“ස්වාමීනී, නාගසේනයන් වහන්ස, තථාගතයන් වහන්සේගේ මේ බුදු සසුන ඉතා මහත් ය. ඉතා සාරවත් ය. ඉතා උතුම් ය. ඉතා ශ්‍රේෂ්ඨ ය. ප්‍රවර ය. අනුපම ය. පිරිසිදු ය. නිර්මල ය. ඉතා සුදු පැහැ ගත්තේ ය. වරදින් තොර වූයේ ය. එනිසාවෙන් හුදෙක් ගිහියෙකු වූ පමණින් කෙනෙකු මෙවන් බුදු සසුනක පැවිදි කරන්නට නොවටියි. ගිහි ව සිටිය දී ම එක්තරා මාර්ගඵලයකට හික්මවා යම් කලෙක ගිහි ගෙය සිහි කොට සිවුරු හැර නොයන ස්වභාවයට පත්වෙයි ද, එකල්හී පමණක් පැවිදි කළ යුත්තේ ය. එයට කාරණය කුමක් ද යත්,

මේ ඇතැම් අනුවණ දුර්ජන කෙනෙක් මෙබඳු බුදු සසුනෙහි පැවිදි ව පිළිවෙත් පිරීමෙහි උත්සාහවත් වීම වෙනුවට ආපසු හැරී ලාමක වූ ගිහි බවට වැටෙන්නාහු නම්, ඔවුන් සිවුරු හැර යළිත් ගිහි ජීවිතය කරා යෑම හේතුවෙන් මහාජනතාව මෙසේ පවසා සිටින්නේ ය.

‘භවත්නි, ශ්‍රමණ ගෞතමයන් වහන්සේගේ බුද්ධ ශාසනය ඒකාන්තයෙන් තුච්ඡ වූ දෙයක් වන්නේ ය. මේ උදවිය යමක් නිසා ප්‍රතිපත්තිය අත්හැර නැවත හැරී ගෙදර ආවා නොවැ’ යි. මෙහි ඇති කරුණ මෙය යි.”

“මහරජාණෙනි, එය මෙබඳු දෙයකි. යම් සේ ඉතා පිරිසිදු, අති නිර්මල, සීතල දියදහරින් පිරී ගිය මහා විලක් ඇත්තේ ය. එකල්හී කිලිටි වූ, දුහුවිලි, මඩ ආදියෙන් තැවරී ගිය සිරුරක් ඇති පුද්ගලයෙක් එම විල කරා එයි. එහි ඇති පිරිසිදු ජලයෙන් ස්නානය නොකරයි. කිලිටි වී ගිය සිරුරෙන් ම ආපසු හැරී යයි. මහරජාණෙනි, එහිලා බුද්ධිමත් මිනිසුන් විසින් ගැරහිය යුත්තේ කිලිටි සිරුරෙන් ම හැරී ගිය පුද්ගලයාට ද? නැතහොත් පවිත්‍ර වූ ජලය පිරී ගිය විලට ද?”

“ස්වාමීනී, නුවණැති ජනතාව විසින් ගැරහිය යුත්තේ කිලිටි ලෙස ම ගොස්, කිලිටි ලෙසින් ම පැමිණි පුද්ගලයාට යි. ‘මොහු විලට ත් ගියා නොවැ. එහෙත් ස්නානය නොකොට ගිය කිලුටින් ම ආපසු හැරී ආවා නොවැ’ කියා ය. කිම? ස්වාමීනී, ස්නානය කරනු නොකැමති මේ පුද්ගලයා ව ඒ ජලාශය තමන් ම ඇවිත් නහවන්නේ ද? ජලාශයේ ඇති කවර දෝෂයක් ද?”

“මහරජාණෙනි, එසෙයින් ම තථාගතයන් වහන්සේ විසින් උත්තම වූ විමුක්තිය නම් වූ පවිත්‍ර දිය දහරින් පිරිපුන් ශ්‍රී සද්ධර්ම ජලාශයක් මවන ලද්දේ ය. ඒ ‘ක්ලේශ මලකඩින් කිලිටි වී ගිය, චේතනා සහිත බුද්ධිමත් සත්වයෝ සිටිත් ද, ඔවුහු සද්ධර්ම ජලාශයෙහි ස්නානය කොට සකල ක්ලේශයන් පහකොට දමන්නාහු ය’ කියා ය.

ඉදින් මහරජාණෙනි, යම් කිසිවෙක් එම ශ්‍රී සද්ධර්ම ජලාශය වෙත ගොස් ස්නානය නොකොට කෙලෙස් සහිත ව ම සිවුරු හැර යළි ලාමක ගිහි බවට වැටෙයි නම් නුවණැති ජනයා ගරහන්නේ ඔහුට ම ය. ‘මේ උතුම් බුදු සසුනෙහි පැවිදි ව එයින් කිසි පිහිටක් නොලැබ මොහු සිවුරු හැර ලාමක වූ ගිහි ජීවිතය කරා ආවා නොවැ’ කියා ය. කිම? මාර්ග ප්‍රතිපදාවෙහි නොයෙදුණු තැනැත්තෙකුට බුදු සසුන තෙමේ ම අවබෝධ කරවන්නේ ද? බුද්ධ ශාසනයෙහි ඇති දෝෂය කුමක් ද?

මහරජාණෙනි, යම් සේ පුරුෂයෙක් දරුණු රෝගාබාධයකින් යුක්ත වූයේ වෙයි. රෝග හටගැනීමෙහි හේතු දැනීමෙහිලා ඉතා දක්ෂ වූ, ඉතා ප්‍රතිඵල සහිත ව රෝගීන් සුවපත් කරන, නිවැරදි ප්‍රතිකාර බල ඇති වෛද්‍යවරයෙකු දැක ඔහු කරා ගෙන යයි. එහෙත් එම වෛද්‍යවරයාගේ පිළියම් ඔහු නොපිළිපදියි. ගිය රෝගයෙන් යුක්ත ව ආපසු හැරී යයි. මහරජාණෙනි, ජනයා ගැරහිය යුත්තේ කාට ද? රෝගියාට ද? වෛද්‍යවරයාට ද?”

“ස්වාමීනී, නුවණැති ජනයා ගරහන්නේ රෝගියාට ය. ‘මෙවැනි වූ රෝග හටගන්නා හේතු දැනීමෙහි දක්ෂ වූ, ප්‍රතිඵල සහිත ව රෝගීන් සුවපත් කරන, නිවැරදි ප්‍රතිකාර බල ඇති වෛද්‍යවරයෙකු දැක ත්, ඔහු ළඟට ත් ගොස්, ප්‍රතිකාර නොගෙන ම රෝගය සහිත ව ආපසු හැරී ආවා නොවැ’ යි. කිම? මේ තැනැත්තා ප්‍රතිකාර නොකරගන්නා හෙයින් වෛද්‍යවරයා තෙමේ ම ප්‍රතිකාර කරවන්න ද? වෛද්‍යවරයාගේ කවර දෝෂයක් ද?

එසෙයින් ම මහරජාණෙනි, තථාගතයන් වහන්සේ බුදු සසුන නැමැති රන් බඳුනෙහි අමෘතය නම් මහානීය ඖෂධ රත්නයක් බහා ලූ සේක. එය සියළු කෙලෙස් රෝග සංසිඳවීමෙහිලා ප්‍රත්‍යක්ෂ ඖෂධයකි. කෙලෙස් රෝගයෙන් පීඩිත ව සිට ප්‍රතිකාර සොය සොයා සිටි බුද්ධිමත් ජන කෙනෙක් සිටිත් ද, ඔවුහු ඒ අමා ඔසු පානය කොට සකල ක්ලේශ රොගාබාධයන් සංසිඳුවාගෙන සුවපත් වන්නාහු ය. ඉදින් යම් කෙනෙක් ඒ අමා ඔසු නොවළඳා, ක්ලේශ රෝගාබාධයෙන් යුතුව ම, සිවුරු හැර ලාමක ගිහි බවට වැටෙත් නම්, එහිලා නුවණැති මිනිස්සු ඔවුන්ට ගරහති. ‘මොහු බුදු සසුනෙහි පැවිදි වී එහි කිසි පිහිටක් නොලැබ ලාමක වූ ගිහි ජීවිතය කරා හැරී ආවා නොවැ’ යි. කිම? මාර්ග ප්‍රතිපදාවෙහි නොයෙදුණු තැනැත්තෙකුට බුදු සසුන තෙමේ ම අවබෝධ කරවන්නේ ද? බුද්ධ ශාසනයෙහි ඇති දෝෂය කුමක් ද?

මහරජාණෙනි, යම් සේ කුසගින්නෙන් බලවත් ව පීඩාවට පත් පුරුෂයෙක් මහා පින්වතෙකු විසින් ප්‍රණීත ආහාරපාන දෙනු ලබන දන්සැලක් වෙත පැමිණෙයි. එහෙත් ඔහු ඒ දන්සැලෙන් බත් අනුභව නොකොට කුසගිනි පීඩාවෙන් ම ආපසු හැරී යයි. මහරජාණෙනි, එවිට ජනයා ගැරහිය යුත්තේ කාටද? කුසගින්නෙන් පීඩා විඳින පුරුෂයාට ද? ප්‍රණීත බොජුන් දෙන දන්සැලට ද?”

“ස්වාමීනී, ජනයා ගැරහිය යුත්තේ කුසගිනි ඇති පුරුෂයාට යි. දන්සැලට නම් නොවෙයි. ‘මේ බඩගිනි පීඩා ඇති තැනැත්තා දන්සැලකට ත් ගියා නොවැ. එහෙත් දන්සැලෙන් බත් ලැබී ත්, අනුභව නොකොට ම ආපසු හැරී ආවා නොවැ’ යි. කිම? බත් නොකන්නා වූ මොහුගේ මුඛයට භෝජනය තෙමේ ම පිවිසෙන්නේ ද? භෝජනයේ ඇති කවර දෝෂයක් ද?”

“එසෙයින් ම මහරජාණෙනි, තථාගතයන් වහන්සේ බුදු සසුන නම් වූ රන් බඳුනෙහි පරම උත්තම වූ, ප්‍රවර වූ, ශාන්ත වූ, සුන්දර වූ, ප්‍රණීත වූ, අමා වූ, ප්‍රවර මධුරත්වයෙන් පිරී ගිය කායගතාසති භාවනාව නම් වූ අමා බොජුන් තබා වදාළ සේක. කෙලෙස් බඩගින්නෙන් පීඩිත ඇතුළාන්තයක් ඇති, තණ්හාවෙන් පරිපීඩිත සිත් ඇති, එයින් බේරීමට සිතුවිලි සිත සිතා සිටි බුද්ධිමත් ජන කෙනෙක් වෙත් ද, ඔවුහු මේ මධුර භෝජනය වළඳා කාම – රූප – අරූප යන භවත්‍රය කෙරෙහි ම ඇති සියළු තණ්හා පහ කරන්නාහු යැයි කියා ය එය තබා වදාරණ ලද්දේ.

ඉදින් යමෙක් ඒ මධුර වූ කායගතාසති භෝජනය නොවළඳා, තෘෂ්ණාවට ම වසඟ ව සිට, සිව්පසයට ලොල් ව සිට, සිවුරු හැර ලාමක වූ ගිහි ජීවිතය කරා හැරී ගියේ වෙයි ද, එවිට ජනයා ගරහන්නේ ඔහුට ම ය. ‘මොහු බුදු සසුනෙහි පැවිදි වී එහි කිසි පිහිටක් නොලැබ ලාමක වූ ගිහි ජීවිතය කරා හැරී ආවා නොවැ’ යි. කිම? මාර්ග ප්‍රතිපදාවෙහි නොයෙදුණු තැනැත්තෙකුට බුදු සසුන තෙමේ ම අවබෝධ කරවන්නේ ද? බුද්ධ ශාසනයෙහි ඇති දෝෂය කුමක් ද?

මහරජාණෙනි, ඉදින් තථාගතයන් වහන්සේ එක්තරා මාර්ගඵලයක හික්ම වූ ගිහියෙකු පමණක් පැවිදි කරන සේක් නම්, කෙලෙස් ප්‍රහාණය පිණිස මේ පැවිද්ද නොවන්නේ ය. පිරිසිදු බව පිණිස ද නොවන්නේ ය. පැවිදි වීමෙන් අමුතුවෙන් කළ යුතු දෙයක් නැත්තේ ය.

(උපුටා ගැනීම – පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් සරල සිංහලයට පරිවර්තනය කරන ලද ‘මිළින්ද ප්‍රශ්නය’ ග්‍රන්ථයෙනි)