හිරු කිරණින් විකසිත වන මල් පරිසරය සොඳුරු කරවයි. එසේ ම දයාව, සෙනෙහස, ළෙංගතුකම, මෘදු බවින් ලොව සනහන්නේ ලිය යි. ඒ සොඳුරු ලාලිත්‍යයකින් හෙබි කාන්තාව සතු භූමිකා කිහිපයකි. මවක්, දියණියක්, සොයුරියක්, මිතුරියක්, ශිෂ්‍යාවක්, රටේ ආර්ථිකයට සවිබල දෙන ව්‍යවසායිකාවක්, රැකියාවන්හි නියුතු කාන්තාවන් මෙන් ම රාජ්‍ය පාලනයට එක් වූ කාන්තාවන් දක්වා ම මේ භූමිකා විහිදී ඇත. සමාජය පීතෘ මූලික වුව ද පීතෘ මූලික භාවයට පදනම කාන්තාව යි. වර්තමාන සමාජයේ මෙන් ම අතීතයෙහි ද සමාජයේ බොහෝ කටයුතු උදෙසා තිරය පිටුපස දිරිය දුන්නී කාන්තාවක් ම නො වේ ද?

අතීතයේ භාරත සමාජය තුළ දීන තත්ත්වයට ඇද දමා තිබූ කාන්තාව, බුදු සමිඳුන්ගේ අපරිමිත කරුණාව නිසා ම අදීන බවට පැමිණියා ය. තෙරුවන් සරණට පැමිණි උපාසිකාවෝ බොහෝ පින් දහම් කොට දෙව් ලොව උපත ලැබුවහ. මාර්ග ඵලයන් සාක්ෂාත් කරගත්හ. පැවිදි භාවයට පත් වූ භික්ෂුණීන් අරහත්වයට පත්ව පිරිනිවන් පා වදාළහ. බුදු දහම ලක්දිවට පැමිණි කාලයේ දී මෙන්ම අදත් පින් දහම් උදෙසා මූලිකත්වය ගන්නී ඇය යි.
භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටි කල අග්‍ර දායිකාව වූයේ විශාඛා සිටු දියණිය යි. ඇය රුවින් ද ගුණින් ද නුවණින් ද වැඩී ගිය සෝතාපන්න ශ්‍රාවිකාවකි.

සාක්ෂරතාව ඉහළ වර්තමාන සමාජය තුළ බිහි වූ කාන්තාව පිරිමින් හා සම තැන ඉල්ලමින් සටන් කරන යුගයට එදා බුදු සසුනේ අග්‍ර උපස්ථායිකාව වූ විශාඛාවන් හට බුදු පියාණන් වහන්සේ දේශනා කොට වදාළ මේ උතුම් සූත්‍ර දේශනාව ඉමහත් අගනේ ය. ඇස් අරවන සුලු ය. අනාගතයේ විශාඛාව වැන්නියන් වී ඉපදේවා යි පතන්නියන් හට අද අද ම ඇය සතු උතුම් ගුණ ඇතිකර ගැනීමට ඉවහල් වන අංගුත්තර නිකාය අට්ඨක නිපාතයේ උපෝසථ වර්ගයට අයත් උතුම් පඨම ලෝක විජය සූත්‍ර දේශනාව කෙලෙස වේදැයි විමසා බලමු.

භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර පූර්වාරාමයෙහි වැඩ වසන කල්හි මිගාර මාතා විශාඛා උපාසිකාවෝ භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ භාග්‍යවතුන් වහන්සේට සකසා වන්දනා කොට එකත්පස්ව හුන්නා ය. එකත්පස් ව හුන් මිගාර මාතාවට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

“විශාඛාවෙනි, සතර කරුණකින් සමන්විත වු ස්ත්‍රිය මෙලොව දිනීම පිණිස පිළිපන්නී වෙයි. ඇය විසින් මෙලොව සතුටු කරන්නී වෙයි. ඒ කවර සතරකින් ද යත්, මෙහිලා ස්ත්‍රිය ස්වාමියාගේ නිවසෙහි ඇති කටයුතු අතර එළු ලොම් කැටීම වේවා, කපු කැටීම වේවා එහිලා දක්ෂ වෙයි, අලස නැත්තී වෙයි, කටයුතු සංවිධානය කිරීමෙහි උපාය වීමංසනයෙන් යුතු වෙයි. විශාඛාවෙනි, මෙසේ ස්ත්‍රිය මැනවින් සකස් කොට කටයුතු කරන්නී වෙයි.

විශාඛාවෙනි, මෙහිලා ස්ත්‍රිය සිය පිරිවර ජනයා හට සංග්‍රහ කරන ලද්දී වෙයි. මෙහිලා ස්ත්‍රිය ස්වාමියාගේ යම් ඒ අභ්‍යන්තර ජනයා වෙත් ද මෙහෙකරුවන් වේවා, දාසයන් වේවා, කම්කරුවන් වේවා සිටිත් ද ඔවුන් කළ දේ, කළ දේ වශයෙන් දන්නී ය. නොකළ දේ, නොකළ දේ වශයෙන් දන්නී ය. ගිලන් වූවන්ගේ ගිලන් බවත්, බල දුබල බවත් දන්නී ය. ඔවුන්ට කන බොන දෑ බෙදා හදා දෙන්නී ය.

විශාඛාවෙනි, මෙහිලා ස්ත්‍රිය සැමියා හට මනාප ලෙස හැසිරෙන්නී වෙයි. යමක් ස්වාමියා හට අමනාප යැයි කියන ලද්දේ ද එබඳු දෙයක් දිවි යතත් නොකරන්නී වෙයි.

විශාඛාවෙනි, මෙහිලා ස්ත්‍රිය සැමියා ඉපයූ දෙය රකින්නී වෙයි. තම ස්වාමියා යම් ධනයක් ධාන්‍යයක් හෝ රනක් හෝ රැගෙන එයි නම් එය ආරක්ෂා කරයි, රකියි, එහිලා ධූර්ත නැත්තී, සොර නැත්තී, ලොල් නැත්තී, එය නොනසන්නී වෙයි. මේ සතර කරුණින් යුතු ස්ත්‍රිය මෙලොව දිනීම පිණිස පිළිපන්නී වෙයි. ඇය විසින් මෙලොව සතුටු කරන්නී වෙයි.

විශාඛාවෙනි, සතර කරුණින් සමන්විත ස්ත්‍රිය පරලොව දිනීම පිණිස පිළිපන්නී වෙයි. මෙහිලා ස්ත්‍රිය ශ්‍රද්ධාවෙන් යුක්ත වෙයි. සැදැහැවත් වෙයි, තථාගතයාණන් වහන්සේගේ අවබෝධය අදහා ගන්නී වෙයි. මේ මේ කරුණින් ඒ භාග්‍යවතුන් වහන්සේ අරහං වන සේක. සම්මාසම්බුද්ධ වන සේක. විජ්ජාචරණ සම්පන්න වන සේක. සුගත වන සේක. ලෝකවිදූ වන සේක. අනුත්තරෝ පුරිසදම්මසාරථී වන සේක. සත්ථා දේවමනුස්සානං වන සේක. බුද්ධ වන සේක. භගවා වන සේක යනුවෙනි.

මෙහිලා ස්ත්‍රිය සීලයෙන් යුක්ත වෙයි. සතුන් මැරීමෙන්, සොරකම් කිරීමෙන්, වැරදි කාම සේවනයෙන්, බොරු කීමෙන්, මත්පැන් හා මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකුණේ වෙයි.

මෙහිලා ස්ත්‍රිය ත්‍යාග සම්පන්න වෙයි. මසුරුමල දුරු වූ සිතින් ගෙදර වසන්නී වෙයි. දානය පිණිස අත් හැර, දොවනා ලද අත් ඇත්තී වෙයි. අනුන්ගේ ඉල්ලීමට සුදුසු වන්නී වෙයි. දන් බෙදන්නී වෙයි. දන් බෙදීමෙහි ඇලුනේ වෙයි.

මෙහිලා ස්ත්‍රිය නුවණැති වෙයි. හට ගැනීමත් නැති වීමත් දැකීමට සමර්ථ නුවණින් යුක්ත වූවා වෙයි. ආර්ය වූ, තියුණු අවබෝධය ඇති කරවන, මැනවින් දුක් ක්ෂය කරවන නුවණින් යුක්ත වෙයි.
මේ සතර කරුණින් යුතු ස්ත්‍රිය පරලොව දිනීම පිණිස පිලිපන්නී වෙයි. ඇය විසින් පරලොව සතුටු කරන්නී වෙයි.”

මේ අෂ්ට ධර්මය යම් ස්ත්‍රියක් තුළ තිබෙයි නම්, ධර්මයෙහි පිහිටි ඇය සිල්වතියකි. සත්‍ය පවසන්නියකි. භාග්‍යවතුන් වහන්සේ වදාළ පරිදි මෙලොවත් පරලොවත් ජය ගැනීම පිණිස පිළිපැදිය යුත්තේ මේ ධර්මයන් අටයි. කෙතරම් උගත්කමක් ඇති කර ගත්ත ද පුරුෂයන් හා සම තැන ලැබ වත්මන් ලොව දියුණු යැයි සම්මත කරුණින් හිනි පෙත්තට ම නැග ගත්ත ද එවැන්නියන් සැබෑ විජය ලබා නැත්තා ය.

සම්මා සම්බුදුරජාණන් වහන්සේනමක් වදාළ යම් ධර්මයක් ඇත් ද එය ඒකාන්තයෙන් ම සත්‍යයකි. අතීත අනාගත වර්තමාන යන තුන් කල්හි ම එක සේ සත්‍ය ය, පරම ගම්භීර ය. යම් නුවණැත්තියකට මෙලොවත්, පරලොවත් දියුණුවට පත්ව කල් ගෙවිය යුතු නම් මේ අංග අට පිළිපදින්නී ය. ඊට කුලය, ධනය, වත්පොහොසත්කම්, දුප්පත්කම, සමාජ තරාතිරම වැදගත් නො වන්නේ ය. තම නුවණ මෙහෙයවීම යි වැදගත් වන්නේ. ඇය තෙරුවන් සරණෙහි පිහිටා උතුම් බුදු වදන් අනුගමනය කරන්නී ය. දෙලොව ම දිනන්නී ය. භාග්‍යවතුන් වහන්සේ වදාළ පරිදි මෙබඳු වූ සිල්වත් උපාසිකාව මනාපකායික දෙව්ලොවට පැමිණෙනවා ය යන්න සැබෑ කර ගන්නී ය.

ජය ගැනීම උදෙසා අකුසල මූලයන් අවිය කොට ගත් ලොවක බුදු වදන් නම් උතුම් සවියෙන් සවිමත් වී දෙලොව ම ජය ගැනීමට අදිටන් කර ගනිමු.

සටහන – උත්පලා නදුනි ලියනගේ