සරු දෙය, සරු දෙය ලෙසත් – නිසරු දෙය, නිසරු දෙය ලෙසත් හඳුනාගැනීමට නුවණක් තිබිය යුතු ය. ඒ නුවණ නැති කල්හි සරු දෙය නිසරු යැයි ප්‍රතික්ෂේප කිරීමත්, නිසරු දෙය සරු යැයි පැසසුමට ලක් කිරීමත් සිදු වේ. ඒ අනුව, වර්තමානයේ නුවණැතියන්ගේ හිඟයක් ඇති බව පිළිගත යුතුව තිබේ.

අද මෙන් පුහු ආටෝප පසුපස ලුහුබඳිමින් කාලය කා නොදැමූ මිනිසුන් විසින් ජීවිත අර්ථය සොයා ගිය යුගයක් ලෝකයේ තිබුණි. කවර සැප සම්පතක් උරුම වූව ද සියලු ජීවිත කිසිදු වෙනසක් නොමැතිව ජරා, ව්‍යාධි, මරණ දුකින් වෙලී පෙළී යන බව දුටු නුවණැත්තෝ ඒ ස්වභාවය ඉක්මවූ උත්තරීතරත්වයක් සොයා ගියහ. ඒ පරම දුර්ලභ ජීවිතාවබෝධය තමන් තුළින් ම උපදවා ගැනීමට තරම් වූ අනන්ත පුණ්‍ය වාසනා ඇති ව මනුලොව ඉපදි බෝසතාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වය සාක්ෂාත් කොට වදාළේ ඒ ආර්ය ගවේෂණය තුළ ය.

එසේ විමුක්තිපරායණ වූ උන්වහන්සේ බුද්ධානුභාවයෙන් යුතුව උතුම් ජීවිතාවබෝධය උපදවා ගන්නට දෙව් මිනිස් ලෝකයා හමුවේ අම නිවන් මඟ විවර කොට වදාළ සේක. අප අද සිටින්නේ ඒ අමෘත ද්වාරය ලෝකයට විවර වී වසර 2607ක් ඉක්ම ගිය කාල සීමාවේ ය. කාලය මෙසේ ගත වූවා කියා හෝ, එකල මිනිසුනට වඩා මෙකල මිනිසුන් පුණ්‍ය සම්පත්තියෙන් පිරිහී සිටිනවා කියා හෝ, එකලට වඩා මෙකල අවබෝධය උපදවා ගැනීම දුෂ්කර යැයි කියා හෝ ඒ බුදුරජාණන් වහන්සේගේ සම්බුදු ගුණයන්ගේ අල්පමාත්‍ර හෝ අඩුවක් වන්නේ නැත. ඒ වනාහී සමානයෙකු නැති අනුත්තරීයත්වයේ ආනුභාවය යි. එකල මෙන් ම මෙකල ද ඒ ආනුභාවය ඉදිරියේ දමනය වන්නට පින් සහිත වූවන් ආමිෂයෙන් ද ප්‍රතිපත්තියෙන් ද බුදුරජාණන් වහන්සේ අපමණ සැදැහැ සිතින් පුද දීම අරුමයක් ද නො වේ.

එහෙත් සම්බුදුරජාණන් වහන්සේ දෙව් මිනිස් ලෝකයේ සෙස්සන් හා සමාන ව මිනිය නො හැකි බව නොදත්, උන්වහන්සේ කෙරෙහි උපදවා ගත් ශ්‍රද්ධා මාත්‍රය පවා සුගතියට මං විවර කරන බව නොදත් අල්පශ්‍රැත වූවන් බුදු පුදට ගරහන්නේ සම්බුදු සසුන පවත්නා යුගයක මිනිස් ලෝකයේ උපත ලබන්නට පින තිබුණ ද නුවණ වැඩී යන්නට පිළියම් යොදන වාසනාව අහිමි ව ඇති නිසා ය. අපමණ බුදු ගුණයනට නමස්කාර කරමින් රැස් කරනා පිනට ගරහා තමන් අකුසල රැස් කරනවා සේ ම දහම තුළ දියුණු වූ නුවණක් නැති තව පිරිසක් එහි සමාදන් කරවමින් ඔවුනට ද සුගතිය අහිමි කරවීම තම යුතුකමක් යැයි සැලකීම කවර අනුවණකමක් ද…

ලක්ෂ සංඛ්‍යාත මිනිසුනට ද කෝටි ප්‍රකෝටි සංඛ්‍යාත දෙව් බඹුනට ද පින් පුරා ගන්නට ඉඩහසර සලසමින් අසිරිමත් පින්කම් සිදු කෙරෙද්දී ඒ පිනට ගැරහීමෙන් යම් පුද්ගලයෙකුට හෝ පිරිසකට හෝ සංවිධානයකට හෝ පහර දුන්නා යැයි ළාමක සතුටක් ඔවුන් ලබනවා විය හැකි ය. එහෙත් ඒ ළාමක බව තුළ ඔවුන් නොදක්නා කරුණ වන්නේ ඒ ගැරහීම සිදු වන්නේ බුදු පුදට මිස බුදු පුද කොට පින් අස්වනු නෙළන්නවුන්ට නොවන බව ය.

අම නිවන් වැඩි මහා මුනිරජුන් නිවන් පුරයේ සිට අප මල් සුවඳ දුම්, දන්පැන් පුදන්නේ ද දහමෙහි හැසිරෙන්නේ ද කියා අපේක්ෂා සහිත ව බලා නොසිටින සේක. පිරිනිවන් පෑ බුදුරජුන් විෂයෙහි පුද පූජා කිරීමේ ලාභය පුද පූජා පැවැත්වූවන්ට ය. උන්වහන්සේ දෙව්මිනිස් ලෝකයේ සියලු පුද පූජා පිළිගැනීමට නිසර්ගයෙන් ම සුදුසු වූ අග්‍රදක්ඛිණෙය්‍ය ශාස්තෘවරයාණෝ ය. දක්ෂිණාවන් පිළිගැනීමෙහි ලා අග්‍ර වූ බුදුරජුන් උදෙසා බැති සිතින් කෙරෙන පූජාවකට ගැරහීමේ ආදීනවය ගැරහූවන්ට ය. සියල්ලෝ එය සිහි තබා ගනිත්වා!