highlights of the week
Home » NEW ARTICLES » පිළිවෙත් සරු සඟරුවන

පිළිවෙත් සරු සඟරුවන

සම්බුදුවරයෙකුගේ උපත ලෝකයට මහත් භාග්‍යයක්, සැනසීමක් උදා කරවන්නකි. ඒ අසිරිමත් දසබලධාරී සම්බුදුරජුන් නිසා ලෝකයට ධර්මරත්නය පහළ වෙයි. ඒ ආශ්චර්යවත් බුද්ධරත්නය නිසාත්, ධර්මරත්නය නිසාත් ලෝකයේ සංඝරත්නය පහළ වෙයි. තථාගත සම්බුදුරජුන්ගේ පිරිනිවන් පෑමෙන් අනතුරුව බුද්ධ ශාසනයේ අනාගත පැවැත්ම රඳා පවතින්නේ සංඝරත්නය මත ය. එම නිසා බුද්ධ පුත්‍රයන්, ශාක්‍ය පුත්‍රයන් ලෙස විරුදාවලිය ලබන ඒ ශ්‍රාවක සංඝයා ලෝකයේ උතුම් වගකීමක් ඉටුකරන උතුම් පිරිසක් ම ය.

පැවිද්ද යනු ලෝකයේ දුර්ලභ වූ දෙයකි. (දුල්ලභා පබ්බජ්ජා) කල්ප ගණනාවකින් පවා ලබන්නට දුර්ලභ දෙයකි. බුදුවරයෙක් පහළ වීමෙන් පමණක් ම ලැබෙන දෙයකි. සසර දුකින් නිදහස් වීමට කෙටි ම මඟකි. එමෙන් ම පහසු මඟකි. ලෝකයේ දුෂ්කර දෙය කුමක්දැයි කියා ඇසූ ප්‍රශ්නයකට සාරිපුත්ත මහරහතන් වහන්සේ ලබා දුන් පිළිතුර වූයේ ගිහිගෙය අතහැර කෙස් රැවුල් බහා අනගාරිකව බුදු සසුනේ පැවිදිවීම මේ ලෝකයේ දුෂ්කර දෙය බවයි. එසේ පැවිදි වූ කෙනාට ඇති දුෂ්කර දේ කුමක්දැයි ඇසූ විට ලබා දුන් පිළිතුර වූයේ පැවිද්දේ සිත් අලවා වාසය කිරීම බවයි. පැවිද්දේ සිත් අලවා වාසය කරන කෙනාට දුෂ්කර වේ යැයි සාරිපුත්ත මහරහතන් වහන්සේ ලබාදුන් පිළිතුර වූයේ ධම්මානුධම්ම ප්‍රතිපදාවේ හැසිරීම බවයි. ඒ අනුව බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා යනු ලෝකයේ දුෂ්කර වූ දෙයක් කළ පිරිසකි, කරන පිරිසකි.
සත්වයා ව මේ ලෝකයට විවිධ වූ බන්ධනයන්ගෙන් සිරකර මහත් වූ දුකකට පමුණුවාලයි. පැවිදි දිවියට පත් වූ ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයන් මහත් වූ බන්ධන රාශියකින් අත්මිදීගෙන ය පැවිදි දිවියට පැමිණෙන්නේ. “මවු යනු ලෝකයේ බන්ධනයකි. පියා යනු ලෝකයේ බන්ධනයකි. බිරිඳ යනු ලෝකයේ බන්ධනයකි. දරුවන් යනු ලෝකයේ බන්ධනයකි. ඥාතීන් යනු ලෝකයෙහි බන්ධනයකි. මිත්‍රයන් යනු ලෝකයෙහි බන්ධනයකි. ධනය යනු ලෝකයෙහි බන්ධනයකි. ලාභ සත්කාර යනු ලෝකයෙහි බන්ධනයකි. අධිපති බව යනු ලෝකයෙහි බන්ධනයකි. පංචකාම යනු ලෝකයෙහි ඇති බන්ධනයකි. මේ වනාහි ලෝකයේ ඇති බන්ධනයෝ ය. මේ බන්ධනයන්ගෙන් බැඳුණු සත්වයෝ ගිහිගෙයින් නික්ම නො යති. නික්ම ගිය ද ආපසු හැරී එති.”

(මිළිඳු රාජ ප්‍රශ්නය)

මෙසේ අත්හැරිය නො හැකි අතිශයින් ම ප්‍රබල ගිහි බන්ධන රැසකින් අත්මිදී බුදු සසුනට ඇතුළු වෙත් ම නෛෂ්ක්‍රම්‍ය ගුණයන්ගෙන් උපලක්ෂිත වූ ගුණ රැසකින් ඒ කුල පුත්‍රයෝ සමන්විත වෙති. එසේ පැමිණි ඔවුහු බුදු, පසේබුදු, මහරහතුන්ගේ ධජය වන අරහත් ධජය නම් වූ කසාවත පොරවා ගැනීමේ දුර්ලභ වාසනාව උරුම කර ගනිති. බුද්ධ ධම්ම සංඝ යන තෙරුවනට තම දිවි පූජා කොට, උතුම් සීලය තුළ හික්මෙන ඒ සඟ රුවන නිවන නම් වූ ක්ෂේම භූමිය කරා යන්නට අවැසි, මෛත්‍රී, කරුණා, මුදිතා, උපේක්ෂා යන සතර බ්‍රහ්ම විහරණ මූලික කර ගත් ගුණධර්ම තම සිත්හි ප්‍රගුණ කර ගන්නට නිරතුරු වෙහෙසෙයි. මෙත් සිත, ඉවසීම, නිහතමානීකම, ගුරු ගෞරවය, වැඩිහිටි ගෞරවය, කෙළෙහි ගුණ දත් බව ආදී මූලික ගුණධර්මයන්ගෙන් තොර වූ පැවිදි ජීවිතය මූලික ඉලක්කය වන නිවන කරා රැගෙන නො යයි. එම නිසා භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා නිරතුරු එවන් ගුණධර්ම තම ජීවිතය තුළ දියුණු කරමින් සාමාන්‍ය ලෝකයා අතර බබළමින් වැඩ සිටී.

“මේ සසුන තුළ භික්ෂූන් මනාව වාසය කරත් නම් මේ ලෝකය රහතුන්ගෙන් හිස් නො වන්නේ ය.” යන උතුම් බුදු වදන සිහි කරමින් රාග ද්වේෂ මෝහ දුරු කිරීම නම් වූ නිවැරදි ප්‍රතිපදාවට උන්වහන්සේලා පිළිපන්නෝ ය (සුපටිපන්නෝ). ඒ ශ්‍රාවක සංඝයා අතීත බුදුවරයන් වහන්සේලාගේ ද පෞරාණික මාර්ගය වන ආර්ය අෂ්ටාංගික මාර්ගය නමැති නිවන වෙත යන ඍජු ප්‍රතිපදාවට බැස ගත්තෝ ය (උජුපටිපන්නෝ). සසරින් නිදහස් වීම පිණිස අවබෝධ කළ යුතු දුකත්, දුක්ඛ සමුදයත්, දුක්ඛ නිරෝධයත්, දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදාවත් අවබෝධ කිරීම පිණිස ඒ ශ්‍රාවකයන් නිරතුරු සීල සමාධි ප්‍රඥා දියුණු කරයි. මෙසේ ඔවුන් අවබෝධය ඇතිවන ප්‍රතිපදාවට පිළිපන්නෝ ය. (ඤායපටිපන්නෝ) ඒ ශ්‍රාවක සඟරුවන ලෝක සත්වයා කෙරෙහි මහත් වූ අනුකම්පාවෙන් යුතු වෙයි. එනිසා උන්වහන්සේලා සසුන් පිළිවෙත් පුරමින් ම තම ශාස්තෘන් වහන්සේ විසින් දේශනා කරන ලද සුගතියටත් නිවනටත් මග පෙන්වන ශ්‍රී සද්ධර්මය අන් අයට ද ඒ අයුරින් ම දේශනා කරන්නෝ ය. දෙතිස් කථාවෙන් වැළකී දස කථාවෙන් ම තම සබ්‍රහ්මචාරීන් වහන්සේලාටත් සිව්පසය පුදන දායකයන්ටත් සංග්‍රහ කරන්නෝ ය (සාමීචිපටිපන්නෝ).ඒ ශ්‍රාවක සංඝරත්නය සෝවාන් මාර්ග – ඵල ලාභී, සකෘදාගාමී මාර්ග – ඵල ලාභී, අනාගාමී මාර්ග – ඵල ලාභී, අරහත් මාර්ග – ඵල ලාභී වශයෙන් ගත් කළ උතුම් ශ්‍රාවක යුගල සතරක් වේ.

වෙන් වෙන් වශයෙන් ගත් කළ සෝවාන් ඵලය සාක්ෂාත් කිරීමට පිළිපන් සද්ධානුසාරී හෝ ධම්මානුසාරී ශ්‍රාවකයා ය, සෝවාන් ශ්‍රාවකයා ය, සකෘදාගාමී ඵලය සාක්ෂාත් කිරීමට පිළිපන් ශ්‍රාවකයා ය, සකෘදාගාමී වූ ශ්‍රාවකයා ය, අනාගාමී ඵලය සාක්ෂාත් කිරීමට පිළිපන් ශ්‍රාවකයා ය, අනාගාමී ශ්‍රාවකයා ය, අරහත් ඵලය සාක්ෂාත් කිරීමට පිළිපන් ශ්‍රාවකයා ය, රහතන් වහන්සේ ය යනුවෙන් උතුම් ශ්‍රාවක පුද්ගලයන් අට දෙනෙක් වේ.

ඒ ශ්‍රාවක සංඝරත්නය දුර සිට පැමිණ හෝ චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස ආදිය පිළියෙල කොට පූජා කිරීමට සුදුසු ය (ආහුනෙය්‍ය). ආගන්තුකයන් වශයෙන් වැඩම කළ කල්හි පවා සිවුපසයෙන් උපස්ථාන කිරීම සුදුසු ය (පාහුනෙය්‍ය). මෙලොව පරලොව පින් සලකාගෙන, මහත්ඵල මහානිසංස සලකාගෙන සිවුපසයෙන් පූජා ලැබීමට සුදුසු ය (දක්ඛිණෙය්‍ය). දෙව් මිනිස් ලෝකයාගේ වන්දනාමානයට, ගෞරවාභිවාදනයට සුදුසු ය (අඤ්ජලීකරණීය). දෙව් මිනිස් ලෝකයා හට පින් රැස්කර ගැනීම පිණිස හේතු වූ අනුත්තර පින්කෙත ය (අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්ස).

එමෙන් ම සසර දුක සදහට ම අවසන් කළ උතුම් රහතුන් ප්‍රධාන භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා නොයෙක් ලෙසින් වර්ණනාවට පාත්‍ර වේ. ඒ ශ්‍රාවක සංඝයා සීලයෙන් යුක්ත ය (සීල සම්පන්නෝ). සමාධියෙන් යුක්ත ය (සමාධි සම්පන්නෝ). ප්‍රඥාවෙන් යුක්ත ය (පඤ්ඤා සම්පන්නෝ). විමුක්තියෙන් යුක්ත ය (විමුක්ති සම්පන්නෝ). විමුක්ති ඥාන දර්ශනයෙන් යුක්ත ය (විමුක්ති ඤාණදස්සන සම්පන්නෝ). සත්වයන්ගේ සුවඳ හමන අරටුව ය (සත්තානං සාරෝ). සත්වයන්ගෙන් උඩට ම පෙරාගත් ප්‍රණීත ගුණ සම්පත ය (සත්තානං මණ්ඩෝ). ගුණධර්මයන් විසින් ම දෙව් මිනිස් සත්වයන් අතර උඩට ම මතුකරන ලද්දේ ය (සත්තානං උද්ධාරෝ). සත්වයන් අතර අටලෝ දහමට නො සැලෙන ඉන්ද්‍රඛීලය ය (සත්තානං ඒසිකා). සත්වයන් අතර ගුණ සුවඳින් සුසෝභිත වූ සුවඳ කුසුම ය (සත්තානං සුරභිපසුනං). දෙවියන් විසිනුත්, මිනිසුන් විසිනුත් පුදන ලද්දේ ය (පුජ්ජෝ දේවානං මනුස්සානං) යනාදී වශයෙන් මාර්ග ඵලලාභී උතුම් සංඝරත්නය මහත් ගුණ වර්ණනාවෙන් සමන්විත ය.

(නෙත්තප්ප්‍රකරණය)

භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා දෙව් මිනිසුන්ගේ අපමණ පූජෝපහාරයන්ට ලක් වන්නේ ඒ උතුමන් තුළ පවතින අපමණ ගුණ නිසාවෙනි. ඒ ශ්‍රාවක සංඝයා ඉතා අඩු ආශා ඇත්තෝ ය. ලද දෙයින් සතුටු වන්නෝ ය. හුදෙකලාවෙහි ඇලෙති. ඊට ආශා කරති. පිරිස හා නො ඇලෙති. පටන් ගත් වීරියෙන් යුතු වෙති. සිව්පසයට ආශා නො කරති. වෙනත් ආශා රහිත වෙති. පිරිපුන් සිල් ආරක්ෂා කරති. නොපිරිපුන් සිල් පිරිපුන් කිරීමට නිතර උත්සාහ කරති. සැහැල්ලු පැවතුම්වලින් යුතු වෙති. ධුතාංග ප්‍රතිපත්ති කුසලයෙන් යුතු වෙති. තමන් දියුණු කරන ගුණ සහ උපදවාගත් ගුණ විශේෂයන් සඟවා සිටීම නම් වූ අල්පේච්ඡ බවින් යුතු වෙති. බුදු සසුන්හි විනා අන් බාහිර සසුන්හි මෙවන් සොඳුරු උතුම් ගුණයන්ගෙන් සුශෝභිත ශ්‍රාවකයෝ දක්නට නො ලැබෙති. නිකෙලෙස් හද මඬලක් දරා සිටි ශ්‍රේෂ්ඨ නායකත්වයත්, මනා කොට දෙසන ලද ධර්ම විනයත් ඊට හේතුව යි.

ජිනරාජයාණන්ගේ ශ්‍රාවක සංඝයා නියෝජනය කරන සීලවන්ත භික්ෂුව ලෝකයට මහත් ආලෝකයකි. ගුණ පුංජයක් බඳු සිල්වත් භික්ෂුවක් නිසා සත්වයන්ට සැලසෙන සෙත ශාන්තිය ඉමහත් ය. වරක් නාගසේන මහරහතන් වහන්සේ සිල්වත් භික්ෂුව පිළිබඳ ව මෙසේ වදාළ සේක. “මහරජාණෙනි, සීල සම්පන්න වූ සිල්වත් භික්ෂුව, සත්වයන්ගේ ක්ලේශ විෂ නැසීමෙහිලා අග්‍ර වෙයි. සත්වයන්ගේ ක්ලේශ ආබාධයන් සන්සිඳවීමෙහිලා ඖෂධයක් හා සම වෙයි. සත්වයන්ගේ කෙලෙස් දුහුවිලි සෝදා හරින ජලයක් හා සම වෙයි. සත්වයන් හට සියලු සම්පත් ලබාදෙන සිතුමිණි රුවනක් හා සමාන වෙයි. සත්වයන් හට සතර ඕඝයෙන් එතෙර වීමට නෞකාවක් හා සමාන වෙයි. සත්වයන් හට ඉපදීම නම් මරු කතරින් එතෙර වීමට ගැල්කරුවෙක් හා සමාන වෙයි. සත්වයන්ගේ රාග ද්වේෂ මෝහ යන ත්‍රිවිධ ගිනි නිවාලන සුළඟක් හා සමාන වෙයි. සත්වයන්ගේ මනස පිරිපුන් කරන මහාමේඝයක් හා සමාන වෙයි. සත්වයන් හට කුසල් උගන්වන ආචාර්යවරයෙක් හා සමාන වෙයි. සත්වයන් හට නිර්වාණය නම් වූ නිර්භය ස්ථානයට පාර පෙන්වන මාර්ගෝපදේශකයෙකු හා සමාන වෙයි.

(මිළිඳු රාජ ප්‍රශ්නය)

තවම නිවනට පත් නො වුණ සිල්වත් භික්ෂුව නිසා මෙතරම් යහපතක් සත්වයන්ට සැලසේ නම් සීල සමාධි ප්‍රඥා යන ත්‍රිශික්ෂාවෙන් සම්පූර්ණත්වයට පත් ශ්‍රාවක සංඝාය තුළ ඉහළ ම ස්ථානයේ වැඩ සිටින නිවනට පත් රහත් උතුමන් නිසා ලෝක සත්වයාට කොතරම් යහපතක් සැලසෙනවා ඇත්ද..!

ලොවට උතුම් පින්කෙත වන මාර්ග ඵලලාභී ඒ උතුම් ශ්‍රාවක සංඝරත්නය අනුපමේය ගුණයෙන් යුක්ත ය. අප්‍රමාණ ගුණයෙන් යුක්ත ය. සීල සමාධි ප්‍රඥා සංඛ්‍යාත ආර්ය අෂ්ටාංගික මාර්ගය සම්පූර්ණ කළ, සම්පූර්ණ කරමින් සිටින ඒ සංඝරත්නය සම්බුදුරජාණන් වහන්සේගේ මහත් ප්‍රසාදයටත්, ප්‍රශංසාවටත්, ගෞරවයටත් නිති පාත්‍ර විය. වරක් මිගාරමාතු ප්‍රාසාද නම් වූ පූර්වාරාමයෙහි පොහෝ දිනයෙක තමන් වහන්සේ පිරිවරා නිහඬ ව වැඩසිටි භික්ෂු සංඝයා දෙස හාත්පස බලා භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් ඇමතූ සේක.

“මහණෙනි, මේ පිරිස ප්‍රලාප රහිත ය, මහණෙනි, මේ පිරිස නිෂ්ප්‍රලාප ය. පිරිසිදු ය. සාරයෙහි පිහිටියේ ය. මහණෙනි, මේ භික්ෂු සංඝයා එබඳු ය. මහණෙනි, යම් බඳු පිරිසක් ලෝකයෙහි දකින්නට පවා දුර්ලභ වෙයි නම්, මේ එබඳු පිරිසකි. මහණෙනි, යම් බඳු පිරිසක් ආහුනෙය්‍ය, පාහුනෙය්‍ය, දක්ඛිණෙය්‍ය, අංජලීකරණීය, ලොවට උතුම් පින්කෙත වූයේ වේ ද මහණෙනි, මේ භික්ෂු සංඝයා එබඳු ය.

මහණෙනි, යම් බඳු පිරිසක් උදෙසා ඉතා ස්වල්ප වූ දෙයක් පූජා කළේ නමුත් එහි බොහෝ සැප විපාක ඇද්ද, බොහෝ දෙයක් පූජා කළේ නම් එහි ඉතා බොහෝ සැප විපාක ඇද්ද, මේ එබඳු පිරිස ය. මහණෙනි, මේ භික්ෂු සංඝයා එබඳු ය.

මහණෙනි, යම් බඳු පිරිසක් දැක බලා ගැනීම පිණිස මාර්ගෝපකරණ ද ගෙන යොදුන් ගණන් දුර ගෙවා යන්නට නිසි වෙයි ද මේ එබඳු පිරිස ය. මහණෙනි, මේ භික්ෂු සංඝයා එබඳු ය.”

(භික්ඛු සංඝථෝමන සූත්‍රය, අං. නි. – 2)

එමෙන් ම බුදු මුවින් මෙසේ ද වදාළ සේක.

“මේ ලෝකයෙහි යම්තාක් පිරිස් සිටින්නාහු ද සමූහයන් සිටින්නාහු ද ඒ සියලු සමූහයන් අතර තථාගතයන් වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේලා අග්‍ර වන්නාහු ය.
යමෙක් වනාහී භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේලා කෙරෙහි අචල ශ්‍රද්ධාවට පැමිණ සිටිත් නම් ඔවුන්ගේ ඒ චිත්තප්‍රසාදය පවතින්නේ ලොවෙහි අග්‍ර පිරිස කෙරෙහි ය. එසේ ලොවෙහි අග්‍ර පිරිස වූ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේලා කෙරෙහි පැහැදුනවුන්ගේ විපාකය ද අග්‍ර වන්නේ ය. එසේ ලොවෙහි අග්‍ර පිරිස වූ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේලා කෙරෙහි සිත පහදා ගත්තවුන්ගේ පුණ්‍ය විපාකය ද ඒකාන්තයෙන් ම අග්‍ර වන්නේ ය.සත්වයන්ගේ වාසස්ථාන යම්තාක් ඇද්ද, භවාග්‍රයන් යම්තාක් ඇද්ද, ඒ සියල්ලට ම ඉහළින් ලෝකයෙහි යමෙක් ශ්‍රේෂ්ඨත්වයට පත්වී සිටිත් ද, ඒ වනාහි රහතන් වහන්සේලා වන සේක.”

(අග්ගප්පසාද සූත්‍රය – අං.නි. 2)

ඒ උතුම් රහතුන් වනාහි ලෝකයේ අතිශයින් ම දුර්ලභ ය. බුදු සසුනක් ලෝකයේ පවතින යුගයක පමණක් දක්නට ලැබෙන අරහත් ධජය වන කසාවත පොරොවා ගත් ඒ ශ්‍රාවකයෝ දෙව්ලොව ද බඹලොව ද දක්නට නො ලැබෙති. මේ මිනිස් පියසෙහි ම පමණක් ඒ උතුම් ශ්‍රාවකයෝ බිහි වෙති. ඒ ශ්‍රාවක සංඝරත්නය වනාහි තුන් සරණින් එක් සරණකි. සසුන් අඹරේ මුදුන් මල්කඩ වන් ධර්ම සේනාධිපති සාරිපුත්ත මහරහතන් වහන්සේ, ධර්ම පුරෝහිත මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ, ධුතාංගධාරී මහා කස්සප මහරහතන් වහන්සේ ආදී මහානුභාවසම්පන්න, මහා ගුණ දරණ මහ රහතුන් ප්‍රධාන ශ්‍රාවක සංඝරත්නය “සංඝං සරණං ගච්ඡාමි” යනුවෙන් සරණ යන්නට අපිදු මහත් වාසනාවක් ලද්දෙමු. ඒ තුන් සරණේ ම පිහිටා කුසල් දහම් සම්පාදනය කොට මේ බිහිසුණු සසර කතරින් වහ වහා නිදහස් වන්නට අප සැමට වාසනාව උදා වේවා..!

මහමෙව්නාව භාවනා අසපුවාසී පින්වත් ස්වාමීන් වහනසේනමක් විසින් සම්පාදිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

x

Check Also

අපමණ ලෝ සතුනට සෙත සැලසූ අසිරිමත් තථාගත දින චරියාව

භාග්‍යවතුන් වහන්සේ බත්කිස නිමවා ඔවුන්ගේ සිත්සතන් තම සිතින් පිරිසිඳ බලා ඇතැම් කෙනෙක් සරණාගමනයෙහි පිහිටත් ද ඇතැමෙක් සෝතාපන්න වෙත් ද සමහරු සකදාගාමී, අනාගාමී වෙත් ද සමහරුන් පැවිදිව අග්‍රඵලය වූ අරහත්වය ලබා ගනිත් ද එසේ දහම් දෙසන සේක.