සුනන්දා දහවල ආහාරය ගෙන නිමවනවාත් සමඟ ම “ටට්ටර ට්‍රාං ටට්ටර ට්‍රාං” යැයි ශබ්ද නංවන කුණු ලොරියේ සංඥා හඬ ඇයට ඇසිණ. ජනෙල් කවුළුව විවෘත කොට පහළ පාර දෙස බැලූ සුනන්දාට මහල් නිවාස අතරින් සුදර්ශි මාවතේ ඉහළට ගමන් කරන කුණු ලොරිය පෙණින. දුරකථනය ගෙන අසල වූ සැප පුටුවට බර දුන් සුනන්දා අංකයක් එබුවා ය.

“හලෝ ලොකු අක්කා නේ ද?”

අනෙක් පසින් ඇමතුමට සම්බන්ධ වූයේ එලෙසිනි.

“ඔව් නංගි. අද මේ ඉතිං නිවාඩු දවසනෙ. ගෙවල් වල් වැදිල තිබුණෙ. දැනුයි මේ අස්කරල අස්කරල ඉඳගත්තෙ දවසට ම. කුණු ලොරියක් විතර. කොහෙද ළමයි කියල ජාතියක් ඉන්නව උන් නෙවෙයි කොස්සක් අතින් අල්ලන්නෙ. ඉඳල හිටල හරි කොල්ල කරත් කෙල්ල නෙවෙයි කිසි දවසක ගේවත් අතුගාන්නෙ.”

“අක්ක දවාලට කාල ද?”

ඉඩක් ලැබුණ විටදී ප්‍රියනන්දා ඇසුවා ය.

“කෑව නංගි. අද ඉව්වෙ නැහැ. මේ, දැන් මෙහෙ හවසට චූන්පාන් යනව වගේ දවාලටත් චූන්බත් යනව. එකසිය විස්සයිනෙ. උයනවට වඩා ලේසියි. අපි ඉතිං ගොඩක් වෙලාවට කන්නෙ ඒව තමයි. නිවාඩු දවසෙදිත් උයන්න ගියා ම ජීවිතේ එපාවෙනව. කොහෙද ඉතිං ඔයාට වගේ සැපක් අපිට.”

සුනන්දා වැව් බැම්ම බිඳුණා සේ කියවාගෙන ගියා ය. ඒ අතර ම ඔරලෝසුව දෙසත් බලන්නට අමතක නො කළා ය. මිනිත්තු විස්සක් තිහක් යන්නට පෙර කුණු ලොරිය ආපසු පැමිණෙන බව ඕ දත්තා ය.

“සැප තමයි. වැඩකට යනව මීට ලේසියි. මේ ළමයෙක් හදාගෙන පංති යනව යනව ඉවරයක් නැහැ. ඒ මදිවට අම්මගෙත් වැඩනෙ. හැබැයි මොන වැඩ තිබුණත් මම අම්මගෙ වැඩ නම් කරනව වෙලාවට.”

“අනේ නංගියේ උඹට ඕව ලැබෙනව. කොහෙද මට ඒ වගේ පිනක් කර ගන්නවත් නැහැ. මේ… අයිය කථා කළේවත් නැද්ද? මට නම් ඕකුන් ව මතක් වෙනකොටත් ඇඟේ මාළු නටනවා. දේපළ ලියාගන්න තුරු ම මාස දෙක තුනකට වතාවක් හරි පොල් ටිකක් ගෙනත් දීල ගියා. ලියාගත්ත ලියාගත්ත ම යි.. මට තරහ නංගියේ ඕකුන් කොහොම හරි අම්මවත් පන්න ගත්තනෙ. ගෑනිගෙ පදේට නටන කොන්ද පණ නැති…. ඕක සහෝදරයෙක් නෙවෙයි. නැත්නම් අපේ තාත්තගෙ එකෙක් නෙවෙයි.”

ප්‍රියනන්දා කිසිත් නො කීවා ය.

“නංගියෙ අම්ම ඉන්නව ද? කෝ ඉන්නව නම් ටිකක් දෙනවකො. කථා කරන්නවත් බැරි වුණා ටික දවසකින්…”

සුනන්දා ඔරලෝසුව දෙස බැලුවා ය. තව වෙලා තිබේ.

“දුවේ…”

අම්මාගේ කටහඬ එහා කෙළවරින් ඇසිණ.

“අම්මේ…. අම්ම සනීපෙන් නේ ද?”

සුනන්දාගේ හඬෙහි ආදරය කරුණාව උතුරා ගලයි. ඉන් මවගේ අසනීප ගති උත්සන්න විය.

“සනීපයක් කියල කොහෙද. බෙහෙත් බෙහෙත් තමයි. අනේ නංගි හැමදේම හොයල බලල කරනව. පුන්සිරිත් කිසිම වෙනසක් නැහැ.”

මවගේ හතියේ හඬ ද සුනන්දාට නොඇසුණා නො වේ.

“අම්ම දැන් ක්ලිනික් යන්නෙ කොහෙද? පොත මාරු කර ගත්ත ද?”

“ඔව්. නංගි මාරු කර ගත්ත මෙහෙට. බෙහෙත් ටික ලියාගන්නව විතරයි. පෝලිම් දෙකක ඉන්න අමාරු නිසා ෆාමසියෙන් ගන්නව.”

“අම්මට සල්ලි?”

“පොඩි එකත් ආව වෙලාවට කීයක් හරි දෙනව. මං හිතන්නෙ නදීකට හොරෙන් තමයි දෙන්නෙ.”

හති හරිමින් ම මව කීවා ය.

සුනන්දාගේ යටපත්ව තිබූ කෝපය යළිත් ඇවිස්සිණ.

“ආ ඒකත් දැන් ඒ ජාතියෙ ද? අපිට අහුවෙච්ච දෙක ම එකයි. එයාට නම් මං දෙකක් කියනවා. අඩු කුලේ දිය සැලේ ම තමයි.”

“උඹ ඕවට පැටලෙන්නෙපා. මට කථාකර ගන්න අමාරුයි. මං නංගිට දෙනව. පුළුවන් දවසක ඇවිත් පලයන්.”

දුරකථනය කනට තදකර ගෙන ම නැගී සිටි සුනන්දා කාමරයට ගොස් ඇඳෙහි හාන්සි වූවා ය.

“අක්කෙ…”

“මේ… නදීකත් දැන් පොටකට ඇවිත් කියන්නෙ…”

“නදීක ගැන නම් නෙවෙයි අනෙක් කෙනා ගැන නම් එන ආරංචි හොඳ නැහැ…”

“කව්ද අනිත් එකී ගැන ද?”

“ඔව්. ඔෆිස් එකේ එකෙක්ලු. මෙයාට වැඩිය අවුරුදු දහයක් විතර බාල එකෙක් කියල තමයි ආරංචි.”

“අපේ අයියට ඔහොම වෙලා මදි. මං නම් දැනගත්ත එයා ව අපේ එකාට ආන්බාන් කරන්න බැරි විත්තිය.”

“අක්ක ළඟදි මෙහෙ එනව ද?”

“බලන්න ඕන නංගි. මං හිතාගෙන ඉන්නෙ අවුරුද්දට ම එන්නයි. මේ නංගි මං තියන්න ද? මේකෙ බිලත් දැන් නැගලයි තියෙන්නෙ.”

අවසර නො ලබා ම ඇමතුම විසන්ධි කළ සුනන්දා යළිත් වෙනත් අංකයක් එබුවා ය. ඇමතුම සම්බන්ධ නො විණි. ඕ තවත් අංකයක් එබුවා ය.

“හලෝ…”

ඇමතුම සම්බන්ධ විය.

“අඳුනන්න පුළුවන් ද?”

“කව්ද… මේ….”

“සරෝජි මම සුනන්දා.”

සුනන්දා එවර ඇඳෙහි හිඳගෙන විදුලි පංකාව ක්‍රියාත්මක කළා ය.

“අම්මේ… අපිවත් මතක් වෙනවා එහෙනම්. මේ මොකද හදිස්සියක් ද?”

“නැහැ කෙල්ලෙ. මේ මං සිල්වියට ගත්ත ගත්ත ෆෝන් එක වැඩ නැහැ. මොකද මහත්තය ඡන්දෙ දිනුව ද අහන්න කියල. නැති පාර තමයි ඔයාට ගත්තෙ.”

“ඔයාලටත් ඉතිං ලොකු අතු නැත්නම් තමයි පොඩි අතු මතක් වෙන්නෙ. මේ… ඒකට කමක් නැහැ. කොහෙ දිනන්න ද සුදා? හොරුන්ට කව්ද ඡන්දෙ දෙන්නෙ? අපි දුන්නෙත් නැහැ.”

“ඇයි සරෝ පුදුම විදිහටනෙ වියදම් කරනව කියල කිව්වෙ. මං හිතන්නෙ ලක්ෂ ගාණක පෝස්ටර් ගැහුව.”

සුනන්දා කීවේ විමතියෙනි.

“පෝස්ටර් ගැහුව තමයි තාප්ප පුරවල. අනික් පැත්තෙ එවුන් මොකද කළේ කියල දන්නව ද?”

“නෑ…”

“උන් ටික කරපු දේ තමයි, අර පෝස්ටර් ඔක්කොම මැද්දෙන් අලි හොරා කියල එක පෝස්ටරයක් අලවනව.”

“නැ… හ්… ඒ මොකද ඒ?”

එවර සුනන්දා නැගී සිටියා ය. ඒ තරමට ඇගේ කුතුහලයත් උනන්දුවත් තීව්‍ර විය.

“ඇයි ආරංචි නැද්ද අර අලි හොරකමට මෙයත් ඉන්නව. මේ පාරවල් කොන්ත්‍රාත් කරපු එවුන් සල්ලි ටිකක් හොයාගෙන රටට වලව්කාරයො බව පෙන්වන්න අලිත් හොරකම් කරගෙන හදන්නයි හිතුවෙ. අන්තිමට අලි හොරා වෙලයි නැවතුනේ. මේ දවස්වල ගෙවල් දොරවල් වහල ගමේ ගිහින් කියල තමයි ආරංචි.”

“පව් බං සිල්වියා. මොනව වුණත් හිත හොඳ එකී. මට නම් දුකයි.”

සුනන්දා කීවේ අවංක සිතිනි.

“මට නම් කිසි දුකක් නැහැ. ඔයාටත් මතකනෙ සිල්වියා ඉස්සර මඟුල් ගෙදරක යන්න ඕනෙ වුණා ම මගේ සාරි හැට්ට ඉල්ල ගත්ත කියල.”

“ඉතිං…”

“ඉතිං මේ ගෑනි ළඟදි දවසක මට කියනව එයා දවසක් දෙකක් ඇඳල අයින් කරපු සාරි ගොඩක් ම තියෙනව. ඕනෙ නම් අරගෙන අඳින්නයි කියල. මට හිතුණ මුල මතක් කරල හොඳ දෙකක් කියන්න. ඒත් මං ඉවසුවා. ඔන්න ගිය උඩ.”

“ඇති ඇති මං ෆෝන් එක තියනවා. බුදු සරණයි කෙල්ලේ.”

සුනන්දා ඇමතුම විසන්ධි කළේ සිල්වියාගේ නුගුණ ඇසීමට ඇති අකමැත්ත නිසාවෙනි.

“ටට්ටර ට්‍රාං…. ටට්ටර ට්‍රාං….”

කුණු ලොරියේ හඬ සිහින් ව කාමරයට ගලා ආවේ ය. සාලයට දිව ගිය සුනන්දා ජනේලයෙන් ඔළුව දමා පාර දෙස බැලුවා ය. කුණු පටවාගෙන ආපසු වේගයෙන් යන කුණු ලොරිය මොහොතකින් දෙකකින් ඇගේ ඇස්මායිමෙන් ඈත් විය. සුනන්දා කුණු බඳුන් දෙස බැලුවා ය. පිරී ඉතිරී ඇත.

“අයියෝ කුණු ටික දීගන්න බැරි වුණා. දැන් ඉතිං සතියක් ම ගඳ ගහනවා.”

සුනන්දාගේ හිසත් කකියන්නට විය. දුරකථනය සෝපාවට විසි කළ ඕ සෝපාවෙහි ම වැතිර ගත්තා ය. මුළු ගෙය ම කුණු ගඳින් පිරී ඇති බවකි ඇයට සිතුණේ.

– පසු වදන –

අනුන්ගේ වචනවල ඇද කුද හොයන්න ඕනෙ නෑ. අනුන් කළ – නො කළ දේවල් ගැන හොයන්න ඕනෙත් නැහැ. තමන් ගැන බලාගත්තම ඇති. තමන් කළ නො කළ දේ බලාගත්තම ඇති.

(ධම්ම පදය)

මහමෙව්නාව අසපුවාසී පින්වත් ස්වාමීන් වහන්සේ නමක් විසිනි