ග්‍රාමීය – කලාප – පළාත් – ජාතික ආදි වශයෙන් විවිධ මට්ටම් අනුව නම් කරන ලද ක්‍රීඩා තරඟවල දී ද ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩා තරඟවල දී ද දිවීමේ තරඟ ඉසව් කිහිපයක් ම නරඹන්නන් හට දැක ගත හැකි ය. ඒ එකදු ක්‍රීඩා ඉසව්වකදීවත් ඔබ අසා තිබෙනවා ද මෙසේ නිවේදනයක් සිදු කර, තරඟය හා තරඟකරුවන් හඳුන්වාදීමක්?

“හොඳයි… දැන් පැවැත්වෙන්නේ සුපුරුදු යෂ්ටි හුවමාරු තරඟය යි. මෙහි දී තරඟකරුවන් පිළිවෙළින් අම්මා – තාත්තා වියත් දූ පුතුන්ටත්, දූ පුතුන් විසින් ඔවුන්ගේ දූ දරුවන්ටත්, ඒ මුණුබුරු – මිනිබිරියන් විසින් ඔවුන්ගේ දරු පරපුරටත් යෂ්ටි හුවමාරුව සිදුකරයි. මේ තරඟය අවසන් කිරීමට නිශ්චිත කාල වේලාවක් නැත. කැමති තරම් වට ප්‍රමාණයක් යෂ්ටි හුවමාරු කරමින් දිව යා හැකි ය… දැන් එක් එක් පවුල වෙන් වෙන් වශයෙන් තරඟය සඳහා සූදානම් ය…”

සාමාන්‍ය ක්‍රීඩා තරඟ බිමක දී මේ මොහොතේ අත්පොළසන් නාදය ඝෝෂාකාරී ව නැගෙන නමුත්, මෙහි දී අත්පොළසන්, ඔල්වරසන් නැඟීමට ප්‍රේක්ෂකාගාරයේ නරඹන්නන් ඉතිරි ව නැත. ක්‍රීඩක – ක්‍රීඩිකාවන් පමණක් නොව ඒ නරඹන්නන් ද තරඟයේ සංවිධායක පිරිස ද අනෙකුත් සියලු පාර්ශවයන් ද මේ මහා ක්‍රීඩා ඉසව්වෙහි තරඟ වදින තරඟකරුවන් බවට පත්වී සිටී. මේ තරඟයට තරඟකරුවන් ලෙස ඇතුළත් නොවන්නා වූ කිසිදු වෘත්තිකයෙක්, තරුණයෙක් – තරුණියක්, මැදිවයස්කරුවෙක් – මහලු වියේ සිටින්නෙක් නොමැත. බිළිඳාගේ පටන් සියල්ලන් නිරායාසයෙන් මේ තරඟ බිමට බැසගෙන දුවයමින් සිටිය ද අරුමය නම් ඉතා ම දීර්ඝ කාලයක් පුරා තමන් එක ම මංතීරුව ඔස්සේ දර්ශන තලයක් පමණක් වෙනස් කරමින් දුව යන බව ඒ කිසිවෙක් නො දැන සිටීම යි, ඒ සා දීර්ඝ කලක් දිව යමින් වුව ද කිසිදු වෙහෙසක් නොදැනීම යි. ඒ අයුරින් අනවබෝධ ව තොටිල්ලේ සිට පාසලේ දී – කාර්යාලයේ දී – මඟතොටේ දී – නිවසේ දී – දුම්රියේ දී – රෝහලේ දී – ප්‍රිය සාදයේ දී – කාර්යාලයේ දී කුමන අවස්ථාවක දී වුවත් ඔබත්, මමත්, අන් සියලු මිනිස් සමාජයීය පිරිසත් දුවමින් සිටින මේ තරඟයේ දී මුළු ලෝකය ම එක ම තරඟ බිමකි. සංසාර චක්‍රය යන මංතීරුව මත, සකල මනුෂ්‍ය ප්‍රජාව ම තරඟකරුවන් බවට පත්ව, අවිද්‍යාව සහ තණ්හාව යන රළු, ඝනකම් අඩු ද්‍රව්‍යයන්ගෙන් සකස් කොටගත් ගණ කඩතුරාවකින් දෑස් බැඳගෙන දිව යන්නෝ ය. විවේකයක් නොමැති හෙයින් දිව යන අතරතුරේ දී ම කවර හෝ හේතුවකින් මරණයට පත් වුව ද යළිත් වෙනත් තැනක දී – වෙනත් ස්වරූපයකින් පුරුදු තරඟ බිමට පිවිසෙන්නේ ය, පිවිස යළිත් දිවීම අරඹන්නේ ය. කෙළවරක් සෙවිය නො හැකි කල්ප ගණනක් පුරාවට එලෙස දුවමින් සිටින පින්වත් ඔබ මඳක් විවේක බුද්ධියෙන්, ධර්මයට අනුව ගළපමින් සිතා බලන්න, ඔබට දැන් මේ තරම් දිව්වා ඇති ය කියා නො සිතේ ද? කිසිදා ස්ථිර සතුටක් නූපදින මේ ඝෝර සංසාරික තරඟ බිම හැරදා සදහට ම සමුගන්නට ඇති නම් කොතරම් අගනේ ද කියා සිතට නො හැඟේ ද?

සිහියට නඟා ගැනීමට හැකි දා පටන් අප සැම සිදුකරමින් සිටින්නේ කුමක් ද? කාලයෙන් කාලයට ප්‍රවණතා වෙනස් වුව ද අද තරුණ ඔබ සිදුකරමින් සිටින්නේ ද ඔබට පෙර මව – පියා සිදු කළ ක්‍රියාවලිය ම ය. ඔබට පසුපසින් පැමිණෙන ළාබාල දරු දැරියන් සිදු කරන්නේ ඔබ ඊට වසර ගණනකට පෙර සිදු කළ ක්‍රියාදාමය ම මඳක් අලුත්වැඩියා කරමින් සිදු කිරීම ය. ආච්චි – සීයා විසින් ඔබේ මව්පියන්ට දුන් යෂ්ටිය ඔවුන් ඔබේ අතට පත් කළ අතර ඔබෙන් එය ඊ ළඟ පරපුරට, ඔවුන් විසින් ඊ ළඟ පරපුරට….. මේ හුවමාරුවේ නිමාවක් කවදා නම් දකින්න ද? මහලු වැඩිමහල්ලන්ට පෙර සිටි පිරිස, ඊටත් පෙර සිටි පිරිස මේ මොහොතේ කොයි තැනක, කුමනාකාරයෙන් සිටී ද? ඒ පිළිබඳ ව අදහසක් පවසනවා විනා, ස්ථිර නිගමනයකට පැමිණීමට නො හැකි ය. බිළිඳු අවධියේ සිට අප විසින් හඳුනාගන්නා සියල්ල ම, අපට දෙනු ලබන ඉලක්කයන් සියල්ල ම නිරන්තරයෙන් වෙනස් වී අනිත්‍ය වී යන්නේ ය. කිසිවක් ම “මගේ ය” පවසමින් තම තමන්ගේ වසඟයේ සදාකාලිකව පවත්වා ගත නො හැකි නිසා අවසානයේ ඒ කිසිවක්, තවත් අයෙක් හා අත්වැල් බැඳගෙන නො එන්නේ ය. දිව යමින් රැස් කළ දෙය සියල්ල ම එක් පසෙක තිබිය දී සුගතියට හෝ දුගතිය දිශාවට පුරුදු පුහුණු කළා වූ සිත පමණක්, ඒ සිත මුල්කරගෙන රැස් කළ හොඳ හෝ නරක කර්මයන් පමණක් තැනැත්තා සමඟ පැමිණෙන්නේ ය. ඒ යථාර්ථය නො දන්නා තාක්, වටහා නො ගන්නා තාක් අතීත මී මුත්තන්ගේ පරපුරින් තවත් පරපුරකට අනවරතව හුවමාරු වන යෂ්ටියේ ගමන නිමාවක් නො දැක සිදු වෙමින් පවතී. එහි අවසානයක් දැකගත යුතු නම් මේ සම්පූර්ණ සංසාර චක්‍රයෙන් ම බැහැර වී, නිවී යා යුතුවේ. ඒ හැර විකල්ප විසඳුම් නැත. සම්පූර්ණ ව චක්‍රය නිවා දමා, ලෝකය අතික්‍රමණය කරන තෙක් “මහන්සිය අධික ය…. තවත් නම් නො හැකි ය…” කියමින්, අසීරුතා විඳ විඳ වුව, සුසුම් හෙළමින් හෝ දිවීමේ තරඟයෙහි නිරත විය යුතු ය. ඒ හැරුණු කොට, අවශ්‍ය නම් පමණක් එක් භවයක උපාදානයට අනුරූපී ව ඊ ළඟ භවය සකස් වේ යන ධර්මතාවයට අනුව ධාවන පථයන් වෙනස් කරමින් බ්‍රහ්ම, දිව්‍ය, මනුෂ්‍ය තලයන්ට ද ප්‍රේත, තිරිසන්, අසුර, නරකයන් යන අඳුරු තලයන්ට ද පිවිසිය හැක. එහෙත් එකී දිවීමේ නිමාවක් සිදු නො වේ. හුදෙක් පසුතලය හා දිවීමේ වේගය වෙනස් වීම පමණක් සිදු වේ.

වර්තමානය වන විට, මේ අති දුර්ලභ බුද්ධෝත්පාද කාල පරිච්ඡේදය කෙමෙන් කෙමෙන් ඉක්ම යමින් ඇත. අනිත්‍ය ධර්මයට සියල්ල යටත්ව සිටිනා ලෝකයක මේ අති උත්තරීතර පරිච්ඡේදය වුව, සදාකාලිකව රඳවා ගත හැකි නො වේ. එම නිසා, පින්වත් ඔබ සිතන්න, මේ ලද ක්ෂණ සම්පත්තියෙන් ඵල නෙළා නො ගන්නේ නම් ඔබට තවත් කොපමණ කාලයක් පුරාවට ඝෝර සංසාරයේ ඇවිදිමින්, තවත් කොපමණ යෂ්ටි ප්‍රමාණයක් අතට ගෙන දුවන්නට සිදු වේවි ද? ඔබට වෙහෙස නැති ද ඒ සා දුර තවත් දුවන්නට? හොඳින් සිතන්න, ඔබට අවංක අවශ්‍යතාවයක් වේ නම්, ඍජු අරමුණක් තිබේ නම් ඔබට මේ තරඟයෙන් සදහට ම ඉවත් ව, සම්බුදුරජුන් පෙන්වා වදාළ තැන්හි නැවතිය හැකි ය, නැවතී සදාකාලික ව සැනසුම ලැබිය හැකි ය. ඒ තැන වනාහි උත්තම නිර්වාණ ධාතුව යි. එහි දුකක්, දැවීමක්, බැඳීමක්, තැවීමක් නැත. එදා මහා කාරුණිකයාණන් වහන්සේ විසින් අංගුලිමාල වූ අහිංසකට යටපත් ව තිබූ සිහිය ඉපදවීම පිණිස දෙසූ “මම නැවතී සිටිමි, ඔබත් නවතින්න…” යන වදන නිරතුරුව ම සිහියට නඟාගෙන, එහි අරුත තම තමන් තුළින් ජීවමාන කොටගෙන, අගක් ද – මුලක් ද සොයාගත නො හැකි සංසාර අරගලයෙන් මිදී, නිවන් පුරයට වැද සැනසීමට ඔබට නොඅඩුව ප්‍රඥා – වීර්යය පහළ වේවා…!

සටහන – උත්පලී විජේසිංහ