අනුරාධපුර උඩමළුවේ වැඩ සිටින, රට සුරකින උතුම් විජය ශ්‍රී ජය ශ්‍රී මහා බෝ සමිඳුන් වැඩමවා දැනට වසර 2330ට වැඩි ය. ලොව දීර්ඝායුෂ ම පූජනීය වෘක්ෂය ඒ උතුම් බෝ රජුන් ය. උඳුවප් පුන් පොහෝ දිනක ශ්‍රීමත් සංඝමිත්තා රහත් තෙරණින් වහන්සේ ඒ උතුම් බෝධි පෙරහැරේ මූලිකව වැඩි සේක. තවත් භික්ෂුණීන් වහන්සේලා ද ඒ අතර වූයේ මෙරට භික්ෂුණී සඟ පිරිස ආරම්භ කිරීමට පැමිණි ගමනක් බැවිනි. මෙරට අනුලා බිසව ඇතුළු කුල කාන්තාවන් පන්සියයක් සංඝමිත්තා රහත් තෙරණින් වහන්සේ මූලාසනයේ හිඳුවා උතුම් පැවිද්ද ලැබූහ. මේ සියල්ලට අනුශාසනා කළෝ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ වූහ. ජය ශ්‍රී මහා බෝ රජුන් වඳිනා පුදනා සෑම අයෙක් ම, එසේම කාන්තා පැවිද්ද නිසා සැනසුන සියලු කතුන් ම ශ්‍රී සංඝමිත්තා මහරහත් තෙරණින් වහන්සේ සිහි කළ යුතු ම ය. එම කෘතඥතාවයට මෙම ලිපිය යම් මඟපෙන්වීමක් වනු ඇත.

අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේත්, සංඝමිත්තා තෙරණින් වහන්සේත් ගිහි කල ධර්මාශෝක නරේන්ද්‍රයාගේ ප්‍රියමනාප දරුවෝ වූහ. රාජ කුමර කුමරියෝ වූහ. අශෝක රජු යුවරජ සමයේ පියරජු වූ බින්දුසාර මහරජු අවන්තිය අශෝක කුමරුට පැවරීය. උජ්ජේනිය එහි ප්‍රධාන නගරයයි. ඒ ගමන පිටත්ව යද්දී වේදිස නගරයට පැමිණි අශෝක කුමරු එදින නවාතැන් ගත්තේ දේව සිටුතුමාගේ මාලිගයේ ය. දේව සිටුවරයාට අතිශයින්ම රූමත්, ‘දේවී’ නමින් යුත් කුමරියක් වූවා ය. ඈ දුටු පමණින් අශෝක යුවරජු ඈ පිළිබඳ සෙනෙහසින් බැඳී ගියේ ය. මේ පිළිබඳව දේව සිටුවරයාට පවසා ඒ කාලය තුළ මහා හරසරින් විවාහ උත්සවය ගෙන ඈ සරණපාවා ගත්තේ ය. ඇය සමඟ උජ්ජේනියට ගිය අශෝක යුවරජ ඉතා ආදරයෙන්, සෙනෙහසින් ජීවිතය ගත කළේ ය. එහි දී පළමුව මිහිඳු කුමාරයා උපන්නේ ය. ඉන් වසර දෙකක් ගිය තැන උපන් සොඳුරු සිඟිති දියණිය වැළඳගත් රජතුමා ඇයට ‘සංඝමිත්තා’ ලෙස ඇමතීය. සංඝමිත්තාවන් උපන්නේ ශ්‍රී බු. ව. 206 වැනි වර්ෂයේ ය. දැනට වසර 2361කට පෙර ය. පින්බර රූ සපුවකින් හෙබි සංඝමිත්තා රාජ කුමරිය ඉතා සැපවත් ව විසුවා ය. රජමාලිගයේ සියලු දෙනාගේ සිත් සතුටු කරවන දසුනකි ඈ.

කෙමෙන් කාලය ගත විය. බින්දුසාර රජුගේ ඇවෑමෙන් අශෝක යුවරජුට නැවත පාඨලීපුත්‍රයට පැමිණීමට සිදු විය. දේවී කුමරිය නැවත වේදිස නගරයේ ම (දැන් සාංචි ප්‍රදේශය) නැවතීමට කැමති වූවා ය. අශෝක යුවරජු මිහිඳු කුමරා හා සංඝමිත්තා කුමරිය රැගෙන පාඨලීපුත්‍රයට පැමිණියේ ය. මහා යුද්ධයකින් පසු රජු බවට පත් අශෝක රජු ඒ හේතුවෙන් දරුවන්ට තිබූ වගකීම, ආදරය, සෙනෙහස මඳක්වත් අඩු කළේ නැත. රජුගේ මලණුවන් වූ තිස්ස කුමරු මිහිඳු කුමරාගේත්, සංඝමිත්තා කුමරියගේත් සමීපතමයා විය. සංඝමිත්තාවන්ට වයස 16 වෙද්දී අශෝක මහරජු සූරවීර ගුණ ඇති අග්ගිබ්‍රහ්ම කුමාරයා හට ඈ විවාහ කර දුන්නේ ය. නොබෝ කලකින් ඒ දෙපළට පින්වත් පුත්‍රයෙක් උපන්නේ ය. ඔහුගේ උපතින් මුළු මාලිගයේම සතුට පිරී ගිය බැවින් ඒ පුතුට ‘සුමන’ නම් නම යෙදිණ. සුමන කුමරු ඉපදුණ කාලය අශෝක රජු බුදුදහම කෙරෙහි අතිශයින් පැහැදී සිටි කාලයයි. නිතර රජගෙදරට භික්ෂු සංඝයා වඩිනා බැවින් නිතර ධර්මශ්‍රවණය කරන්නට ඔවුනට අවස්ථාව ලැබුණි. නිතර ධර්මශ්‍රවණය කළ හා භික්ෂූන් වහන්සේලාගේ සංවර ඉරියව් ප්‍රතිපදාව ගැන පැහැදුනු අග්ගිබ්‍රහ්ම කුමාරයා තුළ පැවිදි වීමේ ආශාව හට ගත්තේ ය. විවාහ වී වසර දෙකක්වත් තවම ගියේ නැත. නමුත් ස්වාමියා තමාට මේ ගැන කියූ පළමු අවස්ථාවේ ම “සාදු! සාදු! සාදු!” කියා ඈ අනුමෝදන් වූවා ය. ඈ තනිව දරුවා හදාවඩා ගන්නට භාර ගත්තා ය. අග්ගිබ්‍රහ්ම කුමරු පැවිදිව නොබෝ කලකින් මහරහතන් වහන්සේනමක් බවට පත් විය. ඒ උතුම් පැවිදි දිවියට බාධා නොකොට ඈ බොහෝ පින් පුරවා ගත්තා ය. විවාහ වී වසර දෙකක්වත් නැති තැන තම දියණිය තනිකොට බෑණා පැවිදි වෙද්දී එයට විරුද්ධ නොවීමට තරම් ධර්මාශෝක මහරජු කොපමණ ශ්‍රද්ධාවකින් සිටින්නට ඇත්දැයි සිතිය යුතු කරුණකි. මේ අතර ධර්මාශෝක රජුගේ මලණුවන් වූ තිස්ස යුවරජු ද පැවිදිව මේ උතුම් බුදු සසුන තුළ මහරහතන් වහන්සේනමක් බවට පත් විය. මේ සියල්ල දෙස නිරාමිස සතුටකින් සංඝමිත්තාවෝ බලා සිටියහ. ඇගේ සිතේ පැවිදිව භික්ෂුණියක් වීමේ කැමැත්ත ලියලා වැඩෙන්නට විය. පියරජුගේ තේජස ඉදිරියේ ඇගේ අදහස ඈට කිව නොහැකි විය.

සුවාසූදහසක් ධර්මස්කන්ධයන් සිහිකොට, ධර්මාශෝක රජු අසූහාරදහසක් වෙහෙර විහාර කරවී ය. ඒ විහාර පූජාවන් එක ම දවසේ සිදු කිරීම රජුගේ කැමැත්තයි. උතුම් රහතන් වහන්සේලා ඒ විහාර 84,000 එක ම දවසේ විවෘත කිරීම පෙනෙන අයුරින් ප්‍රාතිහාර්යයක් කරවූහ. එයට ‘ලෝක විවරණ ප්‍රාතිහාර්ය පූජාව’ යැයි කියනු ලබයි. මේ උතුම් පූජාවෙන් අතිශයින් පැහැදුනු රජු බුද්ධ කාලයේදීවත් අශෝකයන් තරම් ත්‍යාගශීලී දායකයෙක් නොසිටි බව අසා, “එසේ වී නම් ස්වාමීනී මා වැන්නෙක් උතුම් බුදු සසුනෙහි දායාදය ලැබුවෙක් නේදැ?” යි ඇසී ය. අනාගතය දකිනා මොග්ගලීපුත්ත තිස්ස මහරහතන් වහන්සේ දෙදරුවන්ගේ විශ්මිත පුණ්‍ය බලය දැක “මහරජ, ඔබ මහා ත්‍යාගවන්තයෙකි. නමුත් තම දරුවෙකු පැවිදි නොකළ බැවින් ශාසන දායාදය ලැබුවෙක් නොවේ.”යි වදාළ සේක. ධර්මාශෝක රජුට ශාසන දායාදය ලැබීමට මහත් ආශාවක් ඇති විය. මිහිඳු හා සංඝමිත්තා නම් වූ තම ප්‍රියමනාප දරුවන් කැඳවා රජු මෙසේ විමසී ය. (මහාවංශයේ එය මෙසේ සඳහන් ය.)

“කිම, මාගේ දරුවෙනි, තෙපි පැවිදි වන්නහු ද? බුදු සසුනේ පැවිද්ද වනාහී ඉතා උතුම් දෙයක් නොවැ.”යි කී ය. පියරජුගේ වචනය ඇසූ දරුවෝ පියරජුට මෙසේ පිළිතුරු දුන්හ.

“දේවයන් වහන්ස, ඔබවහන්සේ කැමැති වන සේක් නම් අපි අද ම පැවිදි වන්නෙමු. ගෞතම බුදු සසුනෙහි පැවිදි බව ලැබීමෙන් අපටත්, ඔබවහන්සේටත් ලාභයක් ම යි වන්නේ.”

තිස්ස යුවරජු පැවිදි වූ දවසේ සිට මහින්ද කුමාරයා ද සිටියේ පැවිදි වෙන්ට කැමැත්තෙන් ම ය. සිය ස්වාමියා වූ අග්ගිබ්‍රහ්ම කුමාරයා පැවිදි වූ දවසේ සිට සංඝමිත්තා කුමරිය ද පැවිදි වෙන්නට ම කැමැත්තෙන් සිටියා ය.

බුද්ධි බලයෙනුත්, රූප බලයෙනුත් බබළන මිහිඳු නැමැති ප්‍රිය පුත්‍රයාත්, සංඝමිත්තා නමැති රාජ දියණියත් රජ තෙමේ මහත් ගරු සත්කාර සහිතව ගෞතම බුද්ධ ශාසනයෙහි පැවිදි කරවී ය.

ඒ වන විට පියරජු සතුටු කරවන මිහිඳු කුමාරයාට වයස අවුරුදු විස්සකි. සංඝමිත්තා රාජ දියණියට වයස අවුරුදු දහ අටකි.

මිහිඳු කුමාරයා පැවිදි වූ දවසේ ම ඔහුගේ උපසම්පදාව ද ලැබුණි. ඒ රාජ දියණියට ද පැවිද්දත්, සික්ඛමානාවක් ලෙසින් ශික්ෂාපද සමාදන් වීමත් එදිනම ලැබුණි.

මිහිඳු කුමාරයාගේ උපාධ්‍යායන් වහන්සේ වූයේ මොග්ගලීපුත්ත තිස්ස මහරහතන් වහන්සේ ය. මහාදේව තෙරුන් වහන්සේ කුමාරයා ව පැවිදි කළහ. මජ්ඣන්තික තෙරුන් වහන්සේ උපසම්පදාවේ දී කර්ම වාක්‍ය පැවසූහ. උපසම්පදා මාලකයෙහි දී මිහිඳු නමැති නවක උපසම්පදාලාභී භික්ෂුව සතර පටිසම්භිදාවෙන් යුක්තව අරහත් ඵලයට පත් විය.

සංඝමිත්තා කුමරිය පැවිදි වන විට ඇයගේ උපාධ්‍යාය භික්ෂුණියෝ ධම්මපාලා තෙරණිය යි. ඇයගේ ආචාර්ය භික්ෂුණිය වූයේ ආයුපාලී තෙරණිය යි. ඒ සංඝමිත්තාවෝ කිහිප දිනයකින් උතුම් අරහත්වයට පත් වූවා ය. අරහත් ඵලයට පත් වූ මිහිඳු තෙරණුවෝත්, සංඝමිත්තා භික්ෂුණියත් යන දෙදෙනා වහන්සේ ම ලංකාද්වීපයෙහි බුද්ධ ශාසනය බබුළුවන්ට බොහෝ උපකාරී වූහ. මෙතුමන් වහන්සේලා පැවිදි වෙද්දී ධර්මාශෝක රජු රාජාභිෂේකය ලබා අවුරුදු සයකි.

ඒ භික්ෂුණිය සඳරේඛාවක් මෙන් වූවා ය. මහින්ද භික්ෂුව හිරු මඬල වැනි විය. ඒ කාලයෙහි මේ දෙදෙනා වහන්සේ ම ශ්‍රී සම්බුද්ධ ශාසනය නැමැති ගගන තලයෙහි ශෝභමානව වැඩ සිටියහ.

සංඝමිත්තාවන්ගේ ප්‍රිය පුත්‍රයා වූ සුමන කුමරු කිරිමව්වරුන් සෙවණේ රාජකීය ලෙස වැඩුණේ සත්වැනි වියේ සිය කැමැත්තෙන්, බලවත් ආසාවෙන් බුද්ධ ශාසනය තුළ පැවිදි වී, ෂඩ් අභිඤ්ඤාලාභී මහ රහත් භාවයට පත් වූ සේක. පිනැති සංඝමිත්තාවන්ගේ ස්වාමි පුත්‍රයා ද සිය පුත්‍රයා ද සහෝදරයා ද සුළු පියා ද සියල්ලෝම රහතන් වහන්සේලා වූහ.

අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ ලංකාගමනයෙන් පසුව ජය ශ්‍රී මහා දක්ෂිණ බෝධීන් වහන්සේ ලක්දිවට වැඩමවීම සිදු විය. මීට පෙර බුද්ධ ශාසනවල පවා බෝධීන් වහන්සේ වැඩමවීම භික්ෂුණියක් අතින් සිදු වූ කටයුත්තකි. කකුසඳ භාග්‍යවතුන් වහන්සේ ඕජදීප නම් වූ මේ දිවයිනට මහාරි බෝධි ශාඛාව වඩමවන ලද්දේ රූප නන්දා භික්ෂුණිය සමඟ ය. කෝණාගමන භාග්‍යවතුන් වහන්සේ වරදීප නම් වූ මේ දිවයිනට ඉඹුල් බෝධි ශාඛාව වඩම්මවන ලද්දේ කනකනන්දා භික්ෂුණිය සමඟ ය. කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේ මණ්ඩදීප නම් වූ මේ දිවයිනට නුග බෝධි ශාඛාව වඩමවන ලද්දේ සුධර්මා භික්ෂුණිය සමඟ ය. බෝධීන් වහන්සේ රෝපණය වීමත්, භික්ෂුණී සඟ පරපුර ආරම්භ වීමත් මේ දිවයිනේ එකට ම සිදුවන දෙයකි. මේ උතුම් ගෞතම බුද්ධ ශාසනයේ ලංකාදීපයට ඇසතු බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව වැඩමවීමේ හා මෙරට භික්ෂුණී සඟ පරපුර පිහිටුවීමේ භාග්‍යය ලැබුණේ උතුම් සංඝමිත්තා මහරහත් තෙරණින් වහන්සේට ය. භාග්‍යවතුන් වහන්සේ එය දුටු සේක.

අපගේ ආර්ය වූ සංඝමිත්තා රහත් තෙරණියන් වහන්සේගේ ඍද්ධි ප්‍රාතිහාර්යය සහිත අභිඤ්ඤා ගුණය කොතරම් ද යත් විමසනු කැමති කෙනෙක් වේ නම් බෝධීන් වහන්සේ සාගරය මතින් වැඩමවද්දී නාගයන් වට කළ සිද්ධිය බෝධිවංශයෙන් කියවිය යුතු ය. එදා සංඝමිත්තාවන්ගේ ඍද්ධි ප්‍රාතිහාර්යය ඉදිරියේ සැලී නොගිය නාගයෙක් නොවී ය. එතුමියගේ කරුණාව නිසා දින හතක් නාලොව පුද පිණිස බෝධිය නාගයන්ට ලැබිණ. නාගයෝ තමාට කරුණාව දැක්වූ සංඝමිත්තා මුනිවරියට අදටත් හරසරින් වන්දනා කරති. අපට සසුන පවතින තුරු වඳින්නට බෝධීන් වහන්සේ වැඩමවූ සංඝමිත්තා උත්තමාවට අප නිතර වන්දනා කරද්දැයි ඔබ ම සිතන්න. සෑම මෙහෙණි ආරාමයක ම සංඝමිත්තාවන්ගේ ප්‍රතිමාවක් තිබේ නම්, නිතර වඳී නම්, සිහි කරයි නම් කොතරම් කෘතඥතාවයක් ද එය…

භික්ෂුණී සංඝයාට තමාගෙන් විය යුතු උපරිම යුතුකම් ඉෂ්ට කළ මේ උතුම් මුනිවරිය හුදෙකලාව අතිශයින් ප්‍රිය කළා ය. එතුමිය වැඩිපුර වැඩ වාසය කළේ ථූපාරාමය අසල හත්ථාල්හක විහාරයේ ය. ලක්දිව විමුක්තිය සොයන කතුන්ට ඈ මාතාව වූවා ය. දොළොසක් භික්ෂුණීන් සමඟ ඈ ලක්දිවට වඩිද්දි වයස අවුරුදු තිහක් විය. වසර 49ක් සංඝමිත්තා උත්තමාවිය මේ ලක් දෙරණේ ගෞතම බුදු සසුන බැබළවීමට මුළු ජීවිතය ම කැපකොට උත්තිය රජුගේ නම වැනි රාජ්‍ය වර්ෂයේ, එනම් මිහිඳු මහරහතන් වහන්සේ පිරිනිවන් පා වසරක් තුළ හත්ථාල්හක පිරිවනේ දී පිරිනිවන් පා වදාළ සේක. එවිට මේ මිහිමඬල කම්පා වීම් ආදී අද්භූත දෑ සිදු විය. ඒ මීට වසර 2312ට පෙර ය. අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේට සේ ම සංඝමිත්තා උත්තමාවියටත් මහත් උත්සවශ්‍රීයෙන් ආදාහන පින්කම සිදු කෙරිණි. ඉතිරි වූ ධාතූන් වහන්සේලා ගෙන ථූපාරාමය අසල සංඝමිත්තා ස්ථූපය ඉදි කෙරිණ. මේ රටේ එකල සියලු භික්ෂුණී ආරාමවල සංඝමිත්තාවන්ට ධාතු ස්ථූප කරවා වන්දනා කෙරිණි.

ඒ උඳුවප් පුන් පොහොය දින නිමිති කරගෙන ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ වැඩමවීම හා භික්ෂුණී සඟ පරපුර ආරම්භ වීම සිහි කරන සියලු දෙනා උතුම් සංඝමිත්තා මහරහත් තෙරණින් වහන්සේට කෘතගුණ දැක්විය යුතු ය. තම ආරාම, වෙහෙර විහාර හෝ පන්සල්වල එතුමියගේ ප්‍රථිමාවක් හෝ වඩා හිඳුවා වන්දනා කිරීමට සැලැස්විය යුතුයි. අවසානයේ බුද්ධ වචනයක් සිහිපත් කරන්නෙමි. “කතඤ්ඤු කතවේදී දුල්ලභෝ ලෝකස්මිං” “කෙළෙහිගුණ දන්නා, කෙළෙහිගුණ සිහිකරනා කෙනා මේ ලොව දුර්ලභ ය.”

උතුම් සංඝමිත්තා මහරහත් තෙරණියට නමස්කාර වේවා !

පූජ්‍ය වැලිමඩ සද්ධාසීල ස්වාමීන් වහන්සේ.