින් දේශනා නොකළ දෙයක් තථාගතයන් වහන්සේ විසින් දේශනා කළ දෙයක් ය කියා දැක්වීම.

6. තථාගතයන් වහන්සේ විසින් දේශනා කළ දෙයක් තථාගතයන් වහන්සේ විසින් දේශනා නොකළ දෙයක් ය කියා දැක්වීම.

7. තථාගතයන් වහන්සේ විසින් පුරුදු නොකළ දෙයක් තථාගතයන් වහන්සේ විසින් පුරුදු කළ දෙයක් ය කියා දැක්වීම.

8. තථාගතයන් වහන්සේ විසින් පුරුදු කළ දෙයක් තථාගතයන් වහන්සේ විසින් පුරුදු නොකළ දෙයක් කියා දැක්වීම.

9. තථාගතයන් වහන්සේ විසින් නොපැනවූ දෙයක් තථාගතයන් වහන්සේ විසින් පැනවූ දෙයක් කියා දැක්වීම.

10. තථාගතයන් වහන්සේ විසින් පැනවූ දෙයක් තථාගතයන් වහන්සේ විසින් නොපැනවූ දෙයක් කියා දැක්වීම.

11. අනාපත්තිය ආපත්තියක් යැයි දැක්වීම.

12. ආපත්තිය අනාපත්තියක් යැයි දැක්වීම.

13. ලහුකාපත්තිය (කුඩා වරද) ගරුකාපත්තිය (බරපතළ වරද) කියා දැක්වීම.

14. ගරුකාපත්තිය ලහුකාපත්තිය කියා දැක්වීම.

15. සාවසේසාපත්තිය (පිළියම් සහිත වරද) අනවසේසාපත්තිය (පිළියම් රහිත වරද) කියා දැක්වීම.

16. අනවසේසාපත්තිය සාවසේසාපත්තිය කියා දැක්වීම.

17. දුට්ඨුල්ලාපත්තිය (සම්පූර්ණ වූ වරද) අදුට්ඨුල්ලාපත්තිය (සම්පූර්ණ නො වූ වරද) කියා දැක්වීම.

18. අදුට්ඨුල්ලාපත්තිය දුට්ඨුල්ලාපත්තිය කියා දැක්වීම.

මෙම කරුණු 18 මගින් අධර්මවාදී පුද්ගලයා හඳුනාගත යුතු බව භාග්‍යවතුන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේට දේශනා කොට වදාළ සේක. ඉන් අනතුරුව භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දුන්නේ ධර්මවාදී පුද්ගලයා හඳුනාගන්නා ආකාරයයි.

“සාරිපුත්තයෙනි, ධර්මවාදී පුද්ගලයා හඳුනාගැනීමට ද කරුණු දහඅටක් තිබෙයි. එම කරුණු 18 මෙසේ ය.

කිසියම් භික්ෂුවක්,

1. අධර්මය අධර්මය කියා දක්වයි නම් ඔහු ධර්මවාදියෙකි.

2. එසේ ම, ධර්මය ධර්මය යැයි දැක්වීම.

3. අවිනය අවිනය යැයි දැක්වීම.

4. විනය විනය යැයි දැක්වීම.

5. තථාගතයන් වහන්සේ විසින් දේශනා නොකළ දෙයක් තථාගතයන් වහන්සේ විසින් දේශනා නොකළ දෙයක් ය කියා දැක්වීම.

6. තථාගතයන් වහන්සේ විසින් දේශනා කළ දෙයක් තථාගතයන් වහන්සේ විසින් දේශනා කළ දෙයක් ය කියා දැක්වීම.

7. තථාගතයන් වහන්සේ විසින් පුරුදු නොකළ දෙයක් තථාගතයන් වහන්සේ විසින් පුරුදු නොකළ දෙයක් කියා දැක්වීම.

8. තථාගතයන් වහන්සේ විසින් පුරුදු කළ දෙයක් තථාගතයන් වහන්සේ විසින් පුරුදු කළ දෙයක් කියා දැක්වීම.

9. තථාගතයන් වහන්සේ විසින් නොපැනවූ දෙයක් තථාගතයන් වහන්සේ විසින් නොපැනවූ දෙයක් යැයි දැක්වීම.

10. තථාගතයන් වහන්සේ විසින් පැනවූ දෙයක් තථාගතයන් වහන්සේ විසින් පැනවූ දෙයක් යැයි දැක්වීම.

11. අනාපත්තිය අනාපත්තිය යැයි දැක්වීම.

12. ආපත්තිය ආපත්තිය යැයි දැක්වීම.

13. ලහුකාපත්තිය ලහුකාපත්තිය යැයි දැක්වීම.

14. ගරුකාපත්තිය ගරුකාපත්තිය යැයි දැක්වීම.

15. සාවසේසාපත්තිය සාවසේසාපත්තිය යැයි දැක්වීම.

16. අනවසේසාපත්තිය අනවසේසාපත්තිය යැයි දැක්වීම.

17. දුට්ඨුල්ලාපත්තිය දුට්ඨුල්ලාපත්තිය යැයි දැක්වීම.

18. අදුට්ඨුල්ලාපත්තිය අදුට්ඨුල්ලාපත්තිය යැයි දැක්වීම.

මෙම කරුණු 18 ධර්මවාදී පුද්ගලයෙකුගේ ලක්ෂණයන් ය. එම නිසා අපිත් අධර්මවාදීන් හඳුනාගෙන අධර්මය ද අවිනය ද බැහැර කරමු. ධර්මවාදීන් හඳුනාගෙන ධර්මයද විනය ද අනුගමනය කරමු. කල්‍යාණමිත්‍ර ඇසුරේ උතුම් ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරමින් යෝනිසෝ මනසිකාරයේ යෙදී, ධර්මයට අනුව පිළිවෙත් පුරමු. ඉතා දුර්ලභව ලද මේ ක්ෂණ සම්පත්තිය ආරක්ෂා කරගෙන, පින් රැස් කරගෙන කුසල් වඩා සුගති රැකවරණ ලබා ධර්මාවබෝධය කරා පිය නගන සැබෑම ආර්ය ශ්‍රාවක ශ්‍රාවිකාවන් බවට පත් වෙමු.

– මහමෙව්නාව අසපුවාසී පින්වත් ස්වාමීන් වහන්සේ නමක් විසිනි