මේ ප්‍රශ්නය ඉස්සර කෙනෙකුට ඇති වුණා. ඒ දවස්වල අපගේ පිණ්ඩෝල භාරද්වාජ මහරහතන් වහන්සේ වැඩ සිටියේ කොසඹෑ නුවර ඝෝෂිතාරාමයේ. උදේනි රජතුමා පිණ්ඩෝල භාරද්වාජ මහරහතන් වහන්සේ හමුවට පැමිණියා. සතුටු සාමීචි කතාකරලා පැත්තකින් අසුන්ගෙන මෙහෙම ප්‍රශ්නයක් ඇහුවා.

“භවත් භාරද්වාජයෙනි, මේ තරුණ භික්ෂූන් ඉන්නවා. කළු කෙස් තියෙන්නේ. භද්‍ර යෞවන වියෙහි ඉන්නේ. ජීවිතයේ පළමු වයසේ ඉන්නේ. පස්කම් සැප අනුභව කරලා නෑ. ඉතින් මේ තරුණ භික්ෂූන් ජීවිතාන්තය දක්වා පිරිපුන් පිරිසිදු බඹසර දිගු කලක් නොසිඳ පවත්වනවා නම් ඒකට හේතුව කුමක් ද? ප්‍රත්‍යය කුමක් ද?”

කාම සැපය අනුභව කරන තරුණ කාලේ විවාහ නො වී, පැවිදි වෙලා දිවි ඇති තෙක් පිරිසිදු බඹසර රකින්නේ කොහොමද කියන එකයි රජතුමාට පුදුමේ. ඒකයි මෙහෙම අහන්නේ. අද සමාජයෙත් ප්‍රශ්න තියෙනවා. රාගය සිතට එද්දි, ඉන්ද්‍රියනුත් ඊට ම මෝරා එද්දි කොහොමද කාම ක්‍රීඩා නොකර ඉන්නේ කියලා හිතන අය කොච්චර ඉන්නව ද. අද කාලේ සමහර අයට ධර්මය අහලා පැවිදි වෙන්න හිතෙනවා. ඒත් ඒ එක්කම හිතට එන එකක් තමා බඹසර රැකගන්න පුළුවන් ද කියලා. ගොඩාක් අයට හිතෙන්නේ බෑ කියලා. අහෝ…. සසරේ පින තියෙන අයත් ආයෙ ආයෙමත් කාමයට ම වැටෙනවා.

අවසානයේ කොහේ හරි යන ස්ත්‍රියකට පැටලිලා වද විඳිනවා. එදාට හිතෙනවා, ‘අයියෝ මම මහණ වුණා නම් හොඳයි’ කියලා. එතකොට පෙරහැර ගිහින්. මේ කාරණයේදී ඔවුන් තමන්ගේ හිත තමයි විශ්වාස කරන්නේ. ඒ නිසයි ‘මට රාගය පාලනය කරන්න බෑ’ කියලා හිතෙන්නේ. නමුත් විශ්වාස කරන්න ඕන තමන් ව නෙවෙයි, ධර්මය. ධර්මයෙන් තමයි රාගය සන්සිඳුවන ඖෂධය ලබා දෙන්නේ. අද ඉගෙන ගන්න මේ දහම් පර්යාය රාගය සන්සිඳුවා බඹසර සුරකින ඖෂධයක්. හරිම සුන්දරයි.

සමහරු හිතන්නේ බඹසර රකින්න බැරි දෙයක් කියලා. මහාචාර්ය ඒබ්‍රහම් ටී. කොවූර් නම් පර්යේෂකයා තම වාර්තා පොතක ලියා පළ කොට තිබුණා, ‘බඹසර කියන්නේ බොරුවක්. ඒක ලෝකේ කාටවත් රකින්න බෑ’ කියලා. කලණමිතුරු ඇසුර නැති, විරාගී ශාස්තෘන් වහන්සේනමක් මුණනොගැසුන කෙනාට බඹසර මායාවක් වෙන්න පුළුවන්. ඒත් විරාගී ශාස්තෘන් වහන්සේනමකගේ ශ්‍රාවකයෙකුට බඹසර යනු ගත දවටා ගන්න ලොව සොඳුරු ම වස්ත්‍රයක්. ඇඟ ගල්වන මිහිරි ම සුවඳක්. පිපාසිත මගියෙකුට සිසිල් දිය දහරක් වගේ දෙයක්. සඳරැස් විහිදුණු උයනක පැනවූ යහනක් වගේ දෙයක්. දියෙහි පිහිනන කෙනෙකුට නැවක් වගේ. බඹසර යනු ප්‍රතිපත්තිය නමැති පුෂ්පයන් අතුරන මලසුනක් වගේ. බඹසර යනු රාගය නමැති සතුරන් නසන යුද සෙබළෙක් වගේ. කෙලෙස් යුද්ධයට යන කෙනෙකුට ආජානීය අශ්වයෙක් වගේ. බඹසර යනු සුන්දර කතකගේ සොඳුරු සිනහව. බඹසර යනු නාගයෙකුට දායාද මැණිකක් වගේ. බඹසර යනු සිංහයෙකුට ලැබුණ දියමන්ති ගුහාවක් වගේ දෙයක්.

මේ වගේ නොයෙක් උපමාවෙන් වර්ණනා කළ හැකි පරම පූජනීය සීලයක් තමයි බඹසර. ඉතින් රජතුමා අහන්නේ තරුණ කාලයේ සිත කොහොමද පාලනය කර ගන්නේ කියලා. අපගේ පිණ්ඩෝල භාරද්වාජ මහරහතන් වහන්සේ මෙසේ පිළිතුරු දෙනවා.

පළමු ක්‍රමය

“මහරජ, දත යුතු සියල්ල දන්නා වූ, දැක්ක යුතු සියල්ල දක්නා වූ, ඒ භාග්‍යවත් වූ, අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් මේ විදියට වදාරලයි තියෙන්නේ. ‘එන්න මහණෙනි, ඔබ මව් සමාන කාන්තාවන් ගැන මාතෘ චිත්තය පිහිටුවා ගන්න. සහෝදරිය සමාන කාන්තාවන් ගැන සොයුරී සිත පිහිටුවා ගන්න. දියණිය සමාන වූවන් ගැන දියණිය යන සිත පිහිටුවා ගන්න.’ ඔන්න ඔය විදියට කල්පනා කරන නිසා කළු කෙස් තියෙන කාලේ කාමය භුක්ති විඳ නැති තරුණ භික්ෂුව පවා දිගු කලක් ජීවිතාන්තය දක්වා පිරිසිදු බඹසර රකිනවා.”

බලන්න බුද්ධ ශාසනයේ ප්‍රයෝජනය ගන්නේ කොච්චර පින්වන්ත අය ද කියලා. එදා බුද්ධ කාලයේ කාන්තාවන් නිසා රාග සිතක් ඉපදුණොත් ‘අනේ මේ මගේ අම්මා වගේනේ, සහෝදරිය වගේනේ. දියණිය වගේනේ.’ කියලා හිතනකොට ම සිත සංවර වෙනවා. ඒ කියන්නේ ඒ අයට තියෙන ගෞරවය, ආදරය නිසා. ගෞරවය තියෙන තැන රාගයට ඉඩක් නෑ. තමන් අවංක ව ම තමන්ගේ අම්මට, සහෝදරියට, දියණියට ආදරේ නම්, ගෞරව නම් ලෝකයේ වෙන කාන්තාවක් දිහා ඒ අදහසින් බලනකොට හිත අසංවර වෙන්නේ නෑ. බස් එකේ යනකොට, ගමන් බිමන් යනකොට, පිරිස් අතර ඉන්නකොට හිතට කාන්තාවන් මතක් වෙද්දි එතනට තමන්ගේ මව්, සහෝදරිය, දුව ආදේශ කරන්න බලන්න. මේ තමයි බඹසර කෙලෙසා ගන්නේ නැති පළමු ක්‍රමය. පිනැත්තන්ට සඤ්ඤා මාත්‍රය ඇති. කාමය කියන්නේ සංකල්ප රාගයක්නේ. ඒක සංකල්පයකින් ම නැති වෙනවා. බඹසර රකින කාන්තාවන්ටත් ඒ වගේ ම තමයි. මේ මගේ තාත්තා වගේ, මගේ අයියා, මගේ ම මල්ලි වගේ, මගේ පුතා වගේ කියලා හිතන්න ඕන. මේ ක්‍රමය වදාළේ බුදුරජාණන් වහන්සේනමක්. එහෙමත් හිත සංවර වෙනවා.

දෙවන ක්‍රමය

රජතුමා අපූරු කතාවක් කියනවා. “භාරද්වාජයෙනි, සිත ලෝලයි නෙව, ඒ නිසා සමහර විට අම්මා වගේ ස්ත්‍රීන් ගැනත් ලෝභය උපදිනවා. සහෝදරිය වගේ ස්ත්‍රීන් ගැනත් ලෝභය උපදිනවා. දුව වගේ ස්ත්‍රීන් ගැනත් ලෝභය උපදිනවා. අනේ භාරද්වාජයෙනි, මේ තරුණ භික්ෂූන් කාම සැපය විඳලත් නැතුව, කළු කෙස් තියෙන කාලෙම (කිසිම කාම ක්‍රීඩාවක් නොකර) පිරිසිදු බඹසර ජීවිතාන්තය දක්වා ආරක්ෂා කර ගන්න වෙන ක්‍රමයක් තියෙනව ද?” එතකොට අපගේ පිණ්ඩෝල භාරද්වාජ මහරහතන් වහන්සේ මෙසේ වදාළා.

“මහරජ, දතයුතු සියල්ල දන්නා, දක්නා ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් මේ විදිහට වදාරළයි තියෙන්නේ. “එන්න මහණෙනි, ඔබ පා තලයෙන් උඩ සිට කෙස් මතුයෙන් පහළට, සම සීමා කොට නානාප්‍රකාර වූ අසූචිවලින් යුතු මේ කය ගැන ම නුවණින් විමසන්න. මේ කයෙහි කෙස්, ලොම්, නිය, දත්, සම්, මස්, නහර, ඇට, ඇට මිඳුලු, වකුගඩුව, හදවත, අක්මාව, දළඹුව, බඩදිව, පෙණහැල්ල, අතුණු, අතුණු බහන්, නොපැසුණු ආහාර, අසූචි, පිත, සෙම, සැරව, ලේ, දහඩිය, මේද තෙල, කදුළු, වුරුණු තෙල, කෙළ, සොටු, සඳමිඳුළු, මූත්‍රා තියෙනවා කියලා.” මහරජ, මේ තරුණ භික්ෂූන් බඹසර දිගු කලක් නොසිඳ පවත්වනවා නම් ඒකට හේතුව මේකයි. ප්‍රත්‍යය මේකයි.”

මේ විස්තර කරන්නේ අසුභ මනසිකාරය. හොඳට මතක තියාගන්න, ඒ අසුභය ඉස්සෙල්ලාම මෙනෙහි කරන්නේ තමන්ගේ ශරීරය පිළිබඳව යි. මේ ශරීරයේ මේ මේ කොටස් තියෙනවා කියලා තමන්ගේ ඇතුළේ තියෙන දේවල ස්වභාවය තමන්ට ම තේරුණා නම් ඒ කාම අරමුණු හිත හිතා සිල් කඩා ගන්නේ නැහැ. දවසක් දෙකක් නෑවේ නැත්නම් කෙස්වලින් එන ගඳ ගැන හිතන්න. තමන්ගේ ම ඉකිලි, කිහිලිවල ගන්දස්සාරය හිතන්න. තමන්ගේ ම මලමූත්‍රවල පිළිකුල හිතන්න. දාඩියවල ගඳ හිතන්න. පිටට මතුවෙන ටිකේ ජරාව ඔහොම නම් ඇතුළ කොහොමද? උදේ නැගිට්ට ගමන් මූණ දිහා බලන්න. මුඛයේ දුර්ගන්ධය බලන්න. මේ සඤ්ඤාවල් හිතට අරන් කෙස්, ලොම්, නිය, දත් ආදී වශයෙන් මාගේ ශරීරයෙහි මේවනේ තියෙන්නේ කියලා බලන්න ඕන. එතකොට හිත සන්සිඳෙනවා. ඊට පස්සේ බාහිරට ගළපා බලන්න පුළුවන් ‘ඔය සෑම ස්ත්‍රියකගේ ම ශරීර ඔහොම තමයි’ කියලා. සමහරවිට හිතෙනවා අපේ ඇඟවලට වඩා ඒ ශරීර ජරාව කියලා. මේ ලෝකයේ වතුර කියන ජාතිය නැති වුණොත් ඔක්කොගෙම සෙල්ලම් ඉවරයි. මේ සත්වයා වතුරෙන් සෝද සෝදා සුවඳ විලවුන් ගාගෙන තමයි මේ අසූචි පිරුණු ශරීරය බබළවන්නේ. ඒත් නව දොරකින් ජරාව වෑහෙනවා, උතුරලා යනවා. එතකොට ඉක්මනට හෝදලා පිහදා ගන්නවා.

මේ අර්බුදයෙන් කිසි කෙනෙක් බේරිලා නෑ. ඒත් මිනිස්සු, මිනිස්සු වැළඳ ගන්නවා. මෝහයක තරම බලන්න. මොකද මේ වුණේ? මුගලන් මහරහතන් වහන්සේ දිනක් වදාළා මේ ශරීරය වැස්ස කාලේ උතුරන අසූචි වළක් වගේ කියලා. අපගේ භාග්‍යවතුන් වහන්සේ නම් පයේ ඇඟිල්ලකින්වත් ස්පර්ශ කරන්න අකමැති බව වදාළා. තමන්ගේ ශරීරයේ ඇත්ත හිතනකොට බඹසර රැකෙනවා. ඒකයි පැවිදි වෙන අයට මූල කර්මස්ථානය වශයෙන් සිවුරු දෙනකොට ම අසුභ භාවනාව දෙන්නේ.

ඇත්තටම දවසට විනාඩි 10ක් 15ක්වත් අසුභය මනසිකාර කරන්න පුරුදු වෙලා නැත්නම් පිරිසිදු මහණකම කොච්චර කාලයක් රකින්න ද? පැවිද්ද නමැති සෙනසුනේ දල්වන ලද පහන බඹසරයි. කසාවතක් දරාගෙන බඹසරක් රකින්න බ්‍රහ්මරාජයෙකුටත් බැහැ බ්‍රහ්මයා ගිහි ශ්‍රාවකයෙක් නිසා… අහෝ කාමයට නින්දා වේවා! නිවන් දකින තුරු බඹසර වාසනාවන්!

තුන්වන ක්‍රමය

මේ රජතුමාගේ දැනුම හරි අගෙයි. රජතුමා කියනවා. “ස්වාමීනී, වඩන ලද කාය භාවනා ඇති, වඩන ලද සිල් ඇති, වඩන ලද සිතක් ඇති, වඩන ලද ප්‍රඥාව ඇති භික්ෂුවකට නම් අසුභ සඤ්ඤාවෙන් හිත රකින එක පහසුයි. ඒත් මේ සමහර භික්ෂූන් ඉන්නවා භාවනාව හොඳට වඩලා නෑ. සිලුත් පුහුණු වෙනවා. හිතත් හදාගෙන නෑ. නුවණත් දියුණු නෑ. ඒ අය ‘අසුභ වශයෙන් මෙනෙහි කරමු’ කියලා සුභ වශයෙන් මෙනෙහි කිරීමට වැටෙනවා. ස්වාමීනී, අපට කියලා දෙන්න ඔය වගේත් තියෙද්දී මෙහි තරුණ භික්ෂූන් වහන්සේලා දිවි ඇති තාක් බඹසර රකිනවා නම් කොහොමද ඕක කරන්නේ?”

ඇත්තටම මේ උදේනි රජ්ජුරුවෝ අහන දේවල් අද කාලේ භික්ෂූන්ටවත් තේරෙනවා නම් හොඳයි. මොකද අසුභය මෙනෙහි කරන්න ගිහින් ගොඩාක් අය සුභ වශයෙන් මනසිකාරයට වැටෙනවා. තමාගේ හිත විග්‍රහ කරන්නට දක්ෂ වුණොත් ඒක තේරෙනවා. සමහර අය අසුභය කියලා ඒ මනසිකාරයට ගැටිලා මූණ ඇඹුල් කර ගන්නවා. බුද්ධ කාලයේ වැසිකිළි ගිහින් හෝදා ගන්නේ නැති භික්ෂුවක් හිටියා. ඒ මේ වගේ සුභ අරමුණෙන් ඉඳලා අසුභය හිතනකොට ගැටෙනවා. සමහර අය අසුභයට බයයි. සමහර අය එක එක විදියට විස්තර කරනවා. කොහොමහරි අවසානයේ බඹසරට යි මේක බලපාන්නේ කියලා නොදන්න එක අලාභයක්. හරියට ම අසුභ භාවනාව කරනවා නම් මෛථුන හෙවත් කාම සේවන සිතුවිලි, ගින්නට දැමූ කුකුල් පිහාට්ටක් වගේ හැකිළෙනවා කියා භාග්‍යවතුන් වහන්සේ වදාළා. නමුත් හරියට වඩන්නේ නැති එකයි ප්‍රශ්නය.

උදේනි රජතුමා බඹසර රැක ගන්නා ක්‍රම ගැන මේ හැමතැනක ම පිණ්ඩෝල භාරද්වාජ මහරහතන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේගේ අවවාදය තමයි සිහි කරන්නේ. ‘ඕක මෙහෙමයි කරන්න තියෙන්නේ… මට මෙහෙමයි වැටහුනේ…’ කියන දෘෂ්ටි මෙතන නෑ. බලන්න ශ්‍රාවකත්වය. ශාස්තෘන් වහන්සේගේ අවවාදය ම ඉස්මතු කරනවා.

“මහරජ, දතයුතු සියල්ල දන්නා, දක්නා ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් මේ විදිහට වදාරළයි තියෙන්නේ. “එන්න මහණෙනි, ඔබ අකුසලයෙන් වැළැක්වූ දොරටු ඇති ඉන්ද්‍රියයන් තුළ වාසය කරන්න. ඇසින් රූප බලලා කෙලෙස් ඇතිවෙන නිමිති ගන්න අය වෙන්න එපා. කෙලෙස් ඇතිවෙන නිමිත්තක කොටසක්වත් ගන්න අය වෙන්ට එපා. යම් හෙයකින් ඇස නැමැති ඉන්ද්‍රිය අසංවරව වසන කෙනෙකුට දැඩි ලෝභයත් දොම්නසත් පාපී අකුසලත් ඇති වී අර්බුදයක් හට ගන්නවා නම්, එහි සංවරය පිණිස පිළිපදින්න. ඇස රැක ගන්න. ඇස නැමැති ඉන්ද්‍රියයේ සංවරයට පැමිණෙන්න.”

මේ විදියට ඇස, කන, නාසය, දිව, කය සහ මනස යන ආයතන හය ම සංවර කරන විදිය විස්තර කරනවා. කිසිම ඉන්ද්‍රියකින් රාග අරමුණු, ද්වේෂ අරමුණු, අකුසල් අරමුණු ඇතිවෙන නිමිත්තක් ගන්නේ නෑ. යමකින් රාගය ඇතිවෙනවා නම් ඒක බලන්නේ නෑ. ඇස සංවර කරනවා. අහනකොට, පහස ලබන කොට රාගය ඇති වෙනවා නම්, වෙනත් අකුසල් ඇති වෙනවා නම්, එවැනි දේවල් ඉන්ද්‍රියන්ගෙන් ඇතුල් වීම වළක්වනවා. එබඳු දේවල් සිතන පතන එක වළක්වනවා. වැඩිය විස්තර කුමට ද? ජංගම දුරකතනයෙන් පෙනෙන, ඇහෙන රාගය උපද්දවන දේ සංවර කර ගත්තා නම්, වසා ගත්තා නම් ඒකෙන් ම බඹසර රැකෙනා බව ඔබට හිතාගන්න පුළුවන්.

රාගය කියන එක ඉබේ වහා හටගන්නා දෙයක් නෙවෙයි. දකින දෙයක් හෝ අහන දෙයක් හෝ සිතන දෙයක් හෝ (සුභ නිමිත්ත) අනුව කෙලෙස් උපදින විදියට සිතනකොට (අයෝනිසෝ මනසිකාරය) ඒ හේතුවෙන් කාමරාගය උපදිනවා. මෙතන දී ඉන්ද්‍රිය සංවරය විස්තර කරමින් පෙන්වා දෙනවා අකුසල් උපදින දේවලින් ඇස, කන, නාසය, දිව, කය, සිත සංවර කරනවා කියලා. ඇත්තටම මේක අතිශයින් සාර්ථක ක්‍රමයක්. ගින්දරයි, පුලුනුයි ළං කරන්නේ නැතුව ඉන්න ක්‍රමයක් මෙයින් පුහුණු වෙනවා. අද කාලේ බඹසර රකින්න නම් අනිවාර්යයෙන් ම ඉස්සෙල්ලාම රාගය උපද්දවන බාහිරින් ලැබෙන අරමුණු වළක්වන්න ඕන.

අන්න ඒ නිසා ගිහි කෙනාට වඩා භික්ෂූන්ට බඹසරට උපකාර තියෙනවා. හේතුව සංඝයා බඹසර ගැන කතා කරනවා. විරාගී කතා කියනවා. කාම කතා නෑ. විරාගී හැසිරීම් තියෙනවා. සෑය, බෝධිය වඳිමින් සිල් සුරකිනවා. විරාගී මහරහතුන්ට වඳිමින් ගුණ කියමින් ඉන්නවා. මහරහතුන්ගේ ධජය වූ අරහත් ධජය නම් කසාවත දරනවා. ඇත්තටම මේ අරහත් ධජයේ උණුසුම බඹසරට උපකාර කරනවා. ඒ නිසා ගිහි ජීවිතේ බඹසර රකින්න අමාරු කෙනෙකුට වුණත් පැවිදි දිවියේ පිරිසිදුව ඉන්න ඉහළ උපකාර ලැබෙනවා.

ඉතින් උදේනි රජතුමා පුදුමයට පත්වෙලා ප්‍රකාශ කරනවා භවත් භාරද්වාජයෙනි, ආශ්චර්යයි. භවත් භාරද්වාජයෙනි, පුදුම සහගතයි. භවත් භාරද්වාජයෙනි, දතයුතු සියල්ල දන්නා, දක්නා ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ විසින් මොනතරම් සුභාෂිතයක් ද මේ වදාරළා තියෙන්නේ. භවත් භාරද්වාජයෙනි, මේ කළු කෙහෙ ඇති, සොඳුරු යොවුන් වියේ සිටින, ජීවිතයෙහි පළමු වයසේ සිටින කම්සැප අනුභව නොකළ යම් මේ තරුණ භික්ෂූන් ජීවිතාන්තය දක්වා පිරිපුන් පිරිසිදු බඹසර දිගු කලක් මුළුල්ලෙහි නොසිඳ රකිනවා කියන කරුණට මේක ම යි හේතුව. මේක ම යි ප්‍රත්‍යය.

භවත් භාරද්වාජයෙනි, මං වුණත් යම් වෙලාවක නො රක්නා ලද කයින්, නො රක්නා ලද වචනයෙන්, නොරක්නා ලද සිතින්, සිහියත් නො පිහිටුවාගෙන, ඉඳුරනුත් අසංවර කරගෙන ඇතුළු නුවරට පිවිසෙනවා නම්, ඒ වෙලාවෙහි දී බලවත් ලෝභ සිත් මාව පෙළනවා. නමුත් භවත් භාරද්වාජයෙනි, යම් වෙලාවකදී මං රක්නා ලද කයින්, රක්නා ලද වචනයෙන්, රක්නා ලද සිතින්, සිහියත් පිහිටුවා ගෙන, ඉඳුරනුත් සංවර කරගෙන ඇතුළු නුවරට පිවිසෙනවා නම්, ඒ වෙලාවේදී ලෝභ සිත් මාව පෙළන්නේ නෑ.

රජතුමාටත් හොඳට තේරෙනවා රාගයෙන් පිච්චෙන්නේ ඉන්ද්‍රිය අසංවරයෙන් කියලා. ඒ නිසා බඹසර රකින්න අති සාර්ථක විසඳුම ඉන්ද්‍රිය සංවරය බව පේනවා. අද සමාජය හැඩ ගැසී තිබෙන විදිහත් එක්ක කෙනෙක් බඹසර රකිනවා නම් ඒක මහා විස්මිත හැකියාවක්. ඒ තරම් ම අසංවරයට ම යි පරිසරය හැදිලා තියෙන්නේ. මිනිස්සුත් දුර්වලයි. සැඩ පහරට වගේ ගහගෙන යනවා. කෙසේ නමුත් උදේනි රජතුමා නම් බඹසර රකින විදිහ අහලා තෙරුවන් සරණ යනවා. බලන්න රහතන් වහන්සේලාට කොච්චර පහදින්න පුළුවන් ද ‘අනේ අපි රාගයෙන් විඳින දුකත් එක්ක උන්වහන්සේලා කොපමණ ශ්‍රේෂ්ඨ ද’ කියලා.

කුසල් සිතක් ඉපදීමත් නිවනට හරි උපකාරයි. ඒ නිසා ‘මමත් ඒ උතුම් බඹසර පුරුදු කරන්න ඕන. සමාදන් වූ බඹසර ගෞරව සිතින්, අසුභ මනසිකාරයෙන්, ඉන්ද්‍රිය සංවරයෙන් පිරිසිදු ව සුරකින්න ඕන’ කියලා පින් සිතුවිලි ඇති කර ගන්න. එතකොට විස්තර ලියන අපටත් බොහෝ පින් පිරේවි.

(සං. නි. 4 – භාරද්වාජ සූත්‍රය ඇසුරෙනි.)

මහමෙව්නාව අසපුවාසී පින්වත් ස්වාමීන් වහන්සේ නමක් විසිනි