දුටු දුටුවන්ගේ නෙත් සිත් සනහා සියලු අඟපසඟින් රැස් විහිදෙන නිසා ‘අංගීරස’ නම් වූ, සියල්ල දන්නා දක්නා ‘සර්වඥතා ඤාණී’ වූ තථාගතයන් වහන්සේ අලුයම මහා කරුණා සමාපත්තියෙන් නැගී සිට ලොව බලද්දී අහෝ!

ආශ්චර්යයි! දුර වේවා ළඟ වේවා කුමන ලොවක හෝ කුමන තැනක හෝ වේවා සසරේ කළ පින් ඇති සත්වයෙක් ඉන්නවා නම් ඔහු හෝ ඇය බුදු නෙතට හසු වෙනවාමයි!

එදා හිරු උදාවෙන වෙලාවේ… ශාස්තෘන් වහන්සේ අමු සොහොනට වැඩම කරනවා දැකපු මිනිස්සු සුගත් සිරිපා හැරෙන අත බල බලා පසුපස්සේ ගියේ කුමක් හෝ විශේෂයක් සිදුවෙන බවට ඉව වැටිලා වගෙයි.

සංසාරේ කියන්නේ පුදුම දෙයක්. උසස් පහත් උපත් අතරේ සත්වයින් කලින් කලට ඉහළට පහළට දෝලනය වන්නේ කර්මානුරූපවමයි. පිනෙන් පිරී ගිය, මෝරා ගිය පුණ්‍යවන්තයන් පවා සමහරවිට සංසාරගත දෝෂ නිසා හීන උපත් ලබනවා. සමහරු පුංචි පිනකින් උතුම් තැන්වල උපදිනවා.

අමු සොහොනේ විසිකර ගිහින් තිබෙන උපන් හැටියෙ සිඟිත්තෙක් ළඟ ශාස්තෘන් වහන්සේ නැවතුනා. මේ පුංචි පුතු තමාගේම ඇඟිලිවලින් ගලන කිරි උරමින් කිසි උවදුරක් නැතිව ඉන්නේ මිනිස්සු රැකලා නෙවෙයි. මෙයාට නැකැත් බලන්න, සාත්තු සප්පායම් කරන්න මිනිස්සු නෑ. ඒත් යක්ෂ, භූත, පිසාචයන්ගේ හෝ සතා සීපාවන්ගේ හෝ පීඩාවක් නැතිව අමු සොහොනක මොහු රැකෙන්නේ පෙර පින් බලයෙන්. බල්ලන් ඇවිත් සිඟිති පා ලෙව කෑවා. කපුටෝ, හිවල්ලු ඇඟේ තැවරුණු ගැබ්මල ඉවත් කළා මිසක හානි කළේ නෑ. මහ රෑ සොහොනේ දමා ගිය, කිසිවෙක් නැතිව අනාථ වූ, වෙව්ලමින් සිටින මේ සිඟිත්තා ජීවත් වෙයිදැයි සැකයි.

මහා කරුණාවෙන් තෙත් වූ අභිනීල සම්බුදු නෙතු යුගලෙන් ගලාගිය සිනිඳු බුදු රැස් දහරේ ගිලෙන සිඟිත්තා “අනාගතයේ මේ නගරයේ මහා ධනපතියකු වෙනවා.” කියා බුදු මුවින් පුදුම සහගත අනාවැකියක් පළ වුණා.

“අනේ ස්වාමීනී, මේ සිඟිත්තා මෙවන් ව්‍යසනයකට පත් වුණේ ඇයි? මෙවන් බියජනක තැනක අනතුරක් නොවී අනාගතේ එවන් සැප ලබන්න මොහු කළ පින මොකක්ද? පුරුදු කළ උසස් ජීවිතේ මොකක්ද?” කියලා එක උපාසකයෙක් සිරිපා වැඳලා ඇහුවා.

ටික කලකට කලින් මේ සැවැත්නුවර උපාසකවරු නගරයේ විශාල සොඳුරු මණ්ඩපයක් කරවලා විවිධ පාටවලින් යුතු අලංකාර වස්ත්‍රවලින් සැරසිලි කරවලා වටිනා ආසන තැන්පත් කරලා බුද්ධ ප්‍රමුඛ භික්ෂු සංඝයාට දානයට ආරාධනා කළා. සුවඳ මල් ආදී නොයෙක් පූජෝපහාර මධ්‍යයේ මහා මංගල සිරියෙන් දන්පැන් පූජා කළා.

මේක දැකපු එක්තරා මසුරු තරුණයෙකුට ඉරිසියාව දරාගන්න බැරිවුණා. සිව්පසයට නොඇලෙන ශාස්තෘන් වහන්සේගේත්, ආර්ය සංඝයාගේත් ලාභ සත්කාර ඉවසන්නට බැරි වුණා. “මේ මුඩු මහණුන්ට බොරු වියදම් කරනවාට වඩා හොඳයි මේවා කුණු ගොඩකට විසි කළා නම්…” කියලා තරහෙන් පුපුර පුපුරා කෑ ගහගෙන ගියා.

ඔහු ගැරහුවේ, කිසිසේත් ගැරහීමට සුදුසු නැති නිකෙලෙස් උතුමන්ට. ආර්ය උපවාද කර්මය ඔහු රැස්කර ගත්තා කියලා උපාසකවරු කම්පා වුණා. මේ මාන්නක්කාර කොලු ගැටයාට කවුරු නම් කරුණු කියන්න ද? ඒ උපාසකවරු පින්කමෙන් පස්සේ ඔහුගේ අම්මාව මුණගැහුණා. ඇගේ පුතා කියපු කතාවේ ඇති බරපතළකම පැහැදිලි කළා.

කොහොමහරි තුනුරුවන් කමා කරවා ගන්න කියලා ගොඩක් කරුණු කීවා.

ඒ අම්මත් ගොඩක් බය වුණා. තමාගේ පුතා මහා භයානක ඉරණමක් උරුම කරගනී කියලා බයෙන්, පුතුගේ ඇඟ ලොමුඩැහැ ගැන්වෙන තුරු ඈ අවවාද කළා. මේ තරුණයාත් ඒ පාපී විපාකයට බය වුණා. සමාව ගන්නට කැමැති වුණා. මව් අවවාද අනුව ඔහු සත් දිනක් පුරා බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට කැඳ දානය පූජා කරලා තෙරුවන් කමා කර ගත්තා.

මේ තරුණයා ටික කාලෙකින් මියගියා. කම්මස්සකා සත්තා – සත්වයින් තමන්ගේ දේ කරගෙන ඉන්නේ කර්මයයි. කම්ම දායාදා – දෑවැද්ද කරගෙන ඉන්නේ කර්මය. කම්ම යෝනි – තමා උපදින තැන තීරණය කරන්නේ කර්මය.

බුද්ධ ප්‍රමුඛ සංඝයාට නපුරු සිතින් කියූ රළු මුසාව ඔහුව නිරයට හෝ ප්‍රේත ලෝකයට ගෙනයන්නට තිබුණත් සමාව ගත් නිසා, විපාකය සැහැල්ලු වුණා. කියූ වචනයට අනුරූප තැනක උපත සැකසුණා. ඔහු පිළිසිඳ ගත්තේ අපවිත්‍ර ජීවිකාවක් වූ වෛශ්‍යා වෘත්තියේ යෙදෙන ස්ත්‍රියකගේ කුසේ. මොහු පිරිමි දරුවෙකු බව දුටු වෙසඟන මේ සිඟිත්තා සොහොනට, කසළ ගොඩකට විසි කළා. තමාගේ වචනය තමාට මුණගැසුණා.

සමාව ගැනීම පිණිස සත්දිනක් සිත් පහදවාගෙන දුන් කැඳ දානයේ විපාක බලන්න. කර්ම විපාකයෙන් උරුම කළ අනතුරු පිරි පරිසරයෙන් අනතුරක් නොවී රැකුනේ කම්ම පටිසරණා – කර්මයෙන්ම සාදාගත් පිළිසරණ නිසයි.

භාග්‍යවතුන් වහන්සේ වදාළා “මේ සිඟිත්තා ළාමක කෙනෙක් නෙවෙයි. මහා සිටුවරයෙක් බවට පත්වන මොහු සිය වසරක් ආයුෂ ලබා මරණින් මතු තව්තිසාවේ සක්දෙවිඳුගේ පුත්‍රස්ථානයේ උපදිනවා.”

ළදරුවාගේ අතීතයත්, අනාගතයත් වදාළ සර්වඥයන් වහන්සේ සොහොනේ දී ම වදාළ චතුරාර්ය සත්‍ය දේශනාව අසා අසූහාර දහසක් දෙවි මිනිසුන් මාර්ග ඵල ලැබුවා. ඒ අතර හිටපු අසූ කෝටියක් ධනය ඇති සිටුවරයෙක් මේ දරුවා ව තම පුතු ලෙස බාර ගත්තා.

පස්සේ කාලේ සිටුතුමාගේ ඇවෑමෙන් සිටු තනතුරට පත් වූ කුමාරයා අපමණ සැප සම්පත් භුක්ති විඳිමින් ම මහා පින් කරන සැදැහැබර උපාසකයෙක් වුණා. බුදු සසුනේ පිහිට ලබන කෙනෙක් වුණා.

අපිට මනුස්ස ලෝකයේ උපදිද්දී හොඳට අතපය තියෙනවා නම්, කතා කරන්න පුළුවන් නම්, කායශක්තිය, ධනය, බලය, සමාජ තත්ත්වය තියෙනවා නම් ඒකට හේතුව “කළ පිනක් ම යි”. පින් නොකළා නම්, පව් කළා නම් මේවා නොලැබී යනවා කියලා කිසිදාක අසන්ට නොලැබුණොත්…, ඇසුනත් විශ්වාස නොකළොත්… හිතෙන හිතෙන විදිහට ජීවත් වෙලා මිනිස්සු තියෙන ටිකත් නැතිකර ගන්නවා. කට වරද්දාගෙන, කතා කරන්න තියෙන හැකියාව නැති කරගන්නවා. කට නිසාම ධනය, බලය, රූපය, හැකියාව, නුවණ, සියල්ල අනාගත ජීවිත ලක්ෂ ගාණකට තමාට අහිමි කරගන්නවා.

ගැරහීම, විවේචනය, උපහාසය, හෙළාදැකීම ආදිය සිත, කය, වචනය යන තුනෙන්ම සිද්ධ වෙද්දී, බරපතළට නොපෙනුනාට, ක්ෂණයකින් අතීතයට ගියාට, විපාකය විඳිද්දී… ඒ විපාකය ජීවිතයේ ම කොටසක් වෙනවා.

රළු වචනයෙන් අන් අය යටපත් කරගෙන, බලපුළුවන්කාරකම් පෙන්නාගෙන, උතුම් අයට පවා හිතට එන එන දේ කියමින් ඉන්න අයටත් ඒවගේ විපාක විඳින්න වෙන්නේ අසරණ වුණ දීන හිතකින්.

“ඇයි මට මෙහෙම වුණේ?” කියලා එදාට අහන ප්‍රශ්නෙට උත්තර දෙන්නේ කවුද? උත්තර දන්නේ කවුද?

හැබැයි සිත, කය, වචනයෙන් මොන වරද වුණත්, ගැලවීමටත් මඟක් තියෙනවා. වරද හඳුනාගෙන නිවැරදි වීම කියන්නේ ළාමක දෙයක්, සුළුපටු දෙයක් නෙමෙයි. ඒක බුද්ධ ශාසනේ දියුණුවක් ම යි.

සමාව ගැනීම – සමාව ගැනීම පිණිස දානයක්, පූජාවක්, වත පිළිවෙතක් කිරීම කොච්චර පිහිටක් ද බලන්න.

සාමාන්‍ය මනුස්සයෙකුට වේවා, උතුම් ගුණැති පුද්ගලයෙකුට වේවා, තමන්ගෙන් වරදක් සිදුවුණ විටදී ඒ පුද්ගලයාටම හෝ මහා පින් උපදවන තුනුරුවන්ට උපස්ථානයක්, උපකාරයක් කරල සමාව ඉල්ලන්න සුදුසුයි. ඒක තමයි නිවැරදි වීමට උපකාර වන්නේ. සමාව ඉල්ලීමට නිහතමානී වීම, විවෘත වීම, අවංක වීම ආදී ගුණධර්ම නිසා පාපී බලය තුනී වෙලා අල්ප විපාකයකින් ගෙවා ගත්තොත් වරදට පිළියම් වශයෙන් අප්‍රමාණ සැප විපාක දෙන තුනුරුවන්ට කරන උපස්ථානය නිසා දුක් විපාකය අභිබවා යන මහා පිහිටක් සැපයක් ලබා ගන්නත් අවස්ථාව ලැබෙන බව මේ සිදුවීමෙන් තේරුම් ගන්න පුළුවනි.

අනික තුනුරුවන් විෂයේ කරන, කියන, හිතන හැමදේම හරිම බරපතළයි. භයානකයි. දේශනාවේ කියන්නේ ආර්ය උපවාද නිසා මාරාන්තික රෝග, අතපය කැඩීම්, උමතු බව, භෝග ව්‍යසන, ඤාති ව්‍යසන, ගේ දොර ස්වාභාවික විපත්වලට හසුවීම වැනි නොසිතූ විපත්වලට ගොදුරු වෙන්නට පුළුවන් බවයි. එක අතකට අපට යම් විපතක් වෙද්දී අපෙන් ලෝකයට වුණ වරද කුමක්ද කියලා අපි අවංකව ආපස්සට හිතන්න ඕනි. වරදක් මතක් වුණොත් සමාව නම් ගන්නම ඕනි. මොකද ආර්ය උපවාදයකට නම් සමාව නොගත්තොත් නිරයේ උපදිනවා. වෙන වරදක් වුණත් මෙලොව යම් දුකක් උපද්දනවා කියන්නේ පරලොව මොනවා වේවි ද? ඒ ඉරණම වෙනස් කළ හැකි එකම දේ සමාව ගැනීමයි.

ඒ නිසා, මේ උතුම් ක්ෂණ සම්පත ව්‍යසනයක් කර නොගෙන, කිසිවකුටත් නොගරහන, අහිංසක ජීවිතයක් උපදවාගෙන… වැරදි නිවැරදි කරගෙන… වාසනාවන්ත අනාගතයක් හිමිකරගන්න අපට මඟ පෑදේවා!

(ඇසුර : කුමාර ප්‍රේත වස්තුව)

මහමෙව්නාව අනගාරිකා අසපුවාසී මෑණියන් වහන්සේනමක් විසිනි