එක් ව්‍යවහාරික වර්ෂයක් අවසානයේ නව ව්‍යවහාරික වර්ෂයේ ආරම්භයේ අපි සිටින්නෙමු. 2023 වර්ෂය අති සීඝ්‍රගාමී ව ගෙවී ගිය අයුරක් බොහෝ දෙනෙකු අත්විඳින්නට ඇත. දින 365 ක් මේ සා වේගයෙන් ගෙවී ගියේ සමාජ ආර්ථික මෙන් ම පුද්ගලික ව අප මුහුණදුන් අර්බුදයන් ගහන වූ කාලයක් පරිද්දෙන් නොවේ ද? අප සිතනවාට වඩා වේගයෙන් කාලය ගත වනවා පමණක් නොව අප අපේක්ෂා කරනවාට වඩා තීව්‍ර ව නොයෙක් අර්බුදයන් ද අප කරා එළඹේ. අප ‘ජීවත් වීම’ යැයි කියන්නේ ඒ පටලැවිලි ලෙහා ගනිමින් යෙදෙනා ගමනට ය.

පටලැවෙමින්, පටලැවිලි ලෙහා ගනිමින් යෙදෙනා ගමන නිසා ම ඒ පටලැවිලි සහගත භාවයනට යොමු කරන තරම් අවධානයක් කාලයේ ගෙවී යාම වෙත අප යොමු කරන්නේ නැත. එනිසා ම, වර්ෂාවසානය වැනි කඩයිමක දී කාලය වේගයෙන් ගෙවී ගියේ යැයි යම් සංවේදනයක් සෑම කල්හි ම පාහේ අප තුළ උපදී.

පටලැවිලි ලෙහ ලෙහා පැමිණියා කියා හෝ කාලයේ වේගවත් ගෙවී යාම අවධානයට ලක් නොකළා කියා හෝ හදිසියේ උපදනා චිත්තාවේගයක් සේ කාලයේ ගෙවී යාම ගැන කම්පනයක් උපන්නා කියා හෝ හිරු සඳුගේ ගමන අනුව අප විසින් මනිනු ලබන කාලයට ද වඩා අතිශය වේගයකින් ගත වී යන අපගේ ජීවිත කාලය හෙවත් ආයුෂය නොගෙවී නවතින්නේ නම් නැත.

උදෑසන අවදි වී වැඩපළට පැමිණෙමින් සිටියවුන් ද වැඩබිමේ සේවයේ නියුතු ව සිටියවුන් ද වැඩ ඇරී නිවෙස් වෙත යමින් සිටියවුන් ද රාත්‍රියේ පවුලේ උදවිය සමඟ පවුලේ කටයුතුවල යෙදෙමින් සිටියවුන් ද කමින් බොමින් සිටියවුන් ද නින්දේ සිටියවුන් ද විවේකපාඩුවේ නිදහසේ සතුටු වෙමින් සිටියවුන් ද කිසිදු පණිවිඩයක් හෝ ඉඟියක් හෝ නොතබා මරණයට පත් වූ අවස්ථා ගැන කොතෙකුත් නම් මේ ගෙවී ගිය වසරේ අපට අසන්නට දකින්නට ලැබුණා නොවේ ද? ඒ ඇතැම් මරණයන්ගේ අනපේක්ෂිත භාවයන්, ඛේදනීය භාවයන් ගැන සසැලීම් අප තුළ හටගත්තා නොවේ ද? එහෙත්, අපිදු මොහොතකදු ඒ ඉරණමින් නිදහස් වූවෝ නොවෙමු. අපි අතිශය වේගයෙන් ගෙවී යන ජීවිත කාලයක උරුමකරුවෝ පමණක් ම වෙමු.

මිනිසුන්ගේ ආයුෂය වසර හැටදහසක් වූ කාලයේ දී අප මහා බෝසතාණන් වහන්සේ ‘අරක’ නම් වූ ශාස්තෘවරයෙකු ව ඉපිද තමන් වහන්සේගේ අනුගාමිකයන් හික්මවූයේ තණ අග වූ පිනි බිඳ හිරු උදාවන කල්හි සැණෙකින් බිඳී යන පරිද්දෙන් මිනිසුන්ගේ ජීවිතය පවතින්නේ ඉතා සුළු කලක් බව නුවණින් අවබෝධ කොටගෙන කුසල් කළ යුත්තේ ය කියා ය. තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ එකරුණ දක්වා සියක් වසරකට මඳක් වැඩියෙන් මිස බොහෝ කල් ජීවත් නොවනා මේ කාලයට ම ඒ පර්යාය මැනැවින් කිව යුත්තේ යැයි වදාළ සේක.

“සියක් වසරක් ජීවත් වන්නෙකුගේ රාත්‍රීන් තිස් හයදහසක් ගෙවී යන කල්හි දෙවේලෙහි බත් අනුභව කරන්නේ නම් වාර ගණනින් හැත්තෑ දෙදහසකි.

එය ද බත් වැරදුනු කාලයන් අත්හැරීමෙනි.” යනුවෙන් වසර සියයක් ජීවත් වන්නෙකුගේ ආයුෂය ද ආයු ප්‍රමාණය ද ඍතු ද අවුරුදු ද මාස ද අර්ධ මාස ද රාත්‍රී ද දහවල ද බත් ද බත් වැරදුණු කාලය ද ගණන් කොට දක්වමින් අපගේ ශාස්තෘන් වහන්සේ වදාළේ, “මහණෙනි, ශ්‍රාවකයන්ට හිතෛෂී වූ, අනුකම්පා ඇත්තා වූ ශාස්තෘවරයෙකු විසින් අනුකම්පාව උපදවා යමක් කළ යුත්තේ ද මා විසින් එය ඔබට කරන ලද්දේ ය. මහණෙනි, ඔය තිබෙන්නේ රුක් සෙවණ ය. ඔය තිබෙන්නේ ශුන්‍යාගාරයෝ ය. මහණෙනි, ධ්‍යාන වඩව්. ප්‍රමාදයට පත් වන්නට එපා. ප්‍රමාදයට පත්ව පසු කලක පසුතැවෙන්නට එපා. මෙය ඔබට අපගේ අනුශාසනය යි.” යනුවෙනි. (අරක සූත්‍රය, අං. නි. – සත්තක නිපාතය)

සියක් වසරක් ම අප ආයුෂ ලබන්නේ වුව ද දැනුදු ඉන් යම් කාලයක් ඉක්ම ගොසිනි. ඒ කාලය ඉක්ම ගියේ ද උපන් පටලැවිලි ලෙහා ගැනීම තුළ පමණක් නම්, පටලැවිලි උපදනා ස්වභාවය හඳුනාගැනීමට – එයින් නිදහස් වීමට උත්සාහවත් නොවෙමින් නම්, උතුම් ක්ෂණ සම්පත්තිය හිමිව තිබියදීත් මේ ජීවිතයට අප ලබා දුන් අර්ථය කුමක් ද? නොසිතනා වේගයකින් ගත වී යන ජීවිත කාලය ඵලදායී ව අනලස් ව සහ අප්‍රමාදී ව කුසල්දහම් තුළ හසුරුවමින් සනාතන රැකවරණය වෙත පමුණුවන්නට තරම් අප තවමත් අපට හිතෛෂී නැති ද?

2024 දැක්කත්, නොදැක්කත් අප කළ යුත්තේ අප්‍රමාදී වීම ය…!