ත්‍රෛලෝකනාථ වූ සර්වඥ වූ අපගේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ වැඩසිටි යුගය කොයිතරම් සුන්දර වන්නට ඇතිදැයි අමුතුවෙන් කිව යුතු නැත. ඒ සුන්දර යුගයේ මනුලොව උපන් පින් ඇති මිනිසුන් අපගේ බුදුරජාණන් වහන්සේගේ සමීපයේ ධර්මය ඇසූ සිදුවීම් කොතෙකුත් සූත්‍ර දේශනා තුළ අපට දක්නට ලැබේ. ඒ පින්වන්තයින් සියලුදෙනා ම පාහේ දහම් කථාව අවසානයේ මෙසේ පවසන අයුරු ඔබ ඕනෑතරම් අසා ඇති.

“ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, ඉතාම මනහරයි. ස්වාමීනී ගෝතමයාණන් වහන්ස, ඉතාම මනහරයි. යටි අතට හැරවී තිබූ දෙයක් උඩු අතට හැරෙව්වා වගෙයි. සැඟවී තිබූ දෙයක් විවෘත කොට පෙන්වා දුන්නා වගෙයි. මංමුළා වූ කෙනෙකුන් හට හරිමග පෙන්වා දුන්නා වගෙයි. අඳුරේ සිටින ඇස් ඇති අයට රූප දැකීම පිණිස තෙල් පහනක් දැල්වූවා වගෙයි. භාග්‍යවතුන් වහන්සේ මා හට නොයෙක් ආකාරයෙන් ශ්‍රී සද්ධර්මය දේශනා කොට වදාළා. (ඒසාහං භගවන්තං ගෝතමං සරණං ගච්ඡාමි. ධම්මඤ්ච භික්ඛුසංඝං ච) ඒ මම භාග්‍යවත් ගෞතමයාණන් වහන්සේ ව සරණ යමි. උතුම් ශ්‍රී සද්ධර්මය ද සරණ යමි. ශ්‍රාවක සංඝරත්නය ද මම සරණ යමි…”

මෙලෙසින් ඒ පින්වන්තයෝ සරණ ගියෝ ය. හදවතින් ම සරණ ගියෝ ය. දිවි තිබෙන තුරු ම සරණ ගියෝ ය. ඔවුන් සරණ ගියේ කුමක්ද? බුද්ධ රත්නය, ධර්ම රත්නය, සංඝ රත්නය යන උතුම් තෙරුවනයි.

“ඒතං ඛෝ සරණං ඛේමං – ඒතං සරණ මුත්තමං
ඒතං සරණමාගම්ම – සබ්බ දුක්ඛා පමුච්චතී”

“ඔය තෙරුවන් සරණ තමයි මේ ලෝකයේ බිය රහිත වූ එකම සරණ. ඔය තෙරුවන් සරණ තමයි ලෝකයේ ඇති උතුම් ම සරණ. ඔය තෙරුවන් සරණට පත් වූ උදවියටයි සියලු දුක්වලින් නිදහස් වන්නට ලැබෙන්නේ.”

(ධම්මපදය – බුද්ධ වර්ගය)

එනිසාමයි භාග්‍යවතුන් වහන්සේ එක් අවස්ථාවක ආනන්ද තෙරුන්ට මෙසේ වදාළේ. “ආනන්දය, ඔබ යමෙකුට අනුකම්පා කරනවා නම්, යමෙකු කෙරෙහි සෙනෙහසක් දක්වනවා නම්, ඔවුන් හට මේ ලෝකයේ කිසිවෙකුටත් වෙනස් කළ නොහැකි පරිදි තෙරුවන් සරණ යාමට උපකාර කරන්න….” මක් නිසා ද යත්: බුද්ධ ධම්ම සංඝ යන මේ ත්‍රිවිධ රත්නයෝ තුන්ලොවෙහි අග්‍ර ම දේ වන බැවිනි.

ඒ නිසා අප ද තෙරුවන් සරණ යා යුත්තේ ය. හදවතින් ම තෙරුවන් සරණ යා යුත්තේ ය. දිවි තිබෙන තුරාම තෙරුවන් සරණ යා යුත්තේ ය. කිසිවෙකුටත් වෙනසක් කළ නොහැකි පරිද්දෙන් තෙරුවන් සරණ යා යුත්තේ ය.

එසේ හදවතින් ම තෙරුවන් සරණ යන, දිවි තිබෙන තුරා ම තෙරුවන් සරණ යන, තම දිවි දෙවැනි කොට තෙරුවන් සරණ යන පින්වන්තයින් හට මෙම ‘අසිරිමත් තෙරුවන් වර්ණනාව’ අමෘත පානයක් සේ අතිශයින් මිහිරි වනු ඇත.

01) බුදුරජාණන් වහන්සේ පුන්සඳ වැනි ය. බුදු මුවින් ගලා ගිය ඒ උතුම් ශ්‍රී සද්ධර්මය පුන්සඳ මඬලෙන් විහිදෙන සිහිල් සඳ රැස් සමූහය වැනි ය. ශ්‍රාවක සඟරුවන වනාහී පුන්සඳ මඬලින් විහිදෙන සඳ රැසින් සිහිල් වී ගිය ලෝකයා වැනි ය.

බාවරී නම් වයෝවෘද්ධ තවුසාගේ ශිෂ්‍යයන් වූ අජිත මානවකයා ඇතුළු ඒ පිරිස සම්බුදුරජාණන් වහන්සේ නම් වූ පුන්සඳ මඬල සමීපයට පැමිණියේ ය. බුදුරජාණන් වහන්සේ ඔවුන් හට දහම් දෙසු සේක. ශ්‍රී සද්ධර්මය නම් වු සඳ රැස් සමුහය විහිදෙද්දී අජිත මානවක ඇතුළු ඒ පිරිස මොනවට සිසිල් වී ගියේ ය. සියලු කෙලෙසුන් නසාලූ‍ රහතන් වහන්සේලා බවට පත් වූහ. බුදු සසුනේ අපට මුණගැසෙන මෙවන් සිදුවීම් කොතරම් නම් තිබේ ද?

“අනේ මං සරණ ගිය බුදුරුවන සඳ වැනි ය. ධර්මය සඳරැස් වැනි ය. සඟරුවන සඳරැස් වැටී සිසිල් වූවෝ වැනි ය.” කියා සිහි කරමින් තෙරුවන් සරණ ම යත්වා…!

02) බුදුරජාණන් වහන්සේ හිරු මඬල වැනි ය. බුදු මුවින් වදහළ ශ්‍රී සද්ධර්මය හිරු මඬලින් විහිදෙන හිරුකිරණ වැනි ය. ශ්‍රාවක සංඝයා හිරු කිරණින් ආලෝකවත් වූ ලෝකය වැනි ය.

උරුවෙල කාශ්‍යප, නදී කාශ්‍යප, ගයා කාශ්‍යප ප්‍රධාන දහසක් පිරිස හිරුමඬල බඳු අප බුදුරජාණන් වහන්සේ සමීපයට පැමිණියාහු ය. ඒ දහසක් දෙනා අරබයා ආදිත්තපරියාය සූත්‍රයෙන් අප බුදුරජාණන් වහන්සේ දහම් දෙසූ සේක. ඝන අඳුරේ සිටිය දී ඉර පෑයු කලෙක මෙන් ඒ දහම අවසානයේ ඒ දහසක් දෙනා රහතන් වහන්සේලා බවට පත් විය. මෙසේ උපමා ලෙස තව කොතරම් සිදුවීම් තිබේ ද?

එනිසා නුවණැත්තෝ හිරු කිරණ දකිමින්, “මා සරණ ගිය සම්බුදුරජාණන් වහන්සේ හිරු මඬල වැනි ය. ධර්මය හිරු කිරණ වැනි ය. අවිදු අඳුර නසා නිකෙලෙස් වූ රහතන් වහන්සේලා ප්‍රධාන සඟරුවන හිරු කිරණින් ඒකාලෝක වු ලෝකය වැනි ය” යැයි සිහි කරමින් තෙරුවන් සරණ ම යත්වා…!

03) බුදුරජාණන් වහන්සේ සාරවත් කෙතක් සැකසීම පිණිස වනයක් දවන පුරුෂයෙක් වැනි ය. සියලු කෙලෙසුන් දවාලීමට සමත් වූ ශ්‍රී සද්ධර්මය වනය දවන ගින්න වැනි ය. ගින්නෙන් වනය දැවුණු කල සරුකෙතක් සැකසෙනා සේ ශ්‍රාවක සඟරුවන දැවූ කෙලෙස් වනය ඇති නිසාවෙන් ලොවෙහි අනුත්තර වූ පින්කෙත ය.

පන්සියයක් වූ මහත් භික්ෂු පිරිසක් ගෝතමක චේතියට රැස් වූයේ බුදුරජාණන් වහන්සේ සමීපයේ දහම් ඇසීමට ය. බ්‍රහ්මස්වර විහිදුවමින් බුදුරජාණන් වහන්සේ දහම් දෙසූ සේක. ඒ දහම් අසා සිටි පන්සියයක් වූ භික්ෂූන්ගේ සිත් නිකෙලෙස් විය. ගින්නකින් වනයක් දවනා සේ ධර්මය ඒ නුවණැතියන්ගේ සිත් තුළ තිබු සියලු කෙලෙස් දවා අළු කර දැම්මේ ය. මෙසේ උපමා නම් කොපමණ කිව හැකි ද?

එනිසා නුවණැත්තෝ “මාගේ බුදුරජාණන් වහන්සේ දැවීමට සුදුසු දේ හඳුනාගෙන එය දවාලන නුවණැති පුරුෂයෙක් බඳු ය. ධර්මය ගින්න බඳු ය. සඟරුවන කෙලෙස් දවාලූ‍ අනුත්තර පින්කෙත ය.” කියා සිහිකරමින් තෙරුවන් සරණ ම යත්වා…!

04) බුදුරජාණන් වහන්සේ මහා මේඝයක් වැනි ය. ධර්මය වැසි ජලය වැනි ය. සන්සිඳුණු කෙලෙස් දූලි ඇති සඟරුවන වනාහී වැසි ඇද හැලීමෙන් දුහුවිලි සන්සිඳී ගිය භූමිය වැනි ය.

වරක් සම්බුදුරජාණන් වහන්සේ සමීපයට තිහක් පමණ වූ භික්ෂූන් වහන්සේලා පැමිණියෝ ය. මහා මේඝයක් බඳු අපගේ බුදුරජාණන් වහන්සේ දීර්ඝ සසරේ සැබෑ තතු පහදා දෙමින් දහම් වැසි වැස්ස වූ සේක. ඒ පින්වන්තයින් වහන්සේලාගේ දීර්ඝ කාලයක් තැවරී තිබු කෙලෙස් දුහුවිලි දුරු වී ගියේ ය. සන්සිඳුණේ ය. අමා නිවනට පත් වූවේ ය. මේ අසිරිය වර්ණනා කෙරුමට තවත් කෙතරම් සිදුවීම් බුදු සසුනේ තිබේ ද?

එනිසා නුවණැත්තෝ ඇද හැලෙන වරුසාව දකිමිනුත් “මාගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ මහා මේඝය වැනි ය. ධර්මය සිහිල් වැසි දහර වැනි ය. සඟරුවන වනාහී දහම් වැස්සේ තෙමී සන්සිඳුණු පිරිස ය.” කියා සිහිකරමින් තෙරුවන් සරණ ම යත්වා…!

05) බුදුරජාණන් වහන්සේ අශ්වයන් දමනය කිරීමට අති දක්‍ෂ පුරුෂයෙකු වැනි ය. ධර්මය අශ්වයන් දමනය කරනා ශිල්පය වැනි ය. සඟරුවන වනාහී අශ්වයින් දමනය කරන ශිල්පයෙන් මැනවින් දමනය වූ ආජානේය අශ්වයන් වැනි ය.

රෝහිණී නදියේ ජලයට ඇති කෝලාහලය සන්සිඳවීම නිසාවෙන් ප්‍රසාදයට පත් ශාක්‍ය කෝලිය රජදරුවෝ කුමාරවරුන් පන්සිය දෙනෙකු බුදුරජාණන් වහන්සේ සමීපයේ පැවිදි කරවූහ. අහෝ… ස්වකැමැත්තෙන් තොරව පැවිදි වූ ඒ පන්සියනමගේ සිත් කාම සිතිවිලිවලින් කැළඹිණි. මේ බැව් දුටු බුදුරජාණන් වහන්සේ ඒ පන්සියනම කැටුව කුණාල විල්තෙරට වැඩම කළ සේක. එහි දී දහම් දෙසූ සේක. ඒ දහම අවසානයේ මැනවින් දමනය වූ ආජානේය අශ්ව සමූහයක් සේ ඒ පන්සියයක් භික්ෂූන් සැපයට පත් වූවාහු ය. මේ එක් සිදුවීමකි. මෙවැනි සිදුවීම් තව කොතෙක් නම් තිබේ ද?

එනිසා නුවණැත්තෝ හොඳින් සිහි කළ යුතු ය. “මාගේ සම්බුදුරජාණන් වහන්සේ නොදැමුණු වූවන් දමනය කිරීමේ ලා අති දක්ෂ වන සේක. ධර්මය නොදැමුණු වූවන් දමනය කරන ආශ්චර්යවත් ශිල්පය යි. ඒ ශිල්පයේ හික්මී දමනය වීමට තරම් වාසනාවන්ත වු ගණනින් ප්‍රමාණ කළ නොහැකි උතුම් පිරිස සඟරුවන යි.” මෙසේ සිතමින් තෙරුවන් සරණ ම යත්වා…!

06) බුදුරජාණන් වහන්සේ මිථ්‍යාදෘෂ්ටි නම් දරුණු හුල් උදුරා දැමීමට දක්ෂ ශල්‍ය වෛද්‍යවරයා වැනි ය. ධර්මය හුල් උදුරා දමන ශිල්පය යි. උදුරා හළ මිසදිටු හුල් ඇති සඟරුවන හුල් උදුරාලීමෙන් සුවපත් වූවෝ වැනි ය.

07) බුදුරජාණන් වහන්සේ අවිද්‍යා මෝහ පටලය ඉවත් කිරීමට දක්ෂ වූ අක්ෂි වෛද්‍යවරයාණෝ ය. ධර්මය නුවණැස වසාගත් අවිද්‍යා මෝහ පටලය ඉවත් කරන ශිල්පය යි. දහම් ඔසුව නිසාවෙන් අවිද්‍යා මෝහපටලය ඉවත් කරගෙන නුවණැස පාදා ගත් පිරිස වනාහී සඟරුවන යි.

08) සියලු කෙලෙස් රෝග දුරු කිරීමට දක්‍ෂ හෙයින් බුදුරජාණන් වහන්සේ අති ශ්‍රේෂ්ඨ වෛද්‍යවරයෙකු වැනි ය. ධර්මය රෝග දුරුකරවන ශිල්පය යි. කෙලෙස් රෝග දුරුකොට සුවපත් වූ සඟරුවන නිරෝගී බවට පත් වූ පිරිස වැනි ය.

09) බුදුරජාණන් වහන්සේ හිමාලය වැනි ය. ධර්මය වනාහී හිමාලයේ ඇති සියලු‍ රෝග නසන ඖෂධය වැනි ය. සඟරුවන වනාහී හිමාලයෙන් ගත් ඖෂධ නිසාවෙන් රෝග සුවපත් කර ගත් ජනයා වැනි ය.

දින තුනකට පෙර මියගිය තම දරු පැටියාගේ මෘත දේහය තුරුලු කරගෙන අසරණ මවක් බුදුරජාණන් වහන්සේ සමීපයට පැමිණියා ය. ඒ තම මියගිය දරුපැටියා සුවපත් කර දෙන ලෙස ඉල්ලමිනි. ඔව්. ඇයට ඔසුව ලැබිණි.
බුදුරජාණෝ සියලු රෝග නසාලන දහම් ඔසුව ඇයට ලබා දුන් සේක. ඒ ඔසුවෙන් ඇය සුවපත් වූවා ය. සදහට ම සුවපත් වූවා ය. කිසාගෝතමී නමින් අරහත් උත්තමාවියක බවට ඕ පත් වූවාය.

නුවණැත්තෝ මෙය සිහි කළ යුතු ය. “මාගේ සම්බුදු පියාණන් වහන්සේ මහා වෙදැදුරාණෝ ම ය. ධර්මය සකල රෝග නසනා ඔසුවයි. ජාති ජරා ව්‍යාධි මරණ ආදී සියලු රෝග සුවපත් කරගෙන සැනසීමට පත් පිරිස නම් සඟරුවන යි.” මෙසේ සිහි කරමින් තෙරුවන් සරණ ම යත්වා…!

10) බුදුරජාණන් වහන්සේ යහපත් මාර්ගෝපදේශකයෙකු වැනි ය. ධර්මය වනාහී ක්‍ෂේම වූ ස්ථානය කරා යන මාවතයි. සඟරුවන වනාහී යහපත් උපදේශයෙන් පෙන්වූ මාවතේ ගොස් ක්‍ෂේම භූමියට පැමිණ සැපවත් වූ ජනයා වැනි ය.

11) බුදුරජාණන් වහන්සේ අති දක්‍ෂ නාවිකයෙක් වැනි ය. ධර්මය එතෙර යාමට ඇති නෞකාව වැනි ය. අමා නිවනට පත් සඟරුවන වනාහී නෞකාවේ නැගී එතෙරට ගොස් සැපවත් වූ ජනයා වැනි ය.

12) බුදුරජාණන් වහන්සේ යහපත් වූ මිත්‍රයෙකු වැනි ය. ධර්මය හිතෝපදේශය වැනි ය. සඟරුවන වනාහී හිතෝපදේශයෙන් ජීවිත සාර්ථක කර ගත් ජනයා වැනි ය.

සැවැත්නුවර ජේතවනාරාම දොරටුව අසලට විත් මහත් වූ දොම්නසින් චූලපන්ථක තෙරුන් හඬන්නට විය. තම වැඩිමහල් සොයුරා තමා හට යළි ගිහි වෙන්ට කියා ආරාමයෙන් පිටුවහල් කළ නිසාවෙනි. තම වැඩිමහල් සොයුරා වූ මහාපන්ථක තෙරුන්ගේ ද වරදක් නැත. උන්වහන්සේ එසේ සිවුරු හරින්ට කියා කීවේ හාරමාසයක් ම වෙහෙසීවත් සතරපද ගාථාව තමා හට පාඩම් කර ගැනුමට නොහැකි වූ නිසාවෙනි.

එහෙත් පැවිද්දට ඉතා ප්‍රිය වූ චූලපන්ථක තෙරුන් සැවැත්නුවර දොරටුව අසලින් අඩියක්වත් පිටතට නොතියා හඬන්නට විය. ඒත් සමඟ ම මහාකාරුණික බුදුරජාණන් වහන්සේ චූලපන්ථක තෙරුන් සමීපයට වැඩම කළ සේක. සසරේ වැසී තිබූ මහා කුසලතාවයක් ඉස්මතු වෙන උපායක් චූලපන්ථක තෙරුන් හට කමටහන සේ ලැබුණි. අසිරියකි. මොහොතක් ගත වෙත් ම චූලපන්ථක තෙරණුවෝ රහතන් වහන්සේනමක් බවට පත් වූහ.

මෙසේ තෙරුවන සිහිකරමින් නුවණැත්තෝ තෙරුවන් සරණ ම යත්වා…!

13) බුදුරජාණන් වහන්සේ ධනය දන් දෙන මහා ධනවතෙක් වැනි ය. ධර්මය ධනය වැනි ය. සඟරුවන ධනය ලැබ සැපයට පත් ජනයා වැනි ය.

14) බුදුරජාණන් වහන්සේ නිධානයක් පෙන්වන්නකු වැනි ය. ධර්මය නිධානය වැනි ය. සඟරුවන නිධානය ලැබ සැපවත් වූ ජනයා වැනි ය.

15) බුදුරජාණන් වහන්සේ ධන ආකරයක් වැනි ය. ධර්මය සාරවත් ධනය වැනි ය. සඟරුවන ධනය ලැබ සමෘද්ධිමත් වූ ජනයා වැනි ය.

16) බුදුරජාණන් වහන්සේ මැණික් ඔපදමන්නෙකු වැනි ය. ධර්මය මැණික් ඔප දමන ශිල්පය වැනි ය. සඟරුවන ඔප වැටී බබළන මැණික් වැනි ය.

චන්ද්‍රභාගා නදියෙන් එතෙර වී මහාකප්පින රජු ප්‍රධාන පන්සියයක් අමාත්‍යයෝ බුදුරජුන් සමීපයට පැමිණියෝ ය. ඔවුන් උදෙසා බුදුරජාණෝ දහම් දෙසූ සේක. ඒ දෙසුම අවසානයේ සියලු දෙනා අරහත්වයට පත් වූහ. ඒ අමා නිවනේ සැපය විඳිමින් “අහෝ සැපයකි. අහෝ සැපයකි.” යි උදම් අනන්නට විය.

ඒ නිසා නුවණැත්තෝ ඒ සාරවත් වූ සැපවත් වූ අමා නිවනට කැමැතිව පහන් සිතින් තෙරුවන් සරණ ම යත්වා…!

17) බුදුරජාණන් වහන්සේ අභය ලබාදෙන ධෛර්යවත් පුරුෂයෙකු වැනි ය. ධර්මය අභය වැනි ය. බිය රහිත වූ නිවනට පත් සඟරුවන අභය ලැබූ ජනයා වැනි ය.

18) බුදුරජාණන් වහන්සේ සැනසිලිදායකයාණෝ ය. ධර්මය සැනසිල්ල ය. සඟරුවන වනාහී සැනසිල්ලට පත් පිරිස ය.

19) බුදුරජාණන් වහන්සේ ධර්ම දායාදය සපයා දෙන සේක. ධර්මය නම් උතුම් දායාදය යි. සඟරුවන වනාහී ඒ උතුම් ධර්ම දායාදය ලැබ එය සුරකිමින් ඉදිරියට රැගෙන යන පිරිස ය.

නිම කළ බුදුකිස ඇති අපගේ මහාකාරුණික බුදුරජාණන් වහන්සේ කුසිනාරාවේ උපවර්තන නම් සල් උයනේ දී අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පා වදාළ සේක. සම්බුදුරජාණන් වහන්සේ පිරිනිවීමෙන් පසු ශ්‍රාවක ජනයා හට ශාස්තෘන් වහන්සේ වන්නේ ධර්මය බැව් මහා සඟරුවන දැන සිටි සේක. ඒ නිසා සම්බුද්ධ පරිනිර්වාණයෙන් තෙමසක් ගත වූ තැන මහා කස්සප මහරහතන් වහන්සේ ප්‍රමුඛ පන්සියයක් මහරහතුන් එක්ව “පඤ්චසතිකා” නම් ප්‍රථම ධර්ම සංගායනාව සිදු කළ සේක. සම්බුද්ධ පරිනිර්වාණයෙන් වසර සියයක් ගත වූ තැන සබ්බකාමී, යස, රේවත යන මහරහතන් වහන්සේලා ප්‍රමුඛ සත්සියයක් මහරහතුන් එක්ව “සත්තසතිකා” නම් දෙවන ධර්ම සංගායනාව සිදු කළ සේක. සම්බුද්ධ පරිනිර්වාණයෙන් වසර දෙසිය තිස්පහක් ගිය තැන මොග්ගලීපුත්තතිස්ස මහරහතන් වහන්සේ ප්‍රධාන දහසක් මහරහතන් වහන්සේලා එක්ව “සාහස්සිකා” නම් වූ තුන්වැනි ධර්ම සංගායනාව සිදු කළ සේක. සොඳුරු ධර්ම දායාදය රැක ගත් සේක.

එසේ කරුණු සිහි කරනා නුවණැත්තෝ සතුටු සිතින් තෙරුවන් සරණ ම යත්වා…!

20) බුදුරජාණන් වහන්සේ රාජකුමාරයන් නහවන්නෙකු වැනි ය. ධර්මය නම් සිහිල් ජලය වැනි ය. සද්ධර්මය නම් ජලයෙන් පිවිතුරු වූ සඟරුවන මැනැවින් සිහිල් දිය ස්නානය කළ කුමාරයන් වැනි ය.

21) බුදුරජාණන් වහන්සේ රාජකුමාරයන් අලංකාර කරවන්නෙකු වැනි ය. ධර්මය අලංකාරය වැනි ය. සද්ධර්මය නම් වූ අලංකාරයෙන් සැරසුණු සඟරුවන මැනැවින් අලංකාර කරවන ලද රාජකුමාරයන් බඳු ය.

ඍද්ධිමත් භික්ෂූන් අතර අගපත් ධර්මපුරෝහිතවර නිල්මහනෙල් මලේ පැහැ ගත් අපගේ මොග්ගල්ලාන මහරහතන් වහන්සේ තව්තිසා දෙව්භවනේ දිව්‍ය පිරිවර බලා සිටිය දී ස්වකීය ඍද්ධියෙන් වෛජයන්ති ප්‍රාසාදය කම්පා කොට මනුලොවට වැඩි සේක. ඒ දැක විස්මයට පත් සක්දෙවිඳුගේ ප්‍රියම්බිකාවෝ මෙසේ විමසූහ. “කිම ? නිදුකාණෙනි, ඒ ඔබ නිතර පවසන ශාස්තෘන් වහන්සේ ද ඒ පැමිණියේ?”

“නැත අප්සරාවියනි. ඒ මාගේ ශාස්තෘන් වහන්සේ නො වේ. ශ්‍රාවක රත්නය යි.” යැයි සක්දෙවිඳු පිළිතුරු දුන් විට ඈලා තවත් විස්මයට පත්ව මෙසේ පැවසූහ.

“සැබවින්ම ආශ්චර්යයි. අද්භූතයි. ශ්‍රාවක රත්නයක් මෙතරම් ආනුභාව සම්පන්න නම්, ඒ ශාස්තෘන් වහන්සේ කෙතරම් ආනුභාව සම්පන්න ඇති ද?”

මෙසේ ද සිත් පහදාගෙන නුවණැත්තෝ තෙරුවන් සරණ ම යත්වා…!

22) බුදුරජාණන් වහන්සේ සඳුන් රුකක් වැනි ය. ධර්මය ඒ සඳුන් රුකේ හටගත් මිහිරි සුවඳ වැනි ය. ධර්මයේ හැසිරී සැපයට පත් සඟරුවන සඳුන් පරිහරණය කොට සැප සතුට විඳිනා ජනයා වැනි ය.

23) බුදුරජාණන් වහන්සේ විකසිත පියුමක් වැනි ය. ධර්මය ඒ පියුමේ හට ගත් පැණි වැනි ය. දහම් රසය විඳිනා සඟරුවන ඒ පියුමේ පැණි රස අනුභව කරනා බඹර සමූහයා වැනි ය.

මෙසේ නුවණැත්තෙකුට ඒ උතුම් තෙරුවන සිහි කෙරුමට අනේක වූ ආකාරයන් මෙම “අසිරිමත් තෙරුවන් වර්ණනාව” සාර ලිපියෙන් කරන ලදී, මෙම අසිරිමත් තෙරුවන් වර්ණනාව පහන් සිතින් කියැවූ ඔබත් හදවතින් ම තෙරුවන් සරණ ම යන්න. දිවි තිබෙනා තුරු ම තෙරුවන් සරණ යන්න. ජීවිතය දෙවැනි කොට තෙරුවන් සරණ යන්න. ඔබේ ජීවිතය කිසි කලෙකත් උතුම් තෙරුවන් සරණෙන් බැහැර නොයත්වා…!

සැමට තෙරුවන් සරණ වේවා…!!!

(ලිපියේ ඇසුර : ඛුද්දකපාඨ අට්ඨකතාව)

මහමෙව්නාව භාවනා අසපුවාසී පින්වත් ස්වාමීන් වහන්සේනමක් විසිනි.