ලක්දිවවාසී හෙළ කතුනගේ අන්ධකාර වූ ජීවිත සසුන් එළියෙන් ආලෝකවත් වූ, ගිනිගත් සිත් සදහම් අමා දිය දහරින් සිසිල් වී ගිය සීතල උඳුවප් මාසයයි මේ. අපගේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කොට සවන්පත් සනසාලන ඒ උතුම් සම්බුදු දහම දේශනා කරන විට ඒ සුන්දර මිහිරි දහම අසා හෙළබිමේ පළමුව මග ඵල ලැබුවේ දෙවන පෑතිස් රජුගේ අගබිසව අනුලා දේවිය ඇතුළු පන්සියයක් වූ බිසවුන් ය. ඒ හැම දෙනාට ම කසාවත් ගත දරා සසුන්ගත වී මුනි දහම හා එක් වූ විරාගී දිවියක සැපය විඳින්නට සිත් විය

මිහිඳු මහරහතන් වහන්සේගේ උපදෙස් පරිදි දෙවන පියතිස් අප මහරජු අරිට්ඨ ඇමති ප්‍රමුඛ පිරිස අත සන්දේශයක් යවා සඟමිත් තෙරණි වහන්සේ ඇතුළු භික්ෂුණී සංඝයා ලංකාවට වැඩම කරවා ගත්තේ ය. ඒ අපගේ සංඝමිත්තා මහරහත් තෙරණින් වහන්සේ අප මව්බිම සිරිපා තැබුවේ මෙවන් වූ උඳුවප් මස පුර පෑලවිය දිනයක ය. සංඝමිත්තා මහරහත් තෙරණින් වහන්සේ අනුලා බිසව ඇතුළු පන්සිය දෙනා පැවිදි කළායින් පසු හෙළ දෙරණේ භික්ෂුණී සංඝයා බිහි විය. ඒත් සමඟම ලක්වැසි කතුනට උතුම් සම්බුදු සසුනේ මග ඵල නිවන් දොරටු මැනවින් විවර විය. සුගති දොරගුළු මැනවින් විවර විය.

නා නා කෙලෙස්, දුර්ගුණ, අඩුපාඩු, දුර්වලතා, දෝෂයන් බහුල ස්ත්‍රී ජීවිතයකට උරුමකම් කියන කාන්තාවන්ට ද සම්බුදු සසුනක විරාගී චරණයේ යෙදෙන්නට – උත්තම බඹසර දිවියේ මිහිර විඳගන්නට වාසනාව හිමි විය. මෙකරුණෙහිලා සිහිපත් නොකරම බැරි එහි පුරෝගාමී වූවෝ බුද්ධමාතා මහා ප්‍රජාපතී මහරහතන් වහන්සේ ය.

අප සිද්ධාර්ථ බෝසත් කුමරු බිහි කළ මව් මහාමායා දේවිය ධර්මතාවය පරිදි දින හතකින් කලුරිය කළ පසු තම කුසින් උපන් නන්ද කුමරුන් කිරිමව්නට භාර කොට බෝසත් කුමරුන් තුරුලට ගෙන සෙනෙහස දී හදාවඩා පෝෂණය කළේ ගෞතමියයි. සංසාර දුකින් අසරණ වූ අපගේ ජීවිත සසර කතරින් එතෙර කරගන්නට අනන්ත සසරේ අප්‍රමාණ දුක් විඳිමින් නිවනට දිවි පුදමින්, පාරමී දම් සපුරා උතුම් සම්බුද්ධත්වය පිණිස මනුලොව වැඩි අපගේ බෝසතාණන් වහන්සේ ළදරු කල මේ අයුරින් පෝෂණය කොට ඇති දැඩි කළා යන අර්ථයෙන් ද අපි සියලු දෙනාම ප්‍රජාපතී ගෝතමියට සදා ණයගැති වෙමු. ආනන්ද, නන්ද, රාහුල ආදී කුමාරවරුන් සසුන්ගත වීමෙන්, සුදොවුන් රජු මාලිගයේ දී ම අරහත්වයට පත්ව පිරිනිවීමෙන් පසු ගෞතමිගේ සිත රජ මාලිගයේ නොඇලෙන්නට විය. මාලිගයේ ම සිටියත් ඒ ජීවිතයේ දී ම පිරිනිවීම පිණිස සසරේ පූජිත පින් ඇතිව අවසන් භවයට පැමිණ සිටි ගෞතමියට තමා විසින්ම කළ යුතුව තිබූ උදාර වූ සසුන් මෙහෙවර නිසාවෙන්දෝ පැවිද්දට ම සිත බර විය. තෙවරක් ම සම්බුදු සසුනේ කාන්තා පැවිද්ද අයැද සිට එය නොලැබීමෙන් දුකට පත් සිත් ඇති ගෞතමිය පන්සියයක් කතුන් පිරිවරා හිස මුඩුකර කසාවත් පොරවා කිඹුල්වතේ සිට විශාලාව දක්වා යොදුන් ගණන් දුර පා ගමනින් ගමන් කළා ය. රිදුම් දුන් පා පැලී ලෙයින් වැකී, දූලි රැඳුණු – වෙහෙසට පත් කයින් යුතුව, දුකින් මැලව ගිය මුව මඬල ඇතිව වෙහෙරේ දොරටුව අසලට විත් ඈ හඬමින් සිටියා ය. අනඳ හිමියන්ගේ ළතෙත් සිත්හි උපන් කරුණාවෙන් යළිත් තෙවරක් ම පැවිද්ද ඉල්ලා සිට එය නොලැබ ගෞතමියගේ මව්ගුණ ඉස්මතු කොට නොයෙක් අයුරින් කරුණු දක්වා ආයාචනා කරන ලද්දේ අෂ්ට ගරුධර්ම පනවා භාග්‍යවතුන් වහන්සේ කාන්තාවන්ට පැවිද්ද අනුමත කොට වදාළ සේක.

ස්ත්‍රී පැවිද්ද එසේ සයවරක් ම ප්‍රතික්ෂේප කරන්නට හේතු පහදා දුන් බුදුරජාණන් වහන්සේ වදාළේ අවුරුදු දහසක් පවතින සම්බුදු සසුන කාන්තාවන්ට පැවිද්ද ලබා දීමෙන් අවුරුදු පන්සියයක් දක්වා අඩුවීමට එය හේතු වන බවයි. අප භාග්‍යවතුන් වහන්සේ බෝසත් කල සම්බුද්ධත්වය පතා ඝෝර සසරේ අනන්ත දුක් විඳි සේක. මහ පොළොවේ පස්වලට වඩා සිරුරේ මස් උපුටා දන් දෙමින්, සිව් මහා සමුදුරු ජල කඳ පරදා සිරුරේ ලේ දන් දෙමින් නුඹ ගැබ තරු කැට පරයන්නට නෙත් උපුටා දන් දෙමින්, බඹලොව තෙක් දිගට වැල්පටවල් එකතු වන තරමට අඹු දරුවන් ඒවායින් බැඳ දන් දෙමින් සම්බුදු බවට ම අනන්ත වාර ගණනක් දිවි පුදමින්, වචනයෙන් දක්වාලිය නොහැකි තරම් අනන්ත සසරේ දුක් විඳිමින් මහා වීර්යයකින් යුතුව පාරමී දම් සපුරා සම්බුදු පදවි ලැබ ලෝසත වෙත පතල මහා කරුණාවෙන් සම්බුදු සසුන පිහිටුවා වදාළ සේක. අසරණ ස්ත්‍රිය කෙරෙහි සානුකම්පිතව එවන් වූ මහානුභාව සම්පන්න සම්බුදු සසුනේ කාන්තා පැවිද්ද අනුදැන වදාළ අපගේ ශාස්තෘ වූ ඒ භාග්‍යවත් අරහත් ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සම්බුදු සිරිපා අබියස අපගේ හදපිරි ගෞරවාදර නමස්කාරය වේවා!

ප්‍රජාපතී ගෞතමිය තෙවරක් ම පැවිද්ද ඉල්ලා සිට නොලැබුණු කල්හි කසාවත් ගත පොරවා, හිස මුඩු කොට, ලෙයින් වැකුණු පා ඇතිව, දුහුවිලි වැකුණු සිරුරින්, විඩාබර මුව මඬලින් යුතුව වෙහෙරේ දොරටුව අසල හඬමින් සිටියදී අනුකම්පා උපදවා භාග්‍යවතුන් වහන්සේට කරුණු දක්වා පැවිද්ද අනුමත කරවා දුන් අපගේ පරම පූජනීය ආනන්දයන් වහන්සේට අපගේ ගෞරවාදර නමස්කාරය වේවා!

නිර්මල පිවිතුරු සම්බුදු සසුනක පැවිදි බව බොහෝ දුක සේ ලබාගෙන සසුනේ පිහිට ලබන්නට කතුනට සසුන් දොරටු විවර කර දුන්, නෙක්ඛම්මයට බර වූ සිත් ඇති කතුනගේ හද තුළ රැව්දෙන රාවය මැනවින් හැඳිනූ, භික්ෂුණී සඟ රුවනට සරණ සෑදූ, සසුන් බඹසරට අප හට මංපෙත් පාදා දුන් ඒ අපගේ ප්‍රජාපතී ගෞතමී මහරහත් තෙරණින් වහන්සේට අපගේ ගෞරවාදර නමස්කාරය වේවා!

ඒ උතුම් සසුන් බඹසර ලක්වැසි කතුනට දායාද කරමින්, ගිහි ගේ ගිනි ගේ ලෙස දුටු කතුනගේ දුක් සන්තාප දුරු කරමින් දහම් සුව බෙදා දුන් සංඝමිත්තා මහරහත් උත්තමාවටඅපගේ ගෞරවාදර නමස්කාරය වේවා! තෙරණින් වහන්සෙලක්දිවට වැඩම කළේ දිවමන් බුදුහිමි නොදුටු සිහලුන් හට බුදුහිමි වැඩියා බඳු වූ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛා වහන්සේ ද වැඩමවමිනි.

මිහිඳු මහරහතන් වහන්සේත්, මුණුබුරු වූ සුමන සාමණේරයන් වහන්සේත් ධර්මදූත සේවාව පිණිස ලක්දිවට එවීමෙන් ප්‍රිය විප්‍රයෝගයෙන් සිටි ධර්මාශෝක රජු සංඝමිත්තා තෙරණියගේ ලංකාගමනය ගැන ශෝකයෙන් පසුවෙද්දී මුත් කළ යුතු සසුන් මෙහෙය ගැන සිතා පිය රජු අස්වැසූ අප තෙරණින් වහන්සේ මාපිය ඥාතීන් හැරදා ලක්දිවට වැඩම කළ සේක. භික්ෂුණී සංඝයා බිහිකොට උත්තම සසුන් බඹසර හෙළ කතුනට ලබා දී සම්බුදු සසුනේ චිරස්ථිතිය පිණිස මාහැඟි මෙහෙවර කොට වදාළ අප තෙරණින් වහන්සේ යළි කිසිදු කලෙක මාපියන් ලේ ඥාතීන් සිටින මව්බිමට නොයා, ලක්වැසි අප කෙරෙහි මහත් දයානුකම්පාවෙන් හෙළ දෙරණේ ම වැඩවාසය කළ සේක. තෙරණින් වහන්සේ සසුන් මෙහෙය නිමවා හැත්තෑනම වන වියේ දී නිවන්පුර වැඩි සේක. හෙළ කතුනගේ සසුන්මව් වූ සඟමිත් තෙරණිය හෙළබිමේ පිරිනිවන් පෑ නිසා ම අපට ඒ උත්තම ධාතූන් වහන්සේලා උරුම විය. අද අපගේ දුක් දුරු කරවන, සිත් සනසන, දිවි මගට පින් ඵල ලබාදෙන ඒ උතුම් ධාතූන් වහන්සේලා දරා සිටින සෑ ගැබ තෙරණින් වහන්සේ දිවමන් කල වැඩ විසූ – එමෙන් ම උන්වහන්සේගේ ශ්‍රී දේහය ආදාහනය කළ භූමියේ ථූපාරාම සෑයට නුදුරෙන් පිහිටා ඇත. අටලෝ දහමින් කම්පා නොවනා විරාගී ගුණ විදහාපාමින් නටඹුන්ව ගිය ධාතු සෑය නිසොල්මනේ නිහඬව වැඩසිටිමින් තවමත් ලොවට පිහිට පිළිසරණ සදන සේක.

කළ ගුණයට සංවේදී සිත් ඇති මිනිසුනේ, දෙනෙත් විදහා බලනු මැන. ඔබ අප කෙරෙහි මහත් වූ දයානුකම්පා ඇතිව අපමණ පිහිට සෑදූ සඟමිත් අප තෙරණියගේ ධාතු සෑය ගරාවැටී නටඹුන්ව ගොස් ඇති සැටි දකිනු මැනේ. සද්ජන හඬට සවන් යොමු කොට එයට හිස නමා, ගරා වැටී තිබුණ මිහිඳු සෑය පිළිසකර කරවා කිරි සුදු බබළන සෑ රජු ඉදිකරවා කෘතගුණ පුදන ලෙසින් සඟමිත් ධාතු සෑය පිළිසකර කරවා කිරි සුදු පාටින් බබළන සෑය නිමවා කෘතගුණ උපහාර පුදන දිනයක් බොහෝ දුර නොවේවා!

මහමෙව්නාව අනගාරිකා අසපුවාසී මෑණියන් වහන්සේනමක් විසිනි